අරුණි ශපීරෝ‍ වෙතින්

ආගමික නිදහස යනු කුමක් ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 4, 2012

ඒකීය පුද්ගල නිදහස වනුයේ තමන්ගේ යහපත සලසා ගැනීමේ වගකීම තමන් බාර ගැනීම නම්, ආගමික නිදහස යනු කුමක් ද?

කාගේ රාජධානිය ද, එයාගේ ආගමයි (Cuius regio, eius religio) නොහොත් පාලකයාගේ ආගම පමණක් ඇදහීමට නීතියෙන් අවසර පැවති ලෝකයක් 1555 දී Peace of Augsburg නමින් පිහිටුවා ගත්තේ ජර්මන් භාෂාව පැතිර තිබු යුරෝපයේය. එයින් අවසන් වූයේ කතෝලික හා පොතෙස්ත්‍රන්ත්‍ර අය අතර වූ අවිගත් සටන් ය. නමුත් ඉන් ආගම ඇදහීමේ නීතිමය අවසරය ලැබුනේ කතෝලික හා ලුතරන් ආගම් දෙකට පමණි. වෙනත් ආගම් ඇදහීම සපුරා තහනම් වූ අතර ඒවා ඇදහීමේ වරදට මරණ දඬුවම් නියම විය. ඒ ආගම් අදහන්නට අකමැති අයට දේශය හැර දා තමන්ගේ බඩුත් රැගෙන පිට වී යන්නට අවසර ලැබිණ.

ඔටුනු පැළඳි ලෝකයෙන් ගැල වී සෑම මිනිසෙක් ම එක හා සමාන අයිතීන් ඇතිව ඉපිද ඇතැයි සැලකිල්ලට ගැනෙන්නට පටන් ගත් කාලයට එන්නට පෙර ආගමික නිදහස යනු කුමක් දැයි කතාබහට ලක්වූයේ නැත. ආගමේ නාමයෙන් සිද්ධ වූ මිනී මැරුම් රජයේ අනුග්‍රහය ඇතිව සිද්ධ වූ යුරෝපයක් එදා පැවතිණ. 1648 මැයි මාසයේ සිට ඔක්තෝබර් දක්වා සාම ගිවිසුම් ගණනාවක් අත්සන් කළ යුරෝපීය උත්සාහය Peace of Westphalia නමින් ඉතිහාස ගත වේ. ශුද්ධ රෝමානු අධිරාජ්‍යයේ වසර 30 ක යුද්ධයත්, ස්පාඤ්ඤය හා ඕලන්ද ජනරජය අතර පැවති වසර 80 ක යුද්ධයත් අවසන් වෙන්නේ මේ ගිවිසුම් වලින් පසුවය. ඒත් ඒ ගිවිසුම් වලින් පසු යුරෝපය පුරා සාමය පැතිර ගියේ නැත. ස්පාඤ්ඤය හා ප්‍රංශය තවත් වසර 11 ක් යුද්ධ කළ අතර ඔවුන් සාමයට එකඟ වුනේ 1659 පිරෙනීස් ගිවිසුමෙන් පසුවය.

ආගමික ඉවසීම යුරෝපයට ලැබෙන්නේ 1648 Treaty of Osnabrück නමින් වූ Peace of Westphalia ගිවිසුම් වල කොටසකිනි. එහි ආගම් ඇදහීමේ අවසර වර්ග තුනක් සඳහන් කෙරුණි. නිවහනේ දී ඇදහිලි, මහජන ආගමික මෙහෙයන් සහ සුළු ජාතීන් අතර වූ ඇදහිලි පිට අය නොගෙන්වා පවුල සමඟ හෝ අයෙක් තනිවම කරන්නා වූ වතාවත් ලෙසින් පැවැත්වීම ඉවසන්නට ය.

1530 ගණන් වල දී ජෝන් කැල්වින් නැමැත්තා කතෝලික පල්ලිය විවේචනය කළේය. පාප්වහන්සේ කතෝලික පල්ලිය ලෞකික රාජධානියක් සේ පවත්වා ගෙන යන්නේ යැයි අවලාද කියූ කැල්වින්ගේ විවේචන අසා පල්ලියේ ශුද්ධ මෙහෙයන් නොමැතිව දෙවියන් අදහන්නට තමන්ට හැකි යැයි කියා සිටින පිරිසක් 1560 වෙද්දී බිහිවූහ. ප්‍රංශ රජදරුවන් ජනතාව අතර ඉවසීම පතුරවන්නට ගත් උත්සාහයන් අසාර්ථක විය. අනතුරුව බලයට ආ දෙවැනි ෆ්‍රැන්සිස් රජුගේ මාස 18 ක පාලන සමයේ දී ඔහුගේ භාර්යාව Mary Queen of Scots විසින් මේ කැල්වින් අනුගාමීන්ව කවුරු හෝ වැරැද්දක් කළා යැයි කී පළියට කතෝලික විනිශ්චයකරුවන් ඉදිරියට පමුණවා වදහිංසා හා පිළිස්සීම් වලින් දඬුවම් කරන ලදි. වැන්දඹවුක් වූ මේරි 1561 දී නැවතත් ස්කොට්ලන්තය බලා යයි. 17 වැනි ශ. ව. අවසානයත් සමඟ ප්‍රංශයෙන් ලක්ෂ දෙකක Huguenots නමින් වූ ප්‍රංශ පොතෙස්තන්ත්‍ර අයව පළවා හැර ඇත.

කාගේ රජධානිය ද, එයාගේ ආගමයි යන්න ඉවත් වෙන්නේ ඇමෙරිකන් ව්‍යවස්ථාවෙන් කැමති ආගමක් අදහන්නට අවසරය ලැබීමෙනි. 1777 දී තෝමස් ජෙෆර්සන් විසින් වර්ජීනියා ප්‍රාන්තයට ආගමික නිදහස ලබාදෙන පනතක් ඉදිරිපත් කළේය. එවක දී ඇන්ග්ලිකන් පල්ලිය වර්ජීනියාවේ ප්‍රාන්ත ආගම ලෙස සැලකිණ. මේ පනතෙන් එහි රාජ්‍ය අනුග්‍රහය ඉවත් වී ඒකීය පුද්ගලයා කැමති ආගමක් ඇදහීමේ අවසරය ලබා දී ආණ්ඩුවත් පල්ලියත් වෙන් කරන ලදි. එය අනතුරුව Bill of Rights හි මෙන්ම ඇමෙරිකන් ව්‍යවස්ථාවේ ප්‍රථම සංශෝධනය ලෙස ද ඒවායේ කියැවෙන මුල් ම කොටස “කොංග්‍රසයට ආගමක් ස්ථාපිත කරන්නට කිසිම නීතියක් ගෙනෙන්නට නොහැකියි” (Congress shall make no law respecting an establishment of religion) ලෙසින් එකතු විණි.

1892 දී Francis Bellamy නැමැත්තා ඇමෙරිකාවේ Pledge of Allegiance ලියුවේ ය: නිදහස හා යුක්තිය සැමට දෙන්නා වූ, බෙදිය නොහැකි ජාතියකටත්, මගේ කොඩියටත්, ඒ කොඩිය ලෙලදෙන ජනරජයටත් මගේ හිතෛෂීභාවය ප්‍රතිඥා කරමි -I pledge allegiance to my Flag and the Republic for which it stands, one nation indivisible, with liberty and justice for all කියාය. ඊට “දෙවියන් වහන්සේ යටතේ වන එකම ජාතියක්” කියා එකතු වෙන්නේ 1954 දී ය.

ආගමක් අදහන්නේ නැති, දෙවියන් විශ්වාස නොකරන ඇමෙරිකන් ජන සංඛ්‍යාව කෙමෙන් වැඩි වෙද්දී 1954 දී එකතු කරන ලද “දෙවියන් වහන්සේ යටතේ වන එකම ජාතියක්” යන කොටස ඇමෙරිකානුවන් තම හිතෛෂීභාවය දක්වන මේ ප්‍රතිඥාවෙන් ඉවත් වී ගිහින් මුලින් ලියූ ආකාරයට නැවත එනු ඇත් ද?!!!

ආගමක් අදහන්නේ නැති, දෙවියන් විශ්වාස නොකරන අය විසින් එය ඉවත් කර ගැනීමට තමන් කැමති නම් එය කළ යුත්තේ තම චන්දය පාවිච්චි කිරීමෙන් ය. තම මතයට ප්‍රසිද්ධිය දීමෙනි. නැතිව දෙවියන් අදහන අයට විරුද්ධව ජනතාව උසිගන්වා තවත් ලේ හැලීමකින් නොවේ.

ඒකීය පුද්ගල නිදහස වනුයේ තමන්ගේ යහපත සැලසීමේ වගකීම තමන් බාරගැනීම නම්, තම අධ්‍යාත්මික යහපත සලසා ගැනීමේ වගකීම ද තමන් සතු වූවකි. ආගමික නිදහසෙන් නිදහස් වෙන්නේ අනුන්ගේ අධ්‍යාත්මික යහපත සලසනවා යැයි කියනා පීඩකයන් ගෙනි. අනුන්ගේ යහපත සලසන නාමයෙන් ඈත අතීතයේ සිට ඒකීය පුද්ගලයාව පීඩනයට ලක් කරන පීඩකයෝ ලොව නන් වෙස් වලින් තවමත් පැවත එති. ඉදිරියේ දී ත් එසේ පවතිනු ඇත. එහෙත් හිතන්න මොළයක් ඇති මිනිසා තමනට ආර්ථික ශුභ සිද්ධිය සේ ම අධ්‍යාත්මික ශුභ සිද්ධිය සැලසෙන්නේ ද කුමකින් ද යන්න තෝරා ගැනීමේ හැකියාවකින් යුත්තෙකි. ඒ හැකියාව ඇති නිසා වගකීමත් එයාගේ ම ය.

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. Hiranya said, on අප්‍රේල් 4, 2012 at 1:41 ප.ව.

    ඔය Mary Queen of Scot කියන කෙනාමද Bloody Mary කියල හඳුන්වන්නේ?

    • arunishapiro said, on අප්‍රේල් 4, 2012 at 3:08 ප.ව.

      Hiranya,

      නැහැ. Mary, Queen of Scots කියන්නෙ Mary I of Scotland (aka Mary Stuart) ඇය ස්කොට්ලන්තයේ රැජින 1542 සිට 1567 දක්වා. ඊට පස්සෙ ඇය ප්‍රංශයේ රජුගෙ බිරින්ඳෑ හැටියට 1559 සිට 1560 දක්වා සිටිනවා. මා සටහනේ සඳහන් කරන්නෙ ඇය ප්‍රංශයේ සිටි කාලය ගැනයි.

      Bloody Mary හැටියට නම් දරන්නෙ Mary I of England. 1553 සිට 1558 දක්වා එංගලන්තයේත් අයර්ලන්තයේත් රැජින වූයේ මැය. අනිත් මේරිගෙ ඥාතියෙක් මේ මේරි. රෝමානු කතෝලික ආගම තහවුරු කරන්නට ඇය විසින් ඇයගේ වසර පහක පාලන සමයේ දී 280 කට වඩා ආගමික විරෝධය දැක්වූවන් පුළුස්සා මරා දමන්නට අණ දී තියෙනවා. එයාට විරුද්ධ වූ පොතෙස්ත්‍රන්ත ආගමිකයන් තමයි ඇයට ඔය නම තබන්නේ.

      තව Bloody Mary කෙනෙක් ඉන්නවා. ඇය ඇමෙරිකන් ජනකතා වලින් එන හොල්මන් චරිතයක්. කළුවර කාමරයක කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් නම තුන්පාරක් (සමහරු කියන්නෙ 14 වතාවක්) කිව්වම ඇය පෙනෙනවාලූ!!!

      අනිත් Bloody Mary නම් වොඩ්කා, තක්කාලි යුෂ සහ ටැබැස්කෝ සෝස් දාලා හදන මිශ්‍ර පානයක්නෙ!!!

  2. ඔබ නොදු‍ටු ලොවක් said, on අප්‍රේල් 4, 2012 at 5:25 ප.ව.

    සිංහළ දෙමළ කෝලාහලයක් ආයිත් එනවනං අපේ ජාතී ආගම් මාමකලගේ කරල පැහෙයි…දෙමළ කඩ ටික කඩලා කෝවිල් වලට පැනලා සුද්දේ දෙන්න….

    • arunishapiro said, on අප්‍රේල් 5, 2012 at 10:01 පෙ.ව.

      ඔබ නොදු‍ටු ලොවක්,

      අවස්ථාවදීන් කෝලාහලයක් එනකම් බලාගෙන පමණක් ඉන්නේ ද නැහැ, ඔවුන් හැම විටම උත්සාහ කරන්නෙ අනුන්ගෙ දේවල් වලින් යැපෙන්න.

  3. praveena said, on අප්‍රේල් 4, 2012 at 8:30 ප.ව.

    ඒකීය පුද්ගල නිදහස වනුයේ තමන්ගේ යහපත සලසා ගැනීමේ වගකීම තමන් බාර ගැනීම නම්, ආගමික නිදහස කියන්නේ, ඒ යහපත සඳහා මිනිසුන් පාවිච්චි කරනා එක් දෙයක් කියලයි මට හිතෙන්නේ.

    හැබැයි කොටස් වෙන්ට උත්සාහ කරනා මිනිස්සු බෙදන්ට හොඳ ආයුධයක් මේ!

    • arunishapiro said, on අප්‍රේල් 5, 2012 at 10:05 පෙ.ව.

      praveena,

      එක දෙයියෙක් අදහන්නට ද? කුමන දෙවියෝ අදහන්නට ද? දෙවියෝ කිසිවෙක් අදහා නොසිටින්නට ද? යනාදියෙන් තම අධ්‍යාත්මික යහපත කෙසේ සැලසෙන්නේ ද කියා තෝරා ගැනීමට තමන්ට නිදහසක් ඇත්නම්? ලංකාවේ රස්සාවක් නැත්නම් මැදපෙරදිග ගිහින් රස්සාවක් කරන්න තියෙන අවස්ථාව වගේ?!!!!

  4. නවම් said, on අප්‍රේල් 5, 2012 at 2:27 පෙ.ව.

    “ආගමික නිදහස” යනු කුමක්ද කියල තේරුං ගන්නත් “ආගම” සහ “නිදහස” කියන්නෙ මොකක්ද කියල ‍තෝරා බේරාගන්න බැරුව මං මේ ඉන්නෙ.

    • arunishapiro said, on අප්‍රේල් 5, 2012 at 10:19 පෙ.ව.

      නවම්,

      භාෂාව දියුණු වෙනකොට (දියුණු වෙයි නේද කවදා හරි!!!!) අපිට ඕවා තෝරා බේරා ගැනීමේ හැකියාවත් වැඩිවේවි ද?!!!

      • නවම් said, on අප්‍රේල් 6, 2012 at 11:14 ප.ව.

        යමක් වටහාගැනීමට හැකිවෙන්නෙ භාෂාව දියුණුවූ තරමටද එහෙම නැත්නම් මනුස්සය “හිතෙන” දේට වඩා යමක් හිතන්න පටන්ගත්තම ද ?

        • arunishapiro said, on අප්‍රේල් 9, 2012 at 2:31 ප.ව.

          නවම්,

          දිගු ප්‍රතිචාරයක් ලියන්නට හිත හිත හිටියත් ඒක සටහනක් හැටියට (නැත්නම් සටහන් පේලියක් වෙයි ද දන්නෙත් නැහැ!!!) දාන්න හිත වෙනස් කරගත්ත.

          සත්තුන්ට වඩා වෙනස් වූ මිනිසා හිතෙන්නෙ “සද්ද” වලින් ද නැත්නම් භාෂාවකින් ද?!!!

          භාෂාව කුමක් දැයි අවබෝධයක් නැත්නම් ඇහෙන්නේ “සද්ද” විතරයි. සත්තුන්ට වගේ නොව “සද්ද” මොනවා දැයි අවුල් ලිහා තෝරා බේරාගන්න අපට භාෂාව ගැන දැනුමක් අවශ්‍යයි, ඊට පස්සෙ ඒ භාෂාමය දැනුම දියුණු වෙන තරමට වැඩි වැඩියෙන් අවබෝධයත් ලැබෙනවා. දන්න එක භාෂාව දියුණු වෙන තරමට වගේ ම එක භාෂාවකට වැඩියෙන් දැනුම ලැබීමෙන් ද යමක් වටහා ගැනීමට හැකියාවත් වැඩිවෙනවා.

          //“හිතෙන” දේට වඩා යමක් හිතන්න// ගියාම හටගන්නා කුකුස දුරලන්නට නැත්නම් “යමක් වටහා ගැනීමට” උදව් උපකාර වෙන්නේ “සද්ද” නෙමෙයි, භාෂාවක් නේද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: