අරුණි ශපීරෝ‍ වෙතින්

අනුන්ට කැපූ අගල් නිසා අගාධයට වැටුනු අය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 9, 2012

ගෝත්‍රිකවාදය පැවතෙන්නේ අවිචාරය සහ සාමූහිකවාදය නිසා ය. විචාරය වලංගු වූවක් නොවේ යැයි මිනිසා පිළිගත් දා ට, ඔවුන්ට මඟ පෙන්වන්නේ හෝ ඔවුන්ට ජීවත්වන හැටි කියා දෙන්නේ කුමක් ද?

විචාරයට නොහැකි මිනිසා කිසියම් හෝ කල්ලියක් සොයා යයි. තමනට මඟ පෙන්වන්නට හැකියාව ඇති දැනුමක් ඇතැයි කියන, තමන්ට ඒ සඳහා ක්‍රියා පිළිවෙතක් ඇතැයි කියන ඕනෑම කල්ලියක් සොයා ගනියි.

ඒකීය පුද්ගලයා යනු අධ්‍යාත්මිකව සහ සදාචාරත්මකව කිසිත් කරකියා ගත හැකි පුද්ගලයෙක් නොවේ යැයි ද, ඔහුට හිතන්නට හැකි මනසක් නැතැයි ද, කිසිත් අයිතීන් නැතැයි ද සිතන්නේ කල්ලි සොයා යන අයයි. එවැන්නාට ඇත්තේ කල්ලියයි. ඔහුගේ පැවැත්මත්, ආචාරධාර්මික වූ වැදගත්කමත් රඳන්නේ කල්ලියට කරන සේවයෙන් පමණි. එසේ සිතන අයව ඒ ඒ කල්ලියට ඇද ගන්නට බලා සිටින කල්ලි ලෝකයේ බොහොමයකි.

ඒත් මොන කල්ලියට එකතු වෙන්නේ?!!!!

හිතන්නට හැකි මොළය පාවිච්චියට ගන්නේ නැත්නම්, සදාචාරාත්මක අගයන් මොනවා දැයි විභාග කරන්නට උවමනාවක් නැත්නම්, එසේත් නැතිනම් තමනට සිතන්නට අයිතියක් නැතැයි ද සදාචාරාත්මක අගයන් නැතැයි ද හිතන්නේ නම්, එවැනි අයෙකුට තෝරා ගැනීම් ගැන වූ විශ්වාසයක් ද නැත.

එහි දී ඉතිරි වෙන්නේ තෝරාගැනීමක් අවශ්‍ය නැති කල්ලියකට එකතු වීම පමණි.

ඒ තෝරා ගැනීමක් නැති එකම කල්ලිය නම් තමන් ඉපදුන නිසා අයිතිවන කල්ලියයි.

සාමූහිකවාදයෙන් බිහි වූ කොමියුනිස්ට් රටවල නිදහස වෙනුවට, සමෘද්ධිය වෙනුවට, සහෝදරත්වය වෙනුවට පැතිර ගියේ බඩගින්නයි. අද උතුරු කොරියාව තම රටේ ජනතාව බඩගින්නේ මිය යද්දී වසර සියයකට පෙර උපන්, 1994 දී මිය ගිය එහෙත් රටේ සදාකාලික ජනාධිපති (Eternal President of the Republic) ලෙසින් පිළිගන්නා වූ කිම් ඉල් සුන් සමරන්නට ඔහු ගැන ප්‍රශස්ත ගීත විකාශනය කරන සැටලයිට්ටුවක් අභ්‍යාවකාශයට යවන්නට සැරසෙති.

ශිෂ්ඨාචාරයක් කඩා වැටුනේ කෙසේ ද ගැන සිතා ඇත් ද? ඊට හේතුව නොව එසේ වූ ක්‍රියාවලිය ගැන සිතා ඇත් ද? පුද්ගලයන් විසින් එකතු කරගත් දැනුම, ශතක ගණනාවක් තිස්සේ වූ අත්පත් කරගත් ජයග්‍රහණයන් රටකින් තුරන් වී ගියේ කෙසේ දැයි ගැන සිතා ඇත් ද?

ඉතිහාසය අපිට සෝවියට් ලෝකයේ කඩා වැටීමෙන් පැහැදිලිව එය පෙන්වා ඇතත් තවමත් එය වටහා ගන්නට තම හිතන්නට හැකි මොළය පාවිච්චියට නොගන්නා අය ලෝකයේ බොහොමයකි.

පරම්පරාවකින් පරම්පරාවකට බාර දෙන තමන් විසින් සිතා බලා නොව අනුන් කියනා නිසා මෙසේ ජීවත්විය යුතු යැයි විචාරයෙන් තොරව බාරගත් ශිෂ්ඨාචාර ගෝත්‍රික ය. ඒවා අද ලෝකයේ කෙමෙන් තුරන් වී යන බව (වෙන අයගේ කුමන්ත්‍රණ නිසා නොව බඩගින්නේ මිය යන ජනතාව නිසාම) නොදකින්නට ඇස් කොතරම් තද කරගෙන පියා ගත්ත ද නොහැකිය.

කල්ලියක ඇත්තේ අනුගමනයකි. භාෂාව හෝ පෙනුම වැනි අංගයක් පමණක් නොවේ. මන්ද ඒ පෙනුම ඇති ඒ භාෂාව භාවිතා කරන එහෙත් ඒ කල්ලියට එකතු නොවූ අය ඉන්නා නිසා ය.

ඒකීය පුද්ගලයෙකුගේ ජයග්‍රහණය පිළිනොගන්නේ කල්ලිවාදය නිසයි. ඒ පුද්ගලයාගේ ජාතිය ගැන ඇති කැක්කුමක් ඒකීය වූ ජයග්‍රහණයකින් පිළිබිඹු නොවනවා යැයි සිතමිනි. උපන් නිසා අයිති වන කල්ලියේ ඉන්නා අයට සිතන්නට බැරි නිසා ඔවුන්ගේ දැනුම හිර වෙන්නේ ඒකීය පුද්ගලයා යම් ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ ද ඒ ඔහුගේ උත්සාහයක් නිසා නොව කල්ලියේ උරුමය නිසා යැයි සිතන බැවිනි.

ඒ නිසා ඒකීය පුද්ගලයෙක් ජයග්‍රහණයක් ලැබූ විට වහාම කල්ලියේ නාමය ඊට ගාවා ගන්නට කෙසේ හෝ තැත් දරති. එවිට ඔවුන් රටහැර දමා ගිය කුහක වූ තම පැවැත්ම රැක ගන්නට වෙහෙසෙන්නා වූ ඒකීය පුද්ගලයෝ නොවෙති!!! නමුත් කල්ලියේ පැවැත්ම විනාශ මුඛයට ගෙන යන මුග්ධ හැසිරීම පෙන්වා දෙන්නා, ඔව්, ස්ථිර වශයෙන් ම, එවැන්නා කල්ලියේ ශක්තිය කඩන්නට වෙර දරන ද්‍රෝහියෙකි, තමන් ගැන පමණක් හිතන ගුණමකුවෙකි.

කල්ලිවාදයක ඒකීය පුද්ගලයෙකුට තැනක් නැත. කල්ලිවාදය කරන්නේ ඒකීය පුද්ගලයාව වට්ටන්නට අගල් කැපීමකි. ස්වභාවයෙන් දායක වූ මොළය හිතන්නට පාවිච්චි කරනා අය, කල්ලිවාදය නිසා තමන් ද අගාධයට වැටෙනා බව දැක එවැනි රටවලින් පැන යති. ඔවුන් එන්නේ කල්ලියකට අයිතිවීමකින් වාසියක් නැති එහෙත් ඒකීය පුද්ගල ජයග්‍රහණයන් වලට ඉඩක් ඇති රටවලට ය.

ඉතිහාසය පුන පුනා පෙන්වා දී ඇතත්, ඉතිහාසය පිළිගන්නට නොකැමති, තවත් කල්ලිවාදය ආරක්ෂා කරන්නට හැකි යැයි සිතූ අනුන්ට අගල් කපන්නට ගිය ප්‍රේම් කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙනා ලංකාවේ අතුරුදහන් ය. කල්ලිවාදය ප්‍රතික්ෂේප කරන මම ඒ ඒකීය පුද්ගලයන් දෙදෙනාගේ ජීවිත බේරාගන්නට හැකිවේවා යැයි උදක් ම පතන්නෙමි.

අද ඔවුන් වැටී සිටින, ලාංකික ශිෂ්ඨාචාරය විනාශ මුඛයට ගෙන යන කල්ලිවාදී අගාධයට, සියල්ලෝ ම ඇදී යන්නට පෙර මොළයෙන් සිතන්නට හැකි අයට ආයාචනයකි මේ ….

කල්ලියෙන් වූ සෙතක් නැත. ඒකීය පුද්ගල අයිතීන් රැකගන්න. නැත්නම් නැතිවෙන්නේ ඔබයි.

Advertisements

26 Responses

Subscribe to comments with RSS.

  1. නවම් said, on අප්‍රේල් 9, 2012 at 10:41 පෙ.ව.

    “කල්ලිය” හොඳ වචනයක් ගුටි නොකන්න.

    • arunishapiro said, on අප්‍රේල් 9, 2012 at 2:33 ප.ව.

      නවම්,

      කළින් සටහනේ ද “කල්ලිය” යන වචනය පාවිච්චි කරා. ආවේගයෙන් කියැවූ නිසා වෙන්නැති වැඩිදෙනා දැක්කෙ නැත්තෙ.

  2. maathalan said, on අප්‍රේල් 9, 2012 at 11:38 පෙ.ව.

    අතුරුදහන් වීම ගැන මා දුටු හොඳම ළිපියයි. නමුත් කරුමේ තියෙන්නේ. මේ දේ තේරුම් ගන්නේ කී දෙනාද. තම පැවැත්ම උදෙසා නීර්ධන පංතියේ හිඟන්නන්ට ආතල් දෙන කල්ලි අත්‍යාවශ්‍යයෙන්ම තහනම් කළ යුතුමයි. අතුරුදහන් කිරීම නම් කිසිසේත් අනුමත කළ නොහැක..

    • arunishapiro said, on අප්‍රේල් 9, 2012 at 2:58 ප.ව.

      maathalan,

      ස්තූතියි.

      මම මාතලන් කියන //තම පැවැත්ම උදෙසා නීර්ධන පංතියේ හිඟන්නන්ට ආතල් දෙන කල්ලි අත්‍යාවශ්‍යයෙන්ම තහනම් කළ යුතුමයි// යන්නට එකඟ වෙන්නෙ නැහැමයි!!! නැහැමයි!!!!

      නිදහස යන්නට වැටවල් බඳින හැම අවස්ථාවක දී ම වෙන්නෙ තමන්ගේ නිදහසත් කප්පාදු වීමයි.

      තරඟයට බිය නම් “තරඟය තමයි වඩාත් ම සාර්ථක වූ මිනිහෙක් බිහිකරන්නේ” යැයි කියන්නට බැහැ. තරඟයට බිය අයයි “තහනම්” පටන් ගන්නෙ.

      අයෙක් තවකෙකුගේ ජීවිතයට හානියක් කරන නීති කඩන්නෝ වෙත්නම් ඔවුන්ට දඬුවම් දිය හැකියි.

      එහෙත්, මිනිස් චින්තනයේ දී තමනට හානියක් කරගත හැක්කේ හිතන්න හැකියාවක් ඇති එහෙත් හිතන්න මොළය පාවිච්චියට නොගන්නා මිනිසාට පමණයි. එහි දී තම යහපත ද නැත්නම් තමන්ගේ අයහපත ද යන කැමැත්ත තෝරාගැනීමේ අයිතිය ඔහු/ඇය සතු වූවක්. අපිට ඒ අයිතිය ඔහුගේ/ඇයගේ යහපත පිණිස යැයි කියා වුව ද උදුරා ගන්නට බැහැ. තවත් අයෙකුගේ සතුට කුමක් ද යන්න වෙනත් අයෙකුට තීරණය කරත හැකියාවක් නැහැ. මිනිසා මොළය පාවිච්ච් නොකිරීම ගැන අපට ඔහුට දඬුවම් දෙන්නට ද බැහැ. අයෙකුට තමන්ගේ සුවසෙත සලසා ගන්නට යැයි නීති ගෙනෙන්නට ද බැහැ. තමන් හොඳ, දක්ෂ මිනිසෙක් වෙනවා ද නැද්ද යන්න තීරණය මිනිසාගේ අයිතියයි.

      අපිට දඬුවම් දිය හැක්කේ හා තහනම් කළ හැක්කේ පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගේ ජීවිතයට හානියක් පමුණුවනවා නම් පමණයි.

      අනිකුත් තහනම් ගෙන එන්නේ අනුන්ට හොඳ නිවැරදි ක්‍රියා මාර්ගය තමන් දන්නවා යැයි සිතන අය. එහෙම දැනුමක් ඇති අයෙක් ලොව නැති නිසා, තහනම් ගෙනෙන සියල්ලෝම හොඳ නිවැරදි මාර්ගය කියාදෙන්නට ද නොදන්නා අයයි. ඔවුන් තරඟයට ද බිය අයයි.

      ඔව් සැබැවින් ම, අතුරුදහන් කිරීම නම් කිසිසේත් අනුමත කළ නොහැක.

      • maathalan said, on අප්‍රේල් 9, 2012 at 11:56 ප.ව.

        ජනතාව බුද්ධිමත් නම් ඔබ කියන කරුණු හා එකඟවිය හැකියි. නමුත් ප්‍රශ්නය නම් ජනතාව ඇත්තටම බුද්ධිමත්ද කියන එක. උගත් සමාජයේ බුද්ධිමතුන් ඇත්තෙම නැති සමාජයක. මිනිසුන් රැවටීම නීතී මගින් හෝ පාළනය කළ යුතුයි. මේ අළුත් පක්ෂයේ රැස්වීමට පැමිණි ජනතාව දැක්කම ඇත්තටම මට දුක හිතුනා.

        • arunishapiro said, on අප්‍රේල් 10, 2012 at 9:26 පෙ.ව.

          maathalan,

          මේ දවස්වල ඇමෙරිකාවේ වුනත් //ජනතාව ඇත්තටම බුද්ධිමත් ද කියන එක// ප්‍රශ්නයක්!!!! ඒත් බුද්ධිමත් බව අවශ්‍ය නැහැ වර්ගයා රැකගන්න. අපට ස්වභාවයෙන් ම ලැබිලා තියෙන “විචාරය” නම් වූ හැකියාව ඒ සඳහා උපකාරී වෙනවා. මේ ගැන ඉදිරි සටහන් වලින් තව පැහැදිලි කරන්නට උත්සාහ ගන්නම්.

  3. රන්දිල් said, on අප්‍රේල් 10, 2012 at 12:00 පෙ.ව.

    කලින් පෝස්ට් එක නෙමෙයි අක්කේ මුලින් දාන්න තිබුනේ මේ පෝස්ට්…….. මේ කියන දේවල් ඇත්ත කියලා මගේ හින්නිකිතර මොළයටත් දැනෙනවා.

    ඒත් ආර්ථිකය හෙලවෙන පණුවෝ කාපු දතක් වෙච්චි රටක, රට යන අත කොයි අතද කියලා හිතාගන්න බැරි රටක, අතුරුදන් වුනා කීවාම අතුරුදන් වුනාද කලාද තමන්ම වුනාද කට්ටියක් එකතු වෙලා අතුරුදන් කරලා කියලා කෑ ගහද්දි තවත් කට්ටියක් කොහෙන් හරි හොයාගෙන මේ ඉන්නේ මේ හැංගිලානේ ඉඳලා තියෙන්නේ කියලා පෙන්නුම් කරලා, මීට කලින් වෙච්චි අතුරුදන් වීමුත් තමන් විහින් හැංගිච්චා තමයි කියලා පෙන්වනවද කියලා වටහා ගන්න බැරි රටක, ඒ තුන්ගොල්ල එක ගොල්ලක්ද තුන් ගොල්ලක්ද දෙගොල්ලක්ද කියලා හොයා ගන්න බැරි රටක, කොටින්ම තමන් වරුවක් හෝ දවසක් නිවාඩු දමා ගොස් කතිර ගසා පත් කරගත්ත අය කරන කියන දේවල් මුනිවත රකිමින් බලා සිටින ජනතාවකට අක්කා කියනවා වගේ ඒකීය මිනිසුන් ලෙසින් රාමුවෙන් පිට පැන හිතන්නට ධෛර්යයක් තියේද කියලා හිතන්න අමාරුයි. අක්කේ ඔයා කියන දේ හොඳ තියරියක්. ඒකේ කථා දෙකක් නැහැ. ඒත් මේක තනි තනි පුද්ගලයා වශයෙන් වුනත් බොහොම පිරිසක් යෙදෙන්න ඕනේ දෙයක්. ‍මේ කියන තත්ත්වයට ලංකාව එන්න තව කොච්චර කාලයක් යයිද කියන අනේ මන්දන්නේ නැහැ‍. අක්කා කියනවා වගේ හොඳ ම දේ ඒ වගේ රටකට යන එක. ඒත් එහෙම හිතුනු පරිදි යාගත හැකි වන්නේ කීයෙන් කීදෙනාටද?

    මේ ලිපිය කියවන කිහිප දෙනෙක් ඒකීය මිනිසුන් වුනාය කියමු. එතකොට අර ගෝත්‍රික කල්ලිවාදීන් පිරිසක් ඉන්න ගමක ඒ මිනිස්සු තනි වුනොත් මොන වගේ වෙයිද? ඒ වගේ ප්‍රායෝගික ගැටළු අනන්තයි අප්‍රමාණයි. දැන් කරන්න තියෙන එකම දේ හොයාගන්න දෙයක් කලා බීලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි අක්කේ…….. 😦

    • deemith said, on අප්‍රේල් 10, 2012 at 2:22 පෙ.ව.

      සිරා කමෙන්ට් එක අක්කේ . . . ඒත් පොත පත ඇසුරු කරලා මීට වඩා සම්භාව්‍ය විදිහට ඔයාට මේක කියන්න තිබුනා. එතකොට ලිපිය ප්‍රායෝගික නොවුනත් ඔයාට කට්ටිය හොඳ කියයි.

      මේවා කියවද්දි හිතෙනවා අනගාරික ධර්මපාල තුමාලා වගේ අය මොන බොරුකාරයොද, මොන කල්ලිවාදියොද කියලා.

      /////අක්කා කියනවා වගේ හොඳ ම දේ ඒ වගේ රටකට යන එක. ඒත් එහෙම හිතුනු පරිදි යාගත හැකි වන්නේ කීයෙන් කීදෙනාටද? මේ ලිපිය කියවන කිහිප දෙනෙක් ඒකීය මිනිසුන් වුනාය කියමු. එතකොට අර ගෝත්‍රික කල්ලිවාදීන් පිරිසක් ඉන්න ගමක ඒ මිනිස්සු තනි වුනොත් මොන වගේ වෙයිද? ඒ වගේ ප්‍රායෝගික ගැටළු අනන්තයි අප්‍රමාණයි. දැන් කරන්න තියෙන එකම දේ හොයාගන්න දෙයක් කලා බීලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි අක්කේ……../////

      සැලෙන්ඩ එපා අක්කෙ… පිටරට යන්න ඔච්චර අමාරු නෑ. අපිවගේ කල්ලිවාදයෙන් බැහැර වෙන්න. එතකොට නිකම්ම තමන් කැමති රටක පීආර් එක ලැ‍බෙයි….

    • arunishapiro said, on අප්‍රේල් 10, 2012 at 9:54 පෙ.ව.

      රන්දිල්,

      //හින්නිකිතර// අළුත් වචනයක් ඉගෙන ගත්තා ස්තූතියි රන්දිල් නංගි.

      ලෝකය තවමත් පවතින්නේ, ඒ විතරක් නෙමෙයි ලංකාව තවමත් පවතින්නේ, සිංහලයා ද තවමත් පවතින්නේ 20% ක් විසින් කරන උත්සාහය නිසයි. ඒ එක කල්ලියක් කරපු/කරන දෙයක් නිසා නෙමෙයි. කල්ලි හැම එකකම ඉන්නා අය අතරින් බිහිවෙන ඉතා සුළු පිරිසකගේ උත්සාහයන් නිසා. ඒක තියරියක් නෙමෙයි. සිද්ධාන්තය, ක්‍රියාවලිය හා ප්‍රතිඵල පෙන්වන්න පුළුවන් වූවක්. තාම සිංහලෙන් කියවන්නාට නුහුරු වුනාට මම ලිව්වාට පස්සෙ ගොඩක් අය “අපොයි අපි දැනගෙන හිටිය, අපේ මුතුන් මිත්තො කියා දුන්න” දෙයක් කියන්නත් ඉඩ තියෙනවා. මොකද ඒක ඉතින් මුතුන් මිත්තො කියාදුන්න දෙයක් නිසාම තමයි!!!!

      ඒකීය මිනිසා කියන්නෙ ඒකීය පුද්ගලයෙක්; තමන්ට. කල්ලියක ඉන්නෙ ඒකීය පුද්ගලයන් සමූහයක්. ඒකීය පුද්ගලයා නැත්නම් කල්ලියක් හදන්න බැහැ. කල්ලියකට බැඳෙන්නෙත් ඒකීය පුද්ගලයාගේ ආරක්ෂාව හා පැවැත්මට. කල්ලියක පැවැත්ම නැතිව ගියොත් වර්ගයාගේ පැවැත්ම නැති වුවත්, ඒකීය පුද්ගලයාට පැවැත්ම ඒ නිසා පමණින් නැතිවෙන්නෙ නැහැ. රොබින්සන් කෲසෝ වගෙ අය තාම ඉන්නවා. ඒත් ඒකීය පුද්ගලයා නැතිව කල්ලියක පැවැත්මක් නැහැ. කවුරුත් නැති කල්ලියක් ගැන අහලා නෑ නේද?!!!!

      ගෝත්‍රිකවාදී කල්ලියක් හැදෙන්නෙ ඊට උපන් නිසා එහි සාමාජිකයෙක් වීමෙන්. එහි දී තෝරා ගැනීමකින් තොරවයි කල්ලියට එකතු වී ඇත්තේ. පවුල ඒ වගේ කල්ලියක්. අපිට දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, නෑඳෑයෝ කවුද කියලා තෝරා ගන්න ඉඩක් නැහැනෙ!!!!

      නමුත් මිනිසා කියන්නෙ උපන් නිසා පමණින් අයත් වන කල්ලියේ සිරකරුවෙක් නොවී සිට තමන්ට තෝරා ගැනීමක් තියන අයෙක්. කුමන කල්ලියට අයිති විය යුතු දැයි නැද්දැයි තෝරාගත හැකියාව තියෙන්නෙක්.

      //එතකොට අර ගෝත්‍රික කල්ලිවාදීන් පිරිසක් ඉන්න ගමක ඒ මිනිස්සු තනි වුනොත් මොන වගේ වෙයිද?// එක්කො සටන් වැදී මිය යන්න/නොයන්න පුළුවන් නැත්නම් ගම දාලා ගිහින් ජීවිතය ආරක්ෂා කරගන්න/නොගන්න පුළුවන්, ඒවා තෝරා ගැනීම්.

      තියන ප්‍රායෝගික ගැටළු අනන්තයි අප්‍රමාණයි වුනාට මිනිස් මොළය හැදිලා තියෙන්නෙ ස්වභාවයෙන් ම ඒවා විසඳන්න හැකියාව සමඟින්. ඒකට අවශ්‍ය විමර්ශනය, තොරතුරු එකතු කර ගැනීම, ඒ තොරතුරු සත්‍ය දැයි සොයා බැලීම, ඒ තුලින් තමන් කැමති තෝරා ගැනීම් සිද්ධ කිරීම, වෙනසට භාජනය වීමට බිය නොවීම.

  4. Soda Gune said, on අප්‍රේල් 10, 2012 at 12:20 පෙ.ව.

    ++++++++++++++++++++++

  5. දුකා said, on අප්‍රේල් 10, 2012 at 12:40 පෙ.ව.

    සිරා ලිපිය අක්කේ . . . කිසිම කල්ලියකට පක්ශග්‍රාහී නොවී . . බුද්ධියෙන් හිතන්න පුලුවන් අයට හිතලා තේරුම් ගන්න පහසු විදිහට ලියපු මේ ලිපිය උපරිමයි . . .

    “ඉතිහාසය පුන පුනා පෙන්වා දී ඇතත්, ඉතිහාසය පිළිගන්නට නොකැමති, තවත් කල්ලිවාදය ආරක්ෂා කරන්නට හැකි යැයි සිතූ අනුන්ට අගල් කපන්නට ගිය ප්‍රේම් කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙනා ලංකාවේ අතුරුදහන් ය. කල්ලිවාදය ප්‍රතික්ෂේප කරන මම ඒ ඒකීය පුද්ගලයන් දෙදෙනාගේ ජීවිත බේරාගන්නට හැකිවේවා යැයි උදක් ම පතන්නෙමි.”

    මමත් ඇත්තෙන්ම කල්ලිවාදෙට අකමැති උනත් සමහර වෙලාවල් වලදී (දේශපාලනික නෙමේ පුද්ගලික) කල්ලි වලට වැටෙන්න කැමතියි හැබැයි ඒක තනිකරම රසවින්දනය හවුලේ බෙදා හදාහෙන රසවිඳින්න වගේ දෙයක් මිසක් කාටවත් නපුරක් කරන්න හැදෙන කල්ල්ලියක් නෙමේ . .

    කොහොම නමුත් මගේ ප්‍රාර්ථනයක් මේ වගේමයි . .

    • arunishapiro said, on අප්‍රේල් 10, 2012 at 9:58 පෙ.ව.

      දුකා,

      ස්තූතියි දුකා මල්ලි.

      ඔව් මිනිසා ස්වභාවයෙන් ම කල්ලි වලට කැමති අයෙක්. වැඩියෙන් සාර්ථක තමන් විසින් තෝරා ගන්නා ලද කල්ලි. මම වැඩියෙන් ඉන්නෙ එකකට එකක් නොගැලපුනත් මට ගැලපෙන එහෙම කල්ලි එක්ක 😀

  6. Inesh said, on අප්‍රේල් 10, 2012 at 1:19 පෙ.ව.

    විශිෂ්ඨයි! සටහන,පහල කොටසට මන් හුගක් කැමතියි.ස්වභාවයෙන් දායක වූ මොළය හිතන්නට පාවිච්චි කරනා අය, කල්ලිවාදය නිසා තමන් ද අගාධයට වැටෙනා බව දැක එවැනි රටවලින් පැන යති. ඔවුන් එන්නේ කල්ලියකට අයිතිවීමකින් වාසියක් නැති එහෙත් ඒකීය පුද්ගල ජයග්‍රහණයන් වලට ඉඩක් ඇති රටවලට ය.

  7. Inesh said, on අප්‍රේල් 10, 2012 at 1:26 පෙ.ව.

    අදුරට සාප කර කර ඉන්නවා ඇරෙන්න පහනක් වත් පත්තු කරන්න බෑ දැන්,ලන්කවෙන් යන්නමයි හිතෙන්නෙ අයෙත්,

    • arunishapiro said, on අප්‍රේල් 10, 2012 at 10:03 පෙ.ව.

      Inesh,

      උපන්බිම හැර යන්නට සිද්ධ වීම දුකක්. කොච්චර විචාරයෙන් එය සුදුසු යැයි තෝරා ගත්තත් හිතට දැනෙන දුක කොහොම ද අඩු කරගන්නෙ?!!!! මිනිසා කියන්නේ අපුර්ව ලෙස මොළය වයර් වී ඇති සත්වයෙක්!!!!

  8. රාජ් said, on අප්‍රේල් 10, 2012 at 3:26 පෙ.ව.

    පෝස්ටුවට වඩා කැමතියි මාතලන්ට දීපු උත්තරේට.
    “නමුත් ප්‍රශ්නය නම් ජනතාව ඇත්තටම බුද්ධිමත්ද කියන එක. උගත් සමාජයේ බුද්ධිමතුන් ඇත්තෙම නැති සමාජයක. මිනිසුන් රැවටීම නීතී මගින් හෝ පාළනය කළ යුතුයි.(-මාතලන්)”
    හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරේ මට නං හිතාගන්න බෑ. මොළය පාවිච්ච් නොකිරීම ගැන දඬුවම් දෙන්න බැරි සමාජයක් ඉස්සරහට යන්නෙ කොහොමද කියනඑක ප්‍රශ්නයක් තමයි.

    • arunishapiro said, on අප්‍රේල් 10, 2012 at 10:08 පෙ.ව.

      රාජ්,

      මිනිසා මේ තරම් කාලයක් පැවැත්ම ආරක්ෂා කරගෙන ආවේ තමන්ගෙ මොළය පාවිච්චි කිරීමෙන්. තමන් තුල වූ බුද්ධිමත් බව නිසා නෙමෙයි. හැම පුද්ගලයෙක් තුල ම තම පැවැත්ම ආරක්ෂා කරගන්නට අවශ්‍ය තෝරා ගැනීම් කරත හැකි මෙහෙයුම් පද්ධතියක් තියනවා.

      ගෝත්‍රික කල්ලියෙන් ඔබ්බට යන දවසක් උදාවීම මගේ ජීවිත කාලයේ නොවූවත් සමහර විට රාජ්ලාගේ ජීවිත කාලය අවසන් වෙන්නට කළියෙන් සිද්ධ වේ යැයි අනුමාන කිරීම හුදු සිහිනයක් නොවේ. වැඩි විස්තර ඉක්මණින්.

  9. Ano said, on අප්‍රේල් 10, 2012 at 8:11 පෙ.ව.

    මේ කල්ලි ගැන මිනිස්සු දන්නේ මතුපිටින් පේන දේ විතරයි. ජ.වී.පෙ බෙදීම් ඇති වෙන්න කාලෙකට කලින්, ඔවුන්ගේ සක්‍රීය සාමාජිකයෙක් වෙලා හිටපු මගේ මිත්‍රයෙක් පුද්ගලික අවශ්‍යතා මත ඉන් ඉවත් වුනා.ඔබ කැමතිනම් විශ්වාස කරන්න ඔහු මාත් සමග කියා තිබෙනවා, අදටත් ඔවුන්ගේ අවි ගබඩා පවතින බව, සාමාජිකයින් බොහෝ දෙනෙක් නොදන්නවා වුනත්, සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පිපාසිත නායකයින් පිරිසක් මේ රහසිගත් ගබඩා මෙන්ම පුහුණු කඳවුරු පවත්වාගෙන යන බව.මේ කල්ලි ඇති කරන්නේ / පෝෂණය කරන්නේ පිටස්තර ඒත් බොහෝ දෙනා හරියට හඳුනා නොගත් හතුරන් විසින්.ඒවාට අසු වෙන බොහෝ දෙනා දන්නේ කලින් කීවා වගේ මතුපිටින් පේන අයිසින් විතරයි.

    • arunishapiro said, on අප්‍රේල් 10, 2012 at 10:12 පෙ.ව.

      Ano,

      //මේ කල්ලි ගැන මිනිස්සු දන්නේ මතුපිටින් පේන දේ විතරයි.//

      ඔව්, ඒත්, ඕන කල්ලියක් ගැන අපි දන්නෙ ටිකයි. අපි අයිති වෙච්ච කල්ලියක් ගැන වුවත් සම්පූර්ණ වැටහීමක් අපිට නැහැ. කල්ලියක ඉන්නා ඒකීය පුද්ගලයන්ගේ විවිධත්වය හා විෂමත්වය නිසා.

      අවි ආයුධ ලොවෙන් තුරන් වෙන්නෙ නැහැ. එන්න එන්න වැඩිවෙනවා මිසක්. ඒත් හිතන්න පොඩ්ඩක්, එදා ඇමෙරිකාවට විතරක් තිබ්බ පරමාණු බෝම්බයෙන් මැරිච්ච සංඛ්‍යාව …. අද රටවල් කීයකට පරමාණු බෝම්බ තිබිලාත් ඔය ඉන්නෙ යහතින් හැමෝම!!!!

  10. Ravi said, on අප්‍රේල් 10, 2012 at 9:44 පෙ.ව.

    ලංකාව අද පවතින තත්වය අනුව ආසියාවේ ආශ්චර්ය කියනවට මම විරුද්ධයි, මුළු ලෝකෙම ආශ්චර්ය වෙන්න ඕන, ආයෙ ඒකෙ දෙකක් නෑ…Tourism Board එකේ Theme එක, Sri Lanka – A land Like No Other…. 🙂 ඒ මිනිස්සු මොන අදහසින් දැම්මත් ඒ කතාව හරියටම හරි…Short, sweet & to the point….. කියන්න ඕන දේ හරියටම කියවෙනව.

    වෙන මොන රටේද හැබෑටම මෙහෙම දේවල් වෙන්නෙ…වෙන සාධාරණත්වය අගය කරන රටක මිනිස්සුන්ට දවස් ගණනක් විරෝධය පලකරන්න තරම් තුච්ඡ, නිහීන, අසාධාරණ සිද්ධීන් ලංකාවෙ එදිනෙදා සාමාන්‍ය දේවල්…කාටවත් ගාණකුත් නෑ…ගාණකට ගත්තයි කියල කරන්ඩ දේකුත් නෑ. මොනව කලත් ඒ දේවල් වෙනස් වෙන්නෙත් නෑ. සිද්ධීන් ලියන්න නම් පුළුවන් අඩුගණනෙ පණහකට එහා මතකයෙ තියන එව්ව විතරක්…ඒත් මොකටද?

    අසමත් රාජ්‍ය ( Failed State ) කියන සංකල්පයට නව අර්ථ කථනයක් එකතු කරලයි තියෙන්නෙ ලංකාව.ඒ වගේම වැඩවසම් යුගයකට ආපසු ගිය පළමුවන නූතන රාජ්‍යය කියලත් කියන්න පුළුවන් කිසිම සැකයකින් තොරව.

    රටේ මිනිස්සුන්ට ඒ ගැන හැඟීමක් උනන්දුවක් නැත්නම් මොකක් කරන්නද?

    If you don’t value your freedom & your happiness, no one would give it to you on a platter. When you have forgotten what freedom is, it doesn’t matter anymore to you or to anyone else,

    • arunishapiro said, on අප්‍රේල් 10, 2012 at 10:16 පෙ.ව.

      Ravi,

      ඒකනෙ මාත් මේ //Short, sweet & to the point….. කියන්න ඕන දේ හරියටම කියන්න කොච්චර උත්සාහයක් ගන්නවා ද? තාම බෑ … 😦

      //මොනව කලත් ඒ දේවල් වෙනස් වෙන්නෙත් නෑ.// මම මේකට එකඟ නැහැ. මම හිතන්නෙ, පෙන්වන්න හදන්නෙ වෙනස් කරගත හැකියාව තියෙන්නෙ පුද්ගලයා සතුව.

      ලෝකයේ අසමත් රාජ්‍යයන් නැතිවෙලා යන යුගයක් වැඩි කාලාන්තරයක් නොගිහින් ඒවි. දැනටමත් ඒ ගමන පටන් ගෙන.

      වෙනස් වෙන්න රවී සූදානම් ද?!!!!!

  11. Shanthi Chandrasekera said, on අප්‍රේල් 12, 2012 at 4:26 ප.ව.

    Aruni oba hari 100/ 100kma kalli wadi hangeem watenne agdayatai

  12. සාබිත් said, on අප්‍රේල් 13, 2012 at 9:08 පෙ.ව.

    ඒකීය පුද්ගල අයිතීන් තහවුරු කර ගැනීම තුලින් කල්ලියේ අරමුනු තහවුරු කරගන්න එක නේද කරන්න ඕන සාමුහිකව කල්ලියේ අරමුනු තහවුරු කර ගන්නවට වඩා?

    • arunishapiro said, on අප්‍රේල් 13, 2012 at 2:06 ප.ව.

      සාබිත්,

      අවස්ථාව අනුව ඒක තීරණය කරන්න ඕනා. හැම විටම එකම විදියක් කියා කියන්න බැහැ. කල්ලිය අනුව ඒකීය පුද්ගලයා අනුව ඒ අවස්ථාව අනුව ඒවා තීරණය කරන්න ඕනා.

      මම කියන්නෙ කල්ලිවාදය නරකයි කියා. තමන් විසින් තෝරාගත හැකි වූ කල්ලි තියෙන නිසා, ඕනෑම අවස්ථාවක හැර දා යන්නට හැකි කල්ලි තියෙන නිසා, කල්ලියක් වූ පමණින් එය නරකයි කියලා නෙමෙයි. කල්ලිවාදයට ගියාම අපිට අවසානයේ කල්ලියත් අමතක වෙලා යනවා. එතකොට “අපිට එරෙහි ඔවුන්” කියන එක මිසක්, ඔවුන්ගේ වැරදි ගැන මිසක්, අපි කවුරුන් ද යන්නත් අමතක වෙලා යනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: