අරුණි ශපීරෝ‍ වෙතින්

රෝමයේ දී රෝමානුවන් කරන දේවල් කරන්න

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 10, 2012

මේ කියමන රෝමයට කිසිදාක ගිය නැති අයත් අසා ඇත්තකි.

මොනවා ද හැබෑටම රෝමානුවන් කරන දේවල්?

මේ කියමනේ මූලාරම්භය ක්‍රි. ව. 387 දී ය. සෙන්ට් ඔගස්ටීන් රෝමයේ සිට මිලානයට යයි. එහි දී පල්ලිය ඉරිදා උපෝෂිතයේ (fasting) යෙදෙන බව හේ දකියි. තමා කුමක් කළ යුතු දැයි ඇසූ විට මිලානයේ බිෂොප්වරයා වන සෙන්ට් ඇම්බ්‍රෝස් ඔහුට කියන්නේ “මම රෝමයේ සිටිය දී මම උපෝෂිතයේ යෙදුනේ සෙනසුරාදා, ඒත් මිලානයේ දී මම ඒක කරන්නෙ නැහැ. ඔයා ඉන්න පල්ලියේ පිළිවෙත අනුගමනය කරන්න,” කියාය.

18 වැනි ශ.ව. අග දී පාප්වහන්සේගේ ලියැවිලි වලද රෝමානුවන් කරන දෑ කරන්න යැයි සඳහන් වී ඇත. ඒ දිවා කාලයේ “siesta” නොහොත් පොඩි නින්දක් ගැසීම ගැන පල්ලියේ කැමැත්ත කුමක් දැයි විමසද්දීය. දින චරියාවේ අංගයක් හැටියට අද කාලයේ රෝමානුවන් මෙන් ම Pope Benedict XVI ද දහවල් කාලයේ පොඩි නින්දක් ගැසීම රෝමානුවෙක් කරන දෙයක් කිරීම සේ සලකයි.

Anatomy of Melancholy ලියන Robert Burton විසින් “When they are at Rome, they do there as they see done” යැයි ඉහත අර්ථය සඳහන් කර ඇත.

ඉතින් අද “When in Rome, do as the Roman do” යන කියමන සුපතල වී ඇත.

මිනිසා විවිධ කල්ලි වලට හිමිකම් කීම ස්වභාවික ය. ඊට රටකින් තව රටකට යන්නට ම ඕනෑ නැත. එක වහලක් යට ජීවත් වෙන පවුලක් ඇතුලේ කල්ලිත් ඇත!!! කල්ලියකට එකතු වූ නිසා ඒ කල්ලියේ නීති රීති අනුගමනය කරන්නට සිද්ධ වේ. හැම කල්ලියක් ම එසේ නොවුනත් සමහර කල්ලි වල නීති රීති කැඩූ විට දඬුවම් ලැබේ. රටකින් රටකට යද්දී තමන් යන රටවල් හැම එකකම නීති රකින්නට සිද්ධ වෙයි. ඒ නීති කඩකළොත් පොලීසියට කුදලා ගෙන යයි. වැරදිකරුවෙක් බව ඔප්පු වුවහොත් දඬුවම් විඳින්නට වෙයි. සමහර රටවල “අහවලා” දන්නවා නම් හෝ “අහවලාට” කීයක් හරි දුන්නාම දඬුවම් විඳින්නට සිද්ධ නොවේ.

නීති කැඩූ නිසා දඬුවම් විඳින්නට සිද්ධ වූවාට රීති කැඩූ නිසා දඬුවම් කරන්නට බැරි ය. රෝමයට යන්නේ නම් දහවල් 12 න් පස්සේ එස්ප්‍රෙසෝ කෝපි නොබීම රීතියකි. එය කඩන සංචාරකයෙක් දැකි විට රෝමානුවන් “OMD!!!” කියනවා මිසක පොලීසියට කුදලා ගෙන යන්නේ නැත.

2012 පෙබරවාරි 5 වැනිදා ඇමෙරිකන් ෆුට්බෝල් ලෝකයේ සුපිරි අවසාන මහා තරඟය වන සුපර් බෝල් වල විවේක කාලයට සිංදු ගයන්නට ගෙන්වා ගත් මියා (MIA) සංවිධානය කළ අයට අනපේක්ෂිත වූ අසික්කිත සිංදුවක් ගයා අසික්කිත ඉරියව්වක් දැක්වූවාය. ඇමෙරිකන් ජනතාව “OMG!!!” කිව්වා මිසක ඇයව පොලීසියට කුදලාගෙන ගියේ නැත.

ඇමෙරිකන් සදාචාරය හා සංස්කෘතිය කුමක් දැයි නොදන්නා ඇමෙරිකානුවන් ද බොහොමයකි. හරියට ධනවාදය කුමක් දැයි කියාත්, නිදහස් වෙළඳපොල කුමක් දැයි කියාත්, ඇමෙරිකන් ව්‍යවස්ථාවේ ඇත්තේ මොනවා දැයි කියාත් නොදන්නා ඇමෙරිකානුවන් බොහොමයක් සිටිනා සේ ම ය!!!

රටකින් රටකට ගියත්, පළාතකින් තව පළාතකට ගියත්, එහි විදියට හැසිරෙන්නට සිද්ධ වූවත් අවසානයේ දී තමන් කරන කියන ක්‍රියා වලින් ප්‍රතිඵල ලබන්නේ තමන් මිස තමන් ගිය රටක වූ කල්ලිය හෝ පළාතේ කල්ලිය නොවේ.

මිනිසාට හිතන්න මොළයක් ලැබී ඇත්තේ තෝරාගැනීමට අවස්ථාවක් සලසනු පිණිස ය. තෝරා ගැනීමට හැකිවන්නේ කරුණු කාරණා සොයා යන්නෙකුට ය. එක කල්ලියකට පමණක් සවන් නොදී හැම කල්ලියේ ම තොරතුරු සොයා බලන්න. මූලාශ්‍ර සොයා යන්න. ඒවා නිවැරදි දැයි බලන්න තවත් මූලාශ්‍ර සොයන්න. විමර්ශනය නැත්නම් තොරතුරු නැත. තොරතුරු සොයා නැත්නම් තමන්ට ඇත්තේ මොන තෝරා ගැනීම් ද කියා දකින්නට ද බැරි ය.

විමර්ශනය නොකරන ලද ජීවිතය ජීවත්වීමට තරම් වූ වටිනාකමකින් තොර ය -සොක්‍රටීස්

“ශක්තිමතා නොව, බුද්ධිමතා නොව, වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කරගන්නේ වෙනසට හැකියාව ඇති යෝග්‍යතමයා ය.” -චාල්ස් ඩාර්වින්

වෙනසට හැකියාවක් ඇත්තේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමෙන් නොවේ. විමර්ශනයෙන් එකතු කරගන්නා තොරතුරු, විචාරයෙන් සොයා බලා, තමන් විසින් කරන තෝරා ගැනීම් තුලිනි.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. Alchemiya said, on අප්‍රේල් 10, 2012 at 11:08 පෙ.ව.

    ඕකට මගේ යාළුවෙක් මරු කතාවක් කියනවා. මිනිහගෙම වචන වලින් කියනවා නම් “Environment එකට Adjust වෙන්න ඕන”…

    අපි වෙනස් වෙන්න ඕන…

    නමුත් අපි ඒ වෙනස් වීමේදී කරන්නේ උඩු ගං බලා පිහිණීමක් නම්, අපි අර පහලට ගහගෙන යන ප්‍රවාහයට අහුවෙලා මිය යනවා.
    පහලට යන ප්‍රවාහය යන්නේ ප්‍රපාතයකට නම්, අපි උඩු ගං බලා ගිහින් මැරෙන්න හරි සූදානම් විය යුතුයි. මොකද කියනවා නම් එතැන යම් පමණකට හෝ ජීවත්වීමේ බලාපොරොත්තුවක් තියෙනවා.

    [වෙනසට හැකියාවක් ඇත්තේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමෙන් නොවේ. විමර්ශනයෙන් එකතු කරගන්නා තොරතුරු, විචාරයෙන් සොයා බලා, තමන් විසින් කරන තෝරා ගැනීම් තුලිනි. ]

    මේ කතාවට නං මම හැමදාම එකඟයි…
    නමුත්, අපේ තෝරා බේරා ගැනීම් අන් අය විසින් බලෙන්ම කරලා දෙන තත්ත්‍වයක් තියෙනවා නම් හෝ තෝරා ගැනීම් සීමාකරලා නම් අපි මොකද කරන්නෙ ? ඒ තැනින් ඉවත් වෙනවාද ? නැතිනම් ඒකත් එක්ක සටන් කරලා විනාශ වෙනවද ?

    • arunishapiro said, on අප්‍රේල් 10, 2012 at 3:37 ප.ව.

      Alchemiya,

      සියළු ප්‍රාණීන් ඔයාගෙ යාළුවා කියන Environment එකට ප්‍රතිචාර දක්වනවානේ.

      ඒත් මිනිසා තරම් විවිධ වූ විෂම වූ ප්‍රතිචාර දක්වන්නට වෙනත් කිසිම ප්‍රාණියෙකුට පුළුවන් ද?!!!!

      අපි වෙනස් වෙන්න ඕන කියද්දී උඩට, පහළට විතරක් කියා සීමා දාගන්න බැහැනෙ. අපි දකින්නෙ හැමදාම තියෙන විදියට ද?
      නැත්නම් පටන් ගන්න ඕන තියෙන දේවල් දිහා වෙනත් විදියකට බලන්න උත්සාහයක් ගන්න වෑයමක් ද?

      සැමන් මාළුවෙක් උඩු ගං බලා පීනන එකත්, පහලට ගලාගෙන යන ප්‍රවාහය එක්ක පීනන එකත්, ස්වභාවිකයි. ඒත් අපි සැමන් මාළුවෝ නෙමෙයිනෙ. අපිට පුළුවන් පීනන්න, දියේ මතුපිට යන “වාහනයකින්” යන්න, දියේ ගැඹුරේ යන “වාහනයකින්” යන්න, දියේ සිට අහසට නංවන float plane එකකින් යන්න …. නැත්නම් ගඟ හරවන්නත්, ඩෑම් ගහන්නත් බැරි කමකුත් නැහැනෙ!!!!

      මම යම් විදියක් පෙන්නුවොත් එයින් වෙන්නෙත් අන් අය විසින් බලෙන් ම කරලා දෙන තත්වය ඇති වීම ම යි. මට සුදුසු වූව තවකෙකුට සුදුසු නැහැ. මම දන්නේ මට සුදුසු වූව තෝරා ගැනීමට පමණයි. ඒ නිසා අයෙක් තමන් ඉදිරියේ ඇති ඕනෑම තත්වයක් හමුවේ එක්කෝ 1 නැත්නම් 2, ඉන් එකක් පමණයි තෝරා ගන්නට තියෙන්නේ කියන හිතුවිලි රටාවේ සිර වී සිටීමෙන් මිදෙන්න ඕනා ….. තව තෝරා ගැනීම් ගණනාවක් එයාට ම හොයාගන්න හැකිවෙන්නේ එතකොට.

      • Alchemiya said, on අප්‍රේල් 10, 2012 at 9:59 ප.ව.

        වරද්ද ගන්න එපා…. පරිසරයට ප්‍රතිචාර දැක්වීමයි හැඩගැසීමයි දෙකක්.
        අපි සීතලට ප්‍රතිචාර දක්වනවා ඇඟ හකුළුවා ගැනීමෙන්.. නමුත් සීතලට හුරු පුරුදු වෙන්න, හැඩ ගැහෙන්න ශීත ඍතු දෙකතුනක් ඉන්න ඕන… ඒ වගේ
        අපිට ලංකාවෙ වෙන දේවල් වලට මෙහේ ඉඳන් පවා ප්‍රතිචාර දක්වන්න පුළුවන්. නමුත් ඒවාට හැඩ ගැහෙන්නෙ ලංකාවෙ ඉන්න මිනිස්සු. අපිට කියන්න පුළුවන් මෙහේ ඉඳන් අපි අල්ලස් දෙන්නෙ නෑ කියලා… නමුත් යමක් ඉක්මනට කරවගන්න ලංකාවෙදි අපට යමක් අතමිට මොලවන්න වෙන්න පුළුවනි….
        අපිට තෝරාගන්න දේවල් තියෙනවා නම් හෝ Options තියෙනවා නම් තෝරා ගන්න බැරි කමක් නැහැ.. නමුත් ලංකාවෙ අපට ඔක්කෝම Options ඒ ගොල්ලොම දීලා අපි තෝරා ගන්න දේත් ඒ ගොල්ලොම තෝරලා දීලා තියෙනවා. මම ඒ ගැනයි කිවුවෙ.
        නෝනා කෙනෙක් මහත්තයාගෙන් ඇහුවලු Dinner ගන්න යමුද කියලා. මහත්තයා ඇහුවලු මොනවද ඔප්ෂන් තියෙන්නෙ කියලා… නෝනා කිවුවලු Yes or No කියලා…
        අපටත් එන්න ඒ වගේ වෙලා තියෙන්නෙ… තියෙන්නෙ ඔප්ෂන් එකක් හෝ දෙකක් නම් එතැනින් එහාට යන්න බෑ.. යන්න හදන එකා විනාශ වෙනවා… ඒ නිසා ක්‍රමය වෙනස් කරන්න ඕන… නමුත් කරන්න කෙනෙක් නෑ… No options.

        • arunishapiro said, on අප්‍රේල් 10, 2012 at 11:11 ප.ව.

          Alchemiya,

          සමහරු කාලාන්තරයක් ජීවත් වුනත් ශීත ඍතුවට හැඩ ගැසෙන්නෙ නැත්තෙ ඇයි?

          ප්‍රතිචාර දැක්වීම විවිධ වෙනවා ලෙසින් ම හැඩ ගැසීමත් විවිධයි. අයෝවා හි බිමට කෙළ ගහද්දී ගල් වෙන සීතල කාලයට ආසා කරන එහි ජීවත් නොවෙන අයත්, එහෙ උපන්, එහි හැදී වැඩී සීතල කාලය දැඩි අකමැත්තෙන් ගෙවන අයත් ඉන්නේ ඇයි?

          කාලයාගේ ඇවෑමෙන්, යමකට හැමදාම මුහුණ දුන් පමණින් ඊට කැමැත්තක්/අකමැත්තක් ඇතිවෙන්නෙ නැහැ. හුරුවෙන එක හරි. අපි අකමැති ගොඩක් දේවල් අපිට හුරුවෙලා තියනවා. සමහර වෙලාවට ඒ හුරුව ඇරගන්න ඉතිරි ජීවිත කාලය ම වෙහෙසෙන අයත් ඉන්නවා. සමහරු යම් හුරුවක් ඇතිකරගන්න ජීවිත කාලයක් වෙහෙසෙනවා.

          හැඩ ගැසීම හෝ හුරු වීම අතර හා තමන් කැමැත්තෙන් තෝරා ගැනීම අතර ලොකු වෙනසක් තියනවා. මිනිසා කැමැත්තෙන් තෝරා ගත්තොත් පමණයි එයාගේ උත්සාහය සාර්ථක වෙන්නෙ. එයින් සතුටක් ලැබෙන්නෙ. අපි හුදෙක් හැඩ ගැසීම හෝ හුරු වීමෙන් අපේ අභිවෘද්ධිය සැලසෙන්නේ නැහැ. අපි නිතරම අළුත් විදියකින් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන වෙහෙසෙන්න ඕනා. එතකොටයි පුද්ගලයාගේ මොළයේ වර්ධනයක් වෙන්නෙ. එතකොටයි නියුරෝන සබඳතා ඇති කරගෙන මොළය අපිට තෝරා ගැනීම් සොයා ගැනීම සඳහා උදව් වෙන්නෙ.

          //අපිට කියන්න පුළුවන් මෙහේ ඉඳන් අපි අල්ලස් දෙන්නෙ නෑ කියලා… නමුත් යමක් ඉක්මනට කරවගන්න ලංකාවෙදි අපට යමක් අතමිට මොලවන්න වෙන්න පුළුවනි….// මේක සිද්ධ වෙන රටවල් දිහා බලන්න. එහෙම නොවෙන රටවල් දිහා බලන්න. හුරුව නිසා හැඩගැසිච්ච නිසා එහි තව තවත් නියැලී සිටීමෙන් සාර්ථකත්වය අත් කරගත් රටක් තියෙනවා ද? ක්‍රමයෙන් නෙමෙයි එය වෙනස් වෙන්නෙ, නීති ගෙන ඒමෙන් නෙමෙයි එය වෙනස් වෙන්නේ, පුද්ගලයා තමන් එයින් ප්‍රතිඵලයක් නැතිබව දැක්ක දාට, අද ඉක්මණින් වැඩක් කරගැනීමෙන් හෙට අඳුරු වෙන බව අවබෝධයෙන් පසු තමන්ගේ තෝරාගැනීම කැමැත්තෙන් වෙනස් කිරීමෙන්.

          මම ලංකාවේ සිටිය දී හා ලංකාවට ගිය කිසිම වතාවක කීයක් වත් දී ඉක්මණින් වැඩක් කරගත්තේ නැහැ. මෙවර ලංකාවේ ආගමන විගමන කාර්යාලයේ පැය පහක් ගෙව්වා, රුපියල් 12,000 ක් දුන්නා දවස් දෙකකට වීසා දික් කරගන්න. ජපානයට ගිහින් එද්දී මුලින් දීපු දවස් 30 ක සංචාරක වීසාවට ජපානයේ සිටි සතියත් ඇතුලත් බව කිව්වත් ටිකට් එකේ යන්න තියන දවස දක්වා වීසාව දික් කරන්න එයාර්පෝට් වීසා නිලධාරියාට අවසර තිබ්බෙ නැහැ. මම වීසා කාර්යාලයට ගියාම එහි හිටපු නිලධාරියා ඇහැව්වෙ ඇයි ද්වි-පුරවැසිබව ගත්තෙ නැත්තෙ? එහෙම නම් වීසා ප්‍රශ්නයක් නැහැනෙ කියල. එක වාසියක් ගන්න වෙනත් වගකීම් අත්හරින්න වෙන බව එයාට පහදලා දෙන්න අවශ්‍යතාවයක් තිබ්බෙ නැති නිසා මම මුකුත් කිව්වෙ නැහැ. මෙහෙ දී යන්න කළින් වොෂිංටනයේ ලංකා එම්බසියෙන් ඇහැව්වම කිව්වෙ එයාර්පෝට් එකේ දී කරලා දේවි කියලා!!! විසා නැතිව සිටියා යන නීතිය නොකඩන්න මම කරපු තෝරාගැනීමයි කාලය හා මුදල් වැය කර වීසාව ලබා ගැනීම. ඒ නීති කඩ කිරීමෙන් ලෝකය කඩා වැටෙන බව දකින නිසා. අපි හැමදාම කරන්නෙ අපි වගේ පුංචි මිනිස්සුන්ට බැහැ නීති නොකඩා ජීවත්වෙන්න කියා රටේ නායකයන් හෝ නායකයන් වෙන්න හදනා අය වෙතින් නීති නොකැඩීම අපේක්ෂා කරන්න. ඒත් තමන් වෙනස් වෙන්න, තමන් නීති නොකඩා යමක් කිරීම නිසා පාඩුවක් විඳගන්න සූදානම් කවුද? අන්න ඒ දවසට තමයි පුද්ගලයා හැදෙන්න පටන් ගන්නෙ. ඒ දවසට තමයි රටක් හැදෙන්නත් පටන් ගන්නෙ. අනිත් අය කරන කම් බලාගෙන ඉන්නෙ නැතිව තමන් විසින් නිවැරදි මාර්ගය අනුගමනයට වෙනස් වෙන්න පටන් ගත් දාට.

          තෝරාගන්න options නැහැ කියන්නෙ උත්සාහයක් නොගන්න කම්මැලි මිනිස්සු. සමහර විට අනුන් විසින් මුලාකර ඇති නිසා තමන්ට ඇති options ගැන සොයන්න නොදන්නා මිනිස්සු. ඇමෙරිකාවේත් එහෙම අය ඉන්නවා මේ කාලේ 40% ක් විතර!!!!

          //නෝනා කෙනෙක් මහත්තයාගෙන් ඇහුවලු Dinner ගන්න යමුද කියලා. මහත්තයා ඇහුවලු මොනවද ඔප්ෂන් තියෙන්නෙ කියලා… නෝනා කිවුවලු Yes or No කියලා…// ඔව්, එක්කො නෝනා එක්ක ගිහින් ඩිනර් ගන්න පුළුවන්, ඩිනර් නොකා ඉන්න පුළුවන්, තමන්ට ඩිනර් හදා ගන්න පුළුවන්, ඩිනර් ගෙදෙට්ට ඕඩර් කරන්න පුළුවන්, යාළුවෙක්ට ඩිනර් අරන් එන්න කියන්න පුළුවන්, යාළුවෙක්ගෙ ගෙදර ගිහින් ඩිනර් ඉල්ලාගන්න පුළුවන්, නෝනා නැතිව ගිහින් ඩිනර් අරගන්නත් පුළුවන් ….අවන්හලකින් විසිකරන කෑම කන්නත් පුළුවන් .. කුණු බාල්දියක් ඇදලා කන්නත් පුළුවන් ….

          //ඒ නිසා ක්‍රමය වෙනස් කරන්න ඕන// තම අභිවෘද්ධිය සඳහා ලෝකයේ සාර්ථක වූ එකම ක්‍රමයයි තියෙන්නෙ මිනිසාට. තමන්ට තෝරා ගැනීම් නැහැයි කිය කියා ඉන්නෙ නැතිව තෝරා ගැනීම් මොනවා දැයි සොයාගන්න වෙහෙසීම. ඒක කරන්නෙ නැතිව පිටස්තර වූ මොන ක්‍රමයක් වෙනස් කළත් ලෝකයේ දිගු කාලීන සමෘද්ධියක් ලැබූ කිසිවෙක් නැහැ.

  2. rangana said, on අප්‍රේල් 10, 2012 at 1:59 ප.ව.

    වවුලාගේ මගුල් ගෙදර ගියාම ඉන්න ඕනේ විදියත් තියනවලුනේ 😉

    • hasithag said, on අප්‍රේල් 10, 2012 at 3:36 ප.ව.

      දේසේ හැටියට බාසේ කියලත් කියනවනේදේසේ හැටියට බාසේ කියලත් කියනවනේ

      • arunishapiro said, on අප්‍රේල් 10, 2012 at 3:58 ප.ව.

        hasithag,

        දේසේ හැටියට බාසේ නොකළොත්:

        කසින් කසින් කස් බෝ වේ
        බසින් බසින් බස් බෝ වේ

        හොරි දද කුෂ්ඨ කැසුවාම තව තව තුවාල වැඩිවෙනවා වගෙ බහින් බස්වීම වැඩි වෙලා අඬදබර පටන් ගන්නවා යැයි කියන එකක් මේක!!!!!

    • arunishapiro said, on අප්‍රේල් 10, 2012 at 3:44 ප.ව.

      rangana,

      අර්ථය එකම තමා නේද? වෙබ් ලෝකයේ සෑහෙන්න දැක්කත් ඔය කතාවේ මූලාශ්‍රය කොහෙන් ද දන්නෑ … අපිත් දවසක ඕවා ආවේ කොහෙන් ද කවුද මුලින් ම කිව්වෙ වගේ දේවල් ඉතිහාසයට එකතු කරාවි ද?

  3. chamila said, on අප්‍රේල් 11, 2012 at 12:02 පෙ.ව.

    ලන්කවේ තියන මර්ග නිති විතරක් රැක ගෙන කොළඹ ඉදන් කුරුණැගලට යන්න.ඔබේ වටිනා කාලය,trip යන්න නම් හොදයි.එක නිතියක්වත් කැඩුවෙ නැත්නම් යන්න බැ ඔය ගමන පැය 5 කින්වත්,වහන දෙකක් මරුවෙන්න ආමාරු පරේ මැද තියන තනි ඉරි ගොඩ,එක කපනවද බලගෙන ඉන්න Police උත්තමයො ගොඩ….

    • arunishapiro said, on අප්‍රේල් 11, 2012 at 6:48 පෙ.ව.

      chamila,

      2008 දී මම කොළඹ සිට කුරුණෑගලට ගිහින් තියෙනවා. ට්‍රිප් එකක් සඳහා නොවෙයි, දේශනයක් පැවැත්වීමට. උදෑසන පිටත් වී මාර්ග නීති රකින රියැදුරු මහත්තයෙක් එක්ක ගියේ. ඒ වගේම 2008 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාහනයක පොළොන්නරුව දක්වා ගියා ඒත් මාර්ග නීති රකින රියැදුරු මහත්තයෙක් එක්ක උදෑසනින් කොළඹින් පිටවූයේ.

      මේ වතාවේ මම කොළඹ සිට නුවර ගියා. ඒ මාර්ග නීති රීති රකිමින් රිය පදවපු රණවිරුවෙක් එක්ක. උදෑසන පාරේ කොතරම් වාහන අඩුදැයි දැක්කා. දුර ගමනක් යන්න නම් ටිකක් උදෙන් නැඟිටලා පටන් ගත්තම අනිත් අය නැඟිටිද්දී ගමනින් බාගයක් ඉවර කරගන්න පුළුවන්.

      මම මෙවර අධිවේගී මාර්ගයේ ද ගියා. එහි යද්දී රියැදුරැ මහත්තයාට නියමිත වේගයට වැඩියෙන් යන්න එපා යැයි නිතර නිතර මතක් කරන්න සිද්ධ වූවා. ඔහු කවදාවත් එතරම් වේගයකින් (පැයට කිලෝමීටර 100) ගිහින් නැති අයෙක්. උදෑසන පටන් ගනිද්දී පාරේ කිසිවෙක් සිටි නැති නිසා අතේ දහදිය දාපු කෙනෙක්. ඩිංගක් හුරු වෙද්දී ඉගිලෙන්න හදනවා. වාහනයේ හිටි මගේ යෙහෙළිය ජර්මන් ඔටෝබාන් එකේ කිලෝමීටර් 240 ට හයියෙන් ගිහින් පුරුදු වුනත්, මට ඇමෙරිකාවේ පැයට සැතපුම් 70 හුරුවක් වුවත් අපි ලංකාවේ දී හිමින් යන්නෙ.

      පියාඹගෙන අඩි දෙසීයක් යන පුරුද්ද නිසා ඉන්ධන කොච්චර පුච්චනවා ද යන්න දන්නවා ද?!!!!

      කාටවත් පැය පහකින් වත් කුරුණෑගල යන්න බැරි හැමෝම නීති කඩන නිසා බව ඔබලා දකින්නේ කවදා ද?!!!

  4. Shanthi Chandrasekera said, on අප්‍රේල් 12, 2012 at 4:21 ප.ව.

    watina lipiyak asawen kiyewwa thanks Aruni


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: