අරුණි ශපීරෝ‍ වෙතින්

අපි වෙනස්! සත්තු වෙනස්!

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 11, 2012

මිනිසා සහ සත්වයා අතර ඇති වැදගත්ම වෙනස කුමක් දැයි කවුරු හරි ඇහැව්වොත් ඔබ දෙන උත්තරය කුමක් ද?

සත්තුන්ට නැති මිනිසාට ඇති වූවක් නම් තමන්ගේ හිත “අරෙහම කරන්න එපා හරි පව්”, “ඔහොම කළොත් අද ගෙදර ගිහින් හමාරයි”, “බේරුමක් වෙන්නෙ නැහැ මේකෙන්,” යනාදී වශයෙන් හිතට වද දීමයි. ඒ සහජයෙන් ඇති සදාචාරය (good conduct, virtue) ගැන හැඟීමකි. නැහැ, නැහැ ඒ ලැබෙන්නේ පරිසරයෙන් යැයි කියන්න ඉක්මන් නොවන්න.

පරිසරය ඊට යම් ප්‍රමාණයක දායකත්වයක් දුන්නත් තමන්ගේ ක්‍රියාවකින් ඇතිවන හොඳ හා නරක ප්‍රතිඵල ගැන “හිත කියන්නකට” සහජයෙන් දාව මිනිසා ඉපිද ඇත. මොළයේ ඒ ස්ථානය පිහිටන්නේ prefrontal cortex (PFC -seat of intelligence) හි ය. අනිත් සත්තුන්ට තියෙනවාට වඩා මිනිස් මොළයේ ඒ කොටස දැවැන්තය. වසර මිලියන පහක මිනිස් පරිනාමයේ දී මිනිස් මොළය තුන් ගුණයකින් වර්ධනය වී තියෙද්දී, ඒ කොටස හය ගුණයකින් වර්ධනය වී ඇතැයි සැලකේ. මිනිස් පරිනාමයේ තවමත් වැඩෙමින් ඇත්තේ එයයි.

අවුරුදු දෙකක දරුවෙක් අසලින් හිටගෙන බිමට වැටි යමක් අහුලන්නට උත්සාහ කරනා බව අඟවා බලන්න. දරුවා එය අහුලා ඔබට දෙනු ඇත. අඬන අයෙකුට තමන් කන විස්කෝතුව දෙන්නට කුඩා දරුවා උත්සාහ කරයි. එයින් ප්‍රතිඵලයක් ඇත්දැයි නැද්දැයි අත්දැක නැති දරුවා එය කරයි. දරුවෙකුට එවැන්නක හොඳ නරක කියා දෙන්නට පෙර දරුවා එය සහජයෙන් ඉටු කරන්නකි. මවක් දරුවාට අහුලා දෙන්නේ, කවන්නේ පොවන්නේ, අඬන විට නලවන්නේ, තම ජානු පැවත්මට යැයි කිය හැකිය. එහෙත් සිත් දිනාගැනීමෙන් කිසිත් වාසියක් ඇතැයි අත්දැකීම් වලින් ඉගෙන ගන්නට තරම් වයසින් මුහුකුරා නැති කුඩා දරුවෙක් තමා අවට ඉන්නා අය දිහා බලා සිනාවෙන්නේ, තවකෙකුට යමක් අහුලා දෙන්නේ, කවන්නට පොවන්නට, නලවන්නට උත්සාහ කරන්නේ ඇයි?

මිනිසා තුල ඇති මේ සහජ හැදියාව ජීවිතය පවත්වා ගැනීමට, වර්ගයා බෝ කිරීමට සහ ආරක්ෂාවට ඔබ්බෙන් ගියා වූවකි. මිනිස් මොළය සත්ව මොළයෙන් වෙනස් වී ඇත්තේ ආකාර කිහිපයකින් සිය තෝරා ගැනීම් වලට බලපෑම් කරත හැකි නිසයි.

-සත්වයා තුල ආහාර සොයා යෑම, අව්වෙන් වැස්සෙන් බේරී සිටීමට වහලක් සොයා ගැනීම, වර්ගයා බෝ කිරීම … යනාදී කටයුතු වල දී ජීවිතය පවත්වා ගැනීමටත්, වර්ගයා බෝ කිරීමටත් මොළයෙන් කරන බලපෑම් ඇත.

-එසේම සත්වයා තුල තමන් ඉදිරියේ වූ තර්ජනයකින් ගැලවෙන්නට මාර්ගයක් සොයනා පද්ධතියක් ද ඇත.

එහෙත් අනිත් සත්වයන් ගෙන් ඔබ්බට යන මිනිස් මොළයේ ඉහත දෙකට එකතු වෙන තවත් මෙහෙයුම් පද්ධති දෙකක් ඇත.

-එකක්, අනිත් අයව විශ්වාස කරන්නට, අනිත් අය ගැන කැක්කුමක් ඇතිකරන්නකි. එසේම අනිත් අය වෙතින් විශ්වාසයක් ලබන්නට, අනිත් අයගේ කැක්කුම ලබන්නට ඇති වූවකි.

-අනික, තමන්ගේ ජීවිතයේ අර්ථය කුමක් දැයි පහදා ගන්නට තැත් දරන්නකි.

මිනිසා නොවන සත්තු තමන් නොදන්නා අයව බේරාගන්නට ජීවිතය පරදුවට තබා වෙහෙසෙන්නේ නැත. නොදන්නා නොහඳුනන ප්‍රාණීන්ගේ විශ්වාසය දිනා ගන්නට හෝ උන්ගේ සිත් දිනාගන්නට කියා හෝ ඔවුන්ගේ සුවසෙත පිණිස වෙහෙසෙන්නේ නැත.

එසේම, තමන්ගේ ජීවිතයේ අර්ථය කුමක් දැයි පහදා ගන්නට තියන අඹගෙඩි සියල්ල දන් දී වනගත වෙන්නේ නැත!!!

සත්වයා තීරණ ගන්නේ ජීවිතය පවත්වා ගැනීමට, වර්ගයා බෝ කිරීමට සහ ආරක්ෂාවට පිණිස වූ කළ ඊට ඔබ්බෙන් ගියා වූ කල්ලිය හා එක්වන්නටත් ජීවිතයේ අර්ථය සොයන්නටත් වූ සහජ බලපෑම් මොළයේ පිහිටන නිසා තෝරා ගැනීමක් කරද්දී මිනිසා තුල එකවර එකිනෙකට පරස්පර වූ අභිප්‍රේණ සංඛ්‍යාවක් නළියන්නට පටන් ගනියි. ඒ නිසාම තමන්ට පිළිගත හැකි තීරණයකට එළඹෙන්නට මිනිසාගේ මොළය ස්වභාවයෙන් ම හැඩගැසී ඇත.

තෝරා ගැනීම සිද්ධ වෙන්නේ ඒ පරස්පර කැමැත්තන් සියල්ලම ඉටු කරන්නේ කෙසේදැයි විමසද්දී ය. සත්වයාට සේ නොව මිනිසාට වැදගත් යැයි හිතෙන දේවල් වැඩියි. ප්‍රතිචාරයක් දැක්විය යුතු යැයි හිතෙන දේවල් වැඩියි.

ඩාර්වින් ඉදිරිපත් කළ පරිනාමවාදයේ සත්ව චර්යාවන් ගැන වැඩියෙන් අවධානය යොමු කළ පරිනාමවාදී ජීවවිද්‍යාඥයන් චාල්ස් ඩාර්වින්ගේ මිනිසා ගැන වූ තියරියන්ට වැඩි සැලකිල්ලක් දක්වා නැතත් අවධානය යොමු කළ අය සොච්චමක් සිටිති!!!

****

තල්මසාගේ මොළය මිනිස් මොළයකට වඩා විශාල ය. එහෙත් තල්මසුන්ට ඇත්තේ මිලියන 10,500 ක cortical neurons ප්‍රමාණයකි. අප්‍රිකානු අලියෙකුට cortical neurons මිලියන 11,000 ක් ඇතැයි සැලකේ. තල්මසාට හා අප්‍රිකානු අලියාට වඩා ඉතා අඩු ශරීර ප්‍රමාණයකින් වූ මිනිසාගේ මොළයේ cortical neurons මිලියන 16,000 ක් ඇතැයි 2009 දී ගණනය විය. තල්මසුන්ගේ cortex එක තුනී ය. මිනිස් මොළයේ neuron packing density (NPD) මිලියන 25-30,000 නියුරෝන/mm3 වෙද්දී තල්මස් මොළයේ ඇත්තේ මිලියන 10-15,000 NPD ය.

වැඩි විස්තර සඳහා කියවන්න: Evolution of the Primate Brain: From Neuron to Behavior, Edited by Michel A. Hofman, Dean Falk (2012)

****

තීරණ ගන්නේ කවුද?

තොරතුරු බහුල තක්බීරි ලෝකයක්

හිතට බොරු කියා හිතෙන් වැඩ ගන්න බැහැ

දැකීම හා අවබෝධය නැතිව හිතෙන් වැඩගන්නත් බැහැ

එක සිතුවිල්ලක් මොළය වෙනස් කරයි

Advertisements

25 Responses

Subscribe to comments with RSS.

  1. Sudath said, on අප්‍රේල් 11, 2012 at 10:33 පෙ.ව.

    මමත් හොයපු කාරණයක් ගැන ලිය‍වුනු හොඳ ලිපියක්. ස්තුතියි.
    මට හිතුනු තවත් දෙයක් තියනවා. ඒක මේ වගේ.
    සත්තු හිතන්නෙ වර්තමානය, මේ මොහොත ගැන විතරයි.
    හැම මිනිහෙක්ම, අඩු වශයෙන් ඊ ළඟ කෑම වේල ගැන හිතනව.
    ඒ අතරෙදි සමහර මිනිස්සු, හෙට ගැන, ඊ ළඟ සතිය, මාසය ගැන හිතනවා. ඒ වගේම සමහර අය ඊ ළඟ අවුරුද්ද ගැනත්, තවත් අය තමන්ගෙ ඉතිරි ජීවිත කාලය ගැනත් හිතනව.
    ඉඳ හිට කෙනෙක් මරණින් එහා අනාගතයක් ගැනත් හිතනව.
    මෙහෙම හිතන කාලය වැඩි වෙන්නෙ මොලේ කොතනක හරි තියන වර්ධනයක් නිසාද?

    • arunishapiro said, on අප්‍රේල් 11, 2012 at 4:34 ප.ව.

      Sudath,

      ස්තූතියට ස්තූතියි.

      මිනිසාට තමයි හැකියාව තියෙන්නෙ අතීතය වමාරන්න. අනාගතය ගැන හිතන්න. ඔයා කිව්වා හරි. සත්තු හිතන්නෙ වර්තමානයෙන්. අතීතයේ වූ අත්දැකීම් වලින් ලැබිච්ච හුරුවක් (conditioning) තිබ්බාට අතීතය ගැන මිනිසාට වගේ හිතලා අද ආවේගයන් (දුක, සතුට ..) ලබන්න බැහැ. අනාගතය ගැන යමක් කරන්නෙ, කුරුල්ලො ගෙවල් හදනවා වගේ, සහජයෙන් දායක වූ දැනුමෙන් මිසක් හිතලා නෙමෙයි.

      මිනිසා තම මොළය පාවිච්චියට ගන්නවා ද, එය ප්‍රමාණයෙන් ලොකු වෙනවා කියනවාට වඩා (ඔළුව ඉදිමෙනවා වගේ), මොළයේ නියුරෝන සබඳතා වලින් වැඩි වෙනවා කිව්වොත් නිවැරදියි. ඒකයි අර NPD වලින් කියන්නෙ.

      ඕනෑම දෙයක් ගැන හිතන කාලය තීරණය කරන්නේ පුද්ගලයා විසින්. පුද්ගලයාට සහජයෙන් ම “හිතන්න” මොළය හැදිලා තියෙනවා.

      ඇල්බට් අයන්ස්ටයින්ගෙ coretx එක තුනී වුනාට ප්‍රමාණයෙන් සාමාන්‍ය මිනිහෙක්ගෙ තරමට තිබිලා තියෙන්නෙ. cortex එකේ volume එකයි NPD එකයි තමයි තීරණය කරන්නේ කොච්චර සබඳතා ඇති කරගෙන ද කියලා. ඉතින් අයන්ස්ටයින්ගෙ cortex එක තුනී වුනාට එයාගේ NPD වැඩියෙන් තිබිලා තියෙනවා. වැඩියෙන් නියුරෝන සබඳතා තියෙනවා නම් වඩා ඉක්මණින් තෝරාගැනීම් කරන්න information process හැකියාව ලැබෙනවා.

      තවත් විදියකින් කිව්වොත්:

      හිතන කාලය වැඩිවෙන්නෙ මොලේ කොතනක හරි ඉබේම ඇතිවන වර්ධනයක් නිසා නෙමෙයි. හැමෝටම හිතන්න පුළුවන් මොළයක් තියනවා. එකම දේ ගැන හැමදාම එකම විදියට හිතන, අනිත් අයට වඩා වැඩි කාලයක් හිතන අයත් ඉන්නවා. නොහිතා ඉන්න කාටවත් බැරි නිසා හැමෝම මොකක් හෝ දෙයක් ගැන හැම තිස්සේ ම හිතනවා.

      වැඩියෙන් හිතන්න කාලය යෙදුවාය කියා වැඩියෙන් මොළය වර්ධනය වෙන්නේ නැහැ.

      මොළයට ඉබේ හිතට එන අදහස් වලට බාහිරව තොරතුරු ලබාදෙන්න ඕනා. අළුත් තොරතුරු ඇතුල් කරද්දී මෙතෙක් තිබූ මතකයෙන් හා අළුත් තොරතුරු එකතු කරමින් මොළය උපදවන නියුරෝන සබඳතා වලින් “අමුණා ගැනීම” තමයි මොළයේ වර්ධනයක් ඇති කරන්නේ.

      ඒකයි ඇල්සයිමර්ස් රෝගියෙක් තුල මොළයේ නියුරෝන සබඳතාවන් අඩුවෙලා යන්නේ. අළුතින් කිසිවක් ඇතුල් කර තියන මතකය හා අමුණා ගැනීම් නොහැකි නිසා. ඒත් ඇල්සයිමර්ස් රෝගියෙක් නොහිතා ඉන්නවා කියාත් අපට කියන්න බැහැ. ඔවුන් හිතුවාට වෙන්නෙ නියුරෝන සබඳතා ඇතිවෙන්නෙ නැතිකම.

      සත්ව මොළයේ primates දක්වා අළුතින් අමුණා ගැනීම් නැහැ. primates ට හැකියාව ඇත්තේ යම්තාක් සීමාවකට. බල්ලෙක්ට උගෙ සහජ ගති එක්ක එකතු වෙලා අමුණාගත හැකි වූවක් කියලා දෙන්න පුළුවන් වුනාට බල්ලෙක්ට ඇඟිල්ලක් දික්කරලා අර ඈත පෙන්නුවොත් ඌ බලන්නෙ ඇඟිල්ල දිහා නැත්නම් ඇඟිල්ල අයිති අයගෙ මුහුණ දිහා.

      නුහුරු දෙයක් වටහා ගන්න නැත්නම් “අමුණාගත” හැකියාව තමයි බුද්ධිය කියන්නෙ.

      නිරෝගී අපි හැමෝටම බුද්ධිමත් වෙන්න පුළුවන් මොළයක් ඇතුව ඉපදිලා ඉන්නෙ. අපි එයින් ප්‍රයෝජනයක් ගන්නවා ද, ඊට අළුත් තොරතුරු දෙනවා ද මත තමයි එය වර්ධනය වෙන්නෙ.

      දිග වැඩි වුනා නේද?

      • Sudath said, on අප්‍රේල් 12, 2012 at 4:06 පෙ.ව.

        දිග වැඩි වුනත් පිළිතුරට විස්තර ගොඩක් ඇතුළත් වී ඇති නිසා එය වටිනවා.
        මා “හිතන කාලය” යනුවෙන් කීවේ “සිතීමට ගත කරන කාලය” ගැන නෙවෙයි ඇත්තටම. මගේ කමෙන්ට් එක කෙටි කරන්න ගිය නිසා මට අවශ්යී දේ කියවිලා නැහැ. මා “හිතන කාලය” කියා කීවේ, “හිතන දුර” කියන එකටයි. මෙන්න මේ වගේ කල්පිතයක් නිවැරදිද කියලයි මං අහන්නේ.
        • මොලේ අඩු නිසා සත්තු වර්තමානය පමණක් හිතනවා.
        • යම්තම් මොළය වර්ධනය වූ මිනිහෙක් දවල්ට කාලා රෑට කන්න හොයාගන්නෙ කොහොමදැයි සිතනවා.
        • සාමාන්යුයෙන් මොළය වර්ධනය වූ මිනිස්සු, හෙට දවස ගැන, ලබන මාසය ගැන, හිතනවා.
        • සෑහෙන දුරකට මොලය වර්ධනය වූ අය තමන්ගෙ අනාගත ජීවිත කාලය ගැනත් දරුවන්ගේ හිතවතුන්ගේ වෙනත් අයගේ අනාගතය ගැනත් හිතනවා.

        • arunishapiro said, on අප්‍රේල් 12, 2012 at 8:29 පෙ.ව.

          Sudath,

          ඔව් සත්වයාගේ ස්වභාවික මොළය හැදී තියෙන්නේ ම මිනිසාට වගේ පැවැත්ම හා ආරක්ෂාව අභිබවා යන හිතන හැකියාවන් නොමැතිව. ඒක මොලේ අඩුවක් ද කියන එක විවාදාත්මකයි. උන්ට එයින් පැවැත්ම හා ආරක්ෂාව ලැබී වඳ වී නොයන්නට ඉඩ ලැබුණා නම් එය අඩුවක් කියන්න පුළුවන් ද? තවත් විදියකින් ඇහැව්වොත් එහෙම නම් මොළේ හැදිලා තියෙන්නෙ එතැන අඩු යැයි කිව හැකි ද?

          ඒත් මිනිසාගේ මොළය හැදී තියෙන්නේ ම පැවැත්ම හා ආරක්ෂාව අභිබවා යන හිතන හැකියාවන් ඇතිව. මිනිසාට ස්වභාවයෙන් ලැබි හිතන්න හැකියාවෙන් තමයි
          • මිනිහෙක් දවල්ට කාලා රෑට කන්න හොයාගන්නෙ කොහොමදැයි සිතනවා.
          • හෙට දවස ගැන, ලබන මාසය ගැන, හිතනවා.
          • තමන්ගෙ අනාගත ජීවිත කාලය ගැනත් දරුවන්ගේ හිතවතුන්ගේ වෙනත් අයගේ අනාගතය ගැනත් හිතනවා.

          ටික කරන්නෙ. ඒ සියල්ල ස්වභාවික ලැබීමක්. ඒවා කරන අය නොකරන අය සිටීම තවත් කතාවක්.

          එතැනින් ඔබ්බට යන්නා වූ හිතන හැකියාව දියුණු කරගන්නා තමයි නිර්මාණයන් බිහිකරන්නෙ, අළුත් දේවල් සොයාගන්නෙ. මම දැන් සෑහෙන කාලයක සිට එන්න හදන්නෙ මෙතැන විස්තර කරන්නට … තාම මඟ.

  2. NoMan'sLand said, on අප්‍රේල් 11, 2012 at 12:25 ප.ව.

    ලිපියේ අරමුන ආගමෙන් තොරව හෝ සමාජයෙන් පොවන ලද සදාචාරයකින් තොරව හරි වැරැද්ද තෝරා ගැනීමට මිනිසාට සහජයෙන්ම හැකියාවක් ඇතැය් කීම නම් එයට සම්පූර්නයෙන් එකඟ වෙමි‍. සතුන් තමන්ගේ එවුන් බේරා ගන්නට වෙහෙසෙන්නේ නැතැය් කීමට එකඟ නැත. ඕනෑ තරම් උදාහරන යූටියුබ් වෙබ් අඩවියේ සර්ච් කිරීමෙන් හෝ ඇනිමල් ප්ලැනට් නාලිකාව පැය කිහිපයක් නැරඹීමෙන් සොයා ගත හැක.

  3. දයියා said, on අප්‍රේල් 11, 2012 at 12:47 ප.ව.

    හරිම වැදගත්. බොහෝ වෙලාවට අත්‍යාවශ්‍ය වෙන කරුණු ටිකක්. ස්තුතිය ඔයාට

  4. maathalan said, on අප්‍රේල් 11, 2012 at 12:56 ප.ව.

    සතුන් ගැන කාරණයේදි සමහර කරුණු පරස්පරයි නේද..

  5. dishan83 said, on අප්‍රේල් 11, 2012 at 4:42 ප.ව.

    අරුණි අක්කා ට බොහොම ස්තුති මෙ ලිපිය පල කිරිම පිලිබද. මටත් මෙ දවස් වල හිතෙන දෙයක් මෙ මොලයෙ තියෙන පුදුමාකර ඥානය මෙ සිමාවක් නොමැති ඥානයෙන් තව කොතරම් නම් අලුත් දෙවල් ඉපදෙයි ද උපදවා ගත හැකි දැනුම. විශ්වයෙ ඥානය නම් පුදුමාකාරයි මෙ පිලිබද ඉදිරියටත් ලිපි පෙලකින් දැනුවත් කරන්න.

    • arunishapiro said, on අප්‍රේල් 11, 2012 at 5:18 ප.ව.

      dishan83,

      ඔයාටත් ස්තූතියට ස්තූතියි 😀

      තව ලියන්න නම් ගොඩක් දේවල් තියනවා … අමුණා ගැනීමේ පහසුව සඳහා වෙන දේවල් ගොඩක් ගැනත් ලියන්න වෙන එක තමයි තනිකරම මොළය ගැන ලියන්නට බැරි හේතුව.

  6. යාපා said, on අප්‍රේල් 12, 2012 at 4:00 පෙ.ව.

    හොඳයි අරුණි උත්තරයක් දෙන්න බලන්න:

    ඇටිකුකුළා කුකුළෙක් ද?

  7. Ravi said, on අප්‍රේල් 12, 2012 at 4:51 පෙ.ව.

    / සත්තු හිතන්නෙ වර්තමානයෙන්. අතීතයේ වූ අත්දැකීම් වලින් ලැබිච්ච හුරුවක් (conditioning) තිබ්බාට අතීතය ගැන මිනිසාට වගේ හිතලා අද ආවේගයන් (දුක, සතුට ..) ලබන්න බැහැ./

    අරුණි, මේ විදිහට ස්ථිරව කියන්න පුළුවන්ද? අපි නොදන්න දෙයක් ගැන නිගමනයකට එළඹෙන්නෙ ඒ ගැන නීරීක්ෂණය සහ දත්ත රැස් කිරීමෙන්…මට ආපු ගැටළුව තමයි සතුන්ට අනාගතය ගැන හිතන්න බැහැමද? අවම වශයෙන් පරිණාමයේ ඉහල මට්ටමක ඉන්න සතුන්ටවත්?…..

    සත්වයා සහ මිනිසා අතර වෙනස ගැන අර්ථ දැක්වීම අනුව නම් මට හිතෙන්නෙ මනුෂ්‍ය වර්ගයාගේ බහුතරයක්, විශේෂයෙන් ශ්‍රී ලංකාවෙ නම් අවම තරමින් සීයට අනූවක්වත් ආපසු ගමනක ( Back Tracking ) යෙදෙනවයි කියලමයි….. 🙂

    I think, therefore I am. – Descartes

    They don’t think, therefore they are not …එහෙමත් නැත්නම්……It thinks, therefore it is …… : D

    • arunishapiro said, on අප්‍රේල් 12, 2012 at 8:40 පෙ.ව.

      Ravi,

      මම නෙමෙයි එහෙම පෙන්වන්නේ මොළ ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයන්. අද මිනිස් මොළ ස්කෑන් වලින් වගේ ම සත්තුන්ගේ මොළ ස්කෑන් වලින් ද දවසින් දවස නිකුත් වෙන දත්ත වලින් පෙන්වන්නේ එහෙම. ගොඩක් විද්‍යාත්මක දත්ත, මම සටහනේ සඳහන් කරපු පොතෙන් ලබාගන්න පුළුවන්. ඒවා ලියන්න ගියොත් මේක කියවන්න එන අය තවත් අන්දබූත වෙයි.

      මනුෂ්‍ය්‍යා ලෝක ඉතිහාසයේ කවදාක වත් නොසිතූ නොවිරූ වේගයකින් අද ඉදිරියට යනවා. එකිනෙකා අතර සබඳතාවයන් දේශ සීමා මායිම් නැතිව පවත්වා ගත හැකිවීම එහි දැවැන්ත වාසියක්. උතුරු කොරියාවේ, කියුබාවේ එහෙම ඉන්න අයට පව්. මිනිසා දැනුම ලබාගන්නේ තමන් තනියම සොයාගන්න දැනුමෙන් පමණක් නෙමෙයි. අනිත් අය එකතු කරන දැනුමත් තම දැනුමට එකතු කර ගැනීමෙන්. හරියට මයිකල් හොෆ්මන් සහ ඩීන් ෆෝක් දෙන්නා ලියපු පොත කියවලා මමත් දැනුමක් එකතු කරගත්තා, ඒ දැනුමෙන් ටිකක් ඔයාලා එක්කත් බෙදා ගත්තා වගේ 😀

  8. iupasanta said, on අප්‍රේල් 12, 2012 at 8:51 පෙ.ව.

    මේ මාතෘකාව දැක්කම මට මතක් උනේ “සිංහබාහු” නාට්‍යයෙ සිංහය “මම දැන ගතිමි, මම සැක කලෙමි” කියන එක ඒ පෙළට ලියුව එක ගැන කිව්වයි කියන කතාන්දරය.

    • arunishapiro said, on අප්‍රේල් 13, 2012 at 1:26 ප.ව.

      iupasanta,

      මොකක් හරි දැක්කම කොහේ හරි ඔළු කට්ටෙ අස්සක තිබ්බ තවත් අමුණාගන්න දෙයක් අපි හැමෝටම තියෙනවා!!!

  9. drsnhewage said, on අප්‍රේල් 21, 2012 at 1:36 පෙ.ව.

    මට ලිපිතුරක් ලබා ෙදන්න. මම බලාෙගන ඉන්ෙන් ඊෙය් ඉදලා.අැයි තවමත් ඔයා නැත්ෙත්

    • arunishapiro said, on අප්‍රේල් 21, 2012 at 9:00 පෙ.ව.

      drsnhewage,

      මා කවුදැයි දැනගන්නට නම් දකුණු පැත්තෙ තියන “පසුගිය සටහන්” මුල ඉඳලා ම කියවාගෙන ආවොත් යාන්තමින් පුළුවන් වේවි.

      මගේ තනි උත්සාහයට අතදෙන්නට ඉදිරිපත් වීම ගැන ස්තූතියි, ඒත් මේ තනි වැඩේ තනියම කරගෙන යෑමයි මගේ කැමැත්ත.

      ඔබේ අදහස් බෙදා ගන්නට http://www.wordpress.com හෝ http://www.blogger.com හෝ වලින් ඔබගේ ම බ්ලොග් එකක් පටන් ගන්න. ඔබ දැන හඳුනාගන්නට කැමති අයත් ඔබ හා අදහස් බෙදා ගන්නට කැමති අයත් එවිට ඔබ හා එක්වේවි.

  10. Sudath said, on අප්‍රේල් 21, 2012 at 1:41 ප.ව.

    එතකොට අරුණි, සත්තුන්ට කමෙන්ට් වගේ දේවල් ලියන්නම බැරිද?

  11. දූපත් වැසියා said, on අප්‍රේල් 22, 2012 at 1:47 පෙ.ව.

    මෙම ලිපිය “මිනිසුන්ගේ හා සතුන්ගේ වෙනස බටහිර ඇසකට පෙනෙන හැටි” කීවොත් හරි නේද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: