අරුණි ශපීරෝ‍ වෙතින්

මී මැස්සො වෙන්නලු … මේ හිතන්න පුළුවන් දරුවන්ට?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 13, 2012

මිනිසා තුල ස්වභාවයෙන් ප්‍රාජකයන් (drive) හතරක් ඇතැයි මොළය ගැන පර්යේෂණ පවත්වන නූතන විද්‍යාඥයන් ඔප්පු කරති. සත්වයන් තුල ඇති ප්‍රාජකයන් දෙකට වඩා ඔබ්බකට යන අනිත් දෙක නිසා මිනිසා මුහුණ දෙන යම් තෝරා ගැනීමක් ඉදිරියේ දී සිත තුල වූ මේ ප්‍රාජකයන් හතර අතර කැළඹිල්ලක් හට ගනියි. එයින් එකක් නොව ඒ හතරම තෘප්තිමත් වන තීරණය තෝරාගැනීමට මිනිසාට ලැබි ස්වභාවික මෙහෙයුම් පද්ධතියයි මිනිස් මොළය.

වැඩිවිය පැමිණි මිනිසා නොවන සත්වයාට වර්ගයා බෝ නොකර “දැන්ම දරුවො හැදුවොත් උන්ට කන්න බොන්න දෙන්නෙ කොහොම ද?” යැයි සිතන්නට නොහැකිය. වැඩිවිය පැමිණි මිනිසා තම අනාගතය ගැන තමා තුල ඇති එතෙක් එක්කාසු කරගත් දැනුමෙන් විචාරා බලයි. තෝරා ගැනීමක් කරයි. ඒ එසේ කරන්නට ස්වභාවයෙන් ම දායාද වූ මොළයක් ඇති හෙයිනි.

1853 දී ලොරෙන්සෝ ලොරේන් ලැන්ග්ස්ට්‍රොත් නැමත්තා On the Hive and the Honey-Bee යනුවෙන් මී මැසි පාලනය සඳහා වූ අත්පොතක් ලියුවේය. මෙයින් ඔහු ලොවට ඉදිරිපත් කළේ මී මැස්සා පාවිච්චි කරන නියමිත ඉඩකඩ ඇතිව, ඉවතට ගත හැකි රාමු වලින් සකස් කරන ලද, උඩින් ඇරගත හැකි වූ, කෘතිම මී මැසි බෙන හදාගන්නා ක්‍රමයකි. ඒ ක්‍රමය ලොවට ඉදිරිපත් කර වසර 159 කට ළං වී ඇතත් තවමත් මිනිස් ලෝකයේ මී මැසි පාලනය ඔහුගේ විධි ක්‍රමය මත පදනම් වී ඇත.

ලැන්ග්ස්ට්‍රොත් එම කෘතිය සංශෝධනය කරමින් 1875 දක්වා විටින් විට පළ කර අනතුරුව Charles Dadant සහ ඔහුගේ පුත් Camille Pierre Dadant වෙත අළුතින් සංශෝධනය කර මුද්‍රණයට බාර දුන්නේ ය. 1889 දී පටන් ගත් ඩැඩන්ට් උත්සාහය 1891 දී ප්‍රංශ භාෂාවටත්, 1892 දී රුසියානු භාෂාවටත් පසුව ඉතාලි, ස්පාඤ්ඤ, පෝලන්ත භාෂා වලින් ද පළ කරන ලදි. චාල්ස්ගේ අභාවයෙන් ඔහුගේ පුත්‍රයා විසින් එය නැවත සංශෝධනය කර පළ කරන්නේ 1907 දී ය. ඔහු 1938 දී මිය යයි.

ජේම්ස් ඩැඩන්ට් නම් වූ මුනුපුරෙක් දෙවැනි ලෝක යුද්ධ සමයේ දී පොතේ සංශෝධන බාරකාරත්වය ලද්දේ ය. අයෙක් තනිවම කරනවාට වඩා ඒ ඒ අංශයේ දැනුම ඇති අය විසින් ලියන්නට කර්තෘ මණ්ඩලයක දායකත්වයකින් ලිවීම වඩා යෝග්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. ජේම්ස් ඩැඩන්ට යුද්ධයට යන්නට සිද්ධ වූ නිසා සියල්ලෝගේ ම දායකත්වයෙන් කරන සංශෝධන වල බාරකරත්වය American Bee Journal කර්තෘ Roy A. Grout ට බාරවිය.

The Hive and the Honey Bee කර්තෘ සමූහයකගේ දායකත්වයෙන් ලොවට පිරිනැමෙන්නේ 1949 දී ය. මෙය අද කර්තෘන් 32 කට ආසන්න පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වෙන්නකි.

මී මැසි බෙනයක රැජිනක්, වැඩකරන මී මැස්සන්/මැස්සියෝ සහ පැටව් තමන් විසින් තනි තීරණ ගෙන කටයුතු කරනා හිතන හැකියාවන් වලින් නොයුතු ප්‍රාණීන් ය. ඔවුනට ඇත්තේ ප්‍රාජක දෙකකි. රැජින යැයි නම් දැරුවාට රැජිනගේ කැමැත්ත පැටව් බිහිකිරීම නොව ලෝකය බලන්නට යෑම කියා ඇයට බෙනයෙන් ඉගිලී යා නොහැක. ඇය වටා පැතිරෙන ස්වභාවික වූ 9-ODA හෝර්මෝනය නිසා වැඩි දුරක් යන්නට පෙර මී මැස්සෝ ඇයව වටකරගෙන ඇය ලවා පැටව් බිහි කරවා ගන්නට පොර කති. රැජිනට ඇත්තේ ලෝකය බලන්නට යෑමට නොව පැටව් දැමීමට ස්වභාවයෙන් ම ජනිත වී ඇති ප්‍රාජකයකි.

ඉහත පොතේ Honey Bee Pheromones නමින් 9 වැනි පරිච්ඡේදය ලියන Murray S. Blum නූතන විශ්ලේෂණ රසායනවිද්‍යාවේ දියුණුවෙන් මී මැස්සන්ගේ රසායන වූ පණිවුඩ හුවමාරුව මනාව විස්තර කරයි. හඳුනාගත හැකි වූ රසායන පණිවුඩ යවන්නේ කවුද ඒවා අනුව අනිකුත් මැස්සෝ චර්යාව සකස් කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කරයි.

මී මැසි බෙනයේ රැජිනගේ mandibular ග්‍රන්ථියෙන් වාහනය වන රසායන අතර ප්‍රධාන වූවක් (9-ODA) කරන්නේ වැඩකරන මී මැසියන්ගේ ඩිම්බකෝෂ වර්ධනයත්, රැජිනක් ඇතිකිරීමත් ඇණහිටුවීමයි. වැඩිවියට පත් වී නැති, සීල්තැබූ සිරගෙදරක ඉන්නා රැජිනක් වුවත් රැජිනක් ඇතිකිරීම ඇණහිටුවන රසායන නිකුත් කරයි. සංසර්ගයේ යෙදී නැති හා රැජිනගේ කාර්යයෙන් ඉවත් වූ මී මැස්සියන්ට වඩා සංසර්ගයේ යෙදී ඇති රැජිනකගේ mandibular ග්‍රන්ථි වඩා වෙහෙසෙති.

වැඩකරන මී මැස්සන්ට ඇති Nasonov (ඒ 1883 දී එය සොයාගත් රැසියානුවාගේ නමයි) ග්‍රන්ථිය රැජින තුල වර්ධනය වෙන්නේ ඉතා මඳ ප්‍රමාණයකිනි. මෙම ග්‍රන්ථිය බෙනයේ දොර ළඟ සිට කඳ උස්සා තටු වේගයෙන් ගසමින් රෝස මල් සුවඳක රසායනයක් දැඩියෙන් පතුරුවා හැර වැඩකරන මී මැස්සන්ට අතරමං නොවී නැවත බෙනයට එන්නට පාර කියා දෙයි.

මී මැස්සාට අවශය වූ පමණින් ඌ ස්වභාවයෙන් නිමැ වී ඇති ආකාරය වෙනස් කළ නොහැකිය. මිනිසා ස්වභාවයෙන් නිමැ වී ඇත්තේ මී මැස්සන් ලෙසින් නොවේ. දරුවන් හදන්නට කැමැත්තක් නැත්නම් මිනිසා ජීවිතයේ අර්ථය සොයන්නට පැවිදිවන්නට හැකි සිතකින් ඉපිද ඇත. රැජින බලාගන්නට කැමැත්තක් නැත්නම් “බෙනයෙන්” පිට වී යන්නට හැකි සිතකින් මිනිසා ඉපිද ඇත. රැජිනට පමණක් දරුවන් හදන අයිතිය දෙන්නට කැමැත්තක් නැත්නම් තමන්ගේ දරුවන් හදන්නට නොහැකි රසායන හමා අවුත් එය ඇණහිටුවන්නේ නැති ලෙසකින් මිනිසා ඉපිද ඇත!!!!

හිතන්නට හැකි දැනුමෙන් මිනිසාගේ ජීවිතය යහපත් වෙන්නේ අනිත් අය සොයාගත් දැනුමෙන් තමන් ද යමක් ඉගෙන ගන්නවා නම් පමණයි. 1853 දී ලැන්ග්ස්ට්‍රොත් සොයාගත් දැනුමට තව දැනුම එකතු කරමින්, 1883 නැසොනොව් සොයාගත් ග්‍රන්ථියට තව දැනුම එකතු කරමින්, නූතන රසායන විද්‍යාඥයන් නැසනොව් ග්‍රන්ථිය විසුරුවා හරින රසායනයේ සුවඳ රෝසමල් සුවඳක් යැයි සොයාගන්නට සමත් වූහ. ඉහත පොත තවත් කාලාන්තරයක් යනතුරු මී මැසි බෙනයක කතාව තව තවත් පැහැදිලි කරන්නට සමත් වෙනු ඇත.

බෙනයක මී පැණි නිෂ්පාදනය කරනවා සේ හිතන්නට හැකි මිනිසුන්ගෙන් වැඩ ගන්නට නොහැකිය. මිනිස් මොළය එසේ සකස් නොවූවකි. රැජිනක් ලෙසින් හැදිච්ච මිනිසෙක් හෝ වැඩකරන මී මැස්සෙක් සේ හැදිච්ච මිනිසෙක් ලොව නැත.

“ක්ෂිතිජයට ඉහළින් ලෝකය දැකිය හැකි උගතෙක්” බිහිවෙන්නේ ලෝකය වටා පැතිරෙන දැනුම එකතු කරගන්නටත්, ඒවා විමසා බලන්නටත්, තහනම් බාධක නොමැති විටයි. නැත්නම් වෙන්නේ රෙන්නෙ නැති රජෙක් සිටි රටේ රොකැට්ටුවට වූ දේමයි!!!!

හිතන්න පුළුවන් විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට මී මැස්සෙක්, මී මැස්සියක් වගේ හැසිරෙන්න කියන්නේ උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක. ස්වභාවයෙන් මී මැස්සා සහ මී මැස්සියක් හැදිලා තියෙන විදියට මිනිසාත් හැදිලා තිබුණා නම් එහෙම හැසිරෙන්න පුළුවන්. ඒත් එහෙම හැදිලා නැති නිසා කොහොම ද එහෙම හැසිරෙන්නේ?!!!!

මී මැසි රැජිනක් සේ වැඩ කරන පාලකයෙක් කවදාවත් මිනිස් ලෝකයේ බිහිවෙන්නේ නැති නිසා ම තමයි මෙවැනි circulars මිනිසා අතින් ලියැවෙන්නේ!!!!

Advertisements

15 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on අප්‍රේල් 13, 2012 at 11:57 ප.ව.

    එස්බී ඇමති එහෙම කිව්වෙ දැනගෙනද නොදැනද දන්නෙ නෑ නේද.

  2. Shanthi Chandrasekera said, on අප්‍රේල් 14, 2012 at 4:53 පෙ.ව.

    saahena danumak labuna woo renne nathi miniha ganath hoyala baluwa oyage lipiya baluwata passe,

    • arunishapiro said, on අප්‍රේල් 14, 2012 at 12:33 ප.ව.

      Shanthi Chandrasekera,

      තමන් අනුමත නොකරන තොරතුරු ජනතාවට දැනගන්න නොතියන තාක් කල් ජනතාවට හිතන්න තියෙන්නෙ ඔවුන් දන්න තොරතුරු වලින්. එහෙම බැටළුවන් දක්කා ගෙන යන්න ලේසියි. ඒත් කාගෙවත් දියුණුවක් වෙන්නෙ නැති බවට උදාහරණයක් තමයි ඒක.

      තම හිසට තම අත ම ය සෙවනැල්ල කියපු ජන කොට්ඨාශයකට, දැනගන්න සුදුසු මොනවා ද නැද්ද යන්න තීරණය කරන්න යන මිනිස්සු සියල්ල දන්නවා යැයි සිතීම පිළිගන්නා අය රටේ කොච්චරක් ඉන්නවා ද කියන එක මත මේ ජන කොට්ඨාශයේ ද අනාගතය තීරණය වේවි.

  3. Ravi said, on අප්‍රේල් 15, 2012 at 5:38 පෙ.ව.

    අපූරු ලිපියක් අරුණි….:)

    එකම සටහනක එකිනෙකට හාත්පසින්ම වෙනස් කරුණු දෙකක් ගැන අදහස් දැක්වීමත් ඒ වගේම ඒ කරුණු දෙක අවසානයේදී සිත් ඇදගන්නා ලෙස එකිනෙකට ගැලපීමත් ඇත්තටම අනර්ඝයි.

    ප්‍රාජක…..ස්තූතියි අරුණි….අලුත් වචනයක් ඉගෙන ගත්තා…

    සතුනට තියෙන ප්‍රාජක දෙක මොනවද?…..දිවි රැකගැනීම සහ වර්ගයා බෝ කිරීම ද?

    එතකොට මිනිසාට පමණක් ඇති අමතර ප්‍රාජක දෙක මොනවද?….විචාරය සහ තෝරාගැනීම???

    / හිතන්න පුළුවන් විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට…/

    පොදුවේ ලෝකෙ කොහෙත් ඉන්න විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ගැන මේ කතාව ඇත්ත….ඒත් කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ ලංකාවෙ නම් බහුතරයක් මේ නිර්වචනයට ගැලපෙන්නෙ නැහැ කියන එක තමයි 😦 😦 එයාලට තියෙන්නෙ මීමැස්සන්ගෙ ගතිගුණ…..දේශපාලන න්‍යායාචාර්යවරුන් කියන ඕනම පල් හෑල්ලක් කිසිම විමසීමකින් තොරව ගෙඩි පිටින් ගිලින්ටයි ඊට පස්සෙ තමන්වත් හරියට නොදන්නා කාරණා ගැන උද්ඝෝෂණය කරන්නයි, ගැටුම් ඇතිකරගන්නයි නම් මේ ගොල්ලො හරිම හපන්නු. අරුණි හිටපු කාලෙ නම් එහෙම නෙවෙයි වෙන්න ඇති ඒත් වර්තමානයෙ නම් තත්වය ඕක තමයි….

    එස්.බී. කියාපු කතාව අනුමත කරනව එහෙම නෙවෙයි මේ, ඔන්න හරිද?…. 🙂

    • arunishapiro said, on අප්‍රේල් 15, 2012 at 9:44 පෙ.ව.

      Ravi,

      ස්තූතියි රවී.

      සතුන්ට තියෙන ප්‍රාජක දෙක:
      1. ජීවත්වෙන්න අවශ්‍ය දේවල් ලබා ගැනීමට, තම පැටවුන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීමට
      2. තර්ජනයකින් තමන්ව ආරක්ෂා කරගැනීමට, තර්ජනයකින් තම පැටවුන් ආරක්ෂා කරගැනීමට

      මිනිස්සුන්ට තියෙන්නෙ ඉහත ප්‍රාජක දෙක සහ ඊට අමතරව තවත් දෙකක්:
      3. දීර්ඝ කාලීන වූ එකිනෙකාට වාසිදායක වූ, විශ්වාසනීය වූ, සබඳතාවයන් ඇති කරගැනීමට
      4. තමන් ගැනත් ලෝකය ගැනත් අවබෝධයට, ඒ ගැන ඉගෙන ගැනීමට, නිර්මාණයට, අළුතින් දෙයක් සෙවීමට, තමන් හෝ ලෝකය හෝ ඇයි ඒ එහෙම වෙන්නෙ කියා විමසීමට

      විචාරය සහ තෝරා ගැනීම යනාදිය සිද්ධ වෙන්නෙ ඔය 1, 2, 3, හා 4 යන සියල්ලේ ම එකතුවකින් ස්වභාවයෙන් හැදිච්ච මොළයේ prefrontal cortex යන්නෙහි තියෙන මෙහෙයුම් පද්ධතියකින්.

      මෙහෙම: මිනිස් මොළය තමන් ඉදිරියේ ඇති යම් අවස්ථාවක දී “ඒ අවස්ථාව” ගැන අගැයුමක් කරනවා. ඊට දිය හැකි සියළුම ප්‍රතිචාර ගැන තක්සේරුවක් කරනවා. ඉන් අනතුරුවයි මොකක් ද වඩාත්ම හොඳ (best possible) ප්‍රතිචාරය කියා තෝරා ගන්නේ.

      සත්තු ආහාරයෙන්, සංසර්ගයෙන්, සටන් වැදීමෙන් හා පළා යෑමෙන් තමයි ප්‍රාජක වලට මුහුණ දෙන්නෙ.

      මිනිසා ආහාරයෙන්, සංසර්ගයෙන්, සටන් වැදීමෙන්, පළා යෑමෙන්, සබඳතාවයන් ඇති කර ගැනීමන්, යමක් වෙන්නේ කොහොම දැයි අවබෝධයෙන් (figuring out) තමයි ප්‍රාජක වලට මුහුණ දෙන්නේ.

      සත්තු යම් අවස්ථාවක් ඉදිරියේ දී “ඒ අවස්ථාව” ගැන අගයැමුක් කරන්නෙ නැහැ. ස්වභාවයෙන් ලැබිච්ච 1 සහ 2 අනුව සහජ ගතියෙන් හැසිරෙනවා.

      මිනිසා යම් අවස්ථාවක් ඉදිරියේ දී “ඒ අවස්ථාවට” අනුව 1, 2, 3, හා 4, සියල්ල ස්වභාවයෙන් ලැබිච්ච සහජ ගතියෙන් සලකා බලනවා.

      ඒකයි සත්තු හැමෝම එකම විදියට හැසිරුනාට මිනිස්සු හැමෝම එකම සහජ හැදියාවක් නැත්තෙ. මිනිස්සුන්ට එකම විදියක ප්‍රශ්න විසඳන හැකියාවක් නැහැ, දැනුම නැහැ, දක්ෂතාවය නැහැ, විවිධ වූ බුද්ධිමය මට්ටම් (ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත) තියෙන්නෙ, ඒ වගේ ම මිනිස්සුන්ගේ ආවේගී මතකය නිසා විවිධ විෂම වූ තෝරා ගැනීම් වලට එළඹෙන්නෙ.

      ලංකාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට හිතන්න පුළුවන්. ඒ අය ප්‍රාජක හතරෙන් හිතන්නෙ. එහෙම හිතන්න බැරි කොටසක් මිනිසුන් අතර ඉන්නවා, ඒ අය ගැන ඉක්මණින් ලියන්නම්. නමුත් මේ කියන ස්වභාවයෙන් හිමි වූ ප්‍රාජක හතරෙන් හිතන්න බැරි අය නෙමෙයි බහුතර ලාංකික විශ්ව විද්‍යාල සිසු පරපුර. තමන් අද මුහුණ දෙන අවස්ථා ඉදිරියේ දී ස්වභාවයෙන් ලැබිච්ච ප්‍රාජක හතරෙන් තෝරාගැනීම් සඳහා මොළයේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නෙ ඔවුන්ගේ විවිධ විෂම වූ දැනුම, දක්ෂතාවය, බුද්ධිමය මට්ටම මත. අපිට ඔවුන් “ගෙඩි පිටින් ගිලිනවා” යැයි පෙනුනට ඔවුන් තුල ඔවුන් දන්නා තරමින් විචාරයක් හා තෝරාගැනීමක් වෙනවා. මම හිටපු කාලෙත් “ගෙඩි පිටින් ගිලින” බහුතරයක් හිටියා. ඒ අය ළඟ තිබිච්ච ස්වභාවයෙන් දායාද වූ විචාරාත්මක හැකියාවන් ඉහළයි, ඒත් ඒ කාලේ මම අද තරම් දැනුම එකතු කරගෙන හිටියේ නැහැ මම දකින විදියට මිනිසා ගැනත් ලෝකය ගැනත් ඔවුන් සමඟ විවාද කරන්න. මා දැනුම එකතු කරගත්තා සේ විචාරයෙන් මම ගැනත් ලෝකය ගැනත් යම් හෝඩුවාවක් දැනගත්තා සේ ඔවුන්ට ද මේ කියන ප්‍රාජක හතර තියෙන නිසා පුළුවන් තමන් ගැනත් ලෝකය ගැනත් අවබෝධයට.

      ඒකට වැට කැපෙන්නෙ හැබැයි ඔවුන් ලබන්නා වූ දැනුම මොනවා දැයි ඉහළින් එන නියෝග වලින් තීරණය වෙන්න පටන් ගත් දාට. ඔය දාලා තියන චක්‍රලේඛනයෙන් කෙරෙන්නේ දැනුමට වැට කැපීමක්. හිතන්න පුළුවන්කම ස්වභාවයෙන් ම මිනිසාට තියෙන නිසා දැනුම ලැබෙන්න ඕනා තෝරාගැනීමක් කරන්න. දැනුම ලැබෙන්නේ නැතිවිට තියන දැනුමෙන් තමයි තෝරාගැනීම් කරන්නට සිද්ධ වෙන්නේ. එතකොට අපිට පේනවා ඔවුන් මී මැස්සො වගේ හැසිරෙනවා කියල. ඒත් ඔවුන් මී මැස්සෝ වගේ නෙමෙයි හැසිරෙන්නෙ, එහෙම හැසිරෙන්නෙ ප්‍රාජක හතරේ විචාරයෙන් එළඹෙන තෝරාගැනීමකින්.

      • නවම් said, on අප්‍රේල් 16, 2012 at 3:23 පෙ.ව.

        රවී අයිය අහපු ප්‍රශ්ණෙටත් අරුණි අක්ක දීපු උත්තරේටත් බොහොම ස්තූතියි.

      • Ravi said, on අප්‍රේල් 16, 2012 at 9:06 පෙ.ව.

        / ඔය දාලා තියන චක්‍රලේඛනයෙන් කෙරෙන්නේ දැනුමට වැට කැපීමක්. ……/

        සමාවෙන්න , මෙතන අරුණි වැට බැඳීමක් …වෙන්න ඕන නේද?

        • arunishapiro said, on අප්‍රේල් 16, 2012 at 9:45 පෙ.ව.

          Ravi,

          අපි මේක කළින් දවසකත් කතා කරපු එකක් නේද?

          වැටක් බඳින්නෙ භෝග සත්තුන්ගෙන් ආරක්ෂා කරන්න. වැට කැපුවාම සත්තු රිංගලා ඵලදාව සේරම කාලා විනාශ කරල යනවා. වැවක් බඳින්නේත් වතුර ආරක්ෂා කරගන්න නේද?

          චක්‍රලේඛනය කරන්නෙ “ක්ෂිතිජයට ඉහළින් ලෝකය දකිත හැකි උගතෙක්” බිහිකිරීම සඳහා ආරක්ෂා කළ යුත්ත (ඕනෑම තැනකින් දැනුමට එන්න ඉඩදීම) වෙනුවට ඇතුලෙ දැනට තියන දැනුමත් විනාශ වෙලා යන්න ඉඩ දීමක් (කොතැනින් පමණක් ද දැනුම ගත යුත්තේ යැයි පිරිසක් විසින් තිරණ -වල් සත්තු රිංගලා තියන ඵලදාව කාලා විනාශ කරලා යන්න හැකි වැට කැපීමක්-) සිද්ධ වෙන නිසා.

          හරියට මිනිස්සු ඉදිරියට යද්දි ඔවුන් වැටෙන්නට අගල් කපනවා වගේ. 🙂

      • Ravi said, on අප්‍රේල් 16, 2012 at 10:02 පෙ.ව.

        Aruni,

        ස්තූතියි, අරුණි….කලිනුත් කතා කලාද මේ ගැන? සමාවෙන්න,……. 😦

  4. Gold fish said, on අප්‍රේල් 15, 2012 at 6:51 පෙ.ව.

    බෙනයක මී පැණි නිෂ්පාදනය කරනවා සේ හිතන්නට හැකි මිනිසුන්ගෙන් වැඩ ගන්නට නොහැකිය. // මේ ටික තේරුම් ගත්ත දාට ප්‍රශ්නේ විසඳෙයි…

  5. නවම් said, on අප්‍රේල් 16, 2012 at 3:22 පෙ.ව.

    අපේ නාරංගොඩ මිස් අපිට මීමැස්සො වගේ එකමුතුව වැඩකරන හැටි උගන්නන්න වෙච්ච මහන්සියක් ! කවි කතා සිත්තර ….. මගෙ අම්මේ එහෙමත් වැඩක් !!

    • arunishapiro said, on අප්‍රේල් 16, 2012 at 9:11 පෙ.ව.

      නවම්,

      Robert Louis Stevenson ගෙ මේ පද්‍ය

      THE FRIENDLY COW all red and white
      I love with all my heart:
      She gives me cream with all her might,
      To eat with apple-tart

      ගෙදර දී කටපාඩම් කරද්දී තාත්තා මගෙන් ඇහැව්වා ඌ කිරි දෙන්නෙ ඇපල්-ටාට් එක්ක කන්න විතරක් ද? කියලා!!!!

      මිනිසා තමන් ගැනත් ලෝකය ගැනත් අවබෝධයට සහජ ප්‍රාජකයක් ඇතුව උපන්නෙක්. එදා ඒ දැනුමෙන් තමයි නවම්ගෙ නාරංගොඩ මිස් එහෙම උත්සාහයක් ගත්තෙ. අද නවම්ගෙ නාරංගොඩ මිස්ට මේ සටහන කියවන්න ලැබුණා නම් එයා එකමුතුව වැඩකරන්න මිනිසාට ඇති ප්‍රාජකය -අනිත් අයව විශ්වාස කරන්නට, අනිත් අය ගැන කැක්කුමක් ඇතිකරන්න, එසේම අනිත් අය වෙතින් විශ්වාසයක් ලබන්නට, අනිත් අයගේ කැක්කුම ලබන්නට වූව නැත්නම් දීර්ඝ කාලීන වූ එකිනෙකාට වාසිදායක වූ, විශ්වාසනීය වූ, සබඳතාවයන් ඇති කරගැනීමට වූ සහජ ප්‍රාජකයෙන් මිනිසා තමන් විසින් ම ගන්නා තීරණ වලින් එකමුතුව වැඩකරන හැටි ගැන උගන්නාවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: