අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රාජක හතරෙන් ගැලවෙන්න බැරි මිනිස්සු

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 16, 2012

සීත කාලේ ගුලි ගැහිලා වැඩි කාලයක් නිදාගත්තු හාවා වසන්තයේ දී නැඟිටලා වර්ගයා බෝ කරන්න වෙහෙසන්නෙ ඊට ස්වභාවයෙන් දායාද වූ ප්‍රාජකයක් නිසා. මාස නමයක කාලයක් තුල දී එක ගැහැණු හාවෙක් නිසා පැටියෝ, පැටියන්ගෙ පැටියෝ, පැටියන්ගෙ පැටියන්ගෙ පැටියෝ 800 ක් විතර ලෝකයට බිහිකරන්න පුළුවන්. හැම වසරක දී ම ඊට නියමිත කාලය පුරා වර්ගයා බෝ කරන්න වෙහෙසීම ඌට තියන ප්‍රාජකයක්.

මිනිසාට තියන ප්‍රාජකයන් (drives) ස්වභාවයෙන් ජනිත වී ඇත්තක්. ඒ නිසා වැඩියෙන් ඉන්නෙ සිය ප්‍රාජක හතරෙන් ගැලවෙන්න බැරි මිනිස්සු.

සාමාන්‍ය පුද්ගලයෙක් සතු තොරතුරු අපූරුයි. එයා දන්නවා තව මිනිසුන් ගණනාවකගෙ පුද්ගලික වූ තොරතුරු. කවදාවත් දැකලා නැති අයෙක් ගයනා සිංදුවක් එක තනුවකින් හඳුනාගන්න හැකියාව මිනිසාට තියෙනවා. සත්තු සිය ප්‍රාජක දෙකෙන් ජීවත්වෙද්දී පාවිච්චියට ගන්නෙ සහජ හැදියාව (instinct). මිනිසා සිය ප්‍රාජක හතරෙන් ජීවත්වෙද්දී, මුහුණ දෙන ඒ ඒ අවස්ථාව ඉදිරියේ දී කරන තෝරාගැනීම් සඳහා වූ සහජ හැදියාවක් නැති නිසා, තෝරාගැනීම සිද්ධ කරන්නෙ තමන් එකතු කරගත්, ඉගෙන ගත් දැනුමෙන්.

තොරතුරු බහුල ලෝකයක පුද්ගලයාට ලැබෙන තොරතුරු සියල්ල පෙරාගන්නෙ (filter) මිනිසා තුල සහජයෙන් තියෙන ප්‍රාජක හතරෙන්. එයින් එකකට පමණක් අවධානය යොමු කරන්නත් මිනිසාට හැකියාවක් නැහැ. ඒ හතර තුලින් ම කරන කැළඹිල්ලක් තුලින් තමයි යම් අවස්ථාවක් ඉදිරියේ කරන තෝරාගැනීම මිනිසා අතින් සිද්ධවෙන්නෙ. ඒ හතරෙන් තමයි මිනිසාට සාර්ථක ජීවිතය පවත්වා ගැනීමට මෙහෙයුම් පද්ධතියක් ස්වභාවයෙන් ලැබී තියෙන්නෙ.

මේ මෙහෙයුම් පද්ධතිය වැඩකරද්දී ඉන් උපදවන ආවේග අපි දැනගත්තත් ඒ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාකරන්නෙ අපිට නොදැනුවත්වමයි. අපි ඒකට හිමිකම් ඇතුව උපත ලබා ඇති නිසා අපිට එයින් ගැලවෙන්න බැහැ. මොළයේ ඒ කොටස අනතුරක් හෝ රෝගී තත්වයක් නිසා ශෛල්‍ය කර්මයකින් ඉවත් කරපු අයට ඒ සහජයෙන් වූ මෙහෙයුම් පද්ධතිය විසින් කරන තෝරාගැනීම් කරන්න බැහැ.

මොළයේ ප්‍රාජක හතර වැඩ කරන කොටස ඉවත් නොකරපු, එහෙත් එය ස්වභාවයෙන් ම දායාද නොවූ, මිනිස් පිරිසක් ද ඉන්නවා. ඒ ගැන වෙනම ලියන්නම්.

මිනිස් මොළයේ ප්‍රාජක විසින් “මෙහෙම කරපන්, මෙහෙම කරපන්,” කියා බල කරන්නෙ නැහැ. ආහාර ගැනීම මිනිස් පැවැත්මට අවශ්‍ය වූවක්. ඒත් හැම තිස්සෙ ම “දැන් කාපන්” කියලා සිතුවිල්ලක් මිනිස් හිතේ වැඩ කරන්නෙ නැහැ. වෙනත් වැඩකට මොළේ යොමු වුනාම දවස ම ගෙවිලා ගිහින් කන්න අමතක වෙච්ච අය ඉන්නවානේ!!!

ජීවිතයේ තීරණ ගැනීම සඳහා මිනිසාට පොදු වූ ස්වභාවික ප්‍රාජකයන් බලපෑම් කරද්දී, සහජයෙන් ම යම් සුවිශේෂී වූ ඒකීය වූ තෝරාගැනීම් වලටත් ඒ ඒ මිනිසාට ඉඩක් දීලා තියෙනවා.

පුද්ගලයා සතු තොරතුරු ඒ පුද්ගලයාගේ මතකයෙන් එකතු කරගත්තා වූවක්. ඒ පුද්ගලයා එකතු කරගත්තා වූ තොරුතුරු වල ආවේගාත්මක අගැයුම් සටහන් වී තියෙනවා. ඒකයි එකම සිද්ධියක් ගැන පුද්ගලයන් දෙදෙනෙකු දෙවිදියක මතකයන් සටහන් කරගන්නෙ. කළින් වූ මතකයට අමුණා ගන්නා වූ අළුත් මතකයක්.

අළුතින් එකතු කරන හැම දෙයක් ම අපි එකතු කරගන්නේ තියෙන මතකයට. එහි යම් වැරදීමක්, අඩුපාඩුවක්, හිඩැසක් ඇත්නම් ඒක සකස් කරගන්නවා ද නැද්ද යන්නත් මතකයේ බාරකරුවා වන පුද්ගලයාගේ තෝරාගැනීමක්.

එක එක අවස්ථාවක් ඉදිරියේ දී අපිට නොදැනුවත්වම අපේ මතකය හා බැඳි ආවේගාත්මක අගැයුම් ඉදිරියට ඇවිත් මිනිස් ප්‍රාජක හතර අතර කැළඹිල්ලක් පටන් ගන්නවා.

අපිටත් නොදැනීම අපේ මොළයේ ඇති ප්‍රාජක හතරේ මෙහෙයුම් පද්ධතියෙන් තෝරාගැනීම් සිද්ධ කරන්නෙ විචාරයකින්. අපි කරන හැම කාර්යයක දී ම මොළය විසින් තෝරාගැනීමක් කරන්න විචාරයක් ගෙන යනවා. අප තුල ඇති තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න ඒ තෝරාගැනීම සඳහා වූ විචාරය මෙහෙයුම් පද්ධතිය තුල අපි නොදැනුවත්වම සංකීර්ණ වෙනවා.

කුඩා දරුවෙක් කැවුමක් ඉදිරියේ දී ඒක කනවා ද නැද්ද තෝරාගන්නේ ඒක කළින් කෑවම රස දැනුනා ද නැද්ද යන්න මත. කළින් නොදන්න දෙයක් කාලා අප්පිරියාවක් දැනුනා ද නැද්ද යන්න මත. ඉස්සෙල්ලා පාර කැවුමක් කද්දී කවුරු හරි ඒක උදුරාගත්ත නම්, ගැහැව්ව නම් වගේ ආවේගාත්මක මතකයක් ඇලවිලා තියෙනවා ද නැද්ද යන්න මත. ඔය ඔක්කොම දරුවාටත් නොදැනුවත්වම විචාරයෙන් තමයි දරුවා කැවුම කන්න හෝ එය නොගෙන වෙන දෙයක් තෝරාගැනීම සිද්ධ වෙන්නෙ.

වැඩිහිටියා කුඩා කාලයේ දී රස කර කර කැවුම් කෑ මතකය, ගියපාර කැවුම් කාලා අන්තිමේ දී බෙහෙත් වලට වැඩියෙන් වියදම් කරන්න වූ මතකය, දැනුමේ හැටියෙන් (කැලරි ගාන, අඩංගු දේවල්), මෙයා මෙච්චර මහන්සි වෙලා හදපු කැවුම නොකා ගියොත් තරහ වේවි, යනාදී තොරතුරු රාශියක් පෙරලා තමයි තීරණයට එළඹෙන්නෙ.

ඒ ඒ පුද්ගලයා ජීවිතයේ ලද අත්දැකීම් වෙනස් නිසා තෝරාගැනීම් ද සිද්ධ වෙන්නේ එයාට ම වූ සුවිශේෂී විචාරයකින්.

මිනිස් වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් දරුවන්ට සේ ම වැඩිහිටියන්ට ද අපිට කළ හැක්කේ එකම දෙයයි. හැකිතරම් තොරතුරු ඔවුන්ට ලබාදීම. ඉන්පසු තෝරාගන්නට නිදහසක් දීම. ඔවුන් තමන්ගේ යහපතට මෙන් ම වර්ගයාගේ යහපතට ද එවිට තමන් විසින් ම තෝරාගැනීම් කරගන්නා බව ඔප්පු කරන්නේ මිනිස් ඉතිහාසයයි.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Amila C. Kumarasinghe said, on අප්‍රේල් 16, 2012 at 2:00 ප.ව.

    Interesting post Aruni. . .

  2. sarath said, on අප්‍රේල් 16, 2012 at 9:11 ප.ව.

    A very informative post

  3. kumaraya said, on අප්‍රේල් 17, 2012 at 2:49 පෙ.ව.

    මේක නම් හොඳ වටින විස්තරයක් ….
    ස්තූතියි.

  4. නවම් said, on අප්‍රේල් 17, 2012 at 7:09 පෙ.ව.

    //මිනිස් වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් දරුවන්ට සේ ම වැඩිහිටියන්ට ද අපිට කළ හැක්කේ එකම දෙයයි. හැකිතරම් තොරතුරු ඔවුන්ට ලබාදීම. ඉන්පසු තෝරාගන්නට නිදහසක් දීම//

    මේ වචන පේලියට ස්තූතියි. ඒක ඇතුලෙ හිතන්න ගොඩක් දේවල්.

    එකක් තිබුනම ‍තෝරාගැනීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක නිසා තොරතුරු ඕනෑම නෑ කියල හිතන අය අපිට ලේයර් ගොඩකට උඩින් !!

  5. Gold fish said, on අප්‍රේල් 17, 2012 at 9:52 පෙ.ව.

    අළුත් තොරතුරු දීලා මෙහෙයුම් පද්ධතිය නිතරම යාවත්කාලීන කරන එක දෙමාපියන්ගේ යුතුකමක්…

  6. Ravi said, on අප්‍රේල් 18, 2012 at 8:50 පෙ.ව.

    සතුන්ට තියෙන්නෙ ප්‍රාජක දෙකයි කියල කියනකොට මට මතක් වෙච්ච කතාවක් මේක……

    අවුරුදු විස්සකට විතර කලින් දෙහිවල සතුන් වත්තෙ සිද්ධ වූවක් කියලයි මට දැනගන්ට ලැබුනෙ.

    සතුන් වත්තේ සතියකට වරක් හෝ දෙවරක් තියනව අලින්ගෙ සර්කස් සංදර්ශන….

    ඔය සර්කස් සංදර්ශනේ එක අංගයක් තමයි අලි ගොව්වා අලියගෙ කට ඇතුලෙ ඔළුව රුවාගෙන ඉන්න එක. අවාසනාවකට ඔන්න මේ අලිය කරල තියෙන වැඩේ අර මනුස්සයගෙ ඔළුව හැපුව. කට්ටිය වහාම ක්‍රියාත්මක වෙලා මනුස්සය ඉස්පිරිතාලෙට ඇතුල් කලාට වැඩක් උනේ නෑ මිනිහ මලා.

    ඊට සතියකට විතර පස්සෙ ඔන්න කවුරු හරි සත්ව චර්යාව ගැන විශේෂඥයෙක් ආව මේ සිද්ධිය ගැන විමර්ශනයක් කරන්ට.

    ” මේ වගෙ දෙයක් උනහම ඒ සතාට දඬුවමක් දෙන්න ඕන. එතකොටයි ඌ දැනගන්නෙ මම ඒ කලේ වැරදි දෙයක් කියල…නැත්නම් සතුන්ට හිතන්න ශක්තියක් නැතිනිසා උන් කවදාවත් දැනගන්නෙ නෑ කලයුතු දේ මොකක්ද නොකලයුතු දේ මොකක්ද කියල… ”

    මේ උපදේශය අහල කට්ටිය එකිනෙකාගෙ මුහුණු බලාගත්ත මුලින්ම. ඊට පස්සෙ ඔලුව කාරිය හොල්ලල අදහස පිළිගත්ත.වහාම ක්‍රියාත්මක වන පරිදි ලී පටියක් අරගෙන ගිහිල්ල අර අලියට දඬුවම් කලා. අලියට වැඩේ නම් තේරුන.මට මේ දඬුවම් කරන්නෙ මම කරපු වරදකටෙයි කියල. ඒත් ඌ වරද කියල හිතුවෙ උක්ගස් කන එක. මොකද ඌ ඒ වෙලාවෙ උක්ගස් වගයක් කකා හිටියෙ. ඉතිං වෙච්ච දේ තමයි ඊට පස්සෙ ඒ සතා උක්ගහක් දැක්කත් පස්ස නොබල දුවන්ට පටන් ගත්ත.

  7. akda5050 said, on අගෝස්තු 9, 2013 at 7:26 ප.ව.

    ඉතා ගැඹුරු කාරණාවන් ඉතාමත් සරළව ඉදිරිපත් කිරීමට ඉතා වටිනා උත්සාහයක් ගෙන තිබෙනවා. බොහෝමයක් ස්තුතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: