අරුණි ශපීරෝ‍ වෙතින්

යහපත් තෝරාගැනීම් කළ මිනිස්සු

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 17, 2012

එදිනෙදා ජීවිතයේ දී යහපත් තෝරාගැනීම් කරන මිනිස්සු ගැන ලෝක මාධ්‍ය්‍යෙන් වැඩිය ඇහෙන්නෙ නැහැ. අපිට වැඩියෙන් ඇහෙන්නෙ නෝර්වේ වල Anders Behring Breivik ගැන, ප්‍රංශයේ Mohamed Merah ගැන නැත්නම් කැලිෆෝර්නියාවේ One Goh ගැන.

පත්තරයක්, රූපවාහිනි ප්‍රවෘත්ති වැඩසටහනක්, ප්‍රවෘත්ති සපයන වෙබ් පිටුවක් අරන් බලන්න. වැඩියෙන් තියෙන්නෙ ධනාත්මක තොරතුරු ද නැත්නම් ඍනාත්මක තොරතුරු දැයි විමසන්න.

මිනිසාගේ පැවැත්ම ආරක්ෂා කරගන්න ඍනාත්මක දෙයක් ගැන ඇහිච්ච ගමන් ඒ ගැන විමසිල්ලට සිත යොමු වීම ස්වභාවික නිසා ඍනාත්මක දේවල් වැඩියෙන් කීම මාධ්‍යයට වාසිදායකයි. බිලියන හතක් ඉන්න ලෝකයේ වැඩිදෙනා හැමදාම තමන්ගෙ, පවුලෙ, ළමයින්ගෙ, අසල්වැසියන්ගෙ, පුරවැසියන්ගෙ යහපත පිණිස වූ තෝරාගැනීම් වල නියැළෙනවා. ඒත් මාධ්‍යයෙන් වැඩියෙන් ඇහෙන්නේ ඍනාත්මක ප්‍රවෘත්ති රැසක් අවසන් කරමින් ඉදිරිපත් කරන ධනාත්මක වූ එක ප්‍රවෘත්තියක්!!!

යහපත් තෝරාගැනීම් කරන අය හැමෝම ලෝකයට සේවයක් කරන මිනිස්සු. ඒත් ඒ අය අතරින් ටික දෙනෙක් විසින් තව ටික දෙනෙක් තෝරාගෙන ඔවුනට පදක්කම්, සම්මාන, ගෞරව පුද කරනවා. ලෝකයේ යහපත පිණිස හැමදාම යහපත් තෝරාගැනීම් කරනා අයට වඩා වැඩියෙන් කළ සේවයක් අගයන්නට. නමුත් මිනිස් වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා වෙලා තියෙන්නෙ හැමදාම හැම මොහොතකම යහපත් තෝරාගැනීම් කරන මහත් පිරිසක් අප අතර ඉන්නා නිසා. එහෙම කරන්නට අපේ මොළය හැදිලා තියෙන නිසා.

මිනිසා අවබෝධයටත් ලෝකය අවබෝධයටත් තියෙන සහජ වූ උවමනාව සපුරන්නට මිනිස් මොළය ආ ගමනේ තවත් මංකඩක් පසු කරමින් සිටින අවදියක් මේ. අද අපිට “ද රොසේටෝ අභිරහස” අභිරහසක් නොවේ!!! පැය දස දහසක රීතිය හුදු ප්‍රබන්ධයක් නෙමෙයි!!! පරේටෝ ප්‍රශස්තය තමන්ටම අත්හදා බැලිය හැකි වූවක්!!!

අද උදාවෙලා තියෙන්නෙ උතුරු කොරියාවටත් මිලියනයක් වයර්ලස් ෆෝන් තිබ්බ නිසා රොකැට්ටුව මුහුදට කඩා වැටි බව වහන්නට බැරි යුගයක්. ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවයේ අය කොලොම්බියා ගණිකාවන් එක්ක අහුවුනා කියල වහන්න බැරි යුගයක්!!! බහුජාතික අයිතියෙන් යුතු ග්ලෙන්කෝර් කොම්පැණියේ කොංගෝ හි පතල් වල ලෝක කම්කරු නීතිය කඩමින් වයස 18 ට අඩු ළමයින් ඔවුන් දැනුවත්ව/නොදැනුවත්ව වැඩකරනවා ද යන්න විමසිල්ලට භාජනය වෙන යුගයක්.

මාධ්‍යයක්, ආණ්ඩුවක්, කොම්පැණියක් සතු වී තිබි ලෝකයට තොරතුරු සපයත හැකියාව අද බහුතර ජනතාව අතට ලැබී තියෙන්නක්. ස්වභාවයෙන් අපිට දායාද වෙලා තියෙන තමන් ගැනත් ලෝකය ගැනත් වූ කුතුහලය “ප්‍රමාණවත් ලෙසකින් තෘප්තිමත්” (saticefice) කරන්නට යෑමෙන් මිනිසා තමන්ව පීඩනයට පත් කරන අය වෙතින් ගැලවෙන්න ක්‍රමවේදයක් හොයාගෙන. “ඔවුන්ට එරෙහි අපි” කියන කල්ලිවාදී වූ හැදියාවෙන් නොව එකිනෙකා වගකීම් සහිත යහපත් තෝරාගැනීම් කරන්නා වූ මිනිසුන් කරන්නට මෙවලවමක් සොයාගෙන ඇති යුගයක අද අපි ඉන්නෙ.

Jerry Maguire (1996) චිතප්‍රටියේ ක්‍රීඩා ඒජන්තවරයෙක් වූ ජෙරීට මුණ ගැහෙන කුඩා දරුවෙක් ඔහුගේ යහපත් හැසිරීම විමර්ශනයට ලක් කරනවා. තමා වරදේ නියැළෙනවා යැයි හිත වද දෙන නිසා ඔහු තම ක්ෂේත්‍රය තුල යහපත් ලෙසින් රැකියාව කරන්නේ කෙසේ දැයි පරමාර්ථ දැක්මක් (mission statement) ලියනවා. -I lost the number one draft picked the night before the draft! Why? Let’s recap: Because a hockey player’s kid made me feel like a superficial jerk. I ate two slices of bad pizza, went to bed and grew a conscience! නැහැ ජෙරී, ඒ යටිහිත හැමදාම තිබ්බා, ඔයා ඒකට සවන් දුන්නේ නැහැ විතරයි 😀

2012 වෙද්දී යහපත් ලෙසින් ව්‍යාපාරය කරන්නේ කෙසේදැයි පරමාර්ථ දැක්මක් ලිවීම බොහෝ ව්‍යාපාරයන්හි සාමාන්‍යයක්.

අපි කෙනෙක් හා ආශ්‍රය පටන් ගනිද්දී ඔවුන් ගැන සොයාබලන විදියට අපි ගණුදෙනු කරන ව්‍යාපාර ගැන ද සොයා බැලුවා. අපේ යහළු මිත්‍රාදීන් වගකීමෙන් කටයුතු කරන අය වෙනවා දැකීමට ඇති උවමනාව වගේ ම අපි ගණුදෙනු කරන ව්‍යාපාරයන් ද වගකීමෙන් කටයුතු කරන අය වෙනවා දැකීමට ඇති උවමනාව තුලින් තමයි අපි නොදැනුවත්වම මේ යුගයට ඇවිත් තියෙන්නෙ. තවත් විදියකින් කිව්වොත් “අනිත් අයව විශ්වාස කරන්නට, අනිත් අය ගැන කැක්කුමක් ඇතිකරන්නට, එසේම අනිත් අය වෙතින් විශ්වාසයක් ලබන්නට, අනිත් අයගේ කැක්කුම ලබන්නට” ඇති සහජ වූ මිනිස් ප්‍රාජකය නිසා.

බැරී බ්ලම්බර්ග් වැනි පුද්ගලයන් එදා සිටියා, අදත් අයි-ඉචි නිගිෂී වගේ අය ඉන්නවා. ටැබැස්කෝ සෝස් වැනි පුද්ගලික ව්‍යාපාරයේ නියුතු අය එදා මෙන් ම අදත් ඉන්නවා.

ඒ අයට වඩා වැඩියෙන් ඉන්නෙ හැමදාම හැම මොහොතකම මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් තෝරාගැනීම් කරන අය. ඒත් අපිට තවමත් වැඩියෙන් ඇහෙන්නෙ ගලක් අස්සෙන් මෘගයෙක් පනිනවා දැයි දැනගන්න හැදිච්ච මොළය ප්‍රමාණවත් ලෙසකින් තෘප්තිමත් කරන ප්‍රවෘත්ති ද?!!! නැත්නම් මොළය ඒ ප්‍රාථමික ගතියෙන් ඉවත්වෙලා යද්දී ඊට ඉහළ වූ ප්‍රමාණයකින් වූ තෘප්තියක් සොයන්නට මොළය පරිනාමය වෙද්දී මිනිසාගේ සිත ඇදී යන ප්‍රවෘත්තිත් වෙනස් වේවි ද?!!!

මිනිසාට නොදැනුවත්වම තම වර්ගයාට යහපතක් කරන පුද්ගලයන්, ආණ්ඩු, කොම්පැණි හා ගණුදෙනු පවත්වන්නත් එසේ නොකරන අය වෙතින් ඈත් වෙන්නත් මිනිස් මොළය නිති වෙහෙසනවා. යහපත් ලෙසින් ව්‍යාපාරය කරන්නේ කෙසේදැයි ලියූ පරමාර්ථ දැක්මට අනුව ව්‍යාපාරය වැඩකරන්නේ දැයි සොයා බලන්නට, පුද්ගලයා යහපත් දැයි, ආණ්ඩුව යහපත් දැයි සොයා බලා තතු එකිනෙකා හා බෙදාගන්නට මෙවලම් අද සාමාන්‍ය ජනතාව අතට පත් වී තියෙනවා.

නොදැන කරන තෝරාගැනීම් වලින් මේ තරම් දුරක් මිනිස් වර්ගයාට එන්න ලැබුණා නම්, මැෂින් එක වැඩ කරන්නෙ කොහොම දැයි නොදන්නා බහුතරයකට මේ තරම් වැඩ කන්දරාවක් ගන්නට ලැබුණා නම්, මැෂින් එක වැඩ කරන හැටි බහුතරයක් දැනගත්තාම, තොරතුරු දැනගෙන ඒකීය වූ තෝරාගැනීම් වලින් තමන්ට ඉහළම වූ ප්‍රමාණයකින් තෘප්තියක් ලබන්නේ කොහොමදැයි අවබෝධය ලද්දාම, එවිට මිනිස් වර්ගයාගේ පැවැත්ම සහ ස්වභාව ධර්මයා තව කොච්චර යහපත් වේවි ද?!!!!

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. Kathandarakaraya said, on අප්‍රේල් 17, 2012 at 9:33 පෙ.ව.

    /* අද උදාවෙලා තියෙන්නෙ උතුරු කොරියාවටත් මිලියනයක් වයර්ලස් ෆෝන් තිබ්බ නිසා රොකැට්ටුව මුහුදට කඩා වැටි බව වහන්නට බැරි යුගයක්. ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවයේ අය කොලොම්බියා ගණිකාවන් එක්ක අහුවුනා කියල වහන්න බැරි යුගයක්!!! බහුජාතික අයිතියෙන් යුතු ග්ලෙන්කෝර් කොම්පැණියේ කොංගෝ හි පතල් වල ලෝක කම්කරු නීතිය කඩමින් වයස 18 ට අඩු ළමයින් ඔවුන් දැනුවත්ව/නොදැනුවත්ව වැඩකරනවා ද යන්න විමසිල්ලට භාජනය වෙන යුගයක්.
    */

    ඒ වුනාට ඔය චැනල් 4 එකේ පෙන්වන ඒවා නං බොරු ඒවා හරිය?

    ඒවා ඒ තැන්වලට හිටිය අය මොබයිල් ෆෝන්වලින් ගත්තු ෆොටෝ හෝ වීඩියෝ හෙම නං නෙමේ.

    දැන් බලන්න ඔය පහුගිය දවස්වල වුණු සුදු වෑන් කේස් ගැන කිසිම වීඩියෝ එකක්, ෆොටෝ එකක් තියෙනවද?

  2. indika27 said, on අප්‍රේල් 17, 2012 at 9:38 පෙ.ව.

    මීඩියා වලින් ලෝකයේ දෙන්නෙත් එක්තරා තීරයක සැඟවුන තොරතුරු විතරයි…අනික් තීරුව ඇරෙන්නේ නෑ..ඉබේටම වැහිල යනවා…
    ටුවිටර් පේස්බුක් සහ අනෙක් ඒවයින් එන්නෙ ආරන්චි විතරයි…එහෙම නැතුව සම්පූර්ණ සිද්දියක් අපිට ඒ හරහා ගන්න අමාරුයි…
    බලය ඇති බහුතරයට වාසි වෙන ආකාරයට තමයි මීඩියා නිර්මාණය වෙලා තියෙන්නෙ…
    අපි හැමදාම දකින්නෙ පේස්බුක් ගූගල් කම්පැනි වල මිනිස්සු සැප විඳින හැටි…
    ඒ කම්පැනි දෙක කෙලිං තියෙන කල් ඒ කිව්වෙ ඒ කම්පැනි ලෝකයෙ තුල ශක්තිමත්වතිබෙන තාක්කල් ඒ සේවකයින් විඳින දුකක් අපිට දකින්න බැරිවෙයි….
    ලංකාවේ ඩයලොග් කියල දුරකථන සමාගමකින් එක අවස්ථාවක සේවකයින් ඉතාම අඩු වන්දි මුදලකට තක්සේරු කරල එලවල දමනවා….ඩයලොග් කියන්නෙ පියදාස අය්යගෙ රබර් කම්පැනිය වගේ නෙමෙ සෝෂල් නෙට්වර්ක්, සහ මීඩියා පවර් එක ගන්න පුලුවං කොළඹම තියෙන කම්පැනියක්…
    ඒත් කිසිම දෙයක් කරකියා ගන්න සේවකයින්ට නොහැකි වුනා..අතන මෙතන හුදකලා වුන නඩු කීපයක් ඉතිරි වෙලා සේවකයො එලියට ගියා….
    ටුවිටර් පේස්බුක් කියන්නෙ තව ලිඳලග සංගමේ කෝපි කඩේ වගේ ඕපදූප සෙන්ටර් එකක් විතරයි..එතනින් කරන් පුලුහං විප්ලවයක් නෑ..මිනිස්සු භෞතිකව අනුන් වෙනුවෙන් කැපවෙලා ඒකරාසි වුනදාට තමයි වෙනසක් කරගන්න පුලුහං වෙන්නෙ…
    ඊජිප්තුවෙ කොලට පස්සෙ කෙලවිලා ගියෙ යසට…

    • arunishapiro said, on අප්‍රේල් 18, 2012 at 1:41 ප.ව.

      indika27,

      ඔයා හිතනවා ද සම්පූර්ණ සිද්ධියක් අපිට ලෝක මාධ්‍යය කිසිවකින් හෝ කවදා හෝ ලැබුනා ද කියා? ලැබෙනවා ද කියා? එසේ ලැබුනේ නැහැ. අද ලැබෙන්නේත් නැහැ. හෙට ලැබෙන එකකුත් නැහැ.

      ලෝකයේ හැම දෙයක් ම බිහිවෙලා තියෙන්නෙ බලය ඇති බහුතරයට වාසිවෙන ආකාරයට. එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.

      ‘බලය’ කියන්නෙ මොකක් ද?!!! පාලනයේ ඉන්න අයටයි, පාලකයන්ට හේත්තු වෙච්ච අයටයි වාසිදායක ආණ්ඩුවල බලය ඒ අයට. නීතියෙන් ව්‍යවස්ථාවෙන් පාලනය වෙන රටක බලය පුරවැසියන්ට. පාලක ආණ්ඩුවත් ඊට හේත්තු වූ පුද්ගලික කොම්පැණිත් බලය ලැබුවාම අවාසිය පුරවැසියන්ට. නීතියෙන් ව්‍යවස්ථාවෙන් සොරකම, වංචාවට ඉඩ නැති පුද්ගලික කොම්පැණි වලට බලය ලැබුවාම වාසිය පුරවැසියන්ට.

      //අපි හැමදාම දකින්නෙ පේස්බුක් ගූගල් කම්පැනි වල මිනිස්සු සැප විඳින හැටි…// මම නම් වැඩියෙන් දකින්නෙ ෆේස්බුක් එකෙන් හා ගූගල් වලින් වැඩි ජනතාවක් සැප විඳින හැටියි … ඔයා බලන දේවල් සහ මම බලන දේවල් වෙනස් නිසා වෙන්නැති.

      මහත් ධනයක් උපයා ගත හැකි කොම්පැණියක සේවකයන් වූ නිසා පමණින් ඔවුන් ඒ ධනස්කන්ධයට හිමිකම් කිව යුත්තේ ඇයි? ඇයි “ඒ සේවකයන් විඳින දුක”? ඇයි වෙනත් දුප්පත් කොම්පැණි වල සේවකයන් විඳින දුක? ඇයි ආණ්ඩුවේ කාර්යාල වල සේවකයන් විඳින දුක? ඇයි රස්සාවක් හොයාගන්න බැරිව ඉන්න කෙනා විඳින දුක?

      හිතන්න මොළයක් ඇති මිනිසා තමන්ගේ කුසලතාවයන් වැඩි දියුණු කරගන්නවා නම් දුක් විඳින්න වෙන්නෙ නැහැ. ඒත් උපන් නිසා, මම අහවල් තැන වැඩ කරන නිසා, මම මේ රටේ ජීවත්වෙන නිසා, යනාදී හේතු දක්වමින් තමන් විසින් තම තත්වය ගැන කිසිවක් නොකර අනුන්ගේ උත්සාහයෙන් යමක් බලාපොරොත්තු වෙන්නා හැමදාම දුක් විඳින්නෙකි.

      මිනිසා කවදාවත් “අනුන් වෙනුවෙන් කැපවෙලා ඒකරාසී” වෙන්නෙ නැහැ. ඒකට උත්සාහයක් දරපු හැම සමාජයක් ම අන්තිමේ දී බංකොළොත්වෙලා ගියා.

      ලෝක ඉතිහාසයේ මිනිස් ශිෂ්ඨාචාර අතුරින් මුල් වැන්නක් වන ඊජිප්තු ශිෂ්ඨාචාරයේ “අරාබි වසන්තය” කියන්නෙ තවත් පිබිදීමක්. වසර ගණනාවක් තිස්සේ පරිනාමය වෙන්නක ප්‍රතිඵල දකින්න පොඩ්ඩක් ඉවසන්න.

  3. Sudath said, on අප්‍රේල් 17, 2012 at 2:10 ප.ව.

    ඇතැම් අය පරමාර්ථ දැක්මක් ලියන්නෙ ඇත්ත පරමාර්ථය හංගලා වෙනත් දෙයක් ලෝකෙට පෙන්නන්න නෙවෙයිද?

    • arunishapiro said, on අප්‍රේල් 18, 2012 at 1:49 ප.ව.

      Sudath,

      එහෙම කරන අය ඇති. තමන් හොඳ සුදනෝ යැයි පෙන්වන්නට උත්සාහ කරන සුදනෝ නොවන අයත් ලෝකයේ කොතරම් ඉන්නවා ද? ඒත් අපි ටිකක් කල් ගිහින් හෝ ඒ අය කවුදැයි හඳුනාගන්නවා නේද?

      දිගු කාලයක කීර්තියක් පවත්වා ගන්නට නම් එහෙම දැක්මක් ලියලා මදි. එහෙම කරන්නත් ඕන. නිදහස් වෙළඳපොලක දී (පාලකයන් සහ ඔවුන්ගේ හැත්ත විසින් ගෙනියන එකක් නොවන!!) ටැබස්කෝ සෝස් හදන, Glenfiddich හදන අය හැමදාම ජය ගනීවි. අනිත් අයගේ බිස්නස් කෙසේ වෙතත් ඒවායේ නම් පවා ටික කාලයකින් අමතක වෙලා යාවි.

  4. kevin perera said, on අප්‍රේල් 17, 2012 at 10:25 ප.ව.

    Who is John Galt?

  5. කාරියකරවන said, on අප්‍රේල් 18, 2012 at 2:35 පෙ.ව.

    // ඒත් මාධ්‍යයෙන් වැඩියෙන් ඇහෙන්නේ ඍනාත්මක ප්‍රවෘත්ති රැසක් අවසන් කරමින් ඉදිරිපත් කරන ධනාත්මක වූ එක ප්‍රවෘත්තියක්!!!

    මෙයට ගත හැක හොඳම උදාහරණය වන්නේ සිරස මාධ්‍ය ජාලයයි.

    ධනාත්මක පුවත් පමණක් විකාශය කරන, ජනයාට ධනාත්මකව සිතීමට පොළඹවන ලංකාවේ ඇති එකම මාධ්‍ය අයි.ටී.එන්. එක නොවේ ද?

    • arunishapiro said, on අප්‍රේල් 18, 2012 at 2:10 ප.ව.

      කාරියකරවන,

      මාධ්‍ය බෙදාහරින තොරතුරු උදාහරණයට අරගෙන මම පෙන්වන්න හැදුවේ, අපි කැමති යැයි ඔවුන් හිතන දේවල් අපිට දීම අසාර්ථක ක්‍රමවේදයක් බව. ලෝකයේ හැම ආණ්ඩුවකින් ම කරන්න හදන්නෙත් ඒක. ඒත් මිනිසාගේ කැමැත්ත එහෙම දෙන පැකේජයක් ගැනීම නෙමෙයි. මිනිසා විවිධයි විෂමයි. අපිට මිනිසාට ධනාත්මක දේවල් පමණක් අහන්න යැයි බලකරන්නත් බැහැ.

      ඒ නිසා හැම දෙයක් ම ඒකීය වූ කැමැත්තට සරිලන්න දෙන්න හැඩ ගැසිච්ච අය තමයි වැඩියෙන් සාර්ථක වූ අය වෙන්නෙ.

      එක වෙළඳ සංකීර්ණයකට යනවාට වඩා ලෝකයේ හැම තැනකම තියන වෙළඳසැල් වලින් බඩු ගෙදරට ගෙන්වා ගන්නට කැමතියි. ඒ මෙහෙ. එක කඩයක් තියන තැනකට යනවාට වඩා කඩ ගොඩක් තියන වෙළඳ සංකීර්ණයකට යන්න මිනිසා කැමතියි. ඒ ලංකාවේ. ඇයි? තම ඒකීය වූ කැමැත්ත සපුරා ගැනීම සඳහා.

      මිනිස් ස්වභාවයේ අපූර්වත්වය එයයි. එයට ඉඩකඩ සැලසෙන විදියට කල්ලිය, ව්‍යාපාරය, ආණ්ඩුව හැදෙන්න ඕනා. සාර්ථක වෙන්නෙ එකම කල්ලියක්, එනම් මිනිස් කල්ලිය. එකම ව්‍යාපාරික ක්‍රමයක්, එනම් නිදහස් වෙළඳපොල. එකම ආණ්ඩුවක්, බලය බෙදී යන ව්‍යවස්ථානුකූල ආණ්ඩුවක්.

  6. Pathum Herath said, on අප්‍රේල් 19, 2012 at 1:38 පෙ.ව.

    යහපත අගය කරන්න තරම අපි නිහතමානී මදි කියලයි මට නම් හිතෙන්නේ.. රින ගැන කතා කරන්න කරන්න අපි ඊට වඩා ධන නේද කියල හිතල අපිට සතුටු වෙන්න පුළුවන් නිසා වෙන්න ඇති.. වෙන කෙනෙක් ගේ ධන නිසා සතුටු වෙන්න එච්චර ලේසි නෑ නේ.. මම ඉන්නකම්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: