අරුණි ශපීරෝ‍ වෙතින්

ෆ්‍රෑන්කන්ස්ටයින් කවුද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 18, 2012

1816 ගිම්හානයේ දී මේරි ගොඩ්වින් හා ඇයගේ පෙම්වතා වූ පර්සි ශෙලි ස්විට්ස්සර්ලන්තයේ ජිනීවා විල අසල පදිංචි වී සිටි ලෝඩ් බයිරන් හමුවන්නට ගියහ. ඔවුන් ගිම්හානය එළිමහනේ ගත කරන්නට සැලසුම් කර තිබියත් කළින් වසරේ ඉන්දුනීසියාවේ ටැම්බෝරාහි වූ ගිනි කන්දක් පුපුරා යෑම හේතුවෙන් යුරෝපයේ වූ දේශගුණික වාතාවරණය ඊට හරස් විය. ඔවුන් නිවස තුලට වී වැඩි කල් ගෙව්වේ විද්‍යාව හා අද්භූත දේ ගැන කතාබහෙනි.

1818 දී මේරි අද්භූත කතාවක් ලියා පළ කරන්නීය. එය Frankenstein, Or, The Modern Prometheus නමින් වූයේය.

පවතින ලෝක ස්වභාවයෙන් ම ගෙනෙන තාක්ෂණික විද්‍යාත්මක උත්සාහයන් වල නරක කියන්නට අද ලෝකයේ පාවිච්චියට ගැනෙන්නේ ෆ්‍රෑන්කන්ස්ටයින් නමයි. අද මේරි ශෙලීගේ කතාවේ ෆ්‍රෑන්කන්ස්ටයින් නම් වූ දොස්තරවරයා විසින් නිර්මාණය කරන ලද රකුසාව ෆ්‍රෑන්කන්ස්ටයින් නමින් හැඳින්වෙයි. රකුසා හදා අතරමං කරපු පුද්ගලයාගේ නම ෆ්‍රෑන්ක්න්ස්ටයින් බව අමතක ය.

තමන්ට පණ ආ පසු තමන් දිහා බලා රාක්ෂයෙක් වැනි යැයි පෙනුම නිසා බිය වී තමන්ව අතරමං කර විද්‍යාගාරයෙන් පැන ගිය නිසා තමා අපරාධකරුවෙක් වූ බව “නිර්මාණය” විසින් දොස්තර ෆ්‍රෑන්කන්ස්ටයින්ට කියන සිද්ධියක් පොතේ ඇත. “අහෝ, ෆ්‍රෑන්කන්ස්ටයින්, අනිත් හැමෝම හා සමාන වෙන්න එපා, මා පාගා දමන්න එපා, ඔබේ යුක්තිය, ඔබේ සෙනෙහස සහ අනුකම්පාව වුවත් මටයි වැඩියෙන් ම ලැබෙන්න ඕන. මතක් කරගන්න, මම ඔබේ නිර්මාණයයි. … මම හැමතැනම ප්‍රමෝදය දකිනවා, ඒත් එයින් මාව පමණක් අයින් කරලා. මම ගුණවත් සහ හොඳ අයෙක්; ඒත් දුක මාව රාක්ෂයෙක් කරලා. මාව සතුටු කරන්න එතකොට මම ආයෙත් ගුණයහපත් වෙන්නම්.” Oh, Frankenstein, be not equitable to every other, and trample upon me alone, to whom thy justice, and even thy clemency and affection, is most due. Remember, I am thy creature. I ought to be they Adam; but I am rather the fallen angel, whom thou drivest from joy for no misdeed. Everywhere I see bliss, from which I alone am irrevocably excluded. I was benevolent and good; misery made me a fiend. Make me happy, and I shall again be virtuous.

මේරි ශෙලි විසින් මෙහි දී ෆ්‍රෑන්කන්ස්ටයින්ව “නූතන ප්‍රොමිතියස්” යැයි නම් කරද්දී කවුද “පුරාතන ප්‍රොමිතියස්”?

ග්‍රීක පුරාවෘත්තාන්ත මිථ්‍යා ප්‍රබන්ධ තුලින් එන්නා වූ පුරාතන ප්‍රොමිතියස්, ඊස්කිලස් (Aeschylus) ලියන Prometheus Bound නම් ග්‍රීක ශෝකාන්තය ඇතුළු ප්‍රබන්ධ ගණනාවක දකින්න පුළුවන් චරිතයක්. ඉන් එක කතාවක කපටි ඥානයෙන් යුතු ඔහු සියුස් දෙවියන් ගෙන් ගින්න හොරකම් කරලා මිනිස්සුන්ට දෙනවා. ඒ වරදට සියුස් දෙන දඬුවම තමයි ඔහුව පාළු ගලක බැඳලා උකුස්සෙක් ලවා ඔහුගේ පීකුද්ද කන්නට හැරීම. උකුස්සා එක දවසක දී කාලා දැම්මම අනිත් දවසේ ආයෙත් කන්න පීකුද්ද වර්ධනය වෙන නිසා ඉතින් ඒක ප්‍රොමිතියස්ට සදාකාලික වූ දඬුවමක්!!!

ඇති අයගෙන් හොරකම් කරලා නැති අයට දෙන රොබින් හුඩ්ලාට කැමැති අය අදත් ලෝකයේ ඉන්නවානේ. දෙයියො උනත් හොරකම් කරලා මිනිසුන්ට දෙනවා නම් කමක් නැහැ කියල හිතන අයත් පුරාතනයේ සිට හිටියා!!!!!

කාල් මාක්ස් ප්‍රොමිතියස් දකින්නෙ විශිෂ්ඨතම සාන්තුවරයා සහ ප්‍රතිපත්ති වලට දිවි පුද කරන ලද්දා වූ අය- “the greatest saint and martyr of the philosopher’s calendar” හැටියට. Carol Dougherty, Prometheus, 2006, pages 132-134 (e-book)

Honoré de Balzac කියන්නෙ ප්‍රංශ නවකතාකරුවෙක්. La Comédie Humaine (The Human Comedy) නමින් ප්‍රබන්ධ ගණනාවක් නිර්මාණය කරන ලද්දෙක්. Cousin Bette නමින් වූ “දුප්පත් ඥාතීන්” පොත් යුගලේ පළමුවැන්නේ එන කතානායිකාව තම මුළු ජීවිතය ම ගෙවන්නේ අනුන් ගෙන් පළිගන්න.

බල්සැක් ලියන ප්‍රබන්ධ ඉතා රසවත්. තාත්විකයි. ප්‍රංශ සමාජය පසුබිම් කරගන්නෙ. ඒත් ඒ කතා සහ චරිත ප්‍රබන්ධ.

Meredith Willson ලියන විශිෂ්ඨ ඇමෙරිකන් සංගීත රංගන කතාව The Music Man හි Goodnight Ladies කොටසේ දී බල්සැක් ගැන සඳහන් කරන්නෙ ඔහු අශීලාචාර පොත් ලියන්නෙක් හැටියට.

ඇමෙරිකන් අය බල්සැක් ලියන්නේ ශිෂ්ඨ නොවූ සමාජයක් ගැන යැයි සලකද්දී, බල්සැක් විසින් මවාපාන චරිත බුර්ජුවාසී සමාජය යැයි සලකන්නේ කාල් මාක්ස්. ඒත් ඒ බල්සැක් 1850 දී මිය ගියාට පසුව තුන්වැනි නැපෝලියන් කාලයේ ප්‍රංශ සමාජයයි!!!

හැරී පොටර් පොත් කියවා Hogwarts බලන්න යන්න ඕනෑ යැයි දරුවෙක් ඇඬුවොත් කරන්නේ කුමක් ද?!!!!

Hunger Games කියවා කැට්නස් සෙල්ලම් කරන්නේ අපි ජීවත්වන සත්‍ය්‍ය ලෝකයේ යැයි දරුවෙක් සිතුවොත් කුමක් වේ ද?!!!!

ප්‍රොමිතියස්, ෆ්‍රෑන්කනස්ටයින්, කසින් බෙටී, හැරී පොටර්, කැට්නස් එවර්ඩීන් සියල්ල ම ප්‍රබන්ධ කතාවල එන ප්‍රබන්ධ චරිත. කුසගින්න නිසා කරගන්නා කෙනහිලි, කන්දොස්කිරියාවන්, කුලල් කා ගැනීම්, කොඩිවින සියල්ල ප්‍රබන්ධයේ කියෙව්වත් එය සත්‍ය ලෝකය නොවේ. ඒ ප්‍රබන්ධ සියල්ල අපේ සිත් තුලට කා වදින්නේ එහි පෙන්වන ගති පැවතුම් එහෙන් මෙහෙන් ඇති අය අපි ජීවත්වන ලෝකයේ දී අපි විටින් විට දකිනා නිසා ය.

මිනිසා තමන්ට හිතෙන සිතුවිලි වලින් කරන්නට තෝරාගන්නේ කොතරම් ස්වල්පයක් ද? “හොම්බට අනින්න හිතුනා” යැයි කියන අය අතර වුනත් එසේ කළ අය කී දෙනෙක් සිටිනවා ද?!!!! එසේ හිතුන අය අතරත් මිනිසාට “හොම්බක්” නැතැයි දන්නා අය කොච්චර ද?!!!!

අපි හඳුනන සිතැඟියාවන්, අත්දැකීම්, අභිප්‍රායන්, ආවේගයන් සියල්ල කැටිකර ලියූ දක්ෂ ප්‍රබන්ධයකින් මුසුපත් වී ප්‍රබන්ධය විශ්වාස කරනවා ද?!!!!

ප්‍රොමිතියස් සිට කැට්නස් දක්වා ලොව බිහි වූ ප්‍රබන්ධයන් තුලින් විදහා පෙන්වන මිනිස් ප්‍රාජක වෙනස් වී නැත. මිනිස් ස්වභාවයන් ගැන අවධානය යොමු කර ඒවා රසවත් ප්‍රබන්ධයකට කැටිකර පෙන්වන්නට හැකියාව ඇත්තා දක්ෂයෙකි. නමුත් දක්ෂ රසවත් ප්‍රබන්ධය සත්‍ය ලෝකය නොවේ.

ප්‍රොමිතියස් කියවා, බල්සැක්ගේ කතන්දර කියවා කාල් මාක්ස් ගන්නා නිගමනයත්, බල්සැක් කියවා ඇමෙරිකන් ගෘහණිය සිතන්නත්, ෆ්‍රෑන්කන්ස්ටයින් කියවා තාක්ෂණය හා විද්‍යාව රාක්ෂයෙක් යැයි සිතන්නත්, යනාදී වූ තමන් අල්ලා ගත් කෝණයෙන් ලෝකය දෙස බලා අවුල් ජාලයක පැටලීම මිනිස් ස්වභාවයයි. එසේම රකුසෙක් වන්නේ “ෆ්‍රෑන්කන්ස්ටයින් නම් නිර්මාණය” අතරමං කළ දොස්තර මිසක නිර්මාණය නොවන බව අවුල් ලිහාගෙන ලෝකය දකින හැකියාව ද මිනිස් ස්වභාවයයි.

***

පින්තූරය මම අවුල් ලිහාගන්න සටහන් ගහමින්, උසස් පෙළ සඳහා කියවපු පොතකින්.

ෆ්‍රෑන්කන්ස්ටයින් රකුසෙක් නෙමෙයි කියලා පෙන්වන්නෙ Love Your Monsters, Postenviroenmentalism and the Anthropocene edited by Ted Nordhaus and Michael Shellenberger (2011) පොතෙන්.

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. Kathandarakaraya said, on අප්‍රේල් 18, 2012 at 5:00 ප.ව.

    අරුණී බලපු පොතේ අපේ රොඩ්‍රීගෝ අංකල් කියපු කතාත් තියෙනවානේ.

  2. praveena said, on අප්‍රේල් 18, 2012 at 7:20 ප.ව.

    ෆ්‍රැන්කස්ටයින් ගැන කාලයක් මම කියෙව්වේ හරිම ආසාවෙන්. ඒත් සමහර ආශාවල් තියෙන්නේ සමහර කාලවලට විතරයි. ඊට පස්සේ ඒ ආශාව නැතිවෙලා ඔන්න ඒක වැම්පයර් පැත්තට හැරුනා. ඊලඟට වෘකයෝ. 😀

    //හැරී පොටර් පොත් කියවා Hogwarts බලන්න යන්න ඕනෑ යැයි දරුවෙක් ඇඬුවොත් කරන්නේ කුමක් ද?!!!!//
    මම නම් කරන්නේ හොඳට දෙකක් දෙන එක. 🙂

    මට පේන්නේ අපේ ජීවිත හරියට ප්‍රබන්ධ වගේ. ඒවා නිර්මාණයක් කරගන්ට පුලුවන් අතලොස්සක් ඒ අතර ඉන්නවා. ඒ අයගේ රසබර ජීවිත කතා තමා පස්සේ, උසස් නිර්මාණ බවට පත්වෙන්නේ.

    • praveena said, on අප්‍රේල් 18, 2012 at 8:36 ප.ව.

      ‘ෆ්‍රැන්කස්ටයින්’ මුද්‍රන දෝෂයකි. 🙂

      //ෆ්‍රෑන්කන්ස්ටයින් // ලෙස කියවන අය නම වෙනස් කරගන්නා මෙන් ඉල්ලා හිටිනවා.

      • arunishapiro said, on අප්‍රේල් 20, 2012 at 9:36 පෙ.ව.

        praveena,

        අනේ දරුවට දෙකක් දෙන්න එපා, එහෙම අහන්නෙ නැතිවෙන්න, වැම්පයර්ලා … වෘකයෝ … කතන්දර පොත්වල ඉන්න අයයි/ජීවවිද්‍යා පොත්වල ඉන්න අයයි අතර වෙනස පෙන්නලා මුල ඉඳලා ම හදා ගන්න.

  3. Pathum Herath said, on අප්‍රේල් 19, 2012 at 1:19 පෙ.ව.

    ෆැන්ටසිය ඇතුලේ තියෙන සංවේදී මිනිස් ගුණ නිසා නේද ඔය ෆැන්ටසි ගොඩක් ලස්සන වෙන්නේ.. මම නම් ෆැන්ටසි විශ්වාස කරගෙන ඉන්නේ.. Hogwarts බලන්න යන්න බොරුවට හරි ට්‍රයි එකක් දෙන්න මම නම් ලෑස්තියි.. හිහි.. නිකමට වත් බිත්ති ඇතුළේ අපි නොදන්න ලෝකයක් තිබ්බොත් එහෙම.. I believe in angels කියල ඇබා කියන්නෙත් ඒ නිසා වෙන්න ඇති.. ජීවත් වෙන එක සෙල්ලමක් කියල හිතාගෙන ආතල් එකේ ඉන්නකොට ෆැන්ටසි කියන්නේ හරියට ඒ සෙල්ලමේ තියෙන හීන ලෝක වගේ..

  4. kevin perera said, on අප්‍රේල් 19, 2012 at 2:44 ප.ව.

    ඇයි එතකොට නත්තල් සීයා නත්තල් රෑ බඩු බෙදල දෙන්නෙ කාගෙන් අරගෙනද?

  5. Ravi said, on අප්‍රේල් 20, 2012 at 5:08 පෙ.ව.

    අරුණි, ඔබ හිතන විදිහට මේරි ගොඩ්වින් ෆ්‍රෑන්කන්ස්ටයින් නූතන ප්‍රොමිතියස් ලෙස හැඳින්වූයේ ඇයි?

    ඇය ඉන් අදහස් කලේ කාර්මික විප්ලවයේ අනිටු ඵල විපාක පිළිබඳව අනතුරු හැඟවීමක් කරන්නට යැයි සඳහන් වී තිබුණා මම දුටුවා.

    ඒ කියන්නෙ ප්‍රොමිතියස් මිනිස් වර්ගයාට ගින්දර ලබාදී කලේ වරදක් යයි ඇය ඉන් අදහස් කලා විය හැකිද?

    මෙතන ඇය අදහස් කල දේ පිළිබඳව අපිට කල හැක්කේ ඇත්තටම උපකල්පනයන් විතරයි. ඒත් මම කැමතියි ඔබේ අදහස දැන ගන්නට….

    • arunishapiro said, on අප්‍රේල් 20, 2012 at 9:26 පෙ.ව.

      Ravi,

      මේරි ෂෙලි ෆ්‍රෑන්කන්ස්ටයින් කියා හැඳින්වූයේ දොස්තරව. ඔහුගේ නිර්මාණය හැඳින්වූයේ රකුසෙක් හැටියට වූවාට රකුසා වූ නිසා පමණින් ඌ අහිතකර නැති බවයි ඇය රකුසා හා දොස්තර අතර කෙරෙන සංවාද වලින් පෙන්වන්නට හදන්නේ. ඌව සමාජයේ යහපතට හදා වඩා නොගැනීමයි ෆ්‍රෑන්කන්ස්ටයින් දොස්තරවරයා නොහොත් නූතන ප්‍රොමිතියස්ගේ දුර්වලතාවය.

      පුරාතන ප්‍රොමිතියස් දෙවියන් ගෙන් ගින්න හොරකම් කරලා මිනිස්සුන්ට දුන්නා. දොස්තර ෆ්‍රෑන්කන්ස්ටයින් දෙවියන් සතු හැකියාවක් සේ සැලකෙන ජීවය නිර්මාණයකට ලබා දුන්න. වැරැද්ද නිර්මාණය ද? නැත්නම් එය රැකබලා ගැනීම අත්හැර දැමීම ද? වැරැද්ද කාර්මික විප්ලවය ද? නැත්නම් කාර්මික විප්ලවයේ සශ්‍රීකත්වයෙන් පාලනයේ ඉන්න අය තම බඩ වඩා ගන්නා පාලන ක්‍රමය ද? මම හිතන්නෙ මේරි ෂෙලි පෙන්වන්න උත්සාහ කළේ කාර්මීකරණයෙන් වාසිගත් පාලකයන් කාර්මික විප්ලවයේ දියුණුවෙන් වූ නිර්මාණයන් -ජනතාව- අනිසි ලෙස පාලනය කිරීම. දැන් සමාජවාදී මත දරන කෙනෙකු ඉක්මන් වෙන්නෙ මෙතැන දී පාලකයෝ විසින් ධනය ඉපැයූ අයගේ ධනය එය උපයන්න සහාය දුන් අයට බෙදුවෙ නැහැ කියන්න. ඒත් එවක පාලකයෝ විසින් ඕනෑම කෙනෙකුට ධනවත් විය හැකි පරිසරයක් ගොඩ නැඟුවේ නැහැයි කියන එකයි වඩා නිවැරදි. එදත් තිබුනෙ crony capitalism, ආණ්ඩුවට හේත්තුවෙන ව්‍යාපාරිකයෝ වැඩි වාසි ලැබීම.

      ගින්න වගේ, ජීවය වගේ මිනිසාට අත්‍යවශ්‍ය වූ මැෂිමක් නිර්මාණය කරලා ඒත් ඒක හරියට වැඩ කරන විදියට වැඩ කිරීම අත්හැරලා දාලා හැමෝම බනින්නෙ මැෂිමට!!!!

      මේරි ෂෙලීගේ පියා, විලියම් ගොඩ්වින් ලිබටේරියන් මතවාදී දාර්ශනිකයෙක්. එදා එංගලන්ත සමාජයේ යුක්තිය, ඒකීය පුද්ගල අයිතීන් යනාදිය ගැන පැවති බොහෝ අදහස් වලට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ අයෙක්. උදාහරණයක්: මැල්තීසියානු අදහස, කාර්මික විප්ලවය නිසා වැඩියෙන් කන්න ලැබී ජනගහණය වැඩිවීම –> ජනගහණ වර්ධනය නිසා ලෝකයේ කන්න හිඟවීම- ගැන ගොඩ්වින් දාර්ශනිකයා කිව්වෙ මිනිස් ස්වභාවය අනුව කන්න යහමින් තියෙද්දී ජනගහණය වැඩිවෙනවා වෙනුවට මිනිස්සු බුද්ධිමය සතුට සොයා යයි කියල. ඒ කාලේ හැටියට ඒක සෑහෙන රැඩිකල් කියමනක්. එයාවත්, මේරි ගොඩ්වින් වත් එදා පැවති සමාජවාදී (Robert Owen) එංගලන්ත සමාජයේ කොන් වෙනවා. ඔවුන් අනතුරු ඇඟවූයේ කාර්මික විප්ලවයේ අනිටු ඵල විපාක ගැන නෙමෙයි, එංගලන්තයේ පැවති පාලනය ක්‍රමයේ වැරදි. විලියම් ගොඩ්වින් anarchist හැටියටත් හැඳින්වෙනවා.

      ඔයා හරි, අපිට කරන්න පුළුවන් ඇය අදහස් කරපු දේ ගැන උපකල්පනයන් විතරයි. පැවති සමාජ වාතාවරණය, ඇයගේ ජීවිත කතාව යනාදියෙන් තමයි මගේ ඒ අදහස.

      මැසචූසෙට්ස්හි කොන්කෝර්ඩ් ගම බලන්න ගියාට පස්සෙ මට ලුවිසා මේ ඇල්කොට් ගැනත්, රැල්ෆ් වොල්ඩෝ එමර්සන් ගැනත්, නැතානියෙල් හෝර්තෝන් හා හෙන්රි ඩේවිඩ් තරෝ යනාදීන් ලියූ කෘති ගැන අලුතින් හිතන්න හැකිවුනා. ඔවුන් ජීවත් වූ නිවාස, පරිසරය දිහා බැලුවම ඒ අදහස් කොහෙන් ද ආවේ කියන එක වගේම වොල්ඩන් පොකුණ ගැන ලියන තරෝ එහි තමන් විසින් තනිවම සියල්ල කරගනිමින් ගෙවනා හුදකලාව අගයන එක ගැන විස්තර වලින් පොතේ පිටු පුරවන්නෙ. ඒත් බලාගෙන ගියාම එයා ගිහින් හිටියෙ වනාන්තරයක නෙමෙයි ගමේ සිට ඇවිදගෙන යන්න පුළුවන් දුරක. ඉහත සඳහන් කළ හැමෝම ජීවත් වූ ගෙවල් සේරම තියෙන්නෙ ඇවිද ගෙන යන්න හැකි පොඩි ගමක. ගමේ කෞතුකාගාරයේ තියන ඉතිහාස තොරතුරු වලින් පෙන්වන්නෙ එයාව බලන්න යාළුවෝ නිතර එයාගෙ කැබින් එකට ගිහින් තියනවා. එයාගෙ අම්මා ගිහින් රෙදි හෝදලා දීලාත් තියෙනවා!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: