අරුණි ශපීරෝ‍ වෙතින්

වසර මිලියන ගණනක් පුරා වූ මිනිස් මොළයේ පරිනාමය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 19, 2012

මොළය කියන්නෙ මේද කුට්ටියක් නිසා, මොළ කට්ටෙන් සහ අනිකුත් ඇටකටු වලින් කියන කතා වලින් තමයි මිනිස් මොළයේ පරිනාම කතන්දරය කියැවෙන්නේ.

මෑත කාලයක දී “මිනිස්” වර්ග (Homo species) ගැන වඩා වැඩියෙන් හඳුනාගන්නට ලැබෙන්නෙ මීට කළින් සොයාගත් ඇටකටු හා ෆොසීල ගැන දැනුමෙන් පදනම් වූ වඩා දියුණු විශ්ලේෂණ ක්‍රම හා DNA අවබෝධයත් තුලින් මිනිස් මොළයේ පරිනාම කතන්දරය ගෙතී, සොයා නොගත් දෑ පිහිටා ඇත්තේ කොහේදැයි වටහාගත හැකියාවෙන්.

නැගෙනහිර හා දකුණු අප්‍රිකාවේ වසර මිලියන 1-2 ක අතර එහා ඈත කාලයක වූ “මිනිස්” කිවහැකි ඇටකටු තවමත් අධ්‍යයනයට හා වර්ග කිරීම් වලට බලාගෙන සිටිනවා යැයි කියන්නේ කැන්බරාවේ ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ Colin Groves. මිනිසා එක සත්ව පෙළපතකින් පැවත එන්නක් නොව පරිනාම ක්‍රියාවලියේ දී කොටස් වලට බෙදී විවිධත්වයෙන් වෙනස් ලෙසින් පරිනාමය වූ සත්වයෙක් යැයි ඔහු කියයි. එසේම ඒ පරිනාමයේ දී සමහර කොටස් පැවැත්ම ආරක්ෂා කරගත් අතර අනිත් කොටස් වඳ වී ගියා යැයි ද ඔහු කියයි.

Australopithecus sediba සොයා ගැනෙන්නේ 2008 දී. වසර මිලියන 1.977 සහ 1.980 කට අතීතයක් ඇතැයි සැලකෙන්නා වූ මේ “මිනිස්” ඇටකටු ෆොසීල සොයාගන්නේ Lee Berger විද්‍යාඥයාගේ නව හැවිරිදි පුතා Matthew. මොළ කට්ටේ හැඩරුවෙන් තමයි පරිනාමයේ කොයි අවදියකට දාන්න දැයි ඔවුන් විවාද කරන්නෙ. ඒ වගේම අතේ ඇටකටු වලින් ද හැඟෙන්නෙ උපකරණ (tools) භාවිතයට හුරු වූ ලෙස හැඩගැසී තිබෙන බව.

Darren Curnoe විසින් 2010 දී Homo gautengensis යැයි හඳුන්වන කොට්ඨාශයේ පැරණිතම කටු මිලියන 1.9 සහ 1.8 අතර කාලයක් ඈතක යැයි සැලකෙන්නෙ. මේ අයට විසල් දත් තිබිලා තියනවා. මොළ කට්ට පුංචි නිසා පුංචි මොළයක් ඒ අස්සෙ තිබුනා යැයි සැලකෙන්නෙ.

වසර මිලියන 2.33 ක් හා 1.4 කට එහා අතීතයක දී සිටියා යැයි කියන Homo habilis වර්ගයේ සොයාගැනීමේ ගෞරවය ලැබෙන්නෙ Mary සහ Louis Leakey යන දෙදෙනාට. ඔවුන් ටැන්සේනියාවේ දී ෆොසීල හොයාගන්නෙ 1962 සහ 1964 කාලය තුල. මේ කොට්ඨාශය තමයි නූතන මිනිසාට වඩාත් ම ළඟ වූ අය සේ සැලකෙන්නෙ. කොට දේහයකින් යුතු, දිගු අත් ඇති, එතරම් ඉදිරියකට නෙරා නොගිය මුහුණක් ඇති ඔවුන්ගේ ඔළු කට්ට නූතන මිනිසාගේ ඔළු කට්ටට වඩා බාගයකින් ද අඩුයි. ඒ මිනිස් ඇටකටු අසල ගලින් තනන ලද උපකරණ ද සොයා ගැනෙනවා.

ඉතින් වැඩියෙන් හදාරන්න අවශ්‍ය අය හොයාගන්න ඕන Homo rudolfensis කවුද? Homo ergaster කවුද? Pithecanthropus erectus කවුද? යනාදී සහ තව අළුතින් එන සොයාගැනීම් ගැනත්.

මමයි මගේ යෙහෙළියයි ගල්කිස්ස මහ හෝටලයේ සූපවේදී පබ්ලිස් මහත්තයා එක්ක කතා කර කර සිටිය දී එයා ඇහැව්වා අපෙන් මෙහෙම: මිනිස්සු මුලින් ම උයන්න පටන් ගන්න ඇත්තෙ කොහොම කියලා ද හිතන්නෙ?

ප්‍රොමිතියස් ගින්න දෙයියොන්ගෙන් හොරකම් කරලා මිනිස්සුන්ට ගෙනැත් දුන්නා කියන එක විශ්වාස කරන අය එහෙම හිතාගෙන හිටියාවේ. මේ අනිත් අයට.

අකුණක් වැදිලා යමක් ගිනි ගන්නවා දැක්ක මිනිසා ගින්න ගැන කුතුහලයක් ඇති කරගත්තා වෙන්න පුළුවන්.

පබ්ලිස් සූපවේදියා කිව්වෙ ලැව් ගින්නකින් පස්සෙ එදා මිනිසා කාපු අල, කොළ, ගස් පොතු සේරම පිච්චිලා වෙන කන්න දෙයක් නැතිව ඒවා කන්න ඇති කියල. එහෙම පිච්චිලා තිබ්බ කෑම බුදින මිනිසා සොයාගන්නවා පිච්චුනාම යමක් කන්න වඩා ලේසියි කියල.

හිතල බලද්දී ඒ කතාව ඇත්ත. අමු කැරට් අලයක් හපන්න කොච්චර කාලයක් යනවා ද?!!!!

පහළ අදහස් නූතන පරිනාම ජීවවිද්‍යාඥයන් රැසක් අතරින් එකතුවන අදහස් වලින් කියන කතාව.

පිච්චිලා ගිය අල, පොතු, කන්න වෙච්ච නිසා මිනිසා එයින් මොළයේ පිබිදීමක් ඇති කරගෙන තමන් විසින් ආහාර පුච්චලා ඉක්මණින් කන්න විදියක් හොයාගත්ත. ඉක්මණින් කන්න පුළුවන් වුනාම ඉතිරි වන කාලයේ දී වැඩියෙන් උපකරණ හදන්නත්, වැඩියෙන් අල හාරන්නත් ලැබෙනවා.

ගින්න හසුරුවන්න, උයන්න ඉගෙන ගත්ත මිනිස් කොට්ඨාශය අනිත් අයට වඩා සාර්ථක වූවෝ. පිරිමි දඩයමේ ගිහින් අරන් එන්න මස් හැමදාම නැති වුනත් අලයක් හාරල පොතු ටිකක් පුච්චලා ආහාරයක් පිළිගන්වන්න ගෑණිට හැකියාව ලැබෙනවා.

පිල් විහදාගෙන නටන මොනරා දැක්කම සෙබඩ එයාට ආස වෙනවා වගේ, අලයක් හාරලා පුච්චලා පිළිගන්වන්න පුළුවන් ගැණිත්, දඩයම් මස් ගෙන්න හැකි, ආයුධ හදාගන්න හැකි පිරිමියාත් කල්ලියෙන් වෙන් වෙලා තමන්ගෙ කුටුම්භය තෝරාගන්නවා.

ගෑණු සතා පස්සෙ එළවලා ගිහින් බලහත්කාරයෙන් ලබන ලිංගික තෘප්තියට වඩා එක් කෙනෙක් තෝරාගත්තම නිතර පාහේ කැමැත්තෙන් ලබාගත හැකි තෘප්තියක් ද කුටුම්භයක් හැදෙන්න තවත් සාධකයක් වෙන්නැති. ඒක භාර්යා ජානුව ගැන පර්යේෂණ තවම අවසන් නැහැ.

ගිනි මොළවන්න, උයන්න, ආයුධ හදන්න, හදපු ආයුධ අරගෙන සතෙක් පස්සෙන් එළවද්දී හිටගෙන දුවන්නත් පටන් ගැනීමෙන් Homo erectus කාලේ වෙද්දී මිනිසාගේ අතේ ඇඟිලි අනිත් primate ඇඟිලි වලින් වෙනස් වෙනවා. මහපට ඇඟිල්ල දිගුවෙලා opposible ඇඟිල්ලක් බවට හැරවෙන්නෙ මේ කාලයේ දී යැයි සැලකෙන්නෙ. ඒ වගේ ම අතේ වළලුකරයත් (wrist) කරකවන්න පුළුවන් විදියට සහ පාදයේ වළලුකරය (ankle) වෙනසට භාජනය වෙන්නෙත් මේ යුගයේ යැයි සැලකෙන්නේ.

අත් පා වෙනස් වෙනවා වගේ ම Homo sapiens නමින් වූ මොළයේ ප්‍රමාණය වඩා වැඩි වූ මිනිස් වර්ගයා ද බිහිවෙන්නේ අනතුරුව. මොළය ලොකුවෙද්දී ඔළු කට්ට ලොකුවෙන් උපදින කොට ගෑණිට දුෂ්කර නිසා සුමුදු මොළ කට්ටක් සහිත පැටියෙක් බිහිවෙනවා. දිගු දත් වෙනුවට පුංචි දත් වලින් උපදින ඒ පැටියා ආරක්ෂා කරන්න මවටත් පියාටත් කල්ලියේ සහාය අවශ්‍ය වෙනවා. මේ යුගයේ දී තමයි කල්ලියේ සබඳතාවයන් එකිනෙකාගේ උවමනා එපාකම් පිරිමහා ගන්න සෑදුනු අවබෝධයකින් යුතුව ගොඩනැඟෙන්නේ. ඒ උවමනාවන් එකිනෙකාට කියාගන්නට භාෂාවක්, අක්ෂර ක්‍රමයක්, සදාචාර පද්ධතියක් බිහිවෙන්නෙ.

මොළය පාවිච්චි කරන්න ගත් වසර පන්දහසක ඉතිහාසයක් ඇති මිනිසාට භාෂාව තවමත් කොයිතරම් දුෂ්කර වූවක් ද? අක්ෂර බිහිවෙලා හෝඩියක් හැදෙන්න වසර 2450 ක් යනවා. මිනිසා ඒ භාෂාමය හැකියාවෙන් යුද වළක්වා ගන්න ගිවිසුම් ගහන්නත්, ක්‍රමවත් හැසිරීමට නීති පද්ධති ගෙනෙන්නත් සමත් වෙනවා.

තොරතුරු බෙදා ගනිමින් තම වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කරන්න නිතිපතා වැඩිපුර මිනිස් සත්තු වෙහෙසෙද්දී සුළු කොටස් තැනින් තැන කල්ලිවාදයේ හිරවෙලා තවමත්. මිනිස් සංකීර්ණත්වය හඳුනාගන්න බැරි ඒ අය තවමත් ඉන්නෙ ඔළු කට්ට ලොකුවෙලා මේද කුට්ටියක් ඇති මොළයෙන් පිරුණට එය පාවිච්චි නොකර.

වෙනස් වෙන්න බැරි “මිනිස්” වර්ගයන් නොයෙක් යුගයන් හි වඳ වී ලොවෙන් තුරන් වී ගියා සේ තවත් කාලයක ඇවෑමෙන් ඉතිහාසය ලියන්නෙක් විසින් වඳ වී ගිය කල්ලිවාදීන් ගැනත් සටහනක් මිනිස් පරිනාමයේ කතන්දරයට එකතු කරාවි ද?!!!

කල්ලිවාදීන් වඳ වී ගිය ලෝකයක ඉතිරිවන පරිනාමය වූ මිනිස් මොළයන් තුල ස්වභාවයෙන් ම ඍනාත්මක තොරතුරු වෙත සිත ඇදී යෑමත් වෙනස් වී ඇතැයි මනෝවිද්‍යාඥයෝ සටහන් තබාවි ද?!!!!

වසර මිලියන ගණනක මිනිස් කතන්දරය තාම ලියැවෙන්නක්. මිනිසා තවම පරිනාමයට පත්වෙන්නා වූ අළුත් සතෙක්. තම පැවැත්ම සඳහා වෙනස්වෙන්න හැකියාව ඇති, එකිනෙකාගේ අවශ්‍යතාවයන් හඳුනාගන්න සහ ප්‍රශ්න විසඳත හැකියාවෙන් යුතු මොළයක් ඇති, අනිත් සත්තු අතරින් වෙනස් වූ අමුතු ම සතෙක්.

****
කියවන මොළයේ විපර්යාසය
කියවන්නට බැරි මොළය නිසා
කියැවිල්ල නිසා මොළයේ නියුරෝන සබඳතා හටගැනීම

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. Kathandarakaraya said, on අප්‍රේල් 20, 2012 at 2:34 පෙ.ව.

    කෙල්ලෙක් ගේ වඩා වැදගත් මොලේද ගතිගුණද?

    ඕක තමයි අපි කැම්පස් කාලේ අපේ දැවෙන ප්‍රශ්ණය.

    ලුසී ගැනත් එහෙම හිතන්න ඇති ඒ කාලේ කවුරු හරි!

    • arunishapiro said, on අප්‍රේල් 20, 2012 at 9:42 පෙ.ව.

      Kathandarakaraya,

      ‘මොලේ’ ද ‘ගතිගුණ’ ද හොයන අය නම් මම දැක්කෙ නැහැ. හැබැයි ‘ලස්සන’ අය හොයන අය නම් ඕන තරම් දැක්කා.

  2. Gold fish said, on අප්‍රේල් 20, 2012 at 8:43 පෙ.ව.

    මම නම් දන්නේ මිනිසා තාමත් පරිනාමය වෙනවා කියන එක විතරයි…

  3. Reaz west said, on අප්‍රේල් 20, 2012 at 1:04 ප.ව.

    ඉගෙනගන්න දෙයක් තයෙන පෝස්ට් එකක්

  4. Ravi said, on අප්‍රේල් 21, 2012 at 2:34 ප.ව.

    මුලින්ම පාසලේදි මිනිස් පරිණාමය ගැන ඉගෙන ගනිද්දි මට හිතාගෙන හිටියෙ වර්තමාන මිනිසා එක එල්ලේ එකම ශාඛාවක් දිගේ පරිණාමය වී අද සිටින තත්වයට පැමිණියාය කියලයි…ඒ කිව්වෙ පිළිවෙලට හෝමෝ ඉරෙක්ටස්, නියැන්ඩතාල්….ඊලඟට හෝමෝ හැබිලිස් අන්තිමට හෝමෝ සේපියන්ස්…

    පස්සෙ තමයි මම දැනගත්තෙ මිනිස් පරිණාමය සිද්ද උනේ එහෙම නෙවෙයි සමාන්තර ශාඛාවන් රාශියක් ඔස්සේත් පරිණාමය සිද්ධ උනාය කියල. ඒ කියන්නෙ එකම කාලෙක නියැන්ඩර්තාල් මානවයින් සහ හෝමෝ සේපියන් මානවයින් එකට ඉඳල තියනව…

    මේ ළඟදි කොහේ හරි මම කියෙව්ව…ලංකාවෙත් මේ මෑතක් වෙනකල් ( හරියට දින වකවානු ගැන කියල නම් තිබුනෙ නෑ…මොකද සාධක කිසිදෙයක් නැහැ….ජනප්‍රවාද ඇසුරින් ගොඩනඟපු මතයක් විතරයි මේක 🙂 ) ආදි මානවයන්ගේ ඉතිරි වුනු කොටසක් ජීවත් උනාය කියල…නිට්ටෑවො කියලයි එයාල හඳුන්වල තියෙන්නෙ.

    වෙල්ලස්ස පැත්තෙ වනගතව ජීවත් උනු මේ නිට්ටෑවන්ගෙන් ඒ පැත්තෙ මිනිස්සුන්ට සෑහෙන කරදර උනාලු. උගුල් වලට හසුවූ සතුන් පැහැරගෙන යෑම,ගෙවල්වල ඇතිකරන සතුන් සොරකම් කිරීම වගේ දේවල්….අන්තිමට බැරිම තැන මිනිස්සු එකතු වෙලා නිට්ටෑවො ඔක්කොම ගල් ලෙනකට කොටුකරල ගින්දර ගහල මරල දැම්ම කියලයි කියන්නෙ. එක නිට්ටෑවෙක්වත් ඉතුරු නොවෙන්නම වැඩේ කළාලු.

    මොකක් හරි ආයෙ අඩු පාඩුවක් නොවෙන්නම කලාම කියන ” නිට්ටාවට වැඩේ කලා වගෙ ” කියන කියමන නිර්මාණය උනේ ඔය සිද්ධියෙන් පස්සෙයි කියලත් තිබ්බ මතකයි.

    ස්තූතියි අරුණි…මේ සබැඳි වටිනව සෑහෙන්න, වැඩි දුර තොරතුරු ඒ ගැන සොයාගන්නට 😀

    • arunishapiro said, on අප්‍රේල් 21, 2012 at 10:25 ප.ව.

      Ravi,

      නිට්ටෑවෝ .. අහල නොතිබුණ කට්ටියක්. ස්තූතියි රවී හඳුන්වා දීමට. ප්‍රාජක හතර තියන මිනිස්සුන්ට අමතරව ඔයා කියන හැදියාවන් ඇති නිට්ටෑවෝ තාම ලෝකයේ හා ලංකාවේ ද ඉන්නවා … එයාලා ගැන ලියන්න ඊ ළඟට පටන් ගන්නම්.

  5. දූපත් වැසියා said, on අප්‍රේල් 22, 2012 at 2:02 පෙ.ව.

    ලිපිය නම් තේරුම් ගත හැක. කොමෙන්ටු නම් මට බර වැඩියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: