අරුණි ශපීරෝ‍ වෙතින්

තිරිඟු ජාන රාක්ෂයාව ෆ්‍රෑන්කන්ස්ටයින් බවට හරවයි!

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 20, 2012

තාක්ෂණයේ දියුණුව නිසා ලෝකයේ සමස්ත දරීද්‍රතාව අඩු වී ඇතැයි දත්ත පෙන්නුම් කළ ද එය පිළිගන්නට අකමැති අය වැඩි ය. තාක්ෂණය නිසා පරිසරය වඩා ආරක්ෂා වෙන බවට දත්ත පෙන්නුම් කළ හැකි වුව ද එය ද පිළිගන්නට අකමැති අය වැඩි ය. තාක්ෂණය පමණින් ලෝකයේ හැමෝටම කන්න දෙන්න පුළුවන් යැයි ද, වගාබිම් වැඩි කරන්නට අවශ්‍ය නැතැයි ද, මිනිසාට ඒ ආහාර අහිතකර නැතැයි ද, පස නිසරු නොවේ හා වතුර හිඟයට පිළියම් ඇතැයි කිව්වත් පිළිනොගන්නා අය වැඩි ය. තාක්ෂණය නිසා ම ආහාර වල පැවැත්ම ද වඳ වී නොයා රැක ගත හැකි යැයි කිව්වොත් එය කිසිසේත් විශ්වාස නොකරන අය ද ලොව බහුල ය.

එහෙත් ආණ්ඩුවක්, විසල් සංවිධානයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් වටා එකතු වී ඔවුන් කියන ඕනෑම දෙයක් පිළිගන්නට ලෝකයා ඉතා ඉක්මන් වෙති. වැඩවසම් යුගයේ දී බිම්, ගොඩනැඟිලි හා සේවකයන්ට ජන්මයෙන් අයිතිය කියූ අය ගැන වූ අකමැත්ත වැඩවසම් යුගයෙන් පසුත් එසේම හිතේ පැළපදියම් වී ඇත. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක වැඩවසම් ක්‍රමයක් පවතින්නේ ජන්මයෙන් නිසා නොව පාලකයන්ට හේත්තු වූ බිම්, ගොඩනැඟිලි හා සේවකයන්ට අයිතිය කියනා අය නිසා බව පිළිගන්නට ලෝකයා අකමැතිය.

පරිසරයත් බේරාගෙන මිනිසාට කන්න දෙන්නේ කොහොම ද යන්න විසඳිය යුත්තකි. ඒ මිනිස් දරුවන් රැක ගැනීමට ය. යුනිසෙෆ් ආයතනය පෙන්වන විදියට හැම දිනයක ම ලෝකයේ දරුවන් 22,000 ක් දරිද්‍රතාවය නිසා මිය යති. එනම් එක දරුවෙක් හැම තත්පර 4 ක දී ම මිය යයි. ඔවුන් මිය යන රටවල ඇත්තේ පාරම්පරික වගා ක්‍රමයන් ය. පාලක ආධිපත්‍ය්‍ය හා ගෝත්‍රිකවාදී ආරවුල් නිසා ගොවියාට තීරණයක් ගැනීමට හෝ දැනුමක් සොයා යෑමට ඉඩක් නැති රටවල් ය.

නයිට්‍රජන් හදාගන්නට මිනිසා සමත් වූ නිසා පොහොර අර්බූදයෙන් ගැලවෙන්නට හැකි විය. සියළු සංස්කෘතියන් කන්න නැතිව මිය යනු ඇතැයි කියූ අනාවැකිය බොරුවක් වුණි. ඊ ළඟට මිනිසාට කන්න දෙන්න තරම් ප්‍රමාණවත් වගා ඉඩම් නැතැයි අනාවැකි කියූ අය සිටියහ. තාක්ෂණයෙන් මිනිසා අඩු ඉඩම් ප්‍රමාණයක කළින් තිබුණු අස්වැන්න හය ගුණයකින් වැඩි කරන්නට සමත් වුණි.

සංවර්ධිත රටවල ඉන්ධන භාවිතය වැඩි නිසා විෂ දූෂිත වායුව වැඩිවීමෙන් ලෝකය විනාශ වේ යැයි කියූ අය සිටියහ. ඔවුන් තම දත්ත වලින් පමණක් ජනතාව බියවනු නැතැයි සිතා අතින් දත්ත එකතු කර වැඩියෙන් බිය ගන්වන්නට උත්සාහ කළහ. ව්‍යත්නය අසාර්ථක ය. බොරු හෙළිවුණි. එහෙත් ඒ අතර තුර සංවර්ධිත රටවල් සංවර්ධනය කළ මොළයෙන් හිතන්න පටන් ගත් මිනිස්සු ඉන්ධන භාවිතය සූක්ෂම කළහ. විෂ වායු පරිසරයට එකතු වීම නිර්දේශිත ප්‍රමාණයන්ටත් වඩා අඩු කරන්නට සමත් වූහ. එහෙත් අතින් දා දත්ත අත්‍යලංකාරයෙන් ඉදිරිපත් කරපු අයව පිළිගන්නා වැඩි ජනතාවක් සත්‍ය දත්ත දිහා බලන්නේ වත් නැතිව නොසලකා හරිති.

මොළයක් තිබුණාට එය හිතන්නට පාවිච්චි නොකරන අයට, අනිත් අය තම මොළ වලින් සිතා අළුත් දෑ නිපැදවීමත්, අළුත් විදියකින් වඩා ඵලදායක වූ ප්‍රතිඵල ලැබීමත් දැක එසේ වනුයේ කෙසේදැයි වටහා ගන්නට බැරි ය. තමන්ට නොහැක්කේ අඩුපාඩුවක් ඇති හෙයින් බව පිළිනොගන්නා නිසා අඩුපාඩුව හදා ගන්නට නොදන්නේ ය. තමන්ගේ නොහැකියාවට තමන් නොව වෙන කවුරුන් විසින් හෝ වගකිව යුතු යැයි සිතයි. ඉතින් හැම විටම හැම ආපදාවක් ඉදිරියේ ම විදේශීය කුමන්ත්‍රණයක් යැයි අනුන් රවටා තමන් ද රැවටෙති. විදේශීය කුමන්ත්‍රණයක් මත පටවන්නට බැරි කල එය ධනපතියන්ගේ කුමන්ත්‍රණයකි!!!

බෝර්ලාවූග් ඇතුළු පිරිස ඉන්දියාවට හා පාකිස්තානයට දෙන්නේ Lerma Rojo 64 සහ Sonora 64 යන තිරිඟු වර්ගයි. ඒවා ජාන විකරණය කරන (GM) ලද්දා වූ වර්ග නොවේ. 1966 දී මේ වර්ග දෙකෙන් ටොන් 18,000 ක් ඉන්දියාවේ ආණ්ඩුව විසින් ගෙන්වා අක්කර හෙක්ටයාර් ලක්ෂ හතරක වගා කළ බව කියන්නේ Emerging consequences of biotechnology: biodiversity loss and IPR issues ලියන Krishna R. Dronamraju විසිනි. ඊ ළඟ වසර 10 වෙද්දී වෙනත් වර්ග වලින් වගාව වැඩි කරන්නට ඉන්දීය ආණ්ඩුව සැලසුම් දියත් කරයි. අද ඉන්දියාව ලෝකයේ දෙවැනි විශාලතම තිරිඟු නිෂ්පාදකයා වෙන අතර, ජාත්‍යන්තර වෙළඳපොලට ද තිරිඟු සපයා විදේශ විනිමය උපයන්නට පටන් ගනියි.

එහෙත් ඔවුන්ගේ තිරිඟු කවා කුකුල් මස් හදනවා වෙනුවට ලෝකයේ අඩු වැයකින්, දියුණු තාක්ෂණයෙන් නිපදවන ඩෙලවෙයාර් කුකුල් මස් ජපානයට හොඳ නම් තමන්ට හොඳ නැත්තේ මන්දැයි කියන ඉන්දියාව ඩෙලවෙයාර් වලින් කුකුල් මස් ගෙන්වා ගැනීම ලාබදායක බව දකියි. නමුත් ගෝලීයකරණයේ මිනිස් හිතවාදී බව නොදකින, නිදහස් වෙළඳපොල කුමක් දැයි නොසොයන උස්බෙකිස්තානය තම රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ කුකුලන් ගෙනි. කොතරම් සාර්ථක උත්සාහයක් ද නම් ඊ ළඟ වතාවේ හරක් වලින් පඩි ගෙවන්නට ඔවුන් සිතති!!! තම රටවැසියන් වැඩියෙන් සියදිවිනසා ගන්නේ මන්දැයි නොසොයති.

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on අප්‍රේල් 20, 2012 at 9:56 ප.ව.

    යම් දෙයක හොඳ පැත්ත දකින්න නම් ඒක සමාජයේ “බෙහෙවින්” භාවිතා වෙන දෙයක් වෙන්න ඕනේ කියන මතය මුළු ලෝකය පුරාම එක වගේ පැතිරිලා තියෙනවා. ගොඩ දෙනෙක් කැමති නෑ, අවධානම කියන එක තනියම ගන්න. ඒක නිසාම ගොඩක් වෙලාවට හොඳ සොයා ගැනීම් යට යනවා. ඊට වඩා කලින් ආපු තාක්ෂණික ක්‍රම තව දුරටත් වර්ධනයකින් තොරව ඉදිරියට යනවා.

    මම නම් හිතන්නේ මේ වගේඅලුත් දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට හඳුන්නලා දෙන්න තියෙන එකම ක්‍රමය ඒ අයට නොදැනෙන්න, ඒ අයගේ අවශ්‍යතා එක්ක මුසු කිරීම කියලයි. ඊට පස්සේ කියනවා… මේ තරම් හොඳට මේක වුනේ, මෙන්න මේ අළුත් දේ නිසා කියලා…

    • arunishapiro said, on අප්‍රේල් 21, 2012 at 9:45 පෙ.ව.

      Gold fish,

      මිනිස් සතාට ජීවිතය ආරක්ෂා කරගන්නට ඇති සහජ ඥානය අවම නිසා, හැම දෙයක් ම වගේ උපන්නාට පස්සෙ ඉගෙන ගන්න වෙන නිසා, අනුකරණය වැදගත්. අනිත් අයෙක් කන බොන දෙයක් දිහා බලලා ඒක කාලා එයා මැරෙන්නෙ නැත්නම් මාත් ඒක කාලා මැරෙන්නෙ නැතිවෙයි, එයා ගිනිගල් දෙකක් අතුල්ලලා ගින්දර පත්තු කරගන්නවා බලල මාත් එහෙම උත්සාහයක් කරාම සාර්ථක වෙයි යනාදියෙන් මිනිස් සත්තු අනිත් සත්තුන් ගෙන් වෙනස් වෙන්නෙ අනුකරණය ඒ අයගෙ ජීවිත අදත් ආරක්ෂා කරන්න ආධාර වෙන නිසා. අනිත් සත්තු උපන් දවසෙ ඉඳන් දන්නවා කන්න බොන්න මොනවා ද පැනලා දුවන්න ඕන මොන වගේ තැන් වල දී ද කියන එක. මිනිසාට ඒවා කවුරු හරි කියලා දෙන්න ඕනා.

      අනුකරණයේ දී මිනිසාට හැකි “තෝරාගැනීම” තමයි හොඳට මෙන් ම නරකටත් ඉන්නෙ.

      සුනාමියේ දී හැමෝම සත්තු ගැලවෙන්න හෝ විමසන්න බැරි සහජ ගතියෙන් මුහුද වෙතින් පළා දුවද්දී මිනිස්සු අනිත් මිනිස්සු අනුකරණය කරමින් මුහුදු වතුර ඈතට ඇදී යන හැටි බලන්න යනවා.

      ඒත් ඒ වගේ අවස්ථා අඩුයිනෙ.

      ඒ නිසා යමක හොඳ පැත්ත දකින්න, එය සමාජයේ “බෙහෙවින්” භාවිතා වෙනතෙක් ඉන්නෙ අනුකරණයෙන් ජීවිත ආරක්ෂ වෙන නිසා.

      තමන් විසින් කල්පනා කරලා මාළුවා කියනවා වගේ “අවදානමක්” ගන්න අකමැති අය ලෝකයේ වැඩි තමයි. ඒත් අවදානමක් ගන්න සුළු පිරිස, ගින්න දැකලා ගින්නක් ගහන්න ඉදිරිපත් වෙච්ච එකා වගේ අය විසින් අවදානමක් ගෙන වැඩියෙන් අල පුච්චාගෙන කද්දී ඒකත් සාධාරණ නැහැයි කියලා තමයි හිතන්නෙ 😀

      අවදානම ගන්න ඉන්නේ ස්වල්පයක් නිසා පමණින් හොඳ දේවල් ගොඩක් වෙලාවට යට යනවා කියල මම හිතන්නෙ නැහැ. අවදානමක් ගන්නේ ස්වල්පයක් නිසාම තමයි මිනිසා රැකෙන්නේත්. වැඩියෙන් අල පුච්චාගෙන කන එකා දිහා ඊර්ෂ්‍යාවෙන් බැලුවත් අපි බලන්නෙ නැත්තෙ අවදානම් ගහන්න ගිහින් ඔක්කොම අල කන්න බැරි තරමට පිච්චිලා ගිය අයව. ඒත් ඒ අය අතරින් අවදානම් ගන්න කුතුහලයෙන් යුතු වූ නිසා උත්සාහය අත්නොහැර ආයෙත් ආයෙත් වෑයමක් ගන්නා අය වැඩියෙන් අල පුච්චාගත හැකි දවසකට එනවා.

      මිනිස් ඉතිහාසය කියවද්දී ඔව් මාළුවා හරි. වැඩිපුර මිනිස් සත්තුන්ට තම ජීවිත යහපත් කරගන්න අලුත් දේවල් හඳුන්නලා දෙන්න තියන එකම ක්‍රමය තමයි ඒ අයගේ අවශ්‍යතා එක්ක හෙමිහිට ඒවා මුසු කිරීම. තමන් විසින් උත්සාහයක් නොගෙන හුරුවෙන් ඊට යොමු වූ මිනිස් ස්වභාවය තමයි ඊට පස්සෙ //මේ තරම් හොඳට මේක වුනේ, මෙන්න මේ අළුත් දේ නිසා කියලා…// කිව්වට පිළිනොගැනීම 😦

      මාර සංකීර්ණ සතෙක් මූ. මාළුවෝ වගේ නෙමෙයි!!!!

  2. මේ දවස් වල මම කියවන්නෙ “Wheat Belly [2011] කියන පොත. වසර දහස් ගණනක ඉඳලා ශිෂ්ටාචාර පෝෂණය කරපු තිරිඟු, අඩසිය වසක පමණ සිට මිනිසාගේ මැදිහත් වීමෙන් පසු, ජානමය වෙනස්කම් සමඟ, අඩු භූමි ප්‍රමාණයකින් වැඩි පළඳාවක් ලබා ගැනීමේ අරමුණින් නවීන තාක්ෂණය යොදා ගන්නා අන්දමත්, මේ නව තිරිඟු වර්ග නිසි ඇගයීමකින් තොරව පරිභෝජනයට මුදා හැරීම නිසා, ඇමෙරිකාව ප්‍රමුඛ තිරිඟු වලින් නිෂ්පාදිත ආහාර පරිභෝජනය කරන 21වන සියවසේ ජීවත් වන මිනිසාගේ සෞඛ්‍යය කෙරෙහි එය බලපාන ආකාරයත් මෙම පොතේ සාකච්ඡා වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ “විලියම් ඩේවිස්” කියන වෛද්‍යවරයා තමයි මේ පොත ලියල තියෙන්නේ. පුලුවන් හැමෝම මේ පොත කියවන්න. හරිම වටිනවා. 🙂

    Wheat Belly, William Davis, M.D. (2011) දැන්වීම ඉවත් කරන ලදි -අරුණි

    • arunishapiro said, on අප්‍රේල් 21, 2012 at 9:59 පෙ.ව.

      සොඳුරු සිතුවම් – Sonduru Sithuwam,

      මාත් ඉන්නෙ ඇමෙරිකාවේ. මම wheat වලින් හදන ආහාර පාන කන්න රැසියෙක්. ඒත් පමණ දැන කන අයෙක්. මිනිස්සු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කාලා බීලා පස්සෙ තිරිඟු වලට බනින එක වැරදියි!!!!!

      //මේ නව තිරිඟු වර්ග නිසි ඇගයීමකින් තොරව පරිභෝජනයට මුදා හැරීම නිසා// මෙතෙක් ලෝකයේ යුරෝපය, ආසියාව හා අප්‍රිකාව ඇතුළු හැම තැනක ම පැවැත්වූ විද්‍යාත්මක පර්යේෂණ වලින් මිනිසාට අයපහතක් වන බව ඔප්පු වෙලා නැහැ. ඒත් වැඩියෙන් තියන නිසා, ලාබෙට ගන්න පුළුවන් නිසා, තමන් ඕනාවට වඩා වැඩියෙන් කාපු නිසා තමන්ට ලෙඩ හැදුනා කියන එකටත් වෙන කවුරු හරි වගකියන්න ඕනා කියන මතයක් නම් තියෙනවා!!!!

      මෙතැන දී අපි අවධානය යොමුකළ යුත්තේ මේ ඇවිදගන්න බැරි තරමට කාලා ලෙඩ හදාගන්න මිනිස්සු කියන අවලාද වලට නෙමෙයි. අර බඩගින්නේ හැම තත්පර 4 කම මිය යන දරුවාට කන්න දෙන්නේ කොහොම ද කියන එකයි.

  3. ඔබතුමිය කියන එකේ ඇත්තක් තියෙනවා. බඩගින්නෙ මිය යන මිනිස්සු ගැන හිතන්න ඕනි. නමුත්, පොත කියවලම බලන්න කියල මම යෝජන කරනවා. 🙂 මම ලංකාවේ ජීවත් වුනාට, පොඩි කාලෙ ඉඳල තියෙන ආහාර ප්‍රශ්නයක් නිසා, පිටි වලින් නිෂ්පාදිත කෑම තමයි ගොඩක් කන්න වුනේ. නමුත්, ශරීර සෞඛ්‍යය ගැන සිතා ආහාර රටාවේ වෙනසක් කලා. “පිටි සහිත ආහාර පරිභෝජනය අඩු කලා”. සිදුවු විපර්යාසයන් නිසා මේ පොතේ සඳහන් වන දෑ ඇත්ත හෝ බොරුදැයි යන්න අත්දැක ගන්න ලැබුනා. (පොත කියවීමට පටන් ගත්තේ දින දෙකකට පමණ ඉහතදීය.)

    මට මතක විදියට, ඇමෙරිකා එක්සත් ජනපදයෙ 3දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරු බවෙන් පෙළෙනවා. මෑතකදී කොහේ හෝ ලිපියක දුටුවා, අනාගතයේදී (2020, 2040? මතක නැත) එයාලගෙ 3දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නට සිදු විය හැකි බව. පිටි වලින් නිෂ්පාදිත ආහාර, එයාලගෙ පරිභෝජන රටාවේ ප්‍රධාන තැනක් ගන්න බව මට වැඩිය හොඳින් ඔබතුමිය දන්නවා ඇතැයි සිතමි.

    පර්යේෂණ වලින් මේ පිළිබඳ හෙළි නොවුයේ හෝ මෙතරම් කාලයක් මේ පිලිබඳව තොරතුරු කෘෂිකර්මික ක්ෂේත්‍රයෙ සිට පොදු සමාජයට කාන්දු නොවුයේ ඇයිද යන වගද මේ පොතේ සාකච්ඡා වෙන බව කියවුවෙමි. නමුත් මා තවමත් කියවමින් සිටින්නේ මුල් පරිච්ඡේදයන් බවද කියන් කැමැත්තෙමි.
    අධික පරිභෝජනය පමණක් නොවේ, මෙම නව තිරිඟු වර්ග පමණ දැන පරිභෝජනයෙන් වුව ශරීරයට සිදු වන දේ ගැනද මෙම වෛද්‍යවරයා අවධානය යොමු කරනවා. එයයි වැදගත්.

    පොත කියවා බලන ලෙස නැවතත් යෝජනා කරනවා. 🙂

    • arunishapiro said, on අප්‍රේල් 21, 2012 at 11:39 පෙ.ව.

      සොඳුරු සිතුවම් – Sonduru Sithuwam,

      //බඩගින්නෙ මිය යන මිනිස්සු ගැන හිතන්න ඕනි.// ඔව්, ඇමෙරිකාවේ වැඩියෙන් ම සහ ලාබෙට ම කන්න බොන්න තියෙද්දී ගුණ අගුණ නොබලා බඩවල් පිරෙන්න කාලා බීලා තමන්ට එහෙම බඩවල් පිරෙන්න කන්න සැපයූ අය නිෂ්පාදනය කරන ආහාර වල ගුණ අගුණ කතා කරන්න එයාලට පුළුවන්.

      ඒත් එහෙම කතා කරන්න ඉඩක් නැතිව ම හැම තත්පර 4 ක දී ම මිය යන දරුවෙක් බේරාගන්නට හැකියාව ලැබෙන්නෙ අද තියන තාක්ෂණයෙන්. හාමතයෙන් පෙළෙන දරුවෙක් ගෙන් ඇහැව්වොත් කියයි උඹලා මට කන්න දීලා මගේ ජීවිතය බේර ගනිල්ලා ඊට පස්සෙ මම මහත් වෙනවා වැඩියි ද මට දියවැඩියාව හැදෙයි ද කියලා බලපන් කියලා.

      //මෙම නව තිරිඟු වර්ග පමණ දැන පරිභෝජනයෙන් වුව ශරීරයට සිදු වන දේ ගැනද// අන්නාසි කෑවම සමහර අයට පලු දානවා. සමහර අයට නැහැ. ඒ නිසා හැමෝටම අන්නාසි තහනම් කරනවා ද?!!!!

      මේ වගේ පොත් හැමදාම එළිබහිනවා. ලංකාවේත් තියෙන්නෙ “කිරි බී නැසෙමු ද? බත් කා රැකෙමු ද?” වගේ පොත්. ඒවායේ තියන විද්‍යාත්මක සත්‍ය්‍යක් වටා ගෙතිච්ච අතාර්කික වූ අදහස් එකින් එක පෙන්වන්න නම් ඒකට වෙනම වෙබ් පිටුවක් පටන් ගන්න වෙනවා.

  4. Sudath said, on අප්‍රේල් 21, 2012 at 2:03 ප.ව.

    පරිසරය විනාශ නොකරන්නැයි පරිසරවේදියෝ කියති. විනාශ කරනවා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? තමන්ට කැමති ලෙසින් මේ ගැන එක් එක් අය අදහස් දක්වනවා. ස්වභාවයෙන් ඇති වූ පරිසරය මිනිසාගේ අවශ්‍යතාවන් අනුව වෙනස් කරගැනීම පරිසරය විනාශ කිරීමක් ලෙස දකින අයත් සිටිනවා. ඒත් ඔවුන් පරිහරණය කරන බොහෝ දේ එසේ පරිසරය වෙනස් කිරීමෙන් නිපදවාගනු ලැ‍බූ දේවල්.
    බොහෝ අයගේ (අදහස් පළ කරන බොහෝ අයගේ) මතය තමයි, තාක්ෂණය නිසා පරිසරය විනාශ වෙන බව. ඒත්, ගල් පතුරක් උල් කරලා සතුන් මරන්නට යොදාගැනීම තාක්ෂණයක්. ගල් කැට දෙකක් එකට හැප්පීමෙන් හෝ වියලි ලී දඬු දෙකක් එකට පිරිමැදීමෙන් ගින්දර දල්වාගැනීමත් තාක්ෂණය. සතුන් මරා හම ගසා ඇඳුම් හදාගැනීමත් තාක්ෂණය. එතකොට මිනිසා ඇති වූ දා පටන් පරිසරය වෙනස් කළා.
    තාක්ෂණය නිසා පරිසරය විනාශ වෙනවා නෙවෙයි, පරිසරය විනාශ කරන ආත්මාර්ථකාමියා ඒ සඳහා තාක්ෂණය යොදාගන්නවා. පරිසරය විනාශ වෙන්නේ ස්වභාවිකව නැවත තිබුනු තත්වයට පත්වෙන වේගයට වැඩි වේගයකින් පරිසරය වෙනස් කිරීම හෝ ස්වභාවිකය නැවත තිබුනු තත්වයට පත් විය නොහැකි ලෙසින් පරිසරය වෙනස් කිරීම නිසායි. ඒකට තාක්ෂණය යොදාගන්නවා වෙන්නත් පුළුවනි, නොවෙන්නත් පුළුවනි.
    පරිසරය විනාශ කිරීම ධනපතියන් විසින්, නිර්ධනයන් විසින්, සුළු ධනේශ්වරයේ පිරිස් විසින් සහ අනෙකුත් ලුම්පන් සමාජ කොටස් විසින් වුනත් කරනු ලබනවා. එතනදි සමාජ පංතියෙන් ස්වායත්තයි ඒ කටයුත්ත. එතනදි බලපාන්නෙ අවබෝධය සහ කෑදරකම පමණයි.

    • arunishapiro said, on අප්‍රේල් 21, 2012 at 10:11 ප.ව.

      Sudath,

      //පරිසරය විනාශ වෙන්නේ ස්වභාවිකව නැවත තිබුනු තත්වයට පත්වෙන වේගයට වැඩි වේගයකින් පරිසරය වෙනස් කිරීම හෝ ස්වභාවිකය නැවත තිබුනු තත්වයට පත් විය නොහැකි ලෙසින් පරිසරය වෙනස් කිරීම නිසායි.//

      පෘතුවියේ උප්පත්තිය වසර බිලියන 4.54 කට පෙර යැයි සැලකෙන්නේ. උත්තර හා දක්ෂිණ ධ්‍රැවයන් මිදීම සහ දියවීම හැම වසර 40,000 – 100,000 අතර කාලයන් හි නැවත නැවතත් සිද්ධ වෙලා. මේවා මිනිසා බිහිවන්නටත් පෙර වූ වෙනස්කම්. Precambrian, Hadean, Archean, Proterozoic, Phanerozoic, Paleozoic, Cambrian, Ordovician, Silurian, Devonian, Carboniferous, Permian, Mesozoic, Triassic, Jurassic, ….. අද දක්වා …. අතරින් ස්වභාවිකව තිබි තත්වය කොයි එක ද?

  5. Mobileman said, on අප්‍රේල් 21, 2012 at 3:53 ප.ව.

    ඔය‍ාගේ ලිපියක් ගැන සඳහන් කරල පොස්ට් එකක් දැම්මා.

    • arunishapiro said, on අප්‍රේල් 21, 2012 at 9:48 ප.ව.

      Mobileman,

      සතුන්ට තියෙන ප්‍රාජක දෙක:
      1. ජීවත්වෙන්න අවශ්‍ය දේවල් ලබා ගැනීමට, තම පැටවුන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීමට
      2. තර්ජනයකින් තමන්ව ආරක්ෂා කරගැනීමට, තර්ජනයකින් තම පැටවුන් ආරක්ෂා කරගැනීමට

      සති 12 ක් පසුකර සිටින පූස් පැටියෙකු ලෙව කමින් ආදරය පෙන්වන පූස් අම්මා කෙනෙක් ලොව කොහේ හෝ ඇත්දැයි සොයන්න.

      ඒත්, වයස 50 පැන්න තම දරුවාව ආදරයෙන් සිඹ වැළඳගන්නා මිනිස් අම්මලා කොතරම් ලොව ඉන්නවා ද?!

      කොච්චර මිනිසා ඇසුරු කළත්, මිනිසා වෙතින් ආදරය ලැබුවත් පූසා තුලින් පූස් ගති ඉවත් වෙන්නේ නැහැ.

  6. දූපත් වැසියා said, on අප්‍රේල් 22, 2012 at 1:38 පෙ.ව.

    ස්වභාවිකත්වය කියල මම නම් දකින්නේ ලෝකයේ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව වසර ගණනක තිස්සේ පැවතුන ගතික හා ස්ථිතික සමතුලිතතාවයන්. මිනිසුන් ලෙස අප වෙනත් සත්ව කොට්ඨාශ වලට වඩා අති මහත් ප්‍රමාණ වලින් එවැනි සමතුලිත බිද වැට්ටවීමට හෝ වෙනස් කිරීමට සමත් වෙලා තියනව, විශේෂයෙන් කාර්මික විප්ලවයෙන් පසු ඇති වූ විද්‍යාත්මක දියුණුවත් සමග.
    වසර දහස් ගණනක් යන නව ප්‍රබේධ බිහිවීම් කෙටි කාලයකින් මහා පරිමානව කරගත හැකිවීමත්, න්‍යෂ්ටික විද්‍යා දියුනුවත් උදාහරණ ලෙස ගත හැකියි.
    නමුත් ගැටලුව වන්නේ අධිවේගී සහ ලාභය මුල් වූ සමාජයක මෙම අළුත් තාක්‍ෂණ යොදාගැනීම නිසා ඇතිවන අතුරු ප්‍රතිපල, අත්වැරදීම් නිසා ඇතිවන ගැටළු වැනි දේට මිනිසා මීට පෙර මුහුණ දී නැති කම. එනම් විද්‍යා තාක්‍ෂණ යොදා ගැනීම් වැඩිවත්ම එක් පසකින් අවධානම අඩුවී, වැඩ පහසුවී, ජීවන තත්වය උසස් උවත් සැගවුනු අවධානම වැඩිවේ.
    ෆුකුෂිමා බලාගාර අනතුරේදී ඇමරිකාව ඔවුන්ගේ රට පෙදෙසට පැමිණි විකිරණ මිශ්‍රිත වලාකුළු මගදීම මුහුදට හෙලන්න රසායනික ද්‍රව්‍ය යෙදුවා. නමුත් දකුණු ආසියාවේ අපි වැස්සත් සමග විකිරණශීලී ද්‍රව්‍ය සුළු වශයෙන් හෝ පැමිණෙන බවවත්, මුහුදු මාළු සමග අපේ ශරීර ගතවන ප්‍රමාණයවත් නොදනී.
    අවධානම ඇත්තේ එතැන නොව තව වසර 50ක් ඇතුලත ආසියාවේ පමණක් න්‍යෂ්ටික බලාගාර 60ත් 100 ත් අතර ඉදිවෙන බැවිනි. මෙවැනි අනතුරු වල අවධානමක් ගැනීමට රටවල් කිහිපයකට නොව සමස්ථව සියළු රට වලට හැකිද යන්න නොතැකීමත්, අස්වයා පැන ගිය පසු ඉස්තාලය වසන ප්‍රතිපත්තිත් නිසා නොපෙනෙන අනාරක්‍ෂිත බවක් අප වටා ඇත. (එක් කාරණාවක් පමණි)
    ගස් කොළන් අඩු වීමත්, ජෛව විවිධත්වය අඩු වීමත්, විෂ වායූ මුදා හැරීමත්, පාරිභෝජන රටා පටු වීමත්, එනම් සමස්තයක් ලෙස මිනිසාට නිරපේක්ෂව තේරුම් ගත නොහැකි ස්වභාවික පරිසරයෙන් මිනිසා ඈත් වෙන තරමට “නොපෙනෙන අනාරක්‍ෂිත” බව තීව්ර කරයි. නමුත් එය පුපුරා නොයනතෙක් හෝ මහා ස්වභාවික ව්‍යසනයක් නොවන තුරු මිනිසා මිහිතලයේ වැජඹෙන සත්වයා වනු ඇත.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: