අරුණි ශපීරෝ‍ වෙතින්

චපල කතා කියන බොරු මහන්තත්වයක් පෙන්වන්නා

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 25, 2012

Rober D. Hare නම් කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා විශ්ව විද්‍යාලයේ වසර 35 කට වඩා කාලයක් මනෝව්‍යාධිකයන් පිළිබඳ පර්යේෂණ පවත්වන ගෞරව සහිත විශ්‍රාම ලත් මහාචාර්යවරයෙකි. අපරාධකරුවන්ගේ මනෝමය ස්වභාවයන් පිළිබඳ අධ්‍යයනය ඔහුගේ ප්‍රධාන විෂයය වෙයි.

කළින් සටහනක සඳහන් කළ Hervey M. Cleckley මනෝචිකිත්සකවරයා සිය වෘත්තීය පුරා හඳුනාගත් මනෝව්‍යාධික ලක්ෂණ තුලින් ඉදිරිපත් කරන තොරතුරු පර්යේෂණ වලට ලක් කරන රොබට් හෙයා ඇතුළු පිරිසක් ඒ තොරතුරු තවත් සූක්ෂම ලෙසින් අධ්‍යයනයට මහත් සේවයක් ඉටු කරයි. එසේම මනෝව්‍යාධිකයන් හඳුනාගන්නට, තමන්ට එවැනි ස්වභාවයක් ඇත්දැයි සොයාගත හැකි Checklist හදන්නටත්, Guidelines for a Psychopathy Treatment Program ලියන්නට සහභාගී වෙන්නටත්, එසේම වැඩපොළේ දී හමුවන මනෝව්‍යාධිකයන් හඳුනාගන්නේ කෙසේදැයි Snakes in Suits: When Psychopaths Go To Work (2006) ලියන්නටත් රොබට් හෙයා සහාය වී ඇත.

මනෝව්‍යාධිකයන් ගැන ඒ පොත්පත් හා ඔවුන් අතින් ලියැවූ පර්යේෂණ ලිපි යනාදිය කියැවීමෙන් එහි සඳහන් විස්තර හා තොරතුරු සමඟ මට පුද්ගලිකව මුණගැසී ඇති අය ගැනත් එකතු කර, ඔවුන් කවුදැයි වටහාගන්නට අත දීමක් මෙසේ සිංහලෙන් ඉදිරිපත් කරන්නෙමි.

චාටු කතා කියන අය ඕන තරම් අපිට මුණගැහෙනවා. සමහර චාටු කතා වලට අපේ සිත් ඇදිලා යනවා. විශේෂයෙන්ම කුඩා දරුවෙක් තමන්ට ඕන වෙච්ච දෙයක් ලබාගන්න අනිත් හැමෝටම පැහැදිලිව පෙන්න ම චාටු දානකොට. එයත් දන්නවා ගාන්නෙ බටර් කියලා අපිත් දන්නවා ඒකම තමයි කියලා.

ඒත් ආදරයක් සෙනෙහසක් නැතිව චාටු බස් විතරක් ඇහෙද්දී මොකද වෙන්නෙ? අප ගැන කැක්කුමකින් තොර වූ අපෙන් යමක් ලබාගන්න පමණක් දොඩන බස් වලින් අපිට දැනෙන්නේ හිස් බවක්.

අනිකුත් අය සමඟ සබඳතා පවත්වද්දී වියරුව වසන්නට වෙස් මුහුණක් පැළඳ සිටින්නාට පුළුවන් චපල (glib) කතා වලින් පිටතින් සංවේදීතාවයක් පෙන්වමින් (superficial) ඇතුලත කිසිත් අවුලක් නැතිව කල් යවන්න.

තමන් ඉදිරියේ මේ දැන් ඉන්නා අයට තරම් තමා ආදරය කරන වෙන කිසිවෙක් ලොව නැතැයි පෙන්වත හැකි ආකාරයෙන් හැසිරෙන්නට එවැන්නාට හැකියාව තියෙනවා. එවැන්නාගේ මොළය තුල නියුරෝරසායන වැඩ කරන්නේ ඇමිග්ඩලාවෙන් ලැබෙන හොඳ නරක පණිවුඩ නොමැතිව. එයාගෙ හිත කියන්නේ නැහැ තව කෙනෙක් රවටන එක වැරදියි කියලා. එයාට අවබෝධයක් නැහැ එයා කෙනෙක්ව රවටනවා කියල. එහි අගැයුමක් -හරි වැරැද්දක්- දකින හැකියාව අහිමි වූවෙක්.

එහි හරි වැරැද්දක් දකිනු නොහැකි නිසාම එවැනි අයට එක්කෙනෙක්ට පමණක් චපල වදන් කාලයක් තිස්සෙ දොඩන්න බැහැ. කාලයෙන් කාලයට රවටන්නට අළුතින් අය හොයාගන්නවා. නැත්නම් එකවර හතර පස් දෙනෙකු හා ආදර හා ලිංගික සබඳතා පවත්වමින් ඒ හැමෝටම හද පතුලෙන් ම ආදරය කරනවා යැයි පෙන්වීමෙන් කිසිම හිත් කරදරයක් නැතිව ඉන්න පුළුවන්.

“අලි ඔළු” තියන අය අපිට ඕන තරම් හමුවෙනවා. මගෙ පංතියෙ ළමයෙක් හිටියා අපි එයාට කිව්වෙ “රාජ උෂ්ණෙ” කියලා. එයා කතාබහ කරන්නෙ යමක් කමක් තියන ළමයි, දිනුම් ලබපු අය එක්ක විතරයි. දැනුත් එහෙමයි!!! අයෙක් ජනප්‍රිය අය, ලස්සන අය, බුද්ධිමත් අය, තමන්ගෙ ගමේ අය, තම අදහස් වලට කැමති අය .. යනාදීන් ඇසුරට තෝරාගන්නෙ සිය ආවේගාත්මක මොළයෙන් හිතා බලා. එහි කැමැත්ත අනුව.

ඒත් මෙහෙම අයට එවැනි කැමැත්තක් නැහැ. එයාල ඕනෑම අයෙක් ඇසුරු කරන්නෙ ඔවුන් රවටන්නට. ඔවුන් ලවා තම අභිප්‍රායක් සපුරාගන්නට. සිය දෙමාපියන් ගැන වුවත්, සහෝදර සහෝදරියන් ගැන වුවත් නැහැ ආදරයක් හෝ බැඳීමක්. ඒ අයත් පිට අයත් එක හා සමාන වූ ඉත්තෝ ලෙසට සැලකෙන්නේ.

අපි හැමෝටම හැකියාව තියෙනවා අපි කාලයක් ආශ්‍රය කරන අයගේ සංවේදීතාවයන් හඳුනා ගන්නට. දරුවන්ට ළැදි අය, සත්තුන්ට ආදරය කරන අය, දේශපාලනයට අකමැති අය, චිත්‍රපටි වලට කැමති අය, කෑම ගැන උනන්දු අය, මත්පැන් බොන්න අඬ ගැහැව්වොත් බැහැයි නොකියන අය … යනාදී වශයෙන්. සමහර අවස්ථා වල දී අපි කලින් එහෙම හිතුවාට පසුව එහෙම නැතිවෙලා අපි සොයාගත් සංවේදීතාවයේ වැරදි නිවැරදි කරගන්නටත් වෙනවා.

අයෙක් රවටන්නට ඇසුරු කරන අයට, තවකෙක් ලවා තම අභිප්‍රායන් සපුරාගැනීම පමණක් අරමුණු කරගත් අයට පුළුවන් ඉහත දේවල් වලින් පුද්ගලයාව රූකඩයක් සේ නටවන්න පහසු කුමකින් දැයි කියා වහා හැඳිනගන්නට.

වරක් දින කිහිපයක විනෝද චාරිකාවට සහභාගී වෙච්ච මට වයස 12 ක් තරම් නොවූ ගැහැණු ලමයෙක් සතු එම හැකියාව පැහැදිලිව දකින්නට අවස්ථාවක් පෑදුනා. රියැදුරා හැර වාහනයේ සිටි සියල්ලන් ම මම කාලයක් තිස්සේ දන්නා හඳුනන අය. මට වසර හතළිස් ගණනක දී සොයාගත හැකි වූ ඒ ඒ අයගේ සංවේදීතාවයන් මේ දරුවා මෙසේ අල්ලා ගන්නා හැටි මම බලාගෙන හිටියෙ පුදුමයෙන්. එදා තමයි මනෝව්‍යාධිය ගැන වැඩියෙන් හොයන්නට මට උවමනාවක් ඇති වූයේ. පළමු වතාවට මාව හමු වුනත්, දරුවාගේ හැසිරීම දැක්ක මම කිසිවකට කිසිම සංවේදී බවක් නොපෙන්වා සිටි නිසා මා හා ළංවෙන්නට ඒ දරුවා තුල කුතුහලයක් උවමනාවක් ඇති වුයේ නැහැ. ඒක තමයි අනිත් ලක්ෂණය. ඔවුන් ළංවෙන්නේ සංවේදීතාවයන් අල්ලා ගන්නට හැකි අයට පමණයි.

අනුන්ගේ සංවේදිතාවයන් අල්ලා ගන්නා හැකියාවෙන් එවැනි අය කරන්නේ එය තම වාසියට හරවා ගැනීම. අපොයි ඕක හැමෝම කරන දෙයක් යැයි කියන්න ඉක්මන් නොවෙන්න. අනුන්ගේ හොඳ කියා ඔවුන් ගෙන් වැඩ ගන්නා අය බොහොමයක් ලොව සිටියත්, මේ අය හා ඒ අය අතර ඇති වෙනස්කම් තියෙනවා. මේ අයට කෙනෙක් හොඳ තම වැඩ කරනතාක් කල් පමණයි. එසේ අල්ලාගත් සංවේදීතාවයෙන් තම වාසියට තව දුරටත් වැඩ ගන්න බැරි බව දැකි සැණින් එයාව අත්හැර දැමීම පමණක් නොව ඔවුන්ගේ වැරදි කියා බැන වැදීම හා ඔවුන් ගැන අසත්‍ය කතා පතුරවා යැවීමත් මොවුන් අතින් සිද්ධ වෙනවා.

තමන් කොතරම් දක්ෂ, විශිෂ්ට අනුන් විසින් තමන්ව දැන හඳුනා ගැනීම අනුන්ගේ වාසනාවක් යැයි සලකන ගතියක් (grandiose self-worth) ඇති වූවෙක් ඔබට හමු වී ඇත් ද? යමකින් අසමත් වීම, යමක් වැරදීම හැමවිටම වෙන කාගේ හෝ පිට පටවන එවැන්නා තමාගේ අඩුපාඩුවක් කිසිවිටෙකත් නොදකියි. එයා අනිත් හැමෝටම වඩා ඉහළින් යමක් කරන්නට දන්නවා යැයි, හැකියාව ඇතැයි, උදම් අනමින් තමන් විසින් කිසිත් නොකර සිටින්නෙකි. එහෙත් අනුන් කරන දෙයක් තම වාසියට හරවා එයින් ලකුණු දාගන්නට සැනෙකින් සමත් වෙයි.

චාටු බස් දොඩන්නට, චපල වදන් වලින් හිත් රවටන්නට හැකියාව ඇති එවැන්නා pathological liar කෙනෙකි. කටින් පිටවන වදන් වැඩියෙන් බොරු වුවත් ඒවා කිසිත් ගානක් නැතිව කියත හැකියාව ඇත්තෙකි. ඒ බොරු පෙන්වා දුන්න ද ඒ ගැන සිත් කළකිරෙන්නේ නැති අයෙකි. ඉන් ලැජ්ජාවක් දැනෙන්නේ නැති අයෙකි. එහෙත් කළකිරෙන්නට සිතක් හෝ දැනෙන්නට ලැජ්ජාවක් නැති වූ පමණින් ඔවුන් කියූ බොරුවක් අල්ලා ගත් කල එයින් පසුබට වෙන්නේ ද නැත්තෙකි. බොරු කීම නවත්වනවා වෙනුවට රවටන්නට බැරි අයව අත්හැර රවටත හැකි අයව සොයා යන්නෙකි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. dawkinssdodo said, on අප්‍රේල් 25, 2012 at 7:05 ප.ව.

    බ්‍රිතාන්‍ය ටෙලිනාටක මාලාවක් විකාශය කෙරුනා කලකට පෙර. Wire in the Blood එහි නම. එහිත් ඔය වැනි මහාචාර්යවරයෙක් අපරාදකරුවන්ගේ මනස් තුලට බැස ඔවුන් අල්ලා ගන්න උදවු කරනවා.

    • arunishapiro said, on අප්‍රේල් 26, 2012 at 6:40 පෙ.ව.

      dawkinssdodo,

      මෙහෙ තියනවා Mentalist කියලා එකක්. එයාටත් පුළුවන් අනිත් අය හිතන හැටි අනුමානයෙන් අපරාධය කළේ කවුදැයි හොයන්න. ඔයා කියන එකේ ඉන්න ලීඩ් චරිතය වගේ ම මෙයා එයත් එක්ක වැඩ කරන යුනිට් එක එක්ක සුහද වූවාට පොලීසිය ගැන වැඩි කැමැත්තක් නැහැ.

      Clockwork Orange (1971) චිත්‍රපටියේ කියැවෙන්නෙ විද්‍යාඥයින් මැදිහත් වෙලා හිතන විදිය වෙනස් කරපු අපරාධකාරයෙකුට අන්තිමේ දී වෙන දේ. ඊට පාදක වෙච්ච පොතේ කතාව වෙනස් විදියකට ඉවර වෙන්නෙ.

      මොළය වැඩ කරන හැටි දැන ගැනීම හොඳ වුනාට හරියට ම සියල්ල දැන ගන්න කළින් සමස්තයට බලපාන ප්‍රතිපත්ති හා රෙගුලාසි ගේන එකනම් සුදුසු නැහැ කියල ඉතිහාසය පුරා පෙනෙනවා.

  2. රූ said, on අප්‍රේල් 26, 2012 at 1:05 පෙ.ව.

    අරුණි,මේ මනෝව්‍යාධිය මානසික රෝග ගණයට අයත් වෙන්නෑ නේද?
    ඒත් මේ වගේ අය ටික දිනකින්ස සමාජයෙන් කොන් වී යනවා..

    • arunishapiro said, on අප්‍රේල් 26, 2012 at 6:42 පෙ.ව.

      රූ,

      ඔව් මේක අයිති වෙන්නෙ නැහැ. ඒ වගේ ම මානසික රෝග ගණයට අයිති වෙන සමහර ඒවා මානසික රෝග දැයි සැකයකුත් තියෙනවා.

      ඔවුන් සමාජයෙන් කොන් වෙලා යන්න කළින් සෑහෙන විනාශයක් කරන්නත් හැකියාව තියෙන එකත් අමතක කරන්න නරකයි.

  3. Shanthi Chandrasekera said, on අප්‍රේල් 26, 2012 at 3:52 පෙ.ව.

    matath muna gahila thiyenawa pathological liars la dan hariyatama ape rate inna desa paluwo wage . thanks Aruni.

    • arunishapiro said, on අප්‍රේල් 26, 2012 at 6:51 පෙ.ව.

      Shanthi Chandrasekera,

      ඔහෙ විතරක් නෙමෙයි මෙහෙත් එහෙමයි. කියපු දෙයක් බොරු බව ඔප්පු වුනාම අරහෙම නෙමෙයි මම අදහස් කළේ මෙහෙමයි කියන එක තමයි අද ස්ටයිල් එක. හිතන්න පුළුවන් මොළය පාවිච්චි කරන්නෙ නැති බහුතරය ඉහළ තැනක ඉන්නා අයෙක් කියන ඕන දෙයක් පිළිගන්නවා. ඒත් ස්ව උත්සාහයෙන් ඉහළ තැනකට නැග්ග ධනවතෙක් කියන කිසිවක් පිළිගන්නවා තියා ඒ ගැන සොයා බලන්නෙවත් නැහැ. වැඩවසම් සමාජය පසු කරලා ආවත් කොමියුනිස්ට්වාදයෙන් පැතිර ගිය අදහස් නිසා පාලකයා කවුද? ආණ්ඩුවට හෙත්තු වෙච්ච ධනවතා කවුද? ස්ව උත්සාහයෙන් ජයගත්තා කවුද? යනාදිය අවුල් වෙච්ච නිසා බොරු කියන්නේ කවුද යන්නත් තෝරා බේරා ගන්නට බැරිව ඒ තාම යන්නෙ මොළය හුරු වෙලා තියෙන හැටියට.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: