අරුණි ශපීරෝ‍ වෙතින්

වියරුව වසාගත් වෙස්මුහුණ පැළඳ ඉන්නාගේ ජීවන රටාව

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 26, 2012

පාඩුවේ ජීවත්වෙන්නට නොහැකි හැදියාවකින් යුතු වියරුව වසා ගන්නට වෙස් මුහුණු පැළඳ ඉන්නා අය අනුන්ගේ ජීවිත පාඩුවේ ගෙවන්නට ද ඉඩ නොදෙන්නෝ වෙති. ඔවුන් කුමන හෝ කලබලයක් නිතර පාහේ අවශ්‍ය අයයි. කලබලයක් ඇති කරන්නට අනුන්ගේ දැයක් නැත්නම් තමන් විසින් යම් කලබැගෑනියක් පටන් ගනියි.

දෙන්නෙක් අවුලවා ලූ පසු එයින් ඔවුන් ලබන්නේ ප්‍රීතියක් නොවේ. දුකක් නොවේ. තමන් විසින් හෝ වෙන අය විසින් හෝ ඇවිලී බැන ගැනීමෙන් හෝ ගහ ගැනීමෙන් ඔවුන් සොයන්නේ කලබැගෑනියක උත්තේජනය (stimulation) පමණි. අරයාට කියන්නට එපා යැයි යමක් එවැන්නෙකුට කිව්වොත් එවැන්නා එය වඩාත් ම අයහපත් ප්‍රතිඵලය උදා කරන අවස්ථාවේ දී අරයාට කීම දැකගත හැකිවෙනු ඇත. එසේ කීමෙන් ඇතිවන අයහපත් තත්වය දනී. එහෙත් ගැන කැක්කුමක් නැත. එය එවැන්නාට තවත් සිද්ධියක් පමණි. එවැනි සිද්ධි නැතිව ජීවත්වීම අපහසු නිසා එවැනි සිද්ධි සොයා යෑම මනෝව්‍යාධියාගේ හැදියාවයි.

හිතා නොබලා වැඩ කරන හැදියාවක් ඇත්තෙකි. හොඳ නරක ගැන හිත කිසිවක් නොකියන නිසා හිතා බලන්නට හැකියාවක් නැත. දොරක් හැරගෙන රෑ එළියට බැස පාරේ දිගින් දිගට යන්නට සිතුනොත් එයා එසේ යනු ඇත.

වගකීමකින් කටයුතු නොකරන්නෙකි. වගකීමක් ඇත්තේ තමන් ගැන හා අනුන් ගැන කැක්කුමක් ඇත්තෙකුට ය. තමන් ගැනත් අනුන් ගැනත් එසේ හිතට දැනෙනා වූ කැක්කුමක් නැති නිසා වගකීමක් දැනෙන්නේ ද නැත්තෙකි. දොරක් හැරගෙන පාරට බැස හිතුනු අතේ යද්දී ගෙදර ඉන්නා අනිත් අයගේ ආරක්ෂාවට දොර වසා යන්නේ ද නැත. තමන්ගේ ආරක්ෂාව ගැන නොතකනවා සේ ම අනුන්ගේ ආරක්ෂාව ගැන ද හැඟීමක් නැත.

අනුන්ගෙන් ලැබෙන දේ කා බී ජීවත්වීම ගැන කිසිත් ලැජ්ජාවක් නැත. නැතිබැරි අයට සලකන සංවේදී අය සොයා යන්නට දක්ෂය. ඔවුන් වෙතින් තම උවමනා සපුරා ගන්නේ හරියට එය ඔවුන්ට කරන යහපතක් සේ ය. චාටු බස් වලින් සහ චපල හැදියාවෙන් ඊට කොතරම් දක්ෂ වේදැයි කිවහොත් මෙවැනි අය ගැන නොදන්නා අයෙක් එවැන්නාගේ හැදියාව වටහා ගන්නේ ඉතා දිගු කාලයක් ගතවෙද්දී ය. සමහර අය ජීවිත කාලය පුරාම එවැන්නෝ සමඟ ජීවත්වෙමින්, ඔවුනට ආදරය කරමින්, කිසිවක් බෙදා හදා නොගන්නා සබඳතාවයෙන් තමන්ව ප්‍රයෝජනයට ගන්නා ආකාරය නොදකිති.

දීර්ඝ කාලීන වූ කිසිත් අරමුණක් නැති වීමත් ඔවුන් අතර දකින්නට හැකි ලක්ෂණයකි. ඉතා ඉහළ අරමුණු ගැන කතාබහ කළත් ඒවා සාක්ෂාත් කරගන්නට යැයි පිළිවෙතක් හදා නොගනිති. ඒ වෙනුවෙන් වෙහෙසන ක්‍රියා මාර්ගයක නියැළෙන්නේ නැත. පටන් ගත්තක රැඳී ඉන්නේ ද නැත.

අනුන්ට වඩා තමන් උසස් යැයි පෙන්වන ගති ස්වභාවයක් තිබිය ද, තම පෙනුම හා හැසිරීම ගැන අවධානය ඉතා අඩුවෙන් හෝ තවත් විටෙක ඒවාට ඇති අවධානය සම්පූර්ණයෙන් ම අත්හැර දැමීමත් විශේෂ ලක්ෂණයකි. මෙහි දී කිසිවෙක් එය පෙන්වා දුන්න හොත් එය වටහා ගත නොහැකියාව නිසා ඉන් කෝපයට පත්වීම මිස තේරුම් ගැනීමක් නැත.

කලබැගෑනියක උත්තේජනය සොයා යන නිසා කෝපාවිෂ්ට වෙන්නේ හේතුවක් ඇති නිසා නොවේ. අනික් එක්කෙනා කෙසේ හැසිරේදැයි බලන්නට (එයින් එයා ලබනා සිත් තැවුලක් නැති නිසා) කුමන හෝ කොනක් අල්ලා ගෙන රණ්ඩුවක් පටන් ගනියි. අනිත් අය සිත් තැවුල් ඇති වී දොම්නසින් ඉතිරි කාලය ගෙවද්දී එයා කිසිත් සිදු නොවූවා සේ හැසිරෙන්නේ සිත් තැවුලක් සැබැවින් ම නැති නිසයි.

සිත් තැවුලක් කිසිදා දැනුනු නැත්තෙකුගේ හිත කකියන්නේ කොහොම ද?

එහෙත් එයාගේ හිත කකියන්නේ නැති වූවාට අනුන්ට සිත් තැවුලක් ඇති බව අවබෝධයට හැකියාව ඇත. පිටස්තරයන්ව ඉත්තන් මෙන් හසුරවන්නේ ඒ අවබෝධයෙනි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on අප්‍රේල් 26, 2012 at 7:58 පෙ.ව.

    බලං හිටිය වගේ මේ ලියලා තියෙන්නේ අහවාල ගැන නේද?

  2. රාජ් said, on අප්‍රේල් 26, 2012 at 8:49 පෙ.ව.

    //අරයාට කියන්නට එපා යැයි යමක් එවැන්නෙකුට කිව්වොත් එවැන්නා එය වඩාත් ම අයහපත් ප්‍රතිඵලය උදා කරන අවස්ථාවේ දී අරයාට කීම දැකගත හැකිවෙනු ඇත//
    අරුණි නිතරම කියන “නීති වැඩිවෙනකොට නීති කඩන්නන්ද වැඩිවෙන්නා වගේ” නේද?
    කසූ කිව්ව හරි. එයාට තමයි මේකෙන් පහර වැදිල තියෙන්නෙ.

  3. මැණික් said, on අප්‍රේල් 27, 2012 at 1:17 පෙ.ව.

    කිසිවක් නොලිව්වත් ඔයාගෙ ලිපි දිගටම කියවනවා. මේ ලිපි හරහා මට මා දන්නා සමහරුන්ගේ හැසිරීම් රටා සිහියට නැගෙනවා. තාත්තගෙ වැඩේ දුව හොඳින් ඉදිරියට ගෙනියනවා වගේ. සුබ පැතුම්!!!
    මැණික්

  4. කවීන් said, on අප්‍රේල් 29, 2012 at 7:42 පෙ.ව.

    විශිෂ්ටයි… මීට වඩා මේගැන කොහොම ලියන්නද….

  5. Mia said, on ජූලි 21, 2012 at 12:26 ප.ව.

    I know just one person who’s exactly like this! I’ve been wondering for a long time, why she is, the way she is. Why does she do the things she does. Now I think I can finally understand. Thank you so much! 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: