අරුණි ශපීරෝ‍ වෙතින්

නොසලකා හැරීම වෙනස් නොදන්නා කම වෙනස්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 30, 2012

මිනිසා නොදන්න දේවල් බොහොමයි. මිනිසා දන්නා නමුත් දැන සිටිනා බව නොදන්නා දේවල් ද බොහොමයි. ඒ වගේම දන්නා නමුත් නොසලකා හරින දේවල් ද වැඩියි. හැබැයි නොසලකා හැරීම නොදන්නාකම නෙමෙයි (ignoring is not ignorance).

එදිනෙදා ජීවිතයේ දී බොහෝ තෝරාගැනීම් වල දී සිත දන්නා නමුත් සිත දැන සිටිනා බව තමන් නොදැනීම පැහැදිලි කරන පර්යේෂණයක් ලොවට ඉදිරිපත් කළේ António Damásio, Daniel Tranel සහ Steven Anderson නම් අයෝවා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ විසිනි.

ඔවුන්ගේ තෝරාගැනීම් පිළිබඳ වූ පර්යේෂණය සූදු කෙළියක් පදනම් කරගත්තකි. තමන් ඉදිරිපිට ඇති කාඩ් කුට්ටම් හතරකින් තමන් තෝරා ගන්නා කාඩ්පත අනුව එක්කෝ තමන්ට මුදල් ලැබේ නැත්නම් මුදල් ගෙවන්නට සිද්ධ වේ. එක වරකට එක කාඩ්පත බැගින් හරවා සෙල්ලම් කරන්නාට ගෙවන්න වෙනවාට වඩා ලැබෙන මුදල් වැඩි කරගැනීම ජය ලෙස සලකයි.

මෙහි දී සහභාගී වූවන් නොදත් කාරණය නම් එහි වූ කාඩ් කුට්ටම් හතරෙන් කුට්ටම් දෙකක් පර්යේෂකයෝ වෙනස් ලෙසින් සකසා තිබූ බවයි. ඒ කාඩ් කුට්ටම් දෙකෙන් කාඩ්පතක් තෝරා ගනිද්දී ඉක්මණින් දැඩි වාසි මෙන්ම ඉක්මණින් දැඩි අවාසි ද ලැබෙන බවයි. අනිත් කාඩ් කුට්ටම් දෙකෙන් පමණක් කාඩ්පත් රැගෙන අඩුවෙන් මුදල් දිනා අඩුවෙන් මුදල් ගෙවා හිමිහිට එහෙත් ස්ථිරව ම වැඩිපුර මුදල් එකතු කරගත හැකි බවය.

පර්යේෂකයන්ගේ ප්‍රශ්නය වූයේ සහභාගී වූවන් මෙය අල්ලා ගන්නට කොතරම් කාලයක් ගනීවි ද යන්නයි.

පර්යේෂණයට සහභාගී වූ නිරෝගී මනස් ඇති අය කාඩ් කුට්ටම් හතරෙන් ම කාඩ්පත් තෝරා ගනිද්දී 40 – 50 ක් පමණ දුර යන විට අඩුවෙන් දිනා අඩුවෙන් ගෙවන කාඩ් කුට්ටම් වලට පමණක් තම තෝරාගැනීම් සීමා කරගත්තහ. එහෙත් එය ඇයිදැයි කියන්නට ඔවුන් දැන සිටියේ නැත.

පර්යේෂණයට සහභාගී වූ මොළයේ orbitofrontal cortex (OFC) හි නිසි ක්‍රිකාරීත්වය නොතිබි අය තව දුරටත් අලාභ පාඩු විඳින බව දැන දැනත් ඒ කාඩ් කුට්ටම් වල ම රැඳී සිටියහ.

පර්යේෂණයට සහභාගී වූවන්ගේ අල්ලේ දහදිය ක්‍රියාකාරීත්වය මනින විජට්ටුවක් ද ඔවුනට සවිකර තිබිණ. මිනිසාගේ දහදිය පිටකරන ග්‍රන්ථි අතරින් එකක් වන අල්ල, උණුසුම නිසා මෙන් ම ආතතිය නිසා ද දහදියෙන් තෙත්වෙයි. අයෝවා පර්යේෂකයන් දුටුවේ සෙල්ලමේ නියැළී සිටි අය අලාභ ලැබෙන කාඩ් කුට්ටම් වලින් දහවැනි කාඩ්පත තෝරා ගනිද්දී ම වාගේ දහදිය දමන්නට පටන් ගත් බවයි. එනම් ඔවුන් අලාභ පාඩු ලැබෙන කාඩ් කුට්ටම් වලින් අයින් වී ඉන්නට කළ තෝරාගැනීම කරන්නට සෑහෙන තරම් කළියෙන් කාඩ් කුට්ටම් හතරෙන් දෙකක් නොමනා යැයි ඔවුන්ට අවදානමක් දැනී තිබි බවයි. අල්ලේ දහදියත් සමඟ ඔවුන්ගේ තෝරා ගැනීම් ද වෙනස් වී යන ලදි.

මොළයේ OFC නිසි ක්‍රියාකාරීත්වය නොතිබි අයට අල්ලේ දහදියක් නොතිබිණ.

නිරෝගී මොළයන් ඇති අය අතර සේ ම schizophrenia සහ obsessive compulsive disorder වැනි මානසික වියවුල් ඇති අය අතරත් මේ පර්යේෂණය ඇසුරින් fMRI මොළ ස්කෑන් භාවිතයෙන් මිනිස් මොළය ගැන තවත් තොරතුරු සොයා ගැනීම අද සිද්ධ වෙයි.

සමහර අවස්ථාවන් වල දී පුද්ගලයා දන්නා දේවල් නොසලකා හැරීම නිසා එයා මහත් කරදරයන්ට මුහුණ පායි. තමන් ඇසුරු කරන සියල්ලෝම සියළු නීතියක් ම ගරු කරන අය යැයි විශ්වාස කරනා අයෙක් නැත. එහෙත් එය දැන දැනත් එය නොසලකා හැරීම නිසා අනික් අයෙක් කැඩූ නීතියක් නිසා තමන් ද අමාරුවේ වැටිය හැකි අවස්ථා වලට මිනිසා දිනපතා මුහුණ දෙයි. ඒවායෙන් වැඩිපුර අවස්ථා දුක දොම්නස ගෙන දුන්නත් විටෙක දී එවැන්නක් ජීවිතය සහමුලින් වෙනස් කරන්නට සමත් අහිතකර අවස්ථාවක් ද විය හැකියි.

මනෝව්‍යාධියෙන් පෙළන්නවුන් ඔවුන් ගැන වූ ආත්මකේන්ද්‍රීය (egocentricity) ස්වභාවයෙන් හැසිරෙද්දී, ඒ අය තමාට පමණක් සුවිශේෂී ලෙසින් සලකා අනුන්ට කිසිම දයාව කරුණාවක් නැතිව සලකද්දී, ඊට රැවටීම, දන්නා දේවල් නොසලකා හරින හැදියාවට අයිති වෙයි. සිත්පිත් නැති, රූකඩ මෙන් අනුන්ව නටවන්නට සමත්, වංචා කරන, ආවේගශීලී වූ, රහසිගත ලෙසින් කටයුතු කරන, තමන් තරම් ජගතෙක් ලොව නැතැයි සේ හැසිරෙන, ලිංගිකව කිසි ලැජ්ජා බියක් නැතිව හැසිරෙන, පොරොන්දු නොරකින, වගකීමෙන් තොර, හදිසියේ සහ සැලසුම් ගසා කරන ප්‍රචණ්ඩත්වයට හැකියාව ඇති, ආතතියක් හෝ බියක් නොපෙන්වන අය වටා එකතු වෙන එසේ නොවන අය බොහෝ ය. මනෝව්‍යාධියා අනුන්ට සලකන හැටි දැන දැනත් මට පමණක් එයා එසේ සලකන්නේ නැතැයි විශ්වාසයෙන් ඉන්නා අයෙක් තමන්ට එසේ සැලකෙන මොහොත එනතෙක් ම තම දන්නාකම නොසලකා හරින්නෙකි.

මනෝව්‍යාධියෙන් පෙළන්නුවන් සියල්ලෝම එකම නිෂ්ටාවක් කරා යන්නට ඒ හැදියාව ඇති අය සමඟ එකතුවන අයත් නොවෙති. සමාජශීලී ලෙස හැසිරුන ද මනෝව්‍යාධියා තනිව කටයුතු කරන්නෙකි. ඒ ඒ මනෝව්‍යාධියා ස්වභාවයෙන් ම සැකසී ඇත්තේ ඒ ඒ අයගේ නිෂ්ටාවන් සපුරා ගන්නට ය. ඒ නිසා මනෝව්‍යාධියෙක් අනිත් මනෝව්‍යාධියෙක් වෙතින් ඈත් වී සිටින්නේ “දන්නා නමුත් දන්නා බව දැන නොසිටින” හෙයින් යැයි කිවහැකිය. රූකඩ සේ නටවන්නට අල්ලා ගතහැකි ආවේගාත්මක හැදියාවක් නැති අය වෙතින් ගත හැකි දෙයක් ද නැති නිසා මනෝව්‍යාධියාට තවත් මනෝව්‍යාධියෙක් කිසිත් වැඩකට නැති අයෙකි.

ඒ නිසා මනෝව්‍යාධිය ගැන වැඩියෙන් සොයා දැනගත යුත්තේ මනෝව්‍යාධිය නොමැති අයයි. නොදන්නාකමින් අනුන්ගේ රූකඩ සේ නැටවෙන්නට කැමති නැති අයයි. කොච්චර කියා දුන්නත් දන්නා දේවල් නොසලකා හරින අයට නම් උපදෙස් නැත!!!!!
Ignoring is not ignorance.

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. buddie-බුඩී said, on අප්‍රේල් 30, 2012 at 10:51 පෙ.ව.

    //කොච්චර කියා දුන්නත් දන්නා දේවල් නොසලකා හරින අයට නම් උපදෙස් නැත!!!!!// 🙂 මේක හරියට මෝඩ කමට බේත් නෑ වගේ නේ 🙂

  2. දූපත් වැසියා said, on මැයි 1, 2012 at 12:14 පෙ.ව.

    රූකඩ සේ නටවන්නට අල්ලා ගතහැකි ආවේගාත්මක හැදියාවක් නැති අය වෙතින් ගත හැකි දෙයක් ද නැති නිසා මනෝව්‍යාධියාට තවත් මනෝව්‍යාධියෙක් කිසිත් වැඩකට නැති අයෙකි.// එනම් රූකඩ සේ හැසිරෙන්නවුන් කිසිත් මනෝව්‍යාධිකයින් නොවෙත්ද???

    අරුණි මිස්. ඔයාගේ ලිපිය නම් ගොඩක් වැදගත්, නමුත් තව පොඩ්ඩක් විතර සරල නොකර අපි වගේ කට්ටියට එකපාර තේරුම් යන්නේ නැති වෙයි.

    • arunishapiro said, on මැයි 1, 2012 at 5:26 පෙ.ව.

      දූපත් වැසියා,

      නැහැ එයාල මනෝව්‍යාධිකයන් නොවේ. ඒ ගැන ඊ ළඟ සටහනින් කියවන්න.

      ඔව් මෙවැනි සටහනක් එකපාරින් තේරුම් ගන්න නම් අසීරු බව පිළිගන්නවා. මිථ්‍යාවන් ගොඩක් හිස මත තියාගත් අයට කොපමණ වතාවක් කියෙව්වත් වටහා ගැනීමට නොහැකියි. පසුබිම් සාධක හා අදාල තොරතුරු ගොඩක් තිබුණත් සටහන් දිග් ගැස්සී වැල්වටාරම් ලියැවී තවත් අවුල් වෙයි කියාත් හිතෙනවා.

      අපහැදිලි තැන්වල දී ප්‍රශ්න ඇහැව්වොත් මට තවත් පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි ඒ යමක් දැනගන්න කැමති අයට.

      සරලව ලියත නොහැකියාව ජයගන්න හැමදාම ලියද්දී සෑහෙන අධිෂ්ඨානයක ඉන්නෙ. ස්තූතියි.

  3. lalita kumara ranawana said, on මැයි 2, 2012 at 12:38 පෙ.ව.

    thawa tikak sarala kara kiyanna.

  4. lalita kumara ranawana said, on මැයි 2, 2012 at 12:39 පෙ.ව.

    obe piyata wage sarala bhashawak thibunanam hondai

  5. Shanthi Chandrasekera said, on මැයි 6, 2012 at 6:35 ප.ව.

    athma viswasaya nathi ayada anunta ona vidihata natawanna puluwan veema mano viyadikaya mulaveemakda? Thanks Aruni

    • arunishapiro said, on මැයි 7, 2012 at 7:49 පෙ.ව.

      Shanthi Chandrasekera,

      ස්ව-විශ්වාසය නැති අයව අනුන්ට ඕන විදියට නටවන්න පුළුවන් වීම මනෝව්‍යාධිකයා මුලාවීමක් නොවේ. මනෝව්‍යාධිකයා යනු කිසියම් වූ අවසන් අරමුණක් නැති වූවෙක්. මනෝව්‍යාධිකයා මුලාවෙන එකම විදිය එයාගෙ වැරදීම් වලින්. බර්නි මෑඩෝෆ් මුලාවූයේ දිගින් දිගටම වංචාව කරගෙන යන්න පුළුවන් යැයි තමන් ගැන වූ විකෘති අධි තක්සේරුව නිසා. අහුවෙන්නේ නැති තාක් කල් වැඩි වැඩියෙන් හදන්නෙ වැඩි වැඩියෙන් අනුන් රවටන්නට. තව තව අවදානම් ගන්නට පෙළඹෙන නිසා අහුවෙන ප්‍රතිශතය වැඩියි. ඒක වටහා ගන්නටත් මනෝව්‍යාධිකයාගේ මොළයට බැහැ.

  6. Shanthi Chandrasekera said, on මැයි 7, 2012 at 8:17 පෙ.ව.

    Godak sthuthi Aruni oyata obe pahadili kereemata. .subadawasak!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: