අරුණි ශපීරෝ‍ වෙතින්

මනෝව්‍යාධිකයන්ට පෙම් කරන්නෝ

Posted in Uncategorized by arunishapiro on මැයි 1, 2012

වැරැද්දක් කරන්නට පෙර ම මිනිස් හිතක් “ඔයා කරන්න යන්නේ වැරැද්දක්” යැයි කොනහන්නට පටන් ගන්නා නිසා මනෝව්‍යාධියක් නොමැති මිනිස් සත්වයාට යම් දැයක් කරන්නට පෙර එහි “හොඳ” “නරක” ගැන සිතුවිලි අනේක ගණනාවක් සිතට ගලා ඒම නතර කරනු නොහැකිය.

එසේම කැමැත්තෙන් ම තමන්ට අනතුරක් කරන කටයුත්තක් තෝරාගන්නට, නිරෝගී මොළ ඇති සත්තු අතරින් හැකියාව ඇත්තේ ද මිනිසාට ය. දරුවෙක් හෝ තවත් මිනිසෙක් බේරාගන්නට යෑමෙන් තමාට හානියක් පැමිණිය හැකි යැයි දැන දැනත් ඊට ඉදිරිපත් වෙන මිනිසුන් ගැන අප ඕනෑතරම් අසා ඇත. දියේ ගිලෙන්නට ගිය තමන් නොදන්නා පුංචි ළමයෙක් බේරාගත් මගේ යෙහෙළියකගේ අයියා ඉතාලියේ දී දරුවා බේරා දී තමන්ගේ දිවිගලවා ගත නොහැකිව ඒ දියේ ම ගිලී මළේය.

අනිත් සත්තුන්ගේ මොළ හැදී ඇත්තේ අනතුරක් ඉදිරියේ දී පළා දුවන්නට හෝ අනතුර ඉදිරියේ දී සටන් වැද ජීවිතය බේරාගන්නට ය. එහෙත් මිනිස් මොළයේ සංකීර්ණ වූ පරිනාමයෙන් “ටොගල් ස්විච්” එකේ දී වැඩ කරන්නේ දිවියාගේ මොළය ද නැත්නම් ඉගෙන ගත හැකි මොළය ද යන්න අද වැදගත්.

කළින් සටහනේ දී මෙන් මිනිස් අතට දහදිය දමමින්, හදවත ස්පන්දනය වැඩි කරමින්, මොළය විසින් අනතුරු ඇඟෙව්වත්, තම විනාශය වෙත අයෙක් යන්නේ ඇයි?

සංකීර්ණ වූ සිතුවිලි රටාවක් ඇති හෙයින් මිනිසා තමන් විසින් කිසිම දවසක නොකරන දෙයක් ගැන සිතන්නට හපනෙකි. හිතට එන හැම දෙයක් ම නොකළාට, තමන් බිය වූ එහෙත් කැමත්ත ඇති දෙයක් තවකෙක් කළොත් ඒ ගැන යටි සිතින් සතුටුවන්නට ද හැකියාව මිනිස් සිතට ඇත.

විශ්ව විද්‍යාල නවක වදය පැවැත්වෙන සමයේ දී සොයා බැලුවොත් නවක වදයේ නියැළෙන්නේ කෙතරම් ටික දෙනෙක් ද? ඒ අය දෙන වදහිංසා වලට අනුබල දෙමින් පැත්තකින් සිට සතුටු වන්නේ කොතරම් මහත් පිරිසක් ද? යන්න දැකගත හැකිය. ඒ අය කෙළින් ම වදහිංසා වල නියැළුනේ නැතත් අනිත් අය කරන වදහිංසා වලින් සතුටු වන්නෝය.

මනෝව්‍යාධිකයාට මෙන් සිත්පිත් නැතිව යමක් කරන්නට හැකියාව ඇත්නම් යැයි සිතනා අවස්ථා මනෝව්‍යාධික සිත් නොමැති අයටත් පහළ වේ. වෙනස මේකයි. එසේ සිතන්නාට සිතේ දුක වේදනාව දැනෙයි. ඒත් නොදැනෙනවා නම් හොඳ යැයි සිතයි. මනෝව්‍යාධිකයාට දුක වේදනාව දැනෙන්නේ නැත. ඊට හැකියාවක් ද නැත.

රැකියා ස්ථානයේ විධායක තනතුරක් දරනා අයෙකුට තමන් හා වැඩ කරන අයෙක්ව සේවයෙන් අස් කරන්නට ඉහළින් අණක් ආවා යැයි උදාහරණයක් ගනිමු. රැකියාව අහිමි වෙන්නාට දරුවන් පස් දෙනෙක් සිටිනා බවත්, භාර්යාව යම් රෝගයකින් පෙළෙනා බවත්, දෙමාපියන් ඉතා වයසක නිසා ඔහු සමඟ වාසය කරන බවත්, සේවකයා මැදිවියත් පසුකර ඇති බැවින් අළුත් රැකියාවක් සොයාගැනීම අසීරු බවත්, එයා දන්නේ යැයි සිතමු.

මනෝව්‍යාධිකයෙක් නොවන්නේ නම් කොතරම් ඉහළින් අණක් ආවත්, කොතරම් දුර්වල ලෙසින් සේවය කරන්නෙක්ව වුවත් ඒ ඒ කරුණු දැන දැන ම සේවකයාව රැකියාවෙන් අස් කරන්නට හිත හදාගැනීම දුෂ්කරය. තමන්ගේ රස්සාව ගහලා යන නිසා ඉහළින් ආ අණ ක්‍රියාත්මක කළත් ඒ ගැන හිතට දැනෙන කරදරයෙන් ගොඩ ඒම පහසු නැත.

මනෝව්‍යාධිකයෙක්ට එවැනි අණක් ක්‍රියාත්මක කරද්දී හිත කිසිම වදයක් නොදෙයි. බොහෝ විටෙක දී මනෝව්‍යාධිකයා අර සියළු කරුණු දැන දැනම ඉහළින් අණක් ලැබෙන්නටත් පෙර සේවකයෙක් නෙරපා හැරීමට නිර්දේශ කරනු ද ඇත.

මෙවැනි අවස්ථාවක දී, මනෝව්‍යාධියක් නොමැති නිසා, සිතට දැනෙන කරදරය කොතරම් දැයි දන්නා නිසා, දැඩි ශක්තියකින් ව්‍යාපාරයේ හෝ සංවිධානයේ හෝ පක්ෂයේ හෝ රටේ හෝ යහපත පිණිස යැයි කියා දරුණු තීරණ ගත හැකියාව ඇත්තාව (නොහොත් මනෝව්‍යාධිකයාව) මනෝව්‍යාධියක් නැත්තාට පෙනෙන්නේ වීරයෙක් ලෙසට ය.

කිහිප දෙනෙකු හා ලිංගික සබඳතාවයන් පවත්වන්නට හැකි අය ගැන ඊර්ෂ්‍යාවක් දැනෙන්නේ ඊට තමන්ගේ යටිසිත තුල ඇති එහෙත් මැඬගෙන ඉන්නා ආශාවක් නිසා ය. මැඬගත් ආශාවන් ඇති එහෙත් අනුන්ට දුක් දෙන්නට බැරි සිත් ඇති අයට අනුන්ට දුක් දෙන්න පුළුවන් සිත් ඇති අයව පෙනෙන්නේ ඔවුන් තමන්ට වඩා යම්කිසි ශක්තියකින් වැඩි අය ලෙසයි.

පුද්ගලයා එසේ දකින්නේ තොරතුරු සොයා බලා, විචාරයෙන් සිතා බලා පැමිණෙන නිගමනයක් නිසා නොවෙයි. තමන්ට කරන්නට බැරි දේවල් කරන අය ගැන ස්වභාවයෙන් ම මිනිසා තුල හටගන්නා වූ ආවේගයන් (ඊර්ෂ්‍යාව, විස්මිතය, ගෞරවය …) තුලින් එන නිගමනයකි. ගින්නක් ගහන්නට දත්තාට වැඩියෙන් මස් පුච්චා ගෙන ජීවිතය පවත්වා ගැනීමේ හැකියාව වැඩියෙන් ඇති නිසා මිනිස් මොළයේ පරිණාමයේ දී තමන්ට වඩා යමක් දන්නා ගැන, තමන්ට වඩා කුසලතාවයක් ඇත්තා ගැන ස්වභාවයෙන් ම හටගන්නා ආවේගයන් බොහොමයකි. හටගන්නා ස්වභාවික වූ ආවේගයන් සමඟ ඒකීය පුද්ගලයාගේ සුවිශේෂී වූ ජීවිතයේ දී මුහුණ දුන් හැදියාවන් ද මුසු වී සංකීර්ණ ක්‍රියාවලියක් තුලින් නිගමනයට පිවිසේ.

එහෙත් තමන් තුල ඇති තොරතුරු සම්භාරය වැඩි වෙද්දී, ඒ තුලින් කරනා විචාරයෙන් ඇතිවන්නේ ස්වභාවයෙන් හටගන්නා වූ ආවේගයක් නොවේ. හැදියාවෙන් ජනිත වූ ආවේගයක් නොවේ. එවිට අයෙක් පැමිණෙන්නේ ඉගෙන ගත හැකි මොළයෙන් එළඹෙන නිගමනයකටයි. ඊට හැකියාව නිරෝගී මනසක් ඇති සෑම මිනිස් සතෙකුට ම තිබුණත් එය උවමනාවෙන් නිතර පාවිච්චියට ගන්නා අය විරල ය. එහෙත් එය උවමනාවෙන් නිතර පාවිච්චියට ගන්නා මිනිස් මොළයක, ස්ව-විශ්වාසය වැඩි වී, තම පෞරුෂය ශක්තිමත් වෙද්දී ස්වභාවික ආවේග හා හැදියාවන් වලින් එන නිගමන අඩු වී, තව තවත් ඉගෙන ගත හැකි මොළයෙන් එළඹෙන නිගමන වැඩිවෙයි. එවැන්නෙක් ව රූකඩයෙක් සේ නටවන්නට කිසිවකුට නොහැකිය.

මනෝව්‍යාධිකයන්ට පෙම් කරනා අය, ඔවුන් වීරයෝ සේ සලකන අය ලොව වැඩියෙන් ඇත්තේ තමන්ට හිමි සිතන්නට හැකි මොළය, ඉගෙන ගත හැකි මොළය පාවිච්චි කරන්නේ නැති අය වැඩියෙන් ලොව වාසය කරනා නිසාය. මනෝව්‍යාධිකයන් රූකඩයන් සේ නටවන්නේ මේ මහත් පිරිසයි. මහත් පිරිසක් රවටා ඔවුන්ව නටවන්නට හැකියාව ඇත්තා මනෝව්‍යාධිකයෙක් වුවත් නැටවෙන්නා මනෝව්‍යාධිකයෙක් නොවෙයි. ඔවුන් තතු නොදන්නා (නූගතුන්) අය පමණයි.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. Sudath said, on මැයි 1, 2012 at 10:52 ප.ව.

    ලිපියනං ෂෝක්. අපැහැදිළි දෙයක් තියනවා. කරුණාකරල කියල දෙන්න.
    නීතිය ක්රියාත්මක කරන ‍පොලිස් නිලධාරියා හෝ අණ පිළිපදින සොල්දාදුවා මනෝ ව්යාධියකින් පෙළෙනවාද?

    • arunishapiro said, on මැයි 2, 2012 at 1:05 ප.ව.

      Sudath,

      සාමාන්‍ය සමාජයක, ඒ කියන්නෙ පාරට බැහැලා වීදියක ඇවිද ගෙන ගියොත් ඉන්න 100 ක් පිරිසක් අතර 1 අයෙක් මනෝව්‍යාධියෙන් පෙළෙන්නෙක් හැටියට දැනට ඇමෙරිකන් දත්ත පෙන්වන්නේ. ලෝක සමාජ හැම එකකම මනෝව්‍යාධිකයන් ඉන්නා බව ඒ ගැන පර්යේෂණයේ යෙදෙනා අයට දැනගන්නට ලැබෙනවා. මුල් පොත Mask of Sanity ලියූ Hervey Cleckley කියන විදියට ඒ පොත කියවපු අය ලෝකයේ නන් දෙසින් ඔහුට ලිපි එවනවා ඒ අයට හමු වූ හා පීඩා වින්ඳ මනෝව්‍යාධිකයන් ගැන දන්වන්නට. ඒත් දත්ත එකතු කරනවා කියන්නෙ තවත් දෙයක්නෙ.

      යම් කොටසක් ගත්තොත්, පොලිස් නිලධාරීන් 100 ක් අතරින් 1 අයෙක්, සොල්දාදුවන් 100 ක් අතරින් 1 අයෙක් වගේ ඒ හැම 100 ට ම 1 අයෙක් මනෝව්‍යාධිකයෙක්. එනම්, සමාජය පිළිබිඹු කරන්න ම තමයි එවැනි කොටසකින් ද පිළිබිඹු කරන්නේ.

      එහෙම නොවන අවස්ථා තියෙනවා. ඒ ගැන සවිස්තරාත්මකව ලියන්නම්.

  2. දූපත් වැසියා said, on මැයි 2, 2012 at 1:34 පෙ.ව.

    මේ වතාවෙ නම් ලිපිය තේරුණා. වැඩිය සංකීර්ණ නෑ.

    1) මනෝව්‍යාධිකයෙක් නොවන්නේ නම් කොතරම් ඉහළින් අණක් ආවත්, කොතරම් දුර්වල ලෙසින් සේවය කරන්නෙක්ව වුවත් ඒ ඒ කරුණු දැන දැන ම සේවකයාව රැකියාවෙන් අස් කරන්නට හිත හදාගැනීම දුෂ්කරය. තමන්ගේ රස්සාව ගහලා යන නිසා ඉහළින් ආ අණ ක්‍රියාත්මක කළත් ඒ ගැන හිතට දැනෙන කරදරයෙන් ගොඩ ඒම පහසු නැත.// :- මෙය සත්‍යක් නම් ත්‍රිවිද හමුදාවේ සේවය කරන බොහෝ දෙනෙක් මනෝව්‍යාධික ගතියට අයිතිවේ. සමහර දේශපාලකයිනුත් මේ තත්වයටම වැටේ.

    2) මහත් පිරිසක් නටවන්නට හැකි, නමුත් මනෝව්‍යාධිකයන් නොවන පිරිස, මනෝව්‍යාධිකයින්ගෙන් වෙන්කර හදුනා ගන්නේ කෙසේද?

    3) ඔබ කියූ තියරිය දැමූ විට, අපි කිසිදා නොදුටු, නොපෙනෙන, මරණින් පසු සිදුවෙන දේ ගැන උගන්වන, සතුන් ඇත්තේ මිනිසාගේ පරිබෝජනයට යැයි කියන ආගමික සාස්තෘවරු මනෝව්‍යාධිකයින්ද, ඒවා පිළිසරණ යන අපි නූගතුන්ද?

    • arunishapiro said, on මැයි 2, 2012 at 1:24 ප.ව.

      දූපත් වැසියා,

      හැකිතරම් උත්සාහ ගන්නම් සංකීර්ණ නොකරන්නට 🙂

      1. නැහැ ත්‍රිවිධ හමුදාවේ සේවය කරන හැමෝම සිත්පිත් නැති අය නෙමෙයි. සමහර අය තමන් නීතිය රැක අහිංසකයන් ආරක්ෂා කරගනිමින් වරද කළවුන්ට දඬුවම් දෙන ජීවිතය දකින්නේ ඉතා තෘප්තියක් ගෙන දෙන රැකියාවක් ලෙසට. ජනතාව විඳින කරදර නිසා ඉතා දුකින් කාලය ගෙවනා, තමන්ගේ පුද්ගලික මුදල් ද දුප්පතුන්ට තෑගි දෙන දේශපාලනයේ යෙදෙන අයත් ඉන්නවා. මේ දවස්වල දෙගොල්ලොම ටිකක් අඩුයි මුළු ලෝකයේ ම. ඉක්මණින් ඒ ගැනත් ලියන්නම්.

      2. නළුවෙක් ගැන හිතන්න. තාත්වික ජීවිතය හුවා දක්වමින් රංගනයක් දක්වන්නට හැකි අයෙක් මනෝව්‍යාධිකයෙක් නෙමෙයි. මනෝව්‍යාධිකයන් හඳුනාගන්නා ලක්ෂණ සියල්ල ගැන සටහනක් තියනවා. ඊට කළින් කිව යුතු දේවල් තියන නිසා ඒවාට පසුව දාන්නම්.

      3. පාරම්පරික විශ්වාසයන් හා එල්බ ගත් මතයන් තිබීම මනෝව්‍යාධියක් නෙමෙයි. පුද්ගලයෙක් තමන් විශ්වාස කරන දැයක් දේශනා කිරීමත් මනෝව්‍යාධියක් නෙමෙයි. ඒ සමහර අය නූගතුන්. සමහර අය වෙනස් වෙන්නට අකමැති අය. සමහර අය කිසිවක් තමන් විසින් සොයා බලන්නට අකමැති කම්මැලියෝ. මනෝව්‍යාධිකයාට ඇති එකම අරමුණ පුද්ගලික වූ තෘප්තියක් සෙවීමයි. ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට පාරම්පරික විශ්වාසයන් හා මතයන් යොදා ගන්නේ මනෝව්‍යාධිකයන්.

      මම හිතන්නෙ මෙහෙම. හිතා බලන්නට නිරෝගී මොළයක් ඇති අයෙක්, විචාරයෙන් තොරව යමක පිළිසරණ යන්නේ නම් එයා නූගතෙක්. එයා හරි වැරැදි හෝ හොඳ නරක නැහැ. ඒක එයාගේ හැටි විතරයි. ඒක එයාගේ කැමැත්ත නම් එය වෙනස් කරන්නට ද අවශ්‍යතාවයක් ඇතැයි මම සිතන්නේ නැහැ. පරිනාමයේ දී පැවැත්ම ආරක්ෂා වෙන්නේ යෝග්‍යතමයන්ට බැවින් කාලයාගේ ඇවෑමෙන් විචාරයට මොළය පාවිච්චි නොකරන නූගතුන් වඳ වී යාවි. ඒකට කොච්චර කල් යාවි ද කියලා නම් අහන්න එපා, මම දන්නෙ නැහැ!!!!

  3. Ravi said, on මැයි 2, 2012 at 2:55 පෙ.ව.

    අපූරු ලිපියක් අරුණි…ඔබේ මෙතෙක් මා කියවූ හොඳම ලිපි අතරින් එකක්…කිසිදිනක මා නොසිතූ දෙසකට මසිත මෙහෙයවීමට මට බලකල ලිපියක්…ස්තූතියි,

    ලිපිය කියවද්දීම මසිතෙහි පැන නැඟුනු එක් ගැටළුවක් සුදත්ටත් ඇතිවී තිබෙන හැඩයි…

    / මනෝව්‍යාධිකයෙක් නොවන්නේ නම් කොතරම් ඉහළින් අණක් ආවත්, කොතරම් දුර්වල ලෙසින් සේවය කරන්නෙක්ව වුවත් ඒ ඒ කරුණු දැන දැන ම සේවකයාව රැකියාවෙන් අස් කරන්නට හිත හදාගැනීම දුෂ්කරය. /

    දැන් මේ විදිහට මේ සේවකයා කොපමණ අකාර්යක්ෂම උනත් ආයතනයේ මතු පැවත්මට කොපමණ තර්ජනයක් උනත් සේවයෙන් ඉවත් කරන්න වෙන්නෙ ඊට ඉහළ නිලධාරියා මනෝ ව්‍යාධියකින් පෙළෙනවනම් විතරයිද?

    ඒ විදිහට අද ලෝකෙ ඉහල තැන්වල වැජඹෙන සියළුම ආයතන සහ සමාගම් පාලනය කරන්නෙ මනෝ ව්‍යාධිකයින්ද?

    • arunishapiro said, on මැයි 2, 2012 at 1:44 ප.ව.

      Ravi,

      මොළය පාවිච්චි කරන්නට හැකියාවක් ඇති බැවින් විවිධ ක්‍රියා මාර්ග ගැන සිතන්නට ඉහළ නිලධාරියාට හැකියි. එයා මනෝව්‍යාධිකයෙක් නම් විතරයි කිසිත් සිතා බැලීමක් නැතිව සේවකයාව ගෙදර යවන්නට හැකියාව ඇත්තෙ. මොළය පාවිච්චි කරන්නෙ නැති, මනෝව්‍යාධික බවක් ද නැති අයෙක් නම්, රැකියාවෙන් පහ කරලා එහෙම කරන්න වුනා අනේ අපොයි ඌට වෙච්ච දේ කියා දුක් වෙයි. වැඩියෙන් දුක් වුනොත් එයාගෙත් රස්සාව ගහලා යන්න තරම් ඉඩ තියෙනවා. එච්චර නූගත් නම් එයා ඉහළ නිලයකට සුදුස්සෙක් නොවේ.

      මනෝව්‍යාධිකයෙක් නොවන එහෙත් මොළය පාවිච්චි කරන ඉහළ නිලධාරියෙක්ට පුළුවන් මේ සේවකයාට එතරම් කාර්යක්ෂමතාවයක් අවශ්‍ය නැති තවත් තැනක් (ආණ්ඩුවේ පුටු රත්කරන රස්සා ඕන තරම් තියෙන්නෙ!!) හොයා දෙන්න. සමාගම් වල දකින්න පුළුවන් පටන් ගත් දා සිට විශ්‍රාම යන දිනය තෙක් එකම තැනක ලැග ඉන්නා සේවකයෝ. සමහර අයට උසස්වීම් නොදෙන්නෙත් එයාලගේ රස්සාවේ ආරක්ෂාවට!!! ඉහළ නිලධාරියාට පුළුවන් වෙනත් ආදායම් මාර්ගයක් ගැන තොරතුරු ලබාදෙන්න. අස් කරන්නට කළින් ආදායමක් උපයාගත හැකි වූවකට පුහුණුවක් ලබා දෙන්න. සේවකයාගේ දරුවන් අතරින් දක්ෂ අයෙකුට සමහර විට සේවකයාටත් වඩා හොඳ රස්සාවක් හොයලා දෙන්න. කරන්න දෙයක් නැහැ මිනිහෝ උඹ ගෙදර පලයන් කියන්නෙ හිතන්න බැරි අය.

      ඉතින් ඒ නිසා අද ලෝකයේ ඉහළ තැන්වල ඉන්න සියළු සමාගම් හා ආයතන පාලනය වෙන්නෙ මනෝව්‍යාධිකයන් වෙතින් නොවේ. මනෝව්‍යාධිකයාගේ ලක්ෂණ ගැන තව ලියන්නම්. එහෙම තැනක වැඩි කාලයක් ඉන්නට එවැනි අයට බැහැ. තමන්ව විනාශයට ගෙන යන ස්වභාවයෙන් යුතු නිසා ඔවුන් ඉහළ තැනක වැජඹෙන්නේ සීමිත කාලයක් පමණයි. සමහර විට අපි කැමති තරම් සීමිත කාලයක් නොවූවාට එය සීමිත කාලයක්!!!!!

      • Ravi said, on මැයි 3, 2012 at 2:17 පෙ.ව.

        බොහොම ස්තූතියි අරුණි පැහැදිලි කිරීමට…තෝරා ගැනීම් සහසක් තිබියදී අපි ඒ ගැන නොසලකා පහසුම තෝරාගැනීමට යන්නෙ ඇයි? 🙂 මොනව උනත් පරණ පුරුද්දට මූලික ප්‍රාජක දෙක විතරක් භාවිතා කරන නිසාද?

        විකල්ප එමෙන්ම වඩා උචිත තෝරාගැනීම් පිළිබඳව කටයුතු කල යුත්තේ මිනිසාටම ආවේණික තුන්වන සහ හතරවන ප්‍රාජක වලින්ද?

        • arunishapiro said, on මැයි 3, 2012 at 9:43 පෙ.ව.

          Ravi,

          මනෝවිද්‍යාඥයන් එකඟ වෙන්නේ නැහැ ඔයා එක්ක අපි ගන්නා තෝරාගැනීම පහසුම වූව බව කියන්නට. මිනිස් මොළය සෑහෙන සංකීර්ණ වූ ක්‍රියාවලියක් ඔස්සේ ගිහින් තමා තීරණයක් ගන්නට ඒ මොළය අයිති මිනිසාට උදව් වෙන්නෙ. ඒ ගැන අපි නොදන්න පමණින් ඒ ක්‍රියාවලිය වෙන්නෙ නැහැයි කියන්න බැහැනෙ. අපිට හිතෙන්නෙ අපි තෝරාගත්තා වූව පහසුම වූව බව කියා. ඒත් ඒ තෝරාගැනීමේ දී වූ සංකීර්ණ සලකා බැලීම් ගැන අපි නොදන්නා නිසා අපි අවධානයක් දක්වන්නේ නැහැ, ඒ නිසාම අපි සහසක් දේ අතරින් පහසුම දේ තෝරාගත්තා යැයි සිතනවා. ඒත් අයෙක් තෝරාගැනීම ගැන හිතන්නට පටන් ගත් සැනින් එයාගෙ මොළය සෑහෙන්න වැඩ කරලා තෝරලා බේරලා ගත්තු ටිකක් ගැන තමයි පුද්ගලයා දැනුවත් වෙන්නෙ.

          මිනිස් මොළයේ ස්වභාවය (nature) සහ හැඩගැසී ඇති හැටි (nurture) දෙකම තීරණයක් සඳහා බලපානවා. අද ජීවත්වන සාමාන්‍ය මිනිසෙක් ප්‍රාජක හතරෙන් ම වැඩ ගන්න අය. කැමැත්තක් අකැමත්තක් සාධක වෙන්නෙ නැහැ ඊට. අද මිනිස් මොළය හැඩගැසී ඇති හැටි. දැනුම එකතු කරගෙන ඒකීය පුද්ගලයා ගන්නා තීරණ වෙනස් වන හැකියාව ලැබෙන්නේ අර nurture කියන කොටසට. එකම විදියකින් හැඩ ගැසී ඇති සමාජයක හැදිච්ච වැඩිච්ච බහුතරයා ඒ විදියට හිතන්න පුරුදු වෙන්නෙ. වෙනස් විදියකට හිතන්න නම් වෙනත් ශාස්තෘවරු සොයා යමින් දුෂ්කර ක්‍රියා කරන්න ඕනා!!!!

  4. Shanthi Chandrasekera said, on මැයි 6, 2012 at 6:29 ප.ව.

    matath gataluwak soldaduwa mano viyadikayek unama neda wedithiyanna kiya ana labunama wedithiyala maranne. thama samnga kisima sambandayak ho gataluwak nathi kenekwa maranna hitha pelambaveema athi wenne mano viyadikayek unama neda? pahadilikaraganeemata uwamanai thanks Aruni.

    • arunishapiro said, on මැයි 7, 2012 at 7:40 පෙ.ව.

      Shanthi Chandrasekera,

      සොල්දාදුවන් අතර ඉන්නා මනෝව්‍යාධිකයෙක් නෙමෙයි වෙඩි තියන්න අණක් ලැබුනාම වෙඩි තියන්නෙ. යුද්ධයට යන්නෙ හතුරා පරාජය කරන්න. ඒ තමන්ගේ සහ තම රටවැසියන්ගේ ජීවිත බේරාගනු සඳහා. ඊට හැකියාව ඇත්තේ හතුරා මරා දැමීමෙන් නම් වෙඩි තියන්න අණක් ලැබුනාම හතුරා මරා දානවා. සොල්දාදුවන් අතර ඉන්නා මනෝව්‍යාධිකයාට වෙඩි තියන්න අණක් නැතිවත් එයා වෙඩි තියා සතුරන් විතරක් නෙමෙයි අහිංසකයන්වත්, තම පැත්තේ අයවත් මරා දමන්නෙක්.

      ගෙයකට කඩා වදින හොරෙක් තම දරුවා දූෂණය කිරීම වළක්වත හැකි එකම ක්‍රමය හොරාව මරා දැමීම නම් එය කිරීම මනෝව්‍යාධිකත්වයක් නොවේ.

      එහෙම තර්ජනයක් නැතිව, තමන් නොදන්නා අයෙක්ව, කිසිත් සබඳතාවයක් නැති අයෙක්ව මරා දමන්නේ මනෝව්‍යාධිකයෙක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: