අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වානුරාගී මනෝව්‍යාධිකයා

Posted in Uncategorized by arunishapiro on මැයි 3, 2012

ස්වානුරාගියා (narcissist) තමන්ට ආදරය කරන්නෙකි. ආත්මානුරාගය යැයි මෙය ලියන්නට මා මැළිවන්නේ ස්ව-විශ්වාසයට ආත්ම විශ්වාසය යැයි ලියන්නට මැළිවන හේතුව නිසාම ය.

මානසික රෝගී නොවන ස්වානුරාගය නම් සාමාන්‍ය පුද්ගලයෙක් තමන්ට දක්වන ආදරයයි. එහි ගැබ් වී ඇත්තේ තමන් ගැන වූ ගෞරවයක් හා විශ්වාසයකි. තමන්ට තමන් දක්වන ආදරය මාන්නාධික බවින්, අහංකාර බවින් හා ස්වාර්ථාවාදී බවින් වෙනස් වූ ස්වභාවයක් යැයි පෙන්වා දෙන්නේ Erich Fromm විසිනි.

තමන්ට ඇති ආදරය නිසා පුද්ගලයා දත් මදියි. අදට වඩා හෙට දිනයේ තම තත්වය දියුණු කරගැනීමට උත්සාහ ගනියි. තම ක්‍රියා කලාපයේ වගකීම බාර ගනියි. තමන්ගේ ශක්තීන් හා මදිපාඩුකම් ගැන නිසි තක්සේරුවක් දෙයි.

The Art of Loving (1956) පොතෙන් එරික් ෆ්‍රොම් පෙන්වා දෙන්නේ අයෙක් තුල තමන් ගැන ආදරයක් නැත්නම් සත්‍යයෙන් තවකෙකුට ආදරයක් දක්වන්නටත් බැරි බවයි.

දැඩි කම්පනයකින් ඇතිවන දොම්නස් තත්වයක දී ස්වානුරාගය යටපත් වී කන්නට, බොන්නට හා දත් මදින්නට ද අමතක වෙයි. එය සාමාන්‍යයකි. කම්පනය පහ වී යද්දී කන්නට බොන්නට හා දත් මදිනා එක ගැනත් අවධානය යොමු කරන්නට මතක් වෙයි. දොම්නස් ගතිය දිගින් දිගට ම පැවත ස්වානුරාගය පහ වී යන්නේ නම් එය මානසික ව්‍යාධියක ලක්ෂණයයි.

සියදිවිනසා ගැනීමේ සිතුවිලි වලින් පෙළෙන්නා ස්වානුරාගය නොමැති මානසික රෝගියෙකි. එවැන්නෙක් බේරා ගැනීම ඉතා අසීරු ය.

ස්වභාවයෙන් ම පවතින ස්වානුරාගය (මානසික රෝගයක් නොවේ), ස්වභාවයෙන් ම නැති ස්වානුරාගය (මානසික රෝගයක්) යන දෙකෙන් වෙනස් වූ ස්වභාවයකි ස්වානුරාගී මනෝව්‍යාධිකත්වය.

ස්වානුරාගී මනෝව්‍යාධිකයා, සාමාන්‍ය පුද්ගලයන් තුල දකින්නට ලැබෙන්නා වූ ස්වානුරාගයට ඔබ්බෙන් යන්නා වූ තමන්ට පමණක් වූ ආදරයෙන් මන්මත් වූවෙකි.

බරාක් ඔබාමා ගැන ලියැවුන පොතක ඔහුගේ පැරණි පෙම්වතියක් බරාක්ට “ඔයාට මම ආදරෙයි” කිව්වාම බරාක් උත්තර දුන්නේ “ස්තූතියි” කියා යැයි සඳහන් වෙයි. මැතිවරණ සමයේ දී මනෝවිද්‍යා න්‍යයාය චන්ද නැති කරන ගුණ්ඩුවක් වෙන්නා සේ ම, එසේ තම දිනපොතේ ලියාගෙන ඇත්තේ “පැරණි” පෙම්වතියක් යන්නත් අමතක නොකළ යුත්තකි!!!

දේශානුරාගය යැයි කියමින් දේශපාලනයේ නියැළෙන අය ලොව වැඩි වුවත් දේශානුරාගයට වඩා වැඩියෙන් දේශපාලනයේ නියැළෙන අය තුල ඇත්තේ ස්වානුරාගය බව ඔප්පු කරන්නේ ඔවුන් කරන කටයුතුයි. ලෝකය පුරා ඉන්නා දේශපාලනඥයන්ගේ පුද්ගලික ආර්ථිකය යහපත් වෙද්දී රටේ ආර්ථිකය බංකොළොත් වීම ඊට සාධකයක් නොවේ ද?!!!!

ස්වානුරාගී මනෝව්‍යාධික ස්වභාවයන් දෙකකි. එකක් දේහික (somatic) වෙයි. දේහික ස්වානුරාගී මනෝව්‍යාධිකයා තමන්ගේ පෙනුම ගැන අනවශ්‍ය සැලකිල්ලක් දක්වන්නෙකි. තම දේහයෙන් පමණක් සතුට ලබන්නෙකි. වෙළඳ සංකීර්ණයක දී අයෙක් වටපිට බලනවාට වඩා තම ප්‍රතිබිම්බය දිහා බලයි.

දේහික ස්වානුරාගී මනෝව්‍යාධිකයන් සැවොම ලස්සන පෙනුමෙන් යුතු වූ අය යැයි වරදවා වටහා ගන්න එපා. එයා සිය පෙනුම ගැන මන්මත් වී ඉන්නා අයෙක් පමණයි.

දේහික ස්වානුරාගී මනෝව්‍යාධියාට තමන් අනුභව කරන ආහාර පිළිබඳ ඇත්තේ පමණට වඩා වූ රෙජිමේන්තු හැදියාවකි. සිරුරේ පෙනුම ගැන වැඩි අවධානයක් යොමු කරනා එයා රසක් නැති ආහාර වලින් දිවි ගෙවන්නට කිසිත් පැකිළීමක් නැතිව කැප වී සිටියි.

දේහික ස්වානුරාගී මනෝව්‍යාධිකයා සිගරට්, මත්පැන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඖෂධ අපහරණය හා සිරුරේ මාංශපේශී ඉස්මතු කරන කෙම් කරමින් තම දේහය දිහා බලමින් මන්මත් වෙයි. අඳින පළඳින ඇඳුම් ද තෝරා ගැනෙන්නේ ඒ මාංශ පේශීන් ඉස්මතු කර පෙන්වීම සඳහා ය.

දේහික ස්වානුරාගී මනෝව්‍යාධිකයාට සිය පෙනුම ගැන නිති පසසන අය තමා වටා සිටීම අවශ්‍ය්‍ය. එසේ නැත්තෝ හා ඇසුරක් නැත. නිති ප්‍රශංසා නොකරන්නාව හැර දා ඊට අළුත් රූඩකයක් සොයා යයි. මිනිස් ස්වභාවය නම් සුව දුක් බෙදා ගැනීමයි. උකහා ගැනීම පමණක් ඇති එවැන්නා වෙතින් බෙදා ගැනීමක් අනෙකාට ලැබෙන්නේ නැත.

ක්‍රීඩක, නළු නිළි, රූපවාහිනි මාධ්‍යවේදී වෘත්තීන් වල යෙදෙනා අය අතර ඇති දේහික ස්වානුරාගී බව මනෝව්‍යාධියක් වෙන්නේ/නොවන්නේ මෙසේ ය. ඔවුන්ගේ අරමුණ ක්‍රීඩා ජය, රංගන කුසලතාවය සහ විශිෂ්ඨ වාර්තාකරණය නම් මනෝව්‍යාධික තත්වයක් නොවේ. ජනතා සිත් අල්ලා ගැනීමෙන් පමණක් සතුටු වීම අරමුණ වන්නේ නම් එය මනෝව්‍යාධික තත්වයකි. ඔවුන්ගේ අරමුණ කුමක් දැයි කියා අපට සොයාගත හැකියාව ලැබෙන්නේ ඔවුන්ගේ ප්‍රතිඵල දිහා බලා ය. දේහික ස්වානුරාගී මනෝව්‍යාධිකයාට ක්‍රීඩා ජය නැත, ලස්සන වූවාට රංගනය බැරිය. ඔවුන් කරන වාර්තාකරණය තමන් ගැන වැඩියෙන් වූ ප්‍රවෘත්ති අඩුවෙන් වූ විහිළුවකි.

දේශානුරාගයෙන් යැයි කියාගත් ස්වානුරාගී දේශපාලනඥයාගේ පුද්ගලික ආර්ථකය යහපත් වෙනවා නූගතුන්ට දැකිය නොහැකි සේ ම, පෙනුමත් කුසලතාවයත් අතර වෙනස හඳුනාගන්නට බැරි නූගත් අයගේ කැමැත්ත දිනා ගනිමින් ජනප්‍රිය වෙන්නට මේ දේහික ස්වානුරාගී මනෝව්‍යාධිකයන්ට පුළුවන.

මූර්ධන්‍ය (cerebral) ස්වානුරාගී මනෝව්‍යාධිකයා ආදරය කරන්නේ සිය පෙනුමට නොව සිය මොළයටයි. උද්ධච්ච හැසිරීමකින් කාලය ගෙවන එවැන්නා අනිත් සැවොම තමන්ට වඩා පහත් කර සලකන්නෙකි. තමන් සියල්ල දන්නවා යැයි විශ්වාස කරන්නෙකි.

ලොකුම වාහනය, ලොකුම නිවස, ලොකුම බල්ලා අයිති කරගන්නේ එයින් සතුටක් ලබන නිසා නොව අනුන්ට පෙන්වන්නට ය.

පෙන්වන්නට තමන්ගේ දේවල් නැති වෙද්දී අනුන්ගේ දේවල් තමන්ගේ දේවල් හැටියට මවා පාන්නට ද හැකියාව ඇත්තෙකි.

හොරකම් කර තමන්ට අයිති කරගන්නේ ද අනුන්ට පෙන්වනු සඳහා ය.

නැතිබැරිකම් වසා ගන්නට මහත් මුලාවක් ගොතන්නට ද හැකියාව ඇත්තෙකි. ලෝකය ම මුලාවෙන් තබන්නට හැකි වූ බර්නි මෑඩෝෆ් මූර්ධන්‍ය ස්වානුරාගී මනෝව්‍යාධිය විසාල පරිමානයකින් මනාව පිළිබිඹු කරන ලද්දෙකි.

මූර්ධන්‍ය ස්වානුරාගී මනෝව්‍යාධිකයාගේ ගති ස්වභාවය වෙනස් නොවන නිසා එවැන්නා දිනෙන් දින යන්නේ පරිහානිය කරා ය. ව්‍යාපාරිකයෙක් මූර්ධන්‍ය ස්වානුරාගී මනෝව්‍යාධිකයෙක් වූ කල ව්‍යාපාරය බංකොළොත් වී, සමහර විට පවුලේ අය හා ගණුදෙනු කළ අය දිවිනසා ගෙන වින්නැහිය අවසන් වේ. තතු දන්නා අයට එවැනි ව්‍යාපාර වෙතින් ඈත් වී සිටිය හැකිය. එහෙත් දේශපාලනයේ යෙදෙන මූර්ධන්‍ය ස්වානුරාගී මනෝව්‍යාධිකයන් නිසා බංකොළොත් වන්නේ මුළු රටක් ය. රටේ නීති රීති සැකසෙන්නේ ඔවුන් අතින් නිසා ගැලවෙන්නට මඟක් නැත. උපන් රටෙන් පිට වෙන්නට ද තහනම් කරනා නිසා ඔවුන් වෙතින් අයින් වී සිටින්නට හැකියාවක් නැත.

මූර්ධන්‍ය ස්වානුරාගි මනෝව්‍යාධිකයාට ලෝකෙට පරකාසේ සඳහා සේසතම නාස්ති නොකරන්න යැයි කිව්වාට ඵලක් නැත. ඒ ගැන වැටහීමක් ලබත නොහැකි ලෙස එයාගේ මොළය බිහි වී ඇත.

මූර්ධන්‍ය ස්වානුරාගී මනෝව්‍යාධිකයාට ආටෝපයෙන් නිහතමානී ලෙස රඟන්නට හැකිය. දේශානුරාගය ඇතැයි සිතා ස්වානුරාගයෙන් පිරි දේශපාලනඥයන්ට රැවටෙන අය, කුසලතාවය නැති ලස්සන පෙනුමැති නළුවන් සහ රූපවාහිනී මාධ්‍යවේදීන් දක්ෂයන් යැයි සිතන අය, මූර්ධන්‍ය ස්වානුරාගී මනෝව්‍යාධිකයා ඇත්තෙන්ම තමන්ට වඩා දැනමුතු යැයි සිතති. නිහතමානී යැයි සිතති. කුසලතාවන් පිරි දක්ෂයෙක් යැයි සිතති.

රට බංකොළොත් වීමට හේතුව දකින්නේ නැතිවා සේ ම, එයාගේ සමීපතයන්ගේ ජීවිත අඳුරුවීමට හේතුව මන්දැයි විමසන්නටත් කම්මැලි ලෝක නූගතුන්, සත්‍ය යැයි විශ්වාස කරන්නේ, ස්වානුරාගී මනෝව්‍යාධිකයෙක් විසින් මනස පුරවන ලද හිස් පොරොන්දු හා රැවටිලි ගිරව් සේ කියනා අයව ය. ස්වානුරාගී මනෝව්‍යාධිකයා ලැබූ ස්වාධීන ජයක්, පෙන් වූ කුසලතාවයක් හෝ අනුන්ට කරන ලද යහපතක් ගැන කියන්නට නැත්තේ මන්දැයි ගැන විචාරයට ඉඩක් කම්මැලියාට උවමනා නොවේ.

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. W.A. Wijewardena said, on මැයි 3, 2012 at 1:41 ප.ව.

    Great, everybody should read this not to find weaknesses in neoghbours but to look inward for similar weaknesses in ourselves.

    • arunishapiro said, on මැයි 3, 2012 at 5:25 ප.ව.

      W.A. Wijewardena,

      “මං ලතවෙනවා නොදකින්නෙ ඇයි?” වලින් පටන් ගත් මේ මනෝව්‍යාධික සටහන් තුලින් මම අරමුණු කරන්නෙ ඒවා කියවන අය මනෝව්‍යාධිකත්වය හඳුනාගන්නට උත්සුක වේ යැයි කියා. හැම තැනකම ඉන්නා අය මනෝව්‍යාධිකයෝ කියා හිතන්න නෙමෙයි. තමන්ගෙ ජීවිතයේ දී තමන්ට යමෙක් මුණ ගැහෙද්දී ටොගල් ස්විච් එක වැඩ කරමින් “මෙයා හරි අමුතු කෙනෙක්” යැයි හැඟෙනා විට ටිකක් සොයා බලන්න ඕනෑ. පාලකයන්, වෙළඳ ගණුදෙනුකාරයන්, ජීවිතයේ සහකරුවන් හා යහළු මිත්‍රාදීන් තෝරා ගැනීමේ දී ත් කවුරු එක්ක ද සබඳතා පවත්වන්නේ යැයි අවධානයක් දෙන්නට මේ කරුණු කාරණා උදව් වේවි.

      ඒ වගේ ම, මේ කියවන අය අතර ඉන්නවා මෙම ස්වභාවය තියන අය හා ජීවත්වෙන්නට සිද්ධ වෙච්ච අය. පවුලේ කෙනෙක් වුනාම අයින් වී යන්න බැරි නිසා ඒ අය වෙතින් ඇති බලපෑම් වලින් දුක් දොම්නසින් තමන් විෂාදයට (depression) ගොදුරු නොවී ඉන්නටත් මනෝව්‍යාධික බව ගැන වටහා ගත්තාම හැකි වෙනවා.

      මනෝව්‍යාධිකත්වය, මිනිස් මොළයේ පරිනාමය වෙද්දී මුල් ප්‍රාජක දෙකට
      සතුන්ට තියෙන ප්‍රාජක දෙක:
      1. ජීවත්වෙන්න අවශ්‍ය දේවල් ලබා ගැනීමට, තම පැටවුන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීමට
      2. තර්ජනයකින් තමන්ව ආරක්ෂා කරගැනීමට, තර්ජනයකින් තම පැටවුන් ආරක්ෂා කරගැනීමට

      තවත් ප්‍රාජක දෙකක් එකතු වෙද්දී

      3. දීර්ඝ කාලීන වූ එකිනෙකාට වාසිදායක වූ, විශ්වාසනීය වූ, සබඳතාවයන් ඇති කරගැනීමට
      4. තමන් ගැනත් ලෝකය ගැනත් අවබෝධයට, ඒ ගැන ඉගෙන ගැනීමට, නිර්මාණයට, අළුතින් දෙයක් සෙවීමට, තමන් හෝ ලෝකය හෝ ඇයි ඒ එහෙම වෙන්නෙ කියා විමසීමට

      සියළු මිනිස් මොළ වලට 4 ම පිහිටද්දී සමහර මිනිස් මොළ වලට පමණක් අහිමි වූවක් තමයි

      3. දීර්ඝ කාලීන වූ එකිනෙකාට වාසිදායක වූ, විශ්වාසනීය වූ, සබඳතාවයන් ඇති කරගැනීමට.

      මේක ඉෂ්ට කරන සහානුභූතිය (empathy) මොළයේ පිහිටා නැති තත්වය මනෝව්‍යාධිකයාට පරිනාමයේ දී ජාන මඟින් උරුම වූවා වූ තත්වයක්. ඒක දුර්වලතාවයකට වඩා පවතින ස්වභාවයක්. ස්වභාවයේ හැටි දැනගත්තාට ඒ ස්වභාවය වෙනස් කරන්න විදියක් තවම හොයාගෙන නැහැ. සහානුභූතිය (empathy) ස්වභාවයෙන් ම නැති අයට කිසිත් විදියකින් සහානුභූතිය (empathy) දැනෙන්නට මොළය හැඩගස්සවන්න දැනට ඇති විද්‍යාව අසමත්. බහුතරය සහානුභූතිය ඇති අය නිසා එසේ නැත්තා දුර්වලයෙක් නෙමෙයි, නැති අයෙක් පමණයි. උප්පත්තියෙන් නැති වූවකට “ඔයා දුර්වලයි” කියා කොහොම කියන්න ද? කොච්චර උත්සාහයක් ගත්තත් එයාට ඒ හැකියාව ඇති කරගන්න බැහැ.

      ඔවුන් අතර සමූල ඝාතකයන් ඉන්නවා සේ ම අනුන්ගේ හිත් රිදවමින් පමණක් ඉන්නා අයත් සිටිනවා. හිත් රිදෙව්වා කියා අයෙක්ව හිරේ දමන්නට හෝ මානසික රෝහලකට දමන්නට බැහැනෙ. ඒත් ඒ අය හඳුනාගැනීමෙන් ඔවුන් හා ඇසුරින් තමන්ගේ හිත් රිදවා නොගෙන ඉන්න පුළුවන්. ඒ අයගේ මතවාද වලට රැවටී නොසිටින්නට පුළුවන්. ඔවුන්ගේ ඉත්තන් හා රූකඩ නොවී ඉන්න පුළුවන්.

      මනෝව්‍යාධිකයන් දහස් ගණන් එකතුවෙන් දීර්ඝ කාලීන (ඇමෙරිකාවත් ඩෙන්මාර්කයත් එකතු වී 1938 ගණන් වල සිට වගේ තාම) පර්යේෂණ වලින් පෙනෙන්නේ ඔවුන් කිසිම විටෙක තමන්ට මනෝව්‍යාධිකත්වයක් ඇතැයි විශ්වාස කරන්නේ නැතිබව. හිතට දුකක් කිසිදාක දැනිලා නැති කෙනෙකුට හිතේ වේදනාව තියෙනවා ද නැද්ද කියලා කියන්න පුළුවන් වෙයි ද?

      මේ ගති පැවතුම් යම් දුරකට තමාට ඇතැයි සිතෙනා අයෙක් කිසිවිටෙකත් මනෝව්‍යාධිකයෙක් නෙමෙයි.

      විජේවර්ධන මහතා කියන පරිදි තමා දිහා බලා එවැනි ගතිපැවතුම් දකිනවා නම්, ඒ ගති පැවතුම් වෙනස් කරගන්න කැමැත්තක් තිබේ නම්, වෙනස් කරගත්තොත් ඉහත 3 වැනි ප්‍රාජකය සාර්ථකව ඉෂ්ට වෙනවා. මනෝව්‍යාධිකයන් නොවන අයට ස්වභාවයෙන් ම හිත කියනවා “උඹ කරන්න යන්නෙ වැරදි වැඩක්” කියලා. මනෝව්‍යාධිකයෙක් නොවන අයෙක් කරපු වැරදි වලට වින්දිතයාගෙන් සමාව ලැබුනත් සමහර අවස්ථා වල දී වැරැද්දක් කළා යැයි හිතට වදදෙන සිතුවිල්ල කිසිදාක අයින් වෙන්නේ නැහැ. මනෝව්‍යාධිකයාට හිත කකියන සිතුවිල්ලක් වැරැද්දක් කරන්නට පෙර, වැරැද්දක් කරද්දී හා වැරැද්දකින් පසුව කිසිදාක හටගන්න හැකියාවක් නැහැ.

  2. lalita kumara ranawana said, on මැයි 3, 2012 at 10:41 ප.ව.

    minissu wadi denek mano vyadikayo da.api hamotama tika tika pissu neda

    • arunishapiro said, on මැයි 4, 2012 at 7:02 පෙ.ව.

      lalita kumara ranawana,

      මිනිස් සත්තු 100 ක් ගත්තොත් ඉන් 1 අයෙකුටයි මනෝව්‍යාධික තත්වයක් තියෙන්නෙ. ඒ නිසා මිනිස්සු වැඩි දෙනෙක් මනෝව්‍යාධිකයෝ කියන්න බැහැ.

      ඍන සිතුවිලි වලින් නොසිට ධන (ධනවත් නෙමෙයි) සිතුවිලි වලින් සිටීම ජීවිතය යහපත් කරගන්නට හැකි උපකරණයක්. ජීවිතය යහපත් කරගන්නට අයෙක් මොළය සහ කය වෙහෙසා මහන්සි වෙන්න ඕන. මොළයත් කයත් වෙහෙසා මහන්සි වෙද්දී සිත සතුටින් පවත්වා ගන්න භාවිතා කරන උපකරණය විතරයි ධනාත්මක චින්තනය.

      තමන්ගෙ විතරක් නෙමෙයි අනුන් හිතන හැටිත් හඳුනාගත් අය අතර සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සිද්ධාර්ථ ගෞතම බුදුන් වැනි අයගෙන් පටන් ගෙන අද රොබට් හෙයා දක්වා ඕනෑ තරම් අය ඉන්නවා.

      පොලිසීයේ මහත්වරු කළින් කියූ පිරිස වැඩියෙන් නියෝජනය කරන්නෙ නැහැ වගේ ම මේ කියන අය රූලාවන්‍ය ව්‍යාපාරයන් වල ද වැඩියෙන් නැහැ. සාමාන්‍ය සමාජයක නියෝජනය වගේ ම යි ඔවුන් ද ඒ ඒ වෘත්තීන් වල ඉන්නෙ.

  3. lalita kumara ranawana said, on මැයි 3, 2012 at 10:49 ප.ව.

    i hv little confuse that u hv said ‘positive thinking is a tool its not a solusion pl help me to realise it

  4. lalita kumara ranawana said, on මැයි 3, 2012 at 10:57 ප.ව.

    minissu kaatawath thamange hitha handunaganna bariwela.api hamoma andaya aliya gana kiyanawa wage neda

  5. Gaminie said, on මැයි 4, 2012 at 12:55 පෙ.ව.

    සැලකිල්ලෙන් කියවා තේරුම් ගතයුතු වටිනා ලිපියක්. කලින් ලිපිත් ඒ වගේ. මේ දැනුම බ්ලොග් එකකින් ගෙනැත් දෙනවාට ස්තුතියි. 1970 දශකයේ මැදදි සුමනදාස සමරසිංහ ශූරීන් ගෙ දේශනයක් අහන්න ලැබුනා. මගේ බිරිඳ එතුමාගෙ සේරම පොත් කියවාපු, පාසල් උපදේශනයෙ යෙදෙන ගුරුවරියක්.

    ඔබට ජය!

  6. lalita kumara ranawana said, on මැයි 4, 2012 at 1:25 පෙ.ව.

    maru lipiyak.mole aluth saila keepayak ho open wenna athi.rupa lawanya ayathana pawathwagena yana aya me wargayata watenawada? mokada owun L;ANGA MEKEE LAKSHANA THIYENAWA NEDA?

  7. Ravi said, on මැයි 5, 2012 at 9:54 පෙ.ව.

    අරුණි, ස්වානුරාගය එතකොට මනෝව්‍යාධියක් වෙන්නෙ එක පරාසයකින් පිට පැන්නම විතරයි. අඩු උනත් වැඩි උනත් දෙකම මනෝ ව්‍යාධීන් නේද?

    දැන් ඔබේ මේ ලිපිය කියවන ස්වානුරාගී මනෝ ව්‍යාධිකයෙක් ගැන හිතමු.ඔහුගේ චර්යාව මනෝ ව්‍යාධියක්ය කියල නැත්නම් කොටින්ම එවන් මනෝ ව්‍යාධියක් ඇතැයි කියලවත් ඔහු පිළිනොගන්න නිසා ප්‍රතිකර්මයක් ඇත්තෙම නෑ නේද? මොකද දුර්වලතාවයක් මඟ හරවා ගැනීමේ මුලික පූර්ව කොන්දේසි එම ගතිගුණ දුර්වලතාවයක් මෙන්ම තමන් තුල එවන් දුර්වලතාවයන් පවතින බවද පිළිගැනීම වන නිසා.

    • arunishapiro said, on මැයි 5, 2012 at 10:08 පෙ.ව.

      Ravi,

      ස්වානුරාගය මිනිසාට විතරක් නෙමෙයි සෑම ප්‍රාණියෙකුට ම අත්‍යයාවශ්‍ය වූවක්. එය තමන්ට නැති වීම හා එය තමන්ට පමණක් වීම යන දෙකම ව්‍යාධි තත්වයන් මිසක් එය අඩුවෙන් හා වැඩියෙන් තිබීම ව්‍යාධි තත්ව නෙමෙයි.

      ස්වානුරාගය මනෝව්‍යාධිකත්වයක් ඇත්තා අනුන්ගේ හිත් රිදවනවා පමණක් කරන්නේ නම් සමාජයකින් දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒත් වෙනත් සමාජීය නීති කඩනවා නම් දඬුවම් දෙන්නට හැකියාව සමාජයට තියෙනවා. ඉතින් ස්වානුරාගී මනෝව්‍යාධිකත්වයක් තමන්ට නැතැයි කියන අයෙක් වුවත් සමාජයේ වෙනත් නීති කඩා (රීති කඩන්නට බිය නැහැ) දඬුවම් ලබන්නට බියයි. අන්න ඒ බිය තමයි එවැන්නා සමාජයේ ජීවත්වන්නට සුදුසු අයෙක් කරත හැකියාව තියන එකම උපකරණය (tool) එක.

      දුර්වලතාවයක් කියන්න එපා. ඒක වැරදියි. ඒක දුර්වලතාවයක් කියපු ගමන් අපිට වෙන්නෙ ඒක හදාගන්න පුළුවන් දෙයක් යැයි සිතෙන්නට වීම. ඒක එයාට හදාගන්නට බැරි දෙයක්. මොළයේ නැති එම ස්වභාවය ඇති කරන්න විදියක් දැනට විද්‍යාවේ නැහැ.

      තමන්ට සහානුභූතිය (empathy) නැතැයි පිළිගන්නට අකමැති වූවාට කමක් නැහැ. එය හඟිස්සවන්නට යෑමෙන් ඵලක් නැති නිසා. එහෙත් එයා කරන/කියන දෙයින් සමාජීය නීති කඩනවා නම් එයාට සමාවක් දිය යුතු නැහැ යන්න එවැන්නාට වටහා ගන්නට පුළුවන්. ඒ නිසා තමයි අතීතයේ සිට ම අද දක්වා සියළු වර්ග වල මනෝව්‍යාධිකයන් අහු නොවෙන්නට තම මනෝව්‍යාධික හැසිරීමේ යෙදෙන්නේ. ඒ නිසා එම තත්වයන් හෙළි දැක්වීමත්, එවැනි අයට ගොදුරක් නොවී ගැල වී සිටීමට හැකි දැනුම අනිත් අය වෙත දිය යුතු වීමත් වැදගත් වෙනවා.

      මනෝව්‍යාධිකයන් හදන්න බැහැ. ඒත් මනෝව්‍යාධික නොවන අයට හැදෙන්න පුළුවන්.

      • Ravi said, on මැයි 6, 2012 at 2:17 පෙ.ව.

        අරුණි…ස්තූතියි පැහැදිලි කිරීමට.

        මම තේරුම් ගත්තෙ මෙහෙමයි..හරිද මන්දා… 🙂

        ස්වානුරාගී මනෝව්‍යාධිය කියන්නෙ සුව කල නොහැකි අසනීපයක්. ඒ එක්කම මොළයේ ඒ ස්වභාවය නැතිවීම ඒ පුද්ගලයාගෙ වරදකුත් නෙවෙයි.එහෙත් එහෙම කියල සමාජ සම්මත නීති කඩන්ට දෙන්න බැහැනෙ. එහෙම උනොත් දඬුවමක් විඳින්නම වෙනව. ඒත් සම්මත නීතිවලට අයත් නොවෙන වැරදි කරන එකෙන් වළක්වන්න විදිහක් නැහැනෙ, ඒ නිසා හොඳම ක්‍රමය තමයි එයාලව හඳුනාගෙන ඒ අයගෙන් ඈත් වෙලා ඉන්න එක.

        • arunishapiro said, on මැයි 6, 2012 at 8:18 පෙ.ව.

          Ravi,

          //ස්වානුරාගී මනෝව්‍යාධිය කියන්නෙ සුව කල නොහැකි අසනීපයක්.// නැහැ නැහැ අසනීපයක් නෙමෙයි. පවතින තත්වයක්. අසනීපයක් නම් අපිට හොඳ කරගන්න බෙහෙත් සොයන්න වෙනවා. බ්ලොන්ඩ් හිසකෙස් තිබීම, නිල්පාට ඇස් තිබීම අසනීපයක් ද?!!!

          ඒ හැරෙන්නට ඉතිරිය හරි.

      • Ravi said, on මැයි 7, 2012 at 8:00 පෙ.ව.

        / නැහැ නැහැ අසනීපයක් නෙමෙයි. පවතින තත්වයක් /

        හැබැයි පොඩි ප්‍රශ්නයක් නම් තියනව අරුණි, ව්‍යාධිය කියන්නෙ අසනීපයකට, Disease in English, එතකොට මේ තත්වය හඳුන්වන්න වෙන වචනයක් යොදන්න වෙනව නේද? ස්වානුරාගී ප්‍රත්‍යය වගෙ එකක්?…. ප්‍රත්‍යය කිව්වම Condition කියන අදහස එනව.

        • arunishapiro said, on මැයි 7, 2012 at 8:15 පෙ.ව.

          Ravi,

          මේ දිනවල ඉන්නෙ වොෂිංටන් වල … ශබ්දකෝෂ සියල්ල ගෙදර. සයිකොපැති යන්න disorder හැටියට අර්ථ දැක්වෙන්නෙ. සහානුභූතිය නම් වූ තිබිය යුත්තක් නොතිබීම. එය medical condition එකක් නෙමෙයි. ව්‍යාධිකය – ව්‍යාධිය නෙමෙයි.

      • Ravi said, on මැයි 7, 2012 at 8:31 පෙ.ව.

        හෆොයි සමාවනු මැන..ව්‍යාධිය සහ ව්‍යාධිකය….වාලධිය මත නෙව මෙතෙක් වේලා මා පියමං කොට ඇත්තේ.. 😀

  8. lalita kumara ranawana said, on මැයි 7, 2012 at 10:43 ප.ව.

    wachanaya mokak unath arunige kathawa aththa


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: