අරුණි ශපීරෝ‍ වෙතින්

උපහටයානු මනෝව්‍යාධිකත්වය

Posted in Uncategorized by arunishapiro on මැයි 4, 2012

උපහටයා (victim) නමින් නීතිය හඳුන්වන්නාට අපරාධයක් කරපු අයෙක්ට දඬුවම් ලැබේ. මානසික රෝගියෙක් නම් පිස්සන් කොටුවටත්, අපරාධකාරයෙක් නම් සිරගෙයටත් යැවෙයි.

මනෝව්‍යාධිකයන් නිසා උපහටයන් වෙන අය ඉන්නා සේ ම, තමන් උපහටයන් සේ හැසිරෙන්නා වූ මනෝව්‍යාධිකයන් ද සිටිති.

අනුන්ගේ සිතැඟියාවන් ඉතා ඉක්මණින් හඳුනාගත හැකියාවෙන් යුතු උපහටයානු මනෝව්‍යාධිකයා ඉල්ලකයක්/ ඉත්තෙක්/ රූකඩයක්/ ගොදුරක් තෝරා ගනියි. අයෙක් සුරතල් සතුන්ට කැමති ද, පිට ගිහින් කන්න කැමති ද, නීති රකින්නට කැමති ද, පොත් කියවන්නට කැමති ද … යනාදී සියල්ල සොයා බලා එයින් වඩාත් ම කැමති වූ හිතට ළං විය හැකි වූව තෝරා ගනියි.

උපහටයානු මනෝව්‍යාධිකයා පිවිසෙන්නේ ගොදුර හරියාකාරව හඳුනාගන්නට එයා තරම් හැකි වූ අයෙක් ලොව වෙන කොහේවත් නැති හැටියටයි. ආශ්‍රයට පමණක් නොව ඉතිරි මුළු මහත් ජීවිතයම එකට ගෙවන්නට තරම් සුවිශේෂී වූවෙක් යැයි මහත් සංකීර්ණ වූ මුලාවක් කරන්නට උපහටයානු මනෝව්‍යාධිකයාට හැකිය.

ගැහැණු උපහටයානු මනෝව්‍යාධිකයා තමන් අනාථ අසරණ කිසිත් කරකියා ගන්නා බැරි අයෙක් සේ රඟපායි. පිරිමියා තුල ස්වභාවයෙන් ම ඇති ආරක්ෂාව හා නඩත්තුව සැපයීමේ ආවේගයන් වලින් පාවිච්චි කළ යුත්තේ මොනවා දැයි කියා ඉතා ඉක්මණින් තෝරා බේරා ගන්නට දනියි. ලැජ්ජා බිය හා කුලෑටි ගති නැති බැවින් ලිංගිකත්වය ඉස්මතු කර පෙන්වමින් වෙන කාටවත් දෙන්නට බැරි සතුටක් තමාට දිය හැකි යයි පෙන්වයි.

ගොදුර නොදත්ත ද එයා ගොදුරක් වෙන්නේ, ගොදුරක් බව උපහටයානු මනෝව්‍යාධිකයා හඳුනාගෙන තෝරාගත් පසුව ය. ඒ නිසා හමු වූ විගසින් ගොදුර හසුරුවන්නට, රූකඩයක් සේ නටවන්නට මහත් මුලාවක යෙදන්නට හැකිය. ඒ මුල් කාලය තුල දී උපහටයානු මනෝව්‍යාධිකයා කරන කිසිවකින් ඉහවහා යන සතුට මිස හිතට දුකක් වේදනාවක් නැත.

උපහටයානු මනෝව්‍යාධිකයාව ගොදුර දකින්නේ සැහැල්ලුවෙන් ජීවත්වෙන්නා වූ, අනිත් අය ගැන ඉතා සංවේදී වූ අයෙක් හැටියට ය. මනෝව්‍යාධිකත්වයක් නැති අයගේ සිත්වල කකියන දේවල්, සැක කටයුතු දේවල්, පසුතැවිලි හා ලැජ්ජා බිය මොනවා දැයි මනෝව්‍යාධිකයන් දනිති. ඒ නිසා ගොදුරට ඒවායෙන් කරදර සිදු නොවන වාතාවරණයක් ඇති කරන්නට යුහුසුළු වෙති. මනෝව්‍යාධිකයාගේ ගොදුර මෙයා අනික් අයට වඩා දාහකින් එකෙක් යැයි හද පතුලෙන් ම විශ්වාස කරයි. එයා සීයයකින් එකෙක් බව නොදනියි!!!

හිත කකියන දේවල් වලින් ඈත් වී, කිසි සැකයක් ඇති නොවී, පසුතැවිල්ලක් නැතිව ලැජ්ජා බියෙන් තොරව ඉන්නට ඇති ආශාව නිසා මුල් කාලය ගොදුර ඉතා සැහැල්ලුවෙන් ගෙවනා කාලයකි. රූකඩයාගේ කැමත්ත කෑම උයන්න නම් උපහටයානු මනෝව්‍යාධිකයා කෑම උයන්නට රෙසිපි හොයාගෙන එයි. තමන්ගේ ප්‍රියතම කතුවරයා හෝ කතුවරිය ගැන තමාට වඩා දේවල් දන්නා බව පෙන්වයි. පොත් වලින් පාඨ උපුටා කියන්නට ද සමත් වෙයි. පොත් කියවා කිසිම හැඟීමක් නොලැබුණත්, මනෝව්‍යාධික නොවන අය ඒ ගැන කියන්නේ මොනවා ද ඒවා තමන්ගේ හැඟීම් ලෙසින් ගොදුරට තිතට ම වැදෙන්න හැකි තැනට කියන්නට දන්නේ ය.

“මාව තේරුම් ගන්න පුළුවන් වුනේ එයාට විතරයි,” කියූ කාන්තාවක් සති කිහිපයකින් එසේ හමු වූ මනෝව්‍යාධිකයෙක් හා විවාහ වූවාය. විවාහ වූ මුල් කාලය කොතරම් රසවත් වූවා ද, තමා පමණක් එයාගේ ලෝකයේ එකම ඉලක්කය වූවා ද (හරියට ම හරි, ඒත් හිතපු විදියෙන් නෙමෙයිනෙ) කිවතොත් ලෝකයේ සොච්චමකට පමණක් හිමි ආදරය තමන්ට ලැබී ඇතැයි විශ්වාස තහවුරු විය.

උපහටයානු මනෝව්‍යාධිකයන්ගේ සිත් වසඟ කර ගැනීමේ හැකියාව මහත් නිසා යන යන තැන පළඟැටියන් සේ ගොදුරු ඇදී එති. යහළු මිත්‍රාදීන්, අසල් වැසියන් හා ඥාතීන් ද රැවටී “අනේ ඔයා හරි ම වාසනාවන්තයි,” කියන්නට ද ඉදිරිපත් වෙති. එයින් ගොදුරගේ සිත විශ්වාසයෙන් තවත් පිරී යයි.

ටික කලක් යද්දී අනුන්ගේ වැරදි කියමින්, ගොදුරගේ හොඳ කියමින් යහළු මිත්‍රාදීන්, අසල් වැසියන් හා ඥාතීන් වෙතින් ගොදුර හෙමිහිට අයින් කරගනියි. කුමක් වුවා දැයි හිතාගන්නට බැරි ගොදුරව ඇසුරු කළ අය හිතන්නේ මනෝව්‍යාධිකයාගේ වැරැද්දක් ගැන නොව ඒ කටයුතු ගොදුරගේ කැමැති කියා ය. තමන්ට කොතරම් හොඳින් සලකනවා දැයි දකිනා නිසා, තමන් එයාගේ ලෝකයේ මුදුන් අරමුණ යැයි විශ්වාස කරනා නිසා (අනේ අපොයි!) ගොදුර කැමැත්තෙන් ම නතු වී සියළු ආශ්‍රයන් අත්හැර දමයි.

උපහටයානු මනෝව්‍යාධිකයා ඊ ළග පියවර අනතුරුව පටන් ගනී. ඉහත සියල්ලේ මෙතෙක් කලක් යෙදුනේ මෙතැනට එන්නට ය. ගොදුර රූකඩයක් සේ තමාට ඕනෑ ඕනෑ ආකාරයෙන් නටවන්නට පටන් ගනියි. වෙනදා උයන්නට ගෙනා රෙසිපි දැන් නැත. කුස්සිය පළාතේ එන්නේ ද නැත. පොත් ගැන ඇහැව්වත් පිළිතුරක් නොදෙයි. තනිවම ගමන් බිමන් යයි. කෑවා බීවා ද ලෙඩක් දුකක් තියේ දැයි කියා සොයා බැලීම නවතා ඇත.

මේ උපහටයානු මනෝව්‍යාධිකයා තවත් ගොදුරක් තෝරාගන්නා/තෝරාගෙන ඇති කාලයයි.

හිත් වේදනා ඇති කරන කලබල සහ ලිංගික වදහිංසා වලින් පමණක් ගොදුරට සලකයි. තමන් බොරුවට මාවා පා කළ හැසිරීමෙන් රැවටී දැන් ගොදුර විඳින හිත් වේදනාව ගැන කිසිම කැක්කුමක් දැනෙන මොළයක් නැති නිසා තම ක්‍රියා කලාපයේ වැරැද්දක් නොදකියි.

ගොදුරු වූ අයගේ ආදරය තමන්ට ලැබිය යුතු වූවක් යැයි සිතයි. එය ලැබුනේ මවා පෑ චර්යාව නිසා බව දත්ත ද එහි වැරද්දක් නොදකියි. තමන්ට ලැබිය යුතු දෙය ගත්තා දැන් ගොදුරට ලැබෙන්නේ එයාට ලැබිය යුතු දෙය යැයි සිතයි.

දැඩි ලෙස රූකඩ නටවන්නට හැකියාව ඇති උපහටයානු මනෝව්‍යාධිකයාට ගොදුරගේ දස්කම්, කුසලතාවයන්, කැමත්තන් සියල්ල කුරිරි ලෙසින් විනාශ කරත හැකියාව ඇත. ස්ව-විශ්වාසය බිඳියි. වස්තුව කාබාසීනියා කර දමයි. මේ කාලය තුල දී ගොදුර ඉන්නේ එම තත්වය ප්‍රතික්ෂේප කරන මානසිකත්වයක ය.

එයා එහෙම කරන්නේ රැකියාවේ පීඩනය, ආතතිය .. යනාදී හේතු ගෙනැවිත් මනෝව්‍යාධිකයාව උපහටයෙක් (victim) සේ දකියි. තව තවත් මනෝව්‍යාධිකයාට උවමනා සේ හැසිරෙන්නට ගොදුර උත්සාහ ගනියි.

“මාව තේරුම් ගන්න පුළුවන් වුනේ එයාට විතරයි,” කියූ කාන්තාව විවාහයෙන් පසු ප්‍රථම දරුවා ගැබ්ගෙන සිටි කාලයේ දී ඔහු තවත් කාන්තාවක් සමඟ එම නිවහනේ දී ම ලිංගිකව හැසුරුනේ ය. ඒ කාන්තාව ඊට කැමති කරවා ගත්තේ මොනවා කියා දැයි තවමත් දික්කසාද-භාර්යාවට විමතියකි.

උපහටයානු මනෝව්‍යාධිකයාගේ ඉක්බිති පියවර එම ගොදුර හැර දා ඊ ළඟ ගොදුර හා එක්වීමයි.

නැවතත් පළමු ගොදුරු සොයා ගිහින් යළි ආශ්‍රය පටන් ගැනීමත් කරයි. වසර ගණනාවක් පසුව ද මුල් අයව සොයා ගිය උපහටයානු මනෝව්‍යාධිකයන් ගැන මනෝවිද්‍යාඥයන්ට අසන්නට ලැබී ඇත.

Advertisements

26 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on මැයි 4, 2012 at 10:07 පෙ.ව.

    ඔයවගේ අයගෙ ෆිල්ම් නම් බලල තියනව. ආ….. එඩ්ගා ඇලන් පෝගෙ කෙටි කතාත් කිහිපයක් තියනව.
    පලමුවැන්න
    දෙවැන්න

    • arunishapiro said, on මැයි 4, 2012 at 11:04 ප.ව.

      රාජ්,

      එඩ්ගාර් ඇලන් පෝ ලියන කෘති වැටෙන්නෙ Gothic කියන සාහිත්‍යකරණයට. Gothic කියන්නේ සන්ත්‍රාසය (horror) සහ රොමැන්තික (romance) වූ සංකලනයක්.

      හැබැයි එඩ්ගාර් ඇලන් පෝ ගේ සැබෑ චරිතය මනෝව්‍යාධික යැයි = සයිකොපැති/සෝෂියෝපැති (ඒ කාලේ කිව්වෙ) මතයක් ද තියෙනවා.

      ස්තූතියි ප්‍රතිචාරයට. ප්‍රබන්ධ වල එන “ඇමෙරිකන් සයිකෝ” සහ “හැනිබල් ලෙක්ටර්” වැනි මනෝව්‍යාධිකයන් ගැනත් සටහනක් ලියන්න ඕනා වගේ!!!

  2. W.A. Wijewardena said, on මැයි 4, 2012 at 11:08 ප.ව.

    This is once again a good contribution to knowledge, presented in a very balanced manner. It is the first time that I came to know that victim is called in Sinhala “upahatayaa”. I have no clue from where this technical term has been coined.

    • arunishapiro said, on මැයි 4, 2012 at 11:27 ප.ව.

      W.A. Wijewardena,

      ස්තූතියි.

      Serial sexual killers තරම් අන්තයකට යන අය ස්වල්පයක් ලොව සිටිය දී මෙවැනි psychopathic චර්යාව ඇති අය වැඩියි. හරියට බර්නි මෑඩෝෆ්ලා එක්කෙනෙක් ගැන ඇහෙද්දී තුට්ටු දෙකට කෙළන නගරවල ගැවසෙනා con artists ලා වැඩියි වගේ.

      උපහටයා: අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ ප්‍රකාශිත “නීතිය” සඳහා වූ “පාරිභාෂික ශබ්ද මාලාව” පොතේ තමයි එහෙම සඳහන් වෙන්නෙ. නීතිමය භාවිතය වෙනුවෙන් එය හැදුවේ කවුදැයි, කවර කාලයක දැයි කියන්න නම් දන්නේ නැහැ.

  3. XoX said, on මැයි 5, 2012 at 3:14 පෙ.ව.

    මේ බ්ලොග් එක මම බොහොම කාලයක් තිස්සේ කියවනවා එත් බොහොම අඩුවෙන් තමයි කොමෙන්ටුනම් දාල තියෙන්නේ. මොකද මට අහන්න හිතිච්ච ප්‍රශ්න ගොඩක් වෙලාවට මට කලින් වෙන කෙනෙක් අහල තිබ්බ නිසා. මේ බොහොම ලඟදි ඉඳල කෙනෙක් මේ බ්ලොග් එකේ ටිකක් වෙනස් අයුරක ප්‍රතිචාර කරන්න පටන් අරන් තියනවා. කලින් මෙතන තිබ්බ වාද විවාද එකගවීම් ප්‍රතිවාදී මත වලට වැඩ වෙනස් විදියක සංවාදයක් ගොඩනගාගන්න දරන උත්සහයක් තමයි පෙන්න තියෙන්නේ.

    අවුරුදු 20ක තරුණයෙක් සමවයසේ තරුණියකට “ආ නංගී” කියල මුලපුරන කතාවම ඊට වඩා වයසින් වැඩිමහලු කෙනෙක් නිවීසැනසිල්ලේ මුලපිරීමක් තමයි මුලිකවම දකින්න ලැබුනේ. හැබැයි කෙල්ලෙක්ට ඇහැක් ගහපු අපේ ඉස්කෝලේ කොල්ලෙක් පස්සේ ගෙදර ආවමලු දැනගත්තේ ඒ අක්කගේ පන්තියේ කෙල්ලෙක් කියල. කවදාවත් දැකල නැති ලස්සන කෙල්ලෙක් ගේ දොරකොඩ පහු කරගෙන ගියාම ඒ කව්ද ඉන්නේ කොහෙද කියල හොයන්න පෙළඹෙන තරුණයෙක් මීට වඩා තමන් ගැන සැලකිලිමත් වෙනවා. දෙන්නෙක් හෝ කීපදෙනෙක් කතාකරනකොට පැත්තක ඉඳල සමහර වෙලාවට ප්‍රස්තුතයට කිසිම සම්බන්දයක් නැති දෙයක් කියල කතාවට ගොඩ වෙන්න හදන අයත් මීට වඩා ස්ථානෝචිතව කටයුතු කරනවා. එයාලත් තමනුත් දන්නා බව පෙනන්න උත්සහ කරනවා තමයි. මේකත් මනෝව්‍යාදියක් නම් දවසක අරුණි අක්ක ලිපියක් ලියයි කියල හිතනවා. මේ ලෝකේ කෙරුමෙක් හිටියොත් ඒ පිරිමියෙක්ය කියල හිතන් ඉන්න එක පිළිබද නුගත්කම දුරලන්න ආචාර්ය උපාධි නිබන්දනයක් කලොත් ගොඩක් හොඳයි කියල මට හිතෙනවා. ගැටුමකට මුලපිරීමක් නොවෙයි. මේකට මොනවා කිව්වත් මං ප්‍රතිචාර දක්වන්නෙත් නෑ. එත් පිරුණු කලේ දිය නොසැලේ කියන දේ හිතට ගත්තොත් යහපතක්ම වේවි.

    • arunishapiro said, on මැයි 5, 2012 at 7:12 පෙ.ව.

      XoX,

      යමක් දැනගත්තාම නොදන්න දේවල් කොච්චර වැඩියි ද කියලා පේන්න පටන් ගන්නවා වගේ ම යි, සටහනක් ලිව්වා ම මට තව කොච්චර කොච්චර දේවල් සිංහලෙන් ලියන්න තියනවා ද කියලත් පෙන්න පටන් ගන්නවා. 😀

      ඉල්ලීම පරිදි ඒ ටිකත්, කතාව අනවශ්‍ය පැත්තකට ඇදී යාම වළක්වනු සඳහා තවත් ඩිංගක් (තරහා වෙන්න එපා හොඳේ!!) අයින් කළා.

  4. මැණික් said, on මැයි 5, 2012 at 6:49 පෙ.ව.

    හ්ම්ම්ම්… ඔයාගෙ අද සටහනත් කියවා ගෙන ගියා. ඒත් එයට පසුව සටහන් වී ඇති දේ මාව විමතියට පත් කලා. අනේ මන්දා අරුණි….
    මැණික්

    • arunishapiro said, on මැයි 5, 2012 at 7:33 පෙ.ව.

      මැණික්,

      මම සිංහලෙන් ලියන්න උත්සාහ කරන්නෙ වැඩිය සිංහලෙන් ලියැවිලා නැති දේවල් ගැනනෙ මැණික් නංගි.

      තව තවත් පැහැදිලිව ලියන්න උත්සාහ ගන්නම්. 😀 අඩුගානේ මගේ සිංහල වත් දියුණු වේවිනේ …

  5. Ravi said, on මැයි 5, 2012 at 9:08 පෙ.ව.

    තවත් අලුත් වදනක් …ස්තූතියි අරුණි….

    හෙහ්, හෙහ්, මේ ලිපිය කියවන කොට තමයි ඔන්න මට තේරුම් ගියේ මමත් උපහටයක්නෙ කියල….මේ ඇත්තමයි, අරුණි 😦 😦

    ඔන්න බලන්ට වැඩේ හැටි…මම දන්නෙත් නෑ ඔයා කියනකල් …ස්තූතියි හොඳද? 🙂 🙂

    මෙහෙම දෙයක් වෙන්න බැරිද?…ස්වෙච්ඡා උපහටයො කියල ජාතියක් ඉන්න බැරිද?

    ස්තූතියි , අලුත් කරුණු රැසක් ඉගෙන ගත්තා….

    • arunishapiro said, on මැයි 5, 2012 at 9:40 පෙ.ව.

      Ravi,

      තමන් උපහටයෙක් හැටියට ඉන්නා මානසිකත්වය ගැන කරපු/කරන පර්යේෂණ, මෙතෙක් සොයාගත් කරුණු කාරණා වලින් ලියැවිච්ච පොත් පත් ලිපි සියල්ල ම එල්ල කරන එක කාරණයක් කියන්නම්. එනම් ඒ අය අතර සියල්ලන් ම වාගේ ස්වේච්ඡාවෙන් උපහටයෝ වීම!!!

      උපහටයානු මනෝව්‍යාධිකයාට එවැන්නෙක් ගොදුරු කරගන්න ලැබෙන්නේ එවැනි මානසිකත්වයකින් යුතු වූවෙක් වීම නිසා. තවත් විදියකින් කිව්වොත් අහිංසකයෙක් මුලා කරන්න පහසුයි.

      මිනිස් පැටියා හැදෙන්නේ අම්මලා තාත්තලා කියන දේ අහන්නට. වැඩිහිටියෝ කියන දේ ට හිස නමන්න. ගුරුවරුන්ට සවන් දෙන්න. පූජ්‍ය පක්ෂයට ගෞරව කරන්නට. ඒ මිනිස් පැටියාට ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා පරිනාමයේ දී ස්වභාවයෙන් ම (nature) හැඩගැසී ඇති මිනිස් මොළය. දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරු, පූජ්‍ය පක්ෂය …. අයවළුන් අතර මනෝව්‍යාධිකයෝ ඉන්නවා යැයි නොසිතා. ඒ අය කියන දේ විචාර නොකර පිළිගන්නට හැදියාව වී ඇත්නම් එයින් ගොඩ එන්න උවමනාවක් තිබ්බත් ඉතා අපහසුයි. අධිකාරිය (authority) යනු තමන්ට වඩා දත් අය යැයි විශ්වාසයක් පදනම් වී ඇති මානසිකත්වය සියළු පීඩකයන් කියන දේ පිළිගන්නා පීඩිතයෙක් වෙනවා තමන් සිත නොදැනුවත්වම. හිතන්නෙ තමන් අධිකාරියත් එක්ක දැඩි අරගලයක ඉන්නවා කියල. ඒත් නැහැ … උපහටයා ඉන්නෙ හැදියාවෙන් ලැබිච්ච (nurture) නිසා “පීඩකයන්” ට ත් ගරු කරන මානසිකත්වයෙන්. දෙමාපිය, වැඩිහිටියෝ, ගුරුවරු, පූජ්‍ය පක්ෂය, දේශපාලනඥයෝ යනාදීන් සැක කරන්නට නුහුරු මානසිකත්වයක. ඉතින් ඒ අය අතර ඉන්නා මනෝව්‍යාධිකයෙක් හමුවුනාම මුලින් සම්පූර්ණයෙන් ම රැවටෙනවා. ඊ ළඟට, හිතන්න මොළය පාවිච්චි කරත්, ඔවුනට තොරතුරු නැතිකමින් “කරකවලා අතහැරියා” වගේ මේ ඇයි කියා හිතාගන්න බැරි තත්වයකින් පසුවෙනවා. කාලා බීලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා!!!!

      “එයා විතරයි මාව තේරුම් ගත්ත එකම එක්කෙනා” යැයි විශ්වාසයත් එක්ක “ඇයි එයා මට මෙහෙම කරන්නෙ?” කියන එකේ අවුල ලිහා ගන්න ඉතා අමාරුයි.

      සෑම මිනිස් සතෙක් ම “දීර්ඝ කාලීන වූ එකිනෙකාට වාසිදායක වූ, විශ්වාසනීය වූ, සබඳතාවයන් ඇති කරගැනීමට” උත්සාහ දරනවා යන්න එහෙම හැකියාව ඇති මිනිස් සත්වයන් විසින් අනිත් හැම මිනිස් සත්වයෙක් ගෙන් ම බලාපොරොත්තු වෙනවා.

      ඒකයි එහෙම අවශ්‍යතාවයක් නැතිව හැදිච්ච මනෝව්‍යාධිකයෙක් තවත් මනෝව්‍යාධිකයෙක් ව ගොදුරක් කරනොගන්නෙ. විශ්වාස කරන්නට, රූකඩයක් සේ නටවන්නට බැරි නම් එතැන දී මනෝව්‍යාධිකයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නෙ නැහැ. සෑම අධිකාරියක් ම කියන දේවල් එලෙසින් ම පිළිනොගන්නා ස්ව-විශ්වාසයෙන් යුතු වූවෙක්, සැක කරන්නට හැකි මනසක් ඇති වූවෙක්, නැත්නම් ගොදුරක් කරගන්නට බැරි අයෙක් ව, එනම් උපහටයන් නොවන අයව, මනෝව්‍යාධිකයා තෝරාගන්නේ ද නැහැ.

      * ස්වේච්ඡාවෙන් උපහටයකු වීමෙන් මනෝව්‍යාධිකයෙකු හා දීර්ඝ කාලීන වූ සම්බන්ධයක් පවත්වන්නට බැහැ. මනෝව්‍යාධිකයාට අවශ්‍ය ඔහු/ඇය කියන කියන දේ කරන කෙනෙක් ද නෙවෙයි. එයා කරන/කියන දේවල් වලින් සිත් කුල්මත් කරගන්නා සහ සිත් පීඩාවට පත්වන්නෙක්. මානසික වදයක් විඳිනා කෙනෙක්. ඒකත් මනෝව්‍යාධිකයාට අවශ්‍ය කෙටි කාලීන ව පමණයි. ඒ උපහටයා අත්හැරලා තවත් උපහටයෙක් හොයාගන්නෙත් ඒ නිසයි. අත්හැරලා ගිහින් කාලයක් ගියාම ආයේ පහුගිය ඈයෝ ළඟට යන්නෙත් ඒකයි.

  6. kevin perera said, on මැයි 6, 2012 at 8:04 පෙ.ව.

    මං කාලයක් නිව් යොර්ක් සිටියේ කහ ටැක්සියක් පැද්දා ඉතිං මට නමට ඉස්සරහට රථාචාර්ය කියල කෑල්ලක් දාගන්න පුලුවන්ද අරුණි? 😦 එතකොට වත් මේ බර දේවල් තේරුම් ගන්න පුලුවන් වෙයි.

    • arunishapiro said, on මැයි 6, 2012 at 8:14 පෙ.ව.

      kevin perera,

      රථාචාර්ය kevin perera වෙත, එසේය, ඔබතුමා අඩුගානේ එසේවත් කළහොත් මේ බර දේවල් තේරුම් ගන්න පුලුවන් වෙනු ඇත!!!! 😀

  7. Shanthi Chandrasekera said, on මැයි 6, 2012 at 11:02 පෙ.ව.

    Aruni oba kiyana vidihata manoviyadikaya bohovita hasirenna puluwan neda godura sathukaraganna noyek rawatili karala. e awasathawe mano viyadikaya aththatama viyadikayedda? nathinam ohu samanaya kenekda? mama ehema kiyanne bohovita mata muna gahuna mano viyadikayan yam rangapamak karanawado kiya hithenawa oun vivida awasthawala hasirenavita. Ex. vidihata keewoth samahara manasika ledun eyata uwamananm naraka joke ekak karanna eyala dannawa e kiyanna ona koiwelawatada kiya., Thanks Aruni obe . lipiyata.

    • arunishapiro said, on මැයි 7, 2012 at 7:30 පෙ.ව.

      Shanthi Chandrasekera,

      ඔව්. මනෝව්‍යාධිකත්වය තියෙන පුද්ගලයාට ඇත්තේ එකම අරමුණක්. ගොදුරක් සොයා යන්න. ඒ රැවටිලි කරන කාලයේ දී ත් ඔහු මනෝව්‍යාධිකත්වයෙන් ඉන්නෙ. සාමාන්‍ය කෙනෙක් වෙන්න හැකියාවක් නැහැ සහානුභූතිය නොහොත් අනිත් අය ගැන කැක්කුමක් ස්වභාවයෙන් ම නැති නිසා. ඔවුන් හැඟීම් පෙන්වා කරන සියල්ල රඟපෑම්. ඔවුන් ඊට කොතරම් දක්ෂ දැයි කිව්වොත් ඔවුන් ගැන පර්යේෂණයේ යෙදෙන මනෝවිද්‍යාඥයන්ව පවා රවටන්නට ඔවුනට හැකියාව තියනවා.

      අනුන් ගැන තැකීමක් නැතිව එක එක දේවල් කීම සමාජ හැදියවක් වෙන්නත් පුළුවන්, ලංකාවේ පාරට බැස්සම කෙල්ලොන්ගෙ ගවුමේ දිග ගැන “කැක්කුම” ඇති අය කොච්චරක් ද?!!! හැබැයි ඒක මනෝව්‍යාධිකත්වයක් නෙමෙයි, හැදිලා වැඩිලා තියන හැටි.

  8. Inesh said, on මැයි 8, 2012 at 2:18 පෙ.ව.

    මනෝව්‍යාධිකත්වයට දෙන බෙහෙත මොකද්ද?

  9. lalita kumara ranawana said, on මැයි 8, 2012 at 5:03 පෙ.ව.

    boho vivaha thula mehema kenek innawa neda.ethakota mano viyadikayo godak innawa ne

    • arunishapiro said, on මැයි 8, 2012 at 10:18 පෙ.ව.

      lalita kumara ranawana,

      //බොහෝ විවාහ තුල මෙහෙම කෙනක් ඉන්නවා නේද?// නැහැ. බොහෝ විවාහයන් වල ඉන්නේ එකිනෙකා ගැන කැක්කුමක් ඇති මිනිස්සු. සමහර විට කැක්කුම සමාජ තත්වය, මුදල් ලාභ හා ලිංගික සතුට වගේ බෙදා හදා ගන්නා දේවල් වෙනවා. ඒත් මනෝව්‍යාධිකයන්ට බෙදා හදාගන්නට කිසිවක් නැහැ. අනෙකා ගැන කිසිත් කැක්කුමක් නැත්නම් පවුල් අවුල් මිසක් පවුල් හවුල් නැහැ.

      //එයා විතරයි මාව තේරුම් ගත්තේ යැයි කාටවත් ම කියන්න පුළුවන් ද?// පුළුවන්. සම්පූර්ණයෙන් තවත් අයෙක්ව තේරුම් ගත් තවත් කෙනෙක් නැතිවුනාට අනිත් සියල්ලන්ට ම වඩා අයෙක් තේරුම් ගත් තවත් අයෙක් සිටිය හැකියි.

      අහන සමහර ප්‍රශ්න වලට කළින් පිළිතුරු දීපු නිසා ඒවාට නැවත නැවත පිළිතුරු ලියන්න කාලයක් වැය කරන්න අකමැතියි. සටහන් සියල්ල මුල සිට කියවන්න; පිළිතුරු නොදෙන ප්‍රශ්න එක්කෝ කළින් උත්තර දීපු ඒවා, නැත්නම් පිළිතුරක් නැති ඒවා, නැත්නම් පිළිතුරු දෙන්න අකමැති ඒවා …..

  10. lalita kumara ranawana said, on මැයි 8, 2012 at 5:06 පෙ.ව.

    eya vitharai mawa therum gaththe kiyala kaatawathma kiyanna beri da? ehema aththa kenek nadda?

  11. lalita kumara ranawana said, on මැයි 8, 2012 at 5:17 පෙ.ව.

    aruni oba amerikanuwek da?ehema une sudu appuhami nisada? appuhami kiwwe dakune ea nama hari wadagath nisa.oya mata comments denne naa.eath mekata uththara denna

  12. Shanthi Chandrasekera said, on මැයි 8, 2012 at 7:41 පෙ.ව.

    Thanks Aruni obe pahadili kreemata.

  13. lalita kumara ranawana said, on මැයි 8, 2012 at 10:49 ප.ව.

    pilithuru denna akamathi nisa.” oba wage kenek ai ehema kiwwe.oba apa wani ayata rahas naha ne.. oba eeye ratriyata kaawe monawa da kiya api ahanne naa.oba inne nidahas rataka.middle east neme.obe pilithura thula sangawa aththe kumak da.minissu sadacharai kiyana kisi deyak mama ahuwe naa.obe piya ta ellawuu samahara de kelin sabawa kiyanna giya nisa.ugathun sathyata ta bayanam sokratees miyayanne wayasata gihin.aea athin samarasinha mahatha hitiye gaw gananak issarahin.ohu danagath boho de dirawannenathi minissu nisa apitath ahaganna bariuna.jo-hary window eke prasidda kawluwa pulul wiyayuthu nadda

  14. lalita kumara ranawana said, on මැයි 8, 2012 at 10:58 ප.ව.

    mano viyadikayata manasika prathikarath nadda.sakachcha sammanthrana walin wath?

  15. lalita kumara ranawana said, on මැයි 8, 2012 at 11:06 ප.ව.

    interview ekaka di meka dannaa ayata selection waladee hondai da nadda?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: