අරුණි ශපීරෝ‍ වෙතින්

ඒ පාහරයාට එරෙහි මේ අහිංසකයා

Posted in Uncategorized by arunishapiro on මැයි 7, 2012

හොඳ මිනිසා, නරක මිනිසාට වඩා මූලික ව ම (fundamentally) වෙනස් යැයි කියන මතවාදයේ පැත්ත, වැඩි මිනිස් සත්තු ගන්නා පැත්තයි. පාහරයන් ගැන ඇහෙද්දී “මම එහෙම නැහැ, මම කවදාවත් එහෙම කරන්නෙ නැහැ,” යැයි ඔවුන් තමන්ට කියාගනිති. එවැනි පාහර වැඩක් කිසිදා හිතාවත් නැත. එවැන්නක් හිතට ආවත් “ජරාව”, “ජඩ වැඩක්” කියා වහාම සිතෙන් පන්නා දමති.

ඒත් මිනිසා ව තමන් ඉන්නා සාමාන්‍ය ජීවිත රටාවෙන් ඉවත් කළහොත්, ඔවුන්ගේ සිත්වලින් බාහිර ව ඇති ඔවුන්ව පාලනය කරන ක්‍රියා දාමයන් වෙනස් වුවහොත්, සමාජයේ නීති රැකෙන කැඩෙන ආකාරය වෙනස් වුවහොත්, මිනිසා කළින් දවසක සිතූ දැයක්, සමහර විට නොසිතූ දැයක් පවා කරන්නට පෙළඹෙයි.

ස්වභාවික ව්‍යසනයක දී වෙනදා නීති නොකැඩූ අය නීති කඩනවා දකින්නට පුළුවන.

සාමාන්‍ය සමාජයක මංකොල්ලා කන්නට, සොරකම් කරන්නට හිතනා අය නීති රැකෙනා කාලයේ දී ත් සිටිති. නීති රැකෙනා නිසා, බාහිර ව ලැබෙන පාලනය මේ මිනිස් සිත්වලට නැති වුවහොත්, ඕනෑම හැත්තක් පාහර ලෙසින් හැසිරීම පටන් ගන්නා බව පෙන්වන්නේ මිනිස් ඉතිහාසයයි.

අද කඳ නවා සැමට ආචාර කරන ජපනුන් එදා අධිරාජ්‍යයක පාහර ව හැසිරුනහ. එදා ජපනුන් කියා සිටියේ Sankō Sakusen: “සියල්ල මරා දමන්න, සියල්ලට ගිනි තබන්න, සියල්ල කොල්ල කන්න -Kill All, Burn All, and Loot All,” කියාය. ජපනාගේ මූලික මිනිස් ස්වභාවය වෙනස් වී නැත. එහෙත් අද සිතුම් පැතුම් වෙනස් ය.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට පාහර වැඩ කිරීම මිනිස් ස්වභාවයයි. ස්වභාවික ව්‍යසනයකින් පසු රජයේ හා පිටරටින් ආධාර ගන්නට ව්‍යසනයෙන් අලාභ හානි නොලද අයත් වංචාවේ යෙදෙති.

මිනිස් සයිකියට (psyche) පහර වැදි අවස්ථා 3 කි. මුලින් ම නිකලස් කොපර්නිකස් විසින් පෘතුවිය විශ්වයේ කෙන්ද්‍රස්ථානය නොවන බව කියූ විට ය. ඊ ළඟට චාර්ල්ස් ඩාවින් මිනිසා නිර්මාණයේ සැලැස්මක් නොව පරිනාමයේ දී බිහි වූ සත්වයෙක් යැයි කීම ය. අනතුරුව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් මිනිස් සිතේ හැසිරිල්ල තමන්ගේ අභිප්‍රායෙන් පමණක් නොව පිටතින් ඇති බලපෑම් වලිනුත් නිසා යැයි කීම ය. මිනිසුන් අතර මනෝව්‍යාධිකයන් යැයි කොටසක් ඉන්නා බව දැන ගැනීම ද එවැනි පහරකි.

ඒ පාහර වැඩේ කලේ කවුද? යැයි අනගි සටහනක් ලියා ඇත්තේ “මට හිතෙන හැටි” පිටුවේ හෙන්රි ය. සමාජය, ආගම හා නීතිය “හොඳ” හා “නරක” ගැන කියන්නට ගන්නා සෑම උත්සාහයේ දී ම සමහර චර්යා සද්ගුණවත් වෙද්දී අනික්වා පාහර වැඩ වෙයි. පාහර වැඩේට හේතුව සල්ලි පස්සෙ දුවන සමාජයක් නිසා යැයි හඳුන්වන්නට ඉක්මන් වෙන ප්‍රතිචාර රැසකි. මිනිස් ජීවිත වල වටිනාකම නොදත්, අනිකාට ඉහළින් ඉන්නට හදනා තුච්ඡ මිනිසා වැනි ලේබල් රැසකි.

සමාජයක නීති නොරැකෙන විට මිනිස්සු කල්ලිවාදයට ප්‍රවේශ වීම දකින්නට හැකිය. අපේ කල්ලියට අයිති විය යුතු දේ අනිත් කල්ලිය විසින් උදුරාගත්තා, සියළු වැරදි කරන්නේ අනිත් කල්ලියේ අය, යන ඔවුන්ට එරෙහි අපි අදහස් එවිට පැතිර යයි.

මිනිසාව තමා ඉන්නා ජීවන රටාවෙන් ඉවත් කර කල්ලිවාදයෙන් මුසුපත් කරපු නාට්සි ජර්මනියේ යුදෙව්වන් මිලියන ගණනින් මරා දැමීම හිට්ලර්ගේ තනි වැඩක් නෙමෙයි. ඒ හැම කුරිරු ඝාතනයක් සඳහා ජර්මන් ජනතාව නැමති කල්ලියට අයත් වූ ජර්මානුවෙක් රැකියාවට ගොස් ඝාතනයට අණ දුන් සිය ඉහළ නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් සපයා හෝ බඩු විකුණා හෝ රජයේ ඝාතන ලිපි ලේඛන සකස් කර හෝ යම් විදියකින් ඔවුන්ගේ අණ ක්‍රියාත්මක කර ගෙදර ගොස් තම දරුවන් හා එකට කා බී තම බිරින්ඳෑ තුරුල් කරන් නිදාගත් අයෙකි.

20 වැනි ශ. ව. දී ආර්මේනියානු මිනිස් ජීවිත මිලියන 1.8 ක් ඝාතනය වූයේ සැලසුම් සහගත කල්ලිවාදයෙන්. කාම්බෝජයේ දී මිලියන දෙකකට ආසන්න මිනිස් ජීවිත ඝාතන පොල් පොට් සමයේ දී වූයේ වසර ස්වල්පයක දී. 1994 දී රුවන්ඩාවේ දී 800,000 ක් මරා දැමෙනවා. වැඩි ඈතක දී නෙමෙයි කල්ලිවාදයෙන් ඩාෆූර් වල දී දස දහස් ගණනින් මිනිස් ඝාතන සිද්ධ වූයේ.

ලංකාවේ ද තිබුණා භීෂණ සමයක්. සහානුභූතිය (empathy) ඒ කාලයේ සිත් වලින් අයින් වෙලා තිබුනා ද?!!!

සල්ලි වලට වහල් වෙච්ච සමාජයක් යැයි පරණ වාදපදයක් හංවඩු ගැසීම ඉතා පහසුයි. එහෙම නැති සමාජයක් හොයන්න යන්න වෙනවා මුදල් පරිහරණය නොතිබි යුගයට. අන්න ඒ කාලේ විතරයි මිනිස්සු සල්ලි වලට වහල් නොවි සිටියේ.

මිනිස් ආත්මාර්ථකාමය හංවඩු ගැසීමත් ඉතා පහසුයි. ඒ ලේබල් එක හැම තිස්සෙම අලවන්නෙ වෙනකාට හරි. තමන් හරියට ආත්මාර්ථකාමී නැති අය වගේ.

ඒත් රටේ කල්ලිවාදය වැඩිවෙමින් තියෙන්නේ එක කල්ලියකට වෙනසක් කරන රටාවක් පටන් ගෙන නිසා දකින්න අකමැතියි. කල්ලියේ වැරදි වැඩ කරන්නාව කල්ලියෙන් නෙරපා දැමිම වෙනුවට කල්ලියේ අයෙක් වූ නිසා ආරක්ෂාව ලැබිය යුතු යැයි හිතන අය තවම ලොව වැඩියි.

සල්ලි වලට කෑදර මිනිස්සු යැයි ලේබලයක් අලවා මුදල් අගයන හා මිනිස්කම හඳුනන යන කල්ලි දෙකකට බෙදා වෙන්කර අනිකාට බැනීම පහසුයි. ඒත් තමන් සියල්ලෝම ඉන්නේ එකම කල්ලියේ යැයි දකින්නට අකමැතියි.

ඒ පාහරයාත් මේ අහිංසකයාත් ඉන්නේ එකම කල්ලියක. හිතන්නේ එකම විදියක මොළයකින්. මනෝව්‍යාධිකයන් සමාජයේ නීති කඩද්දී, දඬුවම් වලින් ගැල වී යද්දී, රැලේ අනිත් අයත් නීති කඩමින් ගැල වී සිටින්නට බලති. මනෝව්‍යාධිකයන් එළිපිට සමාජයේ රීති කඩමින් කල්ලිවාදයෙන් ආරක්ෂා වෙද්දී, රැලේ අනිත් අය මහමඟ රීති කඩද්දී බහුතරයා තමන් තුල ඉන්නා මාරයා දිහා නොබලා “නොපෙනන හතුරෙකුට” බැන වැද සිත සනසා ගනිති. වපුරන්නේ මොනවා ද ලැබෙන්නේ එහි අස්වැන්නයි. මේ විපැත්තිය සල්ලි වලට වහල් වෙච්ච සමාජයක් නිසා යැයි කියන මුදල් වලින් වේතන ලබනා, මුදල් වලින් බඩු මිල දී ගන්නා අය වපුරන්නේ තමන් රැවටී ඉන්නා මුලාවයි. ඔවුන්ට අස්වැන්න ලැබෙන්නේ ද ඒ මුලාව තව තවත් පැතිර යාමෙනි.

මුලාව නවතා තමන් දිහා බලන්න. කල්ලියේ ආරක්ෂාව වෙනුවෙන් එහි ඉන්නා මනෝව්‍යාධිකයන් නීති කඩනවා නම් දඬුවම් නොදී ඔවුන් ආරක්ෂා නොකරන්න. හිට්ලර්ට රැවටුන ජර්මන් ජනතාව අද යුදෙව්වන් හා සාමයෙන් ජීවත් වෙති. එහෙත් තවත් හිට්ලර් කෙනෙක් වෙතින් රැවෙටන්නට හැකි නිසා තමන් රවටන අය තම කල්ලියේ වුවත් දඬුවම් දීම අත් නොහරිති.

Karl Theodor Maria Nikolaus Johann Jacob Philipp Franz Joseph Sylvester Freiherr von und zu Guttenberg (ඒ එයාගෙ නම!!) 2009 සිට 2011 වෙනකම් ජර්මනියේ ඉතා සුළු කාලයක දී අවංක ජනතාවකගේ ජනප්‍රියත්වය දිනාගෙන වැජඹුන වංක දේශපාලනඥයෙක්. අවංක ජර්මන් ජනතාව රැවටුවත්, රටේ ව්‍යුහය ජනතාව රැවටූ වංක අයට දඬුවම් දෙන්න හැදිලා තියෙන නිසා එයාගේ වංක ක්‍රියාවන් හෙළි වෙද්දී එයා ශුද්ධ රෝම අධිරාජ්‍යාවාදියාගේ පරම්පරාවෙන් ආවත්, ලීෂන්ස්ටයින් කුමාරයාගේ පරම්පරාවෙන් ආව වුනත් සියළු රාජ්‍ය තනතුරු වලින් ඉල්ලා අස්වෙන්නට සිද්ධ වෙනවා.

දකුණු සුඩානයේ විදේශ ඇමති Nhial Deng Nhial දේශපාලනයෙන් සිය ආර්ථිකය සාරවත් කරගත් අයෙක්. දකුණු සුඩානය 98% ක් අපනයන ආදායම උපයන්නේ තෙල් පිටරටට විකුණලා. තෙල් විකිණීම වසර දෙකකට නවතා දැමීමට ආණ්ඩුව තීරණය කරන නිසා ඇතිවන දුෂ්කර වූ කාලය කරදරයෙන් වුවත් ගෙවන්නට පුළුවන් යැයි කියමින් ඔහු රවටන්නේ දකුණු සුඩානයේ ජනතාවයි!!!!

දකුණු සුඩානයක් වෙනවා ද, නැත්නම් එක්සත් ජර්මනියක් වෙනවා ද?!!!!

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. dawkinssdodo said, on මැයි 7, 2012 at 9:28 පෙ.ව.

    //ඒ හැම කුරිරු ඝාතනයක් සඳහා ජර්මන් ජනතාව නැමති කල්ලියට අයත් වූ ජර්මානුවෙක් රැකියාවට ගොස් ඝාතනයට අණ දුන් සිය ඉහළ නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් සපයා හෝ බඩු විකුණා හෝ රජයේ ඝාතන ලිපි ලේඛන සකස් කර හෝ යම් විදියකින් ඔවුන්ගේ අණ ක්‍රියාත්මක කර ගෙදර ගොස් තම දරුවන් හා එකට කා බී තම බිරින්ඳෑ තුරුල් කරන් නිදාගත් අයෙකි.//

    මේක ටිකක් අධි-සාමන්‍යකරනය කල කියමනක් නේද? යුදෙව්වන් බේරාගත්, හිට්ලර්ට එරෙහි වූ ජ’මන් ජාතිකයන් සෑහෙන්න සිටියා නේද? කල්ලිය බලයෙන් වැඩිවන විට තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න, කටවහන් ඉහලින් ආ අණ ඉටුකල අයත් ඉන්න ඇති.

    • arunishapiro said, on මැයි 7, 2012 at 9:57 පෙ.ව.

      dawkinssdodo,

      මිලියන 90 ක් ජීවත් වූ නාට්සි ජර්මනියේ දී Gerald Reitlinger ලියූ The Final Solution (1953): 4,194,200 සහ 4,851,200 ගණනක යුදෙව්වන් මිය ගිය විට යුදෙව්වන් බේරාගත්, හිට්ලර්ට එරෙහි වූ ජර්මන් ජාතිකයන් සෑහෙන්න හිටියා යැයි කියන්නේ කොහොම ද?!!!!!

      ඔව්, පැහැදිලිව ම සිද්ධ වූයේ, කල්ලිය බලයෙන් වැඩිවන විට තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න කට වහාගෙන ඉහළින් ආ අණ, සමාජයේ පොදු මතය යැයි විශ්වාස කරන ලද්දකට විරුද්ධව යන්න බිය/නූගත්කම/අකමැත්ත නිසා මිලියන ගණනින් මිනිස් ජීවිත නැතිවෙද්දී බලා සිටිනා අය බහුතරයා වීමයි. එහි වරදක් දැකිය නොහැකි වීමයි.

      නමුත් අපි විමසන්න ඕනා කල්ලියේ බලය වැඩි වූයේ කල්ලියට ඕනෑ වූ නිසා ද? නැත්නම් කල්ලියේ සිටි කිහිප දෙනෙකුට පමණක් උවමනා වූ නිසා ද? යන්නයි.

      ඒක පැහැදිලි කරගත්තේ නැති වුනාම තමයි, ඒ ගැන අවබෝධයක් නැති නිසා තමයි, නැවත නැවතත් කල්ලියක් පොළඹවන, අවුස්සන, මනෝව්‍යාධිකයන්ට අහුවෙන්නෙ.

      බොස්නියාවේ සරයේවෝ අල්ලා ගැනීමේ දී 11,541 ක් මිනිස් ජීවිත නැතිවෙන්නට හේතුවත් ඒකයි. කල්ලිවාදය දිගින් දිගට ගෙන යාමෙන් ඒ තත්වය තවත් දිනයක බොස්නියාවේ වගේ ම ලෝකෙ ඕනෑම තැනක ඇතිවෙන්නට හැකියාව ඇත්තේ මිනිසා තුල මිනිසා ගැන අවබෝධයක් නැතිකම නිසා.

      කල්ලිවාදයට හැඩ ගැසිච්ච මොළයක් (කැක්කුම ඇති) තියන නිසා කල්ලිය වනාහී තමන් උපන් නිසා අයිති වන කල්ලිය යැයි මිසක තමන්ට තෝරාගත හැකි මිනිස් වර්ගයා නැමති වූ කල්ලිය යැයි තවම අවබෝධයක් ලබන්නට මිනිස් මොළය ස්වභාවයෙන් පරිනාමය වෙලා නැහැ. එහෙම දවසක් එන තුරා, එහෙම හිතන්න බැරි අය, ඩාවින් හරි නම් යෝග්‍යතමයන් නොවන එහෙම අය මැරිලා වඳවෙලා යනතෙක්!!!, මනෝව්‍යාධිකයන්ට රවටා ගත හැකි අය අතින් එවැනි ඝාතන යළි යළිත් ඇතිවීම නවත්වනු නොහැකියි.

  2. dawkinssdodo said, on මැයි 7, 2012 at 10:51 පෙ.ව.

    //නමුත් අපි විමසන්න ඕනා කල්ලියේ බලය වැඩි වූයේ කල්ලියට ඕනෑ වූ නිසා ද? නැත්නම් කල්ලියේ සිටි කිහිප දෙනෙකුට පමණක් උවමනා වූ නිසා ද? යන්නයි.//

    මේක තමයි නිවැරදි ප්‍රවේශයක් සඳහා ඔබ නගන ප්‍රශ්නය. මේක කල්ලියේ උවමනාවද කිහිප දෙනෙක්ගේ උවමනාවටද වඩා ජීව විද්‍යාව හදාරන්නෙක් ලෙස “කල්ලිය” තුල පිලිගත් මතය (එනම් ජර්මානුවන් සුපිරි ආර්ය ජාතියක්) මීමයක් (MEME) ලෙස අනිත් අය “ආසාදනය” කරන බව පිලිගැනිමට මම කැමතියි. මීම දිගින් දිගිට පවතින්නේ පරිණාමිකව එහි උන්නති අගයක් ඇති නිසායි. එවැනි මීමයක් පරාජය කල හැක්කේ මිනිස් මනසට වඩා ආකර්ෂනය වන ප්‍රති -මීමයකින් විය නොහැකිද?

    //එහෙම දවසක් එන තුරා, එහෙම හිතන්න බැරි අය, ඩාවින් හරි නම් යෝග්‍යතමයන් නොවන එහෙම අය මැරිලා වඳවෙලා යනතෙක්!!!, මනෝව්‍යාධිකයන්ට රවටා ගත හැකි අය අතින් එවැනි ඝාතන යළි යළිත් ඇතිවීම නවත්වනු නොහැකියි.//

    🙂 මේක ටිකක් සැර වැඩි නැද්ද? 😉 මැරුනත් මීමයත් ජාන වගේ තමයි, පරම්පරාවට යනවා.

    • arunishapiro said, on මැයි 7, 2012 at 11:25 පෙ.ව.

      dawkinssdodo,

      The Selfish Gene ලියන රිචඩ් ඩාව්කින්ස් අදහස් ඔයාගේ ප්‍රියතම විෂයයක්නෙ. ඒ පොතේ පෙරවදනේ ඩාව්කින්ස් මෙහෙම කියනවා: “we are survival machines -robot vehicles blindly programmed to preserve the selfish molecules known as genes. This is a truth which still fills me with astonishment.” ඒක කිසිසේත් ම ඩාර්වින් අදහසක් යැයි ජීව විද්‍යාව හදාරෙන්නෙක් ලෙස ඔබ පිළිගන්නවා ද?

      ඩාර්වින් මෙහෙම ලියනවා: “As soon as the important faculties of the imagination, wonder, and curiosity, together with some power of reasoning, had become partially developed, man would naturally crave to understand what was passing around him, and would have vaguely speculated on his own existence.” -chapter 3 Descent of Man, Charles Darwin

      අද වයස 5 ක් සම්පූර්ණ වෙන මිනිස් පැටියා මේ හැදියාව පැහැදිලිව පිළිබිඹු කරන්නෙක්.

      මිනිස් සතා අන්ධ ලෙසින් ප්‍රෝග්‍රෑම් වී ආත්මාර්ථකාමී ජාන පවත්වා ගන්නට පරිනාමය වූවෙක් නෙමෙයි. Lino Becerra, Irving Biederman වැනි අය මොළය ගැන කරන ජීවවිද්‍යාත්මක පර්යේෂණ වලින් පැහැදිලි වෙන්නේ ලිම්බික් පෙදෙසේ පැහැදිලිව ම දකින්නට ඇති භෞතිකව සකස් වූ තමා ගැනත් ලෝකයා ගැනත් අවබෝධය සඳහා වූ ප්‍රාජකයක් ඇති බව: nucleus acumbens in limbic area, -physical existence of the drive to comprehend, reward system of opiate receptors which gives a pleasurable “high” when they are stimuated by “catching on” to some novel event. මම මේ ගැන යාන්තමට ලියලා තියෙනවා අතීත සටහන් වල. අපිට දැනෙන pleasure response එක අඩුවෙලා යනවා fMRI වල දී එකම පින්තූරයක් නැවත නැවත දකින කොට. හඳුනා ගත් දැයක් නැවත හඳුනා ගැනීමෙන් මොළයේ ප්‍රබෝධයක් නැහැ. එයින් කියන්නේ අපිව blindly ප්‍රෝගෑම් වෙලා නැහැ … පරිනාමයේ දී අපිව හැඩගැසිලා තියෙන්නේ වර්ගයා පවත්වා ගැනීම සඳහා මිනිසාට පමණක් ලැබිච්ච සුවිශේෂී හැකියාවකුත් එක්ක. එනම් 3 වැනි සහ 4 වැනි ප්‍රාජක දෙක. අනිත් සත්තු සහජයෙන් වර්ගයා පවත්වා ගනිද්දී මිනිස් මොළයේ පැවැත්ම සඳහා මිනිසා ස්වභාවයෙන් ම අළුත් දේවල් ඉගෙන ගන්න ඕනා -එය ජීව විද්‍යාත්මක සත්‍ය්‍යක්.

      අද ඉගෙන ගන්නා අළුත් දෙයක් තමයි මනෝව්‍යාධිකත්වය නම් වූ 3 වැනි ප්‍රාජකය ස්වභාවයෙන් ම පිහිටා නැති මිනිස් සත්තු පරිනාමයේ දී එය ඇති මිනිස් සත්තු අතරේ ඉන්නට හැකියාව ලබා ඇති බව. ඔවුන්ගේ මොළයේ ලිම්බික් පෙදෙසේ අනිත් මිනිසුන් අත්දකින ප්‍රතිචාර වලින් ලබන ප්‍රබෝධය දකින්නට නැහැ. ඒ සමඟින් අපි වසර සිය ගණනක අධ්‍ය්‍යන තුලින් නිරික්ෂණයෙන් දැක්කත් සාධක වලින් ඔප්පු කර ගන්න දෙයක් තමයි මනෝව්‍යාධිකයන්ව වෙනස් කරන්න බැහැයි කියන්නත්. ඉතින්, ඔවුන්ගේ යහපතට සහ සමාජයේ යහපතට ඔවුන් වෙනස් කරන්න බැරි නම්, ඔවුන් හා අද ජීවත්වෙන අපි වෙනස් වෙන්න ඕන. එනම්, ඔවුන්ගේ රැවටිලි වලට හසුනොවී සිටීමට අපිට ස්වභාවයෙන් ම ලැබී ඇති අළුත් තොරතුරු වලින් මොළය ප්‍රබෝධමත් කරගන්න ඕන. නූගත් අයට හා මෝඩයන්ට වුවත් යමක් ඉගෙන ගන්න ස්වභාවයෙන් ම උවමනාවක් ඇති මොළයක් පරිනාමයේ දී ලැබිලා තියෙනවා. මනෝව්‍යාධිකයාට එහෙම මොළයක් ලැබිලා නැහැ. එහෙම හැකියාවක් නැති අය -මනෝව්‍යාධිකයෝ- වඳවෙලා යාම නවතන්න රිචඩ් ඩාව්කින්ස්ටත් බැහැ … චාර්ලස් ඩාවින්ටත් බැහැනෙ –ජීව විද්‍යාව සත්‍ය්‍යක් නම්!!!!!

      මනෝව්‍යාධිකත්වය මීමයක් ලෙස සිතීම වැරදියි. බ්ලොන්ඩ් හිසකෙස් හා නිල් ඇස් මීමයක් නෙමෙයි, එහෙම තියන අය අතර වූවන් සමහරක් තමන් සුපිරි ජාතියක් කියා හිතීම මීමයක් වුනාට!!!!! වඳ වී ගිය ඩෝඩෝ නැවත ස්වභාවිකව බිහිවේවි ද?!!!

  3. dawkinssdodo said, on මැයි 7, 2012 at 12:25 ප.ව.

    //Lino Becerra, Irving Biederman වැනි අය මොළය ගැන කරන ජීවවිද්‍යාත්මක පර්යේෂණ වලින් පැහැදිලි වෙන්නේ ලිම්බික් පෙදෙසේ පැහැදිලිව ම දකින්නට ඇති භෞතිකව සකස් වූ තමා ගැනත් ලෝකයා ගැනත් අවබෝධය සඳහා වූ ප්‍රාජකයක් ඇති බව: nucleus acumbens in limbic area, -physical existence of the drive to comprehend, reward system of opiate receptors which gives a pleasurable “high” when they are stimuated by “catching on” to some novel event. මම මේ ගැන යාන්තමට ලියලා තියෙනවා අතීත සටහන් වල. අපිට දැනෙන pleasure response එක අඩුවෙලා යනවා fMRI වල දී එකම පින්තූරයක් නැවත නැවත දකින කොට. හඳුනා ගත් දැයක් නැවත හඳුනා ගැනීමෙන් මොළයේ ප්‍රබෝධයක් නැහැ. එයින් කියන්නේ අපිව blindly ප්‍රෝගෑම් වෙලා නැහැ … පරිනාමයේ දී අපිව හැඩගැසිලා තියෙන්නේ වර්ගයා පවත්වා ගැනීම සඳහා මිනිසාට පමණක් ලැබිච්ච සුවිශේෂී හැකියාවකුත් එක්ක. එනම් 3 වැනි සහ 4 වැනි ප්‍රාජක දෙක. අනිත් සත්තු සහජයෙන් වර්ගයා පවත්වා ගනිද්දී මිනිස් මොළයේ පැවැත්ම සඳහා මිනිසා ස්වභාවයෙන් ම අළුත් දේවල් ඉගෙන ගන්න ඕනා -එය ජීව විද්‍යාත්මක සත්‍ය්‍යක්.//

    අදත් අලුත් දෙයක් ඉගෙනගත්තා ඔබ සමඟ සංවාදයෙන්. මේ ගැන මම දැනං සිටියේ නැත. වෙලාවක් ලැබුනොත් කියවන්න ඕනේ මේ ගැන. ස්තුතියි දීර්ග ප්‍රතිචාරයට.

    ඩෝකින්ස් කියන කාරණය සම්බන්දයෙන් නම් මට මත ගැටුමක් නැත. පරිණාමය වන්නේ ජීවී විශේෂ මිස එක් එක් සත්වයා නොවන නිසා, අවසන් විග්‍රහය ජානයට ඌනනය කිරීමේ වැරැද්දක් මම නොදකිමි.

  4. lalita kumara ranawana said, on මැයි 7, 2012 at 10:54 ප.ව.

    aramunak udesa civil neethi kadana kalliyak manoviyadikayo da? oba thoragath ayata vitharak pilithuru denne.kawadahari mekatath uththara denna

  5. Ravi said, on මැයි 8, 2012 at 8:01 පෙ.ව.

    ඔබේ ලිපිය, ඒ වගේම ඩෝකින්ස්ගේ ටීකාවන්, ඊට ඔබේ පිළිතුරු ටීකාවන් මඟින් නොදැන සිටි වැදගත් කරුණු රැසක් වටහා ගතිමි. යටත් පිරිසෙයින් වටහා ගතිමියයි සිතමි. 🙂

    අසීරුම කර්තව්‍යය නම් මිනිස් සිත ක්‍රියාකරන අයුරු වටහාගැනීම යයි මා ඇසූ කියමනක් මතකයට නැඟුනි. එක් ගැටළුවක් විසඳාගන්නාවිට තවත් ගැටළු දහසක් පැන නැඟීම මිනිස් සිත ක්‍රියාකරන අයුරු වටහාගැන්මට තැත්කිරීමෙහිදී අනිවාර්යයෙන් සිදු වන්නකි.

    ස්තූතියි අරුණි, ඔබට…:)

    • arunishapiro said, on මැයි 8, 2012 at 10:22 පෙ.ව.

      Ravi,

      ඩෝකින්ස්ගේ ඩෝඩෝ හා සංවාදයෙන් මොළයට උත්තේජනයක් ලැබෙනවා.

      රවී අහන ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහින් ඒකෙනුත් මොළයට උත්තේජනයක් ලැබෙනවා.

      මටයි වාසි!!!! 😀

  6. henryblogwalker said, on මැයි 8, 2012 at 11:17 පෙ.ව.

    කල්ලි ගැහෙන එක ඇ‍ඟෙන්ම එන දෙයක්. මම ඉතින් ගුරුවරයෙක්නෙ. ලංකාවෙ
    උගන්නනකල් උපාධිධාරී ගුරුවරුයි පුහුණු ගුරුවරුයි අතරෙ තිබ්බ කල්ලිවාදයේ මැද්දට වෙලා හිටියා. (survive වුනා කියන එකයි කියන්න ඕනෙ නමුත් පැවතුනා කිව්වම අදහස එන්නෙ නැති නිසා මැද්දට වෙලා හිටියා කිව්වෙ 😀 )

    දැන් උගන්නන රටෙත් ‍රැස්වීමකට ගියත් දේශීය අය වෙනම ඉඳගන්නවා. හිතලා නෙවෙයි ඒක ඇ‍ඟෙන්මයි එන්නෙ. ඉන්දියානුවො වෙනම ඒකෙනුත් කේරලයො වෙනම තමිල්නාඩුවො වෙනම, පාකිස්තානුවො වෙනම, යුරෝපීයයො වෙනම. මායි බිරිඳයි අර කිව්වා වගෙ මැද්දට වෙලා කල්ලි වලට සම්මාදන් නොවී ඉන්න බලනවා.

    අරුණි විශ්වාස කරනවද, ස්ටාෆ් රූම් එකේ එක එක්කෙනා ඉඳගන්න පු‍ටු තියෙනවා. අපි සාමාන්‍යයෙන් හැම තැනම ඉඳගන්නෙ කවුරුත් එක්කත් එකාවන්ව ආශ්‍රය කරන්න වුනාට මේ වැඩේ මෙතනදි හරි ගියේ නෑ. මේ ලඟදි එකෙක් තමන්ගෙ පු‍ටුවෙ අපුතින් ආපු ගුරුවරයෙක් ඉඳගත්තා කියලා එන පු‍ටුවක වාඩි නොවී වර්ජනයක් වාගෙ දෙයක් කලා එයාගෙ පු‍ටුව ලැබෙනකල්. 🙂

    • arunishapiro said, on මැයි 8, 2012 at 11:33 පෙ.ව.

      henryblogwalker,

      //කල්ලි ගැහෙන එක ඇ‍ඟෙන්ම එන දෙයක්.// සැබැවින් ම. එය පැවැත්ම ආරක්ෂා කරගන්න අවශ්‍ය්‍ය නිසා මිනිසාට ස්වභාවයෙන් ලැබී ඇති හැදියාවක්.

      හැදියාව නිසා ඇමෙරිකාවට ඇවිල්ලත් සිංහල සාද වල දී ගෑණු එකටත් මිනිස්සු එකටත් කල්ලි ගැහෙනවා. ඒක හරි යැයි හෝ වැරදි යැයි නෙමෙයි, එහෙමයි ස්වභාවය. මං සුදු අප්පුහාමිගේ ළඟින් ඉන්න එක සමහර අයට දිරවන්නෙ නැහැ.

      ඒත් මොළය පාවිච්චි කරන්න පුළුවන් අය උත්සාහ කරන්න ඕන තමන්ගෙ කල්ලිය පමණක් නොව අනිත් කල්ලියත් හඳුනාගන්න. ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයේ පසුගිය දිනයක මම ඩෙලවෙයාර් සෙනෙට් සභික ක්‍රිස් කූන්ස් සහ ඇමෙරිකාවේ ඉන්දියානු තානාපතිවරිය නිරූපමා රාඕ ‘මැද්දෙන් වාඩි වෙලා’ සමත් වුනා සම්මාදන් නොවී ඉන්න!!!! දේශපාලන “ද්විත්ව වදන්” ඇහෙද්දී කටින් පනින්න නොදී තියාගත්තු ප්‍රතිචාර ටික මතක් වෙද්දී මා සම්මානයක් දී ගන්නේ මට ම!!!!

      ඉතා දුෂ්කරයි, ඒත් මිනිස් වර්ගයා යනු තමාගේ කල්ලිය පමණක් නොවන බව හඳුනාගෙන තමන් වෙනස් වෙන්නට සෑහෙන උත්සාහයක් ගන්න ඕනා.

      //මායි බිරිඳයි අර කිව්වා වගෙ මැද්දට වෙලා කල්ලි වලට සම්මාදන් නොවී ඉන්න බලනවා.// මායි සුදු අප්පුහාමියි උත්සාහ කරන්නෙත් ඒකටමයි. ඔබ දෙදෙනාට ජයවේවා!

  7. නතාෂා බියන්විල said, on මැයි 10, 2012 at 2:23 පෙ.ව.

    පිස්සු පීකුදු නටනවා

  8. නතාෂා බියන්විල said, on මැයි 10, 2012 at 2:27 පෙ.ව.

    pissu nethnam hodai meva harima komital..meka liyapu akkena pissu pusiyak da?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: