අරුණි ශපීරෝ‍ වෙතින්

අපරාධී මනෝව්‍යාධිකයා

Posted in Uncategorized by arunishapiro on මැයි 8, 2012

අපරාධී මනෝව්‍යාධිකයා (criminal psychopath) සමාජයේ රීති කඩමින් අනුන්ගේ හිත් රිදවන්නාට වඩා සාහසික වූවෙකි. අපරාධී මනෝව්‍යාධිකයා කඩන්නේ සමාජයේ ආරක්ෂාව පිණිස වූ නීතින් ය. වැඩිහිටි ඇන්ටි-සෝෂල් අය ලෙසින් කාලාන්තරයක් තිස්සේ හංවඩු ගැසිච්ච අය සහ මනෝවිකාර ඇති අය කවුරුන් දැයි වෙන්කර හඳුනාගන්නට විජට්ටු විද්‍යාඥයන් අතට ලැබෙන කාලයයි මේ. නමුත්, සොයාගන්නා හැම සත්‍ය කරුණකින් ම පැහැදිලි වෙන්නේ දන්නා තරමට වඩා නොදන්නා කොටස වැඩි බවයි.

අනුන් ගැන කැක්කුමක් ඇති අය, අවශ්‍යතාවය නිසා වෙන තෝරාගැනීමක් නැතැයි යන නූගත් බවින්, වංක ලෙසින් ජීවත් වෙති. තමන් අතින් වූ වරදක් සමාජයට හෙළි නොවූ නිසා, එය අහුවෙන තෙක් හා ඊට දඬුවම් විඳින්නට ලැබෙන තෙක්, තව තවත් අපරාධ කරන්නට පෙළඹෙන අය සිටිති. එසේම 1. උප්පත්තියේ දී ම හටගත්තා වූ, 2. මත්ද්‍රව්‍ය, මත්පැන් හා බෙහෙත් නිසා මෙන් ම, 3. අනතුරකින් ද ඇති වූ මොළයේ විකෘති ස්වභාවයෙන් ජීවත්වෙන අය සිටිති.

මනෝව්‍යාධිකයාත්, ඉහත සඳහන් වූ අයත් වෙනස් අයයි. තමන්ගේ මනෝවිකාරය (psychosis) නිසා, නූගත්කම (උවමනාවක් නැති නිසා ඉගෙන නොගත්) හා බුද්ධියෙන් මඳ (උවමනාවක් ඇතත් උගත් වෙන්නට අපහසු අය) වගේ ම මොළයට හානි පැමිණි අය ද මනෝව්‍යාධික නොවෙති.

සෑම අපරාධකරුවෙක් ම මනෝව්‍යාධිකයෙක් නොවේ. හැම මනෝව්‍යාධිකයෙක් ම අපරාධකරුවෙක් ද නොවේ. එහෙත් අපරාධකරුවන් අතර වැඩි ප්‍රමාණයක් මනෝව්‍යාධිකත්වයෙන් පෙළෙන්නෝ වෙති.

වරදක් කර, ඒ ගැන පසුතැවෙන්න, මනෝව්‍යාධිකයාට ‘අනුන් ගැන කැක්කුමක් නැති මොළයෙන්’ බැහැ. එයා ඒ වරද අහු නොවෙන්නට මුලාව පතුරවමින් තව තවත් වරදේ යෙදෙන්නට හැංගී සිටින්නෙක්. ඒත් මනෝව්‍යාධිකයාගේ මොළයේ ස්වභාවය කලබැගෑනියකින් උත්තේජනය වීම. දුකක් සතුටක් නැහැ. කලබැගෑනියක් පමණයි අවශ්‍ය. මනෝව්‍යාධික ලක්ෂණ කුඩා දරුවන් කාලයේ දී කලාතුරකින් පෙනෙයි. ගැටවර වියේ දී අනුන්ට හිරිහැර කරන ලක්ෂණ බොහොමයක් පිටතට පෙන්වයි. කෙමෙන් කෙමෙන් උත්සන්න වී වැඩිහිටි කාලයේ දී වැඩි වැඩියෙන් අපරාධ කරයි.

තමන් අනිත් සියල්ලන්ට ම වඩා දක්ෂ යැයි සිතනා අයෙක් වීම නිසා තමා රවටන්නට වෙන කිසිවෙකුටත් බැරි යැයි සිතීම ද මනෝව්‍යාධිකයාගේ ලක්ෂණයකි. එසේම අනුන්ගේ කැක්කුම වටහාගත නොහැකි වූවෙකි; මනෝව්‍යාධික ලිංගික දූෂිතයෙක් දූෂණය අවසන තම දුරකතන නොම්මරය තමා අතින් දූෂණය වූ අයට දී යන අයෙකි!!! ඉතින් බොහෝවිට මනෝව්‍යාධිකයෙක් බව අහුවෙන්නේ එයාට වසන් කරගත නොහැකි මනෝව්‍යාධික ලක්ෂණ නිසාමයි.

මනෝව්‍යාධිකයා වැඩි වැඩියෙන් අපරාධ කරද්දී, ස්වභාවයෙන් අනුන් ගැන කැක්කුමක් ඇති සමාජය ගැන නිසි අවධානයෙන් ඉන්නා මිනිස්සුන්ට මේ මිනිහා අමුතු සතෙක් යැයි සොයාගන්නට අවස්ථාව පෑදෙයි. එක වරදක් කර ඒක අහුවුනේ නැත්නම්, ඒ වරදත් වෙනත් කිසිම වරදකුත් නැවත ආයේ නොකරන්නට පාඩමක් ඉගෙන ගත හැක්කේ මනෝව්‍යාධිකත්වයක් නැති අයටයි. මනෝව්‍යාධිකයාට වරදේ නොයෙළී සිටින්නට හැකියාවක්, ඊට අවශ්‍ය අනුන් ගැන කැක්කුමක් ඇති කරන බුද්ධිය වර්ධනය සඳහා, මොළය ඉඩ තබා නැත.

මොළයට හානිකර වසවිෂ කැමැත්තෙන්/නොදන්නාකමෙන්/ඇබ්බැහියෙන් ගැනීමෙන් ඇතිවන හානිය හේතුවෙන් මනෝව්‍යාධිකයන් ගැන ස්වභාවයෙන් ම දැනෙනා වූ ටොගල් ස්විච් ක්‍රියාත්මක නොවන අවස්ථා ඇත. සතුට වඩන බෙහෙත් පෙති අද ජනප්‍රිය වූ පෙති වෙති. මා සමඟ ටෙනිස් ක්‍රීඩාවේ යෙදි යෙහෙළියක් එවැනි පෙත්තක් හැමදාම ගත්තේ දුකින් තැවෙන සිතකින් වූ නිසා නොව එයින් ලැබෙන උත්තේජනයෙන් ටෙනිස් තරඟ දිනත හැකි යැයි විශ්වාස කළ හෙයිනි. නිතිපතා ඇය පරදවන්නට පෙත්ත නොගත් මට හැකිවීම ඇය සිත් කරදරයට පත්කළේ නැත්තේ ද පෙත්තේ බලයෙනි!!!!

වෛද්‍යවරුන් හදිසි වී තුණ්ඩු ලියන බෙහෙත් පෙති නිසා, ඒවා සල්ලි දී කැමැත්ත/නොදන්නාකම/ඇබ්බැහිය නිසා ලියවා ගන්නා අය බොහොමයක් සිටිනා නිසා, මොළය ස්වභාවයෙන් ම කරන අනතුරු ඇඟවීම් මොට වූ තත්වයකින් ඒ පුද්ගලයන් ජීවත් වෙති. එවිට ද මනෝව්‍යාධිකයන්ට පහසුවෙන් ගොදුරු රවටා ගැනීමට හැකි වාතාවරණයක් ඇතිවේ. අද ලෝකයේ ජීවත්වන අය බෙහෙත් පෙති ගණනාවක් දිනපතා ගැනීම ස්ටයිල් එකකි. එසේ කරමින් බැන වදින්නේ ඖෂධ නිර්මාණය කරන්නන්ට ය. ඒ ඖෂධ සත්‍යයෙන් අවශ්‍ය අය සිටිති. ඒත් බහුතරයට අවශ්‍ය නැත. සමහර මත්ද්‍රව්‍ය හා නිකටින් වර්ග වලින් සමහර මනෝවිකාරයන් හා දරුණු ශාරීරික වේදනාවන් ඊට වඩා අහිතකර වූ බෙහෙත් වලට වඩා හිතකර බවකින් සමනය කරගත හැකිය. ඒත්, දුම්කොළ වැවෙන නිසා දුම්පානය අවශ්‍ය නැතිබව වටහා ගත යුතුය. එසේ හැකි මොළයක් මනෝව්‍යාධික නොවන අයට තියෙද්දී සමහර මනෝවිකාර වලින් පෙළන අයට හා සියළු මනෝව්‍යාධිකයන්ට එය වටහා ගත හැකි මොළයක් නැත.

මනෝව්‍යාධික මොළ වලට පිටතින් ඇතුල් කරන කම්පන, බෙහෙත් හෝ පාර්කින්සන්ස් පාලනයට වැනි විජට්ටු වලින් මැදිහත් වීම ගැන මත දෙකකි. ඒ සඳහා යන වැයට ලැබෙන්නේ යහපත් ලෙසින් ජීවත්විය හැකි අනුන් ගැන කැක්කුමක් ඇති මිනිසෙක් නොව මතෙන්, විකෘතියෙන් ඉන්නා අයෙක් වීම සමාජයට කරන යහපතක් ද? එසේම, ළමා අපචාරයේ, ලිංගික දුෂණයේ, ජීවිත අහිමියේ යෙදෙන මනෝව්‍යාධිකයෙක් තමන්ව සිරගත නොකර සමාජයේ හැසිරෙන්නට හැකි එකම ක්‍රමය අපරාධී සිතුවිල්ලක් පහළ වෙද්දී එය මොට කරන විජට්ටුවක් තම මොළයට ඇතුල් කිරීමෙන් පමණක් යැයි දැනුවත් කිරීමෙන් පසු තමාට එසේ කරන්න යැයි ඉල්ලා සිටියහොත්, එම හැකියාව මනෝව්‍යාධිකයාට ලබා නොදීම කළ යුතු ද?

ගැටවර වියේ දී පෙනෙන්නට ගන්නා මනෝව්‍යාධික හැසිරීම විසි තිස් ගණන් වල දී උත්සන්න වී පනහ පසු වූ විට අඩු වී කෙමෙන් නැති වී යයි. බොහෝ අපරාධී මනෝව්‍යාධිකයන් වයසට යන්නට පෙර ඔවුන් විසින් ම ඇති කරගන්නා කලබැගෑනියක දී මිය යති. අපරාධී මනෝව්‍යාධිකයන් වයසට යද්දී සාහසික වීම අඩුවීම නිසා, තමන්ගේ සාහසිකත්වයට ලක් වූ අය තමන්ට වෛර කරන්නේ මන්දැයි කියා වටහා ගත නොහැකිව ඔවුන්ගේ ගොදුරු බවට පත්වෙති.

මොළය පාවිච්චියට ගන්නා ඒකීය පුද්ගලයාට මනෝව්‍යාධිකයන් ගැන දැනුමකින් සහ නිසි අවධානයකින් සිට ඔවුන් වෙතින් ගැලවෙන්නට හැකිය. පිටතින් මොළයට බලපෑමක් නොකර, සමාජයකට මනෝව්‍යාධිකයාගෙන් දුරස් වී ගැලවෙන්නට හැකි සැලසුම් ගහන්නෝ කැමත්තේ, එවැන්නාට ජීවත්වෙන්නට සමාජයෙන් ඈත් වූ පරිසරයක් සකස් කර දීමයි. දොස්තර ෆ්‍රෑන්කන්ස්ටයින්ට සේ (රාක්ෂයා නෙමෙයි දොස්තරයා!!) විද්‍යාගාරයක් හදා දීමෙන් එවැනි අයෙක්, සිය කලබෑගැනියක් සොයන්නට සැලසුම් ගහනා මොළයෙන් කුමන දේවල් ලොවට බිහිකරයි දැයි සොයාගත හැකිවනු ඇත් ද?!!!

මොළයට පිටතින් බලපෑම් නොකර චර්යාවෙන් මනෝව්‍යාධිකයන්ව ප්‍රතිසංස්කරණය කරන්නට හැදූ වැඩ පිළිවෙත් වලින් පෙනී ගිය වැදගත් ම කරුණ වූයේ ඔවුන් අනුන් ගැන කැක්කුමක් ඇති කරගන්නවා වෙනුවට තව තවත් අනුන්ව රිදවන්නට ඒ තොරතුරු උකහා ගැනීමට සමත් වූ බවයි.

මනෝව්‍යාධිකයන් ගැන හදාරන මනෝව්‍යාධික නොවන මනෝවිද්‍යාඥයන් අතර රීතියක් ඇත. ඒ මනෝව්‍යාධිකයන් ගැන සොයාගත් වැඩි තොරතුරු බහුතර සමාජයට නොදී සිටීමයි. මන්ද, ඒවා දැනගන්නා මනෝව්‍යාධිකයන්, ස්වභාවයෙන් ම අනුන් ගැන කැක්කුමක් ඇති කරගන්නට නොහැකියාව නිසා, මේ තොරතුරු වලින් තව තවත් අපරාධී මනෝව්‍යාධිකයන් වෙන්නට සමත් වෙති. මනෝව්‍යාධිකයන් වෙතින් ගැලවෙන්නට උදව්වෙන තොරතුරු දීමෙන් සමාජයේ ආරක්ෂාවටත්, වැඩි තොරතුරු දී මනෝව්‍යාධිකයන්ට උදව් වීමෙන් වැළකීමටත් කටයුතු කිරීම, අවුල් ලිහන අයට කදිම අභියෝගයකි!!!!

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. lalita kumara ranawana said, on මැයි 8, 2012 at 10:33 ප.ව.

    mano viyadika mano vidya visesagnain da sitinawa neda.boho vita minissu kiyanne unta pissu kiyala

  2. lalita kumara ranawana said, on මැයි 8, 2012 at 10:55 ප.ව.

    peththa gana yeheliyata adahas dakvuye nadda.ath kiyanna akamathi nisa da?

  3. buddie-බුඩී said, on මැයි 8, 2012 at 11:32 ප.ව.

    මෙව්වා කියෝලා බූඩිටත් නිකන් මනෝ විකාර වගේ 😛

  4. Dasun said, on මැයි 9, 2012 at 4:49 පෙ.ව.

    //මොළය පාවිච්චියට ගන්නා ඒකීය පුද්ගලයාට මනෝව්‍යාධිකයන් ගැන දැනුමකින් සහ නිසි අවධානයකින් සිට ඔවුන් වෙතින් ගැලවෙන්නට හැකිය.//

    මේ වාක්‍යය මට මේ විදිහට වෙනස් කරන්න හිතෙනවා.මොළය පාවිච්චියට ගන්නා ඒකීය මනෝව්‍යාධිකයන්ට ඒ ගැන දැනුමකින් සහ නිසි අවධානයකින් සිට ඔවුන් තලනා පෙලනා, ඔවුන්ව සමාජයෙන් දුරස් කොට තබනා ලක්ශන වෙතින් ගැලවෙන්නට නොහැකිද? එම ලක්ශන සැමදාමත් ඔවුන් සතුව පවතිනවාද? නොදැනෙන සතුට දුක විඳින්නට ඔවුන්ට ආසාවක් ඇති වුවහොත්, තම වර්තමාන තත්වය පිලිබඳ අප්‍රියාවත්, එම හේතුවෙන් ඇතිවූ දියුනු වීමට ඇති ආසාව නිසාත්, ප්‍රධාන ලෙසම හදවත විනිවිද භාවයෙන් යුතුව තමාත් අනිත් මිනිසුනුත් එකම දැකීමකින් යුතුව ජීවත් වෙනවා දැකීම ඔහුගේ සිහිනය වූ විට, සහජයෙන් උරුම වූ මනෝව්‍යාධිකත්වය පිටුදැකීමට ඔහුට හැකිවේද?

    ඒ වගේම අවසාන වාක්‍යය; // මනෝව්‍යාධිකයන් වෙතින් ගැලවෙන්නට උදව්වෙන තොරතුරු දීමෙන් සමාජයේ ආරක්ෂාවටත්, වැඩි තොරතුරු දී මනෝව්‍යාධිකයන්ට උදව් වීමෙන් වැළකීමටත් කටයුතු කිරීම, අවුල් ලිහන අයට කදිම අභියෝගයකි!! //

    අරුනි ඔබ එම අභියෝගය ඉතාම්ත් හොඳින් ජයගන්නවා. ඉදිරියටත් මෙවන් අගනා ලිපි බලපොරොත්තු වෙනවා.

    ජය!!!
    (අවුල් ලිහන අය වෙනුවෙන්)

    • arunishapiro said, on මැයි 9, 2012 at 8:38 පෙ.ව.

      Dasun,

      ස්තූතියි, බෙහෙවින් ම.

      //මොළය පාවිච්චියට ගන්නා ඒකීය මනෝව්‍යාධිකයන්ට ඒ ගැන දැනුමකින් සහ නිසි අවධානයකින් සිට ඔවුන් තලනා පෙලනා, ඔවුන්ව සමාජයෙන් දුරස් කොට තබනා ලක්ශන වෙතින් ගැලවෙන්නට නොහැකිද? // බැහැ. ඒ සඳහා වසර 100 ක ආසන්න කාලයක් තිස්සේ දැනට කර ඇති සියළු වෑයම් අසාර්ථකයි. ඒක අත් පය නැති අයට කෘතිම අත් පා ලබා දෙනවා වගේ නෙමෙයි. දුකින් තැවෙනා අයට සතුටු පෙත්තක් දෙනවා වගේ නෙමෙයි. අපේ පරිනාම ඉතිහාසයේ දී මෘගයෙක් සේ වැඩෙන ප්‍රාජක දෙකකින් වූ සතා මිනිස් බවට පරිනාමය වෙද්දී ලැබිච්ච අනිත් ප්‍රාජක දෙකෙන් එකක් නොමැතිව පරම්පරා ගණනාවක් තිස්සේ අප අතරේ ඉන්නට හැකියාව ලබා තිබීම.

      අපි හිතමු ඔයාට තියෙන්නේ කළුපාට කෙස් ඇති හිසක් කියා. ඔයාට ඒක ලසිත් මාලිංග වගේ හයිලයිට්ස් දාලා පාට වෙනස් කරන්න පුළුවන්. ඒත් කොණ්ඩෙ අළුතින් වැවෙද්දී කළු පාටින් මිස වෙන පාටකින් වෙනවා ද? මයිකල් ජැක්සන් හමේ පාට වෙනස් කරගත්තා. ඒත් එයාගේ මොළයේ වූ අධික ස්වානුරාගය වෙනස් කරගන්න බැරිවුනා. වෙනස් කරන්න හැකි දේවල් සහ වෙනස් කරන්න නොහැකි දේවල් තියනවා. මේක වැටෙන්නෙ සියළු පර්යේෂණ අවසානයේ දී වෙනස් කළ නොහැකි වූවකට. ඒ අද තියන විද්‍යාව සහ තාක්ෂණය අනුව.

      ඉතින් ඔව් ඒ ලක්ෂණ ඔවුන් මිය යනතුරු හැමදාම පවතිනවා. අනුන්ට කරදරයක් කරත හැකියාව වයසට යද්දී කෙමෙන් අඩුවෙනවා. ශක්තිමත් දේහයකින් කරපු දේවල් නාකි වුනාම කරන්න බැරි නිසා. වයසට යන සාමාන්‍ය මිනිස්සුන්ටත් දුක සතුට යන ආවේග බොහොමයක් දැනෙන්නේ තරුණ කාලේ තරම් දැඩිව නොවෙයි. මේ අයටත් එහෙම තත්වයක් තියෙනවා, ඒත් අනුන් ගැන කැක්කුමක් ඇති වෙන්නේ නැහැ, ඒ ගැන මුකුත් කරකියාගන්න බැරිවීම පමණයි. බොහෝ මනෝව්‍යාධිකයන් වයසට යන්න කළින් තමන් ඇති කරගන්නා කලබල නිසාම, ඒවා නැතිව ඉන්නට බැරි නිසා, ඒවායෙන් මිය යනවා.

      //නොදැනෙන සතුට දුක විඳින්නට ඔවුන්ට ආසාවක් ඇති වුවහොත්, තම වර්තමාන තත්වය පිලිබඳ අප්‍රියාවත්, එම හේතුවෙන් ඇතිවූ දියුනු වීමට ඇති ආසාව නිසාත්, ප්‍රධාන ලෙසම හදවත විනිවිද භාවයෙන් යුතුව තමාත් අනිත් මිනිසුනුත් එකම දැකීමකින් යුතුව ජීවත් වෙනවා දැකීම ඔහුගේ සිහිනය වූ විට, සහජයෙන් උරුම වූ මනෝව්‍යාධිකත්වය පිටුදැකීමට ඔහුට හැකිවේද?// ඔවුන්ගේ මොළයට එහෙම හැකියාවක් නැහැ. මේවා සියල්ල නැතිව ඉපිදිලා නැතිව මැරෙන්න සිද්ධ වීම තමයි ඔවුන්ගේ ලොකුම අභාග්‍ය්‍යය. ඒක ඔවුන්ගේ තෝරාගැනීමක් ද නොවේ.

  5. akda5050 said, on අගෝස්තු 9, 2013 at 7:56 ප.ව.

    ඔබ පල කර ඇති ලිපි බොහෝමයකි ඒ සියල්ල කියවීමට මෙම අවකාශය ප්‍රමානවත් නොමැත. එහෙත් ඉදිරියේදී කියවීමට අපේක්ෂා කරමි . යොමු කරවීමට අදහස් කරන කරුනු සරළව ඉදිරිපත් කරන්නේ නම්
    1. අප සිතමු මෙලෙස මනෝ ව්‍යාධියකින් පෙලෙන්නෙකු බලයට පත් වූ පසු එවනි අයෙකු නෙරපා හැරීම සදහා ගනු ලබන සාමූහික ප්‍රයත්නයක් ගණනය වනුයේ කිනම් තත්වයක් තුලටද ?
    2. සමාජ ක්‍රියා කාරීන් දේශපාලන හෝ සිවිල් ඔවුන්ද සමාජය තුල බලපෑම් ඇති කරන්නන්ය . දේශපලන ක්‍රියාකාරීන් තම කාරණය බල වෙනසක් හෝ ක්‍රම වෙනසක් උදෙසා කැප වෙනු ඇත.
    මේ ක්‍රියාවලීන් විග්‍රහ කර ගන්නේ කෙසේද ?
    එහිදී පාලනය ගෙන යන්නන් තම පාලන බලය ආරක්ෂා කර ගැනීම උදෙසා ගනු ලබන ක්‍රියා මර්ගයන්ද සමහර අවස්තාවලදී මනෝව්‍යාධීන්ගේ ස්වරෑපයක් උසුලයි මේ සියල්ල සලකා බලන කල සියල්ලන්ම මනෝව්‍යාදීන් මෙනි
    පාලනයට එරෙහි වන්නා සේම එය රැක ගැනීම උදෙසා උත්සුක වන්නාද් විග්‍රහ විය යුතු යැයි සිතමි

    • arunishapiro said, on අගෝස්තු 9, 2013 at 8:39 ප.ව.

      akda5050,

      1. පිළිතුරු ලියා ඇත්තේ සැකෙවින් අනෙකුත් සටහන් තුල දිව යන ලෙසකින් පමණයි. ඒ ගැන කෙටියෙන්: මෙතෙක් ඉතිහාසයේ මනෝව්‍යාධිකයන් බලයට පත් වූ පසු, එංගලන්තයේ පළමු වැනි චාල්ස් පටන් මෑත ලිබියාවේ ගඩාෆි දක්වා ඔවුන් බහුතරයක් නෙරපා හරින්නට ජනතාවට හැකිවූයේ ඔවුන්ට මරණ දණ්ඩනය දීලා. කිහිප දෙනෙක් ඔවුන්ගේ ඒ මනෝව්‍යාධික ස්වභාවයේ ලක්ෂණ අනුවම ගන්නා අවදානම් නිසා තමන් විහින් මරණයට ද ලක්වෙනවා. මෑත කාලීන ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක ජනතාවට යහපත් පාලකයා කවුදැයි දැනුවත් කරන්න හැකියාව ලැබෙද්දී ශිෂ්ඨ වූ ආකාරයකින් පුළුවන් පීඩකයෙක් වූ මනෝව්‍යාධික පාලකයාව නොමරා බලයෙන් පහ කරන්න. උදා: Thabo Mbeki වැනි අයෙක්ව ගෙදර යැව්වේ එහෙම. ඊ ළඟට මනෝව්‍යාධිකයාව පමණක් බලයෙන් පහ කිරීමේ දී ඒ පුද්ගලයා සමඟ අත්වැල් බැඳගත් (අර මිල්ග්‍රම් පර්යේෂණයේ කියැවෙන අය) පුද්ගලයන් ගැන ද යම් තීරණ සමාජයකට ගන්න වෙනවා. ප්‍රංශ විප්ලවය රදළ පංතියක හිස් සිඳ දැමුවත් යළිත් නැපෝලියන් නමින් එම්ප්‍රදෝරුවෙක් පිහිටුවා ගත්තෙ අර “හේත්තු වෙච්ච” තඩි වඳ කරන්න අවශ්‍ය ක්‍රමයට ඉඩක් නොලැබුණ නිසා. යම් සමාජයක බලයට පත්වෙන මනෝව්‍යාධික පාලකයාට උල් පන්දම් දෙමින් පසුම්බි පුරවා ගන්නා හැත්ත ගැන කුමක් කරමු ද යන්නට ජනතාවට වටහා ගැනීම අසීරු නිසා ඔවුන් එකඟ නොවෙන පිළිතුරක් තියෙන්නෙ. හිරේ යවා ඵලක් නැහැ මන්ද ඔවුන්ට ඒ බලය දී ඇත්තේ ජනතාව. ඒ තඩි හිරේ දැම්මට ඔළුව පිරිසිදු නැති නිසා වෙන තඩි බෝවෙනවා!!!! ජනතාවගේ නාමයෙන් කියමින් තඩි වැඩි කරන ජාතිමාමක උත්සාහයන් තුලින් තඩි විසින් සියළු අක්‍රමිකතා වල යෙදී අන්තිමට කෙළන්නේ ජනතාවටම තමයි. රටේ ධනවස්තූන් මංකොල්ලයේ යෙදෙන ඔවුන්ට පාලකයා කවුදැයි වැදගත් නැහැ. ඒ පාලකයා නැත්නම් වෙන පාලකයෙක් වටා එකතු වෙනවා. ඔවුන්ගේ එම හැදියාව නවතන්නට හැකි එකම මාර්ගය තමයි ජනතාව දැනුවත් කරන දෙවැන්න.

      2. මේ සටහන් සියල්ලෙන් ම විස්තර කරන්නේ යැයි කිව්වොත් එය නිවැරදියි!!!! පාලනයට එරෙහි වීම පමණින් ඵලක් නැහැ. අරාජික රාජ්‍යයක් නොව අවශ්‍ය ලෙවියතන් රාක්ෂයා මර්ධනයෙන් ඔහුගෙන් වැඩ ගන්නා රාජ්‍යයකි. ලිබටේරියන්වාදය, නිදහස් වෙළඳපොල මත පදනම් වූ ධනවාදී ආර්ථික ක්‍රමය කියා දෙන ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රය, ඒකීය පුද්ගල අයිතීන් ආරක්ෂාව සඳහා නීතිමය දැනුම වගේ ම මනෝවිද්‍යාත්මක සොයාගැනීම් තුලින් අපි මිනිස් ස්වභාවය හඳුනා ගැනීමත්, විද්‍යාත්මක ක්‍රමය තුලින් අපි ලෝක ස්වභාවය හඳුනා ගැනීමත් අනුව අපිට ඒ උත්සාහයට පිවිසෙන්න පුළුවන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: