අරුණි ශපීරෝ‍ වෙතින්

නරක මිනිස්සු කරන්නේ හොඳ මිනිස්සු සිහින මවන දේවල් ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 11, 2012

“නරක මිනිස්සු කරන්නේ හොඳ මිනිස්සු සිහින මවන දේවල්” නමින් මනෝව්‍යාධිකත්වය ගැන පොතක් සම්පාදනය කරන්නේ රොබට් අයි. සයිමන් විසින් බව කළින් සටහනක දී ලියුවා. ද්වේෂය, පිළිකුල, අනාචාරී වූ හැදියාවන් පිරි ලෝක සමාජයේ, දත්ත පෙන්වන්නේ, නරක මිනිස්සුන්ගේ හිතේ ඇති ක්‍රියාවන් සියල්ල ගැන සිහින මවනා හොඳ මිනිස්සු නැති බව යැයි සයිමන් එහි දී පෙන්වා දෙයි. අනුන් ගැන කැක්කුමක් ඇති මිනිස්සු ලොව බහුතරයා වෙති. අනුන් කරන නිසා, තතු නොදන්නා නිසා, ‘අනුන් ගැන කැක්කුම ව්‍යාකූල වූවන්’ ඒ මුලාවෙන් මිදුනොත්, සැබැවින් ම නරක වූ අය අඩුයි.

අකර්මණ්‍ය (passive) මනෝව්‍යාධිකයන් පරපෝෂිතයෝ ලෙසින් ජීවත්වෙන, තමන් ගැන උදුම්මා ගත් සිත් වලින් ජීවත් වෙන, තම ආර්ථික දියුණුව පිණිස අවදානම් ගන්නා, සිය මාන්නාධිකත්වය පෙන්වමින්, ආදරය නොදී ආදරය සොයනා, සමාජයේ රීති කඩන අයයි. වැඩියෙන් ඉන්නේ මේ අයයි.

ප්‍රචණ්ඩ (aggressive) මනෝව්‍යාධිකයන් ඉහත ලක්ෂණ වලින් ද යුතු, ඊට අමතර ව සමාජයේ නීති කඩා අපරාධ කරනා අයයි. මේ අය අඩුයි. ඒත් එහෙම අයට හැංගිලා ඉන්න බැරි නිසා ඔවුන් ගැන සමාජය දැන ගැනීම වැඩියි.

මිනිස් සත්වයන්ගේ ලිංගික ක්‍රියාවන් වල මූලාරම්භය ඇත්තේ මොළයේ හටගන්නා ලිංගික ෆැන්ටසියක ය. ආදර බැල්මෙන්, වදන් වලින් පසු අනිකා ගැන ‘කැක්කුම’ ඇති මොළය ලිංගික ෆැන්ටසියක් සාමාන්‍ය පුද්ගලයා තුල උපදවයි. එහෙත් ලිංගික දූෂකයෙක්ගේ ෆැන්ටසිය පිරෙන්නේ අනිකා ගැන කැක්කුමකින් තොරව ය. එහි මූලාරම්භය පාලනය (control), අනිකා යටත් කරගැනීම (domination), ලැජ්ජාවට පත් කිරීම (humiliation), වේදනාව ඇති කිරීම (pain), තුවාල කිරීම (injury), ප්‍රචණ්ඩත්වය (violence) යනාදියෙන් පිරුණකි.

ලිංගික දූෂණය ප්‍රචණ්ඩත්ව අපරාධයකි. උපහටයාව ලැජ්ජාවට පත් කරමින් අනතුරක් කරන බොහෝ ලිංගික දූෂකයන්ට විශේෂිත අරමුණක් ඇත. එවැන්නා ලිංගික ආස්වාදයක් ලබන්නේ උපහටයාගේ වේදනාවෙන් හා බියෙනි. උපහටයා දූෂණයේ දී අකමැත්ත නොදැක්වීමෙන් දූෂකයාගේ ප්‍රචණ්ඩත්වය තව වැඩි වෙන්නට ඉඩ ඇත. එසේම දැඩි සේ ගැලවෙන්නට දඟලද්දී ත් දූෂකයාගේ ප්‍රචණ්ඩත්වය වැඩි වෙන්නට ඉඩ ඇත.

බ්ලොන්ඩ් හිසකෙස්, නිල් ඇස්, ඇත්තාව අනෙකා ගෙන් වෙන්කර හඳුනාගත හැකි වුවත්, මනෝව්‍යාධිකයන් තමන් කවුදැයි කියන්නට ලේබල් ගසා ගෙන එන්නේ නැති නිසා ඔවුන් හැසිරෙන ආකාරය කලින් කියන්නට ඉතා අසීරු වූවකි.

ඇයි සමහර මිනිස් සත්තු ලිංගික දූෂණයේ යෙදෙන්නේ? යන්නට එක මනෝවිද්‍යාත්මක වූ හේතුවක් නැත. ඔවුන් අතර පුද්ගල චර්යා රටාවක් විස්තර කරන්නට නොහැකිය. තමන්ගේ භාර්යාවට ඉතා මෘදුව සලකන්නෙක් පිට ගොස් ප්‍රචණ්ඩත්වයෙන් තුවාල හා වේදනා දෙන සීරියල් ලිංගික දූෂිතයෙක් වෙන අවස්ථා බහුල ය. ස්ත්‍රීන් අතර ද ලිංගික දූෂණයේ යෙදනා අය සිටිති. මෙහි දී ලිංගික දූෂණය යනු කැමැත්තක් නොදක්වන අයෙකුගේ සිරුරේ විවරයකට අයුතු ආකාරයකින් ඇතුල් වීම යන දළ ඇමෙරිකන් නීතිමය අර්ථය සලකමි.

සීරියල් දූෂකයෙක් නම් කිහිප දෙනෙක් දූෂණය කරන ලද අයෙකි. ළමා කාලයේ දී ඔවුන් අතර බහුතරය ලිංගික අපහරණයට පත් වු අය යැයි දැනගන්නට ලැබෙන කාරණයකි. මනෝව්‍යාධිකත්වය පාරම්පරිකව ජාන මඟින් එන්නා වූ තත්වයක් දැයි විමසන අය මෙය තවමත් අධ්‍ය්‍යනය කරන්නකි. ලිංගික දූෂකයෝ සිය අපරාධය නැවත නැවතත් කරන අය නිසා එය වසන් කරගෙන සිටීමට මහත් මුලාවක් ගොතන්නට සමත් වෙති. ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ගේ වයස හා දැනුම මත විධිමත් වෙන්නකි. ඉගෙන ගත හැකි මිනිස් මොළයක් ඇති නිසා, අනුන් ගැන කැක්කුම ඉගෙන ගත නොහැකි වුව ද, තම හිංසනය ක්‍රමවත් කරමින් තව තවත් දරුණු ලිංගික දුෂකයෙක් වෙන්නට හැකියාව ඇත්තෙකි.

හැම ලිංගික දූෂකයෙක් ම තම උපහටයාට පුද්ගලික වූ සටහනක් තබා යන්නෙකි. එකම හැසිරීමකින් හෝ ඉතිරි කරන ලකුණකින් උපහටයා තමාගේ ගොදුරක් බව කියන ස්වභාවය හැම ලිංගික දූෂකයා තුල ම දැකිය හැකිය. හෙන්රි හබාඩ්, ජූනියර් නැමති පොලිස් නිලධාරියෙක් ලෙසින් සාමාන්‍ය සමාජයේ පෙනී සිටියා වූ සීරියල් ලිංගික දූෂකයාගේ ඒ සටහන වූයේ ගැහැණිය ලවා ම පිරිමියා බැඳ දමා ඉන්පසු ගැහැණිය දුෂණය කිරීමයි. ඔහුව අල්ලා ගැනෙන්නේ එසේ කරන්නට විරුද්ධ වූ අය නිසා. දූෂකයන් අල්ලා ගැනීමට වෙහෙසෙද්දී ලිංගික අපරාධයේ චර්යාව දිහා බලා එයින් ෆැන්ටසිය කුමක් ද යන්න සොයා ගැනීමෙන් දූෂකයා අල්ලා ගත හැකිය.

බොහෝ දරුවන් හා කාන්තාවන් ලිංගික දූෂණයකට ගොදුරු වෙන්නේ තමන් දන්නා හඳුනන අය වෙතිනි. නන්නාඳුනන අය සැක කරන්නට හැදියාවෙන් ඇතිදැඩි වූ ස්ත්‍රීන් හා දරුවන් දන්නා හඳුනන වැඩිහිටියන් විශ්වාස කරති. අඳුරු රැයක ගෙට කඩාපැන ලිංගික දූෂක රාක්ෂයෙකුට වඩා ඒ නිසා දරුවන් හා කාන්තාවන් අතවරයට ලක් වෙන්නේ ගණිත පංතියේ ඉන්නා ලස්සන කොල්ලා/කෙල්ල ගෙනි; අල්ලපු ඔෆීසියේ සේවය කරන සගයා ගෙනි; නැත්නම් අයියා/අක්කාගේ යාළුවා හෝ ගෙදර නැවතෙන නැන්දා/මාමා; පාසැලේ ගුරුවරුන්; පල්ලියේ/පංසලේ අයෙකු අතින් ය. ඔවුන්ව කොතරම් විශ්වාසයයෙන් පිළිගන්නවා දැයි කිවහොත් බොහෝ අවස්ථාවල දී එවැන්නක් සිදු වුනා ද නැද්ද යන්න නිශ්චිතව ම කියන්නට ද උපහටයා නොදනී. එනම් ලිංගික අතවරය වූයේ තම කැමැත්තෙන් යැයි සිතන්නට පටන් ගනියි.

පෙරදිග මෙන් ම අපරදිග සමාජ වල ද බහුතර පිරිමි හා ගැහැණුන් දෙගොල්ලන් ම විශ්වාස කරන සමාජ මතය නම් පිරිමි ප්‍රචණ්ඩත්වයෙන් ගැහැණිය ලිංගික ප්‍රබෝධයක් ලබනවා යන්නයි. මෙහි දී ස්ත්‍රිය “නැහැ, බැහැ” කීම “ඔව්, හා” කීමක් ලෙස සලකන්නට ගැහැණු පිරිමි දෙගොල්ලන් ම හුරු වී සිටිති.

ලිංගික කැමැත්ත/අකමැත්ත ගැන අවුලක ඉන්නා හුරුව නිසා සමහර විට අකමැත්ත සැබැවින් ම ඇති අය කැමති වූවා යැයි වරදවා කෙරෙන ලිංගික දූෂණයන් වළක්වා ගැනීම මේ නිසා ඉතා දුෂ්කර ය.

නොදන්නා නොහඳුනන අය වෙතින් සිද්ධ වෙන ලිංගික දුෂණයන් ලොව ඉතා අල්පයක් වෙන්නේ ඉහත හේතු සියල්ල නිසාය.

ලිංගික දුෂණ අධ්‍ය්‍යනයෙන් සොයාගත් කරුණක් නම් කෑ කෝ ගසා කලබලයක් කර පැන දුවන්නේ නම් දඟලනවාට වඩා ලිංගික දුෂකයෙක් වෙතින් බේරෙන්නට හැකියාව ඉතා වැඩි බවයි. මනෝව්‍යාධිකයාට ලැජ්ජා නැත. ඒත් අහුවෙනවාට බියක් ඇත. උපහටයාට ලැජ්ජාවක් ඇත. ඒත්, ඇඳුම් ගැල වී තිබුණත් පාරට පැන දුවන්න යැයි, ලැජ්ජාවට පත් වුවාට කම් නැත වහාම ලොකු කලබලයක් කරන්නට පසුබට නොවන්න යැයි දරුවන් හදා තිබීමෙන් දන්නා හඳුනන දූෂකයෙක් වෙතින් උපහටයන් බේරාගත හැකිය.

එසේම තම ටොගල් ස්විච් මඟින් අයෙක් ගැන අවදානමක් දැනෙනවා නම් ඔවුන්ට අවස්ථාවක් නොදීම වැදගත්. කුතුහලයට හෝ විහිළුවකට එයා එහෙම අයෙක් දැයි විමසන්නට නොයෑම වඩා සාර්ථක බව විශේෂඥ මතයයි. කුඩා දරුවන් සමහර වැඩිහිටියන් ළඟට යන්නට අකමැත්තක් දක්වද්දී බලහත්කාරයෙන් ඔවුන්ට ආචාර සමාචාර කරන්න යැයි තරවටු කරන දෙමාපියන් සිටිති. එහි දී ස්වභාවික ටොගල් ස්විච් අවදානම ගැන සැකයක් ඇති කරගන්නා දරුවා ඊට සවන් දෙන පුරුද්ද නැති කරගෙන ගොදුරක් බවට පත්වේ.

මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමත් තමන් ආරක්ෂා වීමට හැකි තවත් පියවරකි. මිනිස් ජීවිතය ආරක්ෂා කරගන්නට අනේක විධ අභියෝග එල්ල වන්නේ දිනපතා ය. ක්ෂණයෙන් මත්විය හැකියාව ඇති අළුත්ම විජට්ටුවක් ලෝකයට බිහි වී ඇතැයි වාර්තාවකි. මත්ද්‍රව්‍ය හා මත්පැන් තහනම් කළාම ඒවා කළුකඩකාරයන්ට යනවා මිසක ඒවා නවතන්නට කොතරම් නීති ගෙනාවත් බැරි ය. නොඇලී සිටින්නට පුද්ගල සිත ශක්තිමත් විය යුතුය.

තමන් මතින් නොවෙනා සේ අධික සේ මතින් ඉන්නා අය හා හැසිරීමෙන් ද තමන් ආරක්ෂා විය යුතුයි. මත්පැන් ගැනීමෙන් පසු සියල්ල අමතක වී යන කාන්තාවක් තම හිතවතාට ඒ බව කියුවාය. ‘අනුන් ගැන කැක්කුමක් ඇති හිතවතෙක්’ නොවූ නිසා ඔහු ඇයට බොන්නට අරන් දී රෑ එළිවෙන තුරා දූෂණය කර ඊ ළඟ දිනයේ දී සිද්ධිය මතකයෙ නැති කාන්තාවට කියුවේ ඔවුන් කිසිත් නොකර සතුටු සන්ධ්‍යාවක් ගෙවූ බවයි. තමන්ගේ සිරුර ගැන නොදන්නා විවාහක කාන්තාවන් ද ලොව බොහොමයකි!!!!!

තමන්ට ලිංගික හිංසනයක් සිද්ධ වී ඇතැයි සැක කරන්නේ නම් තමන් කොතරම් ලැජ්ජාවට පත් වුවත්, මොන තරම් නිර්වස්ත්‍ර තත්වයකින් හිටියත් ඒ ගැන අපරාධ විමර්ශන අංශ වලට වාර්තා කරන්න යැයි ඇමෙරිකාවේ දැනුම් දීමයි. එහෙත් ලංකාවේ හිංසාවක් වාර්තා කරන්නට යන්නාට තවත් ලිංගික හිංසාවන්ට මුහුණ දෙන්නට වෙන බව දන්නෝ දනිති. ලංකාවේ පොලීසියට ඥාති අනියම් සබඳතා පලහිලව්වක දී පැහැර ගෙන යෑමක් පැමිණිලි කළ මැදිවියේ කාන්තාවකට රාත්‍රිය පුරා පොලිස් වාර්තාව ගත් අය විසින් ‘අශික්ෂිත’ ඇමතුම් දෙන්නට ගත් නිසා, (ඒ කැක්කුමක් නැති කම නෙවෙයි ලෝකය අළුපාටයි කියා මුලාවේ ඉන්නා අයෙකුගේ නොදන්නා කම) ඒ දුරකතනය විසන්ධි කර තබන්නට සිද්ධ විය.

ලංකාවේ නීති විරෝධී ගබ්සාවක් කරගත්, ඇඟ පණ නැති වූ පසු ගබ්සාවට පෙර ඇයව ලිංගික දූෂණය කළ මනෝව්‍යාධිකයෙක් ගැන මට අයෙක් හඬ හඬා කියන ලදි. ඇයව ඊට එක් කරගෙන ගියේ ඇයගේ සැමියා වීම ඊටත් වඩා නුහුලන අපරාධයකි. වෙනත් වරදක නියැළෙද්දී තමන් ලිංගික දූෂකයෙක් අතින් උපහටයෙක් වූ ලැජ්ජාවෙන් හඬනවා ඇරෙන්නට ඇයට වෙනත් පිළියමක් නොවුණි. තමන් වරද කිරීමෙන් වැළකී සිටීමෙන් උපහටයෙක් වීම ද වළක්වා ගත හැකිය.

ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ වූ මනෝචිකිත්සක වෛද්‍යවරයෙකි Jules Masserman. ඔහු ඇමෙරිකන් මනෝචිකිත්සක සංවිධානයේ සභාපතිවරයා වූයේය. ප්‍රතිකාර ලබන්නට එන රෝගීන්ව නිදිගන්වා දූෂණය කිරීම නිසා ඔහුව නීතිය ඉදිරියට ගෙනැවිත් වෛද්‍ය වෘත්තිය තහනම් විය. ඔහු ගැන හෙළි කළේ You Must Be Dreaming පොත ලියූ Barbara Noël නැමැත්තියයි.

නීතියේ රැහැනට අහු නොවෙන්නේ නම්, නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම්, පැත්තකට හේත්තු වීමෙන් නීති වලින් ගැලවීම විකෘති සමාජයක දී පහසු වේ නම්, සමාජයේ නරක දේවල් කරන්නට, නරක මිනිස්සු කරන සමහර දේවල් ගැන සිහින මවන හොඳ මිනිස්සු ද පෙළඹෙති. පුද්ගලයා තුල ඉන්නා මාරයා/සාතන් අවදි වී වැරැද්ද තමන්ගේ නොවේ යැයි මුලාවක සිටියි. ඒකයි විකෘති සමාජයක අපරාධ වැඩි. මූලික පුද්ගල ස්වභාවය වෙනස් වී නැහැ. ඒත් මුලාවෙන් අන්ධ වී වෙනස් ලෙසින් හැසිරීම දකින්න පුළුවන්. සමාජය විකෘතියෙන් ගොඩ එද්දී අපරාධ අඩු වී යයි. පුරවැසියන් විසින් තමන් අතර ඉන්නා මනෝව්‍යාධිකයන් තම පවුලේ, පංසලේ, වෘත්තියේ, පක්ෂයේ අය යැයි කියා ආරක්ෂා කිරීමෙන් වැළකිය යුතුයි. එසේ නොකළ හොත් විකෘති සමාජයක් ඇති වී හැමගේ ආරක්ෂාව නැති වී යන බව පුන පුනා ඔප්පු කර ඇත්තේ ලෝක ඉතිහාසයයි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on මැයි 12, 2012 at 10:32 පෙ.ව.

    Ithamath kalochitha lipiyak , mama boho siduweem gana kiyawa atha. ehidee ma visinma prasna karagena thibuni dushakayage manasika vikurthiyata mulika hethuwak sthiriyage yam charyawan kiya. nidahas pudgalayek dushanayakata para kapanawa samahara ayage hasireema ex,,, hawasa mal kadanna giya ganu lamaya allapu gedara inna pirimi lamayata kiyanawa uda aththaka athi mal kadanna ,ehidee aya polambawanawa thamanwa ussaganna eeta passe eya kadannam kiya ethanadee aya dushanayata lakwenawa nosithu lesa . methanadee aya visin samanya kenekuge sangawelathibuna asawan waradi vidihata gaththa kiya mata hithenawa mata hithuna hati e gana obe pahadili kereema bala sitimi. thanks Aruni.

    • arunishapiro said, on මැයි 12, 2012 at 1:55 ප.ව.

      Shanthi Chandrasekera,

      මිනිස් චර්යාව හැඩගැසිලා තියෙන්නෙ තවත් අයෙක් තමන්ව අගය කිරීමක් දැක සතුටු වෙන්න. ඒ වගේ ම අනික් අයට උදව් කිරීමකින් සතුටු වෙන්න. අගය කිරීමත් උදව් කිරීමත් අතර දී වැරදි වැටහීමකින් මිනිසා කරදරේ වැටෙන අවස්ථා බොහොමයි. නොදැන කරන පෙළඹවීමක් තුලින් අයෙක් වරදට උසිගන්වා ඊට පස්සෙ වැරදි කෙරුවාය කියා අවලාද කීම දකින්නට ලැබෙන්නේ ඒ ඒ අය තුල ඇති නොදැනුවත්කම නිසාත්. නොදැනුවත්කම නැති කිරීමෙන් සත්‍යයෙන් වරද කරනවුන් තෝරා බේරාගන්නට හැකියි. මිනිස් ආශ්‍රයක් ස්වභාවයෙන් ම අවශ්‍ය නිසා මිනිස් ජීවිතය කියන්නේ කොතරම් දුෂ්කර වූවක් දැයි වැටහෙන්නෙ ජීවත් වෙන්න කොතරම් දැනුමක් අවශ්‍ය දැයි සිතන කොට.

      ජීවත්වෙනවා කියන එක විස්මය ජනකයි ඒකෙන් වෙන දේවල් කරන්න ඉතිරි කරන වේලාව ඉතා අඩුයි “To live is so startling it leaves little time for anything else.” ~Emily Dickinson


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: