අරුණි ශපීරෝ‍ වෙතින්

“මම” නැත්නම් ජීවිතය නීරස වේවි!

Posted in Uncategorized by arunishapiro on මැයි 15, 2012

ස්වභාවයෙන් ජනිත වූ සිය පැවැත්ම ආරක්ෂා කරගන්නා විජට්ටුවක් මිනිසාට ඇත. එනම් ස්ව-කේන්ද්‍රීය (self-centered) වූ සිතුවිලි වලින් බැහැර වීමට මිනිස් සිතකට නොහැකියාවයි. පරාර්ථකාමය යනු වඩන්නට ඕනෑ මහඟු හැදියාවක් යැයි දොඩනා පුද්ගලයාගේ අවංක වූ හිත, එයාට වංක ලෙසින් හිතන්නට ඉඩ දී පැත්තකට වී ඉන්නේ නැත.

තමන්ට මතක් වෙන හැම අයෙක්වම තමන් හා සංසන්දය කරන තම හිත, එසේ කරන්නේ හිතට නිවහනක් වූවාගේ කැමැත්ත නොවිමසා ය. මම අරයාට වඩා හැඩයි, මෙයාට වඩා දක්ෂයි, එයා තරම් මහන්සි වෙන්නෙ නැහැ, මෙයා තරම් මෝඩ නැහැ, යනාදියෙන් ස්ව-ආශ්‍රයෙන් (self-reference) හිත නිති වදයක් දී ස්ව-කේන්ද්‍රීය බව අමතක කරන්නට ඉඩක් නොදේ!!!!

අන්ත වූ සහානුභූතියෙන් තමන්ගේ මූලික අවශ්‍යතාවයන් වලට අවධානයක් නොදෙන මිනිසාට අවදානම් වලට මුහුණ දෙන්නට සිද්ධ වේ. සිරිසඟබෝ රජතුමා විසින් “ලේ මස් සහිත වූ මේ ශරීරය සත්ව ලෝකයට හිතසුව පිණිස ධරමි” යැයි එළු අත්තනගලු වංශයේ කියා ඇතිලු. සෑම මාසයක දී පුරා දිනයක් තුල ඇසෙනා පරාර්ථ සාධන දේශනා වැඩි වූ සමාජයක බුදුන් දෙසූ “මනෝ පුබ්බංගමා ධම්මා” පැත්තකට දැමීම නිසා, ලංකාවේ හදගැස්ම දන්නා සංවේදී බහුතරය ගැන දැනගන්නට නම් රේල්ලුවක එල්ලෙන්නට ගියොත් හැකිය!!!

ස්ව-කේන්ද්‍රීය බවක් නැත්නම් තම පැවැත්ම ආරක්ෂා කරගනු නොහැකිය. සහානුභූතිය නැත්නම් එකිනෙකා හා දීර්ඝ කාලීන ගණුදෙනු වලින් තෘප්තියක් ලබන ස්වභාවික වූ ප්‍රාජකය සැනසීමට ද මිනිසාට නොහැකි ය.

අන්ත වූ ස්ව-කේන්ද්‍රීයත්වයත්, (ස්වානුරාගය) අන්ත වූ සහානුභූතියත් (තම හිස දන්දීම) අතර මැදපිළිවෙතක් ස්වභාවයෙන් ම මිනිසාට පිහිටියකි. අන්ධානුකරණයෙන් මුලා වූවෝ මෙය දැක්කත් නොසලකා හරිති.

“අපි අප ගැන පමණට වඩා වැඩියෙන් දෙන මේ අවධානය නොකරනවා නම්, අපේ ජීවිත කොතරම් නීරස වේවි ද කිව්වොත් අපිට එය ඉවසා දරාගත නොහැකි වනු ඇත.” -If we were not all so excessively interested in ourselves, life would be so uninteresting that none of us would be able to endure it, ඒ 19 වැනි ශ.ව. දාර්ශනික ආතර් ෂෝපන්හවර් කියන ලද්දකි.

සාන්තුවරයන්ට ආදේශ කරන සම්පූර්ණ වූ සහානුභූතිය සම්බන්ධයෙන් ජෝර්ජ් ඕර්වෙල්, “අහිංසකයන් බව ඔප්පු වෙන තෙක් සාන්තුවරයන් හැමෝම වරදකරුවන් සේ සැලකිය යුතුයි” -Saints should always be judged guilty until they are proved innocent, යැයි කියයි.

මිනිසා තමන් දිහාත්, ලෝකය දිහාත් බලන්නේ ස්ව-ආශ්‍රේයෙනි. මෙහි දී මූලික වෙනස්කම් දෙකකි. නිසි ස්ව-ගරුසරුව (self-esteem) යන පදනමෙන් අනික් අය වෙත දක්වන ධනාත්මක වූ සැලකිල්ලක් සමඟ සහානුභූතියක් ඇති වේ. තමන්ට තමන් කැමති නැති අය (මේක මනෝවිද්‍යාවෙන් ඔප්පු කරන ලද සත්‍යයක්) තමයි අනුන්ව වැඩියෙන් විවේචනය කරලා ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්නෙ. කිහිප දෙනෙක් මරා දමන ඝාතකයා තුල වූ ස්ව-ගරුසරුව ඇබිත්තක්. තම අඩුපාඩුව එයා එල්ල කරන්නෙ උපහටයා වෙතට. කිහිප දෙනෙක් මරන ඝාතකයා එයාගේ දූෂිත වූ ස්ව-පිළිකුල (self-loathing) සහ හිංසනයෙන්, ද්වේෂ කරන තමන්වයි උපහටයාට ආදේශ කරන්නෙ. ඊ ළඟට උපහටයාට වදහිංසා දීලා මරනවා. ඒ කිහිප දෙනෙක් තම අතින් මරා දාන ඝාතකයෙක් කිහිප වතාවක් උත්සාහ ගන්නේ තමන් ගැන තමන් තුල වූ ස්ව-පිළිකුල නැතිකරගන්න. විකෘති වූ මොළයයි ඒ තත්වයට පුද්ගලයාව පත් කරන්නේ. ඒ වගේ ම ස්ව-පිළිකුල නිසා තම අතින් නොවූවත් ලක්ෂ සංඛ්‍යාත ගණනින් මරණය කරා මිනිස් ජීවිත යැවූ මනෝව්‍යාධිකයන් ඉන්නවා.

මෙතෙක් මා මේ අඩවියේ කාල් මාක්ස් ගැන කියද්දී ඔහුගේ පුද්ගලික ජීවිත පසුබිම ඈඳා ගත්තේ නැහැ. මා සැලකිල්ලට ගත්තේ ඔහු ලියූ ආර්ථික හා සමාජයීය දර්ශනයන් පමණයි. එහෙත් මගේ නිවහනට ඇවිත් කාල් මාක්ස්ගේ පුද්ගලික පසුබිම ගැන මෙවැනි ප්‍රතිචාරයක් දාලා ගියාම:

“කාල් මාක්ස් ධනවාදයට එරෙහිව නිර්ධන පංතිය පෙළගැස්වීම සඳහා පොත් ලියමින් කටයතු කළේ අහම්බෙන් නොවේ. සමකාලීන ධනපතියන් විසින් නිර්ධනයන් සූරාකනු ලැබීම දැකීමෙන් හටගත් කම්පනයත්,…. පීඩිත නිර්ධනයන්ගේ සුභ සිද්ධිය අරමුණු කරගෙන … කාල් මාක්ස් බොරු කිරීමට ධනේශ්වරය නිරන්තරයෙන් කටයුතු කළහ. …. එහෙත් අදත් කම්කරුවන් සූරාකනු ලබන බව මහ පොළවේ පය තබා ඇස් ඇරගෙන සිටින මිනිසුනට දැකීමට හැකිය.”

“කාල් මාක්ස් ගේ දර්ශනය ඉදිරියට ගෙන ආ රුසියාවේ ව්ලැඩිමීර් ඉල්යිච් උල්යානොව් නොහොත් ලෙනින් විසින් එම දර්ශනය ප්‍රායෝගිකත්වයට‍ ගෙන ආවත් ඔහුගෙන් පසුව බලය ලබාගත් ජෝශප් ස්ටාලින් විසින් මාක්ස්ගේ දර්ශනය වෙනුවෙන් සටන් කළ ලියොන් ට්‍රොට්ස්කි සහ අනුගාමිකයන් විනාශ කර එම දර්ශනය වෙනස් කර විකෘති කම්කරු රාජ්‍යයක් බිහි කළේය.”

අකමැති වුනත් සමහර දේවල් කරන්න වෙනවා.

මා කාල් මාක්ස් ගැන සඳහන් කර නැති සටහනක, මෙහෙම සඳහනක් වූවාම, ඒකත් හරියට අනිත් අය ඇවිල්ලා මෙතැන මම කතාකරන්නේ අහවලා ගැන යැයි හිතාගෙන, ඒ ගැන ප්‍රතිචාර දාලා, තව තැනකට ගිහින් අන්න අරයා අහවලා ගැන මෙහෙම කියලා තියෙනවා වගේ වැඩක්. ඉතින් ඒ නිසා කෙස් පැහෙන තර්ක වලට වැඩියෙන් කැමති මට, මම හිතන්නෙ කොහොම දැයි අනුන් අරෙහම මෙහෙම කියන්න කළින් මෙන්න මම කාල් මාක්ස්ගේ පුද්ගලික ජීවිතය දකින විදිය!!!

පහත ලියනා දේවල් සිංහලෙන් කියවන අයට ලේසියෙන් කියවන්න ලැබෙන දේවල් නොවේ.

“දුෂ්ට අයට කුෂ්ට හැදෙනවා” යැයි තාත්තා පත්තරේට ලියූ ලිපියක් නිසා මගේ ඥාතිවරියක් පවුල සමඟ කතාබහ නවතා තිබූ කාලයක් මට මතකයි. ඇයට කුෂ්ට ඇතැයි අපි දැනගත්තේ ඇය පවුල හා කතා කිරීම නැවතූ නිසයි.

තාත්තා පත්තරේට ලිව්වෙ 1839 දී ප්‍රංශ වෛද්‍යවරයෙක් වූ Alfred Velpeau මුලින් ම ලොවට කියාදුන් චර්ම තත්වයක් Hidradenitis suppurativa සහ සයිකෝසොමැටික්ස් ගැන. තාත්තා හමුවන්නට ආ සමහර අයට තිබි ගැටළුවක් තමයි මේ කුෂ්ට හැදෙන්නේ දුෂ්ට සිතුවිලි වලින් නිසා නම් දුෂ්ට සිතුවිලි හඳුනාගන්නේ කොහොම ද? ඒවායෙන් අයින් වී සිටින්නේ කොහොම ද? යන්න. ඉලක්කයක් සාර්ථක කරගන්නට ඕනකමක් ඇති මිනිස්සුයි එහෙම ඇහැව්වේ.

ස්ව-පිළිකුල කුමක් දැයි නොදන්නා අයෙක් එය තමාට තියෙනවා දැයි දන්නෙත් නැහැ. ඒ ගැන කියා දී, එයින් ගැලවෙන්නට කියා දී ඔවුන් ස්ව-ගරුසරු වෙද්දී ඔවුන්ගේ හමේ තිබි කුෂ්ට ද ඉබේ ම සුව වූ බවයි පත්තරකාරයෙක් වූ තාත්තා පත්තරේකට ලියූ ලිපියෙන් පැහැදිලි කළේ.

බ්‍රිතාන්‍ය චර්ම වෛද්‍යවරයෙක් වන Sam Shuster විසින් 2007 දී ලියන ලද මේ ලිපිය මා ඇස ගැටෙන්නේ මෑතක දී. එහි කියන පැසව පිරුණු කුෂ්ට ගැන සඳහන් වූ කාල් මාක්ස්ගේ චරිතපදානය මා කියවා නැහැ.

කාල් මාක්ස් උපදින්නේ දුප්පත් පවුලක නොව අනිත් අයට වඩා කන්න බොන්න තිබි පවුලක. ඒත් එයා පහු කාලයේ දී විවාහ වෙන, යාබද නිවසක උත්සවශ්‍රීයෙන් වාසය කළ ජෙනීගේ පවුලට තරම් ධනස්කන්ධයක් තිබ්බේ නැහැ. කාල් කුඩා සමයේ දී හාමතෙන් සිටිය ළමයෙක් නොවේ. සිසු කාලයේ දී කාල් තමන් හා සිටි සිසුවන්ට වඩා ධනවත් වූ අයෙක් වෙයි. එහෙත් ඔහු තුල අනුන් ගැන මහත් ද්වේෂයක් තිබි බව පෙන්වන්නේ ඔහු කුරුටු ගෑ ගද්‍යයි හා නාට්‍ය තුලින් හා ඔහුම විසින් ලියන ලද සටහන් වලින්.

“ඉතින් දෙවියෙක් මගෙ ඉරණමට සාප කර
සියල්ල මගෙන් උදුරාගෙන ඇත
නැවත ලබාගත නොහැකි ලෙසින්
ඔහුගේ සියළු ලෝකයන් නැති වී ගිහින්
කිසිවක් නැත
ඇත්තේ මට
පළිගැනීම පමණයි!

“So a god has snatched from me my all
In the curse and rack of Destiny.
All his worlds are gone beyond recall!
Nothing but revenge is left to me!”

මම මගේ සිහසුන හදන්නම්
ඉහළින් ම මුදුනෙන් ම
එහි පවුරු බැම්මට — අන්ධ විශ්වාස ඇති බියත්
එහි විනිසුරු හැටියට — දැඩි ම වූ වේදනාව

“I shall build my throne high overhead,
Cold, tremendous shall its summit be.
For its bulwark — superstitious dread.
For its Marshall — blackest agony.

Invocation of One in Despair

කාල් මාක්ස් දෙවියන් අදහන්නේ නැති අයෙක් නම් ඉහත අදහස් ඇති බයිබලය (Isaiah 14:12-20) උපුටන්නේ ඇයි? එසේම මෙහි කාල් මාක්ස් කියන්නේ ධනපතියන් අතින් සූරා කෑමට ලක් වූ පීඩිත පංතියක් ගැන නොවේ. තමන්ට අත් විඳින්නට වූ කම්පනයක් ගැන දෙවියන්ට කරන අවලාදයකි. මේ කාල් මාක්ස් දාස් කපිතාල් ලියන්නට කළින් ලියූ කවි.

අපායේ වාෂ්පයන් ඉහළට නැඟ මොළය පුරවයි,
මට පිස්සු හැදෙන තෙක් සහ මගේ හදවත සම්පූර්ණයෙන් ම වෙනස් වන තුරු.
මේ අසිපත දැක්කා ද? අන්ධකාරයේ කුමාරයා මට එය විකුණන ලදි.
මට කාලය දනවන්නටත් සංඥා දෙන්නටත්
වඩාත් ප්‍රගල්භ ලෙසින් මම මරණයේ නැටුම රඟමි

“The hellish vapors rise and fill the brain,
Till I go mad and my heart is utterly changed.
See this sword? The prince of darkness sold it to me.
For me beats the time and gives the signs.
Ever more boldly I play the dance of death.
The Player

යමක් ගිලගන්නා ‘යම් දෙයක්’ ඇත්නම්
මම එහි තුල දුව පනින්නම්, එයින් මම ලෝකය විනාශයට ගෙන ගියත්
මමත් අගාධයත් අතර ලෝකය පුළුල් වුවත්
මම එය කෑලි වලට කඩා දමන්නම් මගේ චිරස්ථායි සාපයෙන්

“If there is Something which devours,
I’ll leap within it, though I bring the world to ruins-
The world which bulks between me and the abyss
I will smash to pieces with my enduring curses..”
Oulanem

Oulanem නාට්‍යය මනුෂ්‍ය සංහතිය ම යකාට ගියාවේ යැයි කියැවෙන්නකි. සියළු චරිතයන් තම දූෂිත බව දන්නා, ඒ දූෂිත බව පැහැදිලිව පෙන්වමින් එය සමරන, කළු සුදු චරිත නැති, සාතන්/මාර චරිත වලින් යුතු හැමෝම විනාශයට යන නාට්‍යකි. එය ලියද්දී කාල් මාක්ස්ගේ වයස 18 කි. මිනිස් වර්ගයාට කරන සේවයක් ගැන, කම්කරුවන් ගැන හෝ සමාජවාදය ගැන එහි නැත. ඔහුගේ එකම අභිප්‍රාය වන්නේ ලෝකය විනාශ කිරීමයි.

එහෙම මම සින්න කර ඇත, මම එය හොඳින් දනිමි
මගේ ආත්මය, වරෙක දෙවියන්ට සත්‍යයෙන් හිමි වූව දැන් අපාය තෝරාගෙන ඇත.

“Thus heaven I’ve forfeited, I know it full well.
My soul, once true to God, is chosen for hell.”
The Pale Maiden

කාල් මාක්ස්ගේ අභිප්‍රායන් වූයේ අරගලයකින් හෝ ප්‍රතිසංස්කරණයකින් ලෝකය අදට වඩා හෙට හොඳ යහපත් වූ තැනක් කරන්නට නොවේ. ලෝකයා විනාශ මුඛයට යවන්නට පමණකි.

අවඥාවෙන් මගේ යකඩ අත්වැස්ම මම ලෝකයාගේ මුහුණට ම විසි කරන්නම්
මේ පිග්මි යෝධයාගේ කඩා වැටීම දැක්කාට ඔහුගේ ඒ වැටීමෙන් මගේ දැඩි ආශාව මැඬෙන්නේ නැත
එවිට මම දෙවියන් වගේ සහ ජයග්‍රාහික ලීලාවෙන් විනාශ වූ ලෝකයේ සුන්බුන් මත ඇවිදින්නම්
මගේ වචන වලට ක්‍රියාශීලි බලයක් දෙමින්, මම නිර්මාපකයාට හා සමාන ලෙසින් මට දැනේවි

With disdain I will throw my gauntlet full in the face of the world,
And see the collapse of this pygmy giant whose fall will not stifle my ardor.
Then will I wander godlike and victorious through the ruins of the world
And, giving my words an active force, I will feel equal to the Creator.
Human Pride

කාල්ගේ තරුණ වියේ සුරතල් නාමය Mohr, ජර්මන් බසින් මරක්කල අය හඳුන්වන්නට යොදා ගත් නමක් වන අතර එය වැටන්නේ Karl von Moor ප්‍රබන්ධ චරිතය ආශ්‍රයෙන්, The Robbers වලින්. කතන්දරයේ කාල් තමන්ට තිබිච්ච බලාපොරොත්තු පිරි දිවිය හැර දා ආපු එක ගැන දොම්නසින් සිටිය දී, තෝරාගන්නේ නීතියට පටහැනි වූ, මංකොල්ලකරුවන් හා එකතු වී වැඩවසම් සමාජයේ අසාධාරණ හා දූෂිත අධිකාරියක් ගැන කරනා වූ සටනක්. While he maintains a general spirit of melancholy about the promising life he has left behind for a life of lawlessness, together with his gang of robbers he fights against the unfairness and corruption of the feudal authorities. ඒත්, කාල් මාක්ස් දියත් කරන්නෙ දූෂිත අධිකාරියක් ගැන වූ සටනක් නොවෙයි, සියළු රදළයන් හා සියළු ධනපතියන් භංග කිරීම සඳහා වූ සටනක්!!!!

කාල් මාක්ස් ගැන ලියැවිච්ච මේ පොත ප්‍රකාශයට පත්වෙන්නෙ 2011 දී. වැදගත් පවුලක උපත ලබා ඇති දැඩි වී තමන් විසින් උත්සාහයකින් රැකියාවක් කර හරි හම්බ කරනවාට වඩා කාල් මාක්ස් ලේ උරා බොන තඩියෙක් සේ අනුන් වෙතින් යැපෙන්නෙකි. දරීද්‍රතාවයට මුහුණ දෙන්නටත්, ලෙඩදුක් වලින් පිරි ඉන්නටත්, සමාජයෙන් තම උවමනාවෙන් ම කොන්වෙන මාක්ස් නිසා ඔහුගේ භාර්යාව ගැනත් දූ දරුවන් ගැනත් තොරතුරු ඔවුන්ගේ ම සටහන් තුලින් මේ පොතේ දිග හැරෙයි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ නිසා දරුවන් හතර දෙනෙක් මිය යන හැටි කියවන්න. අවසානයේ මාක්ස්ගේ දියණියන් තිදෙනා ගෙන් දෙදෙනෙක් සියදිවිනසා ගන්නා හැටිත් එහි ඇත.

ඉහත විස්තර සඳහන් Love and Capital පොත කාල් මාක්ස්ගේ ස්ව-පිළිකුල ගැන සාධක පෙන්වා දෙද්දී ඉහත කියන ලද Sam Shuster ගේ ලිපිය කාල් මාක්ස් තුල වූ ස්ව-පිළිකුල නිසා වේදනාවෙන් පීඩා විඳි කුෂ්ට පිරි චර්ම රෝගී තත්වය ගැන කියයි.

තාත්තාගේ ‘දුෂ්ට අයට කුෂ්ට හැදෙනවා’ ලිපිය කියෙව්වත්, තාත්තා හමු වී දුෂ්ට සිතුවිලි වෙනස් කරගන්න ඉගෙන ගත් අය කුෂ්ට වලින් ගැලවුන බව ප්‍රසිද්ධියේ ම කියනවා ඇහුනත්, එය එදා ඒ තරම් ගණන් ගත්තේ නැති වුනාට, අද තොරතුරු දකිද්දී එය සෑහෙන විද්‍යාත්මක සත්‍යය සම්භාරයකින් (දුෂ්ට සිතුවිලි වලින් අහිතකර නියුරෝරසායන සිරුර තුල විසිරී යන හැටි අපරාධකරුවන් සහභාගී කරගත් fMRI අධ්‍යයන වලින් දකින්නට හැකියාව ඇති නිසා) ඔප්පු කරන්නට සමත් යැයි පිළිගන්නට වෙනවා.

කාල්ගේ හතරවැනි දරුවාව ගැබ්බර ව සිටි ජෙනී, අදහස් ලියන්නට කාලය වැය කරමින් පවුලට කන්න බොන්න මුදල් ඉපයීම අමතක කරන කාල්ට සල්ලි එකතු කරන්න ගිහින් තිබිය දී, ගෙදර ඉන්න නිවස බලාගන්නා housekeeper වූ Helen ව ගැබ්බර කරයි. ඒ මදිවට ඒ දරුවා තමන්ගේ ය බව වසන් කරමින් සිය දියණියක් පසු කාලයක දී එය සොයාගන්නා තුරු නිහඬව ඉන්නවා. හ්ම් … පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක් නේද?!!!

ජෝසප් ස්ටාලින්ට එවක මාක්ස්-එන්ගල්ස් ඉන්ස්ටිටියුට් හි David Ryazanov විසින් මේ සිද්ධිය කිව්වා ම, කොමියුනිස්ට් ලෝකයේ ආදර වෘත්තාන්තය, කාල්-ජෙනී, ධනවත් පවුලකින් ආ, කැප වීමෙන් සැමියා පිණිසත් දුප්පතුන් පිණිසත් වෙහෙස වුනු කාන්තාවකට අවසානයේ සැලකූවේ මෙහෙම දැයි ඇසුණා ම, ස්ටාලින් කියන්නේ “ඒක රාජ්‍යලේඛනාගාරයේ පතුලක හංගන්න” කියලා. ඒ ලියකියැවිලි වසර 50 කට පස්සෙ ප්‍රකාශණය වෙන්නෙ.

මනෝව්‍යාධිකයාට ස්වභාවයෙන් ම හැකියාවක් නැහැ එසේ නොවන්නට. ඒත්, ඔවුන්ට රැවටෙන කම්කරු දුක කුමක්දැයි නොදන්නා එහෙත් ඒ ගැන දන්නා ලෙසින් කියනා මධ්‍යම පංතියේ අය, ඔවුන් අනුකරණය කරන අය, ඔවුන් ගැනත් ඔවුන් ලියූ දේ ගැනත් කිසිත් විචාරයකින් තොරව අදහන, ‘කැක්කුමක්’ ඇති ‘පාවිච්චි කරන්නට මොළයක්’ ඇති අය, මිනිස්කමට ලැජ්ජා කරන්නෝ ය!!!!

කොමියුනිස්ට්වාදය විසින් ලෝකයේ මිනිස් ජීවිත 110,000,000 මරා දමා ඇතැයි පෙන්වා දෙන්නේ R. J. Rummel ලියන How Many Did Communist Regimes Murder? ලිපියෙන්. ආණ්ඩු විසින් තම වැසියන්ම මරා දමන ලද සංඛ්‍යා දත්ත සඳහා කියවන්න ඔහු ලියන ලද Death by Government (1994) පොත. ධනපතියන් හා ආණ්ඩු පෙරළන්නට ගිය කාල් දූෂිත ආණ්ඩු හා දූෂිත ධනපතියන් කවුදැයි හඳුනාගන්නේ නැති නිසා, (ඒක වටහාගත්තේ ඇමෙරිකන් ව්‍යවස්ථාව) ඒකාධිපති ආණ්ඩුවලටත්, ඒවාට හේත්තු වී ලේ උරා බොන තඩියන්ටත් දෙන්නේ මහා විනාශකාරී අවියකි.

ඉහත මූලාශ්‍රයන් හි ඇති විස්තර සියල්ල අවංකව කියවා තව දුරටත් කාල් මාක්ස් ජනතා සුවසෙත පිණිස පෙනී සිටියේ යැයි ද ඔහු මහා ප්‍රාඥයෙක් යැයි ද විශ්වාස කරන්නේ නම් ඉතින් එවැනි අයෙක් ජීවත්වන සමාජයක් කිසිදා සාමයෙන් සතුටින් සම්පතින් පිරෙනා සමාජයක් නොවන බව පමණක් කියත හැකිය. මන්ද එවැන්නාට ඇත්තේ කාල් මාක්ස්ට තිබියා මෙන් තමන්ට ඇති අඩුපාඩුවකි. යම්කිසි විදියකින් තෝරා බේරා හදාගන්නට හැකි යැයි පෙන්වා දිය හැකි විදියකින් නොවන ක්‍රෝධයක් පමණි, තම වර්ගයා ගැන වූ කැක්කුමක් නොවේ.

කාල් මාක්ස් සිටි ලන්ඩනයේ ම එවක වාසය කළ චාර්ල්ස් ඩිකන්ස් දරීද්‍රතාවය අත්දැකි කොල්ලෙක්. එයා දුප්පත්කම නිසා ළමා කාලයේ ෆැක්ටරියක රැකියාවක් කරන්නට වෙච්ච අයෙක්. ඔහු දකින ලන්ඩන් සමාජය තමයි ඔහුගේ පොත්වල මැනවින් විස්තර වෙන්නේ. ණය ගෙවා ගත නොහැකි නිසා සිරගෙදරයට ගිය ඩික්න්ස්ගේ පියා, ෆැක්ටරියක ළමා කම්කරුවෙක් වූ ඩිකන්ස්, කාල් මාක්ස් දාස් කපිතාල් ලියද්දී ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ලියා ජනප්‍රිය වූවෙක්. ඒත් ඒ සිය මොළය වෙහෙසා ජන හදවත් දිනාගත්, පොත් ලියා ධනවත් වූ ඩික්න්ස් ද කම්කරු පංතියේ පීඩිතයෙක් වූ බව හිතන්නට කාල් මාක්ස්ට කිසිම උවමනාවක් නැහැ. ඩිකන්ස්ගේ පොත් කා ගැනවත් ඇති කරගත් කෝපයක් තුලින් බිහිවෙච්ච නිර්මාණ නොවුන නිසා, මිනිස් ‘කැක්කුම’ ගැන කියන ඩිකන්ස් පොත් කියවන ‘කැක්කුමක්’ ඇති අයට ඇතිවෙන්නේ තමන් හා අනුන් ගැන කැක්කුමක් තුලින් සමාජයේ යහපත් ලෙසින් ජීවත්වෙන්නට ඕනෑකමක්. දාස් කපිතාල් අච්චු ගහලා බලහත්කාරයෙන් බෙදා දුන්නත් ගන්නෙ නැති අද ලෝකයේ, ඩිකන්ස් පොත් අදත් ලෝකයේ මිනිස්සු කැමැත්තෙන් ම මිල දී ගන්නේ ඒ නිසයි.

අනුන්ගේ මනසින් ඔබට හිතන්නට බැරි නිසා, හිතන්න පුළුවන් ඔබේ මනස පාවිච්චියට ගන්න. ධනවතාගේ ධනයට තමන්ට ද හිමිකමක් ඇතැයි සිතා අනුන්ගේ දේවල් වලින් ජීවත් වෙන්නට නොසිතා තමන්ගේ උත්සාහයෙන් අවශ්‍ය නම් තමන් ධනවත් වෙන්නට උත්සාහ ගන්න.

ස්ව-කේන්ද්‍රීය බවින් අයින් වී ස්ව-ගරුසරුව නැති කරගෙන ලෙඩ රෝග වලින් පීඩා විඳ මිය යන්නට අවශ්‍ය නැහැ. අනුන්ට ආදරය කරන්න ‘මම’ කෙනෙක් ඉන්න ඕන. ස්ව-ගරුසරුව වඩවා පමණක් කරත හැකි අනුන්ට ගරුසරුව කර මොළයෙන් විසුරුවා හරින හිතකර නියුරෝරසායන වලින් නිරෝගී දිවියක් ගෙවන්න පුළුවන් දැයි ඔබම අත්හදා බලන්න.

සියළු සංස්කාරයන් නැසෙන සුළුය, අප්‍රමාද ව ඔබේ ඉලක්කය සාර්ථක කරගන්නට යුහුසුළු වන්න.
Transient are conditioned things. Try to accomplish your aim with diligence.
What the Budhha Taught, Walpola Rahula, p. 138

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Chandani said, on මැයි 16, 2012 at 9:06 පෙ.ව.

    මම හිතන විදිහට අනුන්ට ආදරය කරන්නට කලින් තමන් තමන්ට ආදරය කල යුතුයි. හැම විටම අනුන්ට මෛත්‍රී වඩන කෙනාගෙ මුහුන පැහැපත්. ද්වේෂයෙන් ඉන්න කෙනාගෙ මුහුණ අවලස්සනයි. කෙනෙක්ට ප්‍රිය නෑ. ඔයාගෙ තාත්තා කියන දේ හරි. හිත පිරිසිදු අයට කුශ්ඨ රෝග වැළදෙන්නෙ නෑ. ගොඩාක් විස්තර දැනගත්තා නංගි. ස්තූතියි! දැන් මගේ අධිවේගිය හරි. වේගයේ තරම පෙනුන නේ ගිය කල.

    • arunishapiro said, on මැයි 16, 2012 at 9:41 ප.ව.

      Chandani,

      සෑහෙන කාලයක් ගියා නේද චාන්දි අක්කා? 🙂

      නිකොල් කිඩ්මන් මනෝව්‍යාධික චරිතයක් රඟපාන චිත්‍රපටියක දී රොබට් හෙයාර්ගෙන් අහලා තියෙනවා මනෝව්‍යාධිකයෙකුට සංවේදී හැඟීම් නැත්නම් කොහොම ද සමාජය රවටන්නට ඒවා මුහුණෙන් පෙන්නුම් කරන්නේ කියා. චිත්‍රපටියේ දී හදිසි අනතුරක් රඟපාද්දී අම්මා කෙනෙක් අනතුරට ලක් වූ පුතා දිහා බලා ඉන්නා ආකාරය හොඳින් බලාගෙන සිටින කිඩ්මන් ගෙදර ගිහින් කණ්ණාඩියක් ඉදිරිපිට ඒ විදියට මුහුණ හදාගන්න හදනවා. ඒ හෙයාර් දීපු උපදෙස් අනුව. මනෝව්‍යාධිකයෙක් කැක්කුම ඇති අයගේ මුහුණ වල ඇති සංවේදී බව රඟපාන්න දක්ෂයිලු. ඒත් ඇත්තෙන් ම තමන්ටත් අනුන්ටත් කැක්කුමක් ඇති අය රඟපෑමක් නෙමෙයි කරන්නෙ, හිත පතුලෙන් ම ඇති සත්‍යය තත්වය නිසා ප්‍රිය මනාප වීම.

  2. Amila said, on මැයි 16, 2012 at 10:32 ප.ව.

    අරුණි අක්කා,

    කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ. හොදින් ඉන්නවා කියලා හිතනවා.

    මේ ලිපියෙන් කියැවෙන දේ ගත්තම මමත්වය අහිමි වෙන මනෝව්‍යාධිකයන් ඉන්නවා. මට තේරෙන හැටියට තමන්ට ආදරය නොකරන මිනිස්සු. ඔවුන්ට තමන් ගැන සතුටුවීමේ අපහසුවක් තියෙන්න පුලුවන්. එහෙම අයට අනුන්ට යහපතක් කරන්නත් අමාරු බව මාක්ස් පිළිබද නවතම විග්‍රහයෙන් පේනවා. ඒවගේම එහි විරුද්ධ පැත්ත වන ඩිකන්ස් ගැන උදාහරණයත් එය සනාත කරනවා.

    මගේ ගැටලුව මමත්වය අහිමි වූ, එසේත් නැතිනම් තමන්ට ආදරය නොකරන පුද්ගලයෙකුට සාමාන්‍ය තත්වයට පත්වීමට ගත හැකි පියවර මොනවාද යන්නයි?

    අමිල

    • arunishapiro said, on මැයි 17, 2012 at 6:43 පෙ.ව.

      Amila,

      අපි හැමෝම හොඳින් සතුටින් ඉන්නවා අමිල මල්ලි, ස්තූතියි.

      මනෝව්‍යාධිකයන්ට //මමත්වය අහිමි වූ// අය යැයි කියන්න බැහැ. ඔවුනට ඇත්තේ වැඩියෙන් ම මමත්වයයි. ඔවුන් සලකන්නේ මම ගැන පමණක් වීමයි ගැටළුව.

      දැනට අනිකුත් අය ගැන කැක්කුමක් ඇතිවන තත්වයකට මොවුන් ගෙන එන්නට දැරෑ ව්‍යත්නයන් කිසිවක් සාර්ථක වී නැහැ. ඔවුන්ට අනුන් ගැන දුක සතුට දැනෙන්නට බාහිරව මොළයට ඖෂධ දැම්මත්, එයින් නොසිතූ ප්‍රතිඵල ලෙස ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කරගන්නට බැරි වෙනත් අවදානම් ඇතිවෙනවා. දුක වැඩි වීමෙන් වෙනත් ශාරීරික රෝග හැදෙන්න පුළුවන්. සියළු මනෝව්‍යාධිකයන් හඳුනා ගැනීම අපහසු නිසා ඖෂධ මඟින් වෙනසක් කළොත් ඒ අයව අනිත් හැංගී සිටිනා අයගේ ගොදුරු බවට පත් වෙන්නටත් ඉඩ තියෙනවා.

      දැනට ඇති පිළියම තමයි, කැමැත්තෙන් ඉදිරියට එන මනෝව්‍යාධිකයන්ට, සහ නීතියෙන් දඬුවම් ලැබූ අයට, සමාජයේ රීති අනුව හැසිරෙන්නට, නීති නොකඩා ඉන්නට, මෙන්න මෙහෙමයි පුළුවන් කියා කියාදෙන්න. ඒත් එය පිළිපැදීම ඔවුන් විසින් කළ යුත්තක්. අනිත් අයට සමාජයේ හොඳින් ජීවත්වෙන්න “හිතෙන” එක මෙයාලට “හිතෙන්න නැතිකම” ඇති කරන්න බැහැ. එම උත්සාහය රොබට් හෙයාර් ඇතුළු පිරිසක් විසින් සකස් කරලා තියෙනවා. දැඩි ලෙස සමාජයේ නීති රීති කඩන අයව මානසික රෝහල් නෙමෙයි, සිරගෙවල් නෙමෙයි, ඒ අයට වෙන් වූ වෙනත් ස්ථානයකට ඔවුන් වයසක අය වෙන තෙක් දමන්නට යැයි ද අදහසක් තියෙනවා. ඒත් දෙවැන්න නීතිගත කිරීමෙන් විකෘති සමාජයක දී මනෝව්‍යාධිකයා බලය අල්ලා ගත්තොත් අහිංසකයන්ව ද සමාජයෙන් අයින් කරන්න ලේසියි වගේ ප්‍රශ්න ඇතිවෙනවා.

      ස්ව-පිළිකුල අඩු අයට තමන්ගේ ඒ ස්වභාවය ඇති වීමට හේතුව, ළමා කාලයේ දී එය හටගන්නට හේතු පාදක වූ කම්පනය කුමක් දැයි සෙවීමට හැකිනම් එයින් පහසුයි ස්ව-පිළිකුලට හේතු සොයන්න. එහෙම බැරි නම් පුද්ගලයා විසින් තමා තමා ගැන සිතන සිතුවිලි වලට සවන් දිය යුතුයි. “මම කාලකණ්ණියෙක්” යැයි සිතෙනවා නම් එවැනි හැම අවස්ථාවක් ගැන ම අවධානයෙන් සිටිය යුතුයි. බොහෝ අවස්ථාවල දී එසේ සිතෙන්නට හේතු වූ සිද්ධියක් ඒ පුද්ගලයාට පමණක් විශේෂිත වූවක් තියෙනවා.

      මෙහෙම හිතමු. ළමයෙක් පාසැල් අවසන් වී ගෙදර එනවා බඩගින්නෙ. එයා දකිනවා ලිපේ ඉදෙන කුස ගින්න තවත් වැඩි කරන කටට කෙළ උණන කෑමක්. ළමයා ඒකෙන් ටිකක් ගන්න ගිහින් ඒක හලා ගෙන අත පුච්චා ගන්නවා. ඇන්ටෝනියෝ ඩොමාසියෝ සෑහෙන පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ මිනිස් සිතේ මේ එතරම් වැදගත්කමක් නැතැයි සැලකූ සිද්ධියකින් පසු ජීවිතය පුරා ම අර ළමයා එයාගේ මතකයේ වත් නැති ඒ ආහාරය ගැන/ ඒ ළමා කාලය ගැන/ ඒ නිවස ගැන/ ඒ දෙමාපියන් ගැන යනාදියෙන් එකක්/කිහිපයක් ගැන යම් ඍනාත්මක සිතුවිල්ලක් අත්හරින්නේ නැති බවයි. හැම කෙනෙකු විසින් යම් සිද්ධියක් ඉදිරියේ දී කරන ප්‍රතිචාරය, මතකයේ රඳවා ගන්න අත්දැකීම එයාට ම සුවිශේෂී වූවක්. ඒක හොයාගන්න ඉතා අසීරුයි.

      ඉතින් ස්ව-පිළිකුල කුමක් නිසාදැයි හොයන්න විදියක් නැත්නම්, ඒ තරම් බාල කාලයකට යන්න බැරි නම්, ස්ව-පිළිකුල ඇතැයි හඳුනාගෙන එයින් ගැලවෙන්න හිතට ධනාත්මක සිතුවිලි පුරවන්න ඕනා. “මම කාලකණ්ණියෙක්” වැනි ඍනාත්මක සිතුවිල්ලක් හිතෙනා විටම “මම දක්ෂයෙක්” යැයි ක්ෂණිකව සිතට කැවීම. මොළයේ ඇති නියුරෝප්ලාස්ටික් ස්වභාවය නිසා අත්හරින්නේ නැතිව (ඒකත් ඒකීය පුද්ගලයාගේ උත්සාය අනුව) එහෙම කරගෙන යද්දී මොළය හැඩගැසෙනවා ඍනාත්මක සිතුවිලි වෙනුවට ධනාත්මක සිතුවිලි වල ජීවත්වෙන්නට. ඒකයි “මනෝපුබ්බං ගමා ධම්මා” වලින් කියන්නෙ. ජීවිතයේ හැම දේකටම සිත මුල්වෙන බව. සිත ශ්‍රේෂ්ඨ වන බව. සිතින් හටගන්නා බව. කරත්තෙට බැඳලා ඉන්න ගොනාට පස්සෙන් කරත්තෙ එනවා වගේ කියන්නේ ඒ සිත පෙරටු කරගත් පුද්ගලයාගේ මොළයේ නියුරෝප්ල්ස්ටිසිටි ස්වභාවය විසින් පුද්ගලයාව සිතන විදිය අනුව හැඩ ගැස්වීම.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: