අරුණි ශපීරෝ‍ වෙතින්

රෝමෝද්ගම ප්‍රවෘත්තියක්!!

Posted in Uncategorized by arunishapiro on මැයි 17, 2012

හිසේ කෙස් කෙළින් කරවන තරම් වූ තැති ගැන්වීමක් ඇති කරන ප්‍රවෘත්තියක් ගැනයි මේ සටහන.

ඊයේ Nature සඟරාවේ වාර්තාව අනුව අත්පා හසුරුවන්නට නොහැකි වූ දෙදෙනෙකු වන කැතී සහ බොබ් දෙදෙනා සිතෙන් සිතුවිල්ලක් යවා අසල ඇති රොබො අතක් වෙතින් සිය කැමත්ත ඉටු කරගන්නට සමත් වී සිටිති. මෙය හැඳින්වෙන්නේ BrainGate System යනුවෙනි.

ඔවුන් දෙදෙනා හදිසි ආබාධයක් (stroke) තුලින් මොළයට හානි වූ නිසා කතා කරන්නට හැකියාව නැති වී ගිය දෙදෙනෙකි. නියුරෝශෛල්‍ය වෛද්‍යවරු විසින් ඔවුන්ගේ මොළයේ motor cortex යන පෙදෙසේ කොණ්ඩ කෙන්දක් තරම් තුනී කුඩා ඉලෙක්ට්‍රෝඩ සියයකට ආසන්න ප්‍රමාණයක පටිගත කරත හැකි විජට්ටු ඇතුල් කරන ලදි. ‘මෙන්ටල් ටෙලිග්‍රෑම් යවන යුගයක්’ යැයි ලියා ඇති මගේ පහුගිය සටහනකින් මේ උත්සාහයේ සඳහන් වන තාක්ෂණය ගැන වැඩි විස්තර කියවන්න පුළුවන්. ඇය සිතුවිලි පාලනය කරමින් රොබො ලවා කෝපි බෝතලයකින් කෝපි බොන අයුරු පහත විඩියෝවෙන් පෙන්වයි.

සිත පෙරටු කරගත් සිතුවිල්ලකින් අත් පා හසුරවන්නේ. මෙසේ විජට්ටුවක් ලොවට බිහි වෙන්නේ ද සිත මෙහෙයවීමෙනි.

ජීවිතයේ හැම දේටම මගේ සිත පෙරටු වෙයි. මගේ සිත ම ශ්‍රේෂ්ඨ වෙයි. මගේ සිත පෙරටු කරගත් මවිසින් මගේ සිතෙන් වැඩගන්න දනිමි. මගේ සිතෙන් වැඩ ගන්නා මම අනුන්ට ද යහපතක් ම කරමි.

අහෝ ඛේදයකි! වසර 2600 කට එහා කාලයක දී සත්‍ය්‍ය දැන සිටියත්, මුලාවෙන් බිහි වූ බටහිර ක්‍රෝධය නිසා සත්‍ය්‍ය අමතක වී ඇති සැටි!!!

රෝමෝද්ගමය ඇති වන්නේ ලෝකය මෙසේ එකිනෙකාගේ හිතසුව පිණිස සිත පෙරටු කරගෙන ඉදිරියට යන්නට වෙහෙසෙද්දී මුලාවෙන් රැවටී ඉන්නා අයට කුමක් වේදැයි සිතද්දී ය, තව කොච්චර කාලයක් ඔවුන් මුලාවේ රැවටී සිටීවි දැයි ඇතිවන භීතිය නිසා ය.

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on මැයි 17, 2012 at 8:05 පෙ.ව.

    බටහිර ක්‍රෝධය ද බටහිර ගැන ක්‍රෝධයද?

  2. Chandani said, on මැයි 17, 2012 at 9:45 පෙ.ව.

    “ජීවිතයේ හැම දේටම මගේ සිත පෙරටු වෙයි. මගේ සිත ම ශ්‍රේෂ්ඨ වෙයි. මගේ සිත පෙරටු කරගත් මවිසින් මගේ සිතෙන් වැඩගන්න දනිමි. මගේ සිතෙන් වැඩ ගන්නා මම අනුන්ට ද යහපතක් ම කරමි. “හරිම අගෙයි මේ කියමන. ස්තූතියි සටහනට. තාක්ෂණය ලොව මවිතකරන හැටි!

    • arunishapiro said, on මැයි 17, 2012 at 5:05 ප.ව.

      Chandani,

      ඔව් සැබැවින් ම චාන්දි අක්කා. ගුවන් යානයකින් බහින හැම වතාවක දී ම තාක්ෂණය මාව මවිත කරනවා. මිනිසා තරම් අපූරු සතෙක්!!!

  3. Amila said, on මැයි 17, 2012 at 11:13 පෙ.ව.

    අරුණි අක්කා,
    ඇත්තෙන්ම රෝමෝද්ගමනය වන ප්‍රවෘත්තියක්. ප්‍රායෝගිකව‍ මෙම තාක්ෂණය ඵලදායී ලෙස යොදාගැනීමට හැකි වීම තාක්ෂණයේ නව පෙරලියක් ඇති කරන බවට සැකයක් නෑ. ලිපියෙන් කියවෙන පරිදී මනසේ දියුනුව අපේක්ෂා කරන දර්ශණයක් පදනම් වන රටක සිටින බහුතරයකට තවමත් තමන් අනුගමනය කල යුතු දේ ගැන වැටහීමක් නැති වීම මටත් කණගාටුවට කරුණක්. තමන්ගේ ගැන ‍හොයන්න නුවන පෑදේවා…
    අමිල
    p.s.
    (අලුත් ලොගින් එක නිසා මගේ වාසගමත් වැටෙනවානේ..)

    • arunishapiro said, on මැයි 17, 2012 at 5:00 ප.ව.

      Amila,

      ඔව්, අමිල මල්ලි යම් දෙයක් සොයාගත්තාට පස්සෙ මිනිසාට එයින් තව තව වැඩගන්න හැකියාව සොයා යන්න පහසුයි. ඒ ඉතින් සාර්ථක වෙන්නට ක්‍රම සහ විධි සොයන මිනිස්සුන්ට. අනිත් අය වෙනුවෙන් නාස්ති කරන්න කාලයක් මේ කෙටි වූ ජීවිතයේ දී මට නම් නැහැ!!!

      ඔන්න වාසගම අයින් කළා. අලුත් ලොගින් එක කරන්න සිද්ධ වුනා. බැල්ලියෝ ගැන කතා කරන අයයි, අම්මලා ගැන කතා කරන අයයි, වෛශ්‍යාවෝ ගැන කතා කරන අයයි හදිසියේ ම වැඩි වෙච්ච නිසා 😀

  4. විචාරක said, on මැයි 17, 2012 at 1:43 ප.ව.

    අද බටහිර රටවල ඉන්න අය අපට වඩා හොඳින් අභිධර්මය ඉගෙනගන්නා බවයි මම අහලා තියෙන්නේ. එය වැරදිද? එසේ ඉගෙනගන්නේ නැද්ද? මහා චින්තක ආතර් සී ක්ලාක්ගේ ගැඹුරු මුහුද නමැති විද්‍යා ප්‍රබන්ධයේත් තියෙන්නේ අනාගතයේ ලංකාවේ ඉන්න මහානායක හාමුදුරුවෝ විදේශිකයකු බවයි. මමනම් පුදුම වෙන්නේ නැහැ එහෙම වුනොත්. දැන් ඉන්න සමහර මහානායක හාමුදුරුවරුන්ගේ ක්‍රියා කලාපය දෙස බැලුවම. චිත්ත ශක්තිය වර්ධනය කරගැනීම පිලිබඳ බටහිර ලෝකයේ තිබෙන්නේ කෙබඳු සංවාදාත්මක ස්වරූපයක්ද?

    මීළඟ දේවල් ලියන්නේ තරහෙන් නොවේ.

    රෝමොද්ගමය නොවෙයි නිවැරදි වචනය රෝමෝද්ගමනය රෝම උද්ගමනය = රෝමෝද්ගමනය.

    Stroke යන්නට හදිසි ආබාධය නොකියා ආඝාතය කිව්වොත් වැරදිද? එමෙන්ම කොණ්ඩ කෙන්ද කියා දෙයක් අපේ හින්ගලයේ නැහැ නේද? කාර්ය බහුලත්වය නිසා පරිවර්තනයේදී කෙස් ගස යන වචනය අමතක වුනාද?

    • arunishapiro said, on මැයි 17, 2012 at 4:51 ප.ව.

      විචාරක,

      බටහිර බහුතරය ඕනෑම දෙයක් හදාරන විට මූලාශ්‍ර සොයා යන අය. ඔවුන් අතර බොහෝ පොත් කියවීමත්, සම්පූර්ණ පොත ම කියවන හැදියාවත් තියෙනවා. එය ඕනෑම දෙයක් නිවැරදිව හදාරන්නට අවශ්‍ය වූවක්. නැගෙනහිර බහුතරය එනම් කාල් මාක්ස්ගේ දාස් කපිතාල් කියවා නැති අයත්, ඇඩම් ස්මිත්ගේ Wealth of Nations කියවා නැති අයත්, මෑතක දී රිචඩ් ඩාව්කින්ගේ The Selfish Gene කියවා නැති අයත් ඒ අදහස් ගැන කතා කරන්නේ වෙනත් අයගේ මතවලින්. නැත්නම් සම්පූර්ණ කෘතිය නොකියවා. එහෙම තැනින් තැන කියා ඇති කොටස් වලින් තම දැනුම එකතු කරගැනීමෙන් නිසි අධ්‍ය්‍යනයක් ලබන්නට බැහැ. අද විතරක් නෙමෙයි අතීතයේ ද බටහිර අය විසින් අභිධර්මය සොයා බැලුවා. මේ මා කළින් ලියූ සටහනක්: සිංහලයා බනින පර සුද්දා මෙයාකාරය.

      චිත්ත ශක්තිය වර්ධනය පිළිබඳ බටහිර බහුතරය අතර ඇත්තේ ආගමික හා විද්‍යාත්මක බව දෙපැත්තෙන් ම එන්නා වූ දැඩි උවමනාවකින් සිද්ධ වෙන සුහද හා වීනිත වූ සංවාදයක්. මා ඉන්නා ගමේ ක්‍රිස්තියානි පල්ලි ඇතුලේ ටිබෙටන් බෞද්ධ භාවනා පංති පවත්වනවා. ඒ බව නොදන්න අය දකින්නෙ ෆ්ලොරිඩාවේ පල්ලියක පිස්සු පොරක් කුරානය පුළුස්සන එක පමණයි.

      මගේ වැරැද්දක්/අඩුපාඩුවක් පෙන්වා දුන්නාට කිසිදිනෙක තරහා වෙන්නේ නැහැ. මේ අඩවියේ මුල සටහන් සිට අද දක්වා අවංකව කියවා ගෙන එන අයෙකුට මා කොයිතරම් අවස්ථාවල දී වැරදි පෙන්වා දුන්නාම එයට ස්තූති කරමින් වැරදි නිවැරදි කර ඇති බව දකින්නට පුළුවන්. ඒත් මට වැරදි වූ බව පෙන්වන්න එන අයට වූ වැරැද්දක් පිළිගත්ත අය අතළොස්සක් හොයාගන්න අමාරුයි!!!

      රෝමෝද්ගමය යන්නට hair standing erect යන අර්ථය ඇත්තේ සෝමපාල ජයවර්ධන හා මලලසේකර ශබ්දකෝෂයන් වල. උද්ගමය නම් rising, going up. උද්ගමනය ලෙසින් දැක්වෙන්නේ ascent, induction යන අර්ථ.

      Stroke යන්න කට වහරේ දී වැඩියෙන් ඇහෙන්නෙ හදිසි ආබාධයක් හැටියටයි. වෛද්‍යවරු කෙසේ සිංහලෙන් ලියනවා දැයි නොදන්නෙමි. ආඝාතය යන්න අර්ථ දැක්වෙන්නේ malice, hatred, striking, killing නිසා ඒක පාවිච්චියට මැලි වූවා.

      ‘කොණ්ඩ කෙන්ද’ නම් මගේ poetic license භාවිතයට ගැනීමයි: The freedom to depart from conventional rules of language when speaking or writing in order to create an effect. 😦 කෙස් ගස අමතක වුනේ නැහැ, ඒත් ගස කිව්වම ලොකු බවක් සිහියේ ඇඳුනොත් කියා කෙන්දක් යැයි දැම්මේ තුනී සිහින් බව වැඩියෙන් දක්වන්නට. හරියට පොල් කෙන්දක් වගේ තුනී යැයි කියවන්නාගේ සිතට දැනෙන්නටයි!!!

      ස්තූතියි ඒ දේවල් පෙන්වා දෙන්නට අවස්ථාවක් ලබා දුන්නාට. පාඨකයාට තම කැමැත්ත තෝරාගන්නට ඉඩ තියන්නම්.

      • tharu22 said, on මැයි 18, 2012 at 10:36 ප.ව.

        සුද්ද සින්හලෙන්ම “මයිල් කෙලින් වෙන නිව්ස් එකක්” කියල දැම්මනම් මොකෝ. රෝමෝද්ගම කිව්වම මගේ ඔලුවට ආවෙ රද්දොලුගම – ඉස්කෝලෙ යන කාලෙ යාලුවෙක් හිටිය එහෙ ඉදන් ආපු…
        (විහිලුවට කිව්වෙ හොදේ)
        ඔය නිව්ස් එක ඊයෙද පෙරේදද Wall Street Journal එකේ මුල් පිටුවෙ තිබ්බ වගේ මතකයි. යූ ටියුබ් ලින්ක් එකට ස්තුතියි.

      • gayanmm said, on මැයි 19, 2012 at 11:08 ප.ව.

        Stroke= මස්තිශ්ක ආඝාතය

  5. ravisandu said, on මැයි 25, 2012 at 12:24 ප.ව.

    ඔහොම ගිහිල්ල අන්තිමට භාවිතයට නොගන්නා අවයව ක්ෂීණ වී යාමේ මූලධර්මය අනුව මිනිස් සිරුර නැතිම වෙලා යයිද මන්දා… 🙂

    ” සිත මිස කය නැති බඹලොව සතරකි ” ඒ කියල තියෙන්නෙ එහෙව් ලෝකයක් ගැන වෙන්ඩ ඕනෙ.

    • arunishapiro said, on මැයි 25, 2012 at 1:06 ප.ව.

      ravisandu,

      භාවිතයට නොගන්න නෙමෙයි, භාවිතයට ගන්න නොහැකි අතපය ගැනනෙ මෙම උත්සාහය. කැමැත්තෙන්ම තමන්ගෙ මොළය පාවිච්චි කරන්නෙ නැතිව ඉන්න අයගෙ මොළ වගේ නෙමෙයිනේ!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: