අරුණි ශපීරෝ‍ වෙතින්

අක්‍රීය පාද වලට මොළයෙන් අණ දෙන තොප්පියක්

Posted in Uncategorized by arunishapiro on මැයි 21, 2012

රෝද පුටුවකින් හැම තැන යන්න සිද්ධ වුනාම වැටහෙනවා ඒ ජීවිතය කොතරම් දුෂ්කර දැයි කියා. ආබාධිත අය වෙනුවෙන් හදා ඇති මහජන පහසුකම් වැඩි ඇමෙරිකාවේ වුවත් රෝද පුටුවක ඉන්න වුනොත් එදිනෙදා ජීවිතය ලෙහෙසි නැහැ. මාස කිහිපයක් සුදු අප්පුහාමිව රෝද පුටුවක තියා තල්ලු කරගෙන යන්න සිද්ධ වූ නිසා එයින් රෝද පුටුවේ ඉන්නා අයෙකුට ස්වාධීනත්වය අහිමි හැටිත්, එවැන්නෙක්ට ඇති දුෂ්කරතාවයන් කොතරම් දැයි දැක ඇත්තෙමි.

පහළින් ඇති ඇස් වලට වඩා එක හා සමානව දකින්නට ලැබෙන ඇස් වලින් මිනිස් සත්වයා ලබන්නේ වෙනස් වූ තොරතුරු හුවමාරුවක්. අත දරුවා තම දෙමාපියන්ගේ මුහුණු වලින් මහත් තොරතුරු රාශියක් එකතු කරගනියි. මුහුණේ ඉරියව් තමන් ද අනුකරණය කරයි. අත්හදා බලන්නට කැමති නම් අත දරුවා තමන් දිහා බලාගෙන සිටිය දී ඇස් වහන්න, දිව දික් කරන්න, කට විවර කරන්න, නැහැය හකුළුවන්න. වැඩි වේලාවක් යන්නට මත්තෙන් අත දරුවා ද ඒවා ම කරන්නට ගන්නා උත්සාහයන් දකින්නට පුළුවන.

මිනිස් පැටියාගේ පැවැත්මට තමන් බලා කියා ගන්නා වැඩිහිටියන්ගේ මුහුණු ඉරියව් දැන ගැනීම වැදගත් ය. වැඩිහිටියන් බවට පත් වූ පසුත් මිනිසා පවත්වන සබඳතාවයන් වල දී වඩාත් ම වැදගත් අංගයක් නම් තමන් හා කතාබහේ ඉන්නා අයගේ මුහුණේ ඉරියව් වලින් ලබා ගන්නා දැනුමයි. තමන් හා එක හා සමාන ඇස් මට්ටමෙන් වූ අය හා අදහස් බෙදා ගැනීම පහසු ය. හැදියාවෙන් තමන්ට වඩා උසින් වූ ඇස් මට්ටමෙන් එන දේවල් පිළිගන්නට හිත හැඩ ගැස්වී ඇත. එසේම තමන්ට වඩා පහළ වූ ඇස් මට්ටමෙන් එන අදහස් නොසලකා හැරීමට ද මිනිසා හුරු වී සිටියි. ඒ බහුතරයා නොසිතා නොවිමසා හැදියාවෙන් කරනා වූ හැසිරීම් වෙති.

රෝද පුටුවක ජීවිතය ගෙවන්නෙකු කොතරම් දක්ෂයෙක් වුවත්, තමන් කියන්නට අනික් අයගේ අවධානය යොමු කරගන්නට ඉහත මිනිස් හැදියාවන් නිසා අපහසු ය.

නියුරෝවිද්‍යාවත්, ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු තාක්ෂණයත්, පරිගණක විද්‍යාවත් එකතු වී රෝද පුටුවෙන් නැඟිට ඇස් මට්ටමින් මිනිසාට තව මිනිසෙක් හා අදහස් බෙදා හදා ගැනීමට හැකියාව ලබා දෙන උත්සාහයේ එක පියවරක් ඊශ්‍රාලයේ ආචාර්ය Amit Goffer විසින් ඉටු කරන ලදි. ඔහු හදිසි අනතුරකට මුහුණ දී අත්පා හසුරුවත නොහැකි බවට මුහුණ දුන්නෙකි. ReWalk නමින් බරින් අඩු වූ, ඇඳුම් වලට උඩින් පළඳින කකුල් වලට, අතේ ඔරලෝසුවක් සේ පළඳින keypad එකකින් පණිවුඩ යැවීමෙන් නැඟිටින්නට, ඇවිදින්නට, වාඩිවෙන්නට, පඩි නඟින්නට හා පඩි බහින්නට උදව් කරන විජට්ටුව බිහිවුණි.

ආචාර්ය José Contreras-Vidal විසින් එයින් තවත් සූක්ෂම වූ නිර්මාණයකට යන්නට සමත් වෙයි. ඒ කෙළින් ම මොළයේ සිග්නල් වලට සවන් දෙන බයෝනික් කකුල් නිර්මාණයයි.

ඇවිදීමට වඩා අතින් යමක් අල්ලා එසැවීම දුෂ්කරය. කළින් සටහනේ සඳහන් වූ විද්‍යාත්මක පර්යෙෂණයේ සාර්ථකත්වයෙන් අත් අක්‍රිය පුද්ගලයාට වැඩදායක වෙන විජට්ටු බිහිවෙන්නට තව කලක් යනු ඇත. එහෙත් හදිසි අනතුරු නිසාත්, ලෙඩ රෝග නිසාත් ඇවිදින්නට නොහැකි අයට Rex Bionics වෙතින් නිර්මාණය කර ඇති පාද අද වෙළඳපොලේ මිල දී ගත හැකියාව ඇත. මේ මොළයේ සිතුවිලි වලින් පාලනය වෙන පාද නොවේ.

අත් පා හසුරවද්දී මොළයේ ක්‍රියාවලිය කෙබඳු ද යන්න දැන ගන්නේ මොළය තුලට ඇතුල් කරන ලද සිහින් ඉලෙක්ට්‍රෝඩ වලිනි. එහෙත් ආචාර්ය Contreras-Vidal විසින් මොළය ඇතුලට නොගොස්, ඔළුවට සවි කරන skull cap තුලින් මොළය නිකුත් කරන සිග්නල් හඳුනාගන්නට සමත් electro-encephalography (EEG) පදනම් වූ පාලන විජට්ටුවකින් යාන්ත්‍රික කකුල් හසුරුවන්නට සමත් වෙයි. එය නිමැවෙන්නේ ඒකීය පුද්ගලයාගේ මොළයේ ක්‍රියාවලිය අනුව ඒ පුද්ගලයාගේ සිතුවිලි අනුව එයාගේ යාන්ත්‍රික කකුල් ක්‍රියා කරවන්නට ය.

මොළයේ අණ පහදා ගත හැකි තොප්පියත්, Rex Bionics පාද සමඟත් එකතු වී, මොළයේ අණ දීමකින් පාද හසුරුවා ගන්නට හැකියාව ලැබෙන පර්යේෂණ සාර්ථක වී ඇත.

දකුණට හැරෙන්න කිව්වා ම මේ පැත්තට දැයි අහනා අයගේ පාද පැහැදිලි අණක් ඒ මොළයෙන් දෙන තුරා බලා සිටිනු ඇත් ද?!!!!

The Economist සඟරාවේ A mind to walk again ලිපියෙන් ද තව විස්තර දැනගන්න හැකියි.

මගේ පරම්පරාවේ වැදගත් ම සොයාගැනීම නම් වූ මගේ සටහනෙන් ද තව විස්තර දැනගන්න හැකියි.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on මැයි 21, 2012 at 11:29 පෙ.ව.

    රට බේරගන්න යුද්දෙට ගිහින් කකුල් පූජා කරපු අපේ සොල්දාදුවන්ට මේවා කවදා ලැබෙයිද?

    • arunishapiro said, on මැයි 21, 2012 at 11:34 පෙ.ව.

      wicharaka විචාරක,

      ඒ සඳහා වෑයමක් කවුරු හරි පටන් ගත්තොත් රෝද පුටු පරිත්‍යාග වෙනුවට මේ පරිත්‍යාගයන් ද හැකිවේවි. ගස් වලට කිරි වත් කරනවාට වඩා, ගල් වල පොල් ගහනවාට වඩා මිනිසා විසින් සෙසු මිනිස් ජීවිත වෙනුවෙන් වෙහෙසෙන්න උනන්දුවක් ඇති වූ දාට මේවා සිහින පමණක් නොවේවි.

  2. Gold fish said, on මැයි 21, 2012 at 12:01 ප.ව.

    අක්කා කියනවා වගේ තව කාලයක් හරියටම සාර්ථක උපාංග කට්ටලයක් බිහිවෙන්න. මොකද මං මේ වගේ දෙයක් මුලින්ම දැක්කේ “බියෝන්ඩ් 2000” වැඩසටහනෙන් 1998දී. ඒ දවස් වල ඒක පර්යේෂන මට්ටමේ. අද වෙද්දි අවුරුදු 14ක් ගිහිල්ලත් තාමත් පර්යේෂන මට්ටමේ…

    මොලයත් එක්ක, මොලයට ලැබෙන හා පිටවෙන සංඥා එක්ක ගනුදෙනු කිරීම හරිම සියුම් දෙයක්. පොඩි වැරදීමකින් ලොකු දෙයක් වෙන්න පුළුවන් නිසා වෙන්න ඕනේ, මේ වගේ දේවල් ගොඩක් හෙමින් දියුණු වෙන්නේ.

    • arunishapiro said, on මැයි 21, 2012 at 12:11 ප.ව.

      Gold fish,

      මේවා ඉදිරිපත් කරන්න ගිය කාලයට වඩා ඉතිරියට යන කාලය අඩුවෙයි කියලා හිතන්න පුළුවන්. කරන්නෙ කොහොමදැයි අදහසක් තිබ්බාට ක්‍රියාවට නැංවීමයි අපහසු. ඒත් මේ විදියට කරන්න පුළුවන් යැයි පර්යේෂණයකින් ඔප්පු වුනාට පස්සෙ එහි එක එක කොටස් තව තවත් සූක්ෂම කරන්න දක්ෂයෝ ඒ ඒ ක්ෂේත්‍ර වලින් සහාය වෙන නිසා වයර්ලස් දුරකතන වගේ වැඩි කල් නොගොස් හැම පැත්තකින් ම තවත් නිෂ්පාදකයෝ බිහිවේවි.

  3. Wiraj Gunasinghe said, on මැයි 21, 2012 at 11:37 ප.ව.

    සුද්දන්ට කවදාකවත් පරේක්ශන නෑති වන්නේ නෑත. මන්ද යත් Linear දෑනුම ලබා ගෑනීමේ පිලිවෙල සාර්තක නොවන නිසාය..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: