අරුණි ශපීරෝ‍ වෙතින්

අල්ලතොත් මහ එකා

Posted in Uncategorized by arunishapiro on මැයි 22, 2012

හැප්පෙන්න ඕනෑ නම් හැප්පිය යුත්තේ ඉහළ අයෙකු සමඟ ය. එයින් ලබනා පරාජය වුවත් නම්බුවකි යැයි මතයක් ලංකාවේ ඇතැයි කියන්නේ ජනශ්‍රැතියේ එන “ප්‍රස්තාව පිරුළු” (2011) නමින් පොතක් ලියූ පී. ඇම්. සේනාරත්න විසිනි. රංඩුවකට වුවත් අල්ලා ගත යුත්තේ මහ එකෙකි යැයි ‘අල්ලතොත් මහ එකා’ යන්න පහදමින් ඔහු ලියයි.

ලොකු තානාන්තරයක් දරන ප්‍රභූ පුද්ගලයාට, ඉහළ පංතියේ යැයි සැලකෙන අයෙක්ට මෙවැනි වැදගත්කමක් දීමෙන් සිද්ධ වන්නේ සමාජයේ ඒකීය පුද්ගලයාට ඇති වැදගත්කම අඩු වී යෑමකි. “ටොක්කක් කතත් රන් මුදුවක් දැමූ අතකින්” ඒ ටොක්ක කෑ යුතු යැයි කතාව ඊට සමාන යැයි කියන සේනාරත්න, ලාංකික සමාජයේ හුරුවක් පෙන්වයි. ඒ ජීවත්වන පමණින් අයෙකුට හිමිවන ඒකීය පුද්ගල අයිතිය ගැන නොදැනුවත්කම ය.

විශ්වාසනීය වෙනසක් පොරොන්දු වන දේශපාලනඥයන් ලොව බොහෝ ය. එහෙත් විශ්වාසනීය වෙනසක් ගොඩනඟා ගත හැක්කේ තම උත්සාහයෙන් යැයි කියනා අයෙක් පිළිගන්නට ලොව බහුතරය අකමැති ය. මන්ද, එවිට තමන්ට යමක් කරන්නට සිද්ධ වෙන නිසා ය. බහුතරය බලා සිටින්නේ එය වෙන අයෙක් කුමන විදියකින් හෝ අත ළඟට ම ගෙනැවිත් ගෙන තෙක්. හැදියාව, කිසියම් කාරියක් කරවා ගැනීමට නම් අල්ලා ගත යුත්තේ මහ එකා යැයි පිළිගැනීමයි.

සමාජයේ විශ්වාසනීය වෙනසක් ඇති කර ගැනීම වෙනත් අයෙකුට පවරන වගකීමක් නොව ඒකීය පුද්ගලයා අත ඇති වගකීමකි. මහ එකා මත විශ්වාසය තැබීම නිසා ඒකීය පුද්ගලයාගේ අයිතිය අහිමි වී යයි. එය සමාජයේ සෑම මට්ටමකින් ම සිද්ධ වෙන්නකි.

ලතින් fiducia යනු විශ්වස්තය නොහොත් fiduciary යන්නයි. එනම් විශ්වාසය සහ රහස්‍ය බව රැකීම. මෙය තම රැකවරණය යටතේ ඉන්නා අයෙකුගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නට පත් වී සිටින, රැකවරණය සපයන්නා අත වූ බලයයි. විශ්වස්තය කුමක් දැයි දැනුම ලංකාවේ පමණක් නොව ලෝකයේ බහුතරය අතරත් ඉතා දුබල හා දුලබ ය.

දෙමාපිය, වැඩිහිටි, ගුරුවරු, සියළු වෘත්තීයවේදීන්, පූජ්‍ය පක්ෂය හා දේශපාලනඥයන් ද රටේ නීතිමය වශයෙන් ආරක්ෂා කර නැති අවස්ථාවල දී වුවත් ස්වභාවික නීතියට පටහැනිව යනු නොහැකි නිසා විශ්වස්තය ආරක්ෂා කළ යුතුය. නැත්නම් සමාජයක් විකෘතියට පත්වීම වළක්වනු නොහැකියි.

තවත් අයෙකුගේ විශ්වාසය හා රහස්‍ය බව ආරක්ෂාවට පත් වී සිටිනා අයෙකුට ඇති බලය ඉතා මහත්. පිට ගෙදරක දී තම දරුවන්ගේ ඔලමොට්ටලකම් කියා තුටුවෙන දෙමාපියන් දරුවන් තමන් වෙත තබා ඇති විශ්වස්තය කඩනා අයයි. දරුවන් ලිංගික අපහරණයට ලක් කරන දෙමාපියන් සහ වැඩිහිටියන් තම විශ්වස්ත වගකීම් වඩාත් ම අයුතු ලෙස පැහැර හරින අයයි. මේ අන්ත දෙක අතර විශ්වස්තය දිනපතා කඩනා දෙමාපියන් ලොව බොහොමයකි. ඒ බොහෝවිට නොදැනුවත්කම නිසා ය.

විශ්වස්ත සබඳතාවයක් අවුල් වී තිබීමෙන් ආරක්ෂා විය යුත්තාව, එය ආරක්ෂා කරන්නට පත්වූවා විසින් ම උපහටයෙක් බවට පත් කරයි. නීතිය රකින්නට පත් වූ අයෙක්, තමා යටතේ ඉන්නා අයව ආරක්ෂා කිරීමට පත් වූ අයෙක් විසින් නීතිය කැඩීම, නීතිය නොදන්නා අයෙක් විසින් නීතිය කැඩීමට වඩා දරුණු ය.

සමාජයක ආරක්ෂාවේ ආරම්භය විශ්වස්තය රැකීමෙනි. තමන් තවත් අයකුගේ රහස්‍ය බව හා විශ්වාසය ආරක්ෂා කරන්නට බලයක් ලද්දෙක් නම්, තමන් එය ආරක්ෂා කරන්නේ නැත් ද, තමන්ගේ ආරක්ෂාව සලසන්නා ද එය පැහැර හරින වාතාවරණයක් ඉන් ඇති වේ.

බලය ඇත්තා එය අයුතු ලෙසින් පාවිච්චි කර තමා යටතේ රැකෙන, සේවය කරන, ඉගෙන ගන්නා අයට අයුතු යෝජනා කරන්නේ හා ඔවුන් වෙතින් අයුතු ප්‍රයෝජන ගන්නේ, එයින් මුළු සමාජය ම අගාධයට යන හැටි නොදැන ය. සමාජයේ සැඟ වී ඉන්නා හොඳ මිනිස්සු සිහින මවනා දේවල් කරන නරකයන්ට මේ ප්‍රවණතාවය පැතිර තිබීමෙන් ගොදුරු ඩැහැගන්නට කදිම පරිසරයක් හදා දෙන්නේ මේ ගැන සිත යොමු නොකරන හෝ නොදන්නා අය විසිනි.

විශ්වස්තය රැකීමෙන් ඇතිවන විශ්වාසනීය වෙනස ඒකීය පුද්ගලයාගේ වගකීමයි. එය වෙනකෙකුට බාර දී තම ආරක්ෂාව සැලසේ යැයි බලා සිටිනා අයට කිසිත් ආරක්ෂාවක් නොලැබෙන බව පෙන්වන්නේ ලෝක ඉතිහාසයයි.

ඉහළ අයෙකු හා හැප්පීමට යා යුත්තේ එයින් ලද පරාජයෙන් තමන්ට ලකුණු දා ගන්නට නොවේ!!!! රන් මුදුවක් දමාගත් අතකින් ටොක්කක් කෑවත් සැපයි නිසා නොවේ. ඉහළ අයෙකු හා හැප්පිය යුත්තේ ඒ පුද්ගලයා තමන් සතු විශ්වස්ත වගකීම පැහැර හරිනවා නම් ඒ ගැන තමන් දැනුවත් වීමට ය. තමා වාසය කරනා සමාජය දැනුවත් කිරීමට ය. තමන් ආරක්ෂා වීමට ය. තමන් ආරක්ෂා වීමෙන් සමාජයේ ආරක්ෂාව ද සලසා ගැනීමට ය.

ඉහත පොතේ තවත් කදිම ප්‍රස්තාව පිරුළුක් ඇත. “අහක යන ආයිබෝවන් බාරගන්න එපා” යන්නෙන් කියැවෙන්නේ, කිසිවෙකු වෙන අයෙකුට කී දෙයක් තමන්ට කියුවා යැයි සිතා වරදවා තේරුම් ගන්නත් එපා යන අර්ථයයි. ඉතින් මේ සටහනේ විශ්වාසනීය වෙනසක් යැයි සඳහන් නිසා මේක අහවලා ගැන ද කිව්වේ යැයි වරදවා අහන්න එපා.

විශ්වස්තය ඉහළ අයෙකු සතු වගකීමකි. හැම දරුවෙකුට ම වැඩිහිටියෙක් විය හැකි නිසා, විශ්වස්තය රැකීමට දැන සිටීම වයසට යද්දී වැඩිහිටියෙක් වෙන්නට කැමති හැම අයෙක් විසින් ම දැන සිටිය යුත්තකි. මේ සටහන කියවන ඔබ ගැනයි. ඔබ විශ්වස්තය රකිනවා ද?!!!!!

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. buddie-බුඩී said, on මැයි 22, 2012 at 9:09 ප.ව.

    //පිළිගන්නට ලොව බහුතරය අකමැති ය. මන්ද, එවිට තමන්ට යමක් කරන්නට සිද්ධ වෙන නිසා ය. බහුතරය බලා සිටින්නේ එය වෙන අයෙක් කුමන විදියකින් හෝ අත ළඟට ම ගෙනැවිත් ගෙන තෙක්. //
    මේ කතාව නම් ඇත්තම තමා, අනුන් හදන්න, රට හදන්න ඉස්සෙල්ලා තමන් හැදෙන්න ඕනේ කියන්නේ මේ නිසා නේ. හැමෝම කරන්නේ තම තමන්ගේ කන්ණාඩි වලින් බලන එක තමා !!

  2. Mourya Raj said, on මැයි 23, 2012 at 2:26 පෙ.ව.

    අපේ මිනිස්සු මහඑකා අල්ලගන්නව වෙනුවට පොඩි එවුන්නෙ අල්ලගන්නෙ.

    • arunishapiro said, on මැයි 23, 2012 at 7:45 පෙ.ව.

      Mourya Raj,

      මිනිස් සතාගේ හැදියාව මහ එකා ගන්නා නිවැරදි තීරණ මත ජීවිත රැකෙන්නක් වීම ලෝක ස්වභාවයයි. අම්මා ගන්නා තීරණ අනුව තමයි දරුවාගේ උප්පත්තිය … දෙමාපියන් වැඩිහිටියන් බලාගන්නා නිසා මිනිස් පැටියාගේ ජීවිතය රැකෙන්නෙ.

      ඒත් තම ජීවිතය රැක ගැනීමේ වගකීම, මිනිස් සතා වැඩිවියට පත් වුනාට පස්සෙත් … ගුරුවරුන්, වැඩිහිටියන්, බොස්ලා හා දේශපාලනඥයන්ට බාර කිරීමෙන් මිනිස් සතා කිසිත් කරකියා ගත නොහැක්කෙකු සේ හැසිරීම මිනිස් කමට නින්දාවක්. ඒ නින්දිත හුරුව නිසයි මහ එකා අල්ලගන්නවා වෙනුවට පොඩි එවුන් අල්ලන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: