අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිස් ස්වභාවය හඳුනන විශ්වස්තය රකින ස්ටාර්බක්ස් කොම්පැණිය

Posted in Uncategorized by arunishapiro on මැයි 24, 2012

ස්ටාර්බක්ස් වැනි කෝපි කඩේට ගියොත් තමන්ගෙ ඒකීය පුද්ගල කැමැත්ත අනුව කෝපි කෝප්පයක් හදා ගන්න පුළුවන්. කෝපි කෝප්පයේ කැෆේන් ඇතිව ද නැතිව ද, සුදු සීනි, දුඹුරු සීනි එහෙම නැත්නම් සීනි නොදා මී පැණි දානවා ද, එළකිරි ද නැත්නම් සෝයා කිරි ද, එස්ප්‍රෙසෝ ෂොට් කීයක් එකතු කරනවා ද, ඇමෙරිකානෝ ද ලාටේ ද, වැනිලා රසයක් එකතු කරනවා ද නැත්නම් හේසල් වැනි ඇට රසයක් එකතු කරනවා ද යනාදී තෝරා ගැනීම් බොහොමයක්.

සමහර පාරිභෝගිකයන් කැමති හැමදාම එකම විදියට තමන්ගේ කැමැත්ත අනුව හදා දෙන කෝපි කෝප්පය බොන්න. තවත් අය කැමති වෙනස් සහ අළුත් එකතු කිරීම් රස බලන්න. දෙපාර්ශවයට ම අවස්ථාව ලබා දීම සාර්ථකත්වයයි.

ඒකීය පුද්ගල බව අගයන සමාජයක එහෙම ඒකීය පුද්ගල වූ කැමැත්ත තෝරා ගන්නට ඉඩක් ලැබෙනවා. ඒකීය පුද්ගල කැමැත්තට ඉහළ තැනක් දෙන වෙළඳ ව්‍යාපාරය එක්ක තරඟ කරන්න, එකම විදියකින් හැමදාම කෝපි කෝප්පය හදපු කෝපි කඩ වලට බැරි වුන නිසා, ඔවුන් ද අද නොයෙක් වර්ගයේ කෝපි කෝප්ප ඉදිරිපත් කරන්නට පටන් ගෙන.

කෝපි කෝප්පයෙන් ඔබ්බට යන තවත් ඒකීය පුද්ගල කැමැත්ත වෙනුවෙන් හැඩ ගැසෙන වෙළඳ උත්සාහයක් තමයි කොණ්ඩ පාට කරන ඩයි. හැමෝම වෙනුවෙන් හදන ඩයි වර්ගයක් වෙනුවට තමන්ගෙ කොණ්ඩෙ තියන විශේෂත්වයන් වෙනුවෙන් ම හදන ඩයි තමන්ට මිල දී ගන්නට පුළුවන්.

අද ලෝක වෙළඳපොලට වැඩි වැඩියෙන් එකතු වෙන්නෙ පාරිභෝගිකයාට තෝරා ගැනීමක් ලබාදෙන භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරන ව්‍යාපාර.

තමන් අකමැති නිසා අනුන් කෝපි බොන එකත්, අනුන් කොණ්ඩෙ ඩයි කරන එකත් දෙක ම අනවශ්‍ය යැයි කියන අය ඉන්නවා. එයාල තමන් අකමැති නිසා ඒවා තමන් විසින් නොකර ඉන්න අය විතරක් වූවා නම් ගැටළුවක් නැහැ. ඒත් තමන් අකමැති නිසා අනුන්ට ද ඉඩ නොදී තහනම් නීති ගෙනෙනා අය වීමයි ගැටළුව. අධ්‍යාත්මික ඉලක්කයක් සොයා යන්නටත් උවමනාවක් ඇත්තේ ද නැත්තේ ද කියා පුද්ගලයාට තීරණය කරන්න නොදෙන්නා වගේ ම, (ඒත් තර්කය වැරදුනාම එයාලත් ආපහු එන්නෙ කැමති එකක් තෝරා ගන්න තමන්ට අයිතිය තියෙනවා කියන තැනට ම යි!!), ඉගෙන ගන්නා විෂයයන් සිට පරිහරණය කරනා භාණ්ඩ හා සේවා දක්වා අනුන් විසින් නිර්දේශ කරන දේවල් වලට යට වී ඉන්නට සිද්ධ වන සමාජයක ජීවත්වීම මිනිස් සත්වයාට නීරසයි.

පුද්ගලයන් කම්මැලි වී දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටින්නට පුරුදු කරගැනීමෙන් ඒ සමාජයේ පාලකයන්ට පීඩිතයන් බෝ කර පාලනය කිරීම හරි ලේසියි. ඒත් ලෝකේ පුරා ම තෝරා ගැනීම් වලට ඉඩකඩ වැඩිවෙද්දී, එසේ නොකර සිටිය නොහැකි යැයි බහුතරයාට අවබෝධ වෙද්දී, කම්මැලියන් පෝෂණය කරන රට වලට, තෝරා ගැනීම් වැඩි රටවල් වලින් ආධාර දීම වැඩි කලක් යන්නට මත්තෙන් නවතිනවා. මන්ද බහුජාතික ව්‍යාපාර විසින් ජනහඬට සවන් දෙන්නේ නම් ආණ්ඩු වලට ජනහඬට සවන් නොදී සිටිය නොහැකි යුගයක් එන නිසයි. කම්මැලියන් පෝෂණය කරන ග්‍රීසියට ආධාර පිණිස තම පුරවැසියන්ගේ සුභ සාධන කපන්න එපා යැයි කියනුයේ සෞභාග්‍ය බෙදා ගන්නට කැමති යැයි කිව්වත් හැදියාවෙන් ඊට අකමැති යැයි පෙන්නූ ප්‍රංශ ජාතිකයන් වැනි මිනිස් සත්වයන් ම යි!!!!

තමන්ගෙ රටේ මිනිස්සුන්ගෙ හඬට සවන් නොදෙන ආණ්ඩුවේ අය හිතන්නෙ එයාල දන්නවා කියල හැමෝටම සුබ සිද්ධිය සලසන්න. ඒ අය තෝරා පත් කර ගන්නා ජනතාව ද හිතන්නෙ තමන් ඔවුන්ට දෙන විශ්වස්ත බලය ඔවුන් නිසි සේ පරිහරණය කරනවා කියල. මේ ආණ්ඩුව විශ්වස්ත බලය නොරකින බව දැක්කාම මේ ආණ්ඩුව අයින් කරලා තව ආණ්ඩුවක් ගෙනෙන්න පෙළ ගැසෙනවා. ඒත් නැසිය යුතු විෂබීජය නම් “හැමෝටම හරියන මහා පරිමාණ සැලසුම් ගැසීම” බව දකින්නේ ඉතාමත් ටික දෙනෙක්.

ස්ටාර්බක්ස් කෝපි කඩේ අය එයාල විකුණන බීම සහ ආහාර කිහිපයකට රතු පාට දාන්නෙ Cochineal කියන කුරුමිණි වර්ගයෙන් ලබා ගන්නා සාරයකින් බව මාංශ භක්ෂණය ප්‍රතික්ෂේප කරපු අය වෙනුවෙන් සටහන් ලියන බ්ලෝග්කාරියක් විසින් ප්‍රසිද්ධියක් ලබා දුන්නා. ස්ටාර්බක්ස් කොම්පැණිය වහාම පියවර ගත්තේ ඒ අය විසින් කෝපි කඩේ වර්ජනය නොකර ඉන්නට, කුරුමිණි සාරයෙන් නොව තක්කාලි වලින් පාට ලබා ගැනීමට, තම හැදියාව වෙනස් කිරීමයි. ඒ ලාභ සොයා යන අන්තර්ජාතික ව්‍යාපාරයක්.

ලෝක ඉතිහාසය දිහා බැලුවොත්, කොන්ෆියුසියස් දර්ශනයෙන් පෝෂිත වූ චීනයත්, ඔටෝමාන් අධිරාජ්‍යයත් සමෘද්ධිය ලැබුවේ ඒකීය පුද්ගලයාට තෝරා ගැනීම් සඳහා ඉඩක් තිබි නිසා යැයි දැකිය හැකිය. ඒත්, ඉතිහාසයත් ඉගැන්වෙන්නේ ආණ්ඩුවට උවමනා විදියට, සමහර විට විශ්වස්තය නොරකින ආචාර්යවරුන්ට උවමනා විදියට නිසා … ඉතිහාසය සොයා කියැවීමත් තමන්ගේ වගකීමක් වෙයි.

ආණ්ඩුවක් තම පුරවැසියන්ගෙ හඬට සවන් දෙන දවසක් ආවොත් කොහොම ද?!!! ඔවුන්ගේ තෝරා ගැනීම් වලට ඉඩක් දී පැත්තකට වී නීතිය කඩනා අය ගැන පමණක් වෙහෙසන දවසක් ආවොත් කොහොම ද?!!!

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on මැයි 24, 2012 at 9:43 පෙ.ව.

    ලංකාවෙදි නම් අර අන්තිමට කියපු දේ වෙන්න තව කාලයක් යයි අක්කේ…

  2. dishan83 said, on මැයි 24, 2012 at 11:44 පෙ.ව.

    යහපත් අනාගතයකට පරිනාමනය කටවත් ඒකට බාදා කරන්න නොහැකි මනුශය අකල්ප සතුට ගැන හිතන පරිබොගික සමාජයක් අනාගතයෙ බිහි වෙනවා.

    • arunishapiro said, on මැයි 24, 2012 at 2:21 ප.ව.

      dishan83,

      කවදා හරි එහෙම අනාගතයක් එනකම් බලාගෙන ඉඳලා ඒක නොදැක මැරිලා යන්න කැමති කවුද? අපේ ජීවිත කාලයේ දී ම සාක්ෂාත් කරගත හැකිවූවක් කල් දැමීම ඵලදායක ද?

      තමාටත් රටටත් ලෝකයටත් යමක් කරන්නට හැකියාව ඇතිව ඉපදුනාට ජීවත්වන රටේ ආණ්ඩුවේ ඔලමොට්ටලකම් නිසා මිය යන, දියුණුව ලද නොහැකිව එක තැනක පරම්පරා ගණනාවක් තිස්සේ හිර වී සිටිනා අයෙක් වීම ගැන කම්පාවක් නැද්ද?

      අන්ත උදාහරණයක්: 1958 දී මා ඕ සේතුං චීනයේ පස් අවුරුදු සැලැස්ම තමයි හැමෝටම එකම විදියෙ නිල්පාට කලිසමයි කමිසෙයි ඇඳගෙන තමන් පැත්තකට දාලා රට වෙනුවෙන් වෙහෙසන්න කීම. මිනිස් ස්වභාවය වෙනස් කරන්න බැරි නිසා හැමෝම එකම විදියට ඇන්ඳට, සුඛෝපභෝගී දේවල් අත්හැරියට දියුණුවක් වුනේ නැහැ. ලෝක ස්වභාවය වෙනස් කරන්න බැරි නිසා ස්වභාවික ව්‍යවසන ඇවිත් භෝග වගාවන් විනාශ වීම වළක්වන්නත් බැහැ. වෙනස් කරන්න බැරි දේවල් වෙනස් කරන්න හදපු ප්‍රතිපත්ති නිසා මිනිස් ජීවිත මිලියන 30 ක් 1952-1962 දක්වා කාලය ඇතුලත පමණක් බඩගින්නේ මිය ගියා. ඒ බලහත්කාරයෙන් වෙනස් කරපු ඒ විදිය අනුගමනය නොකරන අයව මරණයට පත්කරපු පාලනයක දී.

      එහෙම ආණ්ඩුවක් ආයේ කවදාවත් ලෝකෙ ඇතිවෙන්නෙ නැහැයි කියලා කෙනෙක් සිතනවා නම් එයා මුලාවෙන් අන්ධ වූවෙක්. ලෝකයේ හැම ආණ්ඩුවක් ම රජෙක් හා සමානයි. බලන්නෙ තම බලය වැඩි කරගන්න. ආණ්ඩුවේ සේවය කරන අය හැමෝමත් එහෙම අයයි. තම බලය වැඩි වෙද්දී තම රැකියාව ස්ථිර බව වැඩි වෙන නිසා බලන්නෙ තම බලය වැඩි කරගන්න. තමන්ගෙ ආණ්ඩුවෙන් ම ඊට පස්සෙ පඩි වැඩියෙන් ඉල්ලා වර්ජන කර පඩි වැඩි කරගත හැකියාව නිසා ආණ්ඩුවේ සේවය කරන අයත් ආණ්ඩුවට බැන බැන ඒත් ආණ්ඩුවේ බලය වැඩි කරන්නට අත දෙන අය.

      පරිනාමය ඉබේ ම සිද්ධ වෙන්නෙ නැහැ. මිනිස් නොවන සත්තු පරිනාමය වෙන්නෙ පරිසරයට අනුකූල වෙන්න විතරයි. පරිසරය තමන්ට ඕන විදියට වෙනස් කරගන්න නෙමෙයි. වෙනස් කරගන්න බැරිවෙද්දි ඒ සත්තු වඳ වෙලා යනවා. ඒත් හිතන්න පුළුවන් මිනිස් සත්තු අද හිතලා හෙට දවස වෙනස් කරගන්න නිසයි තම ජීවිත කාලයේ දී ම යහපත් අනාගතයක් ඇති කරගන්නෙ. අද චීනයේ ස්ටාර්බක්ස් කඩ 570 ක් ඇරලා තියෙන්නෙ, තම තෝරා ගැනීම් අගයන, වෙනස් වෙන්න කැමති උදවිය එහෙත් ඉන්න නිසයි.

  3. සපතේරු උන්නැහේ said, on මැයි 24, 2012 at 6:18 ප.ව.

    // ආණ්ඩුවක් තම පුරවැසියන්ගෙ හඬට සවන් දෙන දවසක් ආවොත් කොහොම ද?!!! ඔවුන්ගේ තෝරා ගැනීම් වලට ඉඩක් දී පැත්තකට වී නීතිය කඩනා අය ගැන පමණක් වෙහෙසන දවසක් ආවොත් කොහොම ද?!!! //

    – ආවොත් කොහොමද… ආවොත් නම් හොඳයි.. ඒත් අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක් විතරක් කියලයි මටනම් හිතෙන්නෙ…

    ……………………………………

    ස්ටාර්බක්ස් වෙනස් දේවල් කරල බලන්න බය නැති කට්ටියක් කියලයි මට හිතෙන්නෙ… මෙහේ අනිත් කෝපි කඩ ඇතුලට යන අමුත්තන්ට බොහොම formal විදිහට ආචාර සමාචාර කරද්දි… ස්ටාර්බක්ස් ස්ටුවර්ඩ්ස්ල ඈතදිම ” hi sir ,. nice to have you here again “…. කියල සද්දෙන් කියල පිලිගන්නව.. මීට කලින් ඇවිත් තිබුනත් නැතත්…ඒකෙ අමුතු සුහදත්වයක් තියෙනව…
    මම අපේ කණ්ඩායම් වලට customer service පුහුණු කරද්දි බලන්න යවන එක තැනක් තමා ස්ටාර්බක්ස්…

    • arunishapiro said, on මැයි 25, 2012 at 7:29 පෙ.ව.

      සපතේරු උන්නැහේ,

      හැම දෙයක් ම ආණ්ඩුවෙන් කරලා දෙනකම් බලාගෙන ඉන්නෙ නැති බහුතරය …. ආණ්ඩුවේ රස්සාවක් හොයන්නෙ නැති බහුතරය … ආණ්ඩුවෙන් පෝෂණය වෙන වෙළඳ ව්‍යාපාරිකයන් හා මැති ඇමතිවරුන්ට හේත්තු වෙන්නෙ නැති බහුතරය … තම තමන් විසින් කරන එවැනි තෝරා ගැනීම් වලින් තමයි ආණ්ඩුවක් පුරවැසියන්ගෙ හඬට සවන් දෙන දවසක් එන්නෙ. ආණ්ඩුවක් පුරවැසියන්ගෙ තෝරා ගැනීම් වලට ඉඩදෙන දවසක් එන්නෙ. බලය තියෙන්නෙ ආණ්ඩුවේ නෙමෙයි පුරවැසියා අතයි.

      ඔව්, චේගුවේරා නැත්නම් අර්නෙස්ටෝ ගුවේරා සර්නා වෙනස ගැන කතා කරල නිකම් හිටියෙ නැහැ වගේ ම ස්ටීව් ජොබ්ස් සහ ස්ටාර්බක්ස් කොම්පැණියත් වෙනස් දේවල් කරල බලන්න බය නැති අය. ඒත් තමන් උදව් කරන්න කැමති වුනාට අනිත් අයත් එහෙම කරන්න කැමති වේ යැයි සිතන්න යෑම තමයි චේගුවේරාට වෙච්ච වැරැද්ද. ලාභ සොයන ව්‍යාපාර අනුන්ව හදන්න යන්නෙ නැහැ මිනිස් සත්වයන්ගේ විවිධ විෂම වූ ස්වභාවය හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය දේවල් විකුණලා ලාභ උපයනවා.

      ස්ටාර්බක්ස් කඩ දාම වේගයෙන් වැඩි වෙද්දී ඔවුන්ගේ ආචාර සමාචාර අඩු වී ඒකීය පුද්ගලය අවධානය අඩු වෙන බව දැක්ක ගමන් ස්ටාර්බක්ස් කොම්පැණිය දවස් දෙක තුනක් ඉඳ හිටලා කඩේ වහලා අළුතින් ඔවුන්ව ආයෙත් පුහුණු කළා, වේගයෙන් වැඩි වූ කඩ වලට පුහුණු සේවකයන් නැත්නම් පුහුණුවක් ලබන තෙක් කඩවල් ද වසා තැබුවා. රසවත් කෝපි කෝප්පය වගේ ම කඩේට ගොඩ වදින එකත් සුහද අත්දැකීමක් බවට හැර වූවා.

  4. kathandarakaraya said, on මැයි 25, 2012 at 4:51 පෙ.ව.

    කෝපි සහ කොණ්ඩ ඩයි විතරයැ, ඇයි බ්ලොග්? තම තමන්ට කැමති ඒව පැත්තකින් එල්ලගෙන ඉඳලා ඉඩ ලැබෙන පරිදි බලන්න පුළුවනි! කැමති නැත්තං නිකං ඉන්න පුළුවනි!

    • arunishapiro said, on මැයි 25, 2012 at 7:32 පෙ.ව.

      kathandarakaraya,

      ලාභ සොයන ව්‍යාපාරයක් එහෙම කළොත් බංකොළොත්. කැමති ටිකක් කරලා නැමති නැති දේවල් නොකර නිකං ඉන්න අය පිරිලා ඉන්නෙ ආණ්ඩු වල නිසයි ආණ්ඩු බංකොළොත්.

  5. tharu22 said, on මැයි 25, 2012 at 8:42 ප.ව.

    මට හිතෙන විදියට මෙහි සැබෑ ආශ්චර්යය තියෙන්නෙ මේ කොම්පැණි පාරිභෝගිකය සතුටු කරල අධික ලාභ උපයන්න උත්සාහ කිරීම මතම පමණක් නොවෙයි, අන්තිමේදී කොම්පැණි අතර තියෙන තරගකාරීත්වය නිසා ලාභය සාමාන්‍ය අගයකට අඩු වෙලා පාරිභෝගිකයාට හොද භාණ්ඩ ගොන්නක් තරගකාරී මිලට ගන්නට හැකිවීම තුලයි. ආයෙත් ලාභ වැඩි කරගන්නටනම් තවත් විප්ලවකාරී භාණ්ඩයක්/සේවාවක් වෙළද පොලට ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙනව. නමුත් මේ ලාභයත් කලක් යනකොට තරගකාරීත්වය නිසා පෙර සේම අඩු වෙලා යනව. දිගුකාලීනව බලන කොට අන්තිමේදි දිනල තියෙන්නෙ කොම්පැණි නොවෙයි, පාරිභෝගිකයායි!
    (මේ තත්වයන් මේ අකාරයෙන්ම වැඩ නොකරන අවස්ථාද නැතුවාද නොවේ )

    • arunishapiro said, on මැයි 26, 2012 at 9:23 පෙ.ව.

      tharu22,

      ආශ්චර්යයක් නෙමෙයි, මේ නිදහස් වෙළඳපොල වැඩ කරන සාමාන්‍ය ස්වභාවය. සමාජයක සාධාරණත්වයක් ඇති වෙන්නා වූ එකම ක්‍රමයයි. ඒ විදියට වැඩ නොකරන්නෙ ආණ්ඩුවේ අය හෝ ඊට හේත්තු වී ඉන්න ලේ උරා බොන තඩියෝ තමන්ට වාසිදායක ගුණ්ඩු ජනතාවගේ සුබ සාධනය මුලාවෙන් කරද්දී.

      නිදහස් වෙළඳපොල සමඟින් රටේ පුරවැසි අයිතීන් ආරක්ෂා කරන මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය සමඟින් එකඟ වෙන්නා වූ රටේ ව්‍යවස්ථාවක් ද තියෙන්න ඕන.

      ජීවිතයට, නිදහසට, සතුට සොයා යන ගමනට, උපන් නිසා පමණින් ලැබෙන අවලංගු කළ නොහැකි අයිතියක් දීම. ඊට ඉතා වැදගත් වූවක් තමයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එය ව්‍යවස්ථාවෙන් රැකෙන විට පුද්ගලික කොම්පැණියක් වේවා ආණ්ඩුව වේවා ඕනෑම පීඩකයෙක් ගැන හඬ ගා කියන්න අවස්ථාවක් පුරවැසියාට ලැබෙනවා. එයින් ආරක්ෂා වෙන්නේ පුරවැසියාව.

      නිදහස් වෙළඳපොල කිසිම විටෙක සමානාත්මතාවය ගැන වූවක් නොවේ. ඒකීය පුද්ගලයාගේ ඒකීය වූ දැඩි අපේක්ෂාව (ambition), වෙහෙසන උවමනාව, සෞඛ්‍යය, වාසනාව, පාරිභෝගිකයන්ගේ කැමැත්ත … යනාදී වූ මිනිසා තරම් ම සංකීර්ණ වූ, ලෝකය තරම් ම සංකීර්ණ වූ විවිධ විෂම සාධක නිසා, සමාජයක ආර්ථික සමානාත්මතාවයක් (economic equality) හොයන්න සැලසුම් වලින් උත්සාහ කරන්න පුළුවන්. ඒත් සාක්ෂාත් කරගන්න බැහැ. කඩා වැටුණු සෝවියට් දේශය, චීනය, කියුබාව හා උතුරු කොරියාව දිහා බැලුවාම දරීද්‍රතාවයේ සාමානාත්මතාවයක් (equal poverty) තමයි ගොඩක් දුරට දකින්න ලැබෙන්නෙ. එහෙත්, එයාලගේ දේශපාලන බලයේ ඉන්නා අයට ඇති ආර්ථික සමෘද්ධිය කිසිසේත්ම පුරවැසියන්ට නොලැබෙනා වූවක්.

      • tharu22 said, on මැයි 26, 2012 at 3:41 ප.ව.

        මට නම් සමහර “සාමාන්‍ය” දේවලුත් “ආශ්චර්යමත්”.

        ඒ විදියට වැඩ නොකෙරෙන්න ප්‍රභල සාධකයක් ආණ්ඩුවල ක්‍රියාකලාපය, නමුත් මගේ මතයේ හැටියටනම් එකම සාධකය නොවෙයි. මොකද අන්තිමට ආණ්ඩු, කොම්පැනි, සාමාන්‍ය ජනතාව කියන ඔක්කොම එක වගේ ගුණ අගුණ ඇති මිනිස්සු නිසා.

        අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතා වැදගත්, නමුත් මේ මගින් life, liberty, pursuit of happiness යන ඒව ආරක්ශාවෙන ප්‍රමාණය අදහස් ප්‍රකාශ කරන්නාගේ බලය, හැකියාව, වාසනා මහිමය අනුව වෙනස් වන නිසා (නිදහස් වෙලද පොල තුල වගේම ), ඉහත අපේක්ශාවන් එමගින් ආරක්ශා වන ප්‍රමාණයත් අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමට තීරණය කරන අවස්ථාව සලකන්න. මේ තීරණයේදී යුද්ධයකින් වාසි ලැබෙන සමාගම් බලවේග (corporate interests), ඇමරිකන් ජනතාව, ඉරාක ජනතාව යන තුන් කට්ටුව සැලකුවොත් මේ පාර්ශව වල අදහස් වලට තින්දු තීරණ ගැනීමේදී ලැබෙන ඉඩ කඩ විශමයි. මේ විශමතාවය ව්‍යවස්තාවකින් නැති කල නොහැකි බවයි මගේ හැගීම (ආර්ථික විශමතාවන් ව්‍යවස්තාවකින් නැති කල නොහැකි සේම ). ඉතින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුන වුනත් life, liberty, pursuit of happiness යන අයිතිවාසිකම් නැතිවෙලා යන්න පුලුවන්. සමහර විට එක් කොට්ඨාශයකට ඒ අයිතිවාසිකම් දීමට යෑමම තවත් කොට්ඨාශයකට එය නැති වීමට හේතු වනවා.

        ඒනිසා නිදහස් වෙළද පොළ ක්‍රමය ගැන උනත් මම නම් ඕනවට වඩා එක්සයිට් වෙන්නෙ නෑ. මොකද කිසිම දෙයක් අන්තිමේදි මතුපිටින් පෙනෙන තරමටම “නිදහස්” නැති නිසා.

        නිදහස් වෙලද පොල ගැන මගේ මතය ප්‍රජාතන්ත්‍රවාදය ගැන චර්චිල්ගේ මතය හා සමානයි.
        “Democracy is the worst form of government except all the others that have been tried” – Winston Churchill

        එහෙම කියල වඩා හොද ක්‍රමයක් සොයා ගැනීමට යන ගමන නතර කල යුතු නැහැ. මොකද, මිනිසා අත්තටු නැහැ කියල ඉගිල්ලෙන්න තියෙන ආශාව අත් හැරියෙ නැහැනෙ.

        • arunishapiro said, on මැයි 27, 2012 at 8:54 පෙ.ව.

          tharu22,

          ඒකනෙ අවම ආණ්ඩුවක අගය ගැන පටන් ගත් දා සිට කියන්නෙ. 1776 දී ව්‍යවස්ථාවෙන් අවම ආණ්ඩුවක වැදගත්කම තහවුරු කළා වූ එකම ප්‍රඥප්තිය බිහිවෙන්නෙ ලෝකයේ මුලින් ම ජනතාව අතින් තෝරාපත් කරගන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකින් වීම චර්චිල් උපුටා දක්වන අයට වටහා දීම ඉතා අසීරුයි. තාම බ්‍රිතාන්‍ය්‍ය පාලනය වෙන සභා දෙක –house of lords, house of commons; උපන් උරුමයෙන් ලැබෙන පාලකයන් හා ඔවුන් විසින් පත් කරගන්නා house of lords සභාව සිටිය දී ඔවුන් කෙසේ ප්‍රජාතන්ත්‍රවාදය වටහා ගනීවි ද?!!!

          මිනිස් සත්වයන් වෙතින් හැදිච්ච ඕනෑම සංස්ථාවක (පවුල, පාසැල, පංසල, ආණ්ඩුව…) ගුණ අගුණ යුත් මිනිස් සත්තු ඉන්නවා. ඒ නිසාම තමයි සම්පූර්ණ බලයනේ සම්පූර්ණ දූෂිතයෙක් ඇති නොවන්නට ඇමෙරිකන් ආණ්ඩුවේ පාලන බලය තුන් කට්ටුවකට; නීති ගෙනෙන, විධායක, විනිශ්චය යනාදී වූ, බෙදා තියෙන්නෙ. නීති ගෙනෙන ජනතාව විසින් තෝරා පත් කරගන්නා සෙනෙට් සහ හවුස් යන සභා දෙක නිසා ඔබාමා ආණ්ඩුවට තාම 2011 බජට් එක පාස් කරගන්න බැරි සම්පූර්ණ බලයක් නැති නිසා; බජට් එකක් නැතිව වැඩ කරන්න බැහැ කිය කියා ඇඬුවට එයින් පෙන්වන්නේ රටේ ජනතාවට වැඩ බැරි ජනාධිපති තුල විශ්වාසයක් නැති වීම; සෙනෙට් හා හවුස් සභා දෙකේ සම්පූර්ණ බලයෙන් සම්මත කරගත් සෞඛ්‍ය පනත අද විනිශ්චයකරුවන් අතින් විභාගයට ලක්වෙන්නෙත් ඒ නිසා. මේ අර්බූදකාරී තත්වය පැහැදිලිව පෙන්වන්නේ ඇමෙරිකන් ව්‍යවස්ථාවේ විභූතියයි. එයින් ජය ලබන්නේ ඇමෙරිකන් පුරවැසියායි.

          ඇමෙරිකාවේ ලොව අනගිතම වූ තවමත් ලොව නොදෙවෙනි වන ව්‍යවස්ථාවෙන් ඇමෙරිකාවේ විතරක් නෙමෙයි ලෝකයේ ම පුද්ගල අයිතීන් ආරක්ෂා කරන හැටි ඔබ නොදැකීම පුදුමයක් නොවෙයි. ඔටුනු පැළඳි ලෝකය යන සටහන කියෙව්වොත් ඇමෙරිකන් පාලකයෙක්ගේ බලය කොතරම් සීමිත වූ කාලයකට දැයි දකින්නට හැකි වේවි. එහෙම වූයේ නැත්නම් ජෝර්ජ් බුෂ් වගේ කෙනෙක් තමන්ගෙ පුරවැසියන්ගේ මහන්සියෙන් බලහත්කාරයෙන් අය කරගන්නා බදු වලින් පෝෂණය වෙමින් ස්ටාලින් වගේ, හිට්ලර් වගේ, මාඕ වගේ, පොල්පොට් වගේ, සදාම් හුසේන් වගේ, ෆිඩෙල් කැස්ත්‍රෝ වගේ, කිම් පරම්පරාව වගේ … කොතරම් කාලයක් කොතරම් විනාශයක් කරත හැකි ද?!!!! ඔය කියූ ලැයිස්තුවේ අය නසන්නේ තමන්ගේ පාලනයට විරුද්ධ තම පුරවැසියන්, තමන් අල්ලා ගන්නා අනිත් රටවල තම පාලනයට විරුද්ධ වෙන පුරවැසියන්. ඔවුන් ජීවිතයට ඉඩක් නොදී, නිදහසට ඉඩක් නොදී, සතුට සොයා යන ගමනට ඉඩක් නොදී නැති කරන්නේ කෲර පාලකයාගේ පාලනයට විරුද්ධ විය හැකි වූ පුරවැසියාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි.

          පසුගිය සටහනක දී රවී අහපු මේ ප්‍රශ්න ගැන හිතන්න.

          “1. රටවැසියාගේ බහුතර කැමැත්තෙන් තොරව බලයට පත්වූ පාලකයෙකුට රටක් පාලනය කිරීමට අයිතියක් ලැබෙනවාද?

          2. එසේ පත්වූ පාලකයෙකුට ඔහුගේ පාලනයට විරුද්ධව රට අභ්‍යන්තරයෙන් නැගෙන විරෝධය බලහත්කාරයෙන් මැඩ පැවැත්වීමට අයිතියක් ඇත්ද?

          3. එසේ මනුෂ්‍ය ඝාතන සිදුවන විට එය වැළැක්වීමට වෙනත් රටකට මැදිහත් වීමට හැකිද?

          4. එසේ මැදිහත් වීම රටේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වීමක් නොවන්නේද?

          5. එලෙස මැදිහත්වීම නීත්‍යානුකූල සහ සදාචාරාත්මකව සුදුසුයි කියා තීරණය කරන්නේ කවුද?

          6. එසේ තීරණය කිරීමට ඔවුන්ට බලය ලැබුනේ කෙසේද?”

          සාමාන්‍ය පුරවැසියෙක් ලෙසින් රවී අහන ඔය ප්‍රශ්න අර ලැයිස්තුවේ ඉන්න කෙනෙක්ගේ පාලන බලයේ දී ඇහුවා නම් ජීවිතය අහිමි වෙනවා.

          ඇමෙරිකාව ලෝකයේ පුරවැසියන්ගේ නිදහස ආරක්ෂා කරන්න යා යුතු නැහැයි කියා තමයි ඇමෙරිකන් ව්‍යවස්ථාවේ කියැවෙන්නෙ. ඒ වගේ ම ඇමෙරිකාව කිසිම රටකට ආධාර ණය දෙන්න යන්න අවශ්‍ය්‍යත් නැහැ කියලා තමයි ඇමෙරිකන් ව්‍යවස්ථාවෙන් කියැවෙන්නෙ. අද මේ ගැන කතාබහ ඇමෙරිකාවේ වැඩියෙන් ම සිද්ධ වෙනවා. ප්‍රංශය ග්‍රීසියේ ණය බේරාගන්න උදව් වෙන්න කැමති නැහැ වගේ ම ඇමෙරිකාවේ මිනිස්සුත් ලෝකයේ ඉන්න ත්‍රස්තවාදියෝ අයින් කරන මෙහෙයුම් වලට අකැමති කාලය දැන් ඇවිදින්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ඇමෙරිකන් ආධාර හා ණය නැත්නම් ලංකාව වගේ අනුන්ගෙන් කාලා බීලා ඉන්න පුංචි රටක් කොච්චර ආර්ථික අවදානමකට ලක්වෙයි ද කියා.

          මිනිස් සතා ස්වාධීන වූ චින්තනය හිමි වූවෙක්. ඒත් සර්ව සම්පූර්ණ නිදහස් පුද්ගලයෙක් නෙමෙයි. සමාජයේ ජීවිතය මිනිස් සත්වයාට අවශ්‍ය්‍යයි. ඒ නිසාම තම නිදහසෙන් යම් කොටස් කැප කරන්න, මුලින් පවුලක උපදින දරුවෙක් දා පටන් … මිය යන තුරු ම තෝරා ගැනීම් වලින් යුතු වූවෙක්. නිදහස කියන්නේ වෙන කවුරුත් දෙන දෙයක් නෙමෙයි. තමන් විසින් කරන තම තෝරාගැනීම් වලින් තමන් ලබන්නා දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදයෙන් කරන්නෙ තමන්ට තම තෝරාගැනීම් වලට ඉඩ ප්‍රස්ථාවක් දීමයි. මිනිස් ස්වභාවය තෝරා ගැනීමක් මිනිසාට මිනිස් මොළයෙන් දායාද කර තිබීම. ප්‍රජාතන්ත්‍රවාදය යනු තෝරා ගැනීමකට පුරවැසියාට ඉඩ දී තිබීම.

          ඔයා මීට වඩා හොඳ ක්‍රමයක් සොයාගත් දාට අපිටත් කියන්න. එතෙක් මම අමෙරිකන් ජනාධිපතිවරයෙකු වූ කැල්වින් කූලිජ් ගේ කතාවකින් සටහන අවසන් කරන්නම්.

          “දේශපාලන මනස යනු මහජන ජීවිත ගත කරන ලද මිනිසාගේ දෙවරක් පිළුණු වූ ප්‍රතිඵලයකි. වරක් ප්‍රශංසාවෙන් ද වරක් අවලාදයෙන් ද පිළුණු වී ඇත. ඔවුනට කිසිවක් ස්වභාවික නොවේ. සියල්ල කෘතිම ය.”

          දේශපාලකයන්ගේ බලය ව්‍යවස්ථාවකින් අවම කළ යුතුයි. ව්‍යාපාරිකයන්ගේ බලය නිදහස් වෙළඳපොලක දී පාරිභෝගික සමාජය විසින් ස්වභාවයෙන් ම අවම කර ඇත්තකි.

  6. tharu22 said, on මැයි 27, 2012 at 10:11 පෙ.ව.

    “…එයින් පෙන්වන්නේ රටේ ජනතාවට වැඩ බැරි ජනාධිපති තුල විශ්වාසයක් නැති වීම”, වැඩි අවිශ්වාශය තියෙන්නෙ වැඩ බැරි ජනාධිපති ගැනද, වැඩකට නැති කොන්ග්‍රස් එක ගැනද කියල මේ දෙකේ approval ratings සන්සන්දනය කරොත් බලන්න පුලුවන්.

    ඔබේ සමහර කාරණා හා එකගයි, සමහර කාරණා ගැන මගේ අදහස වෙනස්. නමුත් ඒ ගැන වෙන අවස්ථාවක කතා කරමු. මම සතියකට ගෙදරින් තොලොන්චිවෙලා යනව, ඉතින් කාලය ගැන ප්‍රශ්නයක් තියෙනව.
    සම ලින්ගික විවාහ ආදී පුද්ගල අයිතිවාසිකම් ගැන ඔබේ අදහස් දැනගන්නත් කැමතියි. වෙලාවක් ලැබුනු වෙලාවක ලිව්වොත් ස්තුතියි.
    නැවත හමු වෙමු. ජය!

    • arunishapiro said, on මැයි 28, 2012 at 10:24 පෙ.ව.

      tharu22,

      සුළු පක්ෂ රාශියකින් එකතුව හැදෙනා ආණ්ඩුවක් නොව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින් එකක් බලයට එන හුරුවකින් ඇති ආණ්ඩුව අද සමන්විත වෙන්නේ දෙපැත්තේ ම නියෝජනය එක හා සමාන වූ බලය සහිතව. Senate සභාවේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ 53 යි, රිපබ්ලිකන් පක්ෂයේ 47 යි. House සභාවේ යාන්තමින් වැඩි වූ බහුතරය රිපබ්ලිකන් පක්ෂය වුවත් පසුගිය මැද මැතිවරණයේ දී තේ පාටි නියෝජනයෙන් පාරම්පරික රිපබ්ලිකන් පක්ෂයේ අයට ඇති අකමැත්ත වැඩි වී තියෙනවා. ඒ නිසා කොංග්‍රසය ගැන අකමැත්ත කියන්නට දෙපක්ෂයෙන් ම ජනතාව එකතු වෙනවා. ඒත් ජනාධිපති ගැන අකමැත්ත කියන්නේ වැඩියෙන් අනිත් පැත්තේ අයයි. විශේෂයෙන් ම වාමාංශික මතධාරීන් මොන වැරැද්දක් කළත් තමන්ගෙ අයට දොස් නොකියන වෙනත් බාහිර සාධකයක් පෙන්වා වැරැද්ද එහි යැයි කියන ස්වභාවයක් ලෝකයේ තියෙනවා. දක්ෂිණාංශය ඊට වෙනස්, ඔවුන් තමන්ගේ අයව වැඩියෙන් විවේචනය කරනවා, වැරදි කරද්දී ඔවුන්ට චන්දය නොදී සිටිනවා. මැද මැතිවරණයක දී ඩෙලවෙයාර් හි දිනන්නට හැකියාව තිබූ, වසර දහයක් බලයේ සිටි මයික් කාසල් පරදවා දිනන්නට හැකියාවක් ඇත්දැයි විභාග කරන්නට ක්‍රස්ටීන් ඕ’ඩොනෙල්ට ඩෙලවායර් රිපබ්ලිකන් අය චන්දය දුන්නේ දක්ෂිණාංශ අදහස් වලට පෙනී සිටිනවා මුලාවෙන් වාමාංශික ප්‍රතිපත්ති වලට පක්ෂපාතීව චන්දය දුන් මයික් කාසල්ට වඩා වාමාංශිකයෙක් ම ඒ තනතුර ලැබීම හොඳ නිසා!!!! ලංකාවේ ද එය දකින්න පුළුවන්. ප්‍රංශයේ ද එය දකින්න පුළුවන්. දක්ෂිණාංශයේ අය තම නායකයා වෙතින් බලාපොරොත්තු වෙන්නෙ අනගි හැදියාවක් සහ දක්ෂිණාංශ වූ ප්‍රතිපත්ති. වමේ අය ඕන විගඩමක් නැටුවත්, පූටින් වගේ!!! වම්මු ඒක නොදකින්න ඇස් පියාගෙන ඉන්නා බව අවංකව බලනා අයට දැකගන්නට හැකියි. ඉතින්, කොංග්‍රසය ගැන අකමැත්ත පක්ෂ දෙකේ අයටම තියෙද්දී, ජනාධිපති ගැන අකමැත්ත එක පැත්තක අය පමණක් වැඩියෙන් දැකීමත් යන්න සැලකිල්ලට ගෙන ඔයා කියන approval ratings සංසන්දනය කරද්දී කල්පනා කර බලන්න.

      //ඔබේ සමහර කාරණා හා එකගයි, සමහර කාරණා ගැන මගේ අදහස වෙනස්.// මා හා එකඟ විය යුතු නැහැ කිසිසේත්ම. යමක් මෙසේ යැයි කියූ පමණින් එයට එකඟ විය යුතුයි හෝ එය අනුගමනය කළ යුතුයි කියා බලහත්කාරකම් කරන්නේ කිසිවකුට තෝරාගැනීමකට ඉඩ නොදෙන වාමාංශිකයන්. තමන් කැමති නම් ධනවත් වෙන්නට හැකියාව ඇත්තේ මේ ආකාරයෙන් යැයි කියා දුන්නාට, තමන් කැමති නම් සතුට සොයා යා හැක්කේ මෙයාකාරයෙන් යැයි කියා දුන්නාට, තමන් කැමති නම් තම ජීවිතයට අයිතියක් සහ ජීවත්වෙන්නට නිදහසක් ලැබෙන්නේ මෙයාකාරයෙන් යැයි කියා දුන්නාට, එය තෝරා ගැනීම හෝ ප්‍රතික්ෂේපය මිනිසා සතු අයිතියක්. උවමනාවෙන් දුප්පත් වෙන්න ඕන අයට, උවමනාවෙන් දුකින් ඉන්න ඕන අයට, උවමනාවෙන් නිදහසේ ජීවත්වෙන අයිතිය නැති කරගන්නට ඕන අයට එහෙම කරන්නට තෝරා ගැනීමේ ඉඩක් දීම ඒකීය පුද්ගල මිනිස් ස්වභාවයට ගරු කිරීමක්. බලහත්කාරයෙන් හැමටම සාමය සහ හැමටම සශ්‍රීකත්වය ලෝකයේ ස්ථාපිත කරන්නට බැහැ යන්න එක්සත් ජාතීන්ගේ ද බැංකු බංකොළොත් වෙච්ච දවසට ඔවුන්ටත් අවබෝධ වේවි!!!

      විවාහයක් අවශ්‍ය කාට ද යන්න මුලින් ම විමසන්න ඕනා. දෙදෙනෙක් ඉදිරි අනාගතය එකට ගත කරන්න තීරණය කරනවා නම්, විවාහය පල්ලියේ උවමනාවක් ද, ආණ්ඩුවේ උවමනාවක් ද, සමාජයේ උවමනාවක් ද? පුද්ගලයන්ගේ උවමනාවක් ද? තීරණය කළ යුත්තේ විවාහ වෙන්නා ය. එකට දිවි ගෙවීම අරබයා නීතිමය වශයෙන් පටන් ගන්නා විවාහය යනු නිසි වයසට පැමිණි දෙදෙනෙක් අතර ඒකමතික කැමැත්තෙන් සිද්ධ විය යුත්තක්. තාම වැඩිහිටියන් විසින් හඳහන් බලා, වත්කම කුලය හා සමාජ තත්වය බලා දරුවන්ගේ අනාගත සහකරුවන් තීරණය කරන අය ඉන්නා සමාජයක ඕක වටහා ගත හැකි වැඩිහිටියන් කොපමණ ඇත්දැයි නොදනිමි. විවාහ සංස්ථාවට විශේෂ නීති අවශ්‍ය නැහැ. රටේ පුරවැසියන් සඳහා ඇති අනිත් නීති පමණක් සෑහෙනවා. විවාහ සංස්ථාවට සුවිශේෂ වූ රටේ නීති ගෙනැත් තියෙන්නෙ ආණ්ඩුව පාලන බලයෙන් පුරවැසියන් පීඩිත කරන්න. සමලිංගික විවාහය යනු නිදහස් වැඩිහිටියන් දෙදෙනෙක් අතර ඇති ඒකමතික කැමැත්තකින් සිද්ධ වන්නක් නම් ඒක එයාලගේ වැඩක්. එයාලගේ සතුට සොයා යන අයිතියක්. එයාලා සතුට සොයා යන ආකාරය රටේ අනිකුත් නීති වලින් කැඩෙන්නේ නැත්නම් ඊට නිදහස ඔවුන් සතුයි. ඒත් නායකත්වයේ බලය පෙන්වා පිරිමින් විසින් කෙල්ලෝ හෝ පිරිමින් විසින් කොල්ලෝ හෝ ගැහැණුන් විසින් කොල්ලො/කෙල්ලෝ දූෂණය කරනවා නම්, පීඩනයට ලක් කරනවා නම්, සමලිංගික කියා නෙමෙයි එය රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව නැති කරන නිසා, විශ්වස්තය කඩන නිසා, ඊට දඬුවම් ලැබිය යුතුයි.

  7. vishvanatha said, on මැයි 28, 2012 at 12:16 ප.ව.

    අලුත් විදියට හිතන දස දහස් ගනන් අපට අවශ්‍යයි.එහෙම හිතන්න බය නොවුන අය නිසයි අද මේ බ්ලොග් පවා අපට ලැබිලා තියෙන්නෙ.ඒත් ලංකාව වාගෙ රටවල මේ වැඩේ අමාරුයි.අපේ වගේ රටකනම් ඉන්ටනෙට් වගේ දෙයක් කවදාවත් බිහිවෙන්නේ නෑ.රජය සහ සමාජය ඒක මර්ධනය කරනවා

    • arunishapiro said, on මැයි 28, 2012 at 4:26 ප.ව.

      vishvanatha,

      හැමදාම අමාරුයි කියලා බලන් ඉඳලා බැහැ. අමාරු දේවල් ජයගත්තාම ලබන රස වැඩියි!!! රජය හා සමාජය කියන්නෙත් ඒකීය පුද්ගලයන් ගෙන් හැදිච්ච දෙයක්. ඒ නිසා ඒකීය පුද්ගලයන් තමයි අලුත් විදියට හිතන්න සහ වැඩ කරන්න පටන් ගන්න ඕනා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: