අරුණි ශපීරෝ‍ වෙතින්

උඹේ හොඳටයි මේ කියන්නෙ

Posted in Uncategorized by arunishapiro on මැයි 25, 2012

“උඹේ හොඳටයි මේ කියන්නෙ” කියනා අය එමට සිටිති. එහෙත් ‘හොඳ’ කුමක් දැයි අර්ථ දක්වන්නෝ හිඟ ය. හොඳ හා නරක ගැන තාර්කිකව සංවාදයන්ට ගිය සොක්‍රටීස්ට වස කන්නට සිද්ධ වුණි!!!

ඒත් හොඳ මොනවා ද නරක මොනවා ද යන්න දැන ගැනීමට මිනිසා තුල ස්වභාවික වූ කුතුහලයක් ඇත. සොයා යන මාර්ග තාර්කික නොවූවත් සොයා යන වෙහෙස සෑම නිරෝගි මොළයක් ඇති අයෙක් තුලම ස්වභාවයෙන් පිහිටා ඇත. ඒ ජීවිතය ආරක්ෂා කරගනු සඳහා ය. අදට වඩා හොඳ හෙට දවසක් පිණිස ය.

අනාගතේ හොඳ දවසක් කරගන්නට ය!!!

අනාගතේ…. සිරස්තලයෙන් අන්තිම පේලිය අඩවියේ කදිම සටහන මෙතැනින් කියවත හැකියි.

මිනිස් සත්වයාට පුංචි කාලේ ඉඳන් ඇහෙන්නෙ අරහෙම කරන්න මෙහෙම කරන්න එතකොට හරියනවා කියන අවවාද. අනිත් සත්තුන්ට එහෙම අවවාද නැහැ. සමහර සත්තු උපන් ගමන් කන්න බොන්න ජීවිතය ආරක්ෂා කරගන්න දන්නවා. අනිත් සත්තු දෙමාපියන් එක්ක ටික කාලයක් ජීවිතය ආරක්ෂා කරගෙන ඊට පස්සෙ රැලට එකතුවෙනවා.

රැලේ දුවන ප්‍රාථමික මනස් වලින් ජීවත්වෙන සත්වයෝ වගේ මිනිස් පැටව් ද එහෙම රැලේ යමින් හැමෝම කරන ඒවා ම කිරීම ද ‘හොඳ’ යැයි සම්මතය ඇත්තේ නොදියුණු මොළ තුල. ඔවුන් කාලාන්තරයක් තිස්සේ එකම තැනක ලැග සිට මිය යන්නෝ. පරම්පරා ගණනාවක් යන තුරු එවැනි සමාජයක් වෙතින් ඇහෙන්නෙ දකින්න ලැබෙන්නෙ හැමදාම කියන එකම අවලාද, එකම මත, එකම වර්ණනා. අදට වඩා හෙට තත්වය දියුණු කරන අළුත් සොයා ගැනීම් නැහැ.

තමන්ගෙ අනාගතය පමණක් නෙමෙයි තමන්ගෙ අද දවසත් ‘හොඳ’ දැයි ‘නරක’ දැයි තීරණය කළ යුත්තේ ජීවිතය ජීවත්වන තමන් විසින්. නැත්නම් වෙන්නෙ අනුන් කියන ‘හොඳ’ දේවල් කරන්න ගිහින් තමන්ට ‘හොඳ’ මොනවා දැයි තමන් නොදැන තමන් අතරමං වීමයි.

Émile Durkheim හඳුන්වා දුන් 1938 දී Robert Merton විසින් ඉදිරියට ගෙන ගිය සිද්ධාන්තයක් තමයි ඇනොමී- (anomie) සිද්ධාන්තය යනුවෙන් සැලකෙන්නේ. ඇනොමී යන වචනයෙන් දැක්වෙන්නේ සමාජයක් විසින් මහත් අපේක්ෂාවන් (ambitious) ඇති කරගන්න යැයි කියා එහෙත් ඒවා සාර්ථක කරගන්න කිසිත් අවස්ථා නොදීමෙන් ඇතිවන සමාජයීය ප්‍රතිමාන (social norms) බිඳ වැටීමයි. 1955 දී Albert Cohen විසින් ගැටවර වයස් වල කොල්ලො තුල ඇති සමාජ නීති රීති කඩ කරන හැදියාව පැහැදිලි කරන්නටත් මෙම සිද්ධාන්තය යොදා ගන්නවා. 1960 ගණන් වල දී Richard Cloward සහ Lloyd Ohlin විසින් ද, 1992 දී Robert Agnew ද, 2001 දී Steven F. Messner සහ Richard Rosenfeld විසින් මේ සිද්ධාන්තය තවත් විස්තර කරන්නට උත්සාහ ගන්නවා. මී මැස්සො ගැන වගේ තමයි මිනිසා තමන් ගැනත් ලෝකය ගැනත් හොයන උත්සාහයන් නවතා නැහැ!!!

ලෝකෙ අනිත් හැම තියරියක් වගේ ම මේ ඇනොමී-විඩාවේ සිද්ධාන්තය (Anomie-Strain Theory) ගැනත් අවුල් බොහොමයක්. මේ එමිල් ඩර්ක්හයිම්ගේ සිද්ධාන්තය ගැන මා කළින් ලියූ සටහනක්. එමිල් කියන “තමන්ගේ උවමනාවන් පිරිමසා ගැනීමට ශක්තිය නැති කළ සමාජ සත්වයකුට සතුටුවීමට තබා ජීවත්වීමට ද නොහැකිය” යන්න පිළිගෙන එහෙත් ආණ්ඩු බලය තර කරගන්නට කැමති රජවරුන් සහ ජනතා කැමැත්තෙන් තෝරා පත්වන පාලකයන් සිතන්නේ මිනිස් සත්වයාගේ උවමනාවන් පිරිමසා ගැනීමට ශක්තියක් දීම ඔවුනට සැලසුම් මඟින් කළ හැකිය කියා ය.

එමිල් සත්‍යයක් පෙන්වා එයට මිනිස් ස්වභාවයට පටහැනි අසත්‍ය විසඳුමක් දෙයි. තම ආහාරය සොයා ගන්නට දඩයමේ ගිය පිරිමියාත්, අල මුල් හොයන්නට ගිය ගැහැණියත් පරිනාමයේ දී තම උවමනාවන් පිරිමසා ගැනීමේ ශක්තිය නිසා දිවි රැකගත්තෝ වූහ. ඒත් ‘තම’ උවමනාවන් මිසක පිටතින් අයෙක් ‘නිර්දේශ’ කරන ලද උවමනාවන් නොවන බව වටහා ගැනීම අතපසු කළ නිසා සැමටම හරියන සැලසුම් ගසන්න දන්නවා යැයි කියාගත් අයට වැරදුන බව පෙන්වන්නේ ලෝක ඉතිහාසයයි.

සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයෙකු ම අනෙකා හා සමාන වූවෙක් නොවේ. ඒ විදියටම ඇති උවමනා වලින් යුත්තෙකු නොවේ. එසේ ම උවමනාවන් සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ නිසා ඇතිවන ආතතිය, පීඩනය ඉදිරියේ වුවත් එක ම විදියට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. ඒකීය පුද්ගල වූ මිනිස් ස්වභාවය අමතක කර හැමෝටම හරියන සැලසුම් ගහන්න බැරි ඒ නිසයි.

ගුරුවරුන් අභිබවා ගොස් දැනුම සොයන්නට සිසුන්ට ලැබෙන වාතාවරණයක් හැදෙන්නේ තම පංතියේ ඉන්නා සමහර දරුවෝ තමන්ට වඩා ඉහළ බුද්ධියක් හැකි සත්වයන් සහ තමන්ට වඩා ඥානය මෙහෙයවීමේ හැකියාවෙන් යුතු සත්වයන් යැයි ගුරුවරු විසින් පිළිගත හොත් පමණයි. එය දෙමාපියන් ද පිළිගත හොත් පමණයි. ගිරව් වගේ හැමදාම පරණ තැටි ගහන දරුවන් හා සිසුන් මිනිස් වර්ගයාගේ උන්නතියක් ඇති කරන්නේ නැහැ.

ලෝක ස්වභාවයටත් මිනිස් ස්වභාවයටත් පිටතින් යන්නා වූ සැලසුමක් සාර්ථක වූ බවක් කිසිවිට ලෝක ඉතිහාසයේ දකින්නට බැරි දෙයක්. ඒ නිසා හැමෝටම හරියන සැලසුමක් හදන්න තමන් දන්නවා යැයි සිතන්නෙක් මුලාවක සිටින්නෙක්. සාර්ථක ක්‍රමය අඩුපාඩු හදාගන්නට උදව් කරමින් උවමනාව ඇති ඒකීය පුද්ගලයාට තමන් සොයන්න හඹා යන්න ඉඩ දීමයි.

විශ්වස්තය රකින දෙමාපියෙක් සතු වගකීමක් නම් තම දරුවාගේ ඒ අයිතිය රැකීමයි.

විශ්වස්තය රකින ගුරුවරයෙක් සතු වගකීමක් නම් තමන් වෙතින් ඉගෙන ගන්නා අයගේ ඒ අයිතිය රැකීමයි.

විශ්වස්තය රකින පාලකයෙක් සතු වගකීමක් නම් තම පුරවැසියන්ගේ ඒ අයිතිය රැකීමයි.

එමිල් ලෙසින් ම, ෆ්‍රොයිඩ් ද, වැරදියට කිව්වේ නිවැරදි වූවක් යන්න අවබෝධ කරත නොහැකි අය වැරදි විදියට නිවැරදි වූව ඈඳා ගනිමින් අදහස් ප්‍රකාශ කරනවා.

ලංකාවේ ඉන්නා “රටේ දැනුම් සම්භාරයේ කොඳු නාරටිය වන් සරසවි ඇදුරුතුමන්ලා” යැයි තමන් විසින් ම ලියවා ගන්නා අය “යුරෝපයේ පුනර්ජීවනය වුනේ සම්භව්‍ය විශ්ව විද්‍යාල හරහා ගොඩනැගුනක්” යැයි සිතති. ඉතිහාසය ද හදාරා ඇත්තේ අනුන්ගේ නිර්දේශ නිසා ඒ අයට වැරැද්දක් කියන්නත් බැහැ!!!

නමුත් එසේ කියන්නේ නොදන්නාකම නිසා ද? නැත්නම් ඒ තමන් විසින් විශ්වස්තය රැකිය යුතු සිසු පරපුර ඇනොමී විඩාවට ලක් කරත හැකි තම ආධිපත්‍යය අඩුවෙනවාට අකමැත්තෙන් ද?

කුසලතාවය අගයන දේශයක, පීඩිතයන් පාගා ගෙන ලොව රජයනවා යැයි හංවඩු ගසන ඇමෙරිකාව කුසලතාවන් වැඩි වර්ධනයට පමණක් නොව ගල්තාර වත් කරන අයටත් නොබෙල් තෑගි ලද අය ඉන්නා සම්භව්‍ය විශ්ව විද්‍යාල වලින් සහතික පිරි නමති.

ලෝකයේ ඕනෑම විශ්ව විද්‍යාලයකින් පිරිනමන සහතිකයකින්, එය ලැබුනේ උපාධි පිට උපාධි ඇති ආචාර්යවරුන්ට වේවා, සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කරන අයට වේවා, සිමෙන්ති වත් කරන්නන්ට වේවා සහතිකයේ නම ඇත්තාට ඊට කුසලතාවයක් නැත්නම් සහතිකයෙන් ඇති වැඩක් නැත. සහතික දෙන මුලාවෙන් අනුන් පීඩනයට පත් කරමින් තම ආධිපත්‍යය තහවුරු කරගන්නා ගුරුවරුන් විසින් ඔවුන් රැකිය යුතු විශ්වස්ත වගකීම රකිනවා දැයි විමසිය යුත්තේ ඒකීය පුද්ගලයා විසිනි.

පැටියාට හොඳ ගැන කියාදෙන්න රැලේ යන දෙමාපියන් දනිති. රැලේ යන පැටියා දෙමාපියන්ට වඩා වෙනස් විදියකින් කිසිත් සිය ජීවිත කාලයේ දී කරන්නේ නැත. කරන්නට ඌට සිතෙන්නේ ද නැත. ඒත් රැලේ යන තවත් සතෙක් නෙමෙයි සිතන්න පුළුවන් මොළයක් ඇති මිනිස් සත්වයා!!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. ravisandu said, on මැයි 25, 2012 at 12:23 ප.ව.

    ” රටේ දැනුම් සම්භාරයේ කොඳු නාරටිය වන් සරසවි ඇදුරුතුමන්ලා ”….:) 🙂

    ලංකාවට අද වෙලා තියන දේ ගැන අදහසක් ගත්තෑකි මේ වාක්‍යයෙන්ම…

    කොඳු නාරටිය කරන්න ඕන තමන්ගෙ දැනුම රටේ දියුණුවට යොදවන එකය කියන එක තේරුම් නොගන්න එක තමයි තියන ප්‍රශ්නේ….

  2. Gold fish said, on මැයි 26, 2012 at 2:08 පෙ.ව.

    ඒත් රැලේ යන තවත් සතෙක් නෙමෙයි සිතන්න පුළුවන් මොළයක් ඇති මිනිස් සත්වයා!!!!! ?????????

    තාමත් රැලේ යති…..!

    • arunishapiro said, on මැයි 26, 2012 at 9:33 පෙ.ව.

      Gold fish,

      ඔව් ඒත් මල්ලි මිනිස් සත්වයාට රැලේ යෑම සම්පූර්ණයෙන් නවත්වන්නත් බැහැ … මතකනෙ තමන් ගැනත් ලෝකය ගැනත් හොයන ස්වභාවික වූ ප්‍රාජකයක් තියෙන බව. රැලෙන් තම ආරක්ෂාව සඳහා අවශ්‍ය වූ දැනගන්න දේ තියෙනවා. ඒ එක්කම ස්වාධීන උත්සාහයට මං අවහිර කරන රැලේ මෙහෙයුම් තියනවා. තම උන්නතියටත්, රැලේ උන්නතියටත්, අවශ්‍ය ටික තෝරා බේරා ගැනීමට ලැබිලා තියෙන විජට්ටුව තමයි තමන් හිතන්න පාවිච්චි කරන තමන්ගෙ මොළය. සත්තුන්ට එහෙම ඉඩකඩක් උන්ගේ මොළයේ නැහැ. මිනිස් සතා රැලේ යන ගමන් රැල ගැනත් තමන් ගැනත් තම මොළයෙන් සිතා බලන්න හැකියාව ඇත්තෙක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: