අරුණි ශපීරෝ‍ වෙතින්

ඉදුණු කෙසෙල්ගෙඩි වෙළෙන්ඳා හේත්තු වූ පිලුණු ආණ්ඩු

Posted in Uncategorized by arunishapiro on මැයි 29, 2012

කොම්පැණි කිහිපයක් සමඟ ගිවිසුම් හදාගෙන තම උන්නතියත් ඒ ව්‍යාපාරයන්හි උන්නතියත් සලසා ගත් මරේ ලෙන්ඩර් ගැන කළින් සටහනෙන් ලියුවෙමි. මේ පිලුණු ආණ්ඩු සමඟ ගිවිසුම් ගැසූ ව්‍යාපාරිකයෙක් ගැනයි. කොතරම් දක්ෂයෙක් වුවත් ව්‍යාපාරිකයා ආණ්ඩුවකට හේත්තු වීමෙන් ව්‍යාපාරය පමණක් නොව තම ජීවිතය ද අවදානමකට ලක් කර ගනියි. පිලුණු නැති ආණ්ඩුවක් සෙවීම අමෘතය සෙවීමකි. ඒ බව දන්නා නිසයි ආදීපීතෘවරුන් ඇමෙරිකන් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ආණ්ඩුවේ බලය සීමා කර ඇත්තේ.

එක්සත් පළතුරු කොම්පැණියේ ඉතිහාසයෙන් ධනවාදයේ හිතකර පැත්ත ගැන සේ ම ව්‍යාපාරිකයන් ආණ්ඩු වලට හේත්තු වී ලේ උරාබොන තඩියන් වීමේ අවදානම ගැන පාඩමක් ඉගෙන ගත හැකිය.

උඩත් සංචලතාව (upward mobility) සඳහා ධනවාදයේ ඇති ඉඩකඩට පැහැදිලි උදාහරණයක් එන්නේ මෙම Cuyamel පළතුරු කොම්පැණිය පටන් ගෙන එය එක්සත් පළතුරු කොම්පැණියට විකුණු Samuel Zemurray වෙතින්. ඔහු ඇමෙරිකාවට එන්නේ බටහිර රැසියාවේ Kishinev, Bessarabia වලින්. පියා මිය ගිය හෙයින් නැන්දා කෙනෙක් සමඟ ය. ඒ වයස 14 වියේ දී. වසර 1892 දී. ඔහු රැගෙන එන්නේ තම මොළයත් මහත් අපේක්ෂාවන් (ambition) පමණි. ඔහු තම ජීවිතයේ දී ප්‍රථම කෙසෙල්ගෙඩිය දකින්නේ 1893 දී. ඇමෙරිකාවේ කෙසෙල්ගෙඩි ව්‍යාපාරය පටන් ගෙන වසර 20 ක් පමණි. ඖපචාරික (formal) අධ්‍යාපනයක් නොලැබූ ඔහු වයස 18 දී ඇලබැමාවේ කෙසෙල්ගෙඩි ව්‍යාපාරයට එකතු වෙයි.

දකුණු ඇමෙරිකාවෙන් ගෙනෙන කෙසෙල්ගෙඩි ඇලබැමා හා ලුයිසියානා වල වරායන් වලින් ගොඩ බා රටේ විකිණීම එකළ සිද්ධ විය. නැව් වලින් ගෙනෙන කෙසෙල්ගෙඩි වරායේ ගොඩ බා රේල්ලු මඟින් ඇමෙරිකාව තුල ප්‍රවාහනය විය. කොළ පැහැති කෙසෙල්ගෙඩි කල් තබා ගත හැකි නිසා ඒවාට වැඩි ඉල්ලුමක් තිබිණ. දුඹුරු ගෝමර එකක් දෙකක් වැටී ඇති කෙසෙල්ගෙඩි ඊ ළඟට වටිනාකමින් වැඩි වූ ඒවා ය. ගෝමර පහක් හයකට වඩා ඇත්නම් (turnings නමින් හැඳින්වෙච්ච) ඒ අවට සිල්ලර කඩ පවත්වාගෙන ගිය අය හා වීදි වල සැරිසරා විකුණු අය විසින් ඒවා අඩු මිලට මිල දී ගත්හ. දුඹුරු පැහැයෙන් වැඩි ඉදුණු කෙසෙල්ගෙඩි (ripes) වරායේ විසි කරන ලදි. ඒ ඉදුණු පමණක් වූ නරක් වී නැති ඒවා වුවත්, දින දෙක තුනක් ඇතුලත විකුණන්නට දුෂ්කර නිසා ලාභයක් සොයාගත නොහැකියාව නිසයි.

සැමුවෙල් සීමරේ වරායේ විසි කරන කෙසෙල්ගෙඩි ඉක්මණින් අලෙවි කර තම ව්‍යාපාරය සඳහා ප්‍රථම මූල්‍ය සොයා ගනියි.

ඊ ළඟට අඩු මිලට විකුණන කෙසෙල්ගෙඩි වැඩි ඉක්මණින් බෙදාහරින ක්‍රමවේදයක් සොයා ගනිමින් ඔහු තම ප්‍රථම සාර්ථක වෙළඳ ව්‍යාපාරය Cuyamel Fruit Company නමින් පටන් ගනියි. වෑයමේ සාර්ථකත්වය නිසා ඔහු Sam the Banana Man නමින් ප්‍රසිද්ධ වෙයි. වයස 21 දී ඔහු බැංකුවේ ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන්නට සමත් වෙයි.

ඉදී නරක් වෙන්නට පෙර රේල්ලුවෙන් ප්‍රවාහනය කරන කෙසෙල්ගෙඩි තොගය විකුණන්නට ඔහු දුම්රිය යන මඟේ ඉදිරි නගර වල කඩවලට පණිවුඩ යවා දුම්රිය පෙට්ටිය අසලට ඇවිත් මිල දී ගන්නේ නම් ඉතා අඩු මිලට කෙසෙල්ගෙඩි විකුණන්නට යුහුසුළු වෙයි. ලාභ සොයන්නට ඔහු යොදාගන්නේ කාර්යක්ෂමතාවයයි.

සුඛෝපභෝගී ආහාරයක් ලෙසින් සැලකුණු (ලෝකයේ උතුරු රටවල කෙසෙල්ගෙඩි වැවෙන්නේ නැති නිසා) කෙසෙල්ගෙඩිය හැමගේ අතට පත් කරනු පිණිස එල්ලිස් දිවයිනට ගොඩ බහින සෑම සංක්‍රමණිකයකුගේ ම අතට “Welcome to America!” කියමින් කෙසෙල් ගෙඩියක් දෙන්නට කොම්පැණියේ අයෙක්ව යොදයි.

සෙසු කෙසෙල්ගෙඩි කොම්පැණිත් සුපිරි ධනවතුන්ට පමණක් වැඩි ගාණට කෙසෙල්ගෙඩි විකුණනවාට වඩා හැමටම මිල දී ගන්නට හැකි අඩු මිලකට වැඩි කෙසෙල්ගෙඩි සංඛ්‍යාවක් විකිණීමෙන් ලාභ වැඩි කරගත හැකි බව දකිති. ඇමෙරිකාවේ කෙසෙල්ගෙඩි මිල බහියි. කෙසෙල්ගෙඩි අනුභවය වැඩිවෙයි.

ඇමෙරිකාවේ කෙසෙල්ගෙඩි ව්‍යාපාරිකයන් බොස්ටන් වැනි උතුරු පෙදෙස් හි කොම්පැණියේ මූලස්ථානයේ සිට ව්‍යාපාරය කිරීම මුග්ධ යැයි ඔහු සිතුවේය. කෙසෙල්ගෙඩි වැවෙන්නේ දකුණු ඇමෙරිකාවේ ය. ගෙනැවිත් බෙදාහැරීම දකුණේ ය. විශ්ව විද්‍යාල උපාධිධාරීන් වූ කොම්පැණි නිලධාරියෝ වරායේ වැඩියෙන් ගොඩ ගැසෙන ඉදුණු කෙසෙල්ගෙඩි ගොඩවල් දිහා නොබලා වැඩ කරන අයට අණදෙන හැටි ඔහු නිරීක්ෂණය කළේය. කෙසෙල්ගෙඩි ප්‍රවාහනයේ දී ඊට සලකන ආකාරයෙන් එහි ආයුෂ වැඩි කරගත හැකි බව දැක්කේ ය. You’re there, we’re here; Go see for yourself; Don’t trust the report යන්න මූලස්ථානයේ පුටු රත්කරමින් ව්‍යාපාරය ගෙන ගිය අයට කියූ ඔහුගේ අවවාදය විය.

ඔහු කෙසෙල්ගෙඩි වගා ක්‍රමයන් ද අත්හදා බැලුවේ ය. වරණ පෑහීම් (selective pruning), රොන් මඬ බැඳීම, වතුර ගලා ගෙන යාමට අගල් හා ඇලදිය මාර්ගයන්, පතුරු ඇල්ලීම, ගස්වලට උඩින් වතුර දමන ක්‍රම යනාදිය කෙසෙල් වගාවේ දියුණුවට යෙදෙව්වේ ය.

“බැංකු බංකොළොත් වෙයි, ගෑණු දාලා යයි, ඒත් ඉඩම් හැමදාම තියේවි,” යන්න ඔහු විශ්වාස කරන ලද්දකි. එහෙත් ආණ්ඩු යනු ඉඩම් හිමියන් වෙතින් අය කරන බදු වැඩි කරන්නට සමත් වූවක් බව ඔහුට අමතක විය. කම්මැලි ජීවිත ගෙවනා අයටත් ඉඩම් ලැබීම අයිතියක් කියා වෙහෙසී ඉඩම් මිල දී ගත් අයගෙන් උදුරා ඉඩම් නැති අයට දෙන්නට හැකි බලයක් ද ආණ්ඩුව සතු යැයි ඔහුට අමතක විය.

ලාභ උපයන්නට නම් අවදානමක් ගත යුතුය. මෙතෙක් කිසිවෙක් කළ නැති වූවක් කරන හැම විටක ම එය අවදානමක් ගැනීමකි. අවදානම් ගන්නට සිද්ධ වෙන නිසා ව්‍යාපාරිකයෙක් ධනය උපයන්නට කරනා අත්හදා බැලීම් හැම විටම වාසිදායක නැත. පාඩු විඳින්නට සිද්ධ වීම ව්‍යාපාරයක ස්වභාවයයි. පාඩු වලට වඩා ලාභ ඉපැයීමෙන් පමණක් ව්‍යාපාරයක් සාර්ථක වෙයි.

1910 දී ඔහු අක්කර පන්දාහක් හොන්ඩුරාස් හි Cuyamel ගඟ අසලින් මිල දී ගිනියි. ඊට තවත් ඉඩම් එකතු කරන ඔහු තමන් ගත් අවදානම් ව්‍යාපාරික තීරණ සහ ඇමෙරිකාවේ සහ හොන්ඩුරාස් ආණ්ඩුවල බදු තීරණ නිසා සෑහෙන්න ණය වෙයි.

තමන් ගත් තීරණයකින් අලාභයක් සිද්ධ වූ විටක දී එයින් තම උත්සාහයෙන් ගොඩ ඒමට තැත් කරනවා වෙනුවට ආණ්ඩුවේ සහායෙන් පාඩුව පියවා ගන්නට ගිවිසුම් ගැසුව හොත් සිද්ධ වන්නේ තමන්ට ආණ්ඩුව කියන දේ කරන්නට සිද්ධ වීමයි. ඇමෙරිකන් ආණ්ඩුවේ කැමැත්තට පිටු පාන සැමුවලේ සීමරේ Manuel Bonilla නැමති ජනාධිපතිවරයාට එහි පාලන බලය ලබන්නට උදව් කර හොන්ඩුරාස් ආණ්ඩුවෙන් බදු වාසි ලබයි.

ආණ්ඩු තම වැරදි වසාගන්නට උවමනා වූ කල නිතරම ආණ්ඩුවට එරෙහි වූවෙක් දේශද්‍රෝහියෙක් යැයි හංවඩු ගසති. නැත්නම් ආණ්ඩුවලට හේත්තු වී සහන ලබාගත් ව්‍යාපරිකයෙක් සොයා ගැනේ!!! මොළයත් මහත් අපේක්ෂාවත් කරපින්නා ගෙන ආ සැමුවෙල් සීමරේ කිසිදාක කිසිම ආණ්ඩුවකට හේත්තු නොවී සිටියා නම් ඔහු සෑහෙන දක්ෂ ව්‍යාපාරිකයෙක් ලෙසින් ඉතිහාස ගතවනු ඇත.

The Fish That Ate the Whale: The Life and Times of America’s Banana King (2012) ලියන්නේ Rich Cohen.

Ira Stoll විසින් Reason සඟරාවේ ලියූ ලිපිය මෙතැනින්.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. buddie-බුඩී said, on මැයි 30, 2012 at 10:11 ප.ව.

    හොයන්න කියවන්න ඕනේ වගේ මේ පොත 🙂

    • arunishapiro said, on මැයි 31, 2012 at 10:07 පෙ.ව.

      buddie-බුඩී,

      Manuel Bonilla ව ඇමෙරිකන් ආණ්ඩුවට අහු නොවී හංගා ගෙන හොන්ඩූරාස් යවපු හැටි රසවත්. ලියන්නා ඉතා මනාව බස හසුරුවන්නෙක්, මූලාශ්‍ර ද බොහොමයක් ආශ්‍රයෙන් ලියැවුන පොතක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: