අරුණි ශපීරෝ‍ වෙතින්

ස්ට්‍රෝබෙරි දර්ශනයෙන් අලුතින් හදා නොව ඇති දේ විකුණා බිලියනපතියෙක් වූ පෙට්ථර්

Posted in Uncategorized by arunishapiro on මැයි 31, 2012

Petter Stordalen ඇමෙරිකන් නෙමෙයි, නෝර්වේ ජාතික ව්‍යාපාරිකයෙක්. එයා අලුතින් කිසිවක් හදන්නෙ නැහැ. තියෙන දේ විකුණන, නොහොත් එයාගෙ පියා කියා දුන් “ස්ට්‍රෝබෙරි දර්ශනය” තමයි ධනය උපයන්නට උපකාරයට ගන්නෙ. ඊ ළඟට ධනවත් වූ පමණින් මසුරු සිටාණෝ කෙනෙක් වෙන්නෙත් නැහැ. පරිසරයට හා සෙසු මිනිස් හා සත්ව ප්‍රාණීන්ට හිතවාදියෙක් ලෙසින් කටයුතු කරන්නෙක්.

ඇමෙරිකානුවන් වන අපි කොච්චර ගෝරනාඩු කරත්, ඒ එදාට වඩා අද දුෂ්කර වැඩි නිසා, තවම යුරෝපයට වඩා සහ බහුතර ආසියාතික රටවලට වඩා ඕනෑම කෙනෙකුට ඇමෙරිකාවේ ව්‍යාපාරයක් පටන් ගැනීම සහ නියැළීම පහසුයි. යුරෝපයේ හෝටල් 170 කට වඩා තියෙනවා කියන්නෙ, 9200 කට වඩා සේවකයන් ඉන්නවා කියන්නේ සහ නෝර්වේජියන් ක්‍රෝන බිලියන 7-11 ක් අතර ගාණක පුද්ගලික වත්කමකට හිමිකම් කියනවා කියන්නෙ ලෙහෙසි පහසු ජයක් නෙවේ. ඒවා තියෙන්නෙ පෙට්ථර්ට.

පෙට්ථර් උපදින්නෙ 1962 දී. තාත්තාගේ සිල්ලර බඩු කඩයේ අවුරුදු දහයේ සිට වැඩ කරන ඔහුට වයස අවුරුදු දොළහේ දී ස්ට්‍රොබෙරි විකුණන වැඩේ පැවරෙනවා. තරඟකාරී බවක් ස්වභාවයෙන් ම තිබි අයෙක් වූ පෙට්ථර් පාසැල් නිවාඩුවේ දී එනම් ගිම්හාන කාලයේ දී තමන්ට විකුණන්නට ලැබෙන ස්ට්‍රෝබෙරි වල ඇද කුද නැත්නම් වැඩියෙන් සංඛ්‍යාවක් විකුණන්න පුළුවන් යැයි පියාට මැසිවිලි කියනවා. පියාගේ අවවාදය තමයි “තියෙන බෙරි විකුණන්න, ඒ තමයි ඔයාට විකුණන්න හැකි එකම බෙරි -sell the berries you have, they are the only berries you can sell” කියලා. තමන්ට ලැබිලා තියෙන අවස්ථා වලින් හැම විටම උපරිම ප්‍රයෝජනය ගන්න ඕනා කියන එයාගෙ ව්‍යාපාරික දර්ශනයට ‘ස්ට්‍රෝබෙරි දර්ශනය’ යන නම වැටෙන්නෙ එහෙමයි.

Norwegian School of Marketing වෙතින් ඉගෙනුමක් එකතු කරගන්නා ඔහු වයස 24 දී නොර්වේ වල ලාබාල ම වෙළඳ සංකීර්ණ කළමනාකරුවා වෙනවා. ඔහු විකුණන්නෙ අනිත් අයගේ නිෂ්පාදන සහ සේවා. අනිත් අයගේ කොම්පැණි වල වැඩ කරන ඔහු 1996 දී තමයි තමන්ගේ හෝටල් සඳහා ආයෝජනයක් කරන්නෙ. Choice හෝටල් දාමය ඇමෙරිකාවේ මේරිලැන්ඩ් වල වූවක්. එහි දාම හෝටල් ලෙසින් ස්කැන්ඩිනේවියානු රටවල හෝටල් අටක් පටන් ගන්න වෑයමකට තමයි ඔහු අත දාන්නෙ. ඉන්පසු ඔහු ස්වීඩනයේ හෝටල් දාමයක් ද, නෝර්වේජියන් හෝටල් දාමයක් ද මිල දී ගන්නට සමත් වෙනවා. Choice හෝටල් පටන් ගත් මුල් අවුරුදු තුනේ දී සෑම සති දෙකකට ම සැරයක් හෝටලයක් සහ හැම දින දහයකට ම සැරයක් සේවයට 50 දෙනෙක් බඳවාගන්නවා. ඒත් සමහර අය තාම හිතාගෙන ඉන්නෙ රස්සාවල් හදන්නෙ ආණ්ඩුව කියලයි, මෙහෙත් එහෙමයි!!!

පෙට්ථර්ගේ කොම්පැණියේ සේවකයන් තුල එයා වර්ධනය කරන්නෙ ජවයෙන්, ධෛර්යෙන් හා උද්‍යෝගයෙන් පිරි හැදියාව. වාර්ෂික හේමන්ත රැස්වීමක් පවත්වන ඔහු කොම්පැණියේ සේවකයන් සතුටු කරන්නට ඒ සඳහාම ලියැවෙන සංගීතය, ජනප්‍රිය අය සහ ඔටුවෝ පවා ගෙන්වනවා. එහි දී ඔහු සේවකයන් දිරි ගැන්වීම සඳහා කරන දේශනය සැලකෙන්නේ ආගමික වෑයමක ඇති සිත් කුල්මත් කරන ස්වභාවයක් හා සමානව. ව්‍යාපාර කරන ආගමික නායකයෝ නම් එහෙම කියනවාට කැමති වෙන එකක් නැහැ අනිවාර්යෙයන් ම!!!

ඒ වගේම තමන් හා තම සේවකයන් ද සමාජයේ වගකීමකින් කටයුතු කරන අය බව වීම ඔහුගේ තවත් අභිප්‍රායයක්. පරිසරය ගැන මහත් අවධානයක් යොමු කරන පෙට්ථර් ඒ සඳහා වූ වෑයම් රාශියක නියැළෙන්නෙක්. දේශපාලනඥයෝ කරන්නෙ කොටසකගේ සල්ලි බලහත්කාරයෙන් උදුරා ගෙන සමාජයට පරිසරය ආරක්ෂා කරන්න ඕනෑ යැයි කතා පවත්වලා, නීති දාලා තමන් සුපිරි යාන වාහන ගණනාවක් පරිහරණය කිරීමෙන් පරිසරයේ අපහරණයට දායක වීම. ධනවත් ව්‍යාපාරිකයෙක් වූ පෙට්ථර් කරන්නේ අනුන්ට නීති දාන්න යන්නෙ නැතිව තමන් විසින් වගකීමෙන් කටයුතු කර ආදර්ශයෙන් පෙන්වීම.

පෙට්ථර් පාරිභෝගිකයා සතු බලය අගය කරන්නෙක්. එයාගේ උත්සාහයක් තමයි Greenudge නම් සංවිධානය. පාරිභෝගිකයන්ටත් ව්‍යාපාරිකයන්ටත් පරිසර හිතවාදීව වැඩ කරන්නෙ කොහොම ද කියා වටහා ගන්නට හැකියාව ලබා දීම තමයි එහි අරමුණ. හිතන්න බැරි අයට කියලා දෙන්න අනුන්ගේ සල්ලි වලින් පෝෂණය වෙන විසල් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ව්‍යාපාරිකයන් ධනවත් වූවාම ඔවුන් ඒ වගකීමත් බාර ගන්නා බව පැහැදිලිව පෙන්වා දෙන සාධකයක් මේ.

ධනවාදයේ අගය දන්නෙක් නිසා තමන් ධනවාදියෙක් යැයි කියාගන්නට බය නැති වූවෙක් … අනුන්ගේ ධනය බෙදා හැරීමට නොව තමන් වෙනුවෙන් ධනය එක්කාසු කිරීමට බිය නැති අයෙක් … අද යුරෝපයෙන්?!!!! යුරෝපයේ ආණ්ඩු බංකොළොත් වෙලා තියෙද්දී, යුරෝපීය වෙළඳ ව්‍යාපාරයන් බොහොමයක් අලාභ උපයන සමයක පෙට්ථර් ලාභ උපයන්නෙක් වීම පුදුමයක් නෙමෙයි.

ඒත් නෝර්වේජියානු සමාජවාදීන්ට හරි සිත් තැවුලක් ස්ව උත්සාහයෙන් පෙට්ථර් ධනය ඉපැයීම, ඔවුන් ඒක හඳුන්වන්නේ සමාජ ගැටළුවක් ලෙස. සමාජවාදීන් කැමති හැමෝම දුප්පත් වෙලා ඉන්නවා දකින්න, කිසිත් ධනයක් නැති වූවෙක් තම මහන්සියෙන් විශාල පෝසතෙක් වෙනවා දකින්න නෙමෙයි. එහෙම පුළුවන් යැයි කොතරම් වාරයක් ඔප්පු කර පෙන්වුවත් පිළිගන්න කැමති නැහැ. පෙට්ථර් ධනවතෙක් වූ කාලය තුල දී නෝර්වේ වල සාමාන්‍ය පඩි වැදගත් ප්‍රමාණයකින් ඉහළ ගිය බව දකින්නත් සමාජවාදීන් අකමැතියි. ඔවුන් දකින්නේ මහන්සි වූ ධනවතා අනිත් අයට වඩා වැඩියෙන් විශාල ධනයක් උපයා ගත්තා බව පමණයි.

මේ ගැන මාගරට් තැචර් කියන කතාව පහළ විඩියෝවෙන්. සමාජවාදීන්ට කොතරම් පෙන්වා දුන්නත්, කොතරම් ඔප්පු කළත්, තමන්ගේ මතවාදයේ අඩුපාඩු පිළිගන්නේ නැහැ. මතවාදය කුමක් දැයි වටහා ගෙන නැති නිසා වෙන්නැති!!!!

පෙට්ථර් වෙනස අගයන්නෙක්. තමන් විසින් අලුත් දෙයක් සොයා ගෙන නොව ඔහු වෙනසක් කරන්නෙ තියෙන දේ හැකිතරම් කාර්යක්ෂම ලෙසින් කිරීමේ ක්‍රමවේද සොයා ගැනීමෙන්. අලුත් නිර්මාණ බිහිකරන්නට වෙනස් විදියට හිතන්න බැරි වුනාට තියෙන නිර්මාණ හැමදාම විකුණන විදියට විකුණන්නෙ නැතිව වෙනස් විදියකින් විකුණන්න හැකි යැයි පෙන් වූ අයෙක්. තමන් විසින් අනුන් යටතේ සේවය කර ලබාගත් වේතනයෙන් එකතු කරගත් මූල්‍ය්‍යකින් ආයෝජන අවදානමක් ගත්තෙක්. මහත් ධනයක් සිය තරුණ වයසේ දී ම උපයා, ඕනෑම කෙනෙකුට උවමනාවක් ඇත්නම්, කුසලතාවයක් ඇත්නම්, ඊට වෙහෙසක් ගන්නේ නම් ධනවත් විය හැකියැයි ලොවට ඔප්පු කරපු අයෙක්.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. buddie-බුඩී said, on මැයි 31, 2012 at 10:14 පෙ.ව.

    බූඩිට, ස්ට්‍රෝබෙරි දර්ශනය කිව්වම් මතක් උනේ මල්බෙරි ටීම් එක 🙂

    • arunishapiro said, on මැයි 31, 2012 at 10:18 පෙ.ව.

      buddie-බුඩී,

      අපෝ මතක් කරන්න එපා මල්බෙරි ටීම් එක … එයාල ඒ දවස්වල කියපුවා පටිගත කරගෙන තියෙන කෙනෙක් දැන් ඇහුවොත් දේශපාලනඥයෝ වනාහී කියන්නෙ කොහොම ද? කරන්නෙ කොහොම ද? කියන එක මනාව පැහැදිලි වේවි!!!!

  2. Gold fish said, on ජූනි 2, 2012 at 4:44 පෙ.ව.

    උනන්දුකාර මිනිහෙක්..!!!

  3. ravisandu said, on ජූනි 2, 2012 at 6:48 පෙ.ව.

    අයෝමය කත… The Iron Lady……. මම ඉතාමත් ප්‍රියකරන දේශපාලනඥයෙක් ඇය, අවස්ථාවට අනුව දැඩි තීරණ ගන්න ඒ වගේම නිර්භයව අවසාන ප්‍රතිඵලය ලැබෙන තෙක් ඒ තීරණ ක්‍රියාත්මක කරන්නට නොපැකිලෙන , කිවයුතු දේ කෙලින්ම කියන කාන්තාවක්…

    To cure the British disease with socialism was like trying to cure leukaemia with leeches.

    එතුමියගෙ මම කැමතිම කියමනක් මේක..හෙහ්, හෙහ්, ආයෙ නෑ කෙලින්ම ඔලුවට පොල්ලෙන් ගැහුව වගෙ කියල තියනව තේරුම් ගන්න කෙනෙකුට තේරුම් ගන්න 😀

    • arunishapiro said, on ජූනි 2, 2012 at 9:32 පෙ.ව.

      ravisandu,

      ඉන්නවා නේද අපිට ප්‍රිය කරන්න පුළුවන් දේශපාලනඥයන් අතලොස්සක් විතර 😀

      සිංහලෙන් කියවන අපි ළඟ ඇති ලෙඩ වලට බෙහෙත් වසර 2600 කට කළින් ඉඳලා තිබුණත් ඒවා පාවිච්චියට නොගෙන තාමත් ඉන්න හැටි නිසා ඉතින් එංගලන්තෙ සුද්දන්ට තාමත් කරගන්න බැරි වෙච්ච එක ගැන කුමන කතා ද?!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: