අරුණි ශපීරෝ‍ වෙතින්

අද මිනිසා කන්නේ ඇස් පිනවන්නට ද?

Posted in Uncategorized by arunishapiro on ජූනි 2, 2012

දඩයම් කර නොගත්තොත්, ඵලයක් නෙළා නොගත්තොත්, අලයක් හෝ මුලක් හාරා නොගත්තොත් බඩ ගින්නේ ඉන්නට ආදී මිනිසාට සිද්ධ විය. එහෙත් අයෙක් ගින්නක් ගහන්නට දත්තෙක් නිසා, අයෙක් ඵලයක් නෙළන්නට උස් රිටක් හදාගන්නට දත්තෙක් නිසා, අයෙක් අලයක් මුලක් හාරන්නට ගල් පතුරක් හදා ගන්නට සමත් වූ නිසා තමන්ට පමණක් නොව කිහිප දෙනෙකුට සෑහෙන්න කෑම සොයන්නට මිනිසා ඉගෙන ගති.

තමන් හැම දෙයක් ම ඉගෙන ගන්නවාට වඩා ඒ ඒ දේ ට හපන් කමක් ඇති අය ඒ ඒ දෑ හි නිරත වීමෙන් කල්ලියේ හැමෝටම වඩා වාසි ලැබේ යැයි දැක්කහ. අළුත් සොයාගැනීම් බහුල විය. මිනිස් ජීවිත සරු වූහ.

අද දඩයම් කරන්නට අවශ්‍ය නැත. “දඩයමේ” යන අය සත්ව මාංශ කල් තබා ගත හැකි පරිදි පැකට් කර දෙති. සමහර විට පැකට් එකෙන් එළියට ගත් විගස කන්නට හැකි පරිද්දෙන් ද පිළියෙල කර දෙති. අද තමන් ඉන්නා පරිසරයේ ස්වභාවිකව නොතිබු ආහාර වවා ගන්නටත්, හේමන්තයේ දී සහ වාසස්ථානය පැත්තේ වැවෙන්නේ නැති ඵල ආහාරයටත් මිනිසාට අවස්ථාව ලැබී ඇත. අද අනුභවයට අලයක් මුලක් හාරන්නට අවශ්‍ය නැත්නම් තව වසර සියයකින් පරිහරණයට ගන්නට ඒවා ගබඩා කර තැබීමට මිනිසාට හැකිය.

අද අයෙක් බඩගින්නේ ඉන්නේ නම් ඒ හැමටම සුව සෙත සලසන්නට ඉදිරිපත් වූ සැලසුම්කරුවන්ගේ අකාර්යක්ෂමතාවයන් නිසා මිස ලෝකයේ ඇති ආහාර අහේනියක් නිසා නොවේ.

එන්න එන්න ම ආහාර සුලබ හා අඩු මිලට ගත හැකි ලෝකයක කාලාන්තරයක් ජීවත් වුවත් එය දකින්නට බොහෝ අය අසමත් ය. කුසගිනි නිවන්නට නොව හෙට කෑමක් නොලැබේය යන මොළයෙන් කන්නේ ඒ නිසා විය හැකි ද?!!!

ඉංග්‍රීසි භාෂාවේ එන ව්‍යාවහාරයකි “ඔබේ ඇස් ඔබේ බඩට වඩා ලොකුයි” -your eyes are bigger than your stomach යන්න. ඒ කෑම මේසයක දී තමනට කන්නට බැරි තරමට පිඟානට කෑම පුරවා ගන්නා අයට කියන්නකි.

ස්ලෝවැකියාවේ (Slovakia) ව්‍යවහාරයක් තමයි “බඩ පිරුණත්, ඇහැ තවත් කන්න සමත්” යන්න -the eye would eat, but the belly is full.

මොළයෙන් හිතන්නට හැකියාවෙන්, අද ඉස්මුරුත්තේ යන්න කෑවේ නැතුවාට හෙටත් කන්න තියේවි යැයි කියා සිතන්නට හැකියාව තිබුණත්, එය පාවිච්චියට නොගන්නා අවුල් වූ මොළයෙන් ජීවත්වන අය ලොව බොහෝ ය.

පසුගිය දා නිව් යෝර්ක් නගරයේ නගරාධිපති අවුන්ස 16 ට වඩා විශාල, සීනි දැමූ සෝඩා පාන තහනමක් යෝජනා කළේය. රටක ආර්ථික අවපාතයක් ඇත්නම්, රටේ මිලියන 12.7 ක් රැකියා විරහිත නම්, රටේ තරබාරුකම වැඩි යැයි කියා ඊට සැලසුම් ගහන්නට වෑයමක් ඇයි? කන්නට ජීවත් නොවී, ජීවත්වෙන්නට කාපු නිසා තරබාරු වූ අයෙක් ලොව සිටිනවා ද?!!!

බැටළුවන් මෙන් මිනිසුන් දක්කා ගෙන යාමට ආණ්ඩු විසින් ගහනා සැලසුම් නිසා බහුතර මිනිසාට තම මොළයෙන් සිතිය හැකියාව නැති වී ගොස් ය. කිසිදාක එසේ කරන්නට සමත් වූ බවක් ඔප්පු කර නැතත්, හැමටම සුව සෙත සලසන්නට පොරොන්දු වෙන ආණ්ඩුවලට හිතන්නට බැරි මිනිසා රැවටෙයි. මහන්සි වී වැඩ කරනා අයගෙන් බලහත්කාරයෙන් උදුරා ගන්නා බදු වලින් පෝෂණය වෙන ආණ්ඩු වලට, සැලසුම් ගසා, හිතන්නට බැරි අයව දක්කා ගෙන යාම පහසුයි. එසේ කරමින් උදුරා ගන්නට බදු නැතිවී ආර්ථිකයක් කඩා වැටෙන තුරු බලයේ සිටීම ද තවමත් පහසුයි. කුසගිනි නිවන්නේ ආහාර නිෂ්පාදනය කරන අය නොව සාධාරණව බෙදා හරින්නට තම බලය පාවිච්චි කරන ආණ්ඩුව යැයි විශ්වාසයේ සිතන්නට බැරි මිනිසා එල්බ සිටියි.

ආහාර වගාවට, සත්ව පරිපාලනයට පමණක් නොව නන් ක්‍රම වලින් අලෙවියට ද සමත් මොළය වෙහෙසන මිනිසා දැන් සෑහෙන කාලයක සිට කෑම ඉදිරිපත් කරන්නේ කුසගිනි පිනවන්නට පමණක් නොව ඇස් පිනවන්නටත් ය.

කන්න හැකි දේවල් ලොව බහුල නිසා කුමක් කන්නේ දැයි ගැටළුවකි. කොතරම් කන්නේ දැයි ගැටළුවකි. කෙසේ කන්නේ දැයි ගැටළුවකි. වඩේ වලට ඉස්සෝ දමා ඉස්සො වඩේ යැයි විකුණති. පාන් වලට මස්, මාළු හා එළවළු ඇතුල් කර විකුණති. පාන් කැමති නැත්නම් කේක් කෑ හැකිය. කේක් අකමැති නම් කිරිටොපි කෑ හැකිය. ගසකින් කඩාගත් අඹරැල්ලා ගෙඩි වලට සීනි එකතු කර බ්ලෙන්ඩරයෙන් ගසා රසම රස විදියට අඹරැල්ලා ජූස් බොන්න හැකිය!!!

අද ගැටළුව ආහාර නිෂ්පාදනය නෙවෙයි. අද ගැටළුව ඇති ආහාර තවත් රසවත් ලෙසින් ඇස් පිනවන්නට ඉදිරිපත් කරන්නේ කෙසේදැයි කියාය. පළතුරු වලින් කන්නට හැකි මල් පොකුරු හැදීම නිදසුනකි!!!

හිතන්න හැකි මොළය සතු මිනිසාගේ (එයාට ප්‍රමාණවත් තරම් මුදල් හදල් උපයාගත හැකි නිසා) සතුටු වෑයම මේ කුඩා මිනිස් සිරුර රකින්නට ඇතුල් කරත හැකි ආහාර ප්‍රමාණය, තමන් ඉදිරියේ වූ අනේක විධ රසවත් තෝරාගැනීම් අතරින් තෝරා බේරා ගැනීමයි.

බැටළුවන් සේ ආණ්ඩු සැලසුම් වලින් තම ජීවිත සමෘද්ධිමත් වෙනවා යැයි සිතනා අය බහුතරය වෙද්දී ඔවුන් තම ආශාවන් මොනවා දැයි නොදනිති. අනුන් කියන දේවල් හඹා යන්නට මුදල් හදල් නැත. කාලෙකට ආණ්ඩුව මෙසේ කන්න යැයි කීම නිසා එසේ කා තරබාරු වෙති. එහෙත් ඊ ළඟ කාලෙට ආණ්ඩුවක් විසින් අවුන්සය 16 ට වඩා ලොකු සීනි සෝඩා පාන තහනම් කරපු නිසා ඒ තරම් ප්‍රමාණයක් නොබී සිටිනවා ද? නැත්නම් අවුන්ස 16 යේ සීනි සෝඩා පාන තුනක් අරගෙන බොයි ද?!!!!

මතට තිත තියන්න බැහැ රෙගුලාසි වලින්. මිනිසාට මොළයෙන් හිතන්න හැකියාවට ඉඩ දුන්නොත් පමණයි එයාගෙ මොළය විචාරයට සවන් දෙන හුරුවක් ඇතිකර ගන්නේ. නීති පනත් ගෙනැවිත් රෙගුලාසි වලින් හිතන හැකියාව අවුල් කළාම සීනි සෝඩා තමනට අවශ්‍ය ද නැද්ද ද යන්න හිතන හැකියාවට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සීනි සෝඩා පානයේ අවුන්ස ගණන සීමා කළාට වැඩක් වෙන්නෙත් නැහැ. ඊ ළඟට ඒ සැලසුමේ වැරැද්ද වහගන්න එක් කෙනෙකුට සෝඩා පාන එකකට වඩා විකුණන එකත් නතර කරයි ද?!!!

නිව් යෝර්ක් වැසියන් ප්‍රාන්තය අත්හැර දමා යන්නෙ “අපි දිගු කාලයක් තිස්සේ සිට කරන මොනවා හරි වැරැද්දක් නිසා වෙන්නැති” -clearly we’ve been doing something wrong for a long time කියන්නේ E. J. McMahon. එන අයට වඩා යන අය වැඩියි (මිලියන 1.1 ක් ප්‍රාන්තය අත්හැර ගිහින්); වැඩියෙන් ම නිව් යෝර්ක් නගරයේ පදිංචියට එන්නෙ පිටරට වලින් එන සංක්‍රමණිකයෝ (ආසන්න වශයෙන් 690,000 ක්) ඒ, ඒ අය දාලා එන රටවල් වලට වඩා තාම ඇමෙරිකාව හොඳ නිසා වෙන්නැති!!!!!!

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. vishvanatha said, on ජූනි 2, 2012 at 10:14 පෙ.ව.

    කතාව ඇත්ත.මිනිස් මොළය මිනිසා විශ්වය පුරාම ගෙන යාවි.අතමුන් ලෝක විනාශයක් ගැන කීවත් මට නම් පේන්නෙ ලෝකය ස්ථාවර වීමක්.ඉදිරියෙදි නැනෝ තාක්ෂනයෙන් රොබෝ තාක්ෂනයෙන් විශාල විප්ලවයක් කරාවි
    http://jayavasana.blogspot.com/

    • arunishapiro said, on ජූනි 3, 2012 at 7:40 පෙ.ව.

      vishvanatha,

      එදා හිමිහිට පැතිරිලා ගිය දැනුම බෙදා ගැනීම අද වේගයෙන් පැතිර යනවා. ඒ නිසා ආණ්ඩු වලින් කොතරම් රෙගුලාසි ගෙනැවිත් අවම කරන්න හැදුවත් මිනිසා තමන් ඉන්නේ කොහේදැයි, අයිති වෙන්නේ කුමන කොට්ඨාශයකට දැයි සීමා නැතිව තොරතුරු ලොව එකිනෙකා හා හුවමාරුවෙන් වැඩියි. නැනෝ හා රොබෝ තාක්ෂණ විතරක් නෙමෙයි අලෙවිකරණය, කෘෂිකර්මය, චිත්‍රපටි හා සංගීතය යනාදී හැම පැත්තකින් ම මිනිස් උන්නතිය සඳහා වැඩ කන්දරාවක් සිද්ධ වෙනවා. එහෙම වෙන්නෙ නැති එකම අංශය තමයි දේශපාලනය!!! ඔවුන් විතරයි තවමත් ඉන්නෙ එදා වගේ ම අදත් පාලන බලය අල්ලා ගන්නට දත කන මානසිකත්වයක 😦

  2. Amarasinghe Sujatha said, on ජූනි 2, 2012 at 12:52 ප.ව.

    අපි නං එක්ස්ට්‍රා ලාජ් ඇඹරැල්ලා ජූස් තාමත් හදනවා. අලුත් ඇඹරැල්ලා වාරයක් එන්නෙ.

  3. Nihal Gurusinghe said, on ජූනි 2, 2012 at 4:48 ප.ව.

    මා මේ ලියන දෙය අරුණිගෙ ලිපියට ඌණ පූරණයක් හෝ
    සාධාරණ කමෙන්ටුවක්ද නොවේ.

    අද මිනිසා කන්නේ ඇස් පිනවන්නටද ? පනහට පනහ.
    කුලිනරි ආර්ට් කියා දෙයක් අද ඇත්තේ ඒ නිසාමයි.

    අද කෑමට ” කොළ පාට” යමක් නෑ කියනවා අපේ
    එක්කෙනා නිතරම කියනවා මට ඇහිල තියෙනවා.
    ඈ ඉන් අදහස් කරන්නේ කෑම පිඟාන වටේට මල්ටි
    කලර් වෑංජන ඇත්නම් හිත පිරෙන බවක් මිස ගුනා’ගුන
    නොවේ.

    සුද්දෙකුගේ විවා මගුල් උත්සවයකට ආරාධනා ලැබ
    ගිය අපිට කෑමට තිබුනේ සැලඩ් වර්ග පමණයි.
    හරියටම මල් පාත්තියක් වගේ. ඇසට නම් කෑම ලැබෙන්න
    ඇති. ඒත් බඩ පිරුනේ නැහැ. ඒකයි මම කීවේ පනහට පනහ
    කියල.

    • arunishapiro said, on ජූනි 3, 2012 at 8:08 පෙ.ව.

      Nihal Gurusinghe,

      ඇස පිනවන්න කෑම කන්නෙ බඩවල් පිරිලා තියෙන අය. එක වේලක් මඟ හැරිලා ගියාම තුන් වේලක් කන්න පුළුවන් කෙනා ඇත්තෙන්ම කුසගින්නේ ද?!!!

      ආහාරයක් ඉදිරිපත් කරන ආකාරය හා ආහාර ගැනීමේ දී බඩ පිරුණත් ඇස් වලින් කෑම දකින නිසා තවත් කෑම කනවා. අතීතයේ දී අමු මස් කෑල්ලක් කාපු මිනිහා ඊට පස්සෙ ඒක පුළුස්සා ගෙන කෑවා. ඊට පස්සේ ඒක ලස්සනට පිඟානේ තියලා ඇස පිනවන්නට ඉදිරිපත් කළා. බඩගිනි දැනෙන වේලාවක අපි කෑම ලස්සනට පිඟානෙ දාන්න යන්නෙ නැහැ. ඉව්වා, බෙදා ගත්තා, කෑවා. ඒත් බඩගිනි නැත්නම් …. හැම වේලක් ම බඩ, ඇස්, හිත පිරෙන්නත් එක්ක කන්න පුළුවන් එක්කෙනා ලස්සන කෑම පිඟානක් හදන්නෙ පිරිලා තියෙන බඩට, ඇස් වලට, හිතට කන්න දෙන්නයි. අද වැඩියෙන් ලෝකයේ වෙන්නෙ ඒක.

      වත්සලා හරි, ඒ ගැන නොදැන කිව්වත් … කෑම පිඟාන වටේට මල්ටි කලර් වෑංජන තියෙනවා නම් ඒ පිඟානේ තියන ආහාර ගුණයෙන් ද වැඩියි.

      මමයි යාළුවෙකුයි ජර්මනියේ දී විශ්ව විද්‍යාල ශිෂ්‍ය කුස්සියක කට්ලට්ස් හැදුවා එකෝමත් එක කාලයක. අපි දෙන්නාට අමතරව කුස්සියේ හිටියේ ජර්මන්කාරයෙක් එයාගෙ කෙල්ලට ඩිනර් හදන. අපි කට්ලට්ස් හදන්න ගිය කාලය හා සමාන කාලයක් අරගෙන එයා හැදුවේ සැලඩ් එකක්. වයින් බෝතලෙකුත් එක්ක ඒක තමයි එයාලගේ රාත්‍රී ආහාරය වූයේ. අපි පිට ගෙදරකට යනවා නම් කන්න ආරාධනාවක් ලැබිලා එයාල දෙන ඒවා කන්න ඕනනේ.

  4. buddie-බුඩී said, on ජූනි 2, 2012 at 10:34 ප.ව.

    මේකෙත් ඇත්තක් තියෙනවා, ඒත් සමහර කෑම පිටින් බලනවාට වඩා රහයි, ඒක නිසා බූඩි නම් කාලම තමා කෑමට මුල් තැන දෙන්නේ. හැබැයි කෑම ගොඩාක් අතරින් එකක් තෝරාගන්න නම් ඉතින් පෙනුම ගොඩාක් වැදගත්. ඊට අමතරව නමත් ගොඩාක් වැදගත් වෙනවා. හැබැයි මේ ප්‍රශ්න නෑ කාලා බලලා කෑම තෝරගන්න තියෙනවා නම්, මොනවා උනත් බූඩිගේ සිත්ගන්නේ ගොඩාක් පාට වලින් පිරුණ කෑමක් නම් එය. කොල රතු හා කහ, වැඩි පුර කොල පාට හා රතු පාට දෙකම අඩංගු කෑම වලට නිතැතින්ම සිත යනවා, එත් බුද්ධිය හැම තිස්සෙම මතක් කරන්නේ “පෙනුමෙන්ම කෑම මනින්න එපා” කියලා 😀

    • arunishapiro said, on ජූනි 3, 2012 at 8:16 පෙ.ව.

      buddie-බුඩී,

      ගොඩක් පාට වලින් පිරුණ කෑම පිඟානක ඇති සම්පූර්ණ පෝෂ්‍ය ගුණය වැඩියි. පාට පහෙන්, රතු, ඔරේන්ජ්-කහ, කොළ, දම්පාට සහ සුදු යනාදියෙන් වූ ආහාර හැම දෙයක් ම කන එක්කෙනා බත් ගොඩක් හෝ වම්බටු පමණක් හෝ බණ්ඩක්කා පමණක් හෝ කන එක්කෙනාට වඩා පෝෂ්‍ය්‍යක් ලබනවා. ඉව්වාට පස්සෙ නම් විශේෂයෙන් හොදි වර්ග පෙනුමෙන් මනින්න අමාරුයි!!! මොළයට සවන් දෙන්න ඕනෑ අපි. පිටින් දාගත්ත විශ්වාසයන් වලින් අවුල් වෙලා නැතිවිට මොළය හැමවිටම ඒකීය පුද්ගලයාගේ සිරුරට අවශ්‍ය වූව කන්න යැයි උවමනාවක් ඇතිකරනවා. හිටපු ගමන් කොළ මැල්ලුමක් කන්න හිතෙන්නේ ඒකයි. සවන් දෙන්න පුරුදු වීම තමයි අපහසු. මොකද පිටින් දාගත්ත වෙනත් දේවල් වලින් කැළතිලා (ආදරවන්තයින්ගේ දිනයේ චොක්ලට් කියා වගේ!!) ආශාව ද නැත්නම් අවශ්‍යතාවය ද යන්න වෙන්කර තෝරා ගැනීම අපහසුයි.

  5. vishvanatha said, on ජූනි 3, 2012 at 8:43 පෙ.ව.

    මා දුටුවා බ්‍රිතාන්‍ය පර්යේශකයන් සොයාගැනීමක් කරලා තියනවා.මොළ අතර සන්නිවේදනය කිරීමක්.හැබැයි 2009 දි මේ ප්‍රවෘත්තිය ආවට පස්සෙ ඉන්ටෙර්නෙට් එකේ මොකුත් තවම දැක්කෙ නෑ.මේක සාර්ථක වුනොත් භාෂාව අනවශ්‍ය මෙවලමක් වෙයි,එවිට මිනිසුන් අතර ඇති හැම භේදයක්ම නැති වෙලා එකම මිනිස් ජාතියක් බිහිවේවි.ඒ වගේම කෙළින්ම දැනුම මොලයට චීප හරහා දාන්න්න පුලුවන් වේවි.

    • arunishapiro said, on ජූනි 4, 2012 at 7:12 පෙ.ව.

      vishvanatha,

      පසුගිය සටහන් වලින් ප්‍රතිචාරයට ප්‍රතිචාරයක් දානවා 🙂

      මිනිස් මොළයේ ස්වභාවයෙන් සිද්ධ වෙන්නා වූ වෙනස නවත්තන්නට කිසිවකුට නොහැකියි. ලංකාවේ වැදි හූරන් මෙන්, ඔස්ට්‍රේලියාවේ ඇබොරිජිනිස් ලා මෙන් නන් දෙස තවමත් ආදීවාසී ලෙසින් ම ජීවත් වන ජනතාව සිටිති. ඇමෙරිකාවේ ද ආමිශ් ජනතාව එසේ කැමැත්තෙන් ම ජීවත්වන කොට්ඨාශයකි. නමුත් ඔවුන් සිටි නිසා යැයි කියා මිනිස් මොළය පරිනාමය වීම නැවතී නැත. යම් ජන කොට්ඨාශයක් තම රටේ අයට හිතන්නට ඉඩක් නොදී පරිනාමය වෙන්නට ඉඩක් නොදී ආර්ථික ගැහැට වලින් දුක් විඳිමින් සිටිනු ඇත. සෙසු ලෝකය මිනිසාගේ උන්නතිය සලසමින් යන ඉදිරි ගමන නවතනු නැත.

      උරගයා, දිවියා හා ආධුනිකයා

      මෙන්ටල් ටෙලිග්‍රෑම් යවන යුගයක්

      රෝමෝද්ගම ප්‍රවෘත්තියක්

      අක්‍රීය පාද වලට මොළයෙන් අණ දෙන තොප්පියක්

      කියවන නිසා මොළයේ සිදුවන විපර්යාස කෙළින්ම මොළයට පණිවුඩ යවන ක්‍රමයක් නිසා මොන ආකාරයෙන් වෙනස් වේ දැයි පේන කියන්නට නොහැකියි. භාෂාව නිසා නොයෙක් රටවල් වලින් ලැබෙන දැනුම හුවමාරුවට මිනිසා සමත්. භාෂාව නිසා නෙමෙයි හැම භේදයක් ම. පාලනය අල්ලා ගන්න දරනා වෙහෙසක් සෑම පීඩකයෙක් (දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, පූජ්‍ය පක්ෂය, දේශපාලනඥයන්) තුල ම ඇති නිසා. එය අවම කරන්නත් ඒක පුද්ගල නිදහස කුමක් දැයි කියා දැනුමක් පැතිරෙන දිනයක පීඩිතයෝ අඩුවේවි!!!

      මිනිසා තමනට නුහුරු නුපුරුදු දේ හැමදාම කරන්න උත්සාහයක් ගන්නා සත්වයෙක් ද? තාරාවන්ට මෙන් පිහිනන්නට නොහැකි, කුරුල්ලන්ට මෙන් පියාඹන්නට බැරි මිනිසාට ජලය තරණය හා අහසින් යාමට හැකියාවන් වඩවා ගන්නට පුළුවන් වූවා සේම පැරණි මිනිසාගේ මොළය කියවන්නට ද සකස් වී නොතිබුණු බව කියන්නේ Maryanne Wolf විසින් ලියන ලද Proust and the Squid පොතේය. මිසර ශිෂ්ඨාචාරයෙන් (hieroglyphics) පසු ග්‍රීසියේ දී ප්‍රථම සම්පූර්ණ හෝඩියක් සකස් වන්නට වසර 2450 ක් ගත වී ඇත. සෙල් ලිපි හා ගල් කණුවල ලියා ඇති දේවල් කියවන්නටත් ඒ කියවන දේ මොළය මඟින් පරිවර්තනය කර වටහා ගැනීමටත් ලැබී ඇති හැකියාව මිනිසාගේ කියවන්නට පටන් ගත් මොළයෙන් ඉදිරියට ගිය හපන්කමකි. –සිංහල කියවන්නාට ලිවීම

      කියවන්නට බැරි මොළය නිසා …

      මිලිතත්පර 500ක යශස -500 milliseconds of fame

      කියවන මොළයේ විපර්යාසය

  6. Gold fish said, on ජූනි 3, 2012 at 11:06 ප.ව.

    කතාව හරිම සාරවත් අක්කේ…. ඒත් ඇයි අර ස්ට්‍රෝබෙරි පෝස්ට් එකේ වගේ ලස්සන කෑම පිඟානක් දැම්මේ නැත්තේ…? 😦 පෝස්ට් එකකට ගැලපෙන එක පින්ර්‍තූරයක් හරි දැම්මොත් පෝස්ට් එකේ අගයයි රසයයි කියවන්න හිතෙන ගතියයි ගොඩක් වැඩිවෙනවා(ලු).

  7. Gold fish said, on ජූනි 3, 2012 at 11:07 ප.ව.

    පින්තූරයක් දාලනේ… කනෙක්ෂන් ස්පීඩ් නිසා ඒක දැම්මේ කමෙනට් එක දාලත් ඉවර වුනාම.

    • arunishapiro said, on ජූනි 4, 2012 at 7:20 පෙ.ව.

      Gold fish,

      වැඩේ වුනේ මේකයි යාළු මාළු මල්ලියේ. අනිත් පින්තූරේ තිබ්බෙ මට යාළුවෙක් ගෙනැත් දුන්න එයාගෙ වත්තෙ වැව්ව ස්ට්‍රෝබෙරි. ඒවා ඔක්කොම මායි සුදු අප්පුහාමියි, ටිකිරියි කාලා දාපු නිසා, ඇස් පිනවන්න හරි ගස්සපු ස්ට්‍රෝබෙරි පින්තූරයක් ගන්න මට ගූගල් ඉමේජ් යන්න වුනා.

      සටහන වැටහෙන කනෙක්ෂන් ස්පීඩ් තිබ්බම ඇති, පින්තූරය පොඩ්ඩක් පරක්කු වුනත් නේද?!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: