අරුණි ශපීරෝ‍ වෙතින්

දෙවැනි තෙවැනි පුරවැසිකම්

Posted in Uncategorized by arunishapiro on ජූනි 13, 2012

දෙවැනි තෙවැනි පාස්පෝට් ඇති අය අද ලොව බහුල ය. ඇමෙරිකන් පුරවැසියෙකුට වෙනත් රටක පුරවැසිකමක් ලබා ගැනීම නීතියෙන් තහනම් නැත. වෙනත් රටක ඉපදී ඇමෙරිකාවේ පුරවැසියෙක් වූ අයෙකුට තම රටට ආපසු ගොස් පදිංචි වී කිසිදාක නැවත ඇමෙරිකාවට පය තිබ්බේ නැති වූවාට ඇමෙරිකන් පුරවැසිකම අහෝසි වී නොයයි. භූමියේ උපන් පමණින් පුරවැසිකම ලැබෙනා සංවර්ධිත රටවල් දෙකකි: ඒ ඇමෙරිකාව සහ කැනඩාවයි. අනිත් රටවල් බොහොමයක භූමියේ උපන් නිසා පමණින් ලැබෙනා පුරවැසිකම් නැත.

රැකියා පිණිස තම පුරවැසියන් රට පැටවීමට හැකිනම් එයින් රටට මහත් ආදායමක් ලැබේ. එහෙත් ඔවුන් මහත් ආදායම් උපයා ගන්නට නොහැකි වූ ආර්ථික රටාවකින් ගැල වී, මහත් ආදායම් උපයා ගත හැකි ආර්ථික රටාවක පුරවැසිකමක් ගත්තොත්, එවිට රටට මහත් ආදායමක් එන්නේ නැත. දැන් ඔවුන් නැවත ගෙන්වා ගැනීමට නම් එක්කෝ තම ආර්ථික රටාව වෙනස් කළ යුතුය. නැත්නම් ඔවුන් තුල උපන් බිමට ඇති ළැදියාවෙන් රටට යම් ප්‍රයෝජනයක් ලබන්නට ඔවුනට තිබූ පුරවැසිකම තබාගන්නට අවසර දෙන්නට සිද්ධ වේ.

මා ලංකාවට වීසාවක් ගන්නට වොෂිංටනයේ ශ්‍රී ලංකා එම්බසියට කතා කළ වේලාවේ ඇයි ලංකා පුරවැසිකම නැත් ද? කියා මගෙන් ඇසුවා. ළඟ දී ම ආයෙත් පටන් ගනීවි, එතකොට ගන්න, එතකොට ලංකාවට යද්දි වීසා ඕන නැහැ. සත බුද්ධිමත්, රුපියල් මෝඩයි (penny wise pound foolish) යැයි කතාවක් ලොව ඇත. ලංකාවට ඇතුල්වන වීසාවට වැයවන සල්ලි සොච්චමට වඩා කොතරම් ‘ලාභයක්’ එම පුරවැසිකම නැති නිසා ඇත් ද?!!!!! හැබැයි හැම දෙයක් ම ධනවාදීන්ගේ සල්ලි ගැතිකම කියා බනින අයට, සතුට සොයා යෑමට ඇති නිදහස යනු මුදලින් තක්සේරු කරත හැකි නොවේ කීම කිසිදා වැටහෙන්නේ නැත.

අතීතයේ ද සතුට සොයා ගියවුන් ලෝකයේ තමන්ගේ කුසලතාවයට වඩාත් ම ඉල්ලුමක් ඇති ස්ථානයට ගොස් ඒ ඉල්ලුම සපයා සිටි තැන සිටියාට වඩා ලබාගත හැකි වැඩි සතුට ලබා ගත්හ. මගේ පියා 50 ගණන් අග දී ඉරාකයේ ටයිම්ස් පත්‍රයේ වැඩ කළේය. මගේ මව 50 ගණන් අග දී එංගලන්තයේ ඉංග්‍රිසි ඉගැන්වීය. සතුට සොයා යද්දී ලැබෙනා වූ ආර්ථික කාසි වාසි බෝනස් වෙයි!!!

අද තම කුසලතාවයට වැඩි ඉල්ලුමක් ඇති තැන් සොයා ඇදෙන, තමන් උපන් රටෙන් බැහැර ව සේවය කරන හා ජීවත්වන ලෝක ජනගහණය මිලියන 215 කට අධික යැයි කියයි.

පාස්පෝට් යනු රටකින් රටකට යන අවසරය පෙන්වන්නකි. පුරවැසිකම යනු දේශයක ජීවත්වන්නට ඇති අයිතිය, රැකියා කරන්නට ඇති අයිතිය, බදු ගෙවන්නට සිද්ධ වීම සහ සහනාධාර ලබන්නට හැකියාව ලැබීම යනාදිය පෙන්වන්නකි. පාලකයෝ කැමති එකම තැනක ඉපිද, වැඩ කර, බදු ගෙවා, සහනාධාර ගෙන, තම පුරවැසිකම තම දරුවන්ට ලබා දී මිය යනවා නම් ය. එතකොට ඔවුනට තවත් සැලසුම් ගැසීම පහසු ය!!!!

එහෙත් ජීවිතය ඊට වඩා සංකීර්ණ වූවකි. තමන් උපන් දේශය තමන් යන වේගයට යන්නේ නැත්නම් තමන්ගේ ජීවිත කාලයේ දී කරත හැකි බොහොමයකට එහි ඉඩක් දෙන්නේ නැත්නම් වෙනත් දේශයක් තම වාසස්ථානය කර ගැනීම මිනිස් සත්වයාගේ වෑයමයි.

දකුණු සුඩානයේ උපන් Lopez Lomong දවස් තුනක් පුරා දිව්වේ මරණයෙන් ගැලවෙන්නටයි. සූඩානයේ දෙවැනි සිවිල් යුද්ධයට වයස අවුරුදු හයේ දී බලහත්කාරයෙන් අල්ලා ගත් ලොපෙපේ (Lopepe) එසේ පැනගොස් නයිජීරියාවේ සරණාගත කඳවුරක සිට කතෝලික සුබ සාධන සේවා වලින් ඇමෙරිකාවට එන සරණාගතයෙකි. ඔහු සූඩානයේ Lost Boys අතරින් එකෙකි.

Nuer සහ Dinka ගෝත්‍රයන් වලින් අතරමං වූ සහ අනාථ වූ පිරිමි ළමුන් විසිදාහකට දුන් නම තමයි Lost Boys of Sudan. 1983 සිට 2005 දක්වා පැවති සුඩානයේ දෙවැනි සිවිල් යුද්ධයෙන් මිලියන 2.5 ක ජනතාවක් මිය ගිය අතර තවත් මිලියන ගණනක් විස්ථාපිත වූහ. මේ දරුවන්ට Lost Boys නම වැටුනේ සරණාගත කඳවුරු වල වැඩ කරන අය වෙතිනි. ඔහුගේ ලොපෙපේ නම ලෝපෙස් වෙන්නෙත් සරණාගත කඳවුරේ දී ය.

ලෝපෙස් ලොමොන්ග් Team Darfur හි සාමාජිකයෙකි. ඒ ජාත්‍යන්තර ක්‍රීඩකයන් අතර ඩාෆූර් වල වර්ගවාදී ඝාතන ගැන විරෝධය දක්වන්නට බිහි වූ සංවිධානයකි. රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගහන්නේ යැයි කියා ගන්නා චීනයට කියන්නට බොහෝ දේවල් ලෝපෙස්ට ඇත!!!

චීනය අප්‍රිකාව හා ගණුදෙනු කරන්නේ 1960 ගණන් වල සිට ය. ඇමෙරිකාව ලෝකයේ දූෂිත පාලකයන්ට ආධාර දෙනවා යැයි අවලාද කියන්නෝ එය දකින්නේ නැත. බටහිර විරෝධී තේමාවෙන්, අධිරාජ්‍ය විරෝධී තේමාවෙන්, බෙයිජිං සබඳතා සුඩානයේ පැතිර යන්නේ 1990 ගණන් වල දී එහි තෙල් සංචිත සංවර්ධනය සඳහා ය.

චීනය විසින් සුඩානයේ ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කරයි. චීන රජයට අයත් China National Petroleum Corporation විසින් සුඩානයේ තෙල් වලින් 40% ක් ද, තෙල් බිම් වලින් 41% ක් ද, අයිති කරගන්නා අතර සුඩානයේ තෙල් අපනයන වලින් 70% ක් යන්නේ චීනයටයි. එය චීනයේ මුළු තෙල් ආනයනයෙන් 10% ක් පමණි. රටවල් සමඟ ආර්ථික ගණුදෙනු පමණක් කරනවා යැයි කියන චීනය, රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්නේ නැතැයි කියන චීනය, තෙල් සඳහා අවි ආයුධ, යුධ ටැංකි, හෙලිකොප්ටර් සහ ප්‍රහාරක ගුවන් යානා සුඩානයට සපයයි. ඒවා හදන්නට ඔවුන්ට කම්හල් හදා දෙයි. චීන්නු හදන ප්‍රහාරක හෙලිකොප්ටර් ගුවන්ගත වෙන්නේ චීන්නුන්ට අයිති තෙල් කොම්පැණි පර්යන්ත වලිනි. මේ තෙල් කොම්පැණි වල වැඩ කරන්නේ චීන්නු ය. සුඩානයේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් 80% ක් යන්නේ චීනයෙන් මේ අවි ආයුධ, යුධ ටැංකි … යනාදිය මිල දී ගන්නට ය. සුඩානය ලෝකයේ දුප්පත් ම රටකි.

පීඩකයන්ට අහු වී සිටිනා පීඩිතයන්ට ලෝක මොට්ටපාලලා කියන කතන්දර ඉතා රසවත් ය. රුසියාවේ හා චීනයේ සිටි පාලකයෙක් හිත හොඳ නිසා තවත් රටකට උදව් කරපු එකම එක අවස්ථාවක් හෝ සොයාගන්නට උත්සාහයක් නොගන්නා ලෝක මොට්ටපාලලා ඇමරිකන් අධිරාජ්‍යවාදයට එරෙහි යැයි කියමින්, ඇමෙරිකාව තෙල් වෙනුවෙන් යුද්ධ කරනවා යැයි කියමින් අනුන්ගේ මුලාවෙන් තමන් ද රැවටී සිටිති.

එහෙත් අහන්න ඕනෑ ඇත්ත කතන්දරේ කොහොම ද කියා ලෝපෙස් වැනි අයකුගෙන්.

2007 දී ඇමෙරිකන් පුරවැසියෙක් වූ ලෝපෙස්, දැඩි ආඩම්බරයෙන් “මම ඇමෙරිකානුවෙක්” යැයි කියා ගන්නෙකි. ඇමරිකන් ඔලිම්පික් කණ්ඩයාමේ සාමාජිකයෙකි. 2012 අප්‍රේල් 29 වැනි දා හේ මීටර් පන්දාහක් (සැතපුම් 3.1 ක් – 5K) මිනිත්තු 13 යි තත්පර 11:63 ක දී දුවා ලෝක වාර්තාවක් තබන්නට සමත් වූයේය. 5K තරඟය ඔහු දිව ගිය ප්‍රථම අවස්ථාවයි ඒ.

2008 ඔලිම්පික් හි දී ඇමෙරිකන් කොඩිය ඔසවා ගෙන යන්නට, දේශයක් නැති සරණාගතයෙක් ව සිට ඇමෙරිකානුවෙක් වූ ලෝපෙස්ට සෙසු ක්‍රීඩකයන් ලබාදෙන්නෙ ඇයි?

ඒ ගැන සෙසු ඇමෙරිකාව මහත් සේ ආඩම්බර වන්නේ ඇයි?

ලෝපෙස් තමයි ඇමෙරිකාව කුමක් ගැන වූවක් දැයි කියා ඔවුන් අතරින් ඉතා පැහැදිලිව පෙන්වන්නේ. අන්න ඒ නිසයි.

ඒත් ලෝක මොට්ටපාලලා රැවටෙන්නෙ සුද්දෝ අනික් අයට හිනාවෙනවා කියන මුසාවාද වලට. තමන්ගෙ ම රටවැසියන් මරා දාන සූඩානයේ ඉන්න කල්ලො නොදකින්න චීනය පැත්තට හැරිලා ඇස් තද කරලා පියා ගන්නවා ඇති.

කවදා හෝ සුඩානය යහපත් වූ දිනයක, නැවත එහි ගොස් පුරවැසියෙක් වන්නට කැමැත්තේ නම්, ලෝපෙස්, ආයේ ඔබ මෙහි නාවත් ඔබේ ඇමෙරිකන් පුරවැසිකම ආරක්ෂා කරන්නට මමත් සහාය වෙන්නම්. එහෙත් මා මෙන් ම ඔබත් මේ තරම් අවස්ථාවන්, නිදහස, සහ කුසලතාවයට තැනක් දෙන ලොව එකම රට අතහැර ඔබ උපන් රටේ පුරවැසි බවට නැවත යාවි යැයි සැකයි.

ලෝපෙස් ලොමොන්ග්ට ජයවේවා!!!!!

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on ජූනි 13, 2012 at 9:05 පෙ.ව.

    මට අද හිතුනා නිදහස් රටවල ය කියලා අපි සේරම ඉන්නේ එලිමහන් සිර ගෙවල්වල නේද කියලා.

    නැත්තං මොකටද අපිට රටෙන් පිටව යන්ණ අවසර ගන්න ඕනෑ.

    නිකං බෝට්ටුවක නැගලා යන්න ගියාම අල්ලන්නේ ඇයි? එහෙම අල්ලන එක බෝට්ටුවක නැගලා රට ඇතුලට එන්න හදන අය අල්ලනවාට වඩා වෙනස්!

    යන්න යනවා නං යන්ණ දීපල්ල කෝ!

    • arunishapiro said, on ජූනි 13, 2012 at 9:08 පෙ.ව.

      kathandarakaraya,

      ඇමෙරිකාව නම් වූ නිදහස් රටෙන් පිටව යන්න කාගෙන්වත් අවසර ඕන නැහැ අපිට නම්. ඔහෙ එහෙම ද?

      • kathandarakaraya said, on ජූනි 16, 2012 at 7:01 පෙ.ව.

        ඒ කියන්නේ පාස්පෝට් එකක් නැතුව පූස්පාට් එකෙන් රටෙන ්පිටව යන්න පුලුවන් කියන එකද?

        මං ජෝන් ග්‍රිෂෝම් ගේ නවකතා කීපයකම දැක්කා සමහර පොරවල් එහෙම බෝට්ටුවලින්, ප්ලෙන්වලින් පිටවෙලා කෙලින්ම බහමාස්, පැනමා හෙම යනවා.

  2. indika27 said, on ජූනි 13, 2012 at 9:24 පෙ.ව.

    ඇත්තටම මටනං මේ ලංකාව දාල යන්න හිතෙන්නෙම නැ..නාකි උනාම දඹදිව ගිහිං ඒ ටික බලාකියා ගන්න ඕනි..තායිලන්තෙ පැත්තෙ විහාර ටිකකුත් බලන්න යනව සල්ලි තිබුනොත්…
    මං ඉංගිරිසි චිත්‍රපටි වල දකිනව ඒ රටවල ඉන්නෙ මහ රොබෝ ජාති වගේ මිනිස්සු..කෝච්චිෙය යනකොටත් මොකකට හරි ඔලුව ඔබාගෙන පොත් කියව කියව පෝන් බල බල යනවා…
    අපි එහෙම නෑ…හැමතිස්සෙම අනුන් ගැන සැලකිල්ලෙන් ඉන්නවා..ඒක පුංචි කාලෙ ඉදල ආපු පුරුද්දක් වෙලා දැන්..අනික් අය අපි ගැන හොයන්නේ නැති..අපිටත් හොයන්න අනෙක් අය නැති..නිකං පාලු මූසල රටක…
    අනේ මට නං ඒක මතක් වෙනකොටත් මොකද්ද වගේ……

    • arunishapiro said, on ජූනි 13, 2012 at 9:53 පෙ.ව.

      indika27,

      ඔව් ඉන්දික. මෙහෙ දී සයිමන්ලාගේ කතා ඇහෙනවා හරි අඩුයි. හැබැයි මම නම් ඒකට කැමතියි. මොකද මගේ සාය ඉස්සිලා ද නැද්ද හොයන එක මගේ වගකීමක්. අනිත් අයට එහෙම අනුන්ගේ සායවල් අල්ලන්න ඉඩ තියෙන සමාජයක තමයි ඒ මුවාවෙන් වෙන දේවල් අල්ලන්නත් ඉඩ ගන්නෙ 😦

      ඔයා දැකලා ඇති ඇමෙරිකන් නළුවෝ චිත්‍රපටි වල පිටසක්වල වැසියන් එක්ක සටන් කරන හැටි!!! චිත්‍රපටි වලින් දකින දේවල් ඔක්කොම ඇත්තක් කියලා හිතන්නත් එපා ඒත්.

  3. vishvanatha said, on ජූනි 13, 2012 at 10:22 පෙ.ව.

    ඇමරිකාව ගැන මම දරන මත අරුණි දරන මත වලට 90%ක් සමානයි.දෙමවුපියන් හැරුම්නාම මම ගෞරව කරන අය අතර ප්‍රධානම පුද්ගලයා අරුණිගෙ පියායි.ඇමරිකාව කියන්නෙ මානවයාගේ ප්‍රගමනයේ සහ පරිනාමයේ නිවැරදි මාවතයි.හැබැයි ඇමරිකාව කරන වැඩ හැම දෙයක්ම මම අනුමත කරන්නෙ නෑ.ඇමරිකාව ලෝකයේ බොහෝ රටවල අනවශ්‍ය ප්‍රශ්න නිර්මානය කරනවා නේද?ජාතිය හා ආගම යන පසුගාමී සංකල්ප ඉක්මවායාමට මිහිමත ඇති හොදම තැන ඇමරිකාව.ඒත් ලිබරල් ආර්ථිකය අද ලෝකෙට ගැලපෙන්නෙ නැති බව ආර්ථික අර්බුදයෙන් පේනවා නේද.මමත් තාක්ෂනයෙන් මහත් ආශ්වාදයක් ලබන්නෙක්.ඒත් තාක්ෂනය නිසා රැකියා අහිමිවීම ඇතුලු විශාල සමාජ අර්බුද ඇතිවෙනවා නේද>මේ නිසා යාන්ත්‍රික හුදකලා මිනිසුන් යැයි කියන සයිබෝග් වරුන්ගේ කෘතිම සමාජයක් ඇති වෙයිද? මිනිසුන් අනාගත ලොවට අනවශ්‍ය වෙයිද?ඇමරිකාව කරන විදේශ යුද්ධ අරුනිත් අනුමත නොකරන්න බව කී නිසා ඩ්‍රෝන ප්‍රහාර වලින් මැරෙන අසරන මිනිස්සු ගැන මම කතා කරන්නෙ නෑ.

    • arunishapiro said, on ජූනි 13, 2012 at 2:43 ප.ව.

      vishvanatha,

      ඇමෙරිකාව ඇමෙරිකාවයි vishvanatha. අපි දෙන්න එකඟ වුනත් එරෙහි වුනත් වෙනසක් නැහැ. 90% ක් එකඟ වෙන්න දේවල් ඔයාට ඇත්නම් ඒවායෙන් % කොච්චරක් ඔයා විසින් සුදුසු යැයි කියා ක්‍රියාත්මක කරනවා ද නැද්ද මත තමයි ඔයාගේ දියුණුවත් රඳන්නෙ. ඔයත් හවුල් වෙනවා මානවයාගේ ප්‍රගමනය සහ පරිනාමය ගෙන යන්න.

      ගෞරව කළාට ඕනෑම පුද්ගලයෙකුට එයාගේ වැරදි ඇත්නම් ඒවා නොදැක සිටීම සත්‍යයෙන් බැහැර වීමක්. වැරැද්දක් ගැන කිව්වයි කියල පුද්ගලයා තුල ඇති වෙනත් දස්කම්, අනික් හොඳ ගතිපැවතුම් ගැන ඇති ගෞරවය අඩු වෙන්නෙත් නැහැ. සර්ව සම්පූර්ණ වූ මිනිසෙක් ලොව නැති නිසා.

      ඇමෙරිකාව කරන හැම දෙයක් ම ඇමෙරිකාවේ අයත් අනුමත කරන්නෙ නැහැ vishvanatha. විශේෂයෙන් ම පසුගිය වසර 10 තුල සිට දැන් වෙනකොට ඇමෙරිකාවේ ආණ්ඩුව ගැනයි ඇමෙරිකන් ජනාධිපතිවරු ගැනයි මිනිස්සු තුල ඇති අනුමතය අඩුවෙලා ගිහින් දැන් අන්තිමට බැහැලා. මම ඒක දකින්නෙ යහපත් වෙනසක් හැටියට. හදාගන්න තියන වැරදි දේවල් දකින්න ඕන ඒවා හදාගන්නට නම්.

      //ඇමරිකාව ලෝකයේ බොහෝ රටවල අනවශ්‍ය ප්‍රශ්න නිර්මානය කරනවා නේද?// ඔයා හොයා බලන්න. මේ අඩවියේ බෙහෙවින් කතා බහ කරලා තියෙනවා. ඒවාට මම උත්තර ලියද්දී සබැඳියන් අමුණා තියෙනවා. ඇමෙරිකාව කොයි වතාවේ ද යම් රටකට බලහත්කාරයෙන් කඩා වැදිලා ඒ රටේ ආණ්ඩුවට කැමත්තෙන් ඒ රටේ මිනිස්සු නිදහසේ ජීවත් වෙද්දී ඒ රටේ ප්‍රශ්න ඇති කළේ, නැත්නම් වෙන මොන රටවල් ද එහෙම ලෝකයේ කර ඇත්තේ කියා, සොයා බලා ඔයා ම තීරණය කරන්න ඔයාගේ ප්‍රශ්නයට පිළිතුර ඔව් ද නැද්ද කියලා.

      //ඒත් ලිබරල් ආර්ථිකය අද ලෝකෙට ගැලපෙන්නෙ නැති බව ආර්ථික අර්බුදයෙන් පේනවා නේද.// මොකක් ද “ලිබරල් ආර්ථිකය” කියන්නෙ? ආර්ථික අර්බූදය අද ඇත්තේ නිදහස් වෙළඳපොලට (free market) නීති රෙගුලාසි දාලා ආර්ථිකය තමන්ට මෙහෙයවන්න දන්නවා යැයි සිතපු පාලකයෝ නිසයි. අනුන්ගේ වෙහෙස මහන්සියෙන් උපයන ධනය නිකං ඉන්න කම්මැලියන්ට බෙදල දෙන්න පොරොන්දු වෙන පාලකයෝ පත්කර ගත්තා වූ ජනතාවට අද තමයි එහි ප්‍රතිඵල වැටහෙන්නෙ. තමන්ගේ ධනයෙන් 50% කට වඩා අනුන්ට බෙදා දෙන්න දෙන්න රටක් බලහත්කාරයෙන් උදුරා ගත්තම ධනය හම්බ කරන අය නිකං ඉන්නවා. එතකොට බෙදලා දෙන්න හැකි කොටස අඩු වෙනවා. දැන් යුරෝපයේ ඇත්තේ එහෙම තත්වයක්. බෙදා දෙන්න පොරොන්දු නොවී නැවත පාලකයන්ට බලයට එන්න කවුරුත් චන්දය දෙන්නෙත් නැහැ. ඒත් බෙදා දෙන්න හම්බ කරන්නත් කෙනෙක් ඉන්න එපැයි. භාණ්ඩාගාර හිස්වෙන කොට තමයි හැමෝටම මතක් වෙන්නෙ කවුද ඇත්තටම වෙහෙසෙන්නෙ කියල.

      //ඒත් තාක්ෂනය නිසා රැකියා අහිමිවීම ඇතුලු විශාල සමාජ අර්බුද ඇතිවෙනවා නේද// හොඳ ප්‍රශ්නයක්. තාක්ෂණය නිසා ලෝකයේ රැකියා වැඩිවුනා. එදා කය වෙහෙසා දර පලන්න බැරි ආබාධිතයාට ගෙදර ඉඳන් අනුන්ගේ පිනෙන් ජීවිතය රැකගන්න සිද්ධ වුනා. අද තාක්ෂණයේ මහිමයෙන් ආබාධිත තත්වයක් තිබ්බාට මිනිස් සතා අසරණයෙක් වෙන්නෙ නැහැ. පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවල් කොපමණක් ලොව ඇතැයි සිතනවා ද? අද බක්කි කරත්ත රෙපායර් කරන අය අඩුයි. ඒත් පරිගණක කැඩුනම ඒවා හදන රැකියා කොච්චර ද?

      //මේ නිසා යාන්ත්‍රික හුදකලා මිනිසුන් යැයි කියන සයිබෝග් වරුන්ගේ කෘතිම සමාජයක් ඇති වෙයිද?// මීට ඔව් හෝ නැහැ යැයි අනාවැකියක් කියන්න දන්නවා නම් මම බ්ලොග් ලියන්නෙ නැහැ 😀

      //මිනිසුන් අනාගත ලොවට අනවශ්‍ය වෙයිද?// අනවශ්‍ය වෙන්නෙ කාට ද? ස්වභාව ධර්මයට මිනිසා සිටියත් එකයි නැතත් එකයි. ස්වභාව ධර්මයාට ‘මිනිසා’ නම් තවත් එක් ප්‍රාණින් වර්ගයක් පමණයි.

  4. Chandani said, on ජූනි 13, 2012 at 10:46 පෙ.ව.

    ඇමෙරිකාව කොයි තරම් නිදහස්ද? කියල මගෙ මල්ලි මට කියන්නෙ ඔහුත් එහි පුරවැසිභාවය ගත් නිසා කියල මම හිතුවෙ. දැන් අදහස වෙනස් කරගන්න වෙලා වගේ. එයා උපන් රටට එයාගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන්න එයාටම හිතිල. ලෝකෙ කොයි රටේ ජීවත් උනත් ලාංකිකයෙක් ගෙ ලංකික යයි කියන අභිමානය මැකෙන්නෙ නෑ නේද?

    • arunishapiro said, on ජූනි 13, 2012 at 3:17 ප.ව.

      Chandani,

      ඔව් චාන්දි අක්කා. වෙන කොහේ හරි ගිහින් ආවම හිතට දැනෙන සනීපේ කොච්චර කිව්වත් මදි. මෙහෙ ඉන්න සමහර ඇමෙරිකානුවන්ට නිදහසේ මිත්‍රයෝ පංති දාලා කියලා දෙන්නෙ තියන නිදහස නැති කරගන්න එපා කියල. ඒත් නිදහස කුමක් දැයි නොදන්නා අයට කියලා දෙන්න හරි දුෂ්කරයි.

      උපන් රට ගැන, කාලාන්තරයක් ජීවත් වෙච්ච රටක් ගැන ආදරයක් ලැදියාවක් ගොඩක් අයට තියනවා. ලෝකෙ කොයි තැනක ගිහින් පදිංචි වුනත්, කොයි රටක ගිහින් පුරවැසිකමක් ගත්තත් ඒක නැතිවෙන්නෙ නැහැ. ඒත් රටක් ගැන අභිමානයක් ඇති වෙන්න ඕනා එහි උපන් නිසා පමණින් නෙමෙයි, ජීවත්වෙච්ච හෝ ජීවත් වෙන නිසා පමණින් නෙමෙයි. එහෙම වුනොත් ජාතිවාදය, ආගම්වාදය වගේ මේ “උපන් නිසා අයිතිවෙච්ච රටට ඇති අභිමානයත්” ඒ ගණයට වැටෙනවා.

      ලංකාව ගැන අපි අභිමානයක් ඇති කරගත යුත්තේ ලාංකිකයෙක් වූ නිසා නෙමෙයි, සුදු අප්පුහාමිත් ලංකාව ගැන අභිමානයෙන් කතා කරන අවස්ථා තියෙනවා, ඒ එයා ලංකාවේ සමහර අයගේ හොඳ යහපත් ගතිගුණ ගැන කියද්දී, ලංකාවේ සුන්දර පරිසරය ගැන කියද්දී. අපි ගොඩ වැදි ගොඩක් රටවල් ගැන අභිමානයක් අපිට ඇති කරගන්න පුළුවන්.

      ඒත් ඒවා අතරින් වෙනස් වෙන ඇමෙරිකාව කියන්නෙ භුමි ප්‍රදේශයක් විතරක් ම නෙමෙයි. නිදහස නම් වූ සංකල්පය ප්‍රායෝගිකව වැඩියෙන් ම භාවිතා වෙන සංකේතය තමයි ඇමෙරිකාව කියන්නෙ. ඒ භාවිතාව මිනිස් සත්තු ජීවත් වෙන්නා වූ ලෝකයේ ඕනෑම ස්ථානයකට සුදුසු වූවක්. රටක් සශ්‍රීක කරන්නටත්, ඒ රටේ මිනිස්සු සතුටින් තියන්නටත් හැකි වූ ක්‍රම වේදයක්. ඉතින් මම ඇමෙරිකාවේ ගුණ වයද්දී මම අගයන්නේ නිදහසයි. ඒක ලෝකේ ඕනෑම තැනක මෙලෙසින් තියෙනවා නම් මම ඒ තැන ගැනත් අභිමානවත් වෙන්න සූදානම්.

  5. Nuwan Prabhath said, on ජූනි 13, 2012 at 10:55 පෙ.ව.

    Mage idea eka nam thamn jeewath wenne wena kaatawath yatath wenne nathuwa nidahase happy eke nam, thaman swadeenawa nam, thamn jeewath wenne koi country ekeda kiyana eka problem ekak neme 🙂 Mama me Aruni aunt gen (mawa mathakada danneth na Ranith ge friend 😀 ) ahannamai hitiye dan US wala ipaduna citizen lai green card ganna ayai athare wenask thiyenawada? Nathnam degollantama labenne ekama citizenship ekada?

    • arunishapiro said, on ජූනි 13, 2012 at 3:37 ප.ව.

      Nuwan Prabhath,

      හලෝ රනිත්ගේ යාළුවා!!! ඔව් පුතා ඔබ නිවැරදියි. තමන් ජීවත් වෙන්නෙ මොන රටේ ද කියලා කිසි ගැටළුවක් නැහැ නිදහසේ සතුට සොයා යන ස්වාධීනත්වයට ඉඩක් ඇත්නම්.

      ඇමෙරිකාවේ ඉපදුන අයට හැකි, මෙහෙ ඉපදෙන්නෙ නැතිව පුරවැසිකම ගත්ත අයට බැරි එකම එක දෙයයි මෙහෙ තියන්නෙ. ඒ රටේ ජනාධිපති වෙන්න. ජනාධිපතිකමට හැකියාව ඇත්තෙ රටේ ඉපදුන අයෙක්ට පමණයි. හැබැයි අද කතාවෙන විදියට ඔබාමා ද තම උප්පැන්න සහතිකය පෙන්නලා නැහැ, වෙබ් එකක දාපු සහතිකය ව්‍යාජ ලෙස හදපු එකක් බවට නඩුවක් යනවා. ඔහු හවායි වල ඉපදුන බව මතක තියන කිසිම කෙනෙක් හොයාගන්න නැහැ!!!

      පුරවැසියෙක් ලෙසින් ලැබෙන අනිත් සියළු ලැබීම් උපන් නිසා හෝ ආපු නිසා කියල වෙනසක් නැහැ, එකම දීමනා. මෙහෙ ඉපදුන අයට තියෙන්නෙ උප්පැන්න සහතිකය විතරයි. පුරවැසි සහතිකයක් නැහැ. මම මෙහෙ ඉපදුනේ නැති නිසා, ග්‍රීන් කාඩ් වලින් පස්සෙ පුරවැසිකම ගත්ත නිසා මට පුරවැසි සහතිකයක් ද තියෙනවා. පාස්පෝට් මුලින් ම ගනිද්දි මෙහෙ ඉපදිච්ච අය උප්පැන්න සහතිකය පමණක් පෙන්වද්දී මම ලංකාවේ උප්පැන්න සහතිකයයි මෙහෙ පුරවැසි සහතිකයයි දෙකම පෙන්වනවා. මෙහෙ තියන පරමාණු පර්යේෂණ පැවැත්වෙන ජාතික විද්‍යාගාරවල සේවය කරන ලංකාවේ උපන් අය ඉන්නවා මෙහෙ පුරවැසිබව තියන. ඔවුන්ටත් මෙහෙ උපන් අයටත් එකම security clearances තමයි ලැබෙන්නෙ, වෙනත් රටක උපන්නා කියා වෙනසක් නැහැ. ඒත් පුරවැසිකම නැත්නම් ඒ තැන්වලට යන්න අවසරත් නැහැ.

  6. Chandani Mendis said, on ජූනි 16, 2012 at 4:51 පෙ.ව.

    ස්තූතියි නංගි. මම ඔයාත් එක්ක සියයට සීයක්ම එකඟ වෙනවා මේ කතාවේදී. මම කාලයක් හිටිය අප්‍රිකානු රටට මම හරිම ආදරෙයි. ඒක ඔයා කියන වගේ තත්වයක්. නිදහසේ අපි හිටිය කාලය හරිම සුන්දරයි. මම අහම්බෙන් ඔයාට මඩ ගහපු බ්ලොග් එකක් දැක්කා. ඒවා ඒ තරම් ගනන් ගත යුතු දේවල් නෙවෙයි. ලිඳේ ඉන්නා මැඬියා ඊට වඩා එහා ලෝකයක් දන්නේ නැහැනේ. අමෙරිකාවට කත් අදින එක නෙවේ ඇත්ත කතාකරන කෙනා කෙනෙක්ට දිරවන්නේ නෑ. දෙයක් පිළිගන්න ඇති අකමැත්ත වෙන්න ඕනෙ. ඔයාට ජයම වේවා! කියල පතනවා .

  7. Nuwan Prabhath said, on ජූනි 16, 2012 at 10:08 පෙ.ව.

    Aruni aunt me mada kathawak kiyanakotai mata mathak une mama kalin kiwwa wage me dawas wala wadak nathi nisa internet eke eka eka ewa kiyona ekai karanne 🙂 Ehema kiyonakota mata hambuna article ekak conspiracy theories gana. Eka theory ekak thamai oya 9/11 attack eka US government ekenma kala kiyana theory eka. Mama kisima deyak facts nathuwa pilganna kenek neme eka mage field eketh hatiyak.mama hithanne aunt one tharam meka gana kiyola athi mama me lagadi kiyewwata 😀 amuthuwen 9/11 incident eka gana thiyena conspiracy theories monada kiyala kiyanna one na kiyala hithanawa. Ekak thamai oya pentagon ekata happuwe plane ekak nemelu missile ekak lu 😀 e aya eka yantham prove karannath facts thiyenawa. poddak awl sahagathai nam thama ewath bt eyala kiyana kathawa pal borui kiyanna bari tharamata facts tiyenawa. Mama hithanne me theories mada gahanawata wada wenas mokada eka facts walin kiyana theory ekak. Ithin me theoris gana Aruni aunt ge idea eka mokakda? mokada me theories walin karanne normally minissu hithana side ekata completely different idea ekak dena eka. But completely boruwatama neme samahara facts ekkama ekai wenasa!

    • arunishapiro said, on ජූනි 17, 2012 at 9:38 පෙ.ව.

      Nuwan Prabhath,

      නුවන් පුතා, යම්කිසි සාධක පෙන්වා අපූරු වූත්, විය හැකි යැයි සිතිය හැකි වූත්, අර්ථකථනයක් දීම තමයි ඉතින් කොන්ස්පිරසි තියරියක් කියන්නෙ. යම් යම් සාධක ඔප්පු කළාට මුළු සිද්ධිය ඔප්පු කරගන්න බැරි නම් එයින් වැඩක් නැහැ. අයෙක් වරදක් කළ බව හැමෝම දන්නවා වුනත් ඒක ඔප්පු කරන්න බැරි නම් ඒ වරද කළ අයව හිරේ දාන්න බැරි ඒ නිසා. අපි අයෙක් වරදක් කළා යැයි දන්නවා පමණින් එයාව හිරේ යැව්වොත් වෙන්නෙ ඊට පස්සෙ යම්කිසි අයෙක් වරද කළා යැයි දන්නවා යයි බොරුවට කියන කෙනෙක් අතින් අහිංසකයන් විනාශයට යෑමට පූර්වගමනයක් (precedent) ඇති කිරීම. සියල්ල ඔප්පු කරත නොහැකි නිසා යැයි නම වැටිච්ච කොන්ස්පිරසි තියරි ඒ නිසා කියවන්න රසවත් වූවාට යමක් එයින් දැනගන්නට ලැබේ යැයි කියා කාලය නාස්ති කරන්න තරම් වැදගත් නැහැ.

  8. vishvanatha said, on ජූනි 17, 2012 at 7:51 පෙ.ව.

    මම නම් කියන්නෙ මුලු ලෝකයම ඇමරිකාවක් විය යුතුයි කියලයි.හැබැයි ඇමරිකාවෙ තියන දුර්වලකමුත් ඒ එක්කම නැතිකරගත යුතුයි.ජාතිය ආගම කුලය භාෂාව නැති එකම මිනිස් සමාජයක් දැනුම සොයා යන දවස කවදා උදා වේවිද

    • arunishapiro said, on ජූනි 17, 2012 at 9:50 පෙ.ව.

      vishvanatha,

      අපෝ මුලු ලෝකයම ඇමෙරිකාවක් එහෙම වෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනවා. මොකද එතකොට ඇමෙරිකාවට කැමති නැති අයට යන්න තැනක් කොහෙවත් නැති වෙන නිසා. ඇමෙරිකාවේ ක්‍රමයට කැමති නැති අයට ඒ ඒ තැන්වල ඒ ඒ අය කැමති විදියට ඉන්න ඉඩ තියෙන්නත් ඕනෑ. හැබැයි ඒ රටවල ඒ විදියට ඉන්න කැමති නැති අයට යන්න තැනකුත්, යන්න නිදහසත් තියෙන්න ඕනෑ.

      ලෝකය සුන්දර එහි ඇති විවිධත්වය නිසාමයි. කොච්චර විවිධත්වයෙන් පිරි වුවත් ඉන්දියාවේ තියන, චීනයේ තියන, ජපානයේ තියන, ලංකාවේ තියන ඒකීය වූ අභිමානවත් ගති ලක්ෂණ බහුතරයක් ඇමෙරිකාවේ නැහැ. ඒ නිසා ඒවා රසවිඳින්න ඒ ඒ රටවල් වලට යන්න හැකියාව තියෙන්න ඕනා. ඒ අයට ඇමෙරිකාවට ඇවිත් මෙහෙ තියන අභිමානවත් ගති ලක්ෂණ රස විඳින්න හැකියාව තියෙන්න ඕනා වගේ ම. විවිධ ජාතීන්, විවිධ ආගම් හා විවිධ භාෂාවන් ද ලොව තියෙන්න ඕනා; පුද්ගලයා කැමති ජාතිය, කැමති ආගම, කැමති භාෂාව තම ජීවිතයට අනුචිත කරගන්නටත් එයින් බැහැර වෙන්නටත් ඉඩකඩක් ඇත්නම්. උපන් නිසා අයිති වෙන කුල සියල්ලට ද එක සේ සැලකිලි ලැබෙන්නේ නම් කුලය ද විවිධත්වයක් ලෙසින්, පරම්පරාවෙන් ලැබුනා වූ උරුමයක් ලෙසින් පමණක් පැවතියාට ගැටළුවක් නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: