අරුණි ශපීරෝ‍ වෙතින්

කුසගිනි කුරුල්ලෝ

Posted in Uncategorized by arunishapiro on ජූනි 15, 2012

ලොව සියල්ලන්ට ම සෞඛ්‍යෙන් පිරි, නිදහස් වූ සහ නිර්මාණශීලී ජීවිත ගෙවන්නට හැකිය. එය කිසිවෙක් ලවා බලහත්කාරයෙන් කරන්නට බැරි ය. කැමැති අයට කැමත්ත සොයා යන්නට ඉඩක්, හැමෝටම එක හා සමාන අන්දමින් හැකියාව උරගා බලන්නට වාතාවරණයක්, යම්කිසි සමාජයක ඇත්නම්, එවැනි සමාජයක ආර්ථිකය යහපත් වෙයි. පරිසරය රැකෙයි.

මැල්තීසියානු අසුභවාදීන් නන් වෙසින් ඉතිහාසය පුරා කාලයෙන් කාලයට බිහි වී ආර්ථික සහ පරිසර විනාශය ගැන අනාවැකි කිව්ව ද ඒ හැම අනාවැකියක් ම වැරදි යැයි පෙන්වන්නට ලොව වෙහෙසන ජනතාවට හැකිවුණි.

සංවර්ධිත රටවල්, තම පුරවැසියන් හැමෝටම, එක හා සමාන අන්දමින් හැකියාව උරගා බැලීමට යම් තරමක හෝ ඉඩක් දුන්නේ, වැඩවසම් යුගයෙන් එළියට බසිද්දී ය. එයින් වේගයෙන් සශ්‍රීක වූ ආර්ථිකයත්, පරිසරය හා ඔට්ටු වී ජයගත් සටන් දකින්නට ලෝක ජනතාවට හැකිවිය. නමුත් සංවර්ධිත රටවල් වල සිටි සමාජවාදී සිත් ඇත්තෝ, වෙහෙසී උපයන්නා යම් මෘගයෙක් සේ දක්වන්නට දත කෑහ. අනුන්ට බෙදා දෙනවා කියන පොරොන්දුවෙන් බලයට පැමිණ, තමන් ලද බලයෙන් තමන්ට හා තම ආණ්ඩුවට හේත්තු වන අයට වැඩියෙන් බෙදා ගන්නට පටන් ගත්හ. ඔවුන් එළවා දමනවාට වඩා පරිනාමය නොවූ මොළයෙන් ජීවත් වූ බහුතර මිනිස්සු උත්සාහ කළේ බෙදා දෙන දෙයක් වෙනුවෙන් පෝලිම් ගැහෙන්නට ය. බෙදා දෙන ආණ්ඩුවට හේත්තු වන්නට ය. අන්න අර අය මෘගයන් යැයි කියා ඇඟිලි දිගු කර පෙන්වූ ආණ්ඩුවේ බලලෝභීන්ගේ මුලාවට රැවටී ඔවුන් හා එක් වී කවුරුන් ද මෘගයන් යැයි නොසොයා තමන් ද අවලාද කියන්නට ය.

සංවර්ධිත ලෝකය, මෘගයන් යැයි අවලාද කරමින් අවදානමක් ගෙන මූල්‍ය යොදවා ආදායම් උපයන අයට වෙනස් ලෙසින් සලකන්නට පටන් ගත්හ. කෙමෙන් කෙමෙන් අවදානමක් ගෙන අනුන්ට රැකියා සපයන, ආණ්ඩුවට බදු වශයෙන් බලහත්කාරයෙන් එකතු කරගෙන අනුන්ට බෙදා දෙන්නට හැකියාව ලබාදුන්, ආදායම් උපයන අය අඩු වී ගියහ.

දැන් බෙදා දෙන්නට ආදායම් මඳ නිසා කුමක් වූවා දැයි සිතාගත නොහැකි ව සංවර්ධිත රටවල සමහර පිරිසක් අන්දුන් කුන් දුන් ව සිටිති. සංවර්ධනය ඇති වූයේ කෙසේදැයි කිසිදාක වටහා නොගත් එහි සිටින සමාජවාදී පිරිස තවමත් පරණ පුරුදු වාදපදේ ම ගසමින්, වැඩවසම් ක්‍රමය නොමැති සමාජයන්හි පවා එවැන්නක් ඇතැයි කියා ජනතාව රවටන්නට උත්සාහ කරති.

දුප්පත් රටවල සංවර්ධන මාර්ගය බටහිර ගත් මාර්ගයට වඩා මූලික වශයෙන් ම වෙනස්විය යුතු යැයි කියන්නා මුලාවෙන් සිටින්නෙකි. චීනය අද කර්මාන්තකරණයේ යෙදෙන්නේ කොන්ෆියිසියානු වෙහෙසෙනි. මහන්සි වී අඩු මිලට ගත හැකි ගල් අඟුරු වලිනි. පරිසරය ආරක්ෂා කරන්න යැයි කියා ඔව්හු ජලරෝදයට ගියොත් රටේ ජනතාව නැවතත් හාමතයේ මිය යනු ඇත. අනාගතයට ගරු කරන්න යැයි කියා අද සූර්යතාපය පාවිච්චියට ගියහොත් ඔවුන් නිපදවන භාණ්ඩ අධික මිලෙන් නිසා කිසිවෙකුට විකුණා ගත හැකි නොවී යළිත් රටේ ජනතාව මිය යනු ඇත. නූතනකරණය හා බටහිර ගිය මාර්ගයේ ම යන්නට මෑතක දී පටන් ගත් නිසා චීනය තම බිලියන භාගයක ජනතාවක් කුසගින්නේ මිය ගිය දරීද්‍රතාවයෙන් ගොඩ ගෙන ඇත.

සංවර්ධිත රටවල් දැනුම ආර්ථිකයට පිවිසෙන විට ඒවායෙහි වැසියෝ වඩා මහත් වස්තුවට (ඇමෙරිකාවේ දුප්පතුන් ලෝකයේ ම ධනවතුන්) හිමිකම් කියා ස්වභාව ධර්මය බලන්නට වැඩි වැඩියෙන් ලොව සැරිසරන්නට, අජටාකාශයට යන්නට, මුහුද පතුලට යන්නට අවස්ථාව ලදහ. ඔවුන් අද කෘෂිකාර්මික හා කාර්මික වූ භෞතික නිෂ්පාදනයෙන් පමණක් දිවි ගැටගහ ගන්නෝ නොවෙති.

මිනිස් සත්වයා ඇස් ඇරිය යුත්තේ කුසගිනි නිවා ගන්නට ජීවත් වෙනවාට වඩා වඩාත් සමෘද්ධිමත් හා වඩාත් නිදහස් වූ සතුට කුමක් දැයි සොයන්නට ය. එය තමන් කැමති නම් නිවන සොයා වනගත වෙන්නාටත්, තමන් කැමති නම් රටක් වශයෙන් නොව ඒකීය පුද්ගලයෙක් හැටියට දුප්පත්ව සිටින්නාටත්, තමන් කැමති නම් රටේ නීති නොකඩා ධනය සොයන්නාට එය සොයා යෑමටත් ඇති ඉඩකඩ යැයි දකින්නට ඇස් ඇරිය යුතුය. එයින් මිනිස් සත්තු අතින් නිර්මාණය වෙන්නේ ඒ ඒ මිනිසාගේ භෞතික අවශ්‍යතාවයන් පමණක් සැපයීම නොව නිර්මාණශීලීත්වය, තෝරාගැනීම්, සුන්දරත්වය, ස්වභාවික පරිසරය සියල්ලෙන් ම පිරි තමන් ගැනත් තම ලෝකය ගැනත් සොයා යන්නට අවශ්‍ය ප්‍රාජකය තෘප්තිමත් කිරීමට ඉඩකඩයි.

ප්‍රාණය පවත්වා ගෙන යන්නට ආහාර අවශ්‍යය. එය පමණක් සපුරාලන්නට සැලසුම් ගහනා සමාජයක මිනිසා ද කුසිගිනි කුරුල්ලෝ ද අතර වෙනසක් දකින්නට නොලැබෙනු ඇත. කුසගිනි කුරුල්ලන්ට මෙන් මිනිස් සත්තු හැම එක්කෙනා ම එකම ආහාරයට කැමති වූවෝ නොවෙති. එකම සතුටක් සොයා නොයන්නෝ ය. ඒ ඒ අයගේ නිදහස ද ඒකීය වූවකි. අයෙක් පාස්පෝට් කොළ ඉවර කරමින් අලුත් පාස්පෝට් ගෙන ලෝකය පුරා සැරිසරයි. තවත් අයෙක් කැමැත්තේ තමන් උපන් තැන ජීවත්වෙන්නට ය. නිදහස යනු කාගේ නිදහස ද රැකිය යුත්තේ කියා සැලසුම් ගැසීම නොව හැමට ම ඔවුන්ගේ සතුට සොයා යන නිදහසට ඉඩකඩක් හදා දීමයි.

පහළ විඩියෝවේ ඇත්තේ ඩෙලවෙයාර් වලට ඇතුල් වෙන්නට එන Chesapeake Bay Bridge-Tunnel හි බ්‍රයන් හෙම්ස්ලි හිතවතා විසින් දුටු කුසගිනි කුරුල්ලන් වෙති. කුසගිනි කුරැල්ලන් මෙන් ආහාර බුදින්නට කැමති මිනිස් සත්තුන්ටත් එය එසේම කරන්නට නිදහසත් තිබිය යුතුයි!!!!! ඒ වාගේ ම කවිකාරිගේ කතන්දර වල කියනා සේ සොයා ගන්නට දුර්ලභ කෑමක (බෝංචි දාපු + තේ දාපු = කේක්?!!!) රස බලන්නට ආසාවක් පහළ වූයේ නම් එය පිනවා ගන්නට ඉඩක් ද තිබිය යුතුයි!!!!!

කේක් පින්තූරය බෙදා ගන්නට මටත් එව්වාට ස්තූතියි නංගි. සතුට සොයා යන නිර්මාණශීලී හිගුචි නෝනාට ජයවේවා!!!!!

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ජූනි 15, 2012 at 9:54 පෙ.ව.

    //නිදහස යනු කාගේ නිදහස ද රැකිය යුත්තේ කියා සැලසුම් ගැසීම නොව හැමට ම ඔවුන්ගේ සතුට සොයා යන නිදහසට ඉඩකඩක් හදා දීමයි// අනුන්ගේ නිදහසට බාධාවක් නොවෙන්න…

    කේක් එක ගැන නම් කතා නොකරමි… ඊමේල් කවිකාරි කාලා ඉවරවෙලා තව රස කර කර අපිටත් පෙන්නනවා…

    • arunishapiro said, on ජූනි 15, 2012 at 9:57 පෙ.ව.

      Gold fish,

      හැමට ම ඔවුන්ගේ සතුට සොයා යන නිදහස ලබා දිය හැකි එකම ක්‍රමය අනුන්ගේ නිදහසට බාධා නොවන ක්‍රමය තමයි.

      මම මේ බලන් ඉන්නෙ ළඟ දී ම මාළු ටැංකිය පැත්තෙ ඇවිත් වෙන රසයෙන් යුතු කේක් කන්න ලැබේවි කියල 😀

  2. Amarasinghe Sujatha said, on ජූනි 15, 2012 at 11:59 පෙ.ව.

    දුර්ලභ දෙයට නොවෙයි අක්කෙ සුලබ දෙය ලබාගන්ටවත් සමාන අවස්තා නැහැ කියල මට හිතෙන්නෙ. ලින්ක් එකට ස්තුතියි අක්කේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: