අරුණි ශපීරෝ‍ වෙතින්

පීඩිතයා කවුදැයි හඳුනා ගන්න

Posted in Uncategorized by arunishapiro on ජූනි 18, 2012

හෙළා දැකිය යුත්තේ කාව ද?

පීඩකයා කවුද?

පීඩිතයා කවුද?

පීඩිතයා කවුදැයි මුලාවෙන් රවටන පීඩකයන්ගේ ගොදුරු බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණ ඇත්තේ නිදහස් ලෝකයේ වසන ජනතාව අත ය. ඔවුන් ඒ නිදහසෙන් ප්‍රයෝජනයක් නොගන්නේ නම් නිදහසක් නොමැති අහිංසකයන් බේරාගත හැකියාව ද අහිමි වී යයි.

පීඩකයන් කවුරුන් දැයි සොයාගන්නට පාවිච්චියට ගත හැකි මොළයක් මිනිසාට ඇත. එය පාවිච්චියට ගන්නා කිහිප දෙනෙක් සිංහලෙන් සටහන් මෙසේ ලියා තිබුණි.

අහෝ A9 සහ බයිසිකල් පදින දොස්තරලා

අපි වෙනුවෙන් අපි

මං මෙව්ව ලිව්ව කියල කිසි දේක වෙනසක් වෙන්නැහැ. ඒකයි දුක.

පන්සලේ සාදුගේ වෙන්ඩ ගෑණිට හුලං….!!!

තව තවත් සත්‍ය පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන්ට ධෛර්යය ලැබේවා!!!!

පීඩිතයෙක් නොවී ජීවත්වෙන්නට 1920 ගණන් වල රුසියාවෙන් පැන ආවේ සුදු අප්පුහාමිගේ සීයා ය. ඔහු ඇලස්කාව පැත්තෙන් ගොඩබිමෙන් චිකාගෝ නගරයට පැමිණියේ සරණාගතයෙක් හැටියට ය. ඔහු මිය යන විට ඔහු චිකාගෝ නගරයේ බැංකු අයිතිකාරයෙකි. සුදු අප්පුහාමිගේ පියා මිය යන්නේ ඔහු බාල වියේ දී ය. මවගේ දෙවැනි කසාදයේ සුළු පියා උපදින්නේ සිරගෙයක දී ය, මත්පැනට ඇබ්බැහි වූ මවකට ය. ඔහු සමාජ සේවා සුබ සාධන ආයතන වල පිහිටෙන් ඉගෙනුම ලබා ජීවිතය ජයගෙන මිය යන්නේ සමාජයේ ගෞරවයට පාත්‍ර වූ වෙළඳ සංකීර්ණ වල පිහිට වූ පංති වලින් උපාධි සහතික සඳහා ඉගෙන ගන්නට ක්‍රම වේදයක් සැකසූ විශ්‍රාම ලත් විශ්ව විද්‍යාල පීඨාධිපතිවරයෙක් ලෙස ය. සුදු අප්පුහාමි කුඩා කාලයේ දී තම අසල්වැසි ගෙවතු වල තණකොල කපා සිය ප්‍රථම ආදායම උපයා ගනියි. අද ඔහුගේ නම ඇමෙරිකන් පුස්තකාලයකට ගොඩ වැදුන හොත් එහි ඇති විද්‍යාත්මක ගුරුපොත් වලින් දැකිය හැකිය. බාල වියේ දී පියා අහිමි වූ මගේ තාත්තා බඩගින්නේ පාසැල් ගිය කොල්ලෙකි. ඔහු පාඩම් පහකින් පටන් ගත් උත්සාහය අවසන් වූයේ පොත් 40 කට වඩා ලිවීමෙන් පසුව ය. මගේ මව උපන්නේ සිංහල ගොවියෙකුගේ දියණියක් ලෙසිනි. ඇය එංගලන්තයේ සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්වන්නට සමත් විය.

උත්සාහයක් ගන්නා අයට තමන් ඉන්නේ ලංකාවේ ද ඇමෙරිකාවේ ද කියා වෙනසක් නැත. උත්සාහයක් ගන්නා මිනිසා තව දුරටත් පීඩිතයෙක් නොවේ. අනුන් ලවා බලහත්කාරයෙන් තම බලය අයිති කරගන්නට හදනා පීඩකයන්ට රැවටී වර්ජනයේ නොයෙදෙන, තමන් විසින් උත්සාහයක් ගන්නා අය, දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින්නෝ ද නොවෙති.

පීඩකයා කවුද?

පීඩිතයා කවුද?

හෙළා දැකිය යුත්තේ කාව ද?

හෙළා දැකිය යුත්තේ අනුන් කියනා අයෙක් නොව තමන් විසින් සොයා බලා හෙළා දැකිය යුතු යැයි තෝරාගත්තෙක් ව ය. ඔබ හෙළා දකින්නට තෝරා බේරා ගන්නේ කාව ද?!!!!

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on ජූනි 18, 2012 at 12:45 ප.ව.

    යතාර්ථය සාමාන්‍ය මිනිසාගේ මොලයට සහ හදවතට ගලායාම වලක්වන දේශපාලුවන්ගෙන් අහිංසකයා ගලවාගන්නේ කෙසේද. සෑම දෙකම පදනම (යටත්පිරිසෙයින් ගෑනියෙකුට ළමයෙක් හම්බවෙන්ඩ යායුත්තේ මොන ඉස්පිරිතාලේටද) දේශපාලනය කියා හිතන චින්තනයෙන් අපේ රට ගලවාගන්නේ කෙසේද. බටහිර ජාතීන්ගෙන් මෙන්ම තුප්පහි ඉන්දියානු සංස්කෘතික බලපෑම් නිසා වල් වැදෙන ලාංකික සමාජය ගලවාගන්නේ කෙසේද.

    • arunishapiro said, on ජූනි 18, 2012 at 1:57 ප.ව.

      wicharaka විචාරක,

      යථාර්ථය වටහා ගන්න විචාරයක් ඕන.

      විචාරයට පසුබිමක් අප විසින් ම හදා ගැනීම වැදගත්.

      අපි අකමැති අදහසක් කියන අයෙකුගේ පුද්ගලිකත්වය ඈඳාගෙන ගල් ගසන ම්ලේච්ඡ හැසිරීමත්, තර්කයේ ඇති අඩුපාඩු පෙන්වා දෙන ආචාරශීලී හැසිරීමත් අතර වෙනස කුමක් දැයි දන්නා අය විසින් නොදන්නා අයට පෙන්වා දී විචාරාත්මක සංවාදයට හැම විටම ඉඩක් සපයන්න ඕනා.

      තම මතයට විරුද්ධ මත කියනා අයට ගල් ගසන අයව හෙළා දකින්න ඕන. තමන් පිළිගන්න මතයන් සේ ම, තමන් පිළිනොගන්න මතයක් කියන්නට ද ඉඩක් දෙන අයව අගය කරන්න ඕනා.

      මුසාවක් කියන්නාට ද ඇත්තක් කියන්නාට ද එකසේ ඉඩකඩක් දී තිබීමෙන් ඇත්ත නැත්ත කුමක් දැයි තෝරා යථාර්ථය අවබෝධ කරගන්නට, මොළයට හා හදවතට ඇති ස්වභාවික වූ හැකියාවක් මිනිස් සත්වයා සතුයි.

      දෙවැනි ලෝක යුද්ධයේ දී ඩෙන්මාර්කයට නාට්සි ජර්මන් හමුදාව කඩා වැදිලා යුදෙව් අයට තරුවක් පළඳින්නට අණ දුන්නා. රටේ හිටපු දහවැනි ක්‍රිස්ටියන් රජ ( a man of “mental resistance”) කිව්වෙ සෑම ඩෙන්මාර්ක් ජාතිකයෙක් ම තරුවක් පැළැඳ ගෙන යනවා දකින්නට තමන් කැමැති යැයි කියා. ඊ ළඟ දවසේ යුදෙව්වො විතරක් නෙමෙයි අනිත් අයත් තරු පැළැඳ ගියා. යුදෙව්වන්ව රහසින් ස්වීඩනයට යවා ගන්න කම් ඔවුන් එහෙම කරලා. සාමාන්‍ය ඩෙන්මාර්ක් පුරවැසියන් සහායෙන් හැදෙන Danish resistance movement එක නාට්සි අයට එරෙහිව සෑහෙන බලපෑමක් කරන්නට සමත් වූවා. ඩෙන්මාර්කයේ 5% ක් හිටිය යුදෙව්වන් වෙනුවෙන් බහුතර පුරවැසියන් පෙනී සිටිය නිසා සම්පූර්ණ holocaust එකේ දී ඩෙන්මාර්ක් යුදෙව් ජනගහණයෙන් 99% ක් බේරාගන්නට ඔවුන්ට හැකියාව ලැබෙනවා. කරදර වලින් තොර වූ වෑයමක් නෙමෙයි ඒක. යුදෙව්වන්ට විරෝධී වූ ඩෙන්මාර්ක් පිරිසක් ඔවුන්ගේ පුවත්පත් වලින් යුදෙව්වන්ට බොරු අපවාද කියද්දි, කෝපන්හේගන් වල යුදෙව් සිනගෝගයක් අවුලුවා දමද්දි, පැන නොගිය කිස්ට්‍රියන් රජු සිටි රටේ ලුතරන් ක්‍රිස්තියානි ආණ්ඩුව තමයි බොරු අපවාද කියන පත්තර කර්තෘවරුන් දඟ ගෙයි දාලා, ආගමික ස්ථාන ගිනි තියන අයවත් සිරගත කරලා සෙසු ලෝකයට අහිංසකයන් රැකගන්න හැටි ගැන පාඩමක් කියාදෙන්නෙ.

      ඒ උදාහරණය මතක් වුනේ පහුගියදා ඩෙන්මාර්ක්-ජර්මනි ෆුට්බෝල් තරඟය බලපු නිසා!!!

      පිටින් කොයිතරම් බලපෑම් තිබුණත් පීඩකයන් ගෙන් අහිංසකයන් බේරාගන්නා විසඳුම් රට ඇතුලෙන් ම හොයාගන්න පුළුවන්. බටහිරට හෝ ඉන්දියාවට බැහැ ලාංකික සමාජය නරක් කරන්න. ලාංකික සමාජය නරක් වෙන්නෙ ලංකා සමාජයේ ම ඉන්නා පීඩකයන් නිසයි.

  2. Amarasinghe Sujatha said, on ජූනි 18, 2012 at 9:49 ප.ව.

    http://emailkavikaari.blogspot.com/2012/05/blog-post_22.html පීඩකයන් ගෙන් අහිංසකයන් බේරාගන්නා විසඳුම්
    තිබුනත් මරණ බය කියල එකකුත් තියෙන බව මම ලැජ්ජා නැතිවම කියනවා අක්කේ.

    • arunishapiro said, on ජූනි 19, 2012 at 8:24 පෙ.ව.

      Sujatha,

      යාළු මාළුවා දාලා තියෙන ප්‍රතිචාරය සෑහෙන්න වටිනවා. අපි නිට්ටාවට සුව වෙන බෙහෙතක් එනකම් බලාගෙන සිටියොත් වෙන්නෙ ඔඩු දුවා ගිහින් කපලා අයින් කලේ නැත්නම් ලෙඩා මැරෙන එකයි.

      සුජාතා නංගිගේ කතාවේ එන මාර්ගය අවහිර කිරීමට එරෙහිව කතා කරන්නත් මරණ බයක් ඇති වුනාම ඊ ළඟට කටුවන දී වගේ ඉන්න තැනට ඇවිත් මරලා දාලා යන එකට අපි මොන බය කියලා කියන්න ද?!!!!

      තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න ආත්මාර්ථකාමී සුද්දො කියලා බටහිරට චෝදනා එල්ල වූවාට, මෙහෙ නම් එහෙම පීඩකයෙකුට ඉඩක් දෙන්නෙ නැත්තෙ බහුතර මහජනතාව. ළඟට ගිහින් කියන්න ඕන නැහැ වැරදි තැනක වාහනයක් නැවැත්තුවොත්, කිසිවිටෙක ඇහෙන්නෙ නැති හෝන් හඬ විතරක් ඇති වැරදිකරුවා කවුදැයි ලොවට පෙන්වා එයාව ලැජ්ජාවට පත් කරන්නට. හැබැයි ඉතින් පීඩකයා කඩන්නෙ මොන නීතිය ද කියා බහුතරයා දන්නෙ නැත්නම්, එහෙමත් නැත්නම් ඔවුන් ද ඒ මාර්ග අවහිර කරන නීති කඩනවා නම්, එතකොට ඉතින් හැමෝටම මරණ බයෙන් තමයි ඉන්න වෙන්නෙ. එතකොට කටුවන පැත්තෙ පීඩකයා වගේ ඉන්න තැනට ඇවිත් දූෂණය කරලා ගියාත්, මරලා ගියාත් කරන්න දෙයක් නැහැ.

      එහෙම රටවල් අද ලෝකේ ඇත්තෙ බටහිර නම් නෙමෙයි. ඒත් හැමෝම එකතුවෙලා බනින්නෙ නම් කාසිවාසි පස්සේ යන ආත්මාර්ථකාමී බටහිර බලපෑම් නිසා තමන්ට එහෙම වූවා කියා!!!!! එහෙම බනින අය දකින්නෙ නැත්තෙ, 19 වැනි ශ. ව. අග භාගයේ දී තිබ්බ කව්බෝයි සංස්කෘතිය සහ ඉතාලියෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වෙච්ච සිසිලියන් මාෆියාවන් වැනි පීඩකයන්, 21 වැනි ශ. ව. වෙද්දි නැත්තටම නැතිවෙන්න අතුගාලා දාන්න සමත් වෙලා තියෙන්නෙ නිට්ටාවට සුව කරන්න බෙහෙතක් එනතෙක් ඉන්නෙ නැතිව ක්‍රම ක්‍රමයෙන් ඒ සඳහා කැප වෙච්ච, ඒවා හෙළා දැකි සමාජය වැඩි වූ නිසා බවයි.

      අද සුළු වැරැද්දක් කියන්න බය නැති කරගත්තෙ නැත්නම් හෙට ජීවිතය නැති වෙන බව පැහැදිලිව ම ඔප්පු කර ඇත්තේ ඉතිහාසයෙන්. අපි සුළු වැරදි පෙන්වා ඒවා හෙළා දකින අය හා එකමුතු වී ඉදිරියේ දී ජීවිතය නැතිවීම වළක්වා ගන්නට ඕනා. ලෝකයේ පීඩකයන්ට බලවත් වෙන්නට අත දෙන්නේ ද මහජනතාව. ජුලම්පිටිය අමරේ දැඩි පීඩකයෙක් වී ඇත්තේ තනි උත්සාහයකින් නොවේ. මර්වින් සිල්වා සෞඛ්‍ය සේවකයන් ගස් බැන්ඳේ ද තනිවම නොවේ. රටේ දණ්ඩ නීතිය නොසලකා වරද කරනවා යැයි තමන් විනිශ්චය කළ අයට ජවිපෙ කල්ලි විසින් භීෂණ සමයේ මරණීය දඬුවම් දීම ද කළේ තනිවම නොවේ.

      පෙරදිගත් අපරදිගත් පීඩකයන් ලොව හැමදාම ඉන්නවා. කොයි පැත්තේ හිටියත් පීඩකයන්ට ඉඩක් නොදී අහිංසකයන් බේරාගන්නට නම් කල්ලිවාදයෙන්, බෙදුම්වාදයෙන් හා හැම දෝෂයකට ම වෙන කාට හරි බැන වැදීමෙන් බැහැ.

      වැරදියට වටහා ගන්න නම් එපා නඟේ, ලංකාවට Aung San Suu Kyi කෙනෙක් වෙන්නැයි ඔයාට කියනවා නම් නෙමෙයි!!!!! 😀

  3. Gold fish said, on ජූනි 18, 2012 at 11:14 ප.ව.

    හෙළා දකින්න ඕනේ තැන හෙළා දකින්න ඕනේ… ලෙඩක් වුනාම නිට්ටාවට සුව වෙන බෙහෙත් නැත්තං තියෙන බෙහෙතක් හරි දෙන්න ඕනේ… නැත්තං වෙන්නේ පිළිකාවක් වගේ පැතිරුනාට පස්සේ පසු තැවෙන්න.

  4. Tharangani Resika said, on ජූනි 19, 2012 at 1:07 පෙ.ව.

    ” කතාවක් තියෙන්නෙ ලෝක‍ය මේ තරම් අයහපත් වෙන්නෙ නරක මිනිස්සු නරක වැඩ කරන නිසා නෙවෙයි යහපත් මිනිස්සු අයහපතට ඉඩ දීලා නිහඩව ඉන්න නිසා කියල…. හිතන්න දේවල් ගොඩක් තියෙන ලිපියක්…. අද අපේ සමාජයේ පීඩකයා කවුද කියල නිවැරදිව හඳුනාගන්න සාමාන්ය මනුස්ස‍යෙකුට අමාරුයි…. මොකද වැඩි හරියක් පීඩකයො සිල්වත්ව, මහා දානපතියන්ව පෙනී සිටින හින්ද… වැඩවලින් කෙසේ වෙතත් වචනයෙන් එයාල තරම් රටට මිනිස්සුන්ට ආදරය කරන අය තවත් නැහැ…. ”

    • arunishapiro said, on ජූනි 19, 2012 at 8:35 පෙ.ව.

      Tharangani Resika,

      ඔව්, කල්ලියට හේත්තු වෙලා උන් උන් මරා ගත්තම පැත්තකට වෙලා ඉන්න අපිට වාසියි කියලා බලාගෙන ඉන්න අය සලකන්නෙ නැත්තෙ උන් උන් මරාගෙන ඉවර වුනාම ඊ ළඟට මරන්න එන්නෙ පැත්තක ඉන්න අපිව කියන එක.

      යහපත් මිනිස්සු අයහපත වන්නේ කුමන පැත්තේ ද කියා නොසලකා අයපහත හැම විට ම හෙළා දැකිය යුතුයි.

      //අද අපේ සමාජයේ පීඩකයා කවුද කියල නිවැරදිව හඳුනාගන්න සාමාන්ය මනුස්ස‍යෙකුට අමාරුයි…. // සැබැවින් ම, මිනිසාව අවුල් වියවුල් කරලා බෙදුම්වාද වලින්. සිල්වත් හා මහා දානපතියන් යැයි පෙනෙන්නට බැටළු හම් පොරවා ගත් වෘකයෝ රෙදි ගලවන්න යන්නෙ එහෙම බොරු සාටක පොරවා නොගත් අයගෙ. හැබැයි ඒවාට බය වෙලා පැත්තකට වුනොත් ඔවුන් හැමදාම දෙසන මුලාවෙන් බහුතරයා රවටා ගෙන ඉන්න සමත් වෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: