අරුණි ශපීරෝ‍ වෙතින්

අද වැනිය, එදත් – නැති ද කිසිදු වෙනසක්?

Posted in Uncategorized by arunishapiro on ජූනි 27, 2012

දෙනුවර කතාව ලියන චාල්ස් ඩිකන්ස් පොතට පසුබිම් කරගන්නේ ප්‍රංශ විප්ලවයයි.

“ඒ හොඳම කාලයයි, ඒ නරකම කාලයයි, ඒ ඥානයේ යුගයයි, ඒ මෝඩකමේ යුගයයි, ඒ විශ්වාසයේ වකවානුවයි, ඒ අවිශ්වාසයේ වකවානුවයි, ඒ ආලෝකයේ සමයයි, ඒ අන්ධකාරයේ සමයයි, ඒ බලාපොරොත්තුවේ වසන්තයයි, ඒ බලාපොරොත්තු සුන් වූ හේමන්තයයි, අප ඉදිරියේ සියල්ලම තිබුණි, අප ඉදිරියේ කිසිවක් නොතිබුණි, අපි සියල්ලෝම කෙළින් ම දිව්‍යලෝකයට යමින් සිටියෙමු, අපි සියල්ලෝම කෙළින් ම අනිත් පැත්තට යමින් සිටියෙමු – කෙටියෙන් කිවතොත්, ඒ අවධිය ඉතා සමීපයෙන් නූතනය හා සමාන ය, එදා සිටි වැඩියෙන් ම කෑ කෝ ගැසූ අධිකාරියන් එය බාරගන්න යැයි පෙරැත්ත කළහ, ඒ හොඳට හෝ නරකට, ඒ ගැන ඉහළ ම අගයකින් සංසන්දය කරන්නට පමණි.”

-It was the best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of foolishness, it was the epoch of belief, it was the epoch of incredulity, it was the season of Light, it was the season of Darkness, it was the spring of hope, it was the winter of despair, we had everything before us, we had nothing before us, we were all going direct to heaven, we were all going direct the other way – in short, the period was so far like the present period, that some of its noisiest authorities insisted on its being received, for good or for evil, in the superlative degree of comparison only.”

චාල්ස් ඩිකන්ස් ලියූ Tale of Two Cities (1859) මිලියන 200 කට වඩා පිටපත් විකුණා ඇති අදත් ලෝකයේ වැඩියෙන් ම අලෙවි වන පොතකි. ටී. බී ඉලංගරත්නයන් විසින් කරන ලද එහි සිංහල පරිවර්තනය මා කියවා නැත.

චාල්ස් ඩිකන්ස්ගේ පියා ඔහු ඉපැයූ ආදායමට වඩා වියදම් කරන්න සමතෙක් වූ නිසා ණය ගෙවා ගත නොහැකිව ඒ සඳහා එකල එංගලන්තයේ වූ ණයකරුවන්ගේ සිරගෙයට නියම විය. එවක චාල්ස්ගේ වයස අවුරදු 12 කි. සතියකට සිලිම් හයක වේතනයකට ඔහුට සපත්තු පොලිෂ් නිපදවන කම්හල් රැකියාවක නිරත වන්නට සිද්ධ විය.

අසාධාරණයට ලක් වූවන් ගැන චාල්ස් ඩිකන්ස්ට ඇති කැක්කුම ඔහු අතින් ලියැවුන කතා චරිත: අනාථ දරුවන්, මසුරන්, මිනීමරුවන්, හිංසනයේ යෙදෙන පාසැල් ගුරුවරුන් අතරින් මනාව නිරූපනය වෙයි. ඔහු අහිංසකයන් වෙනුවෙන් පෙනී සිටියෙකි. එහෙත් අසාධාරණයට ලක් වූ දුප්පතුන් ගැන ඔහුගේ අනුකම්පාව සීමාසහිත වූවකි. ජනෝඝ උන්මාදය (mob madness) ඔහු ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ දෙනුවර කතාව පුරා ලන්ඩනයෙන් හා පැරීසියෙන් දෙපැත්තෙන් ම දැකිය හැකිය.

දෙනුවර කතාවට වසර 159 ක් ඉක්ම වී ගියත්, නම් ගම් වෙනස් වූවාට ඔහු ලියූ ලන්ඩනයේ හා ප්‍රංශයේ අන්දරය අදත් එදා වැනිය. ඔටුනු පැළඳි ලෝකයෙන් ගැලවෙන්නට මිනිසාට හැකි වී නැත.

ඔටුනු පැළඳි ලෝකයට මහත් ගැටළුවක් විය. ප්‍රාථමික සමාජයක වුවත් පවතින සංකීර්ණ වූ සබැඳියාවන් නිසා පාලකයන්ට රට හදන්න අවශ්‍ය තොරතුරු සියල්ල නොලැබේ. ‘කැස්ටෆියෝරෙ හා රෝමා විවිධ විවිධා ලෝකා’ නම් සටහනින් අහිගුණ්ඨික ජනතාවක් වන රෝමා ජනතාව ප්‍රංශයෙන් පිටුවහල් කරන්නට ගන්නා උත්සාහය ගැන ලිව්වෙමි. මේ métis නම් වූ සංකීර්ණත්වය ලෝක ස්වභාවයයි. මධ්‍යගත සැලසුම් ගහන්නට කැමැත්තෝ ඊට දක්වන්නේ දැඩි අකැමත්තකි.

නෝමැඩ්වරුන්, බෙයර්බර් හා බෙඩොයින්, අහිගුණ්ඨිකයන්, සිඟන්නන්, තාපසයන් යනාදීන් සියල්ලන්ටත් එසේම නිවසක්, පවුලක් හා රැකියාවක් කැමති බහුතර සියලු දෙනාටමත් එකම සැලසුම හදනා ඔවුනට අමතක වූයේ, නෙක දුරැ රටාවන් යුතු මිනිසාගේ සංකීර්ණත්වය නිසා (මිනිස් ස්වභාවය) එසේ සැලසුම් ගහන්නට අවශ්‍ය සියළු තොරතුරු ලබාගත නොහැකියාවයි. එහෙත් ලබාගැනීමට නොහැකියාව ලෝක ස්වභාවය වෙද්දී, එය නැතිව කරත නොහැකි මධ්‍යගත සැලසුම් හැදීම නිශ්ඵල යැයි ඉතිහාසය නැවත නැවතත් මතක් කරද්දී, ඔටුනු පැළඳි අයත්, ඔටුනු පැළඳි අයව ගිලටිනයට දැමූ අයත්, තවමත් එහිම නිරත ය.

F. A. Hayek ලියූ දාස භාවයට යන පාරේ තවමත් ගමන් කරන ලෝකයා, පසුගිය දිනෙක මිය ගිය නොබෙල් ත්‍යාග ලාභී Elinor Ostrom විසින් පෙන්වා දුන් ලෝක ස්වභාවය සැලකිල්ලට පාත්‍ර කිරීමෙන් බැහැර වෙති.

කොහොම ද දාස භාවයට යන පාරේ ගමන් කරන්නේ? පාලකයන් විසින් බලය අල්ලා ගන්නට ඉතිහාසය පුරා කටයුතු කළේ “ඔවුන්ට එරෙහි අපි” වාදපදය ගසමිනි. හැම විටෙක ම බලය අල්ලා ගන්නට උත්සාහ කරන්නා, පීඩකයන් පිරිසකට ඇඟිල්ල දික් කර පෙන්වයි. තමන්ගේ පීඩිත බවට හේතුව ඇත්තේ එතැන යැයි සිතන බහුතරයා පාලකයාට බලය දී පීඩනය නැතිවෙන තෙක් බලා සිටිති. එහෙත් එහෙම දවසක් උදාවෙන්නේ නැත. ඉතින් මේ පාලකයාට බැරි වූ බව කියමින් ආණ්ඩුව පෙරලන වෙන පාලකයෙකුට අවස්ථාව ලබා දෙයි. ඔටුනු පැළඳි පාලකයන්ට හෝ ඔටුනු නොමැති පාලකයන්ට ලෝක ඉතිහාසයේ කිසිම විටෙක හැමටම සුබසෙත සලසන සැලසුමක් හදා ගන්නට බැරි විය. නමුත් දැවැන්ත සැලසුම් නිසා දැවැන්ත පාඩු සහ හානි නම් බහුල ලෙසින් සිද්ධ විය.

මේ අතර තවත් පිරිසක් කිසි වාදපදයක් නැතිව සමාජයේ “උන්නතිය” සලසති. නමුත් ඇඟිල්ල දිගු කර “ඔවුන්ට එරෙහි අපි” යැයි බෙදුම්වාදයෙන් බලය අල්ලා ගන්නට වලිකන පාලකයන් නිසා මේ අයව බහුතරයා දකින්නේ ඒ ඒ කාලයට කරන ඒ ඒ වර්ගීකරණයට අනුව ය. සමාජයේ උන්නතිය සලසන මොවුන් නොයෙක් සමාජ වලින්, නොයෙක් තරාතිරම් වලින්, නොයෙක් අංශ වලින්, නොයෙක් මතවාද වලින්, අනේක නිර්මාණයන් වලින්, පොදුවේ සෑම ජීවියෙකු වෙනුවෙන් ම සහ මිනිසත්බව වෙනුවෙන් ද වෙහෙසෙති.

කවුද ජෝන් ගාල්ට්? Who is John Galt?

ජෝන් ගාල්ට් කවුදැයි පෙන්වා දුන් අයින් රෑන්ඩ්ට එකතුවෙන නොබෙල් ත්‍යාග ලත් එලිනෝර් ඔස්ට්‍රොම් පැහැදිලි කරන්නේ ලෝක ස්වභාවය නම් ආණ්ඩුවේ සහනාධාර නැතිව සමාජයේ පවතින සම්පත් එකතු කර මිනිසාටත්, පරිසරයටත් වාසිදායක ලෙසින් බෙදා ගන්නට හැම සමාජයක ම මිනිසා දන්නා බවයි. ඒ බෙදා ගැනීමට නවෝත්පාදක (innovative) වූ ද, සාර්ථක විසඳුම් හොයන කෞශල්‍ය්‍යෙන් පිරි (ingenious) වූ ද, ක්‍රම වේදයන් ඉදිරියට ගෙන ඒමට මිනිසා දක්ෂ බව ඇය ඔප්පු කර පෙන්වන ලදි.

ප්‍රධාන මාධ්‍ය්‍යන් වලින් මේ අදහස් වැඩිය අහන්නට ලැබෙන්නේ නැත. මන්ද, හැමට සැලසුම් ගහනා පාලකයන් මෙන් ප්‍රධාන මාධ්‍ය්‍යන්ටත් ජීවිකාව රැකගන්නට උවමනා කරන්නේ බෙදුම්වාදයයි. ඒ පැත්තේ පුවත්පත, මේ පැත්තේ පුවත්පත යැයි පැත්තක් අල්ලා ගෙන පැත්තෙන් පෝෂණය වීම නවෝත්පාදක (innovative) නැති වූ ද, සාර්ථක විසඳුම් හොයන කෞශල්‍ය්‍යක් (ingenious) නැති වූ ද, අයගේ ප්‍රාථමික මනස වැඩ කරන විදියයි!!!!

එයින් ගැලවෙන්නෙක්, ලෝක ස්වභාවය සහ මිනිස් ස්වභාවය දුටුවෙක්, ජයෝතිශ්ශාස්ත්‍රයට සීමා වූ “ඉරණම” පත්‍රයේ කර්තෘ තනතුරෙන් ඉල්ලා අස් වී තමන් විසින් ආරම්භ කළ “චිත්ත ධර්ම විද්‍යා” පත්තරයේ කර්තෘවරයා විය!!!!

ප්‍රංශය ගැන ඉතිහාසයෙන් පටන් ගෙන නූතනයට එන සටහන් කිහිපයක ආරම්භයයි මේ. කැමැත්තෝ කියවත්වා! සරලව ලියන්නට උත්සාහ ගන්නම්. සාබිත් මල්ලි, පැහැදිලි නැත්නම් කියන්න, පැහැදිලි කරන්න තවත් උත්සාහ කරන්නම්.

පින්තූර: සිවිල් විවාහයන්ට ඉඩ දෙන ඩෙලවෙයාර් ප්‍රාන්තයෙහි වැඩිම සමලිංගික ජනගහණය ජීවත්වන රෙහොබොත් වෙරළබඩ නගරයෙන්.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on ජූනි 27, 2012 at 9:25 පෙ.ව.

    ඔය පලාතේ තේ ඇත්තේම නැද්ද?
    කෝපි විතරද?

    • arunishapiro said, on ජූනි 27, 2012 at 9:38 පෙ.ව.

      kathandarakaraya,

      තේ තියනවා ඕනෑ තරම්. කඩේ අයිතිකාරයා බන්දේසිය උස්සාගෙන ඉන්න තැන ඇත්තේ සීතල කරපු තේ බෝතලයක්. මේ අනිත් පින්තූරයක තේ පෝච්චියයි තේ කෝප්පෙයි දෙකම තියෙන්නෙ. එතැන High Tea වල දී Revolution Tea කොම්පැණියේ සහ වෙනත් කොම්පැණි වල විවිධ තේ වර්ග වලින් පිරි ට්‍රොලියකින් කැමති තේ වර්ගයක් තෝරා ගන්න පුළුවන්. ඇමෙරිකාවේ තේ කොම්පැණි එංගලන්තයටත් වඩා වැඩියිනෙ බලාගෙන ගියාම. ඒත් අර ලංකාවේ තේ පෙට්ටි බොස්ටන් වරායට හලපු ඉතිහාසය නිසා, තාමත් බදු ගැන අකමැත්ත මිනිස් හදවතෙන් අයින් කරන්න බැරි ඉතිහාසයක් හිමි වූ නිසා, තේ ගැන දැන්වීම් ගහන්න වැඩිය හිත දෙන්නෙ නැතිව ඇති.

  2. Gold fish said, on ජූනි 27, 2012 at 12:10 ප.ව.

    නොදන්න ඉතිහාසයක් කියවන්න ලැබෙයි වගේ…!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: