අරුණි ශපීරෝ‍ වෙතින්

හිමිතැන නොදැන මිනිස් ඝාතනයක් කළ ප්‍රංශ විප්ලවය

Posted in Uncategorized by arunishapiro on ජූලි 3, 2012

මැක්සිමිලියන් රොබෙස්පියෙර් ප්‍රංශ නීතිඥවරයෙකි, දේශපාලනඥයෙකි. චාල්ස් ඩිකන්ස් ලියන දෙනුවර කතාවේ සඳහන් ජනෝඝ උන්මාදයෙන් පිරි ජැකෝබින් සමාජයේ සාමාජිකයෙකි. රොබෙස්පියර් උපදින්නේ දරුවන් හතර දෙනෙක් වූ පවුලක වැඩිමලා සහ අවජාතකයෙක් හැටියට ය. ඔහුගේ අනුග්‍රාහකයන් ඔහුව අදූෂ්‍ය (The Incorruptible) යැයි හඳුන්වද්දී විරෝධීන් ඔහුව ලේ පිපාසිත ආඥාදායකයෙක් (bloodthirsty dictator) සේ හඳුන්වති.

බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකියි” කියූ ඔහු බිත්තර බොහොමයක් කඩන්නට දායක විය. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන නාමයෙන් දියත් කරන ලද, එහෙත් ඒවා අඩංගු නොවූ, රදළ පංතියට ඇති වෛරයෙන් පමණක් පිරුණු ප්‍රංශ විප්ලවයේ වඩාත් ම බලගතු පුද්ගලයා වූයේ ඔහුයි.

බිත්තර කැඩුවත් ඔම්ලට් හදන්නට නොහැකි වූයේ විකෘතිය, උන්මාදය, මුලාව, වෛරය හා නූගත්කම පෙරදැරි කරගත් අරගලයක් බලය අල්ලා ගන්නට දියත් කළ නිසා ය. එවැනි මහදැනමුත්තෝ අදත් සිටින්නෝ ය. අනුන් වෙනුවෙන් මහා පරිමාණ සැලසුම් ගහන්නට දක්ෂයෝ නොදන්නා දේ දන්නා ලෙසින් කියමින් අදත් ජනතාව මුලාවෙන් රවටති, දුප්පතුන් හා අහිංසකයන් අනාථ කරති.

16 වැනි ලුවී රජු තමන්ටත් සිය රටවැසියන්ටත් හිමිතැන කුමක්දැයි විමසුවෙකි. වැඩවසම් මිනිසුන් අතර අසමාන වූ ලැබීම් ගැන පහදන්නට ජනතාවගේ අධ්‍යාපනය බාර වූයේ පල්ලියටයි. යහපත් අස්වැන්න වෙනුවෙන් දෙවියන්ගේ ආශීර්වාදය ඉල්ලන්නටත් බාරවූයේ පල්ලියටයි. 16 වැනි ලුවී එය තමන් ඇදහූ කතෝලික පල්ලියට සීමා නොකර පොතෙස්ත්‍රන්ත හා යුදෙව් ආගම් වලටත් අවසර දුන්නේ ය. ජනතාව විසින් තෝරාපත් කරගන්නා ප්‍රාදේශීය සභාවන් පිහිටුවා රජයත් ජනතාවත් අතර ගැටළු විසඳන්නට උත්සාහයක් ගත්තේ ය. තමන් යටතේ වූ වහලුන් නිදහස් කළේය. එහෙත් රදළයන්ට හා පූජ්‍ය පක්ෂයට වහල් සේවකයන් තබාගන්නට හැකි අයිතිය අහිමි නොකළේය. සාක්කිකරුවන්ට හා අපරාධකරුවන්ට වදහිංසා කිරීම තහනම් කළේය. දුප්පතුන්ට 3% පොලියට ණය ලබා ගැනීමේ ස්ථාන පටන් ගත්තේ ය. බැස්ටිලයට විප්ලවකරුවන් කඩා වැදෙද්දී එහි සිටියේ සිරකරුවන් 7 කි. අනිත් සියල්ලෝම නිදහස් කර තිබිණ.

බැස්ටිලය කඩා වැටෙද්දී ලුවීගේ බාල සහෝදරයා Comte d’Artois සිය භාර්යාවත්, අනියම් බිරිඳත් රැගෙන රටින් පිටවෙන්නේ තවත් රදළයන් ඔහු අනුගමනය කරද්දී ය. ඒ දෙවන සංක්‍රමණික (émigrés) රැල්ලයි.

රදළයන්ට හිමිතැනක් නැතැයි කියා, තම හිමිතැන වෙනුවෙන් සටන් වැදි එහෙත් තමන්ට පහළ මට්ටමේ ඉන්නා පුරවැසියන්ගේ හිමිතැන කුමක්දැයි නොවිමසූ කෝපි කඩවල් වල එකතු වූ බුර්ජුවාසිය (ගිරොන්ඩන් කල්ලියේ මැඩාම් රෝලන්ඩ් සහ ජැකෝබින් කල්ලියේ රොබෙස්පියර් යනාදීන්) Voltaire වැන්නන් කියන්නේ කුමක් දැයි වටහා නොගෙන නිදහස ගැන දාර්ශනික අදහස් අගයන රැල්ලට එක්වූහ!!!! වෝල්ටෙයාර් ආගම හා රජය වෙන්කළ යුතු යැයි කීවෙකි. සියල්ලන්ගේ ම නිදහස් අයිතීන් රුකිය යුතු යැයි කීවෙකි. කැමති ආගමක් අදහන්නට ඉඩක් තිබිය යුතු යැයි කීවෙකි. අදහස් ප්‍රකාශයට අවසරය තිබිය යුතු යැයි කීවෙකි. එහෙත් රදළයන් හා සමතැන් රිසි බුර්ජුවාසියේ විකෘතියෙන් පෙළෙනවුන්ට ඒවා වැටහුනේ නැත. ඔව්හු සැමට නිදහස යන්න අවියක් කරගත්තේ රදළයන් හිස් සිඳ තමන්ට ඒ බලය හා සමාජ තත්වය ගන්නටය.

1788 වසර ලෝක ස්වභාවය තමන් කවුදැයි ප්‍රංශයට පෙන්වූ වසරක් විය. නියං සමයක් පැමිණ අස්වැන්න විනාශ කළේය. අයිස් වැස්සක් කඩා වැටී නෝමන්ඩියේ සිට ෂැම්පෙන් දක්වා සැතපුම් 180 ක් සරු පස් විනාශ කරන ලදි. වසර 80 කට පසු දරුණු ම හේමන්තය පිවිසියේ 1788-89 දී යි. දහස් ගණනින් පළතුරු ගස් මිය යන ලදි. 1789 වසන්තයේ ගංවතුරින් හිරිහැර සිද්ධ වුණි. හාමතෙන් මිය ගියේ ස්වල්පයකි. එහෙත් බහුතරයට අගහිඟකම් දැනුණි.

නිදහස යන්න කුමක් දැයි නොදත්, හිමිතැන කුමක් ද යැයි නොදත් ජනතාව කුසගිනි දැනෙද්දී එකිනෙකා හා ඝට්ටන පටන් ගනිති. රජයට යමක් කරත හැකි යැයි සිතා සියළු ව්‍යසන මේ ඉන්නා පාලකයා දූෂ්‍ය නිසා යැයි කියන්නාට සවන් දී අදූෂ්‍ය පාලකයෙක් සොයති. ඉන්නා පාලකයාට වැඩේ බැරි නිසා වෙනකෙක් පත්කරගත්තාම වැඩේ හරි යැයි සිතති.

1789 ගිම්හානයේ දී නීතියක් නැති සමයක් රටට උදාවිය. ආහාර මංකොල්ලකරුවන් නිසා අධික බියෙන් Great Fear සමයේ පුරවැසියන් අවිගත්හ. මාස හයක දී තුවක්කු 400,000 ක් පුරවැසියන් සතු වේ. තුවක්කු, මිට දිග මුල්ලු, හා දෑකැති අවි සේ අමෝරා ගත් පුරවැසියන් විසින් බදු එකතු කරන්නන්ව, වැඩවසම් රදළයන්ව, ඒකාධිකාරීන් යැයි තමන් සිතූ සියල්ලන්ටම පහර දුන්හ. කඩ හා ගෙවල් ගිනි තැබූහ. මසුරන්ගේ වයින් බැරල් හළා දැමූහ. තවත් සංක්‍රමණික රැල්ලක් රටින් පිටවූහ.

මිනිසාගේ හා පුරවැසියන්ගේ අයිතීන් ප්‍රකාශනය 1789 අගෝස්තු 27 දා එළිබැස්සේ ය. චන්දය හිමිවූයේ සහ මහජන නිලතල වෙනුවෙන් පත්වෙන්නට අවසර ලැබුනේ කොටසකට පමණි. සිවිල් අයිතීන් නළුවන්ට, පොතෙස්තන්ත්‍ර හා යුදෙව් ආගමිකයන්ට අහිමි විය. නැවතත් පාන් හිඟයක් පැතිර ගියේය. ප්‍රංශ කාන්තාවන් පාරට බැස්සහ. උරණ වූ පැරිසියේ වැසියන් රජ මාලිගයේ මුර සෙබලුන්ගේ හිස් ගසා දමා ඒවා උල් වල ගසාගෙන ගියහ. තවත් සංක්‍රමණික රැල්ලක් රටින් පිටවූහ.

1790 දී ස්ථාපිත කරගත් විප්ලවීය ව්‍යවස්ථාවෙන් ඔවුන් රජුගේ බලය අවම කළත් උපතින් හිමිවන ඔටුන්න අහෝසි කළේ නැත!!!! බංකොළොත් වූ භාණ්ඩාගාරය පුරවන්නට දැනට ධනවත් එකම කොටස වූ පල්ලිය වෙත හැරුනහ!!!! ෆ්‍රෑන්ක් බිලියන තුනක් වටිනා පල්ලියේ බූදලය රජය සන්තක කළහ. එහෙත් ජාතිය, නිදහස හා රජකම වෙනුවෙන් සැලසුම් ගහන්නෝ අතින් ඒ ආයෝජනයෙන් ද කිසිවකුටත් යහපතක් නොවී ඒ මුදල් සියල්ල වියදම් වී ඉවර වුනේ අද ආණ්ඩුවල වගේ මයි!!!! Vive la nation! Vive la liberté! Vive le Roi! එහෙත් return on investment නොලැබුණි!!!!

1793 භීෂණ සමයේ දී රටේ අභ්‍යන්තර පොලීසිය පාලනය වූයේ මහජන ආරක්ෂා කමිටුවක් විසිනි. රොබෙස්පියෙර් එහි සාමාජිකයෙක් විය. ඔවුන්ගේ නීතික පිළිවෙත (legal policy) වූයේ භීෂණයයි. විප්ලවීය ආණ්ඩුවකට භීෂණය අත්‍යාවශ්‍ය වූවක් ද, ප්‍රශංසනීය වූවක් ද, මඟ හැරිය නොහැකි වූවක් යැයි ද කියා සිටි රොබෙස්පියර් සද්ගුණවත් ජනරජයක් සඳහා සියලු වැරදිකරුවන්ගේ හිස් ගසා දැමීම අනුමත කළේය!!!!

අවුරුදු විස්සේ දී ඔටුන්න පැළඳි හිස අවුරුදු 38 දී ගිලටිනයෙන් අහිමි වූ 16 වැනි ලුවී රජුට පසු විප්ලවවාදීන් ටික දිනෙකින් මාරි ඇන්ටොනෙට් රැජිනවත් ගිලටිනයට යැවූහ. අනතුරුව ඔවුන් සියළු ප්‍රභූන් මරා දැමීමට පටන් ගත්හ. ඒ 1793 වසරයි.

දහසය වැනි ලුවී ආඥාදායකත්වයෙන් ඉවත් වෙන්නට වොල්ටෙයාර් කියන අදහස් වලට සවන් දෙන්නට පටන් ගත් උත්සාහයට ඉඩක් නොදී ඔහුගේ හිස ගිලටිනයට තැබූ ඒ වකවානුව පසු කරමින් නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය සටන් පාඨය කරගත්තවුන් ගෙනාවේ “මට එරෙහි නම් ඔබ ද්‍රෝහියෙක්” යන සමයයි.

හතුරා යැයි හංවඩු ගැසි අයව මරා දමන්නට ජනතාව යුහුසුළු වුවත් කැඩූ බිත්තර වලින් ඔම්ලට් හැදුනේ නැත. ඒ වෙනුවට ඇති වූයේ භීෂණ සමයකි.

අරමුණක් කරා යන්නට සැලැස්මකින් යුතු විනයානුකූල මෙහෙයුමක් නොව තැන තැන විවිධ නිෂ්ටාවන් සඳහා ඒ ඒ අය කැමති පරිදි සිදුවන ක්‍රියාවන් නිදහස් අරගලයක් නොවේ. සම්පූර්ණ හා සාධාරණ වූ නඩුවක් අහන්නේ නැතිව මූණිච්ඡාවට අහන නඩුවකින් වහාම මරණය පැමිණවීමෙන් ප්‍රංශය පුරා මරණීය දඬුවම් 25,000 ක් සිද්ධ විය. සියළු චණ්ඩ ක්‍රියා වලින් එළියට ආවේ රදළයන් වෙත තිබූ අප්‍රසාදය සහ විරෝධයයි.

විරුද්ධවාදී දේශපාලන පැති වූ ජැකොබින් හා ගිරොන්ඩින් ආරවුල් නිසා ඇණ කොටා ගත්හ. මහජන ආරක්ෂා කමිටුවල බලය අවම කරමින් රොබෙස්පියර් ආඥාදායකයා වෙයි. තම අදහස් පිළිනොගන්නා හැම කෙනෙකුගේ ම හිස් ගසා දැමෙයි. අපොයි, රදළයන් හා එකට තේ බොන්නට නොලැබුනු නිසා ඔවුන්ට විරෝධය පානා අයට එකතු වූ බුර්ජවාසී මැඩාම් රෝලන්ඩ්ගේ දේශද්‍රෝහී හිස බුර්ජුවාසීන් අතින්ම ගිලටිනයට අසුවිය!!!!

1793 සැප්තැම්බර් 5 සිට 1794 ජූලි 28 දා දක්වා තිබුනේ ප්‍රංශයේ භීෂණ පාලනයයි. පැරිසියේ 2,639 ක් ඇතුළුව මුළු ප්‍රංශයේ 16,594 ක් මිනිස් ජීවිත ගිලටිනයෙන් මරා දමන ලදි.

ප්‍රංශ නිදහස් අරගලය දියත් කරන්නට ඇමෙරිකන් නිදහස් අරගලයට සහාය දුන් ලාෆායෙට් වැනි රදළයන් ද දායක වූහ. පැරීසියේ සිය මන්දිරයේ දොරටුව අසලින් ඇමෙරිකන් නිදහස් ප්‍රකාශනයේ රාමු කරන ලද කොපියක් තැබූ ලෆායෙට් එය අසලින් ඉඩක් හැදුවේ ප්‍රංශ අයිතීන්ගේ ප්‍රකාශනය තබන්නට කියාය.

එහෙත් හරියාකාර නායකයෙක්, අරමුණක් හා ප්‍රතිපත්තියක් නොතිබි ප්‍රංශ ජනතාව තමන් පීඩනයට පත්කරගෙන සිටි රදළයන්ට එරෙහිව විකෘතියෙන්, උන්මාදයෙන්, මුලාවෙන්, වෛරයෙන්, නූගත්කමින් රදළ සමාජයේ සිටි හැම කෙනෙක් ම ගිලටිනයට ගෙන ගියහ. ඔවුන්ගේ නීතියේ පදනම මානව අයිතීන් මත නොව රදළ විරෝධී පදනමක ගොඩ නැඟිණ.

ඇමෙරිකන් අරගලයේ සටන් වැදි, ප්‍රංශයට ඒකීය පුද්ගලයාගේ නිදහස් අයිතීන් ගෙන එන්නට වෙහෙසුන අයවත් ගිලටිනයට හා සිරබාරයට ගැනෙද්දී ලාෆායෙට් ඔස්ට්‍රියාවට පැන ගියේය.

තමන් ආඥාදායකයෙක් බව නොදැකි රොබෙස්පියර් Cult of the Supreme Being යනුවෙන් ආගමක් ස්ථාපිත කරන්නට පටන් ගති. එය නව ප්‍රංශ ජනරජයේ රාජ්‍ය ආගම බවට පත් කිරීම ඔහුගේ අභිප්‍රාය විය. ඔහුගේ බහින කලාව පටන් ගන්නේ එතැන් පටන් ය.

අන්න අරයා ආඥාදායකයන් යැයි අනෙකෙකුට ඇඟිලි දිගු කර පෙන්වුවත්, තමන්ට විරුද්ධව මතයක් ගෙනහැර පාන සෑම අයෙක් ම විදේශීය බලවේගයන්ගේ ඉත්තෙක් හා රටට විරැද්ධ කුමන්ත්‍රණ කරන්නෙක් ලෙසින් හැමදාම හංවඩු ගසන්නට බැරි ය. කාලයක් යද්දී රටේ ජනතාව ආඥාදායකයා කවුදැයි සොයා ගන්නට බැරිව අන්දුන් කුන්දුන් වෙති. එවිට ෆෙඩ්රික් හයෙක් පෙන්වා දුන් ලෙසින් නූගත් ජනතාව “ශක්තිමත් මිනිසෙක්” වෙත බලය පවරති. ඒ දරුණු මිනිසා වන්නේ නැපෝලියන් බොනපාට් ය!!!!

සද්ගුණය හා විචාරය යන සංකල්පයන් අවුල් වියවුල් ලෙසින් පටලවා ගත් රොබෙස්පියර් විසින් කළ මහත් හානිය නිසා ප්‍රංශයේ එක දුම්රිය නැවතුම් පොළක් හැරෙන්නට ඔහුට අදත් වෙන කිසි තැනක ස්මාරකයක් නැතැයි කියැවේ.

පින්තූර: මගේ පදිංචිය පිහිටි ඩෙලවෙයාර්, මේරිලැන්ඩ් සහ වර්ජිනියා ප්‍රාන්ත තුනින් හැදෙනා ඩෙල්මාර්වා හි ය. මේ අපි බෝට්ටු පදින්න යන Assawoman Bay ය. බෝට්ටු වලින් එන අයට වතුරට මුහුණ ලා ඇති අවන්හල් ඉදිරියේ බෝට්ටු නැංගුරම් ලන්නට ඉඩකඩ හදා ඇත.

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on ජූලි 3, 2012 at 6:22 පෙ.ව.

    බිත්තරේ නොකඩා ඔම්ලට් හැදීම: අරුණි ෂපීරෝ ට හොඳ පාඩමක් උගන්වමි

  2. Gold fish said, on ජූලි 3, 2012 at 8:36 පෙ.ව.

    ලස්සන විස්තරයක්…!

    බෝට්ටු නවත්තන්න තියෙන්නේ කාර් පාක් කරනව වගේමද….? ඒක ලස්සන ඇති මං හිතන්නේ….

    • arunishapiro said, on ජූලි 3, 2012 at 1:32 ප.ව.

      Gold fish,

      ස්තූතියි යාළු මාළු මල්ලියේ.

      පහල තියෙන පළමු පින්තූරේ කෙටුවොත් ඒක ලොකු කරත හැකි. ආයෙත් කෙටුවොත් තවත් ලොකු කරත හැකි. එතකොට බලන්න පුළුවන් බෝට්ටු නවත්තලා තියෙන හැටි.

      කාර් එකක් පාර්ක් කරනවා වගේට වඩා ඉස්සර කාලේ කව්බෝයිලා සැලූන් ගිහින් ඉස්සරහ අශ්වයෝ බැඳලා තියෙනවා වගේ කියලා මට හිතෙන්නෙ.

  3. wicharaka විචාරක said, on ජූලි 3, 2012 at 10:33 ප.ව.

    යුරෝපා ඉතිහාසය මමත් එතරම් කියවලා නැහැ. නමුත් එය රසවත්. මෙවැනි දේ දිගටම ලියන්න. මම නොවරදවාම කියවනවා.
    පින්තූරයේ ඉන්නේ සුද්දප්පු සහ ඔහුගේ ඇඹේණියද?

  4. X-Porter said, on ජූලි 4, 2012 at 5:48 පෙ.ව.

    අගනා විස්තරයක්…. ප්රංශ විප්ලවය කියන්නෙ මානව ඉතිහාසයේ විශාල වැදගත් කඩ ඉමක් .. ප්රංශෙ විතරක් නෙමෙයි (ඇමරිකාව ඇතුලුව) මුලු යුරෝපය පුරාම මේ විප්ලවීය වෙනස් කම් සිදූනා…මගේ දැනුම හැටියට ප්රංශ විප්ලවය කියන්නෙ ධනේශ්වර විප්ලවයක්… ඒක ඉබේ පැන නැගුනු දෙයක් වත් එක් පුද්ගලයෙක් කන්ඩායමක් කෘතිමව ඇතිකරපු දෙයක් නැමෙයි.. ඒ වක වානුව වෙනකොට ප්රංශෙ විතරක් නෙමෙයි සමස්ථ යුරෝපය පුරාම මේ අර්බුධයපැවති නිශ්පාධන ක්රමයේ මේ අර්බුධයමතු උනා (හරියටම මේ දැන් වගේ..). ඒ වකවානුවෙ රදල හෙවත් වැඩ වසම් ක්රමය යටතෙ වැඩවසම් නිශ්පාධනයට තව තවත් වර්ධනය වෙන්න ඒ වැඩවසම් ක්රමය තුලින්ම සීමා බාදක පැන නැගුනා… ඒ නිසා ඒ නිශ්පාධන ක්රමය වර්දනය වීම සඳහා එයටම ආවේනික උනු වැඩවසම් සීමා පවුරු බිඳ හරින්න අලුතින් බිම් හොයාගන්න විප්ලවීය ආකාරයෙන් නැවත නව පදනම් ගොඩ නගන්න අවශ්ය උනා… තව දුරටත් වැඩ වසම් ක්රමය ප්රගිති ශීලී ක්රමයක් උනේ නෑ ඒ කාලෙ ප්රගතිශීලී විදික්රමය බවට පත් උනෙ ධනේශ්වර ක්රමයයි. නිශ්පාදනයේ වර්දනයට අවශ්ය ඉඩ හසර ලබාදීමේ හැකියාව තිබුනෙ ධනේඅශ්වර ක්රමයටයි. ඒ නිසා ඒ වෙනස තමයි ප්රංශ් විප්ලවයෙන් කරේ.. නිශ්පාධනක්රමයක වෙනසක් වනවිට එය විප්ලවීය ආකාරයෙන් විය යුතුයි. එවිටයි පරන ක්රමයන් සමග තිබුනු රැහැන් මුලින්ම සිඳල දාන්න පුලුවං. (ලංකාවෙ ඒවගේ විප්ලවීය වෙනස් කම් කෙරුන්නති නිසාතමයි අපි තාමත් වැඩවසම් රැහැන් වලින් වෙලිල මඩ ගොහුරුවක ඉන්නෙ.. අපි විතරක් නෙමෙයි මුලු දකුනු ආසියාවම..) මේ නිශ්පාධන ක්රමය වෙනස් උනේ මිනිසුන්ගෙ සියලුම සම්බඳතා සිතුම් පතුම් චර්යා රටාවන් ප්රගති ශීලී ලෙස වෙනස් කර මින්…හයියෝ comment එක post එකක් උනා වගෙ… මෙතනින් බාගෙට උනත් නවත්තන්නම්.

    මම ඔබගේ එක නිතර කියෙව්වත් අද තමයි කරේ.. ප්රංශ විප්ලවය මාව ඒකට පෙලඹෙවුව…

    X-Porter

    • arunishapiro said, on ජූලි 4, 2012 at 9:20 පෙ.ව.

      X-Porter,

      ස්තූතියි.

      මිනිසාගේ පරිනාමයේ දී වැදගත් කඩඉම් බොහොමයක්. මම දකින්නෙ හැම එකක් ම විප්ලවීය වූවක් ලෙසින්. මම දකින්නෙ තවමත් මිනිසා පරිනාමය වෙමින් පවතින්නෙක් හැටියට.

      මිනිසාගේ ස්වභාවික තත්වය දුක්ඛිත දරිද්රතාවය. මිනිස් සතා ඉපදෙන්නෙ තම ආරක්ෂාව හා තම පැවැත්මට සහජ වූ ක්‍රමවේදයක් නොමැතිව. වෙන අයකුගේ පිහිට නැත්නම් උපන්නාට පස්සෙ මිනිසා ජීවත්වෙන්නේ ද නැහැ.

      ඉතින් ස්වභාවික තත්වය දුක්ඛිත දරීද්‍රතාවය නම් සමහර මිනිස්සු පිරිසක් පමණක් කොහොම ද සමෘද්ධිය කරා යන්නට සමත් වෙන්නෙ?

      ලැව් ගින්නකින් අළු වී දවා ගිය අල මුල් කන්නට පටන් ගත් මිනිසා ආහාර උයා කන්නටත්, එයින් වැඩියෙන් ආහාර බුදින්නට හැකි වූ නිසා (ඉව්ව කෑම කන්න පහසුවෙන්) මොළයේ වර්ධනයෙන් අවි ආයුධ හදාගන්නට හැකි වූ මිනිසා ආයුධත් රැගෙන දුවන්නට යද්දී හිටගෙන දුවන්නට පටන් ගත් නිසාත් ….

      මිනිසා තුල සහජ වූ ප්‍රාජක අතර තමන් ගැන කුතුහලය ද, ලෝකය ගැන කුතුහලය ද නිසා තමන්වත් අනුන්වත් ආරක්ෂාවට හා පවත්වා ගැනීමට උත්සාහයේ යෙදෙනවා.

      ප්ලේටෝගේ රෝමයේ වහල් ක්‍රමය තිබ්බා. මිනිස් ස්වභාවය විමසූ ප්ලේටෝ වහල් ක්‍රමය දැක්කෙ තමන්ගෙ ආරක්ෂාවට හා පැවැත්මට අවශ්‍ය වූවක් විදියට. ඉම්පීරියල් චීනයේ පංති ක්‍රමයක් තිබ්බා. රුසියාවේ දාසයන් හිටිය. ඉන්දියාවේ කුල භේදයක් තිබ්බ. ඔටෝමාන් අධිරාජ්‍ය, ස්පාඤ්ඤ යටත් විජිත, අප්‍රිකාවේ හා දකුණු ඇමෙරිකාවේ යනාදී සියල්ලේ ම යම් මිනිසුන් පිරිසක් උප්පත්තිය නිසා අයිති වූ කොටසක් ලෙසින් දිවි ගෙවා මිය ගියා.

      නමුත් ඒ සියල්ල වෙනස් වූයේ, එනම් උප්පත්තිය නිසා අයිති වූ කොටසෙන් ගැල වී මිනිසාගේ වෙහෙස නිසා සමෘද්ධිය කරා යන්නට රටේ ව්‍යවස්ථාවෙන් “හිමිතැන” නම් තමන්ගේ උත්සාහයෙන් ජයගත හැකි තැන යැයි විප්ලවයක් ලෝකයේ සිද්ධ වූයේ ඇමෙරිකන් නිදහස් අරගලයෙන් පසුවයි.

      ප්‍රංශ විප්ලවය අවුලක්. ප්‍රංශ විප්ලවයට පෙර එහි තත්වය කියුබාවේ වූ තත්වය හා සමානයි. කියුබාව ලතින් ඇමෙරිකාවේ සශ්‍රීකත්වයෙන් යුරෝපයටත් වඩා ඉහළ තැනක සිටිය දී තමයි ෆිඩෙල් රට අල්ලා ගන්නෙ. ප්‍රංශයේ විප්ලවයට පෙර එහි බුර්ජුවාසියට ඒ කියන්නෙ රදළයන් නොවූ, පූජ්‍ය පක්ෂය නොවූ අයට තමයි සියළු නිෂ්පාදන වර්ධනයේ ඉඩකඩ තිබ්බෙ. ඔවුන් ප්‍රංශ රජයට, ප්‍රභූන්ට ණය පවා දෙන හැකියාව ලබනවා. නිදහස් වෙළඳපොලක නාමයක් ගෑවෙද්දී සශ්‍රීක වෙන ප්‍රංශය තුල එයින් තම උත්සාහයෙන් ජය ගන්නා අය අතරින් සුළු කොටසකට රදළයන් හා සමාජයීය වශයෙන් සමතැන් ඉල්ලන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේ ම පාලන බලය අවශ්‍ය වෙනවා. නැත්නම් තමන්ගෙ ධනයෙන් පෝෂණය වෙන ආණ්ඩුව වියදම් කරලා තමන්ගෙ ආයෝජන විනාශ කරන නිසා. ඒ පිරිස මෙහෙයවන්නෙ රොබෙස්පියෙර් නැමති “ශක්තිමත් මිනිසා”. කියුබාවේ ඒ “ශක්තිමත් මිනිසා” වූයේ ෆිඩෙල්.

      ඊට කළින් වෙච්ච බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් අරගලය (Glorious Revolution 1688) ද අවුලක්.

      ඒ අවුල් මොනවා දැයි වටහා නොගත් නිසා, ලිහා නොගත් නිසා යුරෝපා හවුල තාම අවුලක් හැටියට මම දකින්නෙ.

      වැඩවසම් සීමාවන් බිඳ දමන්න කියා ගෙන්වා ගත් නිදහස් වෙළඳපොල හා ඒකීය පුද්ගල අයිතීන් අගයන්නේ නැති අනෙකුත් ක්‍රමවේදයන් ලෝකයට විසල් ආණ්ඩු ලබා දීලා, වැඩවසම් රදළයන්ගේ හා ධනපතියන්ගේ තැන් දේශපාලනඥයන් විසින් අරගෙන තවමත් මිනිසා යම් කොටුවකට සීමා කරලා තියාගන්න හැකියාව පවත්වා ගෙන යනවා. අද ඒ සීමාවට කොටුවෙලා පාඩු හා අවාසි විඳින්නෙ උප්පත්තිය නිසා නෙමෙයි, ඒත් දුප්පතුන්, නූගතුන් හා අහිංසකයන්. ඒ ගැන තව විස්තර කරන්නම් පසුව. ඒ සීමාවකට කොටු කරන්නෙ නැති “හිමිතැන” හැමට ම එක ලෙසින් ඉඩකඩක් පාදා දෙන එකම ක්‍රමය ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඒක ගැනත් අනවබෝධය නිසා ව්‍යවස්ථාව හා අයිතීන් ස්ථාපිත කරගත් දා පටන් වෙනස් කරගන්න හදන බුර්ජුවාසියක් ඇමෙරිකාවේත් ඉන්නවා.

  5. mppgunasinghe said, on ඔක්තෝබර් 25, 2013 at 11:17 පෙ.ව.

    ඉතාම අගනේය

  6. ඒ.විමලවංස හිමි said, on මැයි 8, 2015 at 12:00 ප.ව.

    හොදට විස්තර කරලා තියෙනවා..ආසාවෙන් කියවා තේරුම් ගන්න පුලුවන්…මෙලෙස තවත් ඉතිහාස පුවත් රසවත්ව ඉදිරිපත් කරන්න…ඔබට දීර්ඝායුෂ පතමි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: