අරුණි ශපීරෝ‍ වෙතින්

සතුටු ජූලි 4 ක් වේවා!

Posted in Uncategorized by arunishapiro on ජූලි 4, 2012

ලෝක ස්වභාවය තමන් කැමති අයුරින් හසුරුවන්නට සමත් වූවෙක් ලොව බිහි වී නැත. අසාර්ථක උත්සාහ ගත් අය බොහොමයකි. ස්වභාව ධර්මයාව පාලනය කරන්නට සමත් වූ ආණ්ඩුවක් ලොව නැත්තේ එයට හැකියාවක් නැති බැවින් යැයි වටහා ගැනීමට හැකි අය ලොව ස්වල්පයකි. ඉහළට යන උෂ්ණත්වයෙන් සහ පැතිරෙන ලැව් ගින්නෙන් තමන්ව බේරා ගැනීම රජය සතු කාර්ය භාරයක් යැයි සිතනා අය තව තවත් අසාර්ථක සැලසුම් සඳහා, තම දූ දරුවන් ණය බරින් පුරවමින්, තව තවත් බලය රජයට දෙමින්, දෙන්නට නොහැකි විසඳුමක් ලැබෙන තෙක් බලාගෙන සිටිති.

මිනිස් උන්නතියට සහ අප ජීවත්වන පරිසරය රැක ගැනීමට හැකි එකම ක්‍රමය, එනම් පෘතුවියේ වසනා මිනිසාට “හිමිතැන” කුමක්දැයි පෙන්වන සාර්ථක විසඳුම එන්නේ ඇමෙරිකන් ව්‍යවස්ථාවෙනි.

මිනිසා සිය සතුට සොයා යන ගමනට ළැදියෙක් බවත්, සද්ගුණයෙන් පිරි අයෙකු බවත් දැකි ව්‍යවස්ථාව ලියූ අය, ඒ දෙක අතර සමබරතාවයක් පිණිස ගන්නා ස්වභාවික උත්සාහය නම් මිනිස් ස්වභාවය බව දුටූහ.

සතුට සොයා යෑමත්, සද්ගුණවත් වීමටත්, යන උත්සාහයන් දෙක අතර අරගලය, මිනිස් සමාජයක් ජාතියක් වශයෙන් නියැලෙන අරගලය ද වෙයි. සමහරු තම සතුට පමණක් සොයන සද්ගුණය නොහඳුනන මනෝව්‍යාධිකයන් වෙද්දී ඔවුන් ගෙන් අහිංසකයන් බේරා ගන්නේ කෙසේ ද? ජාතියක් වශයෙන් මේ දෙපැත්ත අතර මැද පිළිවෙත සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන්නේ කෙසේද?

සියළු මනුෂ්‍ය්‍යන්ට නිදහසට අයිතියක් ඇත යැයි කියද්දී එයින් කියැවෙන්නේ ස්වභාවයෙන් ඔවුන් සියල්ලම සමානාත්මතාවයකින් යුතු යැයි කීමයි. එහි දී සමහරු ස්වභාවයෙන් අනිත් අය පාලනය කරන්නට සුදුසු වූ ඉහළ අය යැයි කියා හෝ අනිත් අය ස්වභාවයෙන් පාලනය වෙන්නට සුදුසු වූ පහළ අය කියා යැයි කියා නැත!!!!

මිනිස් මොළයේ පිහිටා ඇති ආශාවත්, සද්ගුණයත් අතර ගැටළු විසඳන ක්‍රමවේදයට සමාන වූවක් ඇමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදූ අය විසඳුම ලෙසින් දකිති. ඒ ආණ්ඩුවක් අංශ වලට බෙදා ඒ ඒ අංශයන්ට විවිධ වූ බලතල දීම මිසක එක අංශයකට වැඩියෙන් බලය නොදීම ය. ආණ්ඩුවට සියළු බලතල නොදී ප්‍රාන්ත අතර බෙදීම ය. ආණ්ඩුව හා ප්‍රාන්ත අතරට බලය නොදී මහජනතාව අතර බලය බෙදීම ය.

ඇමෙරිකන් ආණ්ඩුව සකස් වී ඇත්තේ වාදයට (debate) හා සංවාදයට (dialogue) ඉඩ ඇති පරිද්දෙනි. අවේක්ෂණය (checks) සහ සංතුලනය (balances) යන වදන් ව්‍යවස්ථාව සම්පාදනයේ දී වූ වාද විවාදයන් හි බහුල ඒ නිසයි.

අවේක්ෂණය හා සංතුලනය යනු මිනිස් ස්වභාවයයි. මිනිස් මොළය යම් තෝරාගැනීමක දී ඊට තම prefrontal cortex කොටස පාවිච්චි කරනවා සේ, මිනිසා විසින් ජීවිතයේ දී විචාරය (reason) පාවිච්චි කරයි. මහජන කටයුතු වල දී ත් විසඳුම් ගෙනෙන්නට හැකි එකම මාර්ගය මෙය යැයි ඔවුන් දැක්කේ 18 වැනි ශත වර්ෂයේ දී ය.

ආණ්ඩුවේ බලය අවේක්ෂණයට ව්‍යවස්ථාව විසින් සියළු මිනිසුන්ට චන්ද බලය දුන්හ.

ඒකීය රටවැසියාගේ ආවේගාත්මක චර්යාව අවේක්ෂණය සඳහා එයින් ආණ්ඩුවට බලය දුන්හ.

නීති සම්පාදක, විධායක හා අධිකරණය යන තුනෙන් ආණ්ඩුවේ එක කොටසකට පැවරෙන බලය අවේක්ෂණයට අනෙක් කොටස් වලට ඉඩ දුන්හ.

ජනාධිපති හමුදාවේ නායකයාය. එහෙත් යුද්ධයකට යන්න අවසරය කොංග්‍රසයෙන් ලබාගත යුතුයි.

කොංග්‍රසය යුද ප්‍රකාශ කරද්දී, ජනාධිපති හමුදාවන්හි නායකයා වශයෙන් මෙහෙයුම දියත් කළ යුතුයි.

රට රටවල් අතර ගිවිසුම් ජනාධිපති විසින් කතිකා කරගනියි. එහෙත් සෙනෙට් සභාව ඒවා අපරානුමත (ratify) කළ යුතුය.

නියෝජිත සභාවට (House) ලැබුනේ ද්‍යෝෂාභියෝගයන් ගෙනෙන්නට බලයයි. ඒවා සලකා බැලීම පැවරෙන්නේ සෙනෙට් සභාවටයි.

ෆෙඩරල් රජයට බදු පැනවීමට බලය, රට ණය කිරීමේ බලය, ප්‍රාන්ත අතර හා විදේශීය වශයෙන් වානිජ්‍ය හා වෙළඳාම සඳහා රෙගුලාසි ගෙන ඒමේ බලය ලැබෙද්දී ෆෙඩරල් ආණ්ඩුවේ ඉහත බලයන් අවේක්ෂණ අයිතිය ප්‍රාන්ත වලට පැවරෙයි.

ජනතාව ඒවායෙන් බැහැර වූ අනිත් බලතලයන් සියල්ලේ ම අයිතිකරුවන් වෙති.

විවිධ ආගම් ඇදහූ අය සිටි රටක් නිසා ඊට සුවිශේෂී විසඳුමක් ගෙනෙන ලදි. රදළයන් හා ඔටුන්න නැතිව මිනිසාට තමන් පාලනයට හැකියාවෙන්, ආගම අදහන්නට කැමති අකමැති දෙගොල්ලන්ට ම ඉඩක් දෙන ලදි. රජයක් ඔසවාගෙන සිටින ස්ථම්භය එක ආගමක් නොවන්නට ඔවුන් එදා ආගම අවේක්ෂණයට ගෙනා කදිම විසඳුම අනිත් ආගම් ඇදහීමේ අයිතියයි. එක ආගමක් බලවත් වීම එයින් සංතුලනය කිරීමෙන් ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ආගමක අනුග්‍රහය නැති ආණ්ඩුවක් බිහිවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවේක්ෂණය හා සංතුලනය සඳහා අයිතීන් පනත (Bill of Rights 1790) ගෙනෙන ලදි.

එහි මුල්වැන්න ආගමක් ස්ථාපිතයට නීතිමය ඉඩක් නැතිකමය. එසේම කැමති ආගමක් ඇදහීමට ඇති අයිතිය නැති කිරීමට ද ඉඩක් නැත. කැමැත්තක් කියන්නට, මාධ්‍යයකින් අදහස් ප්‍රකාශයට, සාමකාමීව රැස්වීමට, යමක් වෙනස් කරන්න යැයි ආණ්ඩුවට පෙත්සම් යවන්නට යනාදීය පුරවැසියන්ගේ අයිතීන් හැටියට සඳහන් වෙයි.

දෙවැන්න නම්, රෙගුලාසි වලින් යුතු මිලීෂියාවක් නිදහස් රාජ්‍ය්‍යක ආරක්ෂාවට අත්‍යාවශ්‍ය බැවින්, ජනතාවට අවි ආයුධ තබා ගැනීමටත් පාවිච්චියටත් ඇති අයිතිය රජයට උල්ලංඝනය කළ නොහැකිය. රජයේ සොල්දාදුවන්ට පමණක් අවි තිබීම එයින් අවේක්ෂණය හා සංතුලනය කරන ලදි.

තුන්වැන්න නම්, සාම සමයක කිසිම නිවසක හිමියාගේ කැමැත්ත නොමැතිව සොල්දාදුවෙක් රඳවන්නට නොහැකිය. යුද්ධයක් පවතින කාලයක දී එය කළ හැක්කේ කොංග්‍රසයේ නීතියක් සම්මතයකින් පමණි.

හතරවැන්න නම්, පුද්ගලයෙක්ව, වාසස්ථානය, ලියකියැවිලි, පුද්ගලික දේවල් යනාදිය වරෙන්තුවක් නැතිව පරීක්ෂාවට ලක් කළ නොහැකිය. වරෙන්තුවක් නිකුත් කරන්නේ නඩුකාරයා ඉදිරියේ දිවුරුම් දී, යමක් සෙවීමට හා අල්ලා ගැනීමට තමන්ට සම්භව්‍ය හේතුවක් (probable cause) ඇතැයි පෙන්විය හැකි විස්තර ඉදිරිපත් කිරීමෙන් පසුය. එසේ නොමැතිව සැකය නිසා පමණකින්, ඒ සැකය ඔප්පු කරත හැකි සාධක නොමැති වරෙන්තුවකින් හිරබාරයට ගත්තෙකුට වැරද්දක් කර ඇතත් නීතිය ඉදිරියේ නිදහස ලබන්නට අවස්ථාව ලැබේ.

පස්වැන්න හැදී ඇත්තේ නීතිය අනිසි ලෙසින් යොදාගෙන ආණ්ඩුවේ බලය පාවිච්චියට ඉඩක් නොතැබීමට ය. මහා ජූරියක් නඩු විභාගයකට සාක්කි ඇත්දැයි තීරණය නොකළහොත් මහා අපරාධ නඩු විභාගයක් පටන් ගත නොහැක. ජූරිය ඔබ අහිංසක යැයි තීරණය කළහොත් තවත් ජූරියකින් එකම වරදකට දෙවරක් නඩු විභාග කළ නොහැක. නඩු විභාගයේ දී කිසිත් නොකියා ඉන්නට අයිතියක් ඇත. ජූරිය වරදකරු යැයි තීරණය නොකළ හොත් මරණයට, හිරබාරයට, හෝ දඩයක් ගැසීමට නඩුකාරයාට නොහැකිය. එසේම ආණ්ඩුවට ඔබේ නිවස හෝ ගොවිපොල රාජ්‍ය සන්තක කරත නොහැකිය. රජයට පවරා ගන්නේ නම් ඊට රජය ගෙවීමක් කළ යුතුයි.

හයවැන්න අනුව අත් අඩංගුවට ගතහොත් අපරාධ විභාගය ඉක්මන් හා සැමට දැනගත හැකි ප්‍රසිද්ධ වූ නඩුවකට අයිතිය ලැබෙයි. නීතිය කඩකල පළාතේ වාසය කරන පැත්තක් නොගත් ජූරියකින්, තම වරද කුමක් දැයි පැහැදිලි කර දී, තමන් වරදකරු යැයි කියන්නාව දකින්නටත්, තමන් වෙනුවෙන් සාක්කි දෙන අයව දකින්නටත්, තමන්ගෙ පැත්ත කියන්නට සාක්කිකරුවන් අනිවාර්ය ලෙසින් රජයේ සහායෙන් ලබා ගත හැකියාවත්, එසේම තමන්ගේ නිදහසට නීතිඥයෙකුගේ සහාය ලබන්නට අයිතියක් තිබීමත් ඇතුලත් ය.

වැරැද්දක් කළ පුද්ගලයාව තමන්ගේ අසල්වැසියන් අතරින් තම සමාජ/වෘත්තීය මට්ටමේ වූ ජූරි සභාවකින් විභාග කෙරෙයි. සුදු අප්පුහාමි අප ජීවත් වූ විවිධ ප්‍රාන්ත වල නඩුවල දී ජූරි සභිකයෙක් වී ඇතත් මා කැඳවූ කිසිම අවස්ථාවක දී මාව තෝරාගත්තේ නැත!!!! ඒ සමහර විට මම වගේ හිතනා අය නීතිය කඩන්නේ නැති නිසා වෙන්නැති!!! එහෙත්, ඩෙලවෙයාර් හි වසර ගණනාවක් සේවයේ ඉන්නා නඩුකාරයෙක් කිව්වේ කිසිම නීතිඥයෙක්ට ජූරි සභාවේ තමන්ගේ පැත්තට වාසි යැයි කියා ජූරි සභිකයෙක් තෝරන හැකියාවක් නැත කියාය!!!

යුද්ධයක දී මිලීෂීයාවට ද, යුද නැති කාලයන් හි යුද හා නාවුක හමුදාවලට ද තමන්ගේ නඩු අහන්නට අවසර ඇත. යුද හමුදාවේ අයෙක් කී අන්දමට සිවිල් නීතියක් කැඩුවොත් රටේ උසාවියෙන් ලැබෙන දඬුවමට අමතරව මිලිටරි උසාවියෙන් ද නඩුව අසා දඬුවමක් ලැබේ. ඔහුට අනුව මිලිටරි උසාවියේ ලැබෙන දඬුවම බරපතල වැඩිය.

උසාවියක දී වරක් නඩුකාරියක් සාප්පුවකින් යමක් සොරා ගත් කාන්තාවකට ඇයට ලැබිය හැකි දඬුවමේ බරපතල කම ගැන කියා දෙන්නට ගත් උත්සාහය මම බලා සිටියෙමි. සාප්පුවේ පැමිණිල්ල වෙනුවෙන් කිසිවෙක් පෙනී නොසිටි බැවින් හා ඇය අල්ලා ගත් පොලිස් නිලධාරියා ද උසාවියට පැමිණි නොසිටි බැවින් ඇය නිදහස් විය. නීතිය නිසා ලැබිච්ච වාසියෙන් ඇයට නැවතත් වරද නොකරන්න යැයි නඩුකාරිය තරයේ දුන් අවවාද ඉදිරියේ සතුට සොයා යෑමත් සද්ගුණයත් අතර සංතුලනය ඇය වටහාගත් ආකාරය අමතක නොවේ.

හත්වැන්නට අනුව සිවිල් නඩුවක දී, එනම් පුද්ගලයන් අතර ආරවුලක දී ද ජූරියක් ඉල්ලත හැකි අයිතිය ඇත. එවැන්නක් නැවත වෙනත් උසාවියකින් විභාග කරත අයිතිය ආණ්ඩුවට නැත.

අට වැන්නට අනුව පුද්ගලයාගේ සමාජ මට්ටමට දැරිය නොහැකි දැඩි ඇප තීරණයටත්, එසේම දැඩි දඩ හෝ කෲර හා අසාමාන්‍ය දඬුවම් ද පැනවිය නොහැක. ඇමෙරිකාවේ දී වත්කම අනුව ඇප තීරණය වුවත් දඩය තීරණය වෙන්නේ වරද අනුව ය. 80 ගණන් වල දී ජර්මනියේ දී දඩ තීරණය වූයේ වත්කම අනුව විය. අද කෙසේදැයි නොදනිමි.

නව වැන්න නම් මේ අයිතීන් ලැයිස්තුව ව්‍යවස්ථාවේ සඳහන් වූ පමණින් එයින් වෙනත් අයිතීන් ඔබට නැතැයි කියා කියැවෙන්නේ නැත.

දහ වැන්න නම් ඇමෙරිකන් කොංග්‍රසයට ව්‍යවස්ථාවෙන් දී නොමැති බලය අයිතිවෙන්නේ රටේ ප්‍රාන්ත වලට සහ ජනතාවටයි.

ඉතින් මුලාවෙන් අන්ධ වූ කොංග්‍රසයක් යම් නීති පනතක් සම්මත කරගත්තේ ද, උන්මාදයකින් වූ ජනාධිපතිවරයෙක් එයට අත්සන් තැබුවේ ද, විකෘතියෙන් වූ සුපිරි විනිසුරුවන් ඊට අනුමැතිය දුන්නේ ද, ඒත් … ජනතාව සතු බලය අහිමි වී නැත … ජනතාවට ජනාධිපති ගෙදර යවා වෙනත් ජනාධිපතිවරයෙක් පත් කරගෙන පනත අහෝසි කරගත හැකිය.

අහෝ … එහෙත් ලොව එකම එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් ලැබී ඇති තමන් සතු මහඟු බලය නොදන්නා, තමන් සතු මහඟු බලය ගැන කියා නොදුන් ගුරුවරුන් හා ජන මාධ්‍ය්‍යෙන් පෝෂණය වී සිටින්නා, අවේක්ෂණය හා සංතුලනය බැහැර වූ විට බලය වැඩියෙන් දී පීඩකයන් කැමැත්තෙන් ම කැඳවාගන්නට හදන නූගත්කම නිසා තෝරාගෙන ඇත්තේ මේ ආඥාදායකයා පලවා හරින්නට තවත් එවැනි ම “ශක්තිමත් මිනිසෙක්” නම්?!!!!!!

නිදහස් අයිතීන් යනු සෑම දිනක ම විකෘතියට, උන්මාදයට, මුලාවට, වෛරයට හා නූගත්කමට එරෙහිව සටන් වැදීමෙන් ආරක්ෂා කරගත යුත්තකි.

එදා ප්‍රංශයේ මොළය පාවිච්චි කර, ධනයත්, දැනුමත්, ජීවිතයත් ආරක්ෂා කරගෙන රට හැර දා ගිය ආගමික, ආගමික නොවූ, ධනවත්, දුප්පත්, රදළ හා රදළ නොවන සංක්‍රමණිකයන් සේ මොළය පාවිච්චි කරන්නට දත්තාව තම කෙටි වූ ජීවිත කාලයේ දී කිසිම පීඩකයෙකුට පීඩනයට පත්කළ නොහැකියි.

තම නිදහස් අයිතීන් ව්‍යවස්ථාවෙන් පවරා ඇතැයි කියමින්, බලය රිසි අයට ඊට ඉඩ දී නිකම් බලා සිටියහොත් වැඩියෙන් ම දේවල් අහිමි වෙන්නේ නූගතුන්ට, අහිංසකයන්ට හා දුප්පතුන්ට ය. ඔවුන් වෙනුවෙන් සටන් වදින්නට සතුට සොයා යන රසවත් කෙටි ජීවිතයකින් ඩිංගක් මිඩංගු කරනා අය අදත් සිටිති 😀

1776 ජූලි 4 වැනිදා වූයේ මිනිස් චින්තනයේ නිදහස උදාවයි.

ඒ නිසා සකල ලෝකවාසීන්ට සතුටු ජූලි 4 ක් වේවා පතන්නම්!!!

නිදහස් මනසේ සීමාවන් නොමැත. සත්‍ය්‍ය සොයා යන ගමනේ දී එය කොතැනකට ගියත් මෙහි දී අපි බිය නැත්තෙමු. වැරදීම් හා සටන් කරන්නට විචාරයට නිදහසක් පවතින තුරා කිසිම වැරදීමක් ඉවසා නොසිටිමු. තෝමස් ජෙෆර්සන්, 1820

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. Chandani said, on ජූලි 4, 2012 at 11:47 පෙ.ව.

    සතුටු ජූලි 4ක් ම වේවා! ස්තූතියි! විස්තරයට.

    • Nihal Gurusinghe said, on ජූලි 4, 2012 at 2:24 ප.ව.

      ඔබගේ ලිපිය හා මා දන්නා කරුණු අනුව බල තල බෙදා ඇති රටවල් අතරින් මුල් තැන ඇමරිකාවට හිමිවේ. යුද ප්‍රකාශ කිරීමට ඇති බලතල පවා කීප දෙනෙකු අතර බෙදා ඇති ආකාරය එහි ඇති මහත්මා ගුණ පෙන්නුම් කරයි. ලංකාවේද කලකට පෙර සෙනේට් සභාවක් හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලයක් තිබුනා.
      ජනාධිපතිවරයාට සපත්තුවෙන් දමා ගැසිය හැකි තරමට නිදහසක් ඇති රටක, නියම නිදහසේ ප්‍රීතිය භුක්ති විඳින ඔබටත් , මටත් ,ඇල්කෙමියාටත් happy 4th of July කියා සුබ පතන්නට කැමතිය.

      • arunishapiro said, on ජූලි 4, 2012 at 3:17 ප.ව.

        Nihal,

        සමහර වෙලාවට මගෙ මතයකට සහාය දක්වන්න එන අයටත් එරෙහි වන හැදියාව මට තියෙනවා. ඒ අවුල් නිසියාකාරව බේරා නොගත්ත හොත් කියන්න යන දේ පැහැදිලි නොවී නැති අවුලකුත් ඇති වෙන නිසා.

        ජනාධිපතිවරයාට සපත්තුවෙන් දමා ගැසිය හැකි වීම යනු අකමැත්ත ප්‍රකාශ කරන්නට හැකි වීම යැයි කියන්නට රෑපකයක් යොදා ගැනීම නොහොත් metaphor එකක් මිසක් එම ක්‍රියාව, එනම් ජනාධිපතිට පමණක් නොව ඕනෑම මිනිසෙකුට සපත්තුවකින් දමා ගැසීම ඇමෙරිකාවේ අනුන් ගෙන් හිංසාවට පාත්‍ර නොවී සිටීමට ඇති නිදහස් අයිතිය උල්ලංඝනයකි.

        ස්තූතියි නිහාල් .. ඇමෙරිකාවේ සිට මේ අඩවිය කියවන තවත් අය බොහෝ ඉන්නවා … එයාලවත් එකතු කරගනිමු.

    • arunishapiro said, on ජූලි 4, 2012 at 3:35 ප.ව.

      Chandani,

      ස්තූතියට ස්තූතියි චාන්දි අක්කා. ඔයාගෙ මල්ලියාටත් එයාලගෙ පවුලේ හැමටත් සතුටු ජූලි 4 ක් ම වේවා කිව්වා කියන්න.

  2. buddie-බුඩී said, on ජූලි 7, 2012 at 11:44 පෙ.ව.

    හරිම සුන්දරයි හැබැයි මතුපිටින් විතරයි, එලිය රහයි, කාලම බලන්න ඕනේ රගේ දැනෙන්න. ලෝකෙටම ලොකු කම් පෙන්නගෙන අනිත් අයගේ අයිතිවාසිකම් කඩ කරන්න එක ඔය ව්‍යවස්ථාවේ තියෙන්නේ කොහොමද ?
    ඇත්ත, රටක් විදිහට හොද පද්ධතියක් ඇමෙරිකාව තුල තියෙනවා, ඒත් ලෝකේ තියෙන ප්‍රශ්න ඇතිකලේ ඇමෙරිකාව, ඒ වෙන මොනවත් නිසා නෙමේ ප්‍රධාන ආදායමක් වෙච්ච ආයුද වෙලදාම තර කරගන්න වගේම ලෝකෙටම ලොක්කා වෙන්න.
    ඒක නිසා බූඩිට නම් මේ ගැන සතුටුවෙන්න බෑ. කොහොමටත් බූඩිට මේක අදාලත් නෑ. ඇමෙරිකන් පුරවැසියන්ට වෙන විකල්පෙකුත් නෑ. මඩ සෝදනවා ඇරෙන්න.

    නිහාල් – //යුද ප්‍රකාශ කිරීමට ඇති බලතල පවා කීප දෙනෙකු අතර බෙදා ඇති ආකාරය එහි ඇති මහත්මා ගුණ පෙන්නුම් කරයි.// නීති සම්පාදනයෙන් නම් මහත්මා ගතිය පෙන්නලා තියෙනවා ඒත් ක්‍රියාවෙන් පෙන්නුවේ නෑ නේද?

    • arunishapiro said, on ජූලි 7, 2012 at 4:38 ප.ව.

      buddie-බුඩී,

      //ලෝකෙටම ලොකු කම් පෙන්නගෙන අනිත් අයගේ අයිතිවාසිකම් කඩ කරන්න එක ඔය ව්‍යවස්ථාවේ තියෙන්නේ කොහොමද ?//

      //ඒත් ලෝකේ තියෙන ප්‍රශ්න ඇතිකලේ ඇමෙරිකාව, ඒ වෙන මොනවත් නිසා නෙමේ ප්‍රධාන ආදායමක් වෙච්ච ආයුද වෙලදාම තර කරගන්න වගේම ලෝකෙටම ලොක්කා වෙන්න.//

      සෙසු රටවල් හා සසඳද්දී ඇමෙරිකාව අනිත් අයගේ අයිතිවාසිකම් කඩ කළේ නැහැයි කියලත්, ලෝකෙ තියන ප්‍රශ්න ඇති කලේත් ඇමෙරිකාව නෙමෙයි කියලත් මට සාධක, දත්ත, සිදුවීම් අනුව ඉතිහාසයෙන් තොරතුරු අරන් පෙන්වන්න පුළුවන්. යාන්තමින් මේ අඩවියේ තැන් තැන් වල දී ඊට උත්සාහයක් ගෙන ද තියෙනවා. බුඩීට විතරක් නෙමෙයි ලෝකවාසී සෑම අයෙකුට ම අදාලයි සත්‍යය කුමක් දැයි විමසීම. මොකද ඔවුන් ද ජීවත්වෙන්නේ මේ ලෝකයේ ම නිසා. නිතර ඇහෙන්නේ බහුතරය විසින් ඔප්පු කරගන්න බැරි ගොඩක් අවලාද කීම පමණයි. ඒවා සොයා බලන්නේ නැතිව ඒ අවලාද නැවත කීම ලෝකයේ තත්වය හොඳ අතට හරවා ගන්න හැකි ක්‍රමයක් නෙමෙයි.

      ඉතිහාසමය අවස්ථාවක් එක සිද්ධියක් විදියට ඉගෙන ගන්න හැදියාවෙන් මෑත් වෙලා ඉතිහාසය යන්න සිදුවීම් රාශියක ප්‍රතිවිපාක විදියට කියවන්න ගනිද්දී මෙතෙක් දැන නොසිටි බොහෝ දේවල් දැනගන්න පුළුවන්. මම ආරාධනා කරනවා බුඩීට කාලා ම රහ බැලීම පිණිස අනිත් අයගේ අයිතිවාසිකම් කඩ කරපු හැටි ගැන හා ආයුධ වෙළඳාම තර කරගැනීමෙන් ප්‍රධාන ආදායම හොයාගත්තා ද යන්න ගැන සාධක හොයා යන්න කියල. “Here we are not afraid of truth wherever it may lead.” -Thomas Jefferson


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: