අරුණි ශපීරෝ‍ වෙතින්

ජීවිතය හරියට ප්‍රංශ සයිකල් සවාරිය වගෙයි!!

Posted in Uncategorized by arunishapiro on ජූලි 6, 2012

ප්‍රංශ සයිකල් සවාරියේ තරඟ කරන්නට ආරාධනාවක් නැතිව නොහැකිය. එයට ආරාධානවක් ලැබෙන්නේ ලොව දක්ෂතමයන්ට ය. දක්ෂයාව කැඳවන්නේ කණ්ඩායමකට ය. කණ්ඩායමේ මෙහෙයුම හා එහි ජය ඊට ආර්ථික සහාය ලබාදෙන්නා ගේ කැමැත්ත අනුව බොහෝ දුරකට තීරණය වෙයි. නන් දෙසින් ප්‍රංශ සයිකල් සවාරියේ තරඟ කරන්නට එන වෘත්තීය සයිකල්කරුවන් බොහෝවිට එකම කණ්ඩායමක නන් රටවල් නියෝජනය කරති.

කණ්ඩායමේ තරඟකරුවන් අතර තරඟයේ මුළු දිනුම ලබන්නටත්, ඒ ඒ අදියර වල දිනුම් ලබන්නටත්, ඒ ඒ උත්සාහයන් සඳහා දිනුම් ලබන්නටත් හැකි අයට කීර්තිය සමඟින් තෑගි ලැබේ. ඔවුන්ට ජය අත් කරගැනීමට සහාය වෙන්නට තම මුළු උත්සාහයම යොදවන අයව හැඳින්වෙන්නේ domestique නොහොත් මෙහෙකරුවා නමිනි. මෙහෙකරුවා තම කණ්ඩායමේ ජයගන්නට වෙහෙසෙන දක්ෂයන්ට වතුර බෝතල් ගෙන යනවා පමණක් නොව, හති දාගෙන පාගා යමින් තම දක්ෂයාව ඉදිරියට ගෙනැවිත් ඔහුට දිනන්නට අවස්ථාව උදාකර දී දවසේ තරඟය නිමා කරන දිනුම ලබා හති අරිනා අයයි. අද මෙහෙකරුවා පසුකාලයක දී කණ්ඩායමේ තමනටත් මෙහෙකරුවන් සිටිනා අයෙක් වීමට උත්සාහ දරන්නෙකි.

2012 ප්‍රංශ සයිකල් සවාරිය පටන් ගනිද්දී තරඟකරුවන් 219 ක් සහභාගී වූහ. අදියර 20 ක් ඇති තරඟයේ පස්වැනි අදියර අවසන් වෙද්දී ඉතිරි වී ඇත්තේ 194 දෙනෙකි. තරඟය අවසන් කිරීමට හැකිවීමත් ක්‍රීඩා ලෝකයේ උසස් ජයග්‍රහණයක් ලෙස සැලකෙයි.

ජිවිතය හා නිදහස තිබුණත් සතුට සොයා යෑම පැතූ පමණකින් එය ළඟා නොවෙන්නකි. එයට උත්සාහයක් කළ යුතුය. උත්සාහයක් ගන්නා අයට සතුට සොයා යන තරඟයට ආරාධනයක් කොහෙන් හෝ ලැබෙයි. ආරාධනය ලැබෙන්නේ ආරාධනය කරනා අයගේ නීති රීති වලට අනුකූලව තරඟ කරන්නට ය. ඒවා කඩන අයට තරඟයෙන් ඉවත් වෙන්නට සිද්ධ වේ. දක්ෂයෙක් නම් තමන් කැමති කණ්ඩායමක් වෙනුවෙන් තරඟ කරන්නට අවස්ථාව වැඩිය. තමන් එකතුවෙන කණ්ඩායම තුල ද දක්ෂයෙක් වෙන්නේ නම් තමන්ට මෙහෙකරුවන්ගේ සේවය ලබා ගැනීමට ද හැකියාව ඇත.

නමුත් දක්ෂයෙක් වූ පමණින්, ආරාධනවක් ලැබු පමණින්, සේවකයන් සිටි පමණින්, තමන් වෙහෙසක් ගන්නේ නැත්නම් ජය, සතුට ලබනු නොහැකියි.

ස්වභාව ධර්මයා ගෙන් සහ පියෙවි සිහියෙන් නොසිටින්නෝ විසින් තරඟකරුවාට පමුණුවන බාධක කොතරම් දක්ෂයෙක් වුවත් අනිත් තරඟකරුවන්ට සේ තමන්ටත් මුහුණ පාන්නට වෙන ඒවාය. කොතරම් රැකවරණයක් ලැබුනත් කොයිතරම් දක්ෂයෙකුට වුවත් බාධක වලින් නිති ගැලවීමට හැකියාව යම් දුරකට වාසනාවත් යම් දුරකට තමන් පියෙවි සිහියෙන් සිටීමත් මත තීරණය වෙන්නකි.

සමහර විට ලොව දක්ෂතමයෙක් වුවත්, අවාසනාවන්ත සිද්ධියක් නිසා තරඟයට ආරාධනාවක් තිබුණත් සහභාගී වන්නට නොහැකි වේ. ලක්සම්බර්ග් හි ඇන්ඩි හා ෆ්‍රෑන්ක් ශ්ලෙක් සහෝදරයන් දෙදෙනා ගෙන් ඇන්ඩිට මෙවර ප්‍රංශ සයිකල් සවාරියට පෙර තරඟයක දී සිදු වූ අනතුරක් නිසා සවාරියේ තරඟය නොහැකි වී ඇත. ඉතින් කොතරම් දක්ෂයෙක් වුවත් ජීවිතයේ දී නොවැළැක්විය හැකි බාධක ඉදිරියේ අසරණ වෙන්නට සිදුවේ.

තරඟකරුවන් අතරේ නීති කඩන අයත්, ඒ අය ගැන නොතකා තමන් නීත්‍යානුකූලව තරඟ කරන අයත් දෙගොල්ලෝම සිටිති. නීති නොකැඩුවත් නීති කැඩුවා යැයි දෝෂාරෝපණයන්ට මුහුණ දෙන්නට සිද්ධ වීමත් ජිවිතයේ හැටියි. ඉතින් වරදක් කළා ද නැද්ද යන්නට අවසානයේ දඬුවම් ලැබෙන්නේ වෙන කාගෙන් වත් නොව තම හෘද සාක්ෂියෙනි.

ජීවිතය තරඟයකි. උපන් නිසා හැමෝම ජීවිතයේ තරඟ වදිමින් සිටින්නෝ ය. උත්සාහයෙන් තමන් නියැළෙන තරඟයේ දක්ෂතමයන් වෙන්නට වෙර දරති. එහි නීති රීති අනුගමනය කරති. හෘද සාක්ෂියට අනුව තරඟ වදිති. නොවැළැක්විය හැකි බාධක ඉදිරියේ අසරණ වී ඒත් තරඟය අත් නොහරිති. ජීවත් වෙන පමණින් තරඟයෙන් ඉවත් විය නොහැකි නිසා නිතැතින්ම තරඟයේ යෙදි සිටින්නෝ වෙති. අනුන්ගේ තරඟය ගැන නොව තමන්ගේ තරඟය ගැන සිත යොමු කරන්නන් වැඩියෙන් ජය, සතුට අත් කරගන්නට සමත් වෙති.

තරඟයක් සමඟින් පැවැත්වෙන උත්සව සහ සමාජ සේවා වැඩසටහන් බොහොමයකි. ඉහත පින්තූරයේ ඉන්නා මගේ ඥාති පුත් ගයි ඊස්ට් එවැනි වැඩසටහන් සඳහා මේ දිනවල ප්‍රංශ සයිකල් සවාරිය සමඟ ද එය අවසන් වී ලන්ඩන් ඔලිම්පික් උත්සවය සඳහා ද සහභාගී වන වෘත්තීය සයිකල් ක්‍රීඩකයෙකි.

2012 ප්‍රංශ සයිකල් සවාරියේ පස්වැනි අදියරයේ දී අනතුරකින් යාන්තමින් ගැලවී දිනුම කරා නොපැකිළව ගොස් අදියර ජයගත් André Greipel ට ජයවේවා!

10 Responses

Subscribe to comments with RSS.

  1. Mourya Raj said, on ජූලි 6, 2012 at 8:41 පෙ.ව.

    ප්‍රංශ සවාරිය කිව්වොත් ඉතිං ආම්ස්ට්‍රෝන්. එයාට කොහොමද දන්නෙ නෑ?

    • arunishapiro said, on ජූලි 6, 2012 at 8:47 පෙ.ව.

      Mourya Raj,

      1903 සිට පැවැත්වෙන තරඟයක ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් එක කඩඉමක් පමණයි.

      එයාට විරුද්ධව මෙහෙයුමක් දියත් වෙලා තියෙනවා, ජයගත් ප්‍රංශ සවාරියන් වල දී තහනම් උත්තේජක පාවිච්චි කළ බවට. දැන් එහි විමසුම අවසන් වෙන තෙක් බලාගෙන සිටින්නේ. ඒත් අභාග්‍ය්‍ය තහනම් උත්තේජක පාවිච්චිය ඔවුන්ට විද්‍යාත්මක ක්‍රමයකින් ඔප්පු කරගන්න බැරි ව සාක්කි වලින් ඔප්පු කරන්න යෑමයි.

      රාජ්ගේ නවාතැන එන්න එන්න ම ඉතා රසවත්, ඉතා අනගියි. දිගට ම ලියන්න ජයවේවා!

  2. kathandarakaraya said, on ජූලි 6, 2012 at 9:22 පෙ.ව.

    මොකද උත්තේජකවත් ගත්තාද?

  3. Lishan Puwakovita said, on ජූලි 6, 2012 at 10:23 පෙ.ව.

    හරියටම හරි!
    මනුස්ස ජීවිතේ වැටීම් නැඟිටීම් මේ සියල්ලම වාගේ පාපැදි තරඟයක තියෙනවා..
    හොඳ ලිපි එකතුවක්..!

  4. wicharaka විචාරක said, on ජූලි 6, 2012 at 11:10 පෙ.ව.

    මම ලබාගෙන තියන චන්ද්‍රිකා දුරරූපවාහිනි සම්බන්ධයට පින්සිද්ධවෙන්න මමත් නොවරදවාම බලනවා ඔය සයිකල් සවාරි. හරිම ලස්සනයි, ක්‍රීඩාශීලියි , තරගකාරීයි , අද්වේගකරයි. ඒ වගේම තමයි ඒ රටවල සොබා සොඳුරු පරිසරයත් දකින්නට ලැබීම. ඔබේ ඥාති පුත්‍රයාට මගෙනුත් සුබපැතුම්.

    • arunishapiro said, on ජූලි 6, 2012 at 4:10 ප.ව.

      wicharaka විචාරක,

      ලොව ක්‍රීඩකයන් අතර දුෂ්කර ම තරඟය ලෙසයි මෙය හැඳින්වෙන්නෙ.

      නොවරදවාම කාලයක් තිස්සෙ බලන නිසා දැන් ප්‍රංශයේ ලස්සන පැති බොහොමයක් බලන්න හැකියාවත් ලැබිලා තියෙනවා. එය ප්‍රංශයේ සංචාරක කර්මාන්තයට විශේෂ වාසියක්. ඔවුන්ගේ 100 වැනි තරඟය නැපෝලියන්ගේ ජන්ම භූමිය වූ කෝසිකාවෙන් පටන් ගන්නෙ ලබන අවුරුද්දෙ!!!

      සුබ පැතුම් වලට ස්තූතියි, දන්වා යවන්නම්.

  5. Milinda said, on ජූලි 6, 2012 at 2:52 ප.ව.

    “අනුන්ගේ තරඟය ගැන නොව තමන්ගේ තරඟය ගැන සිත යොමු කරන්නන් වැඩියෙන් ජය, සතුට අත් කරගන්නට සමත් වෙති.” ඉතා වටිනා කියමනකි, අවසනාවකට අද බොහෝ විට සිදු වන්නේ මෙහි අනෙක් පැත්තය.

    ප්‍රංශ සවාරිය ගමන් කරන්නේ ඉතාමත් සුන්දර මාර්ග පද්ධතියක් ඔසසේය, එය ද තරඟයට යම් වටිනාකමක් එක් කරන බවයි මගේ හැඟීම.

    • arunishapiro said, on ජූලි 6, 2012 at 4:19 ප.ව.

      Milinda,

      ඔව් සැබැවින් ම, ඔවුන් රටේ නොයෙකුත් දර්ශන පෙන්වීමටත් උත්සාහයක් ගැනීම තරඟයට මහත් වටිනාකමක් එකතු කරනවා. තරඟය වෙනුවෙන් ඒ ඒ ගම්මාන වල වැසියන් විසිතුරු ප්‍රදර්ශන හදා සහාය දෙන ආකාරය ද ඔවුන්ගේ ප්‍රංශ ආඩම්බරය මනාව පෙන්නුම් කරනවා. බටහිර යුරෝපයේ විශාලතම රට වන ප්‍රංශය ඇමෙරිකාවට පසු දෙවැනියට ඇති නිදහස් වෙළඳපොලකට ලැබෙන දැවැන්ත භූමි ප්‍රමාණය ඇති රටයි. කාලයක් පුරා නොවැරදීම සයිකල් සවාරිය බලන සුදු අප්පුහාමිත් ඊයේ දැක්ක සුන්දරය පරිසරය බලමින් රට ලස්සනට තියාගන්න වෙහෙසවෙන ජනතාව අගය කළා.


arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න