අරුණි ශපීරෝ‍ වෙතින්

ෆ්‍රැන්සුවා හොලන්ඩේ, ලක්ෂ්මි මිටාල් සහ හතරමං හන්දිය

Posted in Uncategorized by arunishapiro on ජූලි 8, 2012

අධිරාජ්‍යවාදීයා යැයි හංවඩු ගහන ඇමෙරිකාවට කිසිදා යටත් විජිතයක් තිබියේ නැති බව ප්‍රොපගැන්ඩා වලින් ඉතිහාසය ඉගෙන ගන්නා අය නොදිකිති. ඇන්ඩෝරාවේ Co-Prince නමින් ඉන්නා ෆ්‍රැන්සුවා හොලන්ඩේ නැමති සමාජවාදියා ජනාධිපතිවරයා වූ ප්‍රංශය 1954 -1962 දක්වා නියැළී ඇල්ජීරියානු නිදහස් අරගලය ගැන නොදනිති. වියට්නාම් යුද්ධයට ඇමෙරිකාවට පමණක් බැන වදින අය උතුරු වියට්නාම් ආණ්ඩුව සහ Viet Cong අයත් අතින් අරගලය මුලින් පටන් ගත්තේ ප්‍රංශයෙන් නිදහස් වෙන්නට බවත් ඊට සහභාගී වූ අනිත් රටවල් මොනවාදැයි කියාත් නොදකින්නට ඇස් පියාගෙන සිටිති.

1981 දී රොනල්ඩ් රේගන් ජනාධිපති වෙයි. ඉංග්‍රිසි භාෂාවේ වඩාත්ම භයානක වචන සමූහය ලෙස ජනාධිපතිවරයා පෙන්වන්නේ ‘මම ආණ්ඩුවෙන්, මම ඇවිත් ඉන්නෙ උදව් කරන්න,” කියාය. ආණ්ඩුවක් විසල් වෙද්දී නිදහස හැකිළෙනවා,” යැයි ද ඔහු කීවේය.

1981 දී IBM විසින් පුද්ගලික පරිගණකය නොහොත් personal computer අලෙවිය පටන් ගනියි. විද්‍යාඥයන් AIDS වෛරසය හඳුනා ගනිති. ඩෙන්වර් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් පිරිසක් නූපන් බිළඳෙකුගේ ඔළු කට්ට ඇතුලට බටයක් දමා වැඩිපුර එකතු වූ දියර ඉවත් කර බිළිඳා බේරාගන්නට සමත් වෙති.

1981 දී François Mitterrand සමාජවාදී පක්ෂයෙන් තේරී පත්වන ප්‍රංශ ජනාධිපතිවරයා සහ ඇන්ඩෝරාවේ Co-Prince වෙයි. ආණ්ඩුව විසින් පුද්ගලික ව්‍යාපාර රාජ සන්තක කරගන්නා දැවැන්ත මෙහෙයුමක යෙදෙයි. බැංකු 36 ක්, කර්මාන්ත ශාලා කිහිපයක් යනාදිය රජයට පවරා ගෙන ඒත් වසර දෙකක දී ආර්ථික අර්බූදයක් හට ගනිද්දී ඔහු සාරය උරාගත් හප ලෙසින් ඒවා ආපසු පුද්ගලික අංශයට පවරයි. ඔහුගේ රට ලස්සන කරන මහා පරිමාණ සැලසුම් ෆ්‍රෑන්ක් බිලියන 15.7 ක් ආණ්ඩුවේ වැය ලෙස ඇස්තමේන්තු කිරීම ප්‍රංශ ජනතාව සසඳන්නේ දාහතර වැනි ලුවී රජගේ වියදම් හා සමානව ය. විරුද්ධ පක්ෂයෙන් පත් වූ Jacques Chirac ඔහුගේ රජයේ අගමැති වෙයි. විශ්ව විද්‍යාල ප්‍රතිසංස්කරණ වලට එරෙහිව කැරලි ගැසූ සිසුන්ට රහසින් සහාය දී දෙවන වාරයේ ජනාධිපතිවරණයේ දී ෂිරාක් පරදවා නැවතත් ජනාධිපති වෙන්නට හේ සමත් වෙයි. අහිතකර ආර්ථික පිළිවෙත් අමතක නැති ප්‍රංශ ජනතාව ෆ්‍රැන්සුවා හොලන්ඩේව මෙවර පත් කරගන්නට පෙර සමාජවාදී පක්ෂයකට මෑත කාලයක දී බලය ලැබුණු අවස්ථාව එයයි.

බරාක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති වූයේ එහි වාසය කරන සම්පූර්ණ කළු ඇමෙරිකානු ජනගහණය වන 12.6% වෙතින් පමණක් චන්දය ලබා නොවේ. එහෙත් ඇමෙරිකාවට බනිනුයේ සුදු වර්ගවාදයක් ඇතැයි කියාය. ජෝර්ජ් බුෂ් පුතාගේ අහිතකර ආර්ථික ප්‍රතිපත්ති හා ඉරාක යුද මෙහෙයුම ගැන අප්‍රසාදයට පත් වී සිටි ජනතාව රිපබ්ලිකන් පක්ෂය වර්ජනය කිරීමත්, ඇමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සේ කටයුතු කරන වොෂිංටනය නවත්වනවා යැයි ඔබාමාගේ පොරොන්දුවත්, ඔබාමා ජයට හේතු විය.

ඇමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුව විසින් අනිත් රටවල් වලට යුද හෝ ආර්ථික ආධාර දීමක් ගැන කියා නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින මෑත කාලයක සිට වැඩි ජනප්‍රියත්වයක් ලබා ඇති රොන් පෝල් විසින් යුද හා ආර්ථික ආධාර සියල්ල නතර කළ යුතු යැයි කාලයක් තිස්සේ සිට කියන්නෙකි. එහෙත් විදේශීය යුද සහ ආර්ථික ආධාර නතර කළහොත් නැවත හිට්ලර් වැනි ආඥාදායක ත්‍රස්තවාදියෙකුට ඉඩක් ලැබේ යැයි එසේ නතර නොකරන්න යැයි කියනා ලෝකවාසී මතයයි. ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියාගෙන් ගැලවුනු ලංකාව ඊට ඇමෙරිකාව දුන් උපකාර නොදකින්නට ඇස් පියා ගනිති. බනින්න උවමනා වූ විට නොර්වේ ද ඇමෙරිකාව සමඟ එකතු කරමින් බටහිර අධිරාජ්‍යවාදීන් කියා බනිති!!!! එහෙත් වියට්නාමය ගැලවෙන්නට උත්සාහ කළේ ප්‍රංශයෙන් බවත් සහායට ගියේ ඇමෙරිකාව බවත් නොදැක පැත්තක සිට බොර දියේ මාළු බාන්නට ගිය කොමියුනිස්ට් රුසියාවට එකතු වෙමින් බටහිර අධිරාජ්‍යවාදීන්ට බනිති!!!!

ජෝර්ජු බුෂ් පුතා මෙන් ම නිකලස් සාකෝසී ද ඔහුගේ ම පැත්තේ අයගේ අප්‍රසාදයට හේතු වූ පුද්ගලයෙක් බවට පත් වී තිබිණ. හොලන්ඩේටත් වඩා අද ජනප්‍රියත්වයක් ඇත්තේ ඔහුගේ නව අගමැති වන Jean-Marc Ayrault ට ය. රදළයන් මරා, පල්ලිය කොල්ල කා ඒත් එයින් පමණක් දුප්පතුන් ධනවත් වූයේ නැති බව නොදකින්නට ඇස් පියාගෙන ඉන්නා ප්‍රංශ වැසියන් නැවතත් සල්ලි තියෙන අයගෙන් සල්ලි කොල්ලා කන්නට සැරසේ.

දකුණු අන්තවාදියෙකු ලෙස පස් වතාවක් ජනාධිපති වෙන්නට තරඟ කළ Jean-Marie Le Pen සහ ඔහුගේ බාල දියණියක් වන Marine Le Pen ද සාකෝසීට සහය නොදුන්හ. එහෙත් සාකෝසී ඔවුන් පෙනී සිටි සංක්‍රමණ නීති දැඩි කිරීමට සහ ආණ්ඩුවේ වියදම් අඩු කිරීමට කැමැත්ත පළ කළේය. ජර්මන් ආණ්ඩුව විසින් ග්‍රිසිය බේරාගන්නට ගෙනා යුරෝපීය යුනියනය ආරක්ෂාවට වූ රෙගුලාසි වලට කැමති වූයේය. වෙහෙසන අයට වාසි වුවත් ඒවායෙන් අඩුවෙන්නේ කම්මැලි ජනතාවට ලැබෙන සහනාධාරයි. එසේම ල පෙන් නියෝජනය කළ අන්තවාදී දකුණු පක්ෂය රටේ සමරිසියන්ට නීතිමය අවසරයක් නොදෙන්න යැයි පෙනී සිටියහ. රට දෙකට බෙදෙද්දී සාකෝසීට ඇති ප්‍රසාදය තවත් අඩුවිය. රට දෙකට බෙදා පාලන බලය අල්ලා ගැනීම බලතණ්හාධිකයන්ගේ පිළිවෙත බව ඉතිහාසය දන්නෝ දනිති.

හොලන්ඩේ පොරොන්දු වෙන්නේ සමාජ යුක්තිය, ආර්ථිකය නංවාලීම සහ ජාතික ඒකීයත්වයයි. ඒවා ඉෂ්ට කරන්නේ කෙසේද යැයි පෙන්වූයේ නැතිවාට කමක් නැත. ඒවා වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කීමෙන් පමණක් චන්දය දිනත හැකිය!!!!

මුල් වටයේ දී හොලන්ඩේට 28.63% ක්; සාකෝසීට 27.18% ක් සහ මරීන් ල පෙන් ට 17.90% ක් චන්ද ලැබෙයි. දෙවැනි වටය සඳහා ද මරීන් ල පෙන් සාකෝසීට උදව් කරන්නේ නැත. දෙවැනි වටයේ දී හොලන්ඩේට 51.64% ක් ද සාකෝසීට 48.36% ක් චන්ද ලැබෙයි. මුල් වටය සඳහා චන්ද හිමි අයගෙන් පැමිණියේ බාගයකටත් අඩු පිරිසකි (48.31%). දෙවැනි වටය සඳහා පැමිණියේ ඊටත් අඩු පිරිසකි (46.16%).

කොයි පැත්ත ජයගත්තත් ඒ තමන්ගේ සුබ සාධනය වෙනුවෙන් නොවන බව ජනතාවෙන් බාගයක් වටහා ගත් කාලය උදා වී ඇත් ද?!!!

ප්‍රංශ ජනාධිපතිවරයා සහ ඇන්ඩෝරාවේ Co-Prince වන හොලන්ඩේ Elysée මාලිගාවට ගිය පසු මුලින් ම එන්නේ යුනියන් නායකයන්. ඒ Florange හි ArcelorMittal යකඩ කම්හලෙනි. ඒ පැත්තේ ජනතාව වසර 300 තිස්සේ යකඩ තලන්නෝ වූහ. ලාභ නැත්නම් ව්‍යාපාරයක් ගෙන යන්නට නොහැකි බව දන්නා පුද්ගලික අංශයත්, පාඩු පිට පාඩු විඳිමින් රටත් ජනතාව ණය කරන ආණ්ඩුවකත් අතර ඇති වෙනස ජනතාවට කියා දෙන්නට හැකියාව ඇති අය අද ලොව අල්ප ය. මිටාල් කොම්පැණිය ලෝකයේ විශාලතම යකඩ නිපදවන්නා ය. ලාභ නොමැති බැවින් සේවකයන් ගෙදර යවා වසරකට වැසෙන ඒ යකඩ කම්හල් තවත් මාස හයක් පමණ නිහඬ ව තැබෙන බවට කොම්පැණිය කියයි. එහෙත් යුනියන් නායකයන්ට ව්‍යාපාරයක් බංකොළොත් වුවාට කම් නැත. ඔවුන්ට අවශ්‍ය වාසි නොලබන කම්හල යළි විවෘත කිරීමට ආණ්ඩුවේ නියමයක් පමණි.

බෙල්ජියමේ කම්කරු නීති අනුව ව්‍යාපාරයක් වසන්නට වසර දෙකක කාලයක් තිස්සේ වැඩ පිළිවෙලක නියැළිය යුතුය. ලාභ නොසොයන කම්හල් වැසීම දුෂ්කර කරන වාතාවරණයක් ඇති කරන්නේ යුනියන් නායකයන් ය. එහෙත් එවිට ව්‍යාපාරිකයන් බංකොළොත් වී හෝ රට හැර දමා යෑමට පටන් ගනිති. දක්ෂයන්ට කුමන කණ්ඩායමකට හෝ එකතු විය හැකියි. හොලන්ඩේ ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිනිය, සමාජවාදී ඩොමිනික් කාන් අතින් අතවරයට ලක් වූවා යැයි කියන Aurélie Filippetti යකඩ කම්හල අසල විරෝධතා දක්වන්නන් හා ෂැම්පේන් බී මුලා වූවන්ට ධෛර්යය දෙයි.

ලන්ඩන් හා ලක්සම්බර්ග් වල මූලස්ථාන ඇති, ඉන්දියානු ලක්ෂ්මි මිටාල්ගේ කොම්පැණිය ප්‍රංශයේ වැඩි ම විදේශීය ආයෝජන ඇති, එහි විසිදාහකට රැකියා සපයන්නෙකි. රටේ ධනය කොල්ල කා ගන්නවා යැයි විදේශීය ව්‍යාපාරයකට පහර දීම පහසුය. ඔවුන් නැත්නම් වෙනත් අයෙක් කම්හල් පටන් ගන්නට සූදානම් නැත්තේ මන්දැයි අහන්නට කිසිවෙක් ඉදිරිපත් නොවේ. එහෙත් මිටාල් පමණක් නොව KLM ද පිට වී යන්නට සැරසෙති. ප්‍රංශ ව්‍යාපාරයන් වන Gucci සහ Yves Saint Laurent මේ ගිම්හානයේ සිට ලන්ඩනයට යන්නට සැලසුම් කර ඇත.

ඒ අස්සේ බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් කැමරන් ‘අපි රතු කාපට් දාලා පිළිගන්නම්,” යැයි නව බදු වලින් ගැලවී දුවන කොම්පැණි වලට පොරෙන්දු වී තිබේ!!! දක්ෂයන් තම කණ්ඩායමට එකතු කරගන්නට යුහුසුළු වෙන අයත් ලොව සිටිති!!!!

තවත් ව්‍යාපාර වන Technip, Puegeot-Citrön, Air France සහ හතරමං හන්දිය නොහොත් ඇමෙරිකාවේ වෝල්මාට් වැනි Carrefour ද විශාල වශයෙන් සේවකයන් අඩු කරන්නට පියවර ගනිති. පාඩු ලබද්දී රටත් ජනතාවත් ණය කරමින් සේවකයන් තියාගන්නේ විසල් ආණ්ඩු පමණි.

හොලන්ඩේගේ චන්ද පොරොන්දු නම් ජනතාව ලබනා සුබ සාධනය නොකපා, ආණ්ඩුවේ වියදම් අඩු නොකර, යුරෝ මිලියනක් හා ඊට වැඩි ආදායම් ලබනා අයගෙන් 75% ක් බදු අය කිරීමයි. ඔබ උපයන හැම රුපියලකින් ම ඔබට සත 25 ක් දී අනිත් සත 75 ආණ්ඩුව ගන්නවා නම් ඔබ කැමති ද?!!! එමඟින් රටේ අයවැය පරතරය ලබන වසරේ දී දළ ජාතික නිෂ්පාදිතයෙන් 3% ක් පමණක් කිරිමට නොහැකි යැයි ප්‍රංශ අයෙක් ම මුලසුන දරනා IMF කිව්වත්, එය හැකි යැයි ඔහු කියයි.

කොම්පැණියක අඩුම පඩියක් ලබන්නාගේ වේතනයෙන් විසි ගුණයකට වඩා වැඩි පඩියක් ලබත නොහැකි රෙගුලාසියක් ද, යුරෝ 450,000 කට වඩා මිලෙන් යුතු කොටස් කොම්පැණි බොස්ලාට අයිතියත් අහිමි කරන්නට නීති ගෙනෙන්නට හදන්නේ Pierre Moscovici නැමති මුදල් ඇමතිවරයා ය. වැඩි පඩියක් ලබන්නා ගත් පැය දස දහසේ උත්සාහය අඩුම පඩිය ලබන්නා ගත්තා ද යන්නට සැලකිල්ලක් දක්වන්නේ නැත. වෙහෙසක් නොවී බඩ පුරවා ගන්නට හැකිනම් අනුන්ට බනින සතුටින් සිත පුරවා ගෙන ඉන්නට ද හැකිය!!!!

2005 සිට 2010 වෙද්දී ප්‍රංශ කොම්පැණි විසින් ලෝකයේ කරන වෙළඳාම් සහ අපනයනයන් 20% කින් අඩු වී ඇත. ඒ ඔවුන්ට තවත් තරඟයේ යෙදෙන්නට සේවකයන් අඩු කරන්නට, කම්හල් වහන්නට, වැඩි පඩි දී වැඩි හැකියාව ඇති අයට අවස්ථාවක් දෙන්නට යනාදිය නොහැකියාව කෙමෙන් කෙමෙන් රිංගා ගත් හෙයිනි.

අද ප්‍රංශයේ වැඩවසම් රදළයන් නැත. අද ප්‍රංශයේ භූමිය අල්ලා ගත් පල්ලි සංස්ථාවක් නැත. එහෙත් තවමත් වැඩි ආදායම් ලබන්නේ කෑදර මිනිස්සු යැයි සමහරු සිතති. වැඩි ආදායම් ලබන අය සමාජයේ සිටිනා නිසා සුළු ආදායම් උපයන රැකියා ද පවතින බව දකින්නේ ටික දෙනෙකි. වැඩි ආදායම් හොයන්නට දන්නා අය තමන්ගේ ව්‍යාපාරයත් රැගෙන රටින් පිට වී ගියා ම තවත් භාණ්ඩාගාරය හිස්වෙන්නේ මන්දැයි පැහැදිලි කරන්නට ආණ්ඩුවට උවමනාවක් නැත. මන්ද හොලන්ඩේට චන්දය දුන් අයගේ සිත් සතුටු කරන්නට කෑදර ධනපතියන්ට බැනීම තවත් කාලයක් කරගෙන යා හැකිය!!!

එහෙත්, බලය අල්ලා ගන්නට දුන් චන්ද පොරොන්දු ක්‍රියාත්මක නොකළ හොත් නව බුර්ජුවාසිය වෙන යුනියන් නායකයන් තරහ වෙති!!!

ඒවා ක්‍රියාත්මක කළහොත් එය ලෝක හා මිනිස් ස්වභාවික නීතීන්ට පටහැණි නිසා ආර්ථිකය බංකොළොත් වී පොරොන්දු ඉටු කළත් ජනතාව තවත් දුප්පත් වෙති!!!!

ජීවිතයත් ප්‍රංශ සවාරිය වැනි යැයි නොදකින්නට හොලන්ඩේ ඇස් පියාගත්තත් ප්‍රංශ ජනතාවෙන් බාගයකුත් එය නොදකින්නේ ඇයි?

ඉතිහාසය නැවත එලෙසින් ම සිදුවෙන්නේ ඉතිහාසය නොදන්නා කළ ය -ජෝර්ජ් සන්තායන

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Mourya Raj said, on ජූලි 8, 2012 at 10:08 පෙ.ව.

    දැනට රටතුල ඔබාමගෙ තත්වය මොකක්ද?

    • arunishapiro said, on ජූලි 8, 2012 at 10:15 පෙ.ව.

      Mourya Raj,

      ප්‍රංශයේ ෆ්‍රැන්සුවා හොලන්ඩේට තියන තත්වය ම තමයි!!!

      තමන් වෙහෙසන බාගයකට ආසන්න පිරිසක් අකමැතියි. අනුන්ගෙන් කන බාගයකට ආසන්න පිරිසක් කැමතියි. ප්‍රතිවාදියා වන මිට් රොම්නි හරියට නිකලස් සාකෝසී වගේ, තමන් පෙනී සිටින්නේ කුමකට දැයි නොදන්නා වියවුලෙන් වූවෙක් … විසල් ආණ්ඩුව විසඳුම් ගෙනෙනවා යැයි සිතන්නෙක්. ඉතින් දෙන්නාම එකම බෝට්ටුව පදින දෙන්නෙක් නිසා, දෙන්නාටම අකමැති අතලොස්ස තමයි ඔබාමාගේ දෙවැනි වාරය තීරණය කරන්නෙ.

  2. vishvanatha said, on ජූලි 8, 2012 at 11:35 පෙ.ව.

    පෞද්ගලික අංශය අසාර්ථකයි නේද? අසාර්ථක පෞද්ගලික ව්‍යාපාර වලට රජයෙන් දුන් සහන මුදල් වලිනුත් ඒ අය පාටි දැම්මාලු නේද?ධනවාදය තුල සුභවාදී දේ තිබෙන බව මම පිලිගන්නවා.ඒත් පෞද්ගලික අංශය තුල මහා පරිමාන දූෂන තිබෙනවා නේද?ඔවුන් ලාභ පෙන්වන්නේ බදු වංචා වලින් නේද?සේරටමත් වඩා 20,000ක ගුනයක් වැඩි වැටුපක් කලමානාකාරීත්වය ලැබීම නම් අසාධාරනයි නේද?එහෙම වුනොත් ඇති ණැති පරතරය වැඩි වෙලා භාන්ඩ මිලදී ගැනීමේ හැකියාව කම්කරුවන්ට නැතිවෙනවා.එතකොට අර්බුදය ඇතිවෙනවා.”ඒ “කියන කොම්පැනියෙ බඩු ගන්න අය කොහෙ හරි වැඩ කරලා ලබන වැටුපෙන් තමයි ඒවා ගන්න වෙන්නෙ.ඉතින් අඩු පඩි ලැබුනොත් කොහොමද ඒවා ගන්නෙ.එතකොට “ඒ” කියන කොම්පැනිය බංකොලොත් වෙනවව.වැටුප් ලබන කම්කරුවො භාන්ඩ මිලට ගන්න නිසයි කොම්පැනි තියෙන්නෙ.එකම ධනයක් තමා සංසරනය වෙන්නෙ.:ඒ” කොම්පැනියෙ කම්කරුවා පඩි අරන් “බී”කොම්පැනියෙ බ්ඩු ගන්නවා.කොම්පැනිවලට යකා නටන්න නොදී රජය මැදිහත් වෙන්නෙ ආර්ථිකය රකින්න.තනිකරම රජයත් අසාර්ථකයි.තනිකර පෞද්ගලික අංශයත් අසාර්ථකයි

    • arunishapiro said, on ජූලි 8, 2012 at 4:26 ප.ව.

      vishvanatha,

      ඇමෙරිකාවේ පවුල හා සදාචාරය බිඳ වැටිලා යැයි හිතුවාට රුසියාවේ, චීනයේ හා ඉන්දියාවේ ගබ්සා දත්ත දකින්නෙ නැති අයට, ඒකීය පුද්ගල අයිතිය කුමක් දැයි දන්නෙ නැති අයට ඔහොම අවුල් තමා වෙන්නෙ.

      එහෙම අය ඇමෙරිකාවේ පුද්ගලික අංශයත් අසාර්ථකයි කියලා හිතාගෙන ඉන්නට ඇස් පියාගෙන මුලාවෙන් රැවටිලා සතුටින් ඉන්නවා!!!

      ඇමෙරිකාවේ පුද්ගලික අංශය කියන්නෙ තඩි වැඩි කරන සමාජවාදී ජනාධිපති කෙනෙක් තමන්ගෙ හිතවතුන්ගෙ ව්‍යාපාර වලට දෙන, තමන්ට සහාය දුන් යුනියන් නායකයන්ට බෙදා දෙන ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන ආයතන නෙමෙයි කියලා දකින්නෙ නැහැ වගේ ම පාටි දැම්මෙ ඒ සමාජවාදී ජනාධිපතිගේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් විසින් බවත් දන්නෙ නැහැ. ඒ අයට තමන්ගෙ පැත්තෙ ජනාධිපතිවරයා බලයේ සිටිය දී ම අයුතු ලෙසින් ලබාගත් බලය නැති වී, ව්‍යාපාර බංකොළොත් වී, කරපු වැරදි වලට දඬුවම් හා දඩ ලැබෙන බවත් මුලාවෙන් රැවටිලා ඉන්න අය දකින්නෙ නැහැ.

      ඇමෙරිකාවේ පුද්ගලික අංශය කියන්නෙ රටේ භාණ්ඩාගාරයටත් වඩා මුදල් සංචිතයක් තියෙන ඇපල් කොම්පැණිය වගේ ව්‍යාපාර වලට. ඒ අවි ආයුධ විකුණලා හොයපු මුදල් නෙමෙයි, ඒවා කැමැත්තෙන් මිල දී ගන්න භාණ්ඩ විකුණලා හොයාගන්න මුදල්.

      ඇමෙරිකාවේ පුද්ගලික අංශය පූටින්ගේ රුසියාවේ සහ හැමදාම ලංකාවේ තියන පුද්ගලික අංශය වගේ නෙමෙයි. රුසියාවේ පූටින්ට සහාය දෙන විට තනතුරු ලැබෙන ඒත් එරෙහි වුනාම හිරගත වෙන Mikhail Khodorkovsky වැනි අය ලංකාවේ හිටියාට ඇමෙරිකාවේ ආණ්ඩුවට හේත්තු වෙච්ච පමණින් නීති කඩන්න ජනාධිපතිවරයා බලයේ සිටිය දී ම ඉඩක් නැහැ!!!!

      //ඔවුන් ලාභ පෙන්වන්නේ බදු වංචා වලින් නේද?// නොදන්නකම සිංහලෙන් ලියන නිසා හොඳයි නැත්නම් අනිත් සිංහලයන්ටත් ලැජ්ජාවක්. ලෝකයේ වඩාත්ම නීතිගරුක ලෙසින් බදු ගෙවන ජනතාව ඉන්නෙ ඇමෙරිකාවේ.

      ලෝකයේ විශාලතම කොම්පැණි 500 න් 133 ක මූලස්ථාන තියෙන්නෙ ඇමෙරිකාවේ. ඒ වෙන කිසිම රටකට වඩා දෙගුණයක් වැඩියෙන්. ඇයි ඒ? මෙහෙ ව්‍යාපාරයක් කරගෙන යන්න තියන පහසුව නිසා. තවමත් බදු සහ රෙගුලාසි වලින් වඩාත් ම සහනයක් ලැබෙන රට ඇමෙරිකාව නිසා. ප්‍රංශ පෝසත් අයට හෙට අනිද්දා උපයන හැම යුරෝවෙන්ම සත විසිපහක් තියාගන්න පුළුවන් වෙද්දි අපට තාම උපයන හැම ඩොලරයෙන් ම සත පනහක් තියා ගන්න පුළුවන්!!!!

      ඔය පෙන්වන තමන් දන්නවා කියල හිතන නොදන්න දේවල් තව:

      //සේරටමත් වඩා 20,000ක ගුනයක් වැඩි වැටුපක් කලමානාකාරීත්වය ලැබීම නම් අසාධාරනයි නේද?// අකාර්යක්ෂම කළමනාකරුවන් ඉන්න විසල් ආණ්ඩුවක් තම රටත් ජනතාවත් ණය කරන හැටියි බංකොළොත් කරන හැටියි දන්නෙ නැහැ වගේ ම, පුද්ගලික අංශයේ කාර්යක්ෂම විධායක නිලධාරීන්ට වැඩි පඩි ගෙව්වෙ නැත්නම් එයාල වෙන කණ්ඩායමක තරඟ කරන්න යන බවත් දකින්නෙ නැහැ. දැන් ලංකාවේ ආණ්ඩු වලට හේත්තු වෙච්ච තඩි ගොඩක් එක්ක තරඟයට ලෝකයේ සත්‍ය දක්ෂතමයන් කොච්චර දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා ද කියලා ඇස් ඇරලා බලන කෙනෙකුට පේනවා.

      //එහෙම වුනොත් ඇති ණැති පරතරය වැඩි වෙලා භාන්ඩ මිලදී ගැනීමේ හැකියාව කම්කරුවන්ට නැතිවෙනවා.// ඇමෙරිකාවේ ඉන්න දුප්පතුන් vs යුරෝපීය ජනතාව ගැන ලිව්වා. කැමති නම් කියවන්න. නැත්නම් ඉතින් ලාස් වේගාස් වල කැමැත්තෙන් කාණු වල පදිංචි 0.17% මුළු ඇමෙරිකාවේ ම ඉන්න දුප්පතුන් කියලා හිතාගන්න!!!!

      අර්බූදයක් හැටියට මෙහෙ තියෙන්නෙ කම්කරුවන්ට බඩු ගන්න සල්ලි නැතිවීමක් නෙමෙයි, මෙහෙ තියන අර්බූදය ධනවතුන් උපයන ආදායමෙන් 50% ගන්නවාටත් අකමැති අය අළුතින් ව්‍යාපාර අරඹන්නෙ නැතිකම. ඒත් අනිත් රටවල් වලට වඩා වෙනස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන නිසා ප්‍රංශයේ අයට වගේ රට දාලා යන්න වෙන්නෙ නැහැ ඇමෙරිකානුවන්ට. ඔවුන් බදු හා රෙගුලාසි වැඩි කරන සමාජවාදී ප්‍රාන්ත අත්හැරලා බදු හා රෙගුලාසි අවම කරන ප්‍රාන්ත කරා යනවා.

      //”ඒ “කියන කොම්පැනියෙ බඩු ගන්න අය කොහෙ හරි වැඩ කරලා ලබන වැටුපෙන් තමයි ඒවා ගන්න වෙන්නෙ.ඉතින් අඩු පඩි ලැබුනොත් කොහොමද ඒවා ගන්නෙ.එතකොට “ඒ” කියන කොම්පැනිය බංකොලොත් වෙනවව.වැටුප් ලබන කම්කරුවො භාන්ඩ මිලට ගන්න නිසයි කොම්පැනි තියෙන්නෙ.//

      මිල පාලනයක් නැති නිසා පඩි අඩුවෙන් ලැබෙද්දි ගන්න හැකියාව ඇති බඩුත් අඩු වෙන නිසා බඩු මිලත් අඩු වෙනවා. මෙහෙ එහෙමයි, ඔහෙ කොහොම ද?!!!!

      බඩු අඩුවෙන් විකිණෙද්දී, අර දක්ෂ කළමනාකරුවන් ඉන්න පුද්ගලික අංශය කරන්නෙ විසල් ආණ්ඩුවක් වගේ වෙනදා කරන වියදම් කරන එක නෙමෙයි. ඔවුන් වියදම් අඩුකරගෙන හා නිෂ්පාදනය සූක්ෂම කරගෙන ආදායම් හොයන්න දන්නවා. ඒවා දන්න නිසයි එයාලට ලොකු බෝනස් ගෙවන්නෙ. ඉතින් ඒ අයට හැමදාම ඕන තරම් බඩු ගන්න ආදායමකුත් තියෙනවා!!!!

      //එකම ධනයක් තමා සංසරනය වෙන්නෙ// පුද්ගලයෙකුට තියන ආර්ථික වූ බඩු (economic goods) විතරයි ධනය කියන්නෙ. ආර්ථිකමය (economic character) නොවූ දේවල් භාණ්ඩ වූවත් එය ධනයක් නෙමෙයි. තවත් විදියකින් කිව්වොත් ඔබට තියන ඉඩම මිල දී ගන්න කවුරුත් නැත්නම් ඒ ඉඩම හිමිවීම ඔබට ධනයක් හිමිවීම නෙමෙයි!!!! ඉතින් බඩු තිබුණත්, සුබ සාධනය තිබුණත් ධනය අඩුවෙනවා. කොම්පැණි වලට යකා නටන්න පුළුවන් තඩි වැඩිකරන සමාජවාදී ක්‍රම වල දී වුනාට නිදහස් වෙළඳපොලේ දී, නීතිගරුක ව්‍යවස්ථාවක් තියන රටක, නීතිගරුක ජනතාවක් ඉන්න රටක එහෙම බැහැ. ඒ නිසා සමාජවාදී වෙලා රජය මැදිහත් වෙලා යකා නටන ආණ්ඩු විතරයි අසාර්ථක. නමුත් අසාර්ථක නොවන ක්‍රමවේදයක් තියන රටක්, යකා නටන ආණ්ඩුව අයින් කළාම ආයෙත් සමෘද්ධිය හා ධනය ඉතා ඉක්මණින් ළඟා වෙනවා.

  3. Chandani said, on ජූලි 8, 2012 at 1:06 ප.ව.

    ඇමෙරිකාව හෙට දවසේ කොහොම වෙයිද? කියලා හැමෝම බලා ඉන්නෙ. ඔබ හිතන විදිහට ආසියාව පෙරට යයි ද? බටහිරට වඩා. ස්තූතියි නංගි හැමදාම වගේ ගොඩක් විස්තර දැනගත්තා.

    • arunishapiro said, on ජූලි 8, 2012 at 4:40 ප.ව.

      ස්තූතියට ස්තූතියි චාන්දි අක්කා.

      ධනවාදියෙක් හැටියට වෙස්වලා ගත්තෙකුට වඩා හෙට දිනයේ සමාජවාදී ප්‍රතිපත්ති සමාජවාදියෙක් අතින් ම කරන්න ඉඩ දෙනවා ද?!!! කොයි එක්කෙනා ආවත් වෙහෙස වී තම සතුට සොයා යන නීතිගරුක මිනිස්සු වෙනුවෙන් ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථාවක් ඇති ඇමෙරිකාවේ හෙට දවස ලෝකෙ අනිත් රටවල් සේරටම වඩා සුබදායකව තීරණය වෙයි. ඉතිහාසය නොදැන අයපහත් සැලසුම් ගෙනා ජනාධිපතිවරයන් නිසා ඇති වූ අනිත් හැම ආර්ථික අර්බූදයක් ම වෙහෙස වී සතුට සොයා යන නීතිගරුක මිනිස්සු විසින් ජයගත්තා සේ ම, ඉතිහාසය නැවතත් එලෙසින් ම සිද්ධ වේවි!!!

      ආසියාව පෙරට යයි ද බටහිරට වඩා කියන එක අහන්නෙ එක්කෙනෙක් ජයගත්තාම තවකෙක් පැරදෙනවා කියලා හිතන්න පුරුදු වෙලා තියන නිසා. ලෝක ස්වභාවය සහ මිනිස් ස්වභාවය එහෙම නැහැ. එක් අයෙක් ජයගන්නා නිසා අනිත් අය ද ජයගන්නවා බව දකින්න අපේ මොළය පරිනාමය වෙච්ච දාට අපි හැමෝම මිනිසාගේ උන්නතිය වෙනුවෙන් හැමෝටම එකට පෙරට යන්න හැකියාව ඇතිබව දකින්න පුළුවන්. හරියට ප්‍රංශ සවාරිය අවසන් කරන්න හැකිවන හැම ක්‍රීකඩයාම ජයගත් අයෙක් වෙනවා වගෙයි. ඔව්, ඒ අතරින් කහ ජර්සිය ලැබෙන්නෙ, ඒ ඒ අදියර ජයගන්නෙ …. ඒ ඒ අය තමයි. ඒත් ඒ තරඟයට සහභාගී වෙන පමණින් අයෙක් දිනලා. තරඟය අවසන් කරන පමණින් ද අයෙක් දිනනවා. හැමදාම පැරදිලා ඉන්නෙ තරඟයට සහභාගී නොවී තරඟයේ යෙදෙන අය දිහා බලමින් ඇනුම් පද කියනා අය තමයි.

  4. Gold fish said, on ජූලි 16, 2012 at 10:17 ප.ව.

    ප්‍රංශෙ සෙල්ලමත් ලේසි නෑනේ…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: