අරුණි ශපීරෝ‍ වෙතින්

වසංගතයක් නම් බෝවෙයි බලාගෙන!!!!!

Posted in Uncategorized by arunishapiro on ජූලි 20, 2012

ලිංගික අපරාධ දැන් වසංගතයක් යැයි රෝසි කියයි.

හරියට ඩෙංගු වසංගතය වගේ ද?

නැත්නම් ‘තරබාරු වීමේ වසංගතය’ වගේ ද?!!!

ඔය සමාජයේ සිටිය පමණින් බෝවෙන ලෙඩක් ද මේ?!!!!

දෙමාපියන්ට වැඩට යන්න බැරිලු දරුවෝ අපචාර වලට ලක්වෙන නිසා කියන රෝසි අහනවා ආණ්ඩුව මොකක් ද කරලා තියෙන්නෙ කියලා මේක වළක්වන්න? ඇය නොකියා කියන්නෙ මොකක් ද? -මේ ආණ්ඩුවට බැහැ ඒත් අපේ ආණ්ඩුවට පුළුවන්-

කොයි ආණ්ඩුව ද ලෝකෙ ලිංගික අපරාධ සහමුලින් නවතලා තියෙන්නෙ කියලා රෝසිගෙන් අහන්න ඔය පැත්තෙ කවුරු හරි කෙනෙක් නැද්ද?!!

බොර දියේ මාළු බාන්න ලැහැස්ති වෙලා ඉන්න අය ආණ්ඩුවේ බලය වැඩි කරන්න හැමදාම අත දෙන්න බලාගෙන ඉන්නෙ.

“දරුවන් බලා ගැනීම දෙමාපියන්ගේ වගකීමකැයි ආණ්ඩුව කියන්නේ නම් එක්කෝ දෙමවුපියන් දරුවන් සමඟ පාසැල් යා යුතු ය. නැතිනම් දරුවන් පාසල් නොයා ගෙදර තබා ගත යුතුය,” දිවයින කතුවැකිය කියයි.

දරුවන් බලා ගැනීමේ වගකීම දෙමව්පියන් වෙතින් ඉවත් කරන ලද්දේ කොමියුනිස්ට්වාදී සහ ෆැසිස්ට්වාදී ආණ්ඩු ය. සෙසු ලෝකයේ දෙමාපියන්ගේ වගකීම නම් තම දරුවන් බලා ගැනීමයි.

වගකීම දෙමව්පියන්ගේ කියනවා නම් තම දරුවන් සමඟ පාසැල් යා යුතුයි කියන දිවයින, එහෙම නම් දෙමව්පියන්ට දරුවා සමඟ ගෙයින් පිටත තියෙන වැසිකිළියටත් යා යුතු යැයි කියයි ද දන්නෑ!!!!

හැබැයි කිසිවෙක් පාසැල ගෙදරට ගේන එක (home school) ගැන නම් කතාබහක් නැහැ. පිස්සු ද තවත් වගකීම් බාරගන්න කැමති කවුද?!!!

දෙමාපිය වගකීම කොච්චර ද කිව්වොත් අද රටේ අඩු වයසින් දරුවන් බන්දලා දාන දෙමව්පියන් කොච්ච්‍රක් ද?

හැමෝම යෝජනා කරන්නෙ ඔක්කොම බලතල ආණ්ඩුවට දෙන්න. එතකොට මේ ආණ්ඩුවට බැරිනම් ඊ ළඟට ආණ්ඩුවට පුළුවන් වෙයි කියල සතුටින් ඉන්න.

ලෝකයේ අනික් රටවල් වල ක්‍රීඩකයන්ට ද ප්‍රතිකාර කරන්න ඉදිරිපත් වෙන ‘වෙදෙක් වෙන කෙනෙක්’ රටේ සිටිනවා යැයි කියද්දී, රටේ ඉන්න හොර වෙද්දුන්ට වසර පහක සිරදඬුවම් සඳහා නීති සම්මත කරගන්න යෝජනා කරන අය ඉන්න ආණ්ඩුවටම, තම පැත්තට හේත්තු වෙච්ච අයෙක් අතින් අපරාධයක් වුනාම එක්කො ඉක්මණින් රටින් පිට යවන්න ඇහැකි, මූණ ඉච්ඡාවට අත් අඩංගුවට ගන්න ඇහැකි, පස්සෙ ඒ අත් අඩංගුවට ගත් අයට දුන් දඬුවම් අහන්නවත් ලැබෙන්නෙ නැතිවුනාට කමක් නැහැ, ඊට පස්සෙ එච්චර පාඩුවක් වෙන්නෙ නැති නිකමෙක්ව බිලිපූජා කරන්න ඇහැකියි.

එක අපරාධකාරයෙක් දෙන්නෙක්ව එල්ලුම් ගහට යවලා … පින්තූර එක්ක විස්තර දාලා .. විකුණන තොරතුරු වැඩිපුර විකුණා ගෙන … ඊ ළඟට තව මෝඩයෙක්ව යවලා … ඊ ළඟට අහිංසකයෙක්ව යවලා …, ඒත් කාලයක් ගියාම නැහැ ලිංගික අපරාධ වල අඩුවක් … එතකොට තවත් ආණ්ඩුවක් හොයාගත්තෑකි, ඒකම ආයෙත් කරන්න!!!!

තමන්ගේ අයිතීන් මිනිසා නැති කරගන්නේ අනුන් විසින් බලහත්කාරයෙන් උදුරා ගන්නා නිසා නෙමෙයි. කම්මැලිකමට තමන් විසින් ම ඒවා අත් හරින නිසා.

ගොසිප් අඩවි වල නිවුස්, නිවුස් අඩවි වල ගොසිප්!!!! (ස්තූතියි කෙවින්)

අවුල් කරගන්නවා යැයි කියලා මෙහෙමත් අවුල් කරගන්නෙ ඇයි?!!!!!

Advertisements

36 Responses

Subscribe to comments with RSS.

  1. Amarasinghe Sujatha said, on ජූලි 20, 2012 at 10:45 පෙ.ව.

    අක්කට ජනාධිපති උපදේශක තනතුරක් ලැබේවි ලොක්කා මේක කියෙව්ව නම්

    • arunishapiro said, on ජූලි 20, 2012 at 10:51 පෙ.ව.

      සුජාතා නංගි,

      මම බාර ගනියි ඔය පීචන් පට්ටම්!!! 😀

      අන්තිම දක්වා ප්‍රතිචාර කියෙව්වොත් … ඌහ් … එල්ලුම් ගහ යාවත්කාලීන වෙන්නෙ මගෙන්!!!

  2. kathandarakaraya said, on ජූලි 20, 2012 at 10:46 පෙ.ව.

    ලෝකය රඟ මඩලකි, අපි එහි නළුවෝය කියලා දාවිත් ගොයියා කිව්වේ දාසයවෙනි සියවසේ දී නේද?

  3. Buwa said, on ජූලි 20, 2012 at 11:45 පෙ.ව.

    ආයෙමත් අපිටත් කමෙන්ට් දාන්න පුලුවන් වගේ, මෙගා ස්ටාර් එකෙන් පස්සෙ මම නම් රෝස නෝනව දැක්කෙත් නෑ

    ආණ්ඩුවට ඔක්කොම වලක්වන්න බැරි උනත් අඩුම තරමේ ආණ්ඩුවෙ උන් කරන ඒව ටිකවත් නතර කරනවා නම් ලොකු දෙයක්

    • arunishapiro said, on ජූලි 20, 2012 at 12:21 ප.ව.

      Buwa,

      තර්ක වලට බිය අය කුණුහරුප වලින් දිනන්න ආයි උත්සාහ ගත්තොත් ආයි ඒක කරන්න වෙයි.

      //ආණ්ඩුවෙ උන් කරන ඒව ටිකවත් නතර කරනවා නම්// සියල්ලන්ට ම එක නීතිය ක්‍රියත්මක කරන ආණ්ඩුවක් නෙමෙ එහෙම කරනවා කියා කියන කවුරුත් හරි ඉන්නවා නම් ….

  4. Gold fish said, on ජූලි 20, 2012 at 11:47 පෙ.ව.

    දැන් සමහරු කියනවනේ ඔය ප්‍රශ්නේ නැති කරන්නත් සංඝ සංශෝධනයක් කරන්න ඕනේ කියලා. ඒක කරන්න ඕනේ වෙන දේකට වුනාට, ප්‍රශ්න දෙක තුනක් පටලව ගෙන ස්ත්‍රී දූෂන වලටත් ඔන්න සංඝ සම්මේලනයක් ලෑස්ති කරන පාටයි… !!! 😀

    • arunishapiro said, on ජූලි 20, 2012 at 12:42 ප.ව.

      Gold fish,

      මානසික ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර? සියල්ලන්ට ම එක නීතිය? තමන් පරිස්සම් වෙන අයුරු? කවුද එවා කතා කරන්නෙ?

  5. vishvanatha said, on ජූලි 20, 2012 at 11:54 පෙ.ව.

    එල්ලුම් ගහේ ආතල් එක ගන්න දැන් සමහරුන්ට ඕනෙ වෙලා.බුද්ධාගම වෙනුවෙන් පෙනී හිටින දිවයින එල්ලුම් ගහ කෝකටත් තෛලයක් විදියට දකින එක පුදුමයි.මමනම් හිතන්නෙ කෙනෙකුට මැරෙන්න තියන දරුණුම විදිය එල්ලුම් ගහ කියලයි.අහවල් දවසෙ තමන්ව මරනව කියල දින නියම කලාම ඒ මනුස්සයට ඇතිවෙන හැගීම මොකක්ද?සමහරවිට ඒ මනුස්සයගෙන් මැරුම් කාපු කෙනා විනාඩි කීපයක් විදවන්න ඇති.එල්ලුම් ගස් යන කෙනාගෙ පවුලෙ අයත් මැරී මැරී උපදිනවා.මැරී මැරී උපදින මනස විකෘති වූ අසරනයෙක් මහා වීරකමක් වාගෙ මරල දානවා.එල්ලුම්ගහට ගෙනියන්නෙ විලාප දෙද්දි අදගෙන යන්නෙ.බාගෙට මර මර.මර ලතෝනි දෙමින් පස්සට අදිද්දි ගෙනියන හිරකාරයව එල්ලපුවම පැය බාගයක් විතර විදෝනවා.දිව එලියට එනවා ඇස් ගෙඩි එලියට එනවා.එල්ලන කොට අසූචි මුත්‍රා ශුක්‍රානු පහ වෙනවා.දගලල දගලලා තමයි මැරෙන්නෙ මල මිනියෙන් පේනවලු විදපු වද වේදනාව
    මේව ගෙන් ආතල් ගන්න අය ඉන්නවා සේඩිස්ම් කියලා කියන්නෙ ඒකට.
    අනාගත පරම්පරාවල් මේ ම්ලේච්ඡත්වය විනිශ්ඡය කරාවි.සාඩම්බර විනිශ්චයාසනයන් විත්තිකූඩුවට නංවාවි

    • arunishapiro said, on ජූලි 20, 2012 at 12:38 ප.ව.

      vishvanatha,

      //අහවල් දවසෙ තමන්ව මරනව කියල දින නියම කලාම ඒ මනුස්සයට ඇතිවෙන හැගීම මොකක්ද?//

      මේක නම් තර්කයක් නෙමෙයි. එහෙම නම් දිනය නොකියා හිරේ ඉන්න කොට හිටි ගමන් මරණ එක වරදක් නැති වෙනව.

      ළමා අපචාර වලට ලක් වූ දරුවන් විලාප නොදුන්නා කියා සිතනවා ද?

      සිරගෙයක සිරකරුවන් අතර තමන් වරදක් කළ බව පිළිගන්නා අය කී දෙනෙක් ද?

      මම කතා කරන්නෙ අයිතීන් උල්ලංඝනයට ආණ්ඩුවකට බලතල දුන්නම අහිංසක අය බිලි වීම ගැන.

    • ravisandu said, on ජූලි 20, 2012 at 1:49 ප.ව.

      @ Vishvanatha,

      / මමනම් හිතන්නෙ කෙනෙකුට මැරෙන්න තියන දරුණුම විදිය එල්ලුම් ගහ කියලයි /

      වෙන්න ඇති. ඒත් ඒ තෝරාගැනීම තමන්ගෙ. තවත් මනුෂ්‍යයෙක් සාපරාධී සහ චේතනාන්විතව ඝාතනය කල වහාම තමන් ස්වයංක්‍රීයව ඒ වේදනාත්මක මරණය තෝරාගන්නවා. තමන් කල අපරාධයෙ වගකීම තමන් දරන්නම අවශ්‍යයි.

      / අහවල් දවසෙ තමන්ව මරනව කියල දින නියම කලාම ඒ මනුස්සයට ඇතිවෙන හැගීම මොකක්ද? /

      මම කරපු වරදටයි මට මේ දඬුවම ලැබෙන්නෙ කියල හිතුව නම් හරි.

      මෙහෙමත් හිතන්නකො vishvanatha, කිසිම වරදක් නොකරපු අහිංසකයෙක් ගැන හිතන්න. මේ මරන දඬුවමට නියම වෙලා ඉන්න මනුස්සය අර අහිංසකයගෙ ඔළුවට තුවක්කුවක් එල්ල කරල දැන් මේ වෙඩි තියන්න ඔන්න මෙන්න. එහෙම නැත්නම් පිහියක් අමෝරාගෙන පපුවට අනින්න ඔන්න මෙන්න. එතකොට ඒ අවස්ථාවෙ ඒ මරණය අභියස ඉන්න මනුස්සයගෙ හිතේ ඇතිවෙන හැඟීම් මොන විදිහෙ ඒවයි කියලද ඔයා හිතන්නෙ?

      / සමහරවිට ඒ මනුස්සයගෙන් මැරුම් කාපු කෙනා විනාඩි කීපයක් විදවන්න ඇති /

      එහෙම නම් තියෙන්නෙ ඒ අහිංසකය මරපු විදිහටම මරණ දඬුවම ක්‍රියාත්මක කරන එකයි

      / එල්ලුම් ගස් යන කෙනාගෙ පවුලෙ අයත් මැරී මැරී උපදිනවා /

      ඝාතකයා අතින් මරණයට පත්වූ පුද්ගලයගෙ පවුලෙ අයටත් ඒ ටිකම තමයි.

      / මැරී මැරී උපදින මනස විකෘති වූ අසරනයෙක් මහා වීරකමක් වාගෙ මරල දානවා. /

      අසරණයෙක්???

      / එල්ලුම්ගහට ගෙනියන්නෙ විලාප දෙද්දි අදගෙන යන්නෙ.බාගෙට මර මර.මර ලතෝනි දෙමින් පස්සට අදිද්දි ගෙනියන හිරකාරයව එල්ලපුවම පැය බාගයක් විතර විදෝනවා.දිව එලියට එනවා ඇස් ගෙඩි එලියට එනවා.එල්ලන කොට අසූචි මුත්‍රා ශුක්‍රානු පහ වෙනවා.දගලල දගලලා තමයි මැරෙන්නෙ මල මිනියෙන් පේනවලු විදපු වද වේදනාව /

      තමන් මැරෙන්නෙ කොහොමද කියල ඒ තෝරාගැනීම තමන්ගෙ. හැම මිනිහෙකුටම ගෞරවාන්විත මරණයක් අත්විය යුතුයි කියන අයිතිය තවත් මනුෂ්‍යයෙක් ඝාතනය කල විගස ඔහුට අහිමි උනා. ඒ දේ කරගත්තෙ ඔහුම තමයි. වෙන කවුරුවත් නෙවෙයි.

      / මේව ගෙන් ආතල් ගන්න අය ඉන්නවා සේඩිස්ම් කියලා කියන්නෙ ඒකට. /

      වෙන්න ඇති. එහෙම අයත් ඉන්න පුළුවන්…ඒත් තව තමන් වැනිම ජීවිතයට ආශාකල මනුෂ්‍යයෙක් ඝාතනය කරන්නෙත් සේඩිස්ට් කෙනෙක්. ඒක අමතක කරන්නත් එපා.

      / අනාගත පරම්පරාවල් මේ ම්ලේච්ඡත්වය විනිශ්ඡය කරාවි.සාඩම්බර විනිශ්චයාසනයන් විත්තිකූඩුවට නංවාවි /

      වෙන්න පුළුවන්…අනාගතයේ, මිනිස්සු විතරක් නෙවෙයි සෑම ප්‍රාණයක්ම සෑම ජීවියෙකුගෙම ජීවත්වීමේ ශුද්ධවූ අයිතිය එක හෙලා පිළිගන්නා සමාජයක එහෙම දෙයක් වෙන්න පුළුවන්. එසේම අනාගතයෙ ඒ විනිශ්චයක් දෙන අයත් වර්තමානයේ බලපවත්වන තත්වයන් සැලකිල්ලට ගෙන ඒ විනිශ්චයන් දේවි. අඩු ගනනේ අපි එහෙම බලාපොරොත්තුවත් වෙමු.

    • Mourya Raj said, on ජූලි 20, 2012 at 10:22 ප.ව.

      පව්! එල්ලන මිනිහ. අගතියට ලක්වෙන කෙනා(පනපිටින් ඉන්නව නම්) එල්ලමු නේද?

      • arunishapiro said, on ජූලි 21, 2012 at 7:25 පෙ.ව.

        රාජ්,

        පහුගිය දවසක ඉන්දියාවේ අහමදුල්ලා නම් අලුගෝසුවා ගැන ද ඉකොනොමිස්ට් සඟරාවේ ලිපියක් තිබ්බ. 1965 දී එක් අයෙක් එල්ලන්නට ඉන්දීය රුපියල් 25 ක් වේතනය. අවුරුදු විස්සකට පෙර දරුවෙක් පැහැරගෙන ගිය අයෙක්ව එල්ලන්න වේතනය ඉන්දීය රුපියල් දහ දාහයි. මරණ දණ්ඩනය නවතන්න යන පාරක ගමන් කරන ඉන්දියාවේ 1983 දී වෙනස් වෙච්ච නීති නිසා මරණීය දණ්ඩනය තිබ්බත් පහුගිය වසර 17 තුල එක් අයෙක් පමණයි එල්ලුම් ගහට ගිහින් තියෙන්නෙ.

        වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැනෙ. මරණ දඬුවම නිසා අනාගතයේ තවකෙක් අගතියට ලක්වීම නැවතෙන බවක් ද සාක්කි ඇතිව ඔප්පු කරන්න බැහැ. එහෙත් පැහැදිලිව ම ඔප්පු කරන්න හැකි දෙයක් තමයි අහිංසකයෙක් බිලිවීම නතර කළ නොහැකි බව. කියවන්න ඉහත අහමුද්ල්ලා ගැන සටහන.

        බුල්ගේරියාවේ සංචාරයේ යෙදී සිටි ඊශ්‍රායෙල් තරුණ පිරිසක් මරණයට පත් කරපු මරාගෙන මැරිච්ච ත්‍රස්තවාදියා, කොලරාඩෝ සිනමාහලක 12 දෙනෙක් මරණයට පත් කළ අය වැන්නවුන් ලෝකයේ හැමදාම ඉන්නවා. සමහර කාලවල දී ඔවුන් ගැන වැඩියෙන් අහන්න ලැබෙනවා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අනුකරණයට කැමති ස්වභාවික හැදියාවෙන් යුතු මිනිසා අද ඔහුව රවටා මුලා කර තියෙන අය නිසා අවුල් වූ මනසකින් හිතන්න යාමෙන්, ගට කියන දේ ට සවන් දෙන්නේ නැතිව, රැවටිල්ලෙන් අනුකරණයට යනවා. එතකොට හොඳ නරක තෝරා බේරාගත නොහැකිව අවුල් අනුකරණය කරන එකත් මිනිස් හැදියාවක්.

        රටේ ජනාධිපති (ඔබාමා ගැන මේ කියන්නෙ) සිට පහළට “ඔබේ උත්සාහයෙන් නෙමෙයි ඔබ සාර්ථක වූයේ” කියා මුලාවෙන් අවුල් වෙලා ඉන්න මිනිස්සු වැඩි වෙන කොට අවුල් වූ සිත් වලින් නීතිය කුමක් දැයි නොදන්නා කමින් තමන්ට නොලැබෙන දේවල් ගැන වෛරයක් නිසා අනුන්ගේ ජීවිතය හා තමන්ගේ ජීවිතය ද විනාශ කරන එක වැඩියෙන් දකින්නට ලැබෙනවා. යුරෝපීය ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවත් ඔබාමා කියූ දේ නිවැරදි කරන්න ගන්න උත්සාහයෙන් පෙනෙන්නේ ඔවුන් ද නිදහස් වෙළඳපොල ආර්ථිකය සාර්ථක වෙන හැටි නොදන්නා බවයි!!!! පුදුමයක් නැහැ එතකොට ග්‍රීසිය, ඉතාලිය, ස්පාඤ්ඤය .. රටවල තියන අද අවුල් දැක්කම.

        ඒත් ඒකට පිළියම කිසිදා ප්‍රතිඵල නොලැබිච්ච දරුණු නීතියක් ගෙනැවිත් එයින් විසඳුමක් ලැබේවි යැයි සිතීම නෙමෙයි.

  6. chandi said, on ජූලි 20, 2012 at 12:13 ප.ව.

    දරුවෙකු ගෙ වගකීම තියෙන්නෙ ආණ්ඩුවටද? දෙමාපියන්ටද?……….
    අපේ අම්මෙක් අදුරන මාමෙක්ව හොයාගෙන ඒ මාමා දැරියන් දෙදෙනෙක්ව දූෂණය කලබව පහුගිය මාසයේ පිළියන්දල පැත්තෙන් වාර්තා උනා. ඉතින් කාගෙද වැරැද්ද? අපි අපේ දරුවන් ව බලා කියා ගැනීමේ වගකීමෙන් පැහැර හරින්නේ ඇයි?
    ඇයි, අපේ මිනිස්සුන්ට හිතන්න බැරි කියල මට නම් තේරෙන්නෙ නෑ. දරුවෙක් හදන්නෙ ඇයි? මේ වගේ අය.
    ඔහේ තමන්ගෙ ලිංගික අශාවන් වලට ඉඩ දීල ඉබේ දරුවන් පහල වෙන නිසා දරුවන් හදනවා වෙන්ඩ ඇති. ටෙලි නාට්‍ය වලත් පෙන්වන්නෙ මේවනෙ. ඉතින් හිතන්නෙ මේවගේ සුන්දරව ඉන්න පුලුවන් කියලයි. මේ හැම යුතුකමම පැහැර ඇරල ඊට පස්සෙ ආණ්ඩුවට බනිනවා. හැම දරුවෙක්ම තමන්ගේම දරුවෙක් කියල හිතන්නට පුරුදු උනා නම් මේ අපරාධ කවදාවත් වෙන්නේ නෑ.

    • arunishapiro said, on ජූලි 20, 2012 at 12:59 ප.ව.

      chandi,

      //හැම දරුවෙක්ම තමන්ගේම දරුවෙක් කියල හිතන්නට පුරුදු උනා නම් මේ අපරාධ කවදාවත් වෙන්නේ නෑ.//

      -හරියට ම හරි චාන්දි අක්කා. තව දරුවෙකුට අතවරයක් වෙද්දී අහක බලා ගෙන ගිය අය ගෙන් මෙය කවදා ඉටු වෙයි ද?

  7. ravisandu said, on ජූලි 20, 2012 at 12:39 ප.ව.

    / කොයි ආණ්ඩුව ද ලෝකෙ ලිංගික අපරාධ සහමුලින් නවතලා තියෙන්නෙ කියලා රෝසිගෙන් අහන්න ඔය පැත්තෙ කවුරු හරි කෙනෙක් නැද්ද?!! /

    කතාව ඇත්ත අරුණි…කොයිම ආණ්ඩුවක්වත් ලෝකෙ ලිංගික අපරාධ සහමුලින් නවත්වන්න සමත් වෙලා නැහැ…කවදාවත් සමත් වෙන එකකුත් නම් නැහැ…

    හැබැයි ඒ වාගෙම ආණ්ඩුවෙ සාමාජිකයො ලිංගික අපරාධ වල නිරත වෙන කොට නීතිය සහ සාධාරණය ඉෂ්ඨ වීමට ඉඩ නොදී ඒ යටපත් කිරීමට කිසිම හිරිකිතයක් නොමැතිව එළිපිටම උත්සාහ කරන වෙන ආණ්ඩුවකුත් නම් මේ ලෝකෙ කොහේවත් නැතුව ඇති අරුණි 😦

    • arunishapiro said, on ජූලි 20, 2012 at 1:02 ප.ව.

      ravisandu,

      පිළියම උන්ට තවත් බලතල දීම නොවෙයි නෙ!!!!

      • ravisandu said, on ජූලි 20, 2012 at 1:18 ප.ව.

        අරුණි,

        ආණ්ඩුවට වැඩිපුර බලතල දීමට ඉල්ලීමක් මේ ඔබ උපුටා දැක්වූ ප්‍රවෘත්ති වාර්තා වලින් කියවෙනවයි කියල මට නම් හිතෙන්නෙ නෑ. දරුවන්ගෙ විතරක් නෙවෙයි සෑම පුරවැසියෙක්ටම නිදහස්ව අතුරු අන්තරායකින් තොරව ජීවිත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීම.ළමා අපචාරයේ යෙදෙන්නෙක් සුළු සිර දඬුවමකින් පස්සෙ නිදහස් කලාම ඔහු නැවත වරක් ඒ අපරාධයම කරන්නට තියෙන හැකියාව අවුරන එකයි ආණ්ඩුවේ වගකීම.ඒක කරන්න මරන දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන නම් ඒක අනිවාර්යයෙන් කරන්නම වෙනවා. වෙන විකල්පයක් නැහැ.

        / එහෙයින් මුළු රටේම දෙමවුපියන්ට මේ තත්ත්වය උදා නොවීමට නම් ආණ්‌ඩුව වරදකරුවන්, වරදකරුවන් ලෙසම දැක ඔවුන්ට විරුද්ධව සමාජයටම ආදර්ශයක්‌ දිය හැකි තීන්දු තීරණ වහා ගත යුතුය. හැබැයි, ඒ තීන්දු කැලණියේ එක්‌තරා ආණ්‌ඩුවේ දේශපාලනඥයකුගේ විනය පරීක්‍ෂණය සම්බන්ධයෙන් ගත් තීන්දුව හා සමාන නොවන්නට නම් වගබලා ගත යුතුම ය. /

        දිවයින කතු වැකියෙන් මෙතන පැහැදිලිවම කියන්නෙ ආණ්ඩුවට වැඩි බලතල ලබාදීමක් නෙවෙයි. මේ කියන්නෙ කරුණා කරල නීතියේ ආධිපත්‍යයට නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න කියලයි…ඉතින් මොකක්ද ඒකෙ වැරැද්ද?

        • arunishapiro said, on ජූලි 20, 2012 at 2:49 ප.ව.

          ravisandu,

          //ආණ්ඩුවට වැඩිපුර බලතල දීමට ඉල්ලීමක් මේ ඔබ උපුටා දැක්වූ ප්‍රවෘත්ති වාර්තා වලින් කියවෙනවයි කියල මට නම් හිතෙන්නෙ නෑ.//

          මෙහෙමයි නොසිතූ ප්‍රතිඵල සිද්ධ වෙන්නෙ. විරුද්ධ පක්ෂය කිව්වම -මේ ආණ්ඩුවට බැහැ ඒත් අපේ ආණ්ඩුවට පුළුවන්- ඉතින් මේ ආණ්ඩුව වහාම තම පුටු බේරා ගන්න අපරාධය කරපු අයෙක්ව හොයලා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. අපේ ආණ්ඩුවට පුළුවන්, අපි නිකම් ඉන්නෙ නෑ පෙන්වන්න. මරණ දඬුවම පටන් ගත්තට පස්සෙ ළමා අපරාධකාරයා මුලින්, ඔහොම යද්දී කළින් සටහනේ පින්තූරෙ ඉන්න, ‘කැලණියේ එක්‌තරා ආණ්‌ඩුවේ දේශපාලනඥයාගෙ’ විනය බිදපු එක්කෙනාවත් යන්නෙ කොහාට ද?!!!

          //දරුවන්ගෙ විතරක් නෙවෙයි සෑම පුරවැසියෙක්ටම නිදහස්ව අතුරු අන්තරායකින් තොරව ජීවිත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීම.//

          කවුරුත් සමත් නෑ!!! මිනිස් ස්වභාවය ඒක අවහිර කරනවා. කරන්න නොහැකි දේකට වගකීමක් තියෙනවා කිව්වාට ඵලක් නෑ. නිදහස්ව අතුරු අන්තරායකින් තොරව යම්තාක් දුරකට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණයට ආණ්ඩුවක් ද සමත් නෑ පුරවැසි සහභාගීත්වයකින් තොරව. පුරවැසියා සහභාගී වෙන්නෙ නෑ කට්ටියකට විතරක් වරප්‍රසාද තියෙද්දී. ඉතින් නීතිය සියල්ලන්ට ම එක සේ තීන්දු කරන්න ට, තමන් විශේෂ වරප්‍රසාද නොසොයන්න පුරවැසියන් පටන් ගත් දාට තමයි සෑම පුරවැසියෙක්ටම නිදහස්ව අතුරු අන්තරායකින් තොරව යම්තාක් දුරකට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වෙන්නෙ.

          //ළමා අපචාරයේ යෙදෙන්නෙක් සුළු සිර දඬුවමකින් පස්සෙ නිදහස් කලාම ඔහු නැවත වරක් ඒ අපරාධයම කරන්නට තියෙන හැකියාව අවුරන එකයි ආණ්ඩුවේ වගකීම.//

          අපරාධකරුවාගේ ළමා අපචාර ආශාව විද්යාවෙන් ඉවත් කරන්න පුලුවන් … එතකොට නීතිය අවනීතිය වූ ආණ්ඩුවකින් නීතිය පිට දාලා අහිංසකයෙක්ව බිලි වීම වළක්වා ගන්නෙ කොහොම ද?!!!! ඇලන් ටුරින්!!!

          //දිවයින කතු වැකියෙන් මෙතන පැහැදිලිවම කියන්නෙ ආණ්ඩුවට වැඩි බලතල ලබාදීමක් නෙවෙයි. මේ කියන්නෙ කරුණාකරල නීතියේ ආධිපත්‍යයට නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න කියලයි//

          දරුවන් බලා ගැනීම දෙමාපියන්ගේ වගකීමකැයි ආණ්ඩුව කියන්නේ නම්” යන්නෙන් අදහස් වෙන්නෙ දරුවන් බලා ගැනීම ආණ්ඩුවේ වගකීම යන්න නොවේ ද? කතුවැකිය කියන්නේ නීතියේ ආධිපත්‍යයට නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න පමණක් නම් අවුලක් නෑ.

  8. සාබිත් said, on ජූලි 20, 2012 at 9:49 ප.ව.

    සතුටුයි අපිට ආයි කොමෙන්ට් කරන්න පුලුවන් එක ගැන!
    තමන්ගේ අයිතීන් මිනිසා නැති කරගන්නේ අනුන් විසින් බලහත්කාරයෙන් උදුරා ගන්නා නිසා නෙමෙයි. කම්මැලිකමට තමන් විසින් ම ඒවා අත් හරින නිසා කියලා කිව්වට මොකද ලංකාවේ නම් අත අරින්නේ ඉක්මනින් සුදුවෑන් එකකින් යටියන්තොට යන්න තියන නොකැමැත්තට!

    • arunishapiro said, on ජූලි 20, 2012 at 9:52 ප.ව.

      සාබිත්,

      බලමු ඉඩ දීලා හික්මීමක් තියේවි ද කියලා!!

      තම ආරක්ෂාවට යැයි නිහඬ වෙලා තත්වය හොඳ අතට හැරුනේ මොන රටේ කොයි ඉතිහාසයේ ද?!!!!

      යන්නෙ කොහෙද කොහොම ද කියලා පැහැදිලි කරගත්තෙ නැත්නම් මොන ආණ්ඩුවක් ආවත් හැමෝම යටියන්තොට යයි!!!!

  9. kevin perera said, on ජූලි 21, 2012 at 12:13 පෙ.ව.

    //ගොසිප් අඩවි වල නිවුස්, නිවුස් අඩවි වල ගොසිප්!!!!?//
    ඒ විතරක්ය අරුණි ලංකාවෙ වාමාංශිකය තුල දකුන සහ ධනවාදී යැයි සිතන යූ ඇන් පිය තුල වම තියනවා කාටවත් අවුලක් නෑ.තමා වාමාංශිකයෙකු ලෙස පාරම්බාන w3lanka හි පැරකුම්ගේ ලිපි වල සමහර අදහස් රනිල් නොවෙයි රොන් පෝල්ටත් වඩා ලිබටේරියන් දකුනේ. රජයේ අධික බදු වලට, මෙගා රජයට විරුද්ධයි. මේ අදහස් දැරිය යුතු යූ ඇන් පී එකේ පිස්සො විජේවීරටත් වඩා මාක්ස්වාදී අදහස් තියෙන්නෙ.කවුරුත් කියන්නෙ නෑ අපේ පක්ෂයේ ආර්තික ප්‍රථිපත්තියට ඔය අදහස් ගැලපෙන්නේ නෑ කියල. සජිත් චන්දෙ ගන්න හදන්නේ නිකම් සහනාධාර බෙදලා.
    w3lanka පැරකුම්ගෙ මේ ලිපිය බලන්න අරුණි මේ වාමාංශිකයාට මං කැමතියි.
    http://w3lanka.blogspot.com/2012/07/blog-post_20.html

    • arunishapiro said, on ජූලි 21, 2012 at 7:54 පෙ.ව.

      kevin perera,

      වියට්නාමයේ තිබ්බ කොමියුනිස්ට් මධ්‍යගත සැලසුම් වලින් යාන්තමින් හෝ ඈත් වුනාම ඇති ප්‍රගතිය අද දකින්න පුලුවන්. ඉතින් තමන්ගෙ රට, තමන්ගෙ පක්ෂය, තමන්ගේ දේශපාලනය කියන ඒවා වමේ ද දකුණේ ද කියා ගත්තට කමක් නැහැ, ලෝකයේ ඇති ලිබරල්වාදී දේශපාලන පක්ෂ කියාගන්නවා වගේ ම තමයි, රටේ ජනතාවගේ ජීවිත උන්නතියට යමක් කරනවා නම්. ඒත් ඇයි උන්නතිය සිද්ධ වෙන්නෙ කියා පැහැදිලි කරදුන්නේ නැත්නම් වෙන්නෙ අතීතයේ මෝඩකම් වලින් පාඩම් ඉගෙන ගන්නෙ නැතිව අනාගතයේ ද එම මෝඩකම් ද යළි කිරීමට පිවිසීමයි. අද යුරෝපය දිහා බලන්න.

      ඒත් ලිබටේරියන් අදහසකින් දෙකකින් ජනතාව මුලාකරන වාමාංශිකයෙකුට ජයපතන්න මම නම් සූදානම් නැහැ. නිදහස් වෙළඳපොල හා ඇමෙරිකන් ක්‍රමය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ජනතාව මුලා කරන මිට් රොම්නිට ජයපතන්න සූදානම් නැහැ වගේමයි. මොකද ඒ දෙන්නා ම කරන්නෙ තියන ආණ්ඩුවේ වැරදි පෙන්නලා තමන්ගෙ ආණ්ඩුවකින් ඒ වැරදි හදාගන්න පුලුවන් යැයි කියන ‘රෝසි’ පාට කතාව ම මිසක් ජනතාව අතට බලය දීලා ඔවුන් ශක්තිමත් කරන උත්සාහයක් නෙමෙයි.

      ඔව් කෙවින් ඔයා නිවැරදියි. UNP අද පෙනී සිටින්නේ තනිකරම පාලන බලය අල්ලා ගන්නට වෙර දරන උත්සාහයක මිස තමන්ගෙ කියා ප්‍රතිපත්තියක් නැති, දකුණේ අදහස්, නිදහස් වෙළඳපොල හෝ ධනවාදය ගැන වූ අදහස් වලින් සැකසිච්ච නිවැරදි මඟක් හදාගෙන නෙමෙයි. සන්ධාන ආණ්ඩුවත් තියෙන ප්‍රධාන විරුද්ධ පක්ෂත් අතර වෙනසක් නැහැ. හැමෝටම ඕනා තමන්ගෙ බලය වැඩි කරගන්න විතරයි.

      පැරකුම් ලියන “ඔහුට පෙර ගුවන් විදුලිය වනාහි, ලක්ෂපතිආරච්චිට පවා එළිපත්ත පමණක් හිමි වූ, කොළඹ කේන්ද්‍ර කර ගත් වරප්‍රසාදිත ඊනියා ප්‍රබුද්ධයන්ගේ සමාජයක ආධිපත්‍යයට නතු වූ, ජනතාව‍ තමා ළඟට ගෙන්වා ගත් මාධ්‍ය අවකාශයකි,” යන්නට ද මම එකඟ නැහැ. එක පැත්තකින් ගත්තම අද එහෙම නැහැ කියනවා ද? අනික් පැත්තෙන් ගත්තම ධර්ම ශ්‍රී වික්‍රමසිංහලා, පාලිත පෙරේරලා සහ මෑත කාලයක දී වෙනස් වෙන්නට පෙර සිරස රේඩියෝවේ සිටි කිංස්ලි රත්තානයක එහෙම රේඩියෝවේ එළිපත්තෙ හිටිය අය විදියට මම දකින්නෙ නැහැ. අනික එදා රේඩියොවක් තිබ්බත් රේඩියෝ තරංග අල්ලගන්න කොච්චර මහන්සියක් දැරුවා ද ඈත පළාත් වල අය. ඉතින් කාට ද වෙළඳ දැන්වීම් විකුණන්නෙ රේඩියෝවෙ වියදම් පියවා ගන්න? රේඩියෝව ඇහෙන්නෙ නැති අයට ද? ඒ අතින් රේඩියෝ නාලිකා තාමත් කොයිතරම් රටේ ප්‍රදේශ වලට සීමා වෙලා ද?!!! ඒවා හදාගන්නෙ නැතිව ඊනියා ප්‍රබුද්ධයන්ගේ සමාජ ආධිපාත්‍යයක් කියනවා!!!!

  10. Mourya Raj said, on ජූලි 21, 2012 at 1:38 පෙ.ව.

    දූෂණ විතරක් නෙවේ. හෑම අපරාධයකම මූල බීජය හොයල බලල ඒක නැතිකිරීම වෙන්න ඕන දෙයක්. ඒත් ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවේ. මොකද මේව බැඳිල තියෙන්නෙ මේ සමාජයේ මුල්බැහැල පවතින තවත් කාරණා සමඟ. ඒත් නීති රීති ශක්තිමත් කිරීම අමතක කරල කටයුතු කිරීමෙන් වෙන්නෙ මේ දේවල් වර්ධනය වීම පමණයි. අනෙක් අතට උවමකාවක් තියනව නම් කරන්න පුළුවන් ලේසි වැඩෙත් ඒකනේ. කවුරු මොනව කිව්වත් නීතියේ දුර්වලතාවය නිසා සිදුවන අපරාධ ප්‍රමාණයකුත් තියනව. අපරාධයක් කරන්න කලින්, “අහුවුනාම එලියට එන්න ගතවන කාලය” ගණනය කරල අපරාධ කරන උදවිය මම දැකල තියනව. ඒවට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන නීතිය සහ නීති හදන එවුන්.
    -රාජ්

    • arunishapiro said, on ජූලි 21, 2012 at 7:58 පෙ.ව.

      රාජ්,

      ලියූ සියල්ල ම හරියට ම හරි. අමාරු වැඩක් නෙමේ අද අප අතේ විජට්ටු බොහොමයක් තියෙනවා. ඒත් ජනතාව අතින් බලය උදුරලා ඕනෑම ආණ්ඩුවක බලය වැඩි කළොත් ඒ විජට්ටු වල ඵලදායී බව අඩු වී ගිහින් අපේ විනාශය අපි ම ළඟා කරගන්නවා.

  11. wicharaka විචාරක said, on ජූලි 21, 2012 at 8:43 පෙ.ව.

    පුදුම වැඩේ කියන්නේ කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් අන්ධයන් ගොළුවන් බිහිරන් මෙන් ජීවත්වන සෑහෙන පිරිසක් සිටීමයි. සමහරු හිතන්නේ යුද්ධය දිනීම රාජ්‍ය පාලකයකු විසින් තම ජනතාව වෙත ඉටු කලයුතු යුතුකමක්‌ කියලා නෙවෙයි. මේ ලෝකයේ වෙන කාටවත් කරන්න බැරි මහා විශ්වකර්ම වැඩක් කියලයි. තමන්ගේ සර්වජන ඡන්දය කොතරම් වටිනවද කියන එක නොදත් පිරිස වැඩියි කියලයි මටනම් හිතෙන්නේ. ඡන්දයක් ලන්වෙනකොට ලොවින්න දෙන මස්කටු වලට වහ වැටිලා තමන්ගේ ආත්මය පාවාදීමට තරම් නිර්ලජ්ජිත ඇයි. ඒ එක පැත්තක්. මේ අනික පැත්ත. ජනතාවගේ විශ්වාසය දිනාගන්න කාලය පැමිණිලා තියෙද්දිත් සංවිධාන ශක්තියෙන් පිරිහී බලය පිලිබඳ සිහින දකින රූකඩයන් නිසයි නීතිය අවනීතිය කරගෙන රෙජීම පවත්වාගෙන යන්නේ. වඩාත්ම කනගාටුදායක තත්වය තමයි තරුණ පරපුර විද්‍යුත් සිහින ලෝකවලට වෙලා ‘පුවත් නොදැන බමන මතින්’ සිටීම.

    • arunishapiro said, on ජූලි 21, 2012 at 1:07 ප.ව.

      wicharaka විචාරක,

      දැනගන්න උවමනාවක් නැති අය ඕන තරම් එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් සිටීවි. ඒත් ඒ අස්සෙන් කරුණු කාරණා විමසන්න උවමනාවක් ඇති සුළුතරයක් තමයි ලෝකයේ උන්නතියට දායද වෙන්නෙ, ඒකත් එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙම වේවි!!!

      යුද්ධයක් දිනීම රාජ්‍ය පාලකයෙකු කළ යුත්තක්. හතුරු විපත් වලින් තමන්ගෙ රට ආරක්ෂා කර ගැනීමට තමයි ආණ්ඩුවක ප්‍රධාන කාර්ය භාරය. නැතිව ඉන්න අය අතරේ වරප්‍රසාද බෙදා දෙන්න කල්ලියක් තෝරා ගැනීම නොවෙයි!!! කරන්න අවශ්‍ය දේට ආණ්ඩුවට බැනලා කරන්න අනවශ්‍ය දේට ආණ්ඩුවට බලය දෙනවා.

      පැහැදිලිව ම, සර්වජන චන්දයේ අගය නම් දන්න අය අඩුයි, ඒත් ඉතින් ලෝක ඉතිහාසය ගත්තම සර්වජන චන්දය පාවිච්චි කරන්න මුල් වතාවට ලැබීම අද ඊයේ පටන් ගන්නා වූ ළාබාල ලෝකයක අපි ඉන්නෙ.

  12. vishvanatha said, on ජූලි 21, 2012 at 8:47 පෙ.ව.

    අපරාධවලට වගකිවයුත්තේ අපරාධකරුවා පමනක් නොවෙයි,ජානමය හේතු හා මාමසික රෝග තත්වයන් සමාජය විසින් කර ඇති ආරෝපනයන් බලපානවා.ළමා අපයෝජකයන්ට අනුකම්පාවක් කිසිසේත්ම නොදැක්විය යුතුයි.ළමා අපයෝජකයන් කියන්නෙ කාමරෝගීන් පිරිසක් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාරයි.ඒත් ඔවුන් වරදක් කළොත් දඩුවම් නොකළ යුතුයි කියා මම කියන්නෙ නෑ.නමුත් විද්‍යාත්මක ක්‍රමවේදයන් වර්ධනය කරන්න ඕන අනාගතයේදී ෆිඩෝෆීලියා තත්වයට පත්වෙන අය හදුනා ගන්න.තමන්ගෙ රෝගතත්වක් නිසා හිරේයාම මොකක් වුනත් එල්ලුම් ගස් යාම නම් අනුමත කරන්නෙ නෑ.
    ස්ත්‍රී දූෂනය කියන්නෙ ඕනෑම ස්ත්‍රියකට ඕනෑම පිරිමියෙකුට එල්ල කරන්න පුලුවන් චෝදනාවක්.අනාචාරයේ හැසිරිලා දූෂනය කළා කියන්න පුලුවන්.ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂනය ගත්තම ප්‍රෙමවන්තයන්,සද්භාවයෙන් විවාහ වූ ස්වාමි පුරුෂයන් ස්ත්‍රී පාර්ශ්වයේ බලකිරීම මත ලිංගිකව එක්වූ පිරිමි ළමුන් පවා හිරේ ගිහින් තියනවා.වෛවාහික ස්ත්‍රී දූෂන නීතියෙනුත් රෑට එකට ලිංගිකව ඉදලා වෙන තරහකට උදේ පොලීසියෙ ගිහින් පැමිනිලි කරන්න පුලුවන් දූෂනය කලා කියලා.ඒ මිනිහත් එල්ලන්න ඕනද
    හැබැයි මිනීමැරුමකදි බලහත්කාරෙන් කළ ස්ත්‍රීදූෂනයකදි පැහැදිලි වින්දිතයෙක් ඉන්නවා.එවැනි කරුණු වලදි තදින් හිටියට කමක් නෑ
    නමුත් තව දෙයක් තියනවා.ලංකාවෙ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති බව නොදන්න කෙනෙක් නෑ.හදිසි කෝපෙට මිනීමරපු මොකුත් කරකියාගන්න බැරි වන්නි හත්පත්තුවෙ එකෙක් එල්ලුම් ගස් යයි.පාතාලෙ එවුන් පුරුදු විදිහට මිනී මරයි.සල්ලිකාරයො ගායකයො නලුවො වගෙ අය රිමාන්ඩ් කළාම ඒ අය අසනීප වෙලා පෞද්ගලික රෝහල් වලට යන්නෙ
    අනික මාධ්‍ය වලින් නඩු අහන ලංකාවෙ අහිංසකයො කී දෙනෙක් මැරුම් කයිද.පාතාලෙ ලොක්කො වෙනුවට කුලියට හිරේ යන සම්ප්‍රදායක් තියන රටේ මොකක් හරි වැරැද්දකට පාතාලය බේරල බිලිබෝයි කෙනෙක් එල්ලයි.
    ලංකාවෙ හරියට නඩු අහනවද කියන්න උදාහරනයක් මේ.රාජ් රාජරත්නම් ඇමරිකාවෙදි වංචා නඩුවකට හිරේ ගියාම ලංකාවෙදිනම් කරන්න ඇත්තෙ එක දෙයයි නඩුකාරය එක්ක ඩිනර් එකට වාඩිවෙන එක කියල කිව්වා.ඒ වාගෙම ලංකාවෙ 1976 වෙනකම් එල්ලපු අය ගැන විශ්ලේෂනයක් කළාම පහත සදහන් අය වැඩියි
    සාධාරන නඩු විභාගයක් නොලත් අය
    හදිසි කෝපයට මිනී මැරූ අය
    ආත්මාරක්ෂාව සඳහා මිනී මැරූ ඇය
    නීතියේ මූලිකම සංකල්ප පවා සැලකිල්ලට නොගෙනයි ඒ මිනිස්සු මරලා තියෙන්නෙ.ඔය කාලෙ සංනිවේදන පහසුකම්,ජිනීවා මානව හිමිකම් මොකවත්ම නෑ ඒ අය නොකළ වරදකට එල්ලුම් ගස් ගියාම හිතල තියෙන්නෙ පෙර කර්මයක් කියලලු

    • arunishapiro said, on ජූලි 21, 2012 at 1:13 ප.ව.

      vishvanatha,

      අපරාධ වලට වගකිව යුත්තේ අපරාධකරුවා ය. ඔය අනෝමීය හේතු දක්වලා වරදකින් ගැලවෙන්න පුළුවන් කාලේ දැන් පැනලා ගිහින්.

      මානසික රෝගියෙක් අපරාධයක් කරන්නේ ද ඔහු අපරාධයක් කරන ලද මානසික රෝගයෙක් මිසක් අහිංසකයෙක් නෙමෙයි. අන්ධ, ගොළු, බිහිරි අයට සමාජයේ ජීවත්වෙන්නට සහාය වෙන ලෙසින් මානසික රෝගීන්ට ද සමාජයේ අපරාධකරුවන් නොවී ඉන්නට මාර්ග සැලසීම වෙනම කාරණයක්. මානසික රෝගියෙක් කියලා අපරාධ කෙරුවට වරදකරුවෙක් වෙන්නෙ නැහැ කියන වැරදි අදහසක්.

      //ස්ත්‍රී දූෂනය කියන්නෙ ඕනෑම ස්ත්‍රියකට ඕනෑම පිරිමියෙකුට එල්ල කරන්න පුලුවන් චෝදනාවක්.//?????? ඇත්තට ම ඕක විශ්වාස කරනවා නම් ‘ස්ත්‍රී දූෂණය‘ කියන්නෙ කුමක් දැයි වහාම සොයා බලන්න. වසංගතයක් වෙලා තියෙන්නෙ නොදන්න කම නිසා වෙන්නත් ඇති!!!!!

    • ravisandu said, on ජූලි 21, 2012 at 3:22 ප.ව.

      @ Vishvanatha,

      / ඒ වාගෙම ලංකාවෙ 1976 වෙනකම් එල්ලපු අය ගැන විශ්ලේෂනයක් කළාම පහත සදහන් අය වැඩියි
      සාධාරන නඩු විභාගයක් නොලත් අය
      හදිසි කෝපයට මිනී මැරූ අය
      ආත්මාරක්ෂාව සඳහා මිනී මැරූ ඇය
      නීතියේ මූලිකම සංකල්ප පවා සැලකිල්ලට නොගෙනයි ඒ මිනිස්සු මරලා තියෙන්නෙ./

      කරුණාකරල ඔබගේ මේ ප්‍රකාශය පදනම් කරගත්තෙ මොකක් මතද කියල කියනවද?

  13. vishvanatha said, on ජූලි 21, 2012 at 8:47 ප.ව.

    @ravisandu
    හරි කියන්නම්
    එක් විදුහල්පතිවරයෙකුට දුවල දෙන්නෙක් හිටියා.ඔහු ගෙදර ආවම දුවල දෙන්නම තමන්ගෙ යාලුවො දෙන්නෙක් විසින් දූෂනය කළා කියලා දැනගෙන ගෙදර තිබුණ තුවක්කුව අරන් ඒ දෙන්නම වෙඩි තියලා මැරුවා.මේ පුද්ගලයා එල්ලුම් ගස් ඉතිහාසයේ සුවිශේෂ වන්නේ ඔහු හාමුදුරුකෙනෙක් ගෙන්නනවට අකමැති වෙලා ඊ ඩබ්ලිව් අදිකාරම් ව මරණසන්න දේශනාවට ගේන්න කියල ඉල්ලපු නිසා
    මත්පැන් බී සාදයක් අතරතුරදී තම සහෝදරයාව කපා කොටා මැරූ රංබන්ඩා.
    අවසානයට එල්ලා මැරූ චන්ද්‍රදාසත් හදිසි කෝපය හේතු වුනත් ඒක පැහැදිලි නෑ.අනික ඔහු කීප දෙනෙක් මැරුවා
    මරුසිරාත් දෙන්නෙක් මැරුවෙ තමන්ගෙ ආත්මාරක්ෂාවට කියල කියනවා ඒක නම් ස්ථිර නොකල කරුණක්.අනික ඔහු මැරවරයෙක්.
    සිරිපාල නම් තවත් අයෙක් එල්ලුම්ගහට නියමවුනේ ඔහුගෙ ප්‍රධානියා මැරූ නිසා.මේ ප්‍රධානියා බොරු චෝදනාවකට හිරේ ඇරපු නිසා ඒ චෝදනාව බොරු බව ඔප්පු වුනා.සිරිපාල එලියට ආ හැටියෙ ප්‍රධානියව මැරුවා.මේක නම් හදිසි කෝපය නොවෙයි.මේකට විධායකයෙ සමාව හරි ලැබිය යුත්තක්.මේ විදියෙ තව ලැයිස්තුවක් තියනවා.ඒත් වර්තමානය ගැන කතා කරන එක වඩා හොදයි ඔබ දන්නවද 18ට අඩු අයට මරණ දඩුවම නියම කරන්නෙ නෑ කියල ලංකාවෙ එවැනි නියම කිරීම් සිද්ධ වෙලා තියනවා මරණ දඩුවම නියම කරන්න මහත් රුචිකත්වයක් දැක්වූ විනිසුරුවෙක් අතින්.මම මේ කාරනයෙදි ඇමරිකාව උදාහරනයට ගන්නෙත් මේකයි.ඇමරිකාවෙ විනිසුරුවරු පවා විවේචනය කළ හැකියි .එල්ලුම් ගහ තිබුණැ කාලෙ අපරාධ කරපු තවත් අය හිටියත් ඒ අය බලපුලුවන්කාරයො නිසා එල්ලුම් ගස් ගියෙ නැතිව ඇති හැබැයි මේ කාරනය ගැන නම් මට සාක්ෂි නැති බවත් කියන්න ඕන.ඒත් ඒ කාලෙ තිබුන ආන්ඩු දිහා බලන කොට එහෙම නොවුනා කියා හිතන්නත් බෑ

    • arunishapiro said, on ජූලි 21, 2012 at 11:30 ප.ව.

      vishvanatha,

      සාධාරණ නඩු විභාගයක් නොලැබුවා යැයි හෝ හදිසි කෝපය නිසා යැයි මීනිමැරීම නීතියට විරුද්ධයි. එවිට ද නීතිය කැඩීම නිසා වරදකරුවෙක්/අපරාධකරුවෙක් වෙනවා.

      මුලින් ලියල තියන කතාව හා සමාන වූවක් දිවයින පත්තරේ ඉස්සර දවසක පළ වූවා. මෙතැන අමුණන්න හොයන්න ගත්ත උත්සාහය සාර්ථක වූයේ නැහැ. ඒ කතාව ලංකාවේ භීෂණ සමයේ වූ සිද්ධියක්. එක්තරා ඈත පළාතක ගමේ කෙනෙක් ම ගමේ තරුණ ගෑණු ළමයෙක් දූෂණය කරලා මරලා දාලා තියෙනවා. මේ ගෑණු ළමයාව හොයාගන්න බැරිව ගම්මු තැවෙද්දී ගමේ මාමා කෙනෙක් ඉදිරිපත් වෙනවා ගෑණු ළමයා ඉන්න තැන පෙන්වන්න. ඇයව දූෂණය කළ මරා දැමුවා යන්න පැහැදිලි වෙන්නෙ මළසිරුර හමුවෙද්දී. එය කරන ලද්දේ මළසිරුර පෙන්වන්න ගියා මාමා බව ම ගම්මුන්ට වැටහෙන්න වැඩි කාලයක් යන්නෙත් නැහැ. මාමා අපරාධයක් කෙරූ අයෙක්. එය සත්‍ය්‍යක්. ඒත් නීතිය රැකෙන්නෙ ‘දතට දතක්’ කිරීමෙන් නෙමෙයි. යුක්තිය පසඳන්න කියා භීෂණ සමයේ ජවිපෙ අය විසින් ඒ මාමාව මරා දාලා අර ගැහැණු මළ සිරුර විදියට ම දාලා තියෙනවා ගම්මුන්ට දකින්න ලැබෙනවා. මේක යුක්තිය ඉටු කිරීම නොව අවනීතිය රජ කිරීම නැත්නම් නීතියේ රීතිය නැති වී යාම. වරදක් කළ අයෙක්ව එයා වරදක් කළ බව දන්නේ නම් නීතිය රකින්නට පිහිටුවා ඇති පොලීසියට, එතැනින් නීතිය ක්‍රියාත්මක කරන පිහිටුවා ඇති උසාවියට, එතැනින් දඬුවම් ක්‍රියාත්මක කරන්නට ඇති බන්ධනාගාරයට ඉඩ දීම මිස කළ යුත්තේ කල්ලියක් විසින් යුක්තිය ඉෂ්ට කරන්නට යෑම නොවෙයි.

      ඉස්සර දවසක යථාර්ථවාදියා දාලා තිබිච්ච ප්‍රබන්ධයක් ද කෝපය නිසා මිනීමැරම සාධාරණය කරන්න යෑමක්. බොහෝ දෙනා තමන් ද තමන්ගේ ගෑණි වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කොත් මරාගෙන මැරෙයි කියා තිබුණ. එය නීතිය ඉදිරියේ දඬුවම් ලැබෙන අපරාධයක්. තමන් හා විවාහක වූ භාර්යාව/පුරුෂයා වූ පමණින් ඒ අය තමන්ට අයිති නැහැ. තමන් හා පමණක් ඉන්නවා යැයි එකඟ වී විවාහ වන ඒ අය කාමයේ වරදවා හැසිරීම නරක වැඩක් තමයි. නමුත් ශිෂ්ඨාචාර ලෝකයක නීතිය තියෙන්නෙ එහෙනම් දික්කසාද වෙන්න කියලා මිසක් මරාගෙන මැරෙන්න කියලා නෙමෙයි.

      අයෙක් කරන නරක වැඩකින් තමන්ගෙ හිත රිදුන පළියට නීතියට අනුව තව කෙනෙකුට දඬුවම් කරන්න බැහැ. එකම නරක වැඩකින් එකම තරමට හැම කෙනාගේ ම හිත් රිදෙන්නෙ නැති නිසා!!! නරක වැඩ හා නීතිය කඩන අපරාධ අතර වෙනසක් තියෙනවා.

      මරුසිරා මිනීමැරුවේ ආත්ම ආරක්ෂාවට?!!! කටකතා වලින් මතයක් ඔප්පු කරන්න යනවාට වඩා ලංකාවේ අහිංසකයන් යැයි ඔප්පු වූ කී දෙනෙක් එල්ලුම් ගහ නිසා මරණයට ලක් වූවාදැයි දත්ත පෙන්වත හැකිනම් වඩා අගෙයි.

  14. vishvanatha said, on ජූලි 22, 2012 at 12:34 පෙ.ව.

    මම කථා කළේ නෛතික දෘෂ්ටි කෝනයෙන්.නීතියේ තියනවා මිනීමැරීම හා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කියලා දෙකක්.ඊට අමතරව ආත්මාරක්ෂාවට මිනීමැරීමට යම් සහනයක් තියනවා.අනියම් මිනීමැරුමට වරදකරු කර මරණ දඩුවමට වඩා අඩු දඩුවමක් දිය හැකිව තිබූ අය එල්ලුම් ගස් ගියා කියලයි කිව්වෙ.මේවා නීතියේ පිළිගත් සංකල්ප.ඒකයි කිව්වෙ සාධාරන නඩු විභාගයක් ලැබුණේ නෑ කියලා.මිනීමැරුම හා අනියම් මිනීමැරුම අතර වෙනසක් තියනවා.මම ආචාර විද්‍යාත්මකවවත් ආගමිකවවත් නොවෙයි කතාකරන්නෙ.එල්ලුම් ගස් ගිය අයගෙන් යම් ප්‍රතිශතයක් මේ වගෙ අය.අද වුනත් අහිංසකයො බොරු නඩුවලට පොලීසියෙන් මාට්ටු කරනවා.එල්ලුම්ගස් ගියාට පස්සෙ සැබෑ මිනීමරුවා හමුවෙන අවස්ථාවනුත් තියනවා.සුප්‍රසිද්ධ කෙලී සිද්ධිය වගෙ ඒවා.එවැනි විමර්ශනවත් ලංකාවෙ කෙරිලා නෑ.
    තමන්ට තරහා ආ පලියට මිනීමරන්න බෑ තමයි.එහෙත් නූගත් මොඩ මිනිස්සු නීතිය අතට ගන්න පෙලබෙන්නෙ මුල් අවස්ථාවෙදි ඒ අයට යුක්තිය ඉටු නොවන නිසයි.හම්බන්තොට හොද පපුවගෙ සිද්ධියෙදි හොද පපුවා බොරු වැරැද්දකට පොලීසියෙන් අල්ලගෙන හොදටම ගැහුවා.මෝඩ හොද පපුවා පොලීසියෙන් එලියට ආවෙ ආයෙත් මම එනවා කියාගෙනමයි.ඔහු තම හතුරන් කීප දෙනෙක්වම මැරුවා.එල්ලුම්ගස් ගියා.පොලිස් ප්‍රචන්ඩත්වය සහ බලපුලුවන්කාරයො නීතිය අතට ගැනීම මිනිස්සු දත්මිටිකාගෙන ඉවසන්න ඕන.ඒ අය නීතිය අතට ගත්තොත් එල්ලුම් ගහ.මේක තමයි එදා වුනේ.ඇබැයි අපට පුලුවන්නම් මූලික අවස්ථාවලදීත් යුක්තිය ඉෂ්ට කරන්න.එහෙමනම් හොද පපුවල වාගෙ අයට එල්ලුගස් යන්න වෙන්නෙ නෑ.ආතක කරන්න එපා ඔය කියන කාලෙ අදට වඩා සමාජය ප්‍රාථමික වැඩවසම් යුගයක්.අයුක්තිය ඉවසන්න බැරිව මිනීමරපු මෝඩයොත් අන්තිමට නතර වුනේ පෝරකයෙන්.මෙතන හොද පපුවා කියන්නෙ අන්තිමට එල්ලුම් ගස් ගිය චන්ද්‍රදාස නොවෙයි.ඩඩ්ලිගෙ කාලෙ එල්ලුම් ගස් ගිය කෙනෙක්.චන්ද්‍රදාසටත් හොද පපුවා කියල වරද්දගෙන තියනවා සමහරු.සමාජයට මේ අය අපරාධකාරයන්.නමුත් මේ ප්‍රශ්න සියුම්ව විමසිය යුතුයි.මුලින්ම සමාජයේ තියන මේ ප්‍රාථමික වැරදි නිවැරදි කර ගන්න ඕනෙ.නියපොත්තෙන් කඩන්නෙ නෑ පොරවෙන් කපන්න වෙනකම් ඉන්නවා
    ඇමරිකාවෙ කෙරෙන ගිනිඅවි ඝාතන බලන්න.වෙන කිසිම රටක මේ වගෙ සීරියල් මිනීමැරුම් නැහැනෙ.ගිනිඅවි සුලභ කර්ලා බැට්මෑන් සංස්කෘතියකුත් හදුන්වාදීල.තරුණයන්ගෙ ඔලු අවුල් කරලා.මුස්ලිම් රටවල මෙවැනි ප්‍රචන්ඩටහ්වයන් අඩුයි.ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියා කිරීම වෙනම දෙයක් .ඒක අපි හෙලා දකිනවා.ඒත් මම කියන්නෙ මුස්ලිම් වරු අතර අපරාධ අඩුයි.ස්ත්‍රී දූෂනත් අඩුයි.මොකද ඔවුන් කාමය ඇවිස්සෙන දේවල් මුලදිම වලක්වනවා.මම කිව්වෙ මුස්ලිම් සංස්කෘතිය හොදයි කියලා නොවෙයි.අපරාධත් සංස්කෘතික ප්‍රථිඵලයක් කියල කියන්නයි.ඇමරිකාවෙ අපරාධ වැඩි එකයි පිටිසර ගමක අපරාධ අඩු එකයි විග්‍රහ කරන්නයි.අපි අපරාධවලට හිතකර මේ පරිසරය ඉක්මනින්ම වෙනස් කළ යුතුයි.මේ සදහා විද්‍යාත්මක අධ්‍යනයන් කළ යුතුයි.

    • arunishapiro said, on ජූලි 22, 2012 at 8:51 පෙ.ව.

      vishvanatha,

      මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගෙන තියෙනවා, ඉතාමත් ඉතා සුළු කාලයක්. මම කැළණිය විශ්ව විද්‍යාලයේ දී දර්ශන විශේෂවේදීන්ට ‘ස්වභාවික නීතිය’ ඉගැන්වූවා, ඒකත් ඉතාමත් සුළු කාලයකට. ඒත් නීතිය ගැනත් ස්වභාවික නීතිය ගැනත් හරි හැටියට ඉගෙන ගත්තේ මෙහෙට ආවට පස්සෙ.

      නීතියේ කෝණ ගැන කතා කරන්න කළින් ‘ඒකීය පුද්ගලයන්’ කියන්නෙ කවුරුන් ද කියන එකත් ‘ඒකීය පුද්ගලයන් සතු අයිතීන්’ කියන එකෙත් අවුල් ලිහා ගෙන ඉන්න ඕනා.

      අර ලංකාදීප පත්තරේට ලියන ලිපි බ්ලොග් එකක දාන මිලින්ද මොරගොඩ සමඟ ලංකාවේ බහුතරයා කරන වැරැද්ද තමයි හැම දෙයක් ම ඇමෙරිකාව එක්ක සසඳන්න යෑම. ඒකීය පුද්ගලයන් හා ඒකීය පුද්ගල අයිතීන් යනු ඇමෙරිකාවට සීමා වූවක් නොව හැම මිනිසෙකු ගේ ම ආරක්ෂාවට, පැවැත්මට හා උන්නතියට අවශ්‍ය වූවක්. ඒක දෙන්නෙ ඇමෙරිකාව නෙමෙයි, තමන්ගෙ රටේ දේශපාලනඥයන් හෝ ඔටුනු පැළඳි රජු හෝ පදක්කම් දමාගත් ජෙනරාල් නෙමෙයි. ඒක දෙන්නෙ මිනිස්සු විසින් මිනිස්සුන්ට. ඒක අවශ්‍ය මිනිසා ජීවත්වන ඕනෑම දේශයකට.

      //ඇමරිකාවෙ කෙරෙන ගිනිඅවි ඝාතන බලන්න.වෙන කිසිම රටක මේ වගෙ සීරියල් මිනීමැරුම් නැහැනෙ.ගිනිඅවි සුලභ කර්ලා බැට්මෑන් සංස්කෘතියකුත් හදුන්වාදීල.තරුණයන්ගෙ ඔලු අවුල් කරලා.මුස්ලිම් රටවල මෙවැනි ප්‍රචන්ඩටහ්වයන් අඩුයි.ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියා කිරීම වෙනම දෙයක් .ඒක අපි හෙලා දකිනවා.ඒත් මම කියන්නෙ මුස්ලිම් වරු අතර අපරාධ අඩුයි.ස්ත්‍රී දූෂනත් අඩුයි.මොකද ඔවුන් කාමය ඇවිස්සෙන දේවල් මුලදිම වලක්වනවා.මම කිව්වෙ මුස්ලිම් සංස්කෘතිය හොදයි කියලා නොවෙයි.අපරාධත් සංස්කෘතික ප්‍රථිඵලයක් කියල කියන්නයි.ඇමරිකාවෙ අපරාධ වැඩි එකයි පිටිසර ගමක අපරාධ අඩු එකයි විග්‍රහ කරන්නයි.අපි අපරාධවලට හිතකර මේ පරිසරය ඉක්මනින්ම වෙනස් කළ යුතුයි.මේ සදහා විද්‍යාත්මක අධ්‍යනයන් කළ යුතුයි.//

      මේ ටික කියෙව්වම දෙයියො අදහන්නෙ නැති මටත් OMG කියලා කියවුනා!!!!

      ලෝක ප්‍රවෘත්ති තෝරලා බේරලා ඇමෙරිකාවේ තත්වය ගැන ප්‍රවෘත්ති තමන්ට ඕන විදියට ලියාගෙන සිංහලෙන් කියවන අය දන්නෙ මොනවා ද?!!!

      සෝමාලියාව නම් වූ ලෝකයේ අසමත් රාජ්‍ය්‍යේ, ලෝකයේ දුප්පත් ම රටේ, ලෝකයේ වඩාත්ම ප්‍රචණ්ඩත්වයක් ඇති රටේ, මුස්ලිම් ආගමේ ඉතිහාසය ආගම තරම් පැරණි යැයි දන්නෙ නැද්ද?!!!!

      අපරාධ කියන්නෙ සහමුලින් නවතා දැමිය හැකි වූවක් නොවන බවත්, මිනිස් ස්වභාවයට පටහැණි රටේ නීති නිසා වර්ධනය වෙන්නක් වූවත් බවත් දකින්න ඇස් තද කරලා පියාගෙන, ඒක එසේ නොව අපරාධ යනු ආගමික හෝ සංස්කෘතික ප්‍රතිඵලයක් කියන මුලාවේ වෙලිලා හිටියොත් තව කොච්චර කාලයක් ගියත් ඔය මතය ඔප්පු කරන්න හැකි වෙන්නෙත් නැහැ, අපරාධ වලින් ගැලවෙන්න හැකිවෙන්නෙත් නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: