අරුණි ශපීරෝ‍ වෙතින්

නීතියේ රීතිය -rule of law

Posted in Uncategorized by arunishapiro on ජූලි 21, 2012

පහුගිය දිනෙක ලංකාවට පැමිණි Gurcharan Das ලංකාවේ ව්‍යාපාරිකයන්ට උපදෙස් දෙන්නේ සාමය ලැබුනාට පසු ව්‍යාපාරික සාර්ථකත්වයට ඉතා වැදගත් වන්නේ නීතියේ රීතිය යැයි කියාය. ඉන්දියාව සමඟ ව්‍යාපාරික ගිවිසුම් ගහද්දී මතක තබාගත යුත්තක් තමයි ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය ඇති එහි ඇත්තේ ද ‘බාබු දේශපාලනයක්‘ මිස නීතියේ රීතියක් නොවන බව.

නව දිල්ලියේ අබ්දූල් වහීඩ් අසල්වැසියෙක් වන මොහමඩ් නාන්හෙට විරුද්ධව නඩුවක් ගොනු කරනවා පොම්ප දාලා එයාගෙ වත්තෙ වතුර තමන්ගෙ වත්තට හරවලා කියල. වෙච්ච පාඩු වලට වන්දි ඉල්ලලා. නඩුව අහන දිනය පැමිණෙන්නෙ 2000 දී ජූනි මාසයේ. නඩුව ගොනු කරලා තියෙන්නෙ වසර 39 කට පෙර. වහීඩ් මහත්තයායි නාන්හෙ මහත්තයයි දෙන්නම මිය ගිහින්. නඩුව උරුම වෙලා තියෙන්නෙ එයාලගෙ දරුවන්ට. 1999 දී කල්කටාවේ සිපිරි ගෙයකින් වයස 75 ක මනුස්සයෙක්ව නිදහස් කෙරෙනවා. මෙයා එච්චර කල් එහි ඉඳලා තියෙන්නෙ මිනීමැරුම් නඩුවකට වැරදිකරුදැයි විභාග වෙන්නට. එයාව නිදහස් වෙන්නෙ එයාට විරුද්ධව සාක්කි දෙන්න හිටපු ඔක්කොම මිය ගිහින් නිසා!!!! naked economics (2002) ලියන Charles Wheelan එහි 56 පිටුවේ පෙන්වා දෙන්නේ අළුතින් නඩු ගොනු කළේ නැත්නම් ඉන්දියාවේ තියන නඩු අහලා ඉවර කරන්න වසර 324 ක් යන බව එක් ගණනයකට අනුව පෙනෙන බවයි.

ස්ව උත්සාහයට තැන අහිමි කරලා ආර්ථිකය දුර්වලයි කියල දොම්නසින් ඉන්න රටවල් ලොව කොච්චරක් ද? බාබුලා රත්තරන් හොයා ගත්තට රටේ ‘නීතියේ රීතිය’ හදාගන්න කම් අනිත් කොයි රටක් එක්ක ගිවිසුම් ගැහැව්වත් රටකට රත්තරන් හොයන්න බැහැ.

රජයකට නීතියක් ගෙනැවිත් මිනිස් ස්වභාවය වෙනස් කරන්න බැහැ. රජයකට නීතියක් ගෙනැවිත් ලෝක ස්වභාවය වෙනස් කරන්නත් බැහැ. ලෝකයේ මිනිසාටත් ස්වභාව ධර්මයාටත් යහපතක් වෙන්නේ යම් නීතියක් ස්වභාවික නීතියක් (natural law) අනුව පදනම් වෙනවා නම් පමණයි.

නීතියේ රීතිය නොහොත් rule of law නම් කුමක් ද?

කිසිවෙක් නීතියට ඉහළින් නැහැ.

ඔබ නීතියට ඉහළින් කටයුතු නොකරන්නට සූදානම් ද? අඩුම ගානේ දඩයක් නොවැදෙන විදියට පාරේ යන්න සූදානම් ද?

නීතිය, අයිතිය මත පදනම් වූවක්. අයිතියක් කියා දෙයක් නැත්නම් නීතියක් ද අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙකුට ඇවිත් තමන් හදපු පුටුව හොරකම් කරගෙන යන්න ඉඩක් ඇත්නම්, තමන් වවපු මිරිස් කරල් කඩාගෙන යන්න ඉඩක් ඇත්නම්, භාර්යාව හෝ සැමියාව එහෙමත් නැත්නම් දරුවන්ව උස්සා ගෙන යන්න ඉඩක් ඇත්නම් මොන නීතියක් දැම්මත් ඒ නීතිය රැකෙන්නෙ නැහැ.

එහෙම වෙද්දි මිනිසාගේ උන්නතියක් නැතැයි දැක්ක අය තමයි ඒකීය පුද්ගලයාගේ අයිතීන් මොනවා ද යන්න සලකා බලන්නට ඉදිරිපත් වෙන්නෙ. ඒ ගැන විපරම් කරන්න මනස වෙහෙසූ අයට ප්‍රත්‍යක්ෂ වූයේ මිනිසාගේ අයිතීන් නම් වෙන කෙනෙක් දෙන ඒවා නොවන බව. අපි උපන් නිසා ඒවා මනුෂ්‍යත්වයේ නාමයෙන් අප විසින් අපට ම දීපු ඒවා බව. අයිතියක් යනු අපේ මනුෂ්‍යත්වයේ ස්වභාවික වූ හැදියාවක්. අපිට අපේ සිරුර අයිතියි. ඒ නිසා එයින් ලැබෙන ඵලයන් ද අයිතියි.

සමාජයේ වාසය කරන අපි කැමති අකමැති වූ හැම අයෙකුගේ ම අයිතිය එකම ලෙසින් රකින්න අපි සූදානම් නම් පමණයි ඒ සමාජයේ නීතියේ රීතිය (rule of law) ද රැකෙන්නේ. තමන්ගෙ ආරක්ෂාව, උන්නතිය හා පැවැත්ම වෙනුවෙන් තමයි අනුන්ගේ අයිතියක් ද කඩාකප්පල් නොකරන්නෙ. තවත් විදියකින් කිව්වොත් පොලීසියක්, හමුදාවක්, උසාවියක්, අලුගෝසුවෙක් නැති වුවත් අපි ඉන්නා සමාජයේ සෑම පුද්ගලයාගේ ම අයිතීන් රකින්න අපි ඉදිරිපත් වීම අවශ්‍යයයි.

ජීවිතයට අයිතිය, අපේ පෞරුෂ වර්ධනයට අයිතිය, අපි කැමති විදියට හිතන්න අයිතිය, අපි හිතන දෙයක් කියන්න ඇති අයිතිය, ඒ කියන දෙයක් මුද්‍රණයට හා බෙදා ගැනීමට ඇති අයිතිය, කැමැති ඇදහිල්ලකට වන්දනා මාන කිරීමට හෝ ඇදහිල්ලක් නැතිව සිටීමේ අයිතිය, ගමනාගමනයට අයිතිය, තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය, අපේ පුද්ගලික දේපල අපි කැමති ආකාරයෙන් පරිහරණයට ඇති අයිතිය, ආණ්ඩුවෙන් බලපෑමක් නැතිව අපේ පාඩුවේ සිටීමට ඇති අයිතිය (හිඟන්නෙක් වීමට ඇති අයිතිය) යනාදී සියල්ල ම අපි ලබා උපදින ස්වභාවික අයිතීන්. ඒ අයිතීන් ආරක්ෂා වෙන නීති තුලින් තමයි නීතියේ රීතිය (rule of law) හි පැවැත්ම ද ආරක්ෂා වෙන්නෙ. ඒ අයිතීන් කල්ලියකට පමණක් සීමා කරද්දී රජ වෙන්නේ අධර්මයයි.

කිසියම් ආණ්ඩුවක් හෝ ඔටුනු පැළඳි රජෙක් හෝ මිලිටරි ඇඳුමක් ඇඟ ලා ගත් නායකයෙක් හෝ ඉහත ස්වභාවික අයිතීන් වලට පටහැනිව නීතියක් පැන වූ ඉතිහාසයේ සෑම අවස්ථාවක ම එයින් ඒ සමාජයට, ඒ ආර්ථිකයට, සහ ඒ වැසියන්ගේ අධ්‍යාත්මිකයට හානියක් සිද්ධ වෙලා තියෙන්නේ නීතියේ රීතිය නැතිවී ගිය නිසා.

තම පැත්තට ආවඩන අයට පමණක්, ස්වභාවයට පටහැණි වූ නීති වලින්, විශේෂ වරප්‍රසාද හා අයිතීන් ප්‍රදානය කරන කිසියම් ආණ්ඩුවක් හෝ ඔටුනු පැළඳි රජෙක් හෝ මිලිටරි ඇඳුමක් ඇඟ ලා ගත් නායකයෙක් නිසා කාලයක් යද්දී ඒ සමාජයේ නීතියේ රීතිය කුමක් දැයි නොදැන හැමෝම අවුලක.

ඒ අවුලෙන් සමාජයේ නැති වී යන නීතියේ රීතිය ආරක්ෂා කරන්නට දැඩි දඬුවම් උවමනා යැයි සිතති.

දඬුවම් ගෙනෙන්නට හා ක්‍රියාවට නඟන්න අවශ්‍ය නීතිය නම් ශක්තිමත් අයෙක් තීරණය කරන නීතියක් යැයි සිතති. එසේ සිතන මුලා වූවන් දැඩි දඬුවම් ඇති නීතිය රකින්නට ආඥාදායකයෙක් ඇත්නම් හොඳ යැයි සිතති.

නමුත් ඒ නීතිය තීරණය කරන, නීතිය රකින, ශක්තිමතා ද මිනිස් ස්වභාවය ඇත්තෙක් නිසා, එයාට ද පාලන බලයේ සිටිය හැකි වන්නේ පැත්තක් මුලාකර ඔවුන්ට විශේෂ වරප්‍රසාද හා අයිතීන් ප්‍රදානය වෙතින් බලයට පත් වී සිටීමෙන් පමණක් නිසා, එය ද තාවකාලික වූ බංකොළොත් උත්සාහයකි.

ඔය අතරේ දී දැඩි දඬුවම් වලට සත්‍ය වරදකරුවන් අතලොස්සක් හා අහිංසකයන් මහත් රාශියක් බිල්ල වෙති.

මිනිසාගේ නිදහස් අයිතීන් යම් පාලකයෙක් හෝ පාලනයක් විසින් දෙන ඒවා නෙමෙයි. යම් පාලනයක් විසින් ඒවායේ බර පැණ දරනවා ද නෙමෙයි. එසේම කිසිම පාලනයකට නොදුන් දෙයක් උදුරා ගැනීමට ද නොහැකි ය. එහෙම බංකොළොත් වෑයම් ඉතිහාසය පුරා දකින්නට තිබුණාට!!! යම් පාලනයක් විසින් නොදුන් දේවල් උදුරා අහිමි කරන්නට ගියොත් වෙන්නේ ද අවුල අර්බූදයක් වීමයි.

මිනිසාගේ නිදහස් අයිතීන් නැතිවෙන්නෙ එකම එක අවස්ථාවක දී පමණයි. ඒ අයෙක් තවත් අයෙකුගේ නිදහස් අයිතීන් කඩ කළාම පමණයි. අයිතීන් කඩ කරන අයට නැතිවිය යුතු නිදහස කුමක්දැයි කතා කරන්න කළින්, ඒකීය පුද්ගල අයිතීන් ඇතැයි පිළිගන්න කැමැති ද කියන එක තමන් විසින් තමන් ගෙන් ම විමසන්න ඕනෑ.

ඇමෙරිකාවට බැන වදින්නට පෙළ ගැහෙන බහුතරයා නොදකින්නේ, ඇමෙරිකාව උපන් දා ස්ථාපිත වූ නීතියේ රීතිය ආරක්ෂා කරන මෙහෙය ඇමෙරිකන් ජනතාවෙන් කොටසක් විසින් කිසිදා අත්නොහැරිය බවයි. ඔබගේ අයිතීන් දිනා දෙන්නම් යැයි කියා අනිකා පාලන බලය අල්ලා ගන්නට නිති විප්ලව කරන ලෝකයක, ඇමෙරිකානුවන් පිරිසක් එදත් අදත් සටන් වදින්නේ සියළු දෙනාගේ ම ඒකීය පුද්ගල අයිතීන් එක ලෙසින් රකින්නට ය.

ඉතිහාසය මකා දමා තම කැමැත්ත පරිදි යළි ලියූ ලෝකයක් මැද ඉතිහාසයේ වැරදි තුලින් නොබියව පාඩම් ඉගෙන ගත් අය වෙතින් ඔබ ප්‍රබෝධමත් වෙනවා ද?

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. Mourya Raj said, on ජූලි 21, 2012 at 10:00 පෙ.ව.

    අධිකරණ ක්‍රියාවලියේ තත්වය ඉන්දියාවෙයි ලංකාවෙයි වෙනසක් නෑ මං හිතන්නෙ. අහල ඇතිනෙ දෙමළ කියමනක් තියනව “ඉඩම් නඩු දිනන මිනිහා අඟුරුය පරදින මිනිහා අළුය” කියල. පහුගිය කාලෙක යෝජනාවක් ආව කඩිනමින් නඩු අහල “නඩු පෝලිම” අඩු කරන්න. ඒත් උසාවියකට උඩින් කපුටෙක් ඉගිලිලා ගියොත් උද්ඝෝෂණය කරන ගරුකටයුතු නීතීඥ මහත්වරු ඒකට විරුද්ධවුනා. 🙂

    “සියළු දෙනාගේ ම ඒකීය පුද්ගල අයිතීන් එක ලෙසින් රකින්නට” සටන් කරන උදවිය තමයි මෙහේ නැත්තේ!
    -රාජ්

    • arunishapiro said, on ජූලි 21, 2012 at 1:24 ප.ව.

      රාජ්,

      අනුන්ගෙ අයිතීන් ආරක්ෂා කරනවා කියල තමන්ගෙ වරප්‍රසාද විතරක් ආරක්ෂා කරගන්න තවත් ‘බුර්ජුවාසියක්’ තමයි ඒ. හැමෝටම එක නීතියක් නැති නිසා ම තමයි මිනිස්සු නීතිය තමන්ගෙ අතට ගන්නෙ, එතකොට වෙන්නෙ සිරිබර සිරි ලංකාවක් වෙනුවට රට සෝමාලියාවක් වෙන එක. ඊට පස්සෙ හැබැයි බනින්නෙ නම් ‘වෙන මොකක් හරි හේතුවක’ වැරැද්දක් කියලා … සමාජය නෙමෙයි, සමාජයේ ඉන්න වැරදි කරන්නෙ කවුරු කවුරු ද කියන එක නොදකින්න ඇස් පියාගෙන.

      ගඩාෆි ඉවත් කරපු ලිබියාවට ඇහැකි නම්, කාලයක් තිස්සෙ ප්‍රජාතන්ත්‍රවාදය තිබිච්ච රටක //“සියළු දෙනාගේ ම ඒකීය පුද්ගල අයිතීන් එක ලෙසින් රකින්නට” සටන් කරන උදවිය තමයි මෙහේ නැත්තේ!// කියන එක සිංහලයා තවත් කම්මැලිකමින් ඉන්න සමාවට කාරණයක් ඉදිරිපත් කරනවා පමණයි 😀

  2. දූපත් වැසියා said, on ජූලි 21, 2012 at 10:25 පෙ.ව.

    ඉරාකයට යුධමය වශයෙන් පහර දීම හරිද??

    (මේ බ්ලොග් එකේ සමහර වෙලාවට කමෙන්ට් කරන්න බැරි අව්ලක් එනව)

    • arunishapiro said, on ජූලි 21, 2012 at 1:25 ප.ව.

      දූපත් වැසියා,

      යුද්ධයක් හා අපරාධයක් අතර වෙනස සිංහලෙන් කියවන්න පුලුවන් බොහොම දෙනෙකුට අවුල් තමයි!!!!

      //(මේ බ්ලොග් එකේ සමහර වෙලාවට කමෙන්ට් කරන්න බැරි අව්ලක් එනව)// 😀

  3. Chandani Mendis said, on ජූලි 21, 2012 at 11:15 පෙ.ව.

    //අපි ඉන්නා සමාජයේ සෑම පුද්ගලයාගේ ම අයිතීන් රකින්න අපි ඉදිරිපත් වීම අවශ්‍යයයි.

    ජීවිතයට අයිතිය, අපේ පෞරුෂ වර්ධනයට අයිතිය, අපි කැමති විදියට හිතන්න අයිතිය, අපි හිතන දෙයක් කියන්න ඇති අයිතිය, ඒ කියන දෙයක් මුද්‍රණයට හා බෙදා ගැනීමට ඇති අයිතිය, කැමැති ඇදහිල්ලකට වන්දනා මාන කිරීමට හෝ ඇදහිල්ලක් නැතිව සිටීමේ අයිතිය, ගමනාගමනයට අයිතිය, තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය, අපේ පුද්ගලික දේපල අපි කැමති ආකාරයෙන් පරිහරණයට ඇති අයිතිය, ආණ්ඩුවෙන් බලපෑමක් නැතිව අපේ පාඩුවේ සිටීමට ඇති අයිතිය (හිඟන්නෙක් වීමට ඇති අයිතිය) යනාදී සියල්ල ම අපි ලබා උපදින ස්වභාවික අයිතීන්. ඒ අයිතීන් ආරක්ෂා වෙන නීති තුලින් තමයි නීතියේ රීතිය (රුලෙ ඔෆ් ලව්) හි පැවැත්ම ද ආරක්ෂා වෙන්නෙ. ඒ අයිතීන් කල්ලියකට පමණක් සීමා කරද්දී රජ වෙන්නේ අධර්මයයි.// ………………………

    මෙන්න මේ වචන ටික හරියට වටිනවා අරුණි නංගි. මේ දේ මෙහෙම ආරක්ෂා උන දාට අපේ රටෙත් නිදහස කියන දේ පූර්ණව බුක්ති විදීවි. ඔය කොච්චර කිව්වත් අදටත් මැලේශියාවෙ සමහර කඩ මැලේ ජාතිකයින්ට පමණයි. සමහර රැකියාවන් ඒ අයටම පමණයි. ඇමෙරිකාව වගේ වෙන්ඩ කාලයක් යාවි අපිට. ප්‍රධානම හේතුව රට ගැන තියෙන ආදරය නැති කම. හැම වෙලාවෙම රට හෙලා දැකල කතා කරන අයම තමයි වැඩියෙන් ඉන්නෙ. රටේ හොඳක් දකින පිරිස හරිම අඩුයි. කොයි ආණ්ඩුව ආවත් දකින්නෙ වැරද්දක්. සියළුම දෙනා එක හා සමානව තම පුද්ගල අයිතීන් උදෙසාම සටන් කරනවානම් කොච්චර හොඳද? තමන්ගෙ බඩ වඩා ගන්නෙ නැතිව.

    • arunishapiro said, on ජූලි 21, 2012 at 1:29 ප.ව.

      චාන්දි අක්කා,

      මනුෂ්‍යත්වයේ පැවැත්ම වෙනුවෙන් යා යුතු එකම නිවැරදි මඟ එය යැයි දකින්නට කවදා හරි පටන් ගනිවී. එහෙම හිතන්න නොහැකි වූ ග්‍රීක හා රෝම වගේ අධිරාජ්‍යයන් නැති වී ගියානේ.

  4. kathandarakaraya said, on ජූලි 21, 2012 at 11:35 පෙ.ව.

    ලංකාවේත් අහිංසකයෙක් 1956 සිට හිරේ සිට මේ ලඟදී නිදහස් කෙරුණා්
    නිමල රූබන් ලා හිරේ ඉඳලා තියෙන්නේ අවූරුදු ගාණක්ම චෝදනා නැතුව නේද?
    ලෝයර්ස්ලා තමයි මේ ලෝකේ ජරාම ජාතිය. අධිකරණ ඇමතිලාත් ලෝයර්ස්ල්ලාම නේ.

    • arunishapiro said, on ජූලි 21, 2012 at 1:30 ප.ව.

      kathandarakaraya,

      //ලෝයර්ස්ලා තමයි මේ ලෝකේ ජරාම ජාතිය. අධිකරණ ඇමතිලාත් ලෝයර්ස්ල්ලාම නේ.// අපරාධකාරයන් නැත්නම් ලෝයර්ස්ලා මොකට ද? ජරාම ජාතිය නීතියේ රීතිය කඩන අපරාධකරුවන්.

  5. Gold fish said, on ජූලි 21, 2012 at 12:39 ප.ව.

    අක්කා හිතන්නේ ලංකාවේ කීදෙනෙක් නඩු තීන්දු එනකං කූඩුවට වෙලා ඉන්නවා කියලද… මම හිතන්නේ අනිත් රටවලට වැඩිය ප්‍රතිශතය ගොඩක් ඉහලයි…. හේතුව දුප්පත් මිනිස්සුන්ට​ හොඳ නීතීඥයෙක් අල්ලන්න බැරිකම….

    • arunishapiro said, on ජූලි 21, 2012 at 1:45 ප.ව.

      Gold fish,

      හරියට ම දත්ත හෙව්වෙ නැහැ. ඇමෙරිකාවේ නම් කූඩුවල ඉන්නෙ අපරාධකරුවන් යැයි තීන්දු වෙච්ච අය, ලෝකයේ වැඩියෙන් ම සිරකරුවන් සිටින රට, කළු අයගේ පිරිමි තමයි වැඩියෙන් ම සිරගත, වැඩියෙන් ම මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න ජීවිත කැප කරපු අය විසින් වැඩියෙන් ම මුලා කර ඇත්තේ ද කළු හම ඇති අයව.

      මෙහෙ නම් නඩුවකට අහුවුන දුප්පත් මිනිහෙක්ව ගලවා ගැනීමෙන් සමාජයේ මහත් කීර්තියක් ලැබිලා වැඩි ආදායම් උපයන ලෝයර් කෙනෙක් වෙන්න පුලුවන් නිසා ලොකු කොම්පැණියකට හෝ ලොකු ධනවතෙකුට එරෙහි දුප්පතෙකුට ලැබෙන නීතිඥයෙක් සෑහෙන්න වෑයමක් දෙනවා නඩුව දිනන්න. පෝල් නිව්මන් රඟපාන The Verdict (1982) මෙහෙ සෑහෙන්න ප්‍රසිද්ධ චිත්‍රපටියක්. අද මෙහෙ දුප්පත් අයෙකුට නීතිඥ සහය ලබාගත හැකි මාර්ග බොහොමයි. ඒත් කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නැති අය ඕන තරම්. තමන්ගෙ වැරදි වලට සමාජයට බනින එක මෙහෙත් වැරදි කරන අයගේ ද හැදියාවක්.

  6. Sudath said, on ජූලි 22, 2012 at 5:44 පෙ.ව.

    “මිනිසාගේ නිදහස් අයිතීන් නැතිවෙන්නෙ එකම එක අවස්ථාවක දී පමණයි. ඒ අයෙක් තවත් අයෙකුගේ නිදහස් අයිතීන් කඩ කළාම පමණයි.”
    තව කෙනකුගේ අයිතීන් කඩ කිරීමේ අයිතිය අපට දියව්!!!

    • arunishapiro said, on ජූලි 22, 2012 at 8:56 පෙ.ව.

      Sudath,

      //තව කෙනකුගේ අයිතීන් කඩ කිරීමේ අයිතිය අපට දියව්!!!//

      තවමත් ලෝකයේ විප්ලව වෙන්නෙ ඔය අයිතිය ඉල්ලන්න තමයි, ඒත් ඒක ඉල්ලන බහුතරය ඒ බව දැනගෙන ද නොදැන ද කියන එක තමයි හරියට පැහැදිලි නැත්තෙ.

  7. mppgunasinghe said, on පෙබරවාරි 16, 2015 at 2:19 පෙ.ව.

    මේ ලිපිය ඇස ගැටුනේ දැනුයි. තව කෙනෙකුගේ අයිතිය කඩ කිරීමේ බලය අපට දියව් කිව්ව නම් තවත් වටිනවා. නේද කියා මට සිතුනා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: