අරුණි ශපීරෝ‍ වෙතින්

පීච් මිසක් ඉම්පීච් නෙමෙයි

Posted in Uncategorized by arunishapiro on ජූලි 23, 2012

පීච් කියන්නෙ පළතුරක්, චීන සම්භවයක් තියෙන Prunus persica ගහෙන් ලැබෙන්නක්. ලංකාවේ එකමත් එක කාලයක පාලකයෙක් යවාගන්න ද්යෝෂාභියෝගයක් (ස්තූතියි කවුළුවට) ගෙනෙන්නට ගිය කට්ටියකට වැඩේ වැරදුනා ම නැහැ නැහැ අපි කතා කළේ ඉම්පීච් ගැන නෙමෙයි මේ පීච් ගැනයි කියලා ඇඟ බේරා ගත්තාලු.

මේ පැත්තෙ අලෙවිය සඳහා 1867 සිට පීච් වවන පළතුරු වත්තකින් තමන්ට ගිහින් කැමති තරමට ගෙඩි කඩා ගෙන මිලට ගන්න පුලුවන්. පීච් වත්තෙ ගේට්ටුවක්, වැටක් එහෙම නැහැ. මිනිස්සු පෝලිමේ ඇවිත් කියලා තියෙන විදියට වත්තේ ඒ පැත්තෙන් විතරක් තමන් කැමති ප්‍රමාණයක් පීච් ගෙඩි කඩා ගෙන, රාත්තලක් ඩොලර් 1.15 කට කියලා තියෙන නිසා, එතැන පොඩි කුටියට ගිහින් තරාදිය උඩ තියලා කිරලා බරට අනුව මුදල් ගෙවලා ඉදුණු පීච් ගෙදර ගෙනියනවා.

ඒ කුටියෙ දී ක්‍රෙඩිට් කාඩ්/ බැංකු කාඩ් එකකින් ද මුදල් ගෙවීමේ පහසුකම තියෙනවා.

ඒ සමඟින් පීච් කොබ්ලර් හදන්න රෙසිපි වගයකුත් තිබ්බා.

කොහොම ද පුද්ගලික අයිතියට ගරු නොකරන අය සිටින සමාජයක මෙහෙම ඉදුණු පළතුරු වලින් අතු එල්ලෙන වැටක් කම්බියක් ගහලා නැති වත්තක් දකින්න තිබ්බොත්!!!!

Advertisements

45 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on ජූලි 23, 2012 at 5:58 පෙ.ව.

    දැන් ඔතනට යන්න කලින් වෙඩි තියලා පුරුදු වෙලා පිස්තෝලේ ඉනේ ගහන් යන්න ඕනැද?

    එකම ඇඳුම නිසා අර රේන්ජ් එකේ ඉඳලා කෙලින්ම ගියාය කියලා නිගමනය කරලායි මේ ප්‍රශ්නය අහන්නේ!

  2. lakmal said, on ජූලි 23, 2012 at 6:00 පෙ.ව.

    අවංකව හිතනවානම් අවංකව වැඩෙත් කරනවානම් පුද්ගලිකත්වය ගැනත් හිතන මිනිස්සු ඉන්නවනම් ලෝකේ කොතන සුන්දර නොවන්නේ????????

  3. Amarasinghe Sujatha said, on ජූලි 23, 2012 at 6:01 පෙ.ව.

    ජපානෙත් පලතුරු ඔය විදියට අපි හිටපු පලාතේ නිදහසේ වැවෙමින් තියෙද්දි මමත් ඔය විදියට හිතෙං ප්‍රශ්න කලා

    • arunishapiro said, on ජූලි 23, 2012 at 6:07 පෙ.ව.

      සුජාතා නංගි,

      අපිට තමයි එහෙම හිතෙන්නෙ, මේ පැත්තෙ අයට එහෙම හිතෙන්නෙවත් නැහැනේ … මොකද එයාලාගෙ හැදියාව පුද්ගලික දේපල අයිතියට ගරු කිරීම. රටට ආව මුල් කාලයේ දී කම්බි වැටවල් නැති විශාල වගා වතු දැක්කම මම අහද්දි සුදු අප්පුහාමිගෙන් ඇයි මිනිස්සු මේවා කඩාගෙන ගෙදර අරන් යැයි කියලා බයක් නැද්ද කියලා එයා මොහොතක් මං දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටිය. ඊට පස්සෙ කිව්වා ගොඩක් අය ළඟ ඩබල් බැරල් එකක් තියන බව අනිත් අයත් දන්නවා කියලා!!!!

      • Sudath said, on ජූලි 23, 2012 at 6:59 පෙ.ව.

        එතකොට ඒක පුද්ගලික අයිතියට ගරු කිරීමක් නෙවෙයිද? ඩබල් බැරල් එකට බයවීමක් විතරක්ද?
        වෙනත් රටවල කම්බි නොගැසූ පළතුරු වතු නැද්ද?
        වැල සහ වරකා යනු පළතුරු නෙවෙයිද?
        නොදන්නා කමට මිසක් නරක චේතනාවකින් නෙවෙයි මේ ඇහුවෙ.

        • arunishapiro said, on ජූලි 23, 2012 at 7:04 පෙ.ව.

          Sudath,

          පුද්ගලික අයිතියට ගරු කරන්නේ පුද්ගලික අයිතිය දන්නා අයයි. රට හැදෙන්නෙ සංක්‍රමණිකයන් වෙතින්. පටන් ගත් දා සිට. පුද්ගලික අයිතිය කියා දෙයක් ලෝකයේ නොතිබි සමයක. අද කාලයේ ද එය දන්නා අය ලෝකයේ ඉතා අඩුයි. අදත් මෙහෙ එන සංක්‍රමණිකයන් වැඩියි. අල්ලපු වත්තෙ රඹුටන් වලට වැඩේ දෙන අය ඉන්න ලංකාවෙන් ආපු මම වගේ. අන්න ඒ අය ඇවිත් පුද්ගලික දේපල උදුරා ගෙන යෑමෙන් ආරක්ෂා වෙන්නයි ඩබල් බැරල් ඕනා!!!!

          මේ දවස්වල ඇමෙරිකාවේ ජනාධිපති ද පුද්ගලික අයිතිය කුමක් දැයි නොදන්නා කමින් සෑහෙන්න අනාගෙන ඉන්නෙ!!!!

          ඇයි සුජාතා නංගි දාලා තියෙන්නෙ ජපානයේ ද පළතුරු නිදහසේ වැවෙනවා කියලා. ඒක කියෙව්වෙ නැතිව ද අහන්නෙ වෙන රටවල කම්බි නොගැසූ පළතුරු වතු නැද්ද කියලා!!!

          වැල සහ වරකා යනු පළතුරු සහ සමහර අවස්ථාවන් හි දී එළවලු ද වෙනවා යැයි ඔබ සත්‍ය්‍යන් ම නොදන්නවා ද?!!!!

  4. Soda Gune said, on ජූලි 23, 2012 at 6:09 පෙ.ව.

    මම නම් ඊයෙත් අල්ලපු වත්තේ රඹුටන් ගහට වැඩේ දුන්න….. 😀

  5. දූපත් වැසියා said, on ජූලි 23, 2012 at 6:41 පෙ.ව.

    කොහොම ද පුද්ගලික අයිතියට ගරු නොකරන අය සිටින සමාජයක මෙහෙම ඉදුණු පළතුරු වලින් අතු එල්ලෙන වැටක් කම්බියක් ගහලා නැති වත්තක් දකින්න තිබ්බොත්// රට තුල පමණක් නොව, අනිත් රටවලත් අයිතීන් උදුරා ගන්නේ නැතුව හිටියොත් ඇමරිකාව කොච්චර හොදද..

    (සමහර වෙලාවට මොකක්දෝ අව්ලක් යනව. කමෙන්ට් පොස්ට් කරන්න බෑ…wordpress හින්ද වෙන්න ඇති)

    • arunishapiro said, on ජූලි 23, 2012 at 6:52 පෙ.ව.

      දූපත් වැසියා,

      මේක

      //(සමහර වෙලාවට මොකක්දෝ අව්ලක් යනව. කමෙන්ට් පොස්ට් කරන්න බෑ…wordpress හින්ද වෙන්න ඇති)//

      සමහර විට

      //අනිත් රටවලත් අයිතීන් උදුරා ගන්නේ නැතුව හිටියොත් ඇමරිකාව කොච්චර හොදද..//

      මෙහෙම දේවල් ලියන නිසා වෙන්නැති 😀

      ඔහොම අවලාද ලියන අය ගොඩක් ඉන්නවා. තාම ඒ එක්කෙනෙකුට වත් ඇමෙරිකාව අනිත් රටවල අයිතීන් උදුරා ගත්ත හැටි පැහැදිලි කරන්න බැරිවුනා. උත්සාහයක් ගන්න, නිකම් එහෙමයි මෙහෙමයි කියන්නෙ නැතිව පැහැදිලි කරලා, මූලාශ්‍ර ඇතුව හරියටම පෙන්වන්න බලන්න, එහෙම ලිව්වොත් අවුලක් නැතිව ප්‍රතිචාර පළවේවි.

      • චතුර විජේකෝන් said, on ජූලි 23, 2012 at 8:33 පෙ.ව.

        ඕකෙ මොනවැයි අක්කෙ පැහැදිලි කොරන්නෙ.. හික් හික් හික්.. ඉරාකය, ලිබියාව.. තව ඕනද?

        ඒ එපා අපේ ඉල්ලංකාව.. අපේ කොතල හිඹුටු ටිකට පේටන්ට් එක අරගත්තෙත් ඔය ඇමරිකාවයි කියන්නේ..

        අහ්.. අමතක වුනා..

        අක්කා අතේ අර වෙඩි තියන විජ්ජෙට්ටුවද මොකද්ද මෙවුවා එක නෑ නේද?

        • arunishapiro said, on ජූලි 23, 2012 at 10:56 පෙ.ව.

          චතුර විජේකෝන්,

          2001 සැප්තැම්බර් 11 දා ඇල් කයිඩා ත්‍රස්තවාදී සතුරු ප්‍රහාර දෙකෙන් මිය ගියා ඇමෙරිකන් පුරවැසියන් තුන්දාහකට අධික සංඛ්‍යාවක්. රටක වැසියන්ගේ ජීවිත විනාශ කරන ත්‍රස්තවාදී ප්‍රහාරයක දී එය ආවේ කොහෙන් දැයි ඊට මූලික වූයේ කවුරුන් දැයි සොයා බලා ඔවුනට දඬුවම් දීම තමයි රජයක මූලික කාර්ය භාරය. එය කොලරාඩෝවේ සිනමා හලකට වැදී සිනමා ලෝලයන් මරණ අයෙකුටත්, රටකට පිටතින් පැමිණ රටේ වැසියන් මරණ අයටත් එක සේ ලැබෙන දඬුවමක්. මුල් එක රටේ නීතිය රැකීම. දෙවැන්න සතුරු ප්‍රහාර එල්ල කරපු අය සමඟ යුද්ධයකට යෑම.

          ඇමෙරිකාවේ කොංග්‍රසය තමයි යුද්ධය අනුමත කරන්නෙ. ජනාධිපති තමයි මෙහෙයවන්නෙ. රාජ්‍ය (ස්තූතියි රවී!) ලේකම් තමයි ජනාධිපතිට තොරතුරු සොයා දී සහාය වෙන්නෙ. ඇමෙරිකන් ජනාධිපතිවරයෙකුට ඇති බලය නියෝජිත (house) හා සෙනෙට් (senate) යන දෙකේ බෙදිලා තියෙන්නෙ. දෙකේම නියෝජිතයන් වැඩියෙන් යම් පක්ෂයකින් ද, ඒ ආණ්ඩුවට බලය වැඩියි. බුෂ් ජනාධිපති වෙද්දී සෙනෙට් සභාව 50/50 බෙදිලා ඉන්නෙ. එතකොට උප ජනාධිපතිට තමයි යමක් තීරණයට ව්‍යවස්ථාවක චන්දය දෙන්නෙ tie break කරන්න. ඒත් එක් අයෙක් මාරු වෙලා ඒ බලය බුෂ් ආණ්ඩුවට නැති වුනා.

          තම රටේ ජනතාව අමානුෂික ලෙස මරා දාන ත්‍රස්තවාදී ප්‍රහාරයක දී දකින්න පුළුවන් මිනිස් ස්වභාවය ඇමෙරිකානවුන් වෙතින් දකින්න ලැබෙන්නේ ඉතා යාන්තමින් ජනාධිපතිවරණය ජයගත් බුෂ්ට 2003 සහ 2005 දී නියෝජිත සහ සෙනෙට් යන සභා දෙක්ම බලය ජනතාව පවරන නිසයි.

          රටට සතුරු ප්‍රහාරයක් එල්ල වුනාම සතුරාට පහර නොදී නැවත නැවතත් ඇවිත් විනාශ කරන තෙක් බලා ඉන්නේ මොන මිනිස් ස්වභාවය නිසා ද?

          තමන් ආරක්ෂා කරන බලය දෙන්නෙ ජනාධිපති බුෂ්ට. එවක රටේ රාජ්‍ය ලේකම් (විදේශ ඇමති) තමයි කොලින් පවෙල්. ඔහුගේ කාර්ය තමයි හතුරා සෙවීම, එක්සත් ජාතීන් වෙතින් ඊට අවසරය ලබා ගැනීම, NATO වෙතින් ඊට අවසරය ගැනීම යනාදිය. Nato රටකට කරන ඕනෑම ප්‍රහාරයක් එහි හැම රටක ම කරන ප්‍රහාරයක් විදියට සලකන්නේ ලෝකය විසින්, ඇමෙරිකාව තනිවම නෙමෙයි. කොලින් පවෙල් වාර්තාව ඉදිරිපත් කරලා අවසර ගන්නේ එක්සත් ජාතික සංවිධානයෙන්, Nato වලින්.

          ඉරාක යුද්ධයට යෑම U.N. Security Council Resolution 1441 න් ගන්නා ඒකමතික තීරණයක්.

          ඇයි ඉරාක යුද්ධයට ඇමෙරිකාවට විතරක් බනින්නෙ? ඊට සහභාගී වෙච්ච අනිත් රටවල් දකින්නෙ ම නැද්ද?

          2001 සැප්තැම්බර් 11 දා ඇමෙරිකාවේ වැඩට ගිය පුරවැසියන්ගේ පුද්ගලික අයිතියට ගරු නොකෙරුවේ පුද්ගලික අයිතිය නොදන්නා ත්‍රස්තවාදීන්.

          ඇමෙරිකන් ආණ්ඩුව විසින් දියත් කරන්නේ තම රට වැසියන්ගේ ආරක්ෂාව සඳහා වූ ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව වූ යුද්ධයක්.

          යුද මෙහෙයුමට මඟ පාදා ගත් සදාම් හුසේන් අත අද සිරියාවේ අසාද් කියන සේ මහා විනාශයක් කරත හැකි රසායනික අවි ඇතැයි වාර්තා හැදීම බොරුවක් නම් ඒ බවට දඬුවම් කළ යුත්තේ ඒ බොරුවට රැවටිච්ච එක්සත් ජාතීන් සහ Nato විසින්. ඒත් ඇයි එදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවි ඉන්ස්පෙක්ටර්ලා නිහඬව සිටියේ? ඔවුන් එක්සත් ජාතීන්ට ඒකමතික තීරණයක් ගන්නට ඉඩ දුන්නේ? අද සිරියාවේ අසාද් තම වැසියන් මරද්දී ඔවුන් බේරාගන්න එක්සත් ජාතීන් යනවාට එකඟ වෙන්න බැහැයි කියන රැසියාව එදා ඉරාකයට ඒකමතික චන්දයක් දෙන්න කැමති වූයේ මන්ද? රටේ ජනාධිපති යුද්ධයක දී අපරාධ කළා නම් ඊට විරැද්ධව ක්‍රියා මාර්ග ගත යුත්තේ ද රටේ කොංග්‍රසය. ඊ ළඟ ජනාධිපති නොබෙල් තෑග්ග ලැබි ඔබාමා, නියෝජිත හා සෙනෙට් යන සම්පූර්ණ කොංග්‍රස බලය අතැතිව ද ඒ යුද අපරාධ චෝදනාවක් නොගෙනාවේ හැමෝම වැරදියට අල්ලා ගත්ත වූවකට එක් අයෙකුට දඬුවම් කරන්න බැරි නිසා.

          නමුත් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය තවමත් අවසන් නැහැ. ඒ වගේ ම අනාගතයේ දිනයක යුද්ධයකට ගිය හේතු සහ යුද්ධයක වූ හානිය ගැන බුෂ්ට, පවෙල් ට හෝ වෙනත් ඕනෑම අයෙකුට විරුද්ධව දැනට පවරා ඇති නඩු විභාග හා අළුත් නඩු හා වරදවල් ඔප්පු කරත හැකියාවෙන් දඬුවම් ලැබීම සිද්ධ වෙන්නට හැකි වූවක්.

          හිට්ලර් ජර්මනියේ යුද අපරාධ කළ අයට, අමානුෂීය ඝාතන වලට, කොච්චර කල් ගියාට පස්සෙ ද දඬුවම් ලැබුනේ?

          මෙතැන පුද්ගලික අයිතිය නැති වූයේ ඇමෙරිකාවේ එදා වැඩට ගිය ජනතාවගේ ජීවිත අහිමි කිරීමෙන්. තමන් විනාශ කරන්නට එන අවිගත් අයට පහර දීම පුද්ගලික අයිතියක් කඩ කිරීමක් නෙවෙයි. එය ආත්ම ආරක්ෂාවක්. තම රටේ නායකයෙක් අනෙක් රටවලට පහර දෙන්න හදනවා නම් ඒ නායකයා හදාගන්න ඕන රටේ ජනතාව. නැත්නම් වෙන්නෙ හතුරු ප්‍රහාර වලින් තමන් නැසෙන එක. ඇමෙරිකාව ඉරාකයට, ලිබියාවට, ඇෆගනිස්තානයට යද්දි ඒ රටේ අය විසින් ඇමෙරිකාවට ඇවිත් පහර දී, යුද්ධයක් පැවතෙන නිසා, අපේ පුද්ගලික අයිතීන් කඩ කිරීමට ඔවුන්ට ද අවසර තියෙනවා.

          ඇමෙරිකාව තවමත් උතුරු කොරියාව හා යුද්ධයක ඉන්නෙ. සාම ගිවිසුමක් අත්සන් කරලා නැති වුනාට. ඒත් අද හතුරු ප්‍රහාර වෙනුවට යුද්ධයක ඉන්න රටක සාගතයක් නිසා මිලියන ගණනක් පුරවැසියන් මැරෙද්දි ඇමෙරිකාව යැව්ව ඩොලර් බිලියනකට වඩා සහනාධාර. අද උතුරු කොරියාවෙන් ඇමෙරිකන් ජනතාවට හතුරු ප්‍රහාර එල්ල වෙන්නෙ නැති නිසා ඇමෙරිකාවත් ප්‍රහාර එල්ල කරන්නෙ නැහැ.

          //ඒ එපා අපේ ඉල්ලංකාව.. අපේ කොතල හිඹුටු ටිකට පේටන්ට් එක අරගත්තෙත් ඔය ඇමරිකාවයි කියන්නේ..// කෝ මූලාශ්‍රය? මම අහලා තියෙන්නෙ ජපන් අය උස්සන් ගියා කියල!!!

          //අක්කා අතේ අර වෙඩි තියන විජ්ජෙට්ටුවද මොකද්ද මෙවුවා එක නෑ නේද?// මල්ලි, මුළු ලෝකයේ බහුතරයා මේ විදියට ලියන නිසා වෙන්නැති ඉරාකයේ යුද්ධය පටන් ගත්තෙ 😀 තුවක්කුවේ ‘මෙව්වා’ එක මොකක් ද කියලා කිව්වා නම් ඒක තියෙනවා ද නැද්ද කියන්න පුළුවන්.

          • චතුර විජේකෝන් said, on ජූලි 23, 2012 at 11:50 පෙ.ව.

            උරණ වෙන්ට එපා.. අක්කා අපි මේක කතා කොල්ලා බේර ගමු..

            2001 සැප් 11 ඇමරිකන් පුරවැසියන් දහස් ගණනක් ඝාතනය වීම හරිම ඛේදනීයයි.. හැබැයි ලිබියානු නායකයා අමු අමුවේ ඝාතනය කරන්ට උඩගෙඩි දීම සාධාරණයි.. පකිස්ථාන දේශ සීමා තුළට පකිස්ථානයටත් හොරෙන් ඇතුළු වෙලා බින් ලාඩන්ව ඝාතනය කිරීම.. බජාර් එකේ චණ්ඩියා නිසා ඇමරිකාවට ඔට්ටුයි..

            පැත්ත අරං කතා කොරන්ට එපා අක්කා.. ඇමරිකාව, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල තාමත් තියෙන්නේ තමන් අනික් හැම රටකටම වඩා උඩින් ඉන්ට ඕනැයි කියන අදහස.. ඕක බොරුවට තර්ක කොල්ලා පලක් නෑ..

            කොතල හිඹුටු ගැන කියන්ට මා ගාව මූලාශ්‍ර නැතුවා.. කට කතාවකින් තමයි දැන ගත්තේ.. අපේ රටේ ජනප්‍රියයි නොවැ ඒ කෙරෙමෙ..

            අක්කා නොදන්නවා වුණාට ඇමරිකන් “අයියා” අද ලෝකේ පුරාම චණ්ඩි පාට් දමමින් ඉන්න බව හුඟක් අය දන්නවා.. හැබැයි අපේ මහින්ද අයියයි, විමල් අයියයි ඕවට බය නෑ..

            • arunishapiro said, on ජූලි 23, 2012 at 12:18 ප.ව.

              චතුර විජේකෝන්,

              උරණ වෙන්න එපා කියන්නට අවශ්‍ය ඇයි? එහෙම උරණ වී තියෙනවා ද, දැන් මෙච්චර කාලයක් තිස්සේ මෙහෙ එන මල්ලි එක්ක?

              “උඩ ගෙඩි” දීමේ වරදට ඇයි ඇමෙරිකාවට විතරක් බනින්නේ? ලිබියාව සඳහා මූලිකත්වය ගත් ප්‍රංශයට කිසිත් නොකියා? බින් ලාඩන් යනු සැප්තැම්බර් 11 ඝාතනයේ සහ අන්න මම ලැයිස්තුවක් දාලා තියෙනවා, ඇමෙරිකන් පුරවැසියන්ට හානියක් කරපු සහ ඉදිරියටත් හානි කරනවා යැයි ලෝකයා ඉදිරියේ පොරොන්දු දීපු ත්‍රස්තවාදියෙක්. ඇමෙරිකාවට මෙහෙම එපා කියන ඔයා ලංකාවේ බෝම්බ වලින් ජනතාව මිය යද්දි ප්‍රභාකරන්ව ඝාතනය කරන්න එපා කියලත් කිව්වා ද?

              බජාර් එකේ චන්ඩියා වගේ කියලා ඇමෙරිකාව හෑල්ලුවට හාස්‍ය්‍යට ලක් කරන වදන් පාවිච්චි කළාට කමක් නැහැ, ඒත් ඇල් කයිඩා ත්‍රස්තවාදයෙන්, මුස්ලිම් ඇතුළු විපතට පත් අහිසංක ලෝක ජනතාව ගැන සොයා බලන්න.

              //පැත්ත අරං කතා කොරන්ට එපා අක්කා.. ඇමරිකාව, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල තාමත් තියෙන්නේ තමන් අනික් හැම රටකටම වඩා උඩින් ඉන්ට ඕනැයි කියන අදහස.. ඕක බොරුවට තර්ක කොල්ලා පලක් නෑ.// පැත්තක් අරගෙන තමයි කතා කරන්නෙ මම. ඒකට කැමති නැත්නම් මල්ලි ඉතින් සංවාදයකින් කුමන ඵලයක් ද? මම ඇමෙරිකන් පුරවැසියෙක් වූයේ ඇමෙරිකන් පැත්තට කැමති නිසා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල ඒකීය පුද්ගල නිදහස් අයිතීන් අනිත් හැම රටකට ම වඩා උඩින් තියෙන්නේ. ඒ නිසා ඒ අය තුල අනිත් හැම රටකට ම වඩා උඩින් ඉන්නට ඕනෑයි කියන අදහසක් තියෙනවා නෙමෙයි, ඒ අය දන්නවා එයින් පමණක් ම ඔවුන්ට අනිත් හැම රටකට ම වඩා උඩින් ඉන්න හැකියාව ලැබිලා තියෙනවා කියලත්.

              මෙතැන දී ඔයා කරන ලොකුම වැරැද්ද තමයි ඒකීය පුද්ගල අයිතීන් යන්න ඕනෑම රටක ඕනෑම පුරවැසියෙක්ට තමන් විසින් පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වුවක් බව නොදැකීම. එහෙම කරන ඕනෑම පුංචි ම පුංචි රටකට වුනත් ඇමෙරිකාවටත් ඉහළින් උඩින් ඉන්න හැකියාව අද තියෙනවා, මොකද විශේෂයෙන් ම මේ දවස්වල ඇමෙරිකාවේ ජනාධිපතිත් ඒකීය පුද්ගල අයිතිය කුමක් දැයි නොදැන අනාගෙන ඉන්න නිසා.

              ඇමෙරිකාවට ඇත්තෙන් ම චණ්ඩි පාට් දාන්න හැකියාවක් ඇත්නම් රුසියාව තවමත් සහාය දෙන තමන්ගෙ පුරවැසියන් ඝාතනය කරන සිරියාවේ අසාද්ව දැනටමත් අහක් කරලා ඉවරයි. ඔබාමාත් රොම්නිත් මැතිවරණයේ දී තමන්ගේ පුටු අහිමි වෙයි කියලා නිහඬව ඉන්නේ මහින්ද අයියාට, විමල් අයියාට, පූටින් අයියාට වගේ චණ්ඩි පාට් දාන්න බැරි නිසා බව දකින්න ම බැරි ද?

              • චතුර විජේකෝන් said, on ජූලි 24, 2012 at 11:08 පෙ.ව.

                ඒ අතින් අක්කා හොඳයි.. ඇමරිකාවට කැමැත්ත ඇතුව ඇමරිකන් වෙලා.. ගොඩක් අය අපේ රටේ යම් යම් අඩුපාඩු හින්දා ඇමරිකන් උනාට තාම හිතිං ලංකාවෙ.. අක්කා හැබෑවටම වාසනාවන්තයි.. හදවතින්ම ඇමරිකන් හින්දා..

                ඉතුරු ටික පස්සේ කියන්නම්.. දැන් වෙලාව නෑ..

                • perera said, on ජූලි 25, 2012 at 5:10 පෙ.ව.

                  //ඉරාක යුද්ධයට යෑම U.N. Security Council Resolution 1441 න් ගන්නා ඒකමතික තීරණයක්.//

                  අරුණි පච කෙලින එක අප්සෙට් නේද මෙහෙම?

                  http://en.wikipedia.org/wiki/United_Nations_Security_Council_Resolution_1441

                  1441 යෝජනාවෙන් සම්මත කලේ යුද්ධයට යන්න නෙමෙයි.නිරායුධකරණයට අදාල ජාත්‍යන්තර වගකිම් ඉටු කරන ලෙස බල කරමිනුයි ඒ යෝජනාව සම්මත කලේ.ඒකෙ යුද්ධයක් කරන එකක් ගැන මොකක්වත් තිබුනෙ නැහැ.ජාත්‍යන්තර නීතිය ගැන දන්න ඕනෙ කෙනෙක් පිලිගන්න දේ තමයි ඉරාක යුද්ධය නීති විරෝධී ආක්‍රමණයක් කියන එක.එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2.4 වගන්තිය යටතේ සාමාජික රාජ්‍යයකට තවත් සාමාජික රාජ්‍යයකට එරෙහිව බලය යොදාගැනීම තහනම්.ඒකට ව්‍යතිරේඛ දෙකක් තිබෙනවා.1.ආත්මාරක්ශාව සදහා බලය යොදාගැනීම (එනම් ආක්‍රමනයක් ගැන අත්‍යාසන්න තර්ජනයක් තියෙන කොට හරි ආක්‍රමණයක් වෙලා තියෙන කොට හරි බලය පාව්චිච් කරන්න පුලුවන්) 2.යූඑන් සෙකියුරිටි කවුන්සිලයේ රෙසලූෂනයක් මගින් අවසර දී තිබෙන විට.මේ එකක් වත් ඉරාක ආක්‍රමණය තුල තිබුනෙ නැහැ.මේක අමු අමුවේ නීතිය කැඩීමක්.පච කෙලල ඒක සාධාරණීකරනය කරන එක ගැන ලැජ්ජයි

                  දැන් ඊලගට කියන්න එපා ඇයි මේකට අමෙරිකාවට විතරක් බනින්නෙ මේකට බ්‍රිතාන්‍යය සහය දුන්නනෙ උන්ටත් බනින්න කියල.ඔවු මේ බැනිල්ල මේ අපරාධයට සම්බන්ධ වුන හැමෝටම අදාලයි.හැබැයි අමෙරිකාවත් වැරදියි.ඒ හින්දයි අමෙරිකාවට බනින්නෙ.අනික මේකට මූලිකත්වය ගන්නෙත් අමෙරිකාව කියන එක ඕනෙ පොල් බූරුවෙක් දන්නව.ඒ සහ බී එකතු වෙලා සී ව මැරුවම ඇයි ඒ ට විතරක් බනින්නේ කියල අහනව වගේ පුරස්නයක් ඔබ මේ මතු කරන්නෙ.

                  මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.කඩේ ගියාට කමක් නැහැ.හැබැයි මහින්ද අ‍බේසුන්දර ලෙවල් එකෙන් කඩේ යන්න එපා.

                  • arunishapiro said, on ජූලි 25, 2012 at 7:54 පෙ.ව.

                    perera,

                    unanimously කියන්නෙ ඒකමතික කියලා මම දන්න තරමින්, ඔයා හිතන්නෙ ඒකෙ තේරුම වෙනස් කියලා ද?!!! ඔයා අමුණන සබැඳියේ පළමු වාක්‍ය්‍ය කියවන්න, හරියට.
                    United Nations Security Council Resolution 1441 is a United Nations Security Council resolution adopted unanimously by the United Nations Security Council on 8 November 2002, offering Iraq under Saddam Hussein “a final opportunity to comply with its disarmament obligations” that had been set out in several previous resolutions (Resolution 660, Resolution 661, Resolution 678, Resolution 686, Resolution 687, Resolution 688, Resolution 707, Resolution 715, Resolution 986, and Resolution 1284).

                    http://www.un.org/Depts/unmovic/documents/1441.pdf

                    ඇමෙරිකාව යුද්ධයකට යන්න අවසර ඉල්ලන්නෙ එක්සත් ජාතීන්ගෙන් නෙවෙයි. තමන්ගෙ රටවැසියන් නියෝජනය කරන තමන්ගේ කොංග්‍රසයෙන්. සිරියාව එක්සත් ජාතීන්ගෙන් අවසර ඉල්ලලා ද තමන්ගෙ රටේ වැසියන්ට පහර දෙන්නෙ?!!!

                    එක්සත් ජාතීන්ට පෙන්වන්නෙ ඇමෙරිකාවට පහර දුන් ත්‍රස්තාවදීන්ට පහර දෙන්න හේතු කාරණා තියනවා යන්න. එක්සත් ජාතීන් කරන්නෙ අද සිරියාවේ අසාද් ට වගේ අවස්ථාවක් එදා සදාම්ට දුන්න එක. ඒක ඉටු නොකර ගිහින් හැංගුනේ සදාම්. එළියට ඇවිත් තමන්ගේ රටේ “මහා ඝාතන කරන රසායනික අවි’ නැතැයි පෙන්වා ඇමෙරිකාවේ බුෂ්ගේ බොරුව හෙළිකරන්නේ නැතිව තම රටට හා ජාතියට ආදරයක් ඇති නායකයෙක් සේ හැසිරුණා නම් එක්සත් ජාතීන්ට ඇමෙරිකාවට කියන්න තිබුණා යුද්ධයකට යන්න එපා කියල.

                    //ඔවු මේ බැනිල්ල මේ අපරාධයට සම්බන්ධ වුන හැමෝටම අදාලයි.හැබැයි අමෙරිකාවත් වැරදියි.// ඇමෙරිකාවේ පුරවැසියන් ජෝර්ජ් බුෂ් පුතාව ගෙදර යැව්වා විතරක් නෙමෙයි ඊ ළඟ මැතිවරණයේ දී ඒ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ඒ නියෝජිත සභාවේ බහුතරය, ඒ සෙනෙට් සභාවේ බහුතරය යන සියළු බලතල ඉවත් කළා. බ්‍රිතාන්‍යයේ වැසියන් ටෝනි බ්ලෙයාර්ව ගෙදර යැව්වා. ප්‍රංශයේ වැසියන් නිකලස් සාකෝසිව ගෙදර යැව්වා. ලංකාවේ අය ලෝකයාටත් තමන්ගේ වැසියන්ටත් අපරාධ කරපු සදාම් හුසෙන්ට සුදු හුණුගාමින් ඇමෙරිකාවට විතරක් බනිමින් තවමත් වැරදි කරමින් සතුටින් ඉන්නවා.

                    //අනික මේකට මූලිකත්වය ගන්නෙත් අමෙරිකාව කියන එක ඕනෙ පොල් බූරුවෙක් දන්නව.// ඕක හරියට ම දන්නවා ද කියන එකයි ප්‍රශ්නෙ. මම නම් ඒක දන්නවා, ඔයා දන්නවා ද?!!! රටකට ඇවිත් රටේ වැඩට ගිය මිනිස්සු තුන්දාහක් එක දවසක මරලා ගිය අය හැංගිලා ඉන්නෙ සහ තවත් ඉදිරියේ දී මරන්න සූදානමින් ඉන්නේ යම් රටක යැයි සොයාගත්තාම, ඒ අයට එසේ ඉන්නට අවසර දී ඇත්තාට ඒ තතු හෙළිකරන්නට යැයි එක්සත් ජාතීන් විසින් ලෝකය නියෝජනය කරමින් කිව්වාම, ඒක නොකර ගිහින් බංකරයක හැංගෙන ත්‍රස්තවාදීන්ට පහර දෙන්නට නොයා බයිලා කියන ආණ්ඩු මෙහෙ විතරක් තියෙන්න ඕනා කියලා ද හිතන්නේ?!!!!!!

                    • perera said, on ජූලි 25, 2012 at 5:19 ප.ව.

                      අරුණි මම හිතාගෙන හිටියෙ ඔබ බුද්ධිමත් ‍කියල.ඇත්තටම ඔබ බුද්ධිමත්.ඒත් අමෙරිකාවට තිබෙන අන්ධ පක්ශපාතීත්වය නිසා ඒ බුද්ධිය යට ගිහින් මන්දබුද්ධික ලක්ශණ ඉහලට එන්නේ හිතාගත නොහැකි විදිහට!!

                      ගොං කතා අංක 1 – //ඇමෙරිකාව යුද්ධයකට යන්න අවසර ඉල්ලන්නෙ එක්සත් ජාතීන්ගෙන් නෙවෙයි. තමන්ගෙ රටවැසියන් නියෝජනය කරන තමන්ගේ කොංග්‍රසයෙන්. සිරියාව එක්සත් ජාතීන්ගෙන් අවසර ඉල්ලලා ද තමන්ගෙ රටේ වැසියන්ට පහර දෙන්නෙ?!!!// අසාද් කරන වැඩෙයි අමෙරිකාව කරපු ආක්‍රමනයෙයි සම්බන්ධය මොකක්ද අරුණි?අමෙරිකාව 2003 කලේ විදේශ රටක් ආක්‍රමනය කිරීම.නියුරම්බර්ග් ට්‍රයල්ස් වලදි ප්‍රකාශ වුනු ආකාරයට Agression කියන්නෙ ජාත්‍යන්තර නීතිය තුල හුදු අපරාධයක් නොවෙයි අපරාධ අතරින් උග්‍රම අපරාධය.තමුන්ගෙ කොංග්‍රසයෙන් සම්මත වුනා කියල රට රටවලට ගිහින් ගහන්න බැහැ.ඒක තමයි ජාත්‍යන්තර නීතිය.

                      ගොං කතා අංක 2 – //එක්සත් ජාතීන්ට පෙන්වන්නෙ ඇමෙරිකාවට පහර දුන් ත්‍රස්තාවදීන්ට පහර දෙන්න හේතු කාරණා තියනවා යන්න.// 2003 ඉරාක ආක්‍රමණය ගැන කියද්දි අමෙරිකාවට පහර දුන් ත්‍රස්තවාදීන් ගැන මගුලක් කියන්නෙ ඇයි?ඉරාකය කවදද අමෙරිකාවට පහර දුන්නෙ?මම දැනන් හිටියෙ නැහැනෙ?පුලුවන් නම් විස්තර කරන්නකො!!

                      ඊලග එක – රෙසලූශන් එක ගැන.මහත්මිය රෙසලූෂන් එකේ කොහෙවත් තියෙනවද අමෙරිකාවට ඉරාකයට පහර දෙන්න අවසරයක්?ඒකෙ කියන්නෙ ඉරාකය නිරායුදකරනයට අදාල තමන්ගේ බැදීම් ඉටු කල යුතුයි කියල විතරයි.ඒකමතිකව සම්මත කරන්නේ ඒ යෝජනාව මිස ඉරාකයට පහර දිය යුතුයි කියල යෝජනාවක් නෙමෙයි.දන්නෙ නැතිනම් ජාත්‍යන්තර නීතිය ගැන දන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න මෙහෙම පහර දීමක් නීත්‍යනුකූල වෙන්න නම් ඒ වෙනුවෙන් සෙකියුරිටි කවුන්සිලය යෝජනාවක් සම්මත කරන්න ඕනෙ.ඉරාකයට ගහන්න පර්මිෂන් දීල යූඑන් එක කවදාවත් යෝජනාවක් සම්මත කලේ නැහැ!!//ඉරාක යුද්ධයට යෑම U.N. Security Council Resolution 1441 න් ගන්නා ඒකමතික තීරණයක්.// ඔයා මෙහෙමයි කියන්නෙ.දැන් නොදන්න කෙනෙක් හිතනවා 1441 යෝජනාවෙන් ඉරාක යුද්ධයට අනුමැතිය දීල කියල.පට්ටපල් බොරුවක්!ඉරාක යුද්ධයක් ගැන ‍එක වචනයක් ඔය රෙසලූෂන් එකේ නැහැ!!

                      // එළියට ඇවිත් තමන්ගේ රටේ “මහා ඝාතන කරන රසායනික අවි’ නැතැයි පෙන්වා ඇමෙරිකාවේ බුෂ්ගේ බොරුව හෙළිකරන්නේ නැතිව තම රටට හා ජාතියට ආදරයක් ඇති නායකයෙක් සේ හැසිරුණා නම් එක්සත් ජාතීන්ට ඇමෙරිකාවට කියන්න තිබුණා යුද්ධයකට යන්න එපා කියල.// 1.ජන සංහාරක අවි කතාව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අතේ රෝලක් කියල මාට්ටු උනා නේද?ලැජ්ජයි නේද? 2.එතකොට අමෙරිකාව ගාවත් ජන සංහාරක අවි තියෙනව නෙ?කවුරු හරි රටක් කිව්වොත් අමෙරිකාව ගාව ජනසංහාරක අවි තියෙනව ඒ හින්ද අපි මුන්ට ගහනව කියල හෙට අමෙරිකාවට විරුද්ධව යුද්ධයක් පටන් ගත්තොත් ප්ලේන් වලින් ගහල අමෙරිකාවෙ මිනිස්සු මරන්න ගත්තොත් ඒක ගැන ඔබ මොකද කියන්නෙ?

                      //ඇමෙරිකාවේ පුරවැසියන් ජෝර්ජ් බුෂ් පුතාව ගෙදර යැව්වා විතරක් නෙමෙයි ඊ ළඟ මැතිවරණයේ දී ඒ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ඒ නියෝජිත සභාවේ බහුතරය, ඒ සෙනෙට් සභාවේ බහුතරය යන සියළු බලතල ඉවත් කළා. බ්‍රිතාන්‍යයේ වැසියන් ටෝනි බ්ලෙයාර්ව ගෙදර යැව්වා. ප්‍රංශයේ වැසියන් නිකලස් සාකෝසිව ගෙදර යැව්වා. // ඉතින් අපිට මොකද?ඉරාක ආක්‍රමනය කරන වරද කලේ බුෂ් කියන පුද්ගලයාවත් ඔහුගේ ආන්ඩුවවත් නෙමෙයි අමෙරිකාව කියන රාජ්‍යය.අහල නැතිව ඇති රාජ්‍ය වගකීම කියල එකක්.හැබැයි එහෙම එකක් තියෙනව.එතකොට ඉරාකයේ ජනතාවට වූ අපරාධයට වන්දි ගෙවිය යුත්තේ වග කිව යුත්තේ අමෙරිකාව කියන රාජ්‍යය.අපි පස්සෙ බුෂ් අයින් කලා කිව්වට අර මැරුනු දස දහස් ගනන් ගැහැනු මිනිස්සු කුඩා ලමයින්ට සාධාරණයක් වෙන්නෙ නැහැ!!

                      //රටකට ඇවිත් රටේ වැඩට ගිය මිනිස්සු තුන්දාහක් එක දවසක මරලා ගිය අය හැංගිලා ඉන්නෙ සහ තවත් ඉදිරියේ දී මරන්න සූදානමින් ඉන්නේ යම් රටක යැයි සොයාගත්තාම, ඒ අයට එසේ ඉන්නට අවසර දී ඇත්තාට ඒ තතු හෙළිකරන්නට යැයි එක්සත් ජාතීන් විසින් ලෝකය නියෝජනය කරමින් කිව්වාම, ඒක නොකර ගිහින් බංකරයක හැංගෙන ත්‍රස්තවාදීන්ට පහර දෙන්නට නොයා බයිලා කියන ආණ්ඩු මෙහෙ විතරක් තියෙන්න ඕනා කියලා ද හිතන්නේ?!!!!!!// ඔබතුමිය වලිගෙ පාගගෙන.මම කතා කරන්නේ ඉරාක ආක්‍රමනය ගැන.ඉරාකය අමෙරිකාවට ඇවිත් තුන්දාහක් මරල ගියෙ නැහැ.ඔයා කතා කරන්නෙ සැප්තැම්බර් 11 ප්‍රහාරය ගැන.ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය කඩකිරීමක්ද කියන එක ගැන විද්වතුන් අතර තිබෙන්නේ 50 -50 බෙදීමක්.මම පුද්ගලිකව දරන අදහස එයත් නිතියට පටහැනියි කියන එක.නමුත් anticipatory self defence උඩ ඒක සාධාරනීකරනය කරන්න පුලුවන් කියන අදහසෙත් වලංගුභාවයක් තියෙනව.හැබැයි ඉරාක ආක්‍රමනය තනිකර අමු අමුවේ ජාත්‍යන්තර නීතියේ උත්තරීතරම ශික්ෂාව වූ මැදිහත් නොවීමේ හා ආක්‍රමනය නොකිරීමේ නීතිය උල්ලංඝනය කිරීමක්.දුමින්ද සිල්වා නීතියට උඩින් නිසා නඩු නැහැ වගේ අමෙරිකාව ලෝකෙ ලොක්කා හින්ද ඒ කරපු බලු වැඩේට නඩු නැහැ.නැතිව හරියට නීතිය ක්‍රියාත්මක වන යාන්ත්‍රනයක් ‍තිබුන නම් අමෙරිකාවෙ ලොක්කො ටික අර කොංගෝවල ලුබන්ගාව වගේ අයිසීසී එකට කුදලගෙන යා යුතුයි කල සාපරාධී ක්‍රියාවට!!

                      අනික් මැඩම් අමෙරිකාවට ඔය වගේ පහත් වැඩ කරන එක අලුත් දෙයක් නෙමෙයි.1985 නිකරගුවාවට මැදිහත් වීම ගැන ජාත්‍යන්තර යුක්ති අධිකරනය අමෙරිකාව වැරදිකරු කරමින් දුන්න නඩු තීන්දුව ගැන හොයල කියවන්න.ඒකට මුහුන දෙන්න බැරිව අමෙරිකාව කොලේ ICJ සම්මුතියෙන් අයින් වුන එක.පජාතයි!!

                    • arunishapiro said, on ජූලි 26, 2012 at 7:55 පෙ.ව.

                      perera,

                      හැමදාම එකම දේ දහ විදියකින් කිව්වා කියල කියන දේ වෙනස් වෙන්නෙ නැහැ. මම දෙන උත්තරත් දහ විදියකින් දුන්නත් ඒක සලකා බලන්න නෙමෙයිනෙ ඔබ කියන දේවල් කියන්නෙ. අන්තවාදියෙක් විදියට එකම දේ නැවත නැවත රිපීට් කරන කොට හැමදාම එකම මඩ ගොහොරුවේ ලැග සතුටින් ඉන්න පුළුවන්.

                      ඔටුනු පළන් රජ කෙනෙකුට, පදක්කම් පැළඳි ජනරාල් කෙනෙකුට, ජනතා චන්දයෙන් පත් වූ ආණ්ඩුවකට යුද්ධයකට බලය දෙන්නේ හෝ නොදෙන්නේ ඒ රටේ ජනතාවයි. ඒක ඔයා නැහැ කිව්වට ඉතිහාසය වෙනස් කරන්නත් බැහැ, එය ලෝක ස්වභාවය නිසා අනගාතයේ දී වෙනස් කරන්නත් බැහැ.

                      එක්සත් ජාතීන්, NATO, යුරෝපීය යුනියනය සහ ICJ සම්මුතිය ද ඒවායේ නීති රීති අනුව කැමැත්තෙන් රට රටවල් එකතු වූ සංවිධාන. ඒවාට කැමැත්තෙන් එකතු වෙන්නත් අකැමැත්තෙන් අයින් වෙන්නත් රටකට පුළුවන්. ඒකත් යම් රටකට ඕනෑ වූ පළියට එකතු වෙන්න හෝ යම් රටක් එහි ඉන්න අකමැති වූ නිසා බලහත්කාරයෙන් රඳවා ගන්නට බැහැ.

                      ඉහත ඒවා අයෙක් නැහැයි කියූ පළියට නැහැ වෙන්නෙ නැති දේවල්.

                      තමන්ගෙ රටේ නායකයෙක් පුන පුනා කියද්දී තමන්ට රසායන අවි තියෙනවා කියල, ඒ නායකයාම තමන්ගේ රටේ මිනිස්සු මරණවා නම්, (එදා සදාම් හුසේන් කළෙත් අද අසාද් කරන්නෙත්) ඒ රටේ තවත් මිනිස්සු කොට්ඨාශයක් සෙසු ලෝකයාගෙන් ඉල්ලනවා නම් අපිව මරන්න ඉඩ දෙන්න එපා කියල, ඒ අතරතුර දී තවත් රටකට පහර දෙනවා නම් (ඉරකාය ඉරානයට පහර දුන්නා, අසල්වැසි කුවෙට් වලට පහර දෙන්න ගියාම නැවතුයේ ඇමෙරිකාව); ලෝක මනුෂ්‍යත්වයේ හැදියාව තමයි ඒ මරන්න යන මිනිස්සු බේරා ගන්න යමක් කිරීම. හිට්ලර් ජර්මනියේ යුදෙව් මැරුවේ නැහැ කියල හිතන අයට, හිට්ලර්ගෙන් යුරෝපය බේරා දෙන්න කියල ඇවිත් බටහිර ජර්මනියේ බර්ලින් තාප්පයක් ගහාගෙන වසර 40 ක් දේශයක් අල්ලා ගෙන සිටි සෝවියට් අධිරාජ්‍යවාදීන්ට කැමැත්තක් දක්වන අයට වෙඩි තියද්දිත් තාප්පයකින් පැනලා නිදහස සොයා යන මිනිස්සු ගැන කිසිම අනුකම්පාවක් නැහැ අනුකම්පාව ඇත්තේ කෲර නායකයන් ගැන පමණයි.

                      ඉරාක යුද්ධයට යන්නේ ඇෆගනිස්තාන් යුද්ධයේ දී සොයාගත් තොරතුරු අනුව සැප්තැම්බර් 11 දා ප්‍රහාරයට හේතු වූ අය ඉරාකයේ හැංගිලා ඉන්නවා යැයි ද, රසායන අවි තියෙන බව කිහිප වතාවක් ඔප්පු කර ඇති ආණ්ඩුවකින් නැවත තම රටට (ඇමෙරිකාවට) පහර දෙන්නට පෙර හතුරාට පහර දෙන යුද්ධයකට. ඒ තොරතුරු තමයි කොලින් පවෙල් U.N. Security Council Resolution 1441 වල දී ඉදිරිපත් කළේ. ඇමෙරිකාවේ හිටපු මමත් කිව්වා ඒ තොරතුරු මදි යැයි කියා. එක්සත් ජාතීන් සදාම්ට අවස්ථාවක් දුන්නා පැහැදිලි කරන්නට ඒත් සදාම් ගිහින් බංකරයක හැංගුනා. එදා මගේ ප්‍රාන්තයේ සෙනෙට් සභිකයා ඉරාක යුද්ධයට චන්දය නොදීපු අයෙක්. ඒත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් බිය වී සැනෙකින් ප්‍රතිචාර දක්වන හුරුවෙන් බහුතර කොංග්‍රසය කැමති වූයේ ඉරාකය යුද්ධයට. ඉරාක යුද්ධයේ වැරැද්ද ඇමෙරිකාවට තොරතුරු නිසියාකාරව නොමැතිව යුද්ධයකට යෑම. එහි වැරැද්ද තමන්ගේ නායකයා තමන් මරනවා යැයි උදව් ඉල්ලා රටවැසියන් හඬගාද්දී යෑම නොවේ. එය මනුෂ්‍යයත්වයකි. එහෙම ඉල්ලන හැම රටක ම ජනතාව බේරාගන්න යන්න නොහැකි වීම අභාග්‍ය්‍යකි.

                      ඉරාක තෙල් අලෙවිය වෙන්දේසියකින් සිද්ධ වේ. එදා සෝවියට් රුසියාව මෙන් රටකට කඩා වැදී කොමියුනිස්ට් දහමට එකඟ නොවන සියල්ල මරා සම්පත් අල්ලා ගැනීම ඇමෙරිකාවේ හැදියාව යැයි සෝවියට් මුලාවූවන් රැවටී සිටිති. එදා හිට්ලර් ජර්මනිය සෙසු යුරෝපීය රටවලට කඩා වැදී ඒ නාට්සි දහමට එකඟ නොවූවන් ගෑස් ගසා මරා දමා සම්පත් අල්ලා ගැනීම ඇමෙරිකාවේ හැදියාව යැයි ඉතිහාසය නොදන්නා අය මුලා වී සිටිති. ඉරාක තෙල් ගිවිසුම් වලින් ජයගත්තේ වෙනදා සේ ම පැත්තක සිට මාළු බාන්නට යන රුසියාව බව කළින් සටහනකට දැමූ උත්තරයක දී සබැඳියන් ඇතුව පෙන්වා දුන්නෙමි.

                      යුද්ධයක දී යුද අපරාධ කිසිවක් නොවන්නේ යැයි සිතන්නේ යුද අපරාධ මොනවාදැයි නොදන්නා රටවල් පමණි. ඇමෙරිකන් යුද්ධ වල දී කෙරුන යුද අපරාධයන් හි දී ඒවායේ පීඩකයන් ඇමෙරිකන් නීතියට අනුව නඩු විභාගයෙන් දඬුවම් ලබා ඇත. නඩු විභාග තවමත් යන ඒවා ද ඇත. එහෙත් ලෝකයා හඬගාන්නේ නඩු විභාගයක් නොකර මරණ අහිංසකයන් ගැන නොව, චන්දයක් දිනන්නට පිණිස යුද්ධයක් ජයගත් හමුදා නායකයෙක් සිරගත කිරීම ගැන නොව, කිසිත් අපරාධයක් නොවී යුද්ධයක් අවසන් කරාය කියන මිථ්‍යාව ගැන නොව, මිනිස් ස්වභාවය වන අපරාධකරුවන් කිසිසේත් සහමුලින් නවතන්නට නොහැකි ලෝක ස්වභාවය සැලකිල්ලට ගෙන ඊට දඬුවම් පද්ධතියක් ද මෙහෙයවන රටක් ගැන පමණි. මුලාවෙන් රැවටුන අය දකින්නේ වරදකරුවන්ට දෙන ජනමාධයය විස්තරය, ඔවුන්ට දුන් දඬුවම් ගැන සොයා බැලීමක් නැත.

                      තම නායකයන් වැරදි කරනවා නම්, ඒක ද වැරදිකරන නායකයන් සිටීමත් මිනිස් ස්වභාවය නිසා, ඒක සහමුලින් හදා ගන්නට ජගතෙක් නැති නිසා, ඔවුන්ට ඉඩ නොදෙන හැකියාව ඇත්තේ ද රටවැසියන් අත බව නොදැක, ඒ අයගේ පීඩනයෙන් තෙරපී සිටිමින් ඈත එපිටක ඉන්න විදේශ කුමන්ත්‍රණකරුවන්ට ඇඟිල්ල දිගු කරන හැදියාව 1920 සෝවියට් රුසියාවෙන් පටන් ගෙන තවමත් කරමින් සිටිති. එසේ හදාගන්නා හැකියාව ඇති බව පැහැදිලි කර, සාධක ඇතුව පෙන්වා දුන්නත් එය නොදකින්නට අන්තවාදයෙන් මුලාවූවන්ට නොහැකිය.

                      තමන්ගේ වැසියන් තම මෝටර් කේඩයට පහර දුන් නිසා ඔවුන්ගේ ගම සුන්නත් දූලි වන්නට සමතලා කරන නායකයන්ට කැමති අයට එවැනි තැන්වල ගිහින් පදිංචි වන්නට හැකිය. නිදහස් රටවල් වල නිදහසේ සුවය විඳිමින් ඒ කෲර නායකයන්ට පහර දීමේ දී වූ වැරැද්දක් අල්ලා ගෙන නිදහස අගයන්නාට අධිරාජ්‍යවාදියා යැයි කියන්නට වත් තමන්ට නිදහසක් ඇත්තේ මන්දැයි නොවිමසීම මෝඩ කමක් ද නැත්නම් කපටි කමක් ද නැත්නම් අන්තවාදයකින් අන්ධ වූ කමක් දැයි කියවන්නාට තීරණය කරන්නට ඉඩ තියමි.

                • perera said, on ජූලි 27, 2012 at 6:19 පෙ.ව.

                  අරුණි මෙතන අන්තවාදියා කවුද කියන එක කියවන අය තේරුම් ගනීවි.ඔය හැම උත්තරයක් ගානෙම සෝවියට් රුසියාවටයි ඔබේ මනෝ ලෝකෙ ඉන්න සියලුම දුෂ්ටයන්ටයි පත බාන එක තේරුමක් නැහැ මොකද මම කිසි තැනක කියල නැහැනෙ ඒ කවුරුත් හරි කියල.කරුනාකරල ලෝකයේ රටවල් වලට තවත් රටක් ආක්‍රමනය කිරීම සම්බන්ධව ජාත්‍යන්තර නීතියේ පිලිගත්ත නීතිය සහ සම්මතය මොකක්ද කියල හොයාගෙන කියවන්න.ඊට පස්සෙ ඒ සම්මතයන් 2003 පිලිපැද්දද නැද්ද කියන එක කල්පනා කරල බලන්න.ගූගල් සර්ච් කරාම මේ ගැන ලියපු ඕනෙ තරම් ශාස්ත්‍රීය පත්‍රිකා හම්බෙයි.මේ ලියන මම ජාත්‍යන්තර නීතිය විෂයක් විදිහට හදාරපු ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක්.ඔබ ලියන දෙයින් පෙනෙන්නේ ඒ ගැන ඔබට මෙලෝ දැනුමක් නැති බවයි.1441 රෙසලුශනයෙන් ඉරාක ආක්‍රමනයට අවසර ලැබුනා යැයි ඔබ මුලින් කීව දේ පට්ටපල් බොරුවකි.ඒ බව ඔබ පසුව පිලිගෙනවත් නැත.දැන් කුවේට් ආක්‍රමණය කරපු එකක් ගැනයි සෝවියට් රුසියාවයි ගැනයි වෙන බයිලාවක් කියයි.ඔය වගේ වැල්වටාරම් නැතිව අහන දේට පිලිතුරු දුන්නනම් ඔබෙත් මගෙත් කියවන්නාගෙත් කාලය ඉතුරු වේවි කියල මට හිතෙනවාද.අයිසීජේ එකෙන් අයින් වුන එක පජාත ඇයි දන්නවද?ඒ නඩුව අමෙරිකාව පැරදුනා.නිකරගුවාවේ ස්වාධීනතාවයට එරෙහිව අනීතික විදිහට මැදිහත් වුනා කියල ඒ නඩුවේදී ලෝක අධිකරනය තීන්දු කලා.ඔවු ඉතින් එතකොට අයින් වෙන්න පුලුවන්.මොකද අමෙරිකාව ගමේ චන්ඩියා හින්ද කුදලගෙන යන්න කවුරුත් නැහැනෙ.නැවතත් කියන්නෙ ඒක අර කුඩු දුමින්ද සිංගප්පූරුවට ගියා වගේ වැඩක් තමයි.වෙනසක් නැහැ!!

                  පලි – සදාම්ගෙන් තමාව බේරගන්න කියල ඉරාකෙ මිනිස්සු අමෙරිකාවෙන් ඉල්ලුවෙ කවද්ද?අරුණි ඉතිහාසය අලුතින් ලියනවා වගෙයි!!ඔහොම පච අත හරින්න එපා අරුණි ඔබේ බ්ලොග් එකේ වැදගත්කම හෑල්ලු වෙනව ඔය මිනීමරු රට ආරක්ෂා කොරන්න යන එකේ ඔහොම රෙදි නැතිව! 🙂

                  • perera said, on ජූලි 27, 2012 at 6:36 පෙ.ව.

                    //තමන්ගෙ රටේ නායකයෙක් පුන පුනා කියද්දී තමන්ට රසායන අවි තියෙනවා කියල, ඒ නායකයාම තමන්ගේ රටේ මිනිස්සු මරණවා නම්, (එදා සදාම් හුසේන් කළෙත් අද අසාද් කරන්නෙත්) ඒ රටේ තවත් මිනිස්සු කොට්ඨාශයක් සෙසු ලෝකයාගෙන් ඉල්ලනවා නම් අපිව මරන්න ඉඩ දෙන්න එපා කියල, ඒ අතරතුර දී තවත් රටකට පහර දෙනවා නම් (ඉරකාය ඉරානයට පහර දුන්නා, අසල්වැසි කුවෙට් වලට පහර දෙන්න ගියාම නැවතුයේ ඇමෙරිකාව); ලෝක මනුෂ්‍යත්වයේ හැදියාව තමයි ඒ මරන්න යන මිනිස්සු බේරා ගන්න යමක් කිරීම. //

                    මේ බොරු දකිනකොට කට පියාගෙන ඉන්න හිතෙන්නෙ නැහැ.1.ඉරාකයේ මිනිස්සු කවදද අමෙරිකාවෙන් ඉල්ලුවෙ අපිව බේරගන්න කියල?මේ ප්‍රශ්නයට මීට පෙර අසා තිබේ.2.ඒ අතරතුර රටකට පහර දෙනවා නම්?මොනවද ඔබ මේ කියන්නේ?කුවේටයට ගැහුවෙ නෝනා 1991.ඉරානය එක්ක යුද්ධ කලෙක් 80 ගනන්වල.අමරිකාව ඉරාකයට ගහන්නේ 2003.1991 න් පස්සේ ඉරාකය කාවවත් ආක්‍රමනය කරල නැහැ.ඔයා මේ දන් නැතිවද කියන්නෙ දැනගෙනත් පච කෙලිනවද?ඉරානයට පහර දුන්න එක සදාම් හෙන අප්සෙට් නේද මැඩම්?ඒක මාර අපරාධයක් නේද?එතකොට හොයල බලන්නකො ඒ මහා අපරාධයේදී ඉරාකය එක්ක එකට හි‍ටගෙන හිටපු සන්ධාන සහයකයා කවුද කියල ඉරානයට විරුද්ධව?අමෙරිකාව තමයි ඉරාකය එක්ක ඒ යුද්ධයෙදි එකට හිටියෙ.මේව ඔබ දන්‍ නැද්ද?ඒ අපරාධයට නම් ඉරාකයට දඩුවම් කරන්නේ ඒ අපරාධ සහයකයා වූ අමෙරිකාවට අපි මොකද කරන්න ඕනෙ?මේ කරුනට ඔබේ පිලිතුර මොකක්ද?රුසියාව ඇෆ්ගනිස්ථානෙට ගහපු එකයි චීනය ටිබේටයට ගහපු එකයි ගැන ඊලගට වැල්වටාරම් කියන්නැතිව මම මතුකරන නිශ්චිත ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න.

                    //රාක යුද්ධයට යන්නේ ඇෆගනිස්තාන් යුද්ධයේ දී සොයාගත් තොරතුරු අනුව සැප්තැම්බර් 11 දා ප්‍රහාරයට හේතු වූ අය ඉරාකයේ හැංගිලා ඉන්නවා යැයි ද, රසායන අවි තියෙන බව කිහිප වතාවක් ඔප්පු කර ඇති ආණ්ඩුවකින් නැවත තම රටට (ඇමෙරිකාවට) පහර දෙන්නට පෙර හතුරාට පහර දෙන යුද්ධයකට.// ඉරාකය අමෙරිකාවට පහර දෙන්න හිටියද?බය හිතෙනවනෙ!!මේ අමෙරිකාවේ මහින්ද අබේසුන්දර වර්ගයේ ටෝක්ස්!!කොහෙද එහෙම සාක්ශි තියෙන්නෙ?අභියෝග කරනව පුලුවන් නම් පෙන්වන්න අමෙරිකාව ආක්‍රමනය කිරී‍මේ සැලසුමක් ඉරාකය සතුව තිබුනු බව.රසායන අවි තියෙනව කියල කොහෙද මැඩම් ඔප්පු කලේ?යුද්ධයට පස්සෙ බැලුවම හම්බුනාද රසායනික අවි?ඇයි මේ බොරු කියන්නෙ?ලැජ්ජා නැද්ද?ඊලග එක – හරි ජනසංහාරක අවි තියෙනව කියලම කියමුකො.එහෙම රටක් සතුව ඒ විදිහෙ අවි තිබුනු පමනින් ඒ රටට පහර දෙන්න පුලුවන්ද?එහෙම නම් හෙට රුසියාව අමෙරිකාවට ගහල කිවුවොත් අපි ගැහුවෙ අමෙරිකාවේ ජනසංහාරක අවි තිබුනු නිසා කියල ඒක සාධාරනද?ඉන්දියාව පකිස්ථානයට නිකරුනේ ගහල සමාවට කාරනේ විදිහට ගිව්වොත් අපි ගැහුවේ උන් ගාව ජනසංහාරක අවි තියෙන නිසා කියල – ඒක හරිද?මෙන්න මේ අරාජිකත්නවය ලෝකෙ ඇති වෙන එක නතර කරන්නයි ජාත්‍යන්තර නීතිය කියල එකක් තියෙන්නෙ.අමෙරිකාව හැසිරුනේ ඒ ජාත්‍යන්තර නීතිය ගනන් නොගන්න ප්‍රාදෙශීය දේශපාලකයෙක් වගේ උද්දච්චව.ඒක ජුගුප්සාජානකයි.ඒ පජාත වැඩ සුද්ද කරන්න මෙතන මහන්සි ගන්න එක ඊට වඩා ජුගුප්සාජනකයි!!

                    //ද්ධයක දී යුද අපරාධ කිසිවක් නොවන්නේ යැයි සිතන්නේ යුද අපරාධ මොනවාදැයි නොදන්නා රටවල් පමණි. ඇමෙරිකන් යුද්ධ වල දී කෙරුන යුද අපරාධයන් හි දී ඒවායේ පීඩකයන් ඇමෙරිකන් නීතියට අනුව නඩු විභාගයෙන් දඬුවම් ලබා ඇත. නඩු විභාග තවමත් යන ඒවා ද ඇත// ආයෙත් කියනව ඇග්‍රෙෂන් ඉස් ද වර්ස්ට් ඉන්ටර්නැෂනල් ක්‍රයිම්.ජෝජ් බුෂ් පවල් ඒ අපරාධය කරපු අපරාධකාරයෝ.කොහෙවත් ඉන්න සෝල්ජර් කෙනෙක්ට නඩුවක් දාල මේ වගකීමෙන් ගැලවෙන්න බැහැ.දෙවෙනි ලෝකයුද්ධයෙන් පස්සේ ඒ යුද්ධයට මුල පිරූ නාසි නායකයන්ව නියුරම්බර්ග් ගෙනාව වගේ අද කොංගෝවේ ලුබන්ගලාව අයිසීසී ගෙනියනවා වගේ ජෝජ් බුෂ්ල කොලින් පවෙල්ල හරි නම් ඒ අපරාධයට ගේන්න ඕනෙ අන්තර්ජාතික යුද අපරාධ අධිකරනයකට!ඉරාකයට වුන හානිය වෙනුවෙන් අමෙරිකානු රාජ්‍යය ගෙවිය යුතුයි වන්දි!අද ඒ රට අමු අපායක්.කී දෙනෙක් මැරුනද?කී දෙනෙක් අබ්බගාත වුනාද?මැඩම්ල අමෙරිකාවට වෙලා පීච් අත ගගා ඉද්දි කුඩා දරුවෝ කී දෙනෙක් බෝම්බ් වැදිල මිය ගියාද?ඒ යුද්ධය නිසා?ඒ භීෂණය නිසා?මෙව්ව තමයි මැඩම් අපරාධ!!

  6. indika27 said, on ජූලි 23, 2012 at 6:47 පෙ.ව.

    අපේ කන්තෝරුවෙ ඉන්නවා මල් වාන පැත්තෙ මුස්ලිම් යාලුවෙක්..එයාලයි මල්වාන දිහා මේ දවස්වල ඉස්පෙෂල් ඔෆර් එකක් දෙනවලු රඹුටන් වතුවල…ඒකෙදි ඕනිම කෙනෙක්ට වත්තට ගිහිං ඕනි තරමක් රඹුටන් කාල එත හැකි රුපියල් හාරසියයි ගාන… හැබැයි එකක්වත් අරං එන්ට නං ලැබෙන්නෙ නෑ…කාලම එන්න ඕනි… අපේ ගම දිහානං වැට ගහන්නෙ හරක් නිසා..ඔය හරක් වසංගතේ එන්න ගත්තම මොන ගහක් කොලක් වත් හරියට තියා ගන්න බෑ… හොරුත් නැතුවාම නෙමෙ… ඒත් හරක් තමයි තනි වදේ…එක එතකින් මොකෝ හරකට සෙන්සර් දාල නවත්තන්නයැ…උනුත් ඉන්න ඕනි අලිත් ඉන්න ඕනි මිනිස්සු මිලියන දෙකක් විතරයි බල්ලො මිලියනයක් විතරයි ඉන්නත් ඕනි මේ දූපතේ වරග කි මී හැටපන්දාස් පන්සිය පනහ ඇතුලෙ නෙව…

    • arunishapiro said, on ජූලි 23, 2012 at 6:57 පෙ.ව.

      indika27,

      බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි වතු යායවල් වල දී එයාල දෙන කුඩා පෙට්ටි පුරව ගන්න තරමට කඩන ගමන් කන්නත් අවසර තියෙනවා. එහි දී ඔයාගෙ මල්වානේ යාලුවාගේ තැනට වගේ ඇතුල් වෙන්න ගාණක් මිසක් රාත්තලට නෙමෙයි ගෙවීම.

      හැමෝටම ඉන්න ඕනි ඒත් හැමෝටම ඉන්න පුලුවන් විදියට. එක්කො සත්තුන්ගෙ උපත් පාලනය නැත්නම් මිනිස්සුන්ගෙ උපත් පාලනය කරගන්න වෙනවා!!!

  7. දුමී said, on ජූලි 23, 2012 at 9:06 පෙ.ව.

    ඩුබායි වලටත් මේවා එනවා පෙට්ටි පුරවලා. එකම ලේසිය තියෙන්නෙ ගහෙන් කඩාගෙන කන තරම් ජොලියක් නැතිකම තමයි….! ගාණත් වෙනසක් නෑ වගේ. සාමාන්‍යයෙන් කිලෝ එකක් ඩිරාම් 8-10ක් විතර. (1 USD = 3.65 Dhs)

    • arunishapiro said, on ජූලි 23, 2012 at 11:10 පෙ.ව.

      දුමී,

      ඔව්, ගහකින් කඩාගෙන කන පළතුරුක ඇති නැවුම් බව කොහෙත් ම අඩු වෙන්නෙ නැහැ කොච්චර ඇඹුල් මිදි වුනත්!!!

      මෙහෙ කඩේකින් ගන්නවා නම් රාත්තලක් ඩොලර් 3.99 ක් විතර. එහෙම බලද්දි ඔහෙ ලාබයි, පීච් වෙළඳ ගිවිසුමක් ඇති එවන රට එක්ක.

  8. කවුළුව said, on ජූලි 23, 2012 at 11:08 පෙ.ව.

    ව්‍යභිචෝදනාවක් =දෝෂාභියෝගය නේද?මේ බ්ලොග් එක කියෙව්වොත් අළුත් සින්හල වචන සෑහෙන ගාණක් හොයන්න පුළුවන්

  9. Gold fish said, on ජූලි 23, 2012 at 11:36 පෙ.ව.

    කම්බි ගහලා තිබ්බත් කඩන එක…. කම්බි නොගහා තිබ්බොත්…!!!!! පීච් මොන වගේද… සමානයි කියලා හිතෙන පළතුරක් කියන්න.

    • arunishapiro said, on ජූලි 23, 2012 at 12:06 ප.ව.

      Gold fish,

      කම්බි නොගැහැව්වත් කඩන්නෙ නැතිව ඉන්න අය නිසා තමයි පුද්ගලික අයිතිය රැකෙන්නෙ. එහෙම සමාජයක් තමයි ආර්ථිකයෙන් ජයගන්නෙ.

      පීච් ගෙඩියක රහ තියෙන වෙන පළතුරක් නැහැනෙ මල්ලි. පෙයාර්ස් වගේ කිව්වොත් හරියට ඒක වෙරළු ගෙඩියක් ඔලිව් ගෙඩියක් වගේ කිව්වා වෙනවා.

  10. wicharaka විචාරක said, on ජූලි 23, 2012 at 12:50 ප.ව.

    1. සංග්‍රාමික මූලධර්ම සහ තම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කිරීම, ජාත්‍යන්තර නීතිය අනුව තම රටේ ස්වාධිපත්‍යයට එල්ලවන අභියෝග වලට නොබියව ප්‍රතිචාර දැක්වීමට බැරිනම් ඒ රටෙන් ඇති වැඩක් නැහැ. ඉරානයේ ඔලු පුංචා ළඟදීම කනවා පරමාණු සෙල්ලම් කරන්න ගියොත්. ණය දෙන රටවලට ආර්ථික ගුද ලිංගික සංසර්ගයේ යෙදෙන්නට ඉඩ දෙන තුප්පහි පාලකයන් ඉන්න අපේ රට ගැන කුමන කතාද අරුණි. මම 1995 දී ඉන්දියාවේ විශේෂ හමුදා පුහුණුවකට ගියා. එයට ඇවිත් හිටිය ඇමරිකන් යුද හමුදා සගයා තවත් රටවල් ගණනාවක් ඉන්න තැන නොබියව කිව්වා, අපි අපේ විදේශ ප්‍රතිපත්තියට සහාය දෙන රටවලට සහාය දෙන අතර එයට විරුද්ධ වන සියලු රටවලට එරෙහිව ක්‍රියා කරනවා කියලා. ඒ නිර්භීතකම බොහෝ රටවල ඇගයීමට ලක්වුනා.

    2. යකෝ අරුණි පීච් ගහක් තරම් උසයිනේ. අනේ අරුණි මමනම් කාලා තියෙන්නේ ටින් කරපු පීච් විතරයි. ඔයා කාල තියනවද ලයිචීස්? හරිම රසයි.

    • arunishapiro said, on ජූලි 23, 2012 at 12:59 ප.ව.

      wicharaka විචාරක,

      //සංග්‍රාමික මූලධර්ම සහ තම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කිරීම, ජාත්‍යන්තර නීතිය අනුව තම රටේ ස්වාධිපත්‍යයට එල්ලවන අභියෝග වලට නොබියව ප්‍රතිචාර දැක්වීමට බැරිනම් ඒ රටෙන් ඇති වැඩක් නැහැ.// සම්පූර්ණයෙන් එකඟයි.

      ඇත්ත කියන්න ඇත්ත කුමක් දැයි දැනගෙන ඉන්න ඕන. එහෙම අය ඉදිරියට එන්න සුදුසු කාලය ඇවිත්. එහෙම නැති වුනොත් නියපොත්තෙන් කඩා ගන්න හැකි, පහසුවෙන් හදාගන්න හැකි දේවල් ජීවිත අහිමි වෙන තරම් හානිකර ලෙස ඔඩු දුවා ගියාම කපා දාලවත් ප්‍රාණය රැකගන්න බැරි තත්වයකට එන්නෙ.

      කොට සහ කෙටි ජීවිතේ නිසා වැඩියෙන් මහන්සි වෙන්න ඕනනෙ!!! ලයිචීස් කාලා තියෙනවා. රසයි රසයි. මම නම් ලාවළු, දුරියන් වගේ ඒවත් කන්න කැමති කෙනෙක්.

  11. ravisandu said, on ජූලි 24, 2012 at 4:52 පෙ.ව.

    බොහොම චිත්තාකර්ෂණීයයි කියල යමක් හැඳින්වීමෙදි පීච් ගෙඩියකට උපමා කරනවා නේද?

    ක්‍රිකට් විස්තර ප්‍රචාරයේදි අනර්ඝ පන්දුවක් හැඳින්වෙන්නෙ ” It’s a peach of a delivery ” කියලයි. ඒ වගේමයි බොහොම සුන්දර හෝ හොඳ ගතිගුණ තියෙන ලලනාවක් ගැන කියවෙන්නෙ ” She is absolutely a peach ” කියලයි.

    අරුනිගෙ වියුණුව මෙහෙම හැඳින්නුවොත් කොහොමද? ” Aruni is writing a peach of a blog ” 😀

    / එවක රටේ දේශීය ලේකම් (විදේශ ඇමති) තමයි කොලින් පවෙල්. /

    Secretary of State සිංහලට රාජ්‍ය ලේකම් නේද? දේශීය කිව්වම එන්නෙ Interior වගෙ අදහසක් මටනම්…..

    • arunishapiro said, on ජූලි 24, 2012 at 7:55 පෙ.ව.

      ravisandu,

      ඔව් ඔව් එහෙම අදහසක් තියෙනවා නේන්නම්. ස්තූතියි රවී, මදැයි දැන් පීච් බ්ලොග් එකක් එහෙනම් මම ලියන්නේ!!!! පීචං බ්ලොග් එකක් නොවේ නම් ඒ ඇති.

      ලියන අදහස් වල වැරදි පෙන්වීම අසාර්ථක උත්සාහයන් වෙද්දී, සිංහල වදනක පටලැවිල්ලක් අල්ලා ගන්න එකත් ‘සටහනේ අදහස් වැරදි’ යැයි හින්ට් කරන්නා වූ ඵෛතිහාසික වෑයමක්, මම නොදන්න කැපිලි!!!! 😀

      ඔයා ගැන නෙමෙයි ඒ කිව්වෙ රවී, ඔයා හරි. දේශීය කිව්වම එන්නෙ interior අදහස තමයි. රාජ්‍ය ලේකම් වෙන්න ඕන. ඔන්න ඒ වැරැද්දත් හැදුවා. මීට කළින් මේ වචන දෙකම, ද්යෝෂාභියෝගය සහ රාජ්‍ය ලේකම් නිවැරදි වූ ආකාරයට ලියා ඇති බවට සාක්කි මෙන්න!!!!! වැරැද්ද හදාගන්න පෙන්වූවාට හද පතුලෙන් ම ස්තූතියි. හැමදාම වැරදි හදාගන්න කැමතියි කිව්වට හද පතුලෙන් ම එහෙම කියා හදා ගන්න අය නුහුරු ලෝකයක ඒක පෙනෙන්නෙත් බොරුවක් විදියට නම් කරන්න දෙයක් නැත.

      මගෙන් තරම් නිවැරදිභාවයක් තම තමන්ගේ නායකයන් වෙතින් ඉල්ලා සිටින්න තරම් සිංහලෙන් කියවන්නන් දිරිමත් වුවොත් ලංකාව ඇත්තෙන් ම ආශ්චර්යයක් වෙයි ද? 😀

  12. chandi said, on ජූලි 24, 2012 at 12:59 ප.ව.

    ඊයෙ මේ පොස්ට් එක දැක්කම අපිට නම් අතීතෙ මතක් උනා. අපි හිටිය රටෙත් පළතුරු වතු හරියට . පීචස් , ඇෆ්‍රිකට්, ස්ට්‍රොබෙරීස් අපි ගිහින් කඩා ගෙන එතනම සෝදා ගෙන කනවා. ඒක හරිම සුන්දර අත් දැකීමක්. ස්තූතියි මේව අපිට කියනවාට. ඉතිරි ඒවට උත්තර ඔයා හොඳට පැහැදිලිව දීල තියෙන්නෙ ඒ මදැයි.

  13. buddie-බුඩී said, on ජූලි 27, 2012 at 3:03 පෙ.ව.

    අම්මෝ මේකේ කමෙන්ට් වල දිග, මොනා උනත් පිංතූර වලින් බූඩි හිතුවෙ ඇපල් කියලා 😛
    එච්චර වටිනා කමක් නැති දෙයක් මෙහෙම වැටවල් ගහලා රකින්න ඕනේද???


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: