අරුණි ශපීරෝ‍ වෙතින්

ලිංගික අපචාර වලින් ඔබේ දරුවා රැකගන්න -කියවා බෙදා ගන්න

Posted in Uncategorized by arunishapiro on ජූලි 26, 2012

ලිංගික අපචාර වලින් ඔබේ දරුවා රැක ගන්න – කියවා බෙදා ගන්න යැයි ටෙරාන් කරීම් විසින් ලියූ Facebook සටහන පරිවර්තනයයි.

පටන් ගැනීම:

තමන්ගේ දරුවාට එයාගේ ඇඟ යනු එයා සතු විශේෂ වූ ආරක්ෂා කළ යුතු වූවක් බව කියා දෙන්න. දරුවාට තේරුම් යනවා යැයි සිතෙන වයසේ දී වහාම පටන් ගන්න. සාමාන්‍යයෙන් වයස අවුරුදු තුනේ දී පමණ වැටහීමක් ඇති වෙන්නකි. සරල විදියෙන් පටන් ගෙන ඒ ආකාරයෙන් ම දිගට ම කියා දෙන්න. ඇඟේ ඒ ඒ අංග වලට කියන නිවැරදි නම පාවිච්චි කළ යුතු වූවත්, එය අතිශයින්ම වැදගත් නැත. එහෙත් නිවැරදි නාමයන් භාවිතයෙන් දරුවා තම සිරුරට නිරෝගී වූ ගෞරවයක් වර්ධනය කර ගනියි. ඒත්, නිවැරදි නාමයන් භාවිතය අපහසු නම්, වෙනත් නම් වලින් කියා දීම පටන් ගන්න!

සියල්ලම එක සංවාදයක දී කියා දිය යුතු යැයි නොසිතන්න. ඔබේ දරුවාට ලිංගික අපහරණය සහ පුද්ගලික ආරක්ෂාව ගැන කියා දීම අත් නොහැර දිගට ම කරගෙන යා යුතු කාර්යයකි. මේ සංවාද දෙදෙනාටම අපහසු වූ කරදරයක් කරගන්න එපා. කරුණු කාරණා ගැන කතාබහ කරන සැහැල්ලුවෙන් කරගෙන යන්නා වූ දරුවාට ආරක්ෂාව දැනෙන ආකාරයකින් කළ යුත්තකි. උදාහරණයක් හැටියට, දරුවා හා මෙවැනි අවස්ථාවල දී කතා කරන්න:

. දරුවා සෙල්ලම් කරද්දී
. දරැවා සමඟ නිවාඩු පාඩුවේ ගමනක් යද්දී, කාර් එකේ හෝ බස් එකේ යද්දී;
. දෙදෙනා එකතුව ආහාර වේලක් පිළියෙල කරද්දී;
. රූපවාහිනිය නරඹද්දී, හෝ පුවත්පතක පළ වූවක් ගැන කතාබහේ දී;
. තවත් දරුවෙක් කියූ දෙයක් ගැන කතාවක් ඇදී ආ විට; හෝ
. රාත්‍රියට දරුවා නින්දට සැරසෙන විට.

කතා කළ යුත්තේ:

කොයි වේලාවේ කියන්න සුදුසු ද යන්නට වඩා කුමක් කියන්නේ ද යන්න වැදගත් ය. මෙන්න අදහස් කිහිපයක් ඔබ සංවාදයට ගෙන යා යුතු:
. ඔබ විශේෂ හා වැදගත් වූ දරුවෙක්.
. ඔබේ සිරැර ඔබගේ ය, වෙන කාගේ වත් නොවේ.
. ඔබ අකැමැති ලෙසින්, ඔබට අප්‍රසාදය දැනෙන ලෙසින්, බිය ඇති කරන ලෙසින් හෝ කරන්නේ කුමක්දැයි හිතාගන්නට නොහැකි ලෙසින් ඔබව අල්ලන කෙනෙක්ට ‘එපා’ කියන්නට ඔබට අයිතියක් ඇත.
. ඔබේ සිරුරේ ඔබේ පුද්ගලික වූ අවයවයන් කියා කොටසක් ඇත. කවුරුන් හෝ ඔබේ යෝනි මාර්ගය, ශිෂ්නය, පියයුරු හෝ පස්ස පැත්ත අල්ලන්නේ නම් ‘එපා’ කියන්නට අයිතියක් ඔබට ඇත. එවැන්නා ඔබ දන්නා වැඩිහිටියෙක් වුවත් ‘එපා’ කියන්නට ඔබට මගේ අවසරය ඇත.
. ඔබේ හැඟීම් වලට අවධානය දෙන්න. ඔබව අල්ලන්නට එන අය ගැන ඒ හැඟීම් කියන්න විශ්වාස කරන්න.
. කවුරු හරි ඔබට කරදරයක් වෙනවා නම්, මට කියන්න. මම පොරොන්දු වෙනවා මම ඔබව විශ්වාස කරනවා කියල.
. හරි යැයි නොහිතෙන විදියකට කවුරු හරි ඔබව අල්ලනවා නම් ඒක ඔයාගේ වැරැද්දක් නොවේ.

සමාජයේ ගණුදෙනු වල දී අනුන් අල්ලන හැදියාව ගැන වූ මේ ආරක්ෂිත රීතීන් හැම විටෙක ම අදාල බව දරුවන් දැන සිටිය යුතුය. එය තමන් බලා කියාගන්නා අයටත්, නන්නාඳුන අයටත්, පිරිමින්ටත් එක සේ අදාල බව දැන සිටිය යුතුය.

ජාතික වශයෙන් වාර්තා වෙන බොහෝ සිදුවීම් වල දී, දරුවන් ලිංගික අපචාරයට ලක්වෙන්නේ තමන් විසින් දන්නා ඥාතීන්, පවුලේ හිතවතුන්, අධිකාරී බලය ඇති අයගෙන් (ගුරුවරුන්, තරුණ සංගම් නායකයන්, ආගමික නායකයන් යනාදී..) තමන් විශ්වාස කරන අය වෙතිනි. ලිංගික අපචාරයන් සිද්ධ වෙන්නේ බොහෝවිට දරුවන් සුව පහසුවෙන් ඉන්නට කැමති ස්ථාන වල දී ය, එනම් ගෙදර දී හෝ පවුලේ හිතවත් අයගේ නිවහනක දී ය.

එසේම, ලිංගික අපචාරයන් කරන අය ලිංගික කටයුත්තකට ශාරීරික ශක්තිය යොදවා දරුවාව ඊට යොදවා ගනියි. එහි දී දරුවාගේ හිතවත්කම හා විශ්වාසය තම වාසියට යොදාගෙන ඒ ක්‍රියාව රහසක් ලෙසින් තබා ගන්නට යැයි තර්ජනය කරයි. උදාහරණයක් වශයෙන් දෙමව්පියන්ට කිව්වොත් “ඔයා පුංචි ළමයෙක් නිසා එයාල විශ්වාස කරන එකක් නැහැ” යැයි කියයි. එවැනි අනිත් තර්ජන නම් “ඔයා කිව්වොත් මම ඔයාට රිදෙන්න වැඩක් කරනවා”; “මම ඔයාගේ අම්මට රිදෙන්න වැඩක් කරනවා”; “මට හිරගෙදර යන්න වෙයි”; නැත්නම් “පවුල කඩා කප්පල් වෙයි” යනාදියයි. දරුවන් හදා ඇත්තේ වැඩිහිටියන් විශ්වාසයට හා ඔවුන් කියන්නට ගරු කිරීම නිසා දරුවන්ට කරන මෙවැනි තර්ජන සාර්ථක වීම අවසානාවකි.

Advertisements

34 Responses

Subscribe to comments with RSS.

  1. අමා said, on ජූලි 26, 2012 at 8:33 ප.ව.

    ඉතාම වැදගත් ලිපියක් අක්කේ.
    ඇත්තටම සමහර දෙමාපියන් සහ දරුවන් අතර මේ වගේ දේවල් කතා කරන්ට තරම් comfort level එකක් නැහැ. මගේ සමහර යෙහෙලියන් ඔවුන් වැඩිවිය පත් වන තෙක්ම ඒ කුමක් දැයි දැන ඉඳල නැහැ. සමහරුන් අම්මාට ඒ ගැන කියන්නත් බය/ලජ්ජා වෙලා තියෙනවා.

    • arunishapiro said, on ජූලි 27, 2012 at 7:11 පෙ.ව.

      අමා,

      දරුවන් මේ ලෝකයේ බිහිවෙන තාක් කල් දෙමව්පියන්ට මේ ගැටළු වලට හැමදාම මුහුණ දෙන්න වෙනවා. තමන් හා දරුවන් අතර තිබිය යුතු comfort level එක කුමක් දැයි තීරණය කිරීම දරුවෙක් හදන හැම දෙමව්පියෙක් විසින් ම මුහුණ දිය යුතු අත්දැකීමක්. වැඩි comfort level එකක් නිසා වැඩි සුහද වූ හා වඩා සහනශීලී වූ හොඳ වාතාවරණයක් තමයි ලැබෙන්නෙ.

      පාසැල් වලින් හැම දෙයක් ම කියා යුතු වීම බලා සිටිය හොත් දෙමව්පියන් තම වගකීම පාසැලේ ගුරුවරයන්ට බාර කිරීමක් වෙනවා. යමක් කියාදෙන්න ගුරුවරයන්ට බාර කිරීම! ඒක කොයි ඉතිහාසයේ ද සාර්ථක වූයේ?

  2. chandi said, on ජූලි 26, 2012 at 9:15 ප.ව.

    මේ ලිපිය කුඩා දරුවෙක් සිටින හැම දෙමාපියෙකුටම වැදගත් වේවි නංගී. පුලුවන් තරම් මෙය අතින් අත යවන්න උත්සාහ කරන්නම්. මෙහෙම දැනුවත් කිරීමක් කිරීම හැම දෙමාපියෙක්ගේම වගකීම හා යුතුකම. අපි කුඩා කල අම්මයි තාත්තයි දෙන්නාම පිටරට ගියා රැකියාවලට. මට අවුරුදු දොළහ විතර කාලෙ. මට මේ අවවාද ටික ලැබුන නිසා මමත් නැඟණියන් දෙදෙනාත් අතවර වලට ලක් නොවී යහතින් මේ සමාජයේ ජීවත් වූ බව කියන්නේ ඉතාම ආඩම්බරයෙන්. තාත්තා අපිට යන්න කලින් සියළු දේම කියලා දීපු නිසා අපි හොඳින් කල් ගෙව්වා. ඒ ගැන නිරතුරුවම හද පත්ලෙන්ම අපි පින් දෙනවා තාත්තාටයි අම්මාටයි.

    • arunishapiro said, on ජූලි 27, 2012 at 7:23 පෙ.ව.

      chandi,

      ඔවුන්ගේ දෙමව්පියන් වෙතින් ඉගෙන ගන්නා ජීවිතයට අවශ්‍ය වැදගත් දේවල් වලින් අපේ දෙමව්පියන් තම ජීවිත යහපත් කරගත්තා. අපේ දෙමව්පියන් ගෙන් ඉගෙන ගන්නා වැදගත් දේවල් වලින් අපේ ජීවිතය සරු වූවා වගේ ම අපි කරන්න අවශ්‍යයත් අපේ වැරදි හා ඔලමොට්ටලකම් ගැන කතා කරමින් කාලය නාස්ති කරනවාට වඩා ජීවිතයට වැදගත් වූවක් දරුවන්ට කියා දෙන්නට.

      පරම්පරාවෙන් පරම්පරාවට අනාගතයේ හැදෙන මිනිසා උන්නතියට යන්නෙ එහෙම නේද කියන එක සමහර අය අමතක කරලා චාන්දි අක්කා, ඒ අය බලා ඉන්නෙ හැම දෙයක් ම ආණ්ඩුවෙන් කරල දෙනකම්, ඒකයි වැරැද්ද.

  3. Lalita Ranawana said, on ජූලි 26, 2012 at 10:19 ප.ව.

    saka hithena de nitharnithara keema thamai waradda.

  4. ඉඳුනිල් said, on ජූලි 26, 2012 at 10:23 ප.ව.

    මේ දේ සෑම දෙමාපියෙක්ම හැකි ඉක්මනින් කල යුතුයි. තවම මාධ්‍ය වලින් හෙළි නොවුණු සිද්ධියක් ඊයේ මට අසන්නට ලැබුනා. අසල්වැසි නිවසේ වැඩ කල බාසුන්නැහැ කෙනෙක් අතින් අතවරයට ලක් වුනු දොළොස් හැවිරිදි දැරියක් ගැබ් ගැනීම. මට මතකයි මීට අවුරුදු කීපයකට කලින් , වීදුරු අඳුරු කල පාසැල් වැන් රථයක සැක සිතී එබී බැලු විට දුටු පිළිකුල් දර්ශනය. පාසැල් ප්‍රාථමික අංශය වේලාසනින් අවසන් වන නිසා, අනිත් වැඩිමහළු සිසුවියන් පැමිණෙන තුරු ඒ වැන් රථයට වී සිටි ඉතා කුඩා දැරියට අතවර කරමින් හිටියේ මහළු වැන් රියදුරා.. ඒ තිරිසනා නීතියට භාර දෙන්නට අපට පුළුවන් වුනත් , ඒ දැරියට වුන හානිය ?

    කිසිම අයෙක් යහපත් යැයි විශ්වාස නොකල යුතු පරිසරයක , දරුවන් ඕනෑම තැනකදී අතවරයකට ලක් වෙන්න පුළුවන් කියන ඒක දෙමාපියන් වගේම ගුරුවරුනුත් දැන ගන්න ඕනි. Worst case scenarios හැටියට පාසලේදී ගුරුවරුන්, වැඩිහිටි ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගෙන් වගේම නිවසේදී පියා (වාසනාවට එහෙම මවු වරු ගැන තවම අහන්න ලැබිල නැහැ) හෝ වෙනත් වැඩිහිටියන් අතින් පවා දරුවන් අතවරයට ලක් වීම පුළුවන් නිසා නිවසේ මෙන්ම, පාසැල් වලත් ඔය දැනුවත් කිරීම් වෙන්න ඕනි.

    බොහෝ දුරට ඇමෙරිකාවේ පාසැල් වල ලිංගික අධ්‍යාපනය නිසි පරිදි ළමුන්ට ලබා දෙනවා වෙන්න ඇති. ඒත් මෙහෙ ඒ දේ වෙන්නේ කලාතුරකින්. වැඩි හරියක් වෙන්නේ වරදට හසු වන දරුවන්ගේ ජීවිතය මුග්ධ දඬුවම් හරහා විනාශ කරවීම.සුළු උදාහරණ කීපයක් මෙතන තිබෙනවා. ප්‍රධාන දෝෂය ඊනියා සභ්‍යත්වය.

    අරුණි අක්කලාගේ කාලේ කොහොමද දන්නේ නැහැ. අපට 11 වසරෙදි (වයස 16) විද්‍යා විෂයට “ප්‍රජනක පද්ධති” ගැන (එපමණයි) උගන්නන්න තිබුණා. ඒ පාඩම උගන්නනවා වෙනුවට ගුරුතුමිය කලේ “මේ පාඩම ඔය ගොල්ලන්ට කියවා ගත්ත හැකිනේ” කියා මග හැර යාම. ප්‍රජනක පද්ධති ගැන කියා දෙන්න ඒ තරම් අපහසු නම වෙනත් ලිංගික කරුණු කියා දෙන්න ඒ අය පෙළඹෙයිද ? තමන්ට බැරිනම් වෙනත් අයෙකු ලවා හරි ඒ දේ කරවන්න උත්සාහ ගැනෙන්නේ නැහැ බොහෝ විට..

    මගේ පාසැල් කාලයේ,එකම එක ගුරුවරයෙක් තමන්ගේ උවමනාවටම විෂය නිර්දේශ වලින් පරිබාහිරව දරුවන්ට ඒ දේවල් කියා දෙනවා මම දැකල තියෙනවා. එහෙම අය දුර්ලභයි.

    • arunishapiro said, on ජූලි 27, 2012 at 7:05 පෙ.ව.

      ඉඳුනිල්,

      සබැඳියන්ට ස්තූතියි.

      අපිරිසිදු රෙදි සෝදා නොගත හොත් කිළිටි ඇඳුම් වලින් ජීවත් වන්නට වෙන්නේ ය. එළිපහලියේ නොදා තමන් විසින් ම සෝදා ගන්නේ නම් වඩා හොඳයි. ඒක කරන්නෙ කොහොම ද කියන එක ගැන කතා කරන්න සිංහලෙන් ලියන අය බිය විය යුතු හෝ පසුබට විය යුතු නැහැයි කියන එක තමයි මගේ විශ්වාසය.

  5. praveena said, on ජූලි 27, 2012 at 12:24 පෙ.ව.

    වැදගත් ලිපියක්. පාසැල් මට්ටමෙන් දෙමව්පියන් උනත් මේ විදියට දැනුවත්කරවීම වටිනවා…

    //කවුරු හරි ඔබට කරදරයක් වෙනවා නම්, මට කියන්න. මම පොරොන්දු වෙනවා මම ඔබව විශ්වාස කරනවා කියල.
    හරි යැයි නොහිතෙන විදියකට කවුරු හරි ඔබව අල්ලනවා නම් ඒක ඔයාගේ වැරැද්දක් නොවේ.//

    ළමයින්ට මේ බව දැන්වීම නම් ඉතා වැදගත්. ගොඩාක් ලමයි හිතන්නේ මේ දේවල් සිද්ධවෙන්නේ එයාලගේ වැරැද්දෙන් කියලා.

    • arunishapiro said, on ජූලි 27, 2012 at 7:30 පෙ.ව.

      praveena,

      මට මතක් වෙන්නෙ මගේ යෙහෙළියක් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉංග්‍රීසි උගන්වද්දි දවසක් එයාගෙ සිසුවෙක් දිවිනසා ගත්ත කියල දැනගන්නට ලැබිලා ඉතා දුකින් හිටපු හැටි. ඒ සිසුවාගේ ගෙදරින් කරපු බලකිරීමට එයා වෛද්‍ය උපාධියට හැදෑරුවේ. එය ඉතාම අකමැත්තෙන් කරල තව දුරටත් දරාගන්න බැරි වුනාමයි සියදිවිනසා ගත්තේ.

      ළමයින් තමන් කැමති නැහැ කියන දේවල් අම්මලා තාත්තලා විශ්වාස කරන්න පටන් ගන්නේ කවදා ද?

      සුළු අකමැත්තක් හරි කියද්දි කඩා පනින හැදියාව නිසා, කිසිම පුද්ගලික වූ තෝරා ගැනීමකට ඉඩක් නොදෙන විට ලොකු ලොකු අකරතැබ්බ ගැන කියන්නට ධෛර්යයක් ලැබෙන්නෙ නැහැ. ඒකත් වැරැද්ද කරන්නාගේ අපරාධයක් නොව අපරාධයකට හසුවූවාගේ වැරැද්දක් ලෙස දකින හුරුවෙන් බැහැර වෙන්න පුළුවන් තමන්ගෙ ළමයින්ගෙ සිතුම් පැතුම් වලට ඉඩක්, ඇත්ත කියන්නට ඉඩක්, දරුවන් තමන් කැමති/අකමැති යැයි කියන දේවල් විශ්වාස කරන්න පටන් ගත්තාම විතරයි.

  6. shaaanugelokaya said, on ජූලි 27, 2012 at 1:34 පෙ.ව.

    ඉතාමත් වැදගත් ලිපියක් අක්කේ මේවා කාලීන අවශ්‍යතා …..
    බොහොම ස්තුතියි.

  7. සුදීක said, on ජූලි 27, 2012 at 2:03 පෙ.ව.

    පළමු වතාව්ට කමෙට් එකක් එකතු කරන්නේ. මට මේ ලිපිය හරිම වැදගත්. ප්‍රවේශයක් ගන්න විදියක් නැතිව ඉන්නකොට තමයි මේක දැක්කේ.

  8. Bindi said, on ජූලි 27, 2012 at 2:30 පෙ.ව.

    I really appreciate this Aruni

  9. buddie-බුඩී said, on ජූලි 27, 2012 at 2:50 පෙ.ව.

    කාලෙකින් මේ පැත්තේ ආවේ, කාලීන ටොපික් ටික අරුණිගෙත් ඉන්ටර්රෙස්ට් එක වෙලා වගේ 😀
    දෙමාපියක් දරුවෝ ගැන හොදට හොයලා බලන්න ඕන වගේම දරුවන්ට සමීප වෙන්න ඕන මම හිතන්නේ 🙂

    • arunishapiro said, on ජූලි 27, 2012 at 7:34 පෙ.ව.

      buddie-බුඩී,

      ඔව්, බුඩී. සමීපය දෙමව්පියන් කියන්න දරුවන් ඇසීම, ගරු කිරීම හා විශ්වාසය පමණක් නොව දරුවන් කියන්න තමන් ඇසීමත්, ගරු කිරීමත්, විශ්වාසයත් වෙන්න ඕනා.

  10. නවම් said, on ජූලි 27, 2012 at 3:54 පෙ.ව.

    කියවල පොඩි පැටව් ඉන්න කිහිදෙනෙකුටම යැව්වා. සටහනට බොහොම ස්තූතියි. පාර පුරා පෙළපාලි යනවට වඩා ගෙදර ඇතුලෙන් පටන්හන්නා මේ ක්‍රමය සාර්ථක වෙයි !!!

  11. රාජ් said, on ජූලි 27, 2012 at 4:15 පෙ.ව.

    බොහොම හොඳයි. මේ විදියට දරුවන්ට උපදෙස් ලබාදෙන්න ඕන කියල විශ්වාස කරන දෙමවුපියන් ප්‍රතිශතය ඉස්සරට වැඩිය දැන් වැඩිවුනත්, ඒක කලයුත්තේ කුමන ආකාරයටදැයි අවබෝධය අඩුයි. මේ ගැන ටිකක් දීර්ඝව ලියන්න.

    • arunishapiro said, on ජූලි 27, 2012 at 7:47 පෙ.ව.

      රාජ්,

      හැමෝට ම හරියන්න එක පිළිවෙතක් නැතිකම තමයි ඊට හේතුව. තමන්ගෙ පවුලට ගැලපෙන විදිය සමීපත්වය, සංවාදය හා විශ්වාසයන් ගොඩනැඟිය යුත්තේ කෙසේදැයි හරියට දන්නෙ තමන්. කටු සටහනක් විතරයි අනිත් අයට දෙන්න පුලුවන්. ඒක තමන්ට ගැලපෙන විදියට ලියා ගන්න ඕන අම්මයි තාත්තයි දරුවන් එක්ක එකතු වෙලා. මොකද ලෝකෙ වටේ ගිය ‘මාර පුදුම අදහස්’ තියෙන සුදුඅප්පුහාමියි මායි එක්ක මෙහෙ හැදෙන ඒත් ලංකාවේ හුරුවක් ද ගෑවිච්ච ටිකිරියාටයි සුදුසු දේවල් හරියන තවත් පවුලක් ලෝකයේ ඉන්නවා දැයි සැකයිනේ!!!

      ඒ නිසා ලංකාවේ සමාජයට ගැලපෙන්න ලියන එක රාජ්ලා වගේ අයගෙන් තමයි වැඩියෙන් කෙරෙන්න ඕනා!!!

  12. Kaushi Ariyabandu said, on ජූලි 27, 2012 at 6:09 පෙ.ව.

    අරැණි අක්කගේ මේ ලිපිය පර්වර්තනයක් වුවත් පුවත්පතක පළ කළ යුතු තරමි වැදගත්. ඇත්තමට දරවෝ දෙමවුපියන්ට තියෙන බය සහ ඔවුන්ව විශ්වාස නොකරයි කියා සිතීම නිසා බොහෝ වැදගත් කරැණු දෙමවුපියන් සමග කතා කිරීමට පෙළඹෙනවා අඩුයි. ලංකාවේ විශේෂයෙන්ම දෙමවුපියන්ට අවශ්‍ය දේ පමණක් දරැවන්ට හොද යැයි දරැවන්ගේ අදහස් ගැන සැලකීමක් නොකරන තත්වයක් උඩ දරැවන් දෙමවුපියන්ව විශ්වාස කිරීමක් සිද්ධවෙනවා අඩුයි. දරැවන් තුළ තමන් පිළිබද විශ්වාසයක් ඇති කිරීම කෝටුවකින් හෝ වේවැලකින් හෝ බැනීමෙන් දොස් පැවැරමෙන් කළ නොහැකි දෙයක්. වැරැද්දට දඩුවම් දීමත් දරුවාගේ අදහස හා නිදහසට කරැණු සැලකිල්ලට ගෙන කළ යුතු දෙයක්.. දරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම ඉතාමත් වැදගත්. විශේෂයෙන් වන යොවුන් වියේ දරැවන් සම්බන්ධයෙන්.. මේ ලිපිය මමත් හැකි තරම් අයට ලැබෙන්නට සලස්වනවා…

    • arunishapiro said, on ජූලි 27, 2012 at 7:56 පෙ.ව.

      Kaushi Ariyabandu,

      මම හිතන්නෙ එහෙම වෑයමක් මේක සටහන් කරපු ටෙරාන් කරීම් එක්ක Facebook එකෙන් එකතුවෙන එයාගෙ කට්ටිය කරාවි. අනිත් හැමෝම එකතුවෙලා මේ ගැන පුවත්පත් වලට ලියා යැව්වොත්, ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ පළ කරද්දි මේ ගැනත් දාන්න කියලා, ගොඩාක් ලිපි ලැබුනොත් පත්තර කන්තෝරු ඒ ගැනත් සලකලා බලාවි. පත්තර නොමිලේ දෙන ඒවා නෙමෙයි විකුණන ඒවා නිසා මිනිස්සු කියවන්න කැමති දේවල් දැම්මම වැඩියෙන් පත්තර විකිණේවි කියලත් එහෙම යවද්දි පත්තරකාරයන්ට මතක් කරන්නත් අමතක කරන්න එපා.

      //දරැවන් තුළ තමන් පිළිබද විශ්වාසයක් ඇති කිරීම කෝටුවකින් හෝ වේවැලකින් හෝ බැනීමෙන් දොස් පැවැරමෙන් කළ නොහැකි දෙයක්.// මෙය ඉතා වැදගත් සත්‍ය්‍යක්. ඉතාමත් ස්තූතියි මෙතැන සටහන් කළාට. ඉස්සර කාලේ තිබිච්ච ඒ වැරදි ආකල්පයෙන් ගොඩ ඇවිත් හිටියත් ආයෙත් ඒ වැරදි ආකල්පය ම රිංගාගෙන බව දකින්න ලැබෙනවා. වහාම නිවැරදි කරගත යුත්තක්.

  13. Ano said, on ජූලි 27, 2012 at 12:01 ප.ව.

    Next topic should be “How not to get shot while walking home from the store” 😉
    Trevon Martin

  14. Subhash Gunawardhane said, on ජූලි 27, 2012 at 2:25 ප.ව.

    හරිම වටින ලිපියක් අක්කා . .
    බොහෝම ස්තූතියි . .
    දරුවන්ට කුඩා කල ඉඳන් මේ දේවල් කියලා දෙන්න ඕන කියන මතේ තදින්ම ඉන්න කෙනෙක් මමත් . .

    • arunishapiro said, on ජූලි 28, 2012 at 1:11 ප.ව.

      ඔව් Subhash මල්ලි. දෙමව්පියන් තමන්ගෙ වගකීම් පැහැර හැරලා ආණ්ඩුව හදන්න ගියා කියා ඵලක් නැහැ. ආණ්ඩුවක් හැදෙන්නෙ මිනිස්සු හැදුනොත්.

  15. ලංකාවාසී.. said, on ජූලි 27, 2012 at 2:43 ප.ව.

    කාලෝචිත හරිම වැදගත් ලිපියක්… බොහොම ස්තුතියි!

  16. budhajeewa said, on ජූලි 28, 2012 at 5:52 පෙ.ව.

    “වැඩිහිටියන්ට ගරු කරන්න“

    දරුවෙකුට දිය හැකි අඥානම අවවාදය හෙවත් වයසින් වැඩි ඕනම කෙනෙක් කියන ඕනම දෙයක් විශ්වාස කරන්න, කරන්න, පිළිගන්න කියන කෙහෙල්මල සමාජයෙන් අයින් කරන්න ඕනෑ.

    • arunishapiro said, on ජූලි 28, 2012 at 1:44 ප.ව.

      budhajeewa,

      ඕක සමාජයෙන් අයින් කරන්න ඕනැයි වැරදියට අල්ලා ගත්තු නිසා මේකයි වුනේ මම දැකලා තියෙන සමහර ලාංකිකයන්ට. ඒ දරුවන්ට අසිමීත නිදහස දීලා, කරන කිසි වැරැද්දක ‘වැරදිකම’ පෙන්වා නොදී සිටීම නිසා වැඩිහිටියන්ට ගරු නොකරන එහෙත් හොඳ නරක කුමක් දැයි නොදන්නා ද පිරිසක් බිහිවුනා.

      වැඩිහිටියන් කියන දෙයකට හිස නමා පිළිගන්නට දරුවන් පුරුදු කරනවාට වඩා, වැඩිහිටියන්ගේ හැදියාවෙන් ඒ අය මනින්න දරුවන්ට ඉඩ දෙන්න ඕනෑ. ඒකට ස්වභාවික වූ විජට්ටුවක් ‘හැඟීම්’ වලින් හැදිලා මිනිස් මොළයේ පිහිටලා තියෙනවා. පුංචි දරුවෙක් වුනත් දන්නවා ඇඬෙන්න විහිළු කරන්නෙ කොයි මාමා ද, හිනායන්න විහිළු කරන්නෙ කොයි මාමා ද කියල. අපි ඒකට වැඩෙන්න ඉඩක් නොදී ඒක වෙනස් කරන්න යනවා ‘වැඩිහිටියන්ට ගරු කරන්න’ වගේ නොවිමසා බැලූ අදහස් වලින්. තමන් බොරු කියන ගමන් දරුවන්ට බොරු කියන්න එපා නොකියා, තමන් වංචා කරන ගමන් දරුවන්ට වංචා කරන්න එපා නොකියා … යනාදියෙන් නැතිව lead by example වෙන්න පුළුවන් නම් දරුවන්ටත් කුඩා කාලයේ සිට ම එය පැහැදිලි කරන්න වෙන වෑයමක් අවශ්‍ය නැහැ.

      • budhajeewa said, on ජූලි 28, 2012 at 9:18 ප.ව.

        “වැඩිහිටියන්ට ගරු කරන්න” වගේ වෘෂභ දෙසුම් නැතිව, කියන්න ඕනෑ එකම දෙයයි තියෙන්නේ. හැම මිනිහාටම මොළයක් ලැබිලා තියෙන්නේ ඒක පැත්තක තියලා අනිත් අය කියන විදියට වැඩ කරන්න නෙවෙයි. මොන කෙනා මොනදේ කීවත් ඔළුගෙඩිය ඇතුලෙ තියන මොළගෙඩිය පාවිච්චි කරන්න පුංචි කාලෙ ඉඳළ පුරුදු කළොත්, අන්ධ විදියට “වැඩිහිටියන්“ට ගරු නොකරන වගේම අවශ්‍ය තැනදි වයසින් අඩු කෙනෙක් කියන දෙයක් උනත් සැළකිල්ලට ගන්නා කෙනෙක් ඇති වෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: