අරුණි ශපීරෝ‍ වෙතින්

හිංසකයෙක් නොවෙන්නට දරුවෙක් හදන්නේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on ජූලි 27, 2012

අංගුලිමාල බුදුන් විසූ දඹදිව සිටියෙකි. මුලාවෙන් වූවන් විසින් තමන් එල්බ සිටින මුලාවෙන් ම අනුන් උසි ගන්වා උන් අතට මුගුරු දී අනුන් මරන්නට යවති. අද ලෝකයේ ද එසේ යන අංගුලිමාලලා සිටිති.

අනුන් මෙසේ යැයි කියූ දෙයක්, කෙසේද යන්න තමන් විසින් විමසා නොබලා කරන්නේ ද එයා අංගුලිමාලයෙක් වෙන්නේ ද?

“එව බලව …” යැයි කියාදුන් දහමක් අදහන බහුතරයක් ඉන්නා රටක මුලාවන් හිස් මුදුනින් පිළිගන්නා හැදියාව නතර කිරීම වෙන කාගේ වත් නොව තමන්ගේ වගකීම ය.

දුප්පත් බැවින් අපරාධ කරන්නේ යැයි කීම දුප්පත් සද්ගුණවත් පුරවැසියනට කරන ද්වේෂ සහගත අපහාසයකි.

නූගත් අය අපරාධ කරනවා යැයි කීම සද්ගුණවත් නූගත් අයට කරන අපහාසයකි.

මානසික ලෙඩ්ඩු අපරාධ කරනවා යැයි කීම අපරාධ නොකරන මානසික ලෙඩ්ඩුන්ට කරන අපහාසයකි.

මාධ්‍ය්‍ය නිසා කුල්මත් වී අපරාධ කරනවා යැයි කීම මාධ්‍ය්‍ය රසවිඳින එහෙත් අපරාධ නොකරන සියල්ලන්ටම කරන අපහාසයකි.

අවි ගත්තවුන් අපරාධ කරනවා කීම නීත්‍යානුකූලව අවි ඇති එහෙත් අපරාධ නොකරන සියල්ලන්ට ම කරන අපහාසයකි.

දුප්පත්, නූගත්, මානසික ලෙඩෙක් වීම, මාධ්‍ය්‍ය හෝ නීත්‍යානුකූල අවි ඇති නිසා නොව අයෙක් අපරාධකරුවෙක් වෙන්නේ එයා අපරාධයක් කළ නිසා ය. දුප්පත් නැති, නූගත් නොවන හා මානසික ලෙඩෙක් නොවන අය ද අපරාධ කරති. මාධ්‍ය්‍ය බලන්නේ නැති අයත් අපරාධ කරති. වැඩියෙන් අපරාධ සිද්ධ වෙන්නේ නම් නීත්‍යානුකූල අවි නැති අය අතිනි!!!

අයෙක් අපරාධයක් කරන්න තීරණයක් ගත්තා යන වගකීම අපරාධකරුවා වෙතින් අහක් කර, එය සමාජයේ දරීද්‍රතාවය, නූගත් බව, මානසික ලෙඩෙක් වීම, මාධ්‍යය නිසා හෝ නීත්‍යානුකූල අවි අයිතියට ඉඩ ඇති නිසා, යන්නෙන් විග්‍රහ කරන්නට යෑමේ දී ඇති දැඩි කරන්නේ වරද තමන්ගේ දැයි සොයන්නේ නැතිව වරදේ යෙදෙන අංගුලිමාලලා ය.

අයෙකු සතු පුද්ගලික වූ දේපල කුමක් දැයි නොදන්නා සමාජයකට, අයෙකුට තමන්ගේ සිරුරට පුද්ගලික අයිතියක් ඇතිබව ද වටහා ගැනීම අසීරු ය. අයෙක් සතු දේපල එයාගේ ස්ව උත්සාහයෙන් හම්බ කරගත්තක් නොව සමාජය විසින් දුන් නිදහස් අධ්‍යාපනයෙන්, සමාජය විසින් දායාද කරන ලද සංස්කෘතික උරුමයෙන් හා සමාජය විසින් දෙන ලද අවස්ථා වලින් ලැබෙන්නක් බව හිතන රටාව නිසා තම දූ දරුවන් ද තමන්ගේ කැමැත්ත අනුව කැමැත්තක් කරත හැකි දේපල යැයි සිතාගෙන සිටිති.

වගකීම නැති සමාජයක, අනුන්ගේ දේපල ඔවුන් අයිති කරගත්තේ යම් බලහත්කාරකමකින් හෝ වරප්‍රසාදයකින් යැයි (වැඩියෙන් ම වෙන්නේ එහෙම නිසා) එය නිවැරදි ක්‍රමය යැයි සිතන හුරුවෙන් මුලා වූවා අනුන්ගේ දේපල කඩා බිඳ දැමුවාට කමක් නැතැයි ද සිතති. අනතුරුව මහජන දේපල යනු තමන්ගේ දේපල බව නොදන්නා නිසා මහජන දේපල විනාශයට ද නොපසුබට වෙති. මහජන දේපල වලට සෙසු පුරවැසි ජීවිත ද අයත් වෙන්නෙන් ඒවා ද විනාශයට ඉදිරිපත් වෙන්නේ මුලාවේ පතුලට ම කිඳා බැසගෙන ය.

පුද්ගල අයිතිය නම් ඒ ඒ පුද්ගලයාට තමන්ගේ සිරුරට, තමන්ගේ වෙහෙසින් උපයා ගන්නට ඇති අයිතිය යැයි නොදකින්නාට උදුරා ගැනීමක් යනු තමන්ට අයිති දෙයක් වෙන කෙනෙක් ගත් නිසා එය ආපසු ගැනීමක් පමණි. එසේ හිතන්නට අංගුලිමාලයෙක් අප පුහුණු කර ඇත්තේ වගකීම ඔහු වෙතින් ඉවත් කර, වැරැද්ද ඔහුගේ තීරණයක් නිසා නොවේ, ඔහු කරන වැරැද්ද සමාජයෙන් ඔහුට අඩුපාඩුවක් වීමේ වැරැද්දක් නිසා යැයි කීමෙනි.

ආණ්ඩුවල සැලසුම් ගහනා අයට දුප්පතුන්, නූගතුන් හා මානසික ලෙඩ්ඩු අවශ්‍යය. තමන් විසින් තම දියුණුව සලසා ගන්නා අයට සැලසුම් අවශ්‍ය නැත. අහිංසකයන් යැයි හංවඩු ගසා ආරක්ෂාව සලසන්නට පීඩිතයන් පිරිසක් අවශ්‍යය. පීඩිතයන් නොවන පිරිස තමන්ගේ සුවසෙත සලසා ගන්නා වගකීම ගන්නා නිසා එසේ වගකීමක් ගන්නට හැමෝටම ඉඩ දුන්නහොත් සැලසුම් ගහනා අයගේ රස්සාවන් අවශ්‍යතාවය නැති වී යති.

එහෙයින් අංගුලිමාලයන් පිරිසක් සොයා ගැනීම සැලසුම් ගහනා විසල් ආණ්ඩු වලට, සමාජ සුබ සේවා සංවිධාන වලට, දේශපාලන පක්ෂ නම් වූ ‘දිසාපාමොක්ලා’ නැතිවම බැරි වූවකි.

උපන් නැකතේ දී අපරාධකාරයෙක් වේ යැයි අනාවැකි කියූ නිසා දරුවාට අහිංසක යැයි නම වැටේ. එනම් උප්පත්තියේ දී ම ඔහු වර්ගීකරණය වෙන්නේ අපරාධකරුවෙකු වෙන්නට හැකියාව ඇත්තෙක් ලෙසට ය!!!

අහිංසක යන්නේ තක්ෂිලාවට ය. එහි දී දක්ෂ සිසුවෙක් වෙන අහිංසක ගුරුවරයාගේ සිත දිනා ගනියි. බොරුවෙන් මුලාවෙන් අහිංසකයන් රවටා ගන්නා හැදියාව එදා දඹදිව ද මනාව තිබි බව පැහැදිලි වෙන්නේ ගුරුවරයාගේ අඹුවගේ සිත් දිනා ගුරුවරයාට වඩා තමන් දන්නේ යැයි අහිංසක කිව්වා යැයි මුලාවක් ගොතන්නට දක්ෂ සිසුවාට වැට කපන පිරිසක් ඉදිරිපත් වීමෙනි. ඊට රැවටෙන ගුරුවරයා තමන් ද කොතරම් නැණවත් වුවත් බොරුකාරයන්ගේ මුලාවට හැඟීම් නිසා හසුවන බව ඔප්පු කරයි.

ඉගෙනුම සම්පූර්ණ කරන අවසන් වතාවත් තෑග්ගක් පිණිස ඇඟිලි දාහක්, දාහක් පුද්ගලයන් වෙතින් කපාගෙන එන්නට අහිංසක පිටත් වෙයි. නූතන ලෝකයේ ද තමන් කරන ක්‍රියාව ගැන නොවිමසා එහෙත් එහි යෙදෙනා මහත් පිරිස අංගුලිමාල අනුගමනය කරන්නෝ වෙති. වගකීම දන්නා දෙමව්පියන් විසින් තම දරුවන්ට තරයේ කියා දිය යුත්තේ අනුන් කියන දේවල් තමන් විමසා නොබලා අනුගමනයෙන් තම වගකීම පැහැර හැරෙන බවයි. එහෙත් ඊට ලැබෙන විපාක විඳින්නේ ඒ කියන අය නොව කරන තමන් බවයි.

විමසන්නට හැකියාව, මොළයක් ඇත්තා උප්පත්තියෙන් ලද්දකි. එය දුප්පත්කම නිසා ඇණ හිටියක් නෙමෙයි. මන්ද දුප්පත් අහිංසකයන් සියල්ලන් ම අංගුලිමාලයන් නොවෙන නිසා ය. එය නූගත්කම නිසා නතර වූවක් නෙමෙයි. මන්ද නූගත් අහිංසකයන් සියල්ලන් ම අංගුලිමාලයන් නොවෙන නිසා ය. එය මානසික ලෙඩෙක් වූ නිසා නතර වෙන්නක් ද නොවෙයි. මන්ද මානසික ලෙඩ්ඩු සියල්ලන් ම අංගුලිමාලයන් නොවන නිසා ය.

දුප්පත්, නූගත්, මානසික ලෙඩ්ඩු, මාධ්‍ය්‍ය රසවිඳින, අවිගත් අය කරන අපරාධ ම කරන පෝසත්, උගත්, මානසික ලෙඩ්ඩු නොවන, මාධ්‍ය්‍ය නොබලන, අවිනොගත් අය අහිංසකයන් නොවී අංගුලිමාලයන් ම වෙන්නේ එකම එක හේතුවක් නිසා පමණි. එනම්, තමන් විසින් වගකීමකින් තොරව තීරණයක් ගැනීමෙනි.

බුදුන් ධර්මය කියා දුන්නේ අංගුලිමාලට ය. නැතිව එදා දඹදිව දිසාපාමොක් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්නට ගියේ නැත!!!

ධර්මයක් හෙළි කර දුන් පසු පමණක් එම ධර්මය හෙළි කරගත් ආකාරයටම අපි වනගත වී භාවනා කරන්නට පෙළඹෙන්නේ මන්ද? අපට හෙළි කර දුන් සත්‍යය තේරුම් ගැනීමට බැරිද? එය ශුද්ධ පව්ත්‍ර කොට තේරුම් කරදුන් පසු වැටහෙන්නේ නැති මෝඩයින්ට මුල් පටන් භාවනා කොට අළුතෙන් යමක් සොයා ගැනීමට හැකිවේද?” -සුමනදාස සමරසිංහ

වරදක් කෙරූ අයගේ වැරදි තීරණය පෙන්වා දීමෙන් ධර්මය කියා දීම අද සිද්ධ වෙන්නේ එංගලන්තයේ ද? අංගුලිමාලයන් වූ අයට වගකීමක් ගෙන අහිංසකයන් වෙන හැටි කියා දෙන්නේ ඇමෙරිකාවේ ද?

බුද්ධියේ සරණ යන්න. ධර්මයේ සරණ යන්න. ධර්මය නිවැරදිව කියාදෙන අයගේ සරණ යන්න.

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. කවුළුව said, on ජූලි 27, 2012 at 9:50 පෙ.ව.

    // එදා දඹදිව දිසාපාමොක් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්නට ගියේ නැත//

    කට්ටිය කෝකටත් තෛලය වගේ පාවිච්චි කරන්නෙ “මේ ක්‍රමයේ වැරද්ද, අරයගෙ වියවස්තාවේ වැරද්ද, පනිවිඩ කාරයගෙ වැරද්ද” වගේ ලිස්සලා යන උත්තර තමයි

    • arunishapiro said, on ජූලි 27, 2012 at 10:19 පෙ.ව.

      කවුළුව,

      ඔව්, 100% සාර්ථක වෙච්ච, ‘සියළු ක්‍රියාවන්ට සිත මූලික වෙයි’ කියන ‘මනෝ පුබ්බං ගමා ධම්මා’ බහුතරයට අමතක වී ගිහින්. සමහර විට ඒකත් අර ක්‍රමයේ සිත, ඒ ව්‍යවස්ථාවේ සිත, පණිවිඩකාරයාගේ සිත වගේ හිතනවා ඇති ඒක තමන්ගෙ ම හිත බව නොහිතා!!!!

    • Ano said, on ජූලි 27, 2012 at 12:18 ප.ව.

      “බුදුන් ධර්මය කියා දුන්නේ අංගුලිමාලට ය. නැතිව එදා දඹදිව දිසාපාමොක් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්නට ගියේ නැත!!!”

      I agree with the first part but not the second part.
      I think the intention was to first discipline the individual to discipline the society.

      • arunishapiro said, on ජූලි 27, 2012 at 1:27 ප.ව.

        Ano,

        ස්ටාලින්, හිට්ලර්, මා ඕ සේතුං …. අසාද් වගේ අය පුද්ගල ශික්ෂණයෙන් හදන්න ගිය සමාජ ශික්ෂණයට වෙච්ච දේ ලෝකය දන්නවා ඔයා නොදන්නවාට.

  2. Amarasinghe Sujatha said, on ජූලි 27, 2012 at 11:50 පෙ.ව.

    දැං බලාගෙන යනකොට තමංගෙම බ්ලොග් එකේ ඇනෝවෙක් හැටියට ඇවිත් කොමෙන්ට් කරන අයත් ඉන්නවනෙ. cyber bullying කියන්නෙත් හිංසනයක්නෙ. ඔහොම කරන අය ඇති වෙන්නෙත් යම් අනිසි බලපෑමක් වෙච්ච අය නිසාද?

    • arunishapiro said, on ජූලි 27, 2012 at 12:32 ප.ව.

      සුජාතා නංගි,

      ලෝකය මැවූ සහ එය පාලනය කරන්නා වූ දෙයියෙක් ඉන්නවා යැයි මම අදහන්නෙ නැති වුනාට ඔන්න ඔය වෙලාවට තමයි හිතෙන්නෙ යම්කිසි රීතියක් හැමදාම තියෙන බව. ස්වභාව ධර්මයෙන් හා තිබිච්ච දෙයකින් නොවී පළමු වතාවට බිහි වූවක් ලොව තිබෙනවා ද? සයිබර් හිංසනය වගේ ඉස්සර කාලේ කළේ නිර්නාමික කැලෑ පත්තර වලින්!!! ඒත් අද වගේ ම එදාත් කවුද ලිව්වෙ කවුද බෙදාහැරියේ කියා දන්න ගම්මු දන්නවා!!!!

      ස්ව උත්සාහය කුමක් දැයි සහ අනුන්ගේ දේපල මොනවා දැයි කියා නොදී හදපු අංගුලිමාලලා ද නැත්නම් ඒ ඇනෝ නම් අනුන් ගැන කැක්කුමක් නැති මනෝව්‍යාධිකයෙක් දැයි සැකයි. හැකි තරම් දුරස් වෙලා ඉන්න එක ඇඟට ගුණයි. අංගුලිමාලලා වගේ නෙමෙයි මනෝව්‍යාධිකයන් වෙනස් කරන්න බැහැනෙ. දේවදත්තයෙක් එදත් සිටියා.

      ඕනෑම කෙනෙකුගේ ප්‍රතිචාරයක් තමන්ගෙ පුද්ගලික අඩවියේ පළකිරීමට ඉඩදෙන්නෙ උදාරත්වය (generosity) නිසා බව දන්නෙ නැතිව ඇනෝ විදියට එන, ඒකත් තමන්ගෙ අයිතියක් කියල හිතන අංගුලිමාලයන්ට මම නම් ඉඩ දෙන්නෙ එයාලගේ අනුවණකම් සිංහලෙන් කියවන අනිත් අයට දැනගන්නයි. 😀

    • අටම්පහුර said, on ජූලි 29, 2012 at 2:11 ප.ව.

      අපේ දැනුම වර්ධනය කරනවාට ඔබට පින්

  3. virtualpathum said, on ජූලි 27, 2012 at 12:38 ප.ව.

    “ධර්මයක් හෙළි කර දුන් පසු පමණක් එම ධර්මය හෙළි කරගත් ආකාරයටම අපි වනගත වී භාවනා කරන්නට පෙළඹෙන්නේ මන්ද? අපට හෙළි කර දුන් සත්‍යය තේරුම් ගැනීමට බැරිද? එය ශුද්ධ පව්ත්‍ර කොට තේරුම් කරදුන් පසු වැටහෙන්නේ නැති මෝඩයින්ට මුල් පටන් භාවනා කොට අළුතෙන් යමක් සොයා ගැනීමට හැකිවේද?” මෙන්න මේ ටික ඇයි හාමුදුරුවරු බණට කියන්නේ නැත්තෙ? හාමුදුරුවරු දන්නෙ නැද්ද? නැත්නම් දැනගෙන නොකිය ඉන්නවද? ඇයි හැමදාම මුල ඉඳන් පටන් ගන්න කියන්නේ?

    • arunishapiro said, on ජූලි 27, 2012 at 12:52 ප.ව.

      virtualpathum,

      මමත් ඇහැව්වා ඕක තාත්තාගෙන්, (එහෙම පොතක ලිව්වෙ මගේ තාත්තා) එතකොට තාත්තා කිව්වෙ සමහර හාමුදුරුවරු දන්නෙ නැහැ කියල, සමහර අය දැනගෙන කියන්නෙ නැහැ කියල.

      මම පස්සෙ කාලෙක හාමුදුරුනමක් ගෙන් ඇහැව්වා ඕක. හාමුදුරුවෝ කිව්වෙ මිනිස්සු එන්නෙ බෙහෙත් පෙත්තක් ඉල්ලා ගෙන මිසක් රෝගෙ සුව කරගන්න හැටි ඉගෙන ගන්න නෙමෙයි කියල.

      ඉතින් මේක අපේ ම වැරැද්ද. අපි ඉල්ලන දේවල් තමයි අපිට ලැබෙන්නෙ. ආණ්ඩුවෙන් සහ ආගමික නායකයන් ගෙන්.

  4. virtualpathum said, on ජූලි 27, 2012 at 1:21 ප.ව.

    ආචාර්ය ඊ.ඩබ්ලිව් අදිකාරම් මහත්තය ගැන ලියවිච්ච අහිංසාවේ උල්පත පොතෙත් ඕක ලස්සනට තියෙනව. අපි හැමදාම කරන්නේ වෙදාටයි බෙහෙතටයි වැඳ වැඳ ඉන්නව විතරයි කවදාවත් බෙහෙත ගන්නෙ නෑ කියල. ඔබේ පියාගේ සමකාලීන යැයි සැළකිය හැකි. ඔය මඟ වටහා ගත් වැඩිහිට් කිහිප දෙනෙකුගේ ඇසුර දැනට අවුරුදු 5-6ක් තිස්සේ ලබමින් වටහා ගත් දේවල් නිසයි මම මෙහෙම කියන්නේ. කියන දේ වටහා ගත හැකි යැයි සැලකිය හැකි පිරිස ඉතා සීමිත නිසා බොහෝ වෙලාවට සද්ධ නොකර බලාගෙන ඉන්නවා. ලංකාවේ සිටී නම් පැමිණ හමුවී කතා බස් කිරීමට කැමතියි.

    • arunishapiro said, on ජූලි 27, 2012 at 1:40 ප.ව.

      virtualpathum,

      ඔව් අදිකාරම් මහත්තයාගේ දේශන, ඇලෙක් රොබට්සන්ගේ දේශන ඒ කාලේ සෑහෙන්නට මනස විවෘත කළ දේශන වූවා. ලංකාවේ නෙමෙයි දරුවෝ මම ඉන්නෙ, ඇමෙරිකාවේ. මෙහෙත් හරි මඟේ හිතන අය අඩු වී ගිහින් නැවතත් වැඩි වී ගෙන එන්නෙ. ආයෙත් ලංකාවට ආපු දවසක හමුවෙන්න බලමු.

  5. wicharaka විචාරක said, on ජූලි 27, 2012 at 1:32 ප.ව.

    තමන්ගේ දරුවන් අමු අමුවේ කන දෙමවුපියන් සැලකිය යුතු ප්‍රමාණයක් මම දැක තිබෙනවා. ඒ අය ළමයින් කන්නේ මෙහෙමයි.

    1. තම දරුවන් හෝ අනෙකෙකුගේ දරුවන් ඉදිරියේ කුණුහරපෙන් බැණ ගැනීම/දබර කිරීම.

    2. තම දරුවන් හෝ අනෙකෙකුගේ දරුවන් ඉදිරියේ වෙනත් වැඩිහිටියන්ගේ පෞද්ගලික චර්යා විවේචනය කිරීම.

    3. තම දරුවන් හෝ අනෙකෙකුගේ දරුවන් ඉදිරියේ ඒ දරුවන්ගේ පාසල් ගුරුවරුන් විවේචනය කිරීම.

    මම කියන්නේ කුණුහරප කීම, දබර කරගැනීම, විවේචනය කිරීම, දරුවන් නැති තැනක කරපියවූ. තොපේ අසූචි ලමයින්ට කවන්න එපා කියලයි.

    • arunishapiro said, on ජූලි 27, 2012 at 1:47 ප.ව.

      wicharaka විචාරක,

      ඒකටත් කියයි අපේ ගෙවල් පුංචියි රණ්ඩු වෙන්න වත් යන්න තැනක් නැහැ කියලා නිදහසට හේතුවක් හැටියට!!!

  6. chaminda said, on ජූලි 28, 2012 at 4:57 පෙ.ව.

    අසැබි චිත්‍රපට නැරබීම තුලින් මනසට සිදුවන්නේ කුමක්ද
    1. අපචාර වලට යොමුවීම වැඩිවෙනවද
    2. විකෘති ලිංගික ආශාවන් ඇතිවෙනවද

    • arunishapiro said, on ජූලි 28, 2012 at 1:31 ප.ව.

      chaminda,

      ඒ ගැන විග්‍රහයන් බොහොමයක් දැනට ඇතිවෙන්න කරලා තියෙනවා, විවිධ වූ ක්ෂේත්‍රයන් වලින්. අසැබි නෙමෙයි ඕනෑම වැඩ සටහනක් බලන්න රූපවාහිනියට කාලය යෙදවීමෙන් මනස හැකිළෙනවා. පොතක් කියවද්දි හිතේ ඇඳෙන රූප සහ රේඩියෝ වැඩ සටහනක් අහද්දි හිතේ ඇඳෙන රූප වගේ මනස ක්‍රියාකාරීත්වයෙන් නැත්නම් සහභාගීත්වයෙන් ඉතාමත් අඩුවෙන්නේ රූප පෙට්ටිය දිහා බලාගෙන සිටිය දී. ඊට හුරු වූ අයෙකුගේ මොළය පොත් කියවන හා රේඩියෝ අහන අයට වඩා දුර්වල විදියට ක්‍රියා කරන්නෙ.

      අසැබි කියන්නෙ කුමක් ද යන්න ඊ ළඟට ගැටළුවක්. ලංකාවේ, සවුදි ආරාබියේ, ඇම්ස්ටර්ඩෑම් වල, එංගලන්තයේ, ඇමෙරිකාවේ එකම විදියට අසැබි යන්න පිළිගැනෙන්නේ නැති කල, ඒ ගැන පළමුව කතා බහක් නොකර අසැබි කියලා පොදුවේ කතා කරන්න බැහැ.

      ඊ ළඟට ඇයි චිත්‍රපටි විතරක් ගන්නෙ? ඇයි අප්‍රිකානු ගෝත්‍රිකයන් ගැන විස්තරාත්මක වැඩ සටහනක් බැලුවොත්, නැත්නම් එදා හෙළදිව චාරිත්‍ර වාරිත්‍ර ගැන වැඩ සටහනක් හැදුවොත්, අපචාර වලට යොමු වෙයි හෝ විකෘති ලිංගික ආශාවන් ඇතිවෙයි ද කියලා අහන්නෙ නැත්තෙ?

      අයෙක් දකින දෙයක් නිසා නෙමෙයි අපචාර වලට යොමු වෙන්නේ හෝ විකෘති ලිංගික ආශාවන් ඇතිවෙන්නේ. යමක් දකින්නාගේ දැනුම, පසුබිම, ඒ ගැන කතාබහ කරන අය කියන්නේ මොනවා ද, ඒ සිද්ධිය හා සබැඳි වූ තවත් බලපෑමක් නිසා යනාදී විවිධ හේතු වලින්. ඒවා සියල්ලම එකම දෙයක් දකින දෙන්නෙකුට බලපාන්නේ එකම විදියකින් නොවේ.

      අනිත් පැත්තෙන්, හැම සමාජයක් ගත්තම විමසන්නේ නැති අය බහුතරය නිසා, ඒ අයගේ දැනුම, පසුබිම … යනාදිය එක හා සමාන වෙන නිසා, එයාලා බලන චිත්‍රපටියකින් හෝ යම් වැඩ සටහනකින් පසු හැසිරෙන්නේ සමාන වූ හැසිරීම් වලින්. ඒත් ඒ සමාජයේ ම විමසන්න පුරුදු කරලා තියෙන කෙනෙක් ව, දැනුම පසුබිම … වෙනස් ලෙසින් ලැබිච්ච කෙනෙකුට වෙනස් වූ හැසිරීමකින් ද ඉන්න පුළුවන්.

      ඉතින්, අසැබි චිත්‍රපටි නැරඹීම තුලින් සිදු වන්නේ කුමක් ද යන්නට උත්තරය ඉහත දෙකම නෙමෙයි, ඒකට උත්තරය එය නරඹන්නට තෝරා ගන්නා අයෙක්, එය බලා ඉන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ එයාගේ හැදියාවෙන් හා ඉගෙනුමෙන් සොයන දෙයයි.

  7. chandi said, on ජූලි 28, 2012 at 11:48 පෙ.ව.

    ස්තූතියි, මුලින්ම. මෙහෙම බේරිලා ඉන්න අය බොහොමයි. හැම දෙයකටම හේතුවක් හොයනවා නිදහසට. මගේ මහත්තයා ප්‍රදේශයේ දහම් පාසැලක උගන්වනවා. ඒ අය හරිම අසරන පවුල්. දවසක් මහත්තයා උගන්වත්දි ළමයින්ට කියලා තියෙනවා “දරුවනේ මම මගෙ පුතාලට වගේම ඔය දරුවන්ටත් ආදරෙයි” කියලා. එතකොට එක පුතෙක් නැගිටලා කිව්වාලු අනේ සර්, මම නම් ඔහොම කෙනෙක් කියනවා ඇහුවෙත් අදයි. අපේ ගෙවල්වල අපිට කතාකරන්නෙ බල්ලො බළල්ලුන්ට වගේ. උදේ හිට රෑ වෙනතෙක් අපිට බනින එකමයි අපෙ අම්මලාගෙ වැඩේ” කියල.
    මට රෑ කෑම මේසෙදි එයා ඔය කතාව කිව්වා. අපේ පුතාල දෙන්නත් එතන. මටත් කඳුළු ආවා ඒක අහලා. මම නිතරම පින් දෙනවා එයා ඒ දහම් පාසැලට උගන්වන්න ගිය එකට.

    දරුවන්ට ආදරය අවශ්‍යයි, රැකවරණය අවශ්‍යයි, වරදක් කරනවිට එය ආදරෙන් පෙන්වාදීම අවශ්‍යයි, ඒ වගේම වරදක් කල පමණින් ඒ අය ඈත් කිරීම නොකල යුතුයි. තව තවත් සෙනෙහස දී එයාලට එය තේරුම් යනවිදිහට කටයුතු කල යුතුයි.
    දරුවන් ඉදිරියේ යහපත් වචන කතා කල යුතුයි. ඒ අය ඉදිරියේ නරක වචන පාවිච්චියේ විපාක විචාරක ගේ සටහනින් පේනවනේ.
    හොඳ පරිසරයක හැදෙන දරුවෙක් ලොවටම පහනක්.

    අද නිවැරදි දහම කියාදෙන ස්වාමීන් වහන්සේලා හරිම අතලොස්සයි ඉන්නෙ. ඒ අයටත් සමාජය ගරහනවා මිසක පිළිගැනීමක් නැහැ. ධර්මය දකින්නෙ නෑ. බුදුහාමුදුරුවොත් කියල තියෙනවානේ මේ දහම දන්න අයටත් දකින අයටත් කියල.

    • arunishapiro said, on ජූලි 28, 2012 at 2:09 ප.ව.

      chandi,

      ඔව් චාන්දි අක්කා. එක පැත්තකින් හැම දේටම කඩා පනින සහ අනිත් පැත්තෙන් හැම දේටම ඉඩ දෙන අයත් දෙකම වැරදි. ආදරය, රැකවරණය හා වරදක් කරන විට එය ආදරයෙන් පෙන්වා දෙන අය ඕනෑ. සමහරු ඉන්නවා ඕන දෙයක් කරන්නට ඉඩ දීලා මේ වැඩෙන දරුවන්ට නිදහස අවශ්‍යයි කියන අය. ලොකු ලොකු අයගෙ දරුවන්ව එහෙම කියමින් තමන් ද වැරදි කරන දෙමව්පියන් අතින් හැදෙනවා දකිද්දි අනුකරණයට හුරු සමාජයක පොඩි පොඩි අයත් හිතන්නෙ ඒක තමයි නිවැරදි ක්‍රමය කියල. දරුවන්ට තෝරා ගැනීමේ නිදහස දීම අවශ්‍ය්‍යි, ඒ එක්කම යමක් තෝරා ගැනීමේ දී අත්විඳින්නට සිද්ධ වෙන හොඳ හා නරක කියා දෙන ගමන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: