අරුණි ශපීරෝ‍ වෙතින්

හිතේ ලෙඩක් නිසා නිදහසත් වගකීමත් නැතිවෙනවා ද?

Posted in Uncategorized by arunishapiro on ජූලි 29, 2012

ළමා අපචාර වෙනුවෙන් මරණ දණ්ඩනය යළි ක්‍රියාත්මක කරන්නට පටන් ගත යුතු යැයි වාර්තාව පළ වූ පුවත්පතේ ම, දැන් කියන්නෙ ළමා අපචාර වලින් 60% ක් දෙමව්පියන්ට අහුවෙච්ච ආදර සබඳතා වාර්තා වීමයි කියා නීතිපති පාලිත ප්‍රනාන්දු විසිනි.

නීතියේ රීතිය කුමක් දැයි වටහා නොගත් කළ, රදළයන් හිස් ගසා, පල්ලියේ වස්තුව උදුරා ගෙන, උරුමයෙන් ඔටුන්න පමණක් නොව හිසත් අහිමි වූ රජෙක් වෙනුවට නැපෝලියන් නම් එම්ප්‍රද්‍රෝරුවෙක් ගෙනැවිත් රට හදනවා වෙනුවට සහෝදර සමාගමක් හැදූවේ ප්‍රංශයයි. මිනිස් ස්වභාවය පැහැදිලිව පෙන්වන ඉතිහාසය නොදන්න අයට ඉහළ පුටුවලට ඇමතිවරුන්ගේ භාර්යාවන් පත්වීම, අවුලෙන් පිරි සමාජයක අවුලෙන් ඉන්නා පුරවැසියන්ගේ නිදහස ඇකිළෙන වැඩක් බව පසක් වන්නට කොතරම් කාලයක් යාවි ද?

අහිංසක මිනිස්සු මානසික රෝහල් වල සිරගත කිරීමත්, වරද කළ අයව සිරගෙවල් වලින් නිදහස් කිරීමත් යන දෙකට විරුද්ධව අදහස් කියා පෑවේ Thomas Szasz නැමති ඇමෙරිකන් මනෝචිකිත්සකවරයෙකි.

සාස්ට අනුව මනෝමය ස්වභාවයක් නිසා, තවත් විදියකින් කියනවා නම් මොළයේ ඇති නියුරෝරසායනික වෙනස්කමක් හෝ අඩුපාඩුවක් නිසා එයින් සමාජයේ පුද්ගලයෙකුට ලැබෙන නිදහස අහිමි කිරීමට සේ ම එයාට පැවරෙන වගකීම ඉවත් කිරීමටත් බැරි ය.

කුඩා කාලයේ ලෙඩ රෝග වලින් පීඩා විඳි දරුවෙක් වූ තෝමස් එයින් තමා වැදගත් පාඩම් ඉගෙන ගත් බව කියයි. එහෙම ඉගෙන ගත්තු පාඩමක් තමයි ලෙඩක් හැදුනාම අනිත් අයගෙන් ලැබෙන වාසි: කැමති තරම් නිදාගන්න, කරුණාව දයාව පිරුණු කතාබහ, කැමති ආහාර වැඩියෙන් ලැබීම, පාසැල් පොත් පාඩම් කිරීම වෙනුවට චිත්‍ර අඳින්න, පාට කරන්න කාලය ලැබීම. මෙයින් මිනිසා බොරු ලෙඩ වලට හුරු වෙනවා යැයි තෝමස් සොයාගන්නේ කුඩා කාලයේ සිය අත්දැකීමෙන්.

Frances Hodgson Burnett ලියන The Secret Garden (1911) එන කොලින්ගෙ චරිතය මේකට කදිම උදාහරණයක්. කොලින් නැමති දරුවාව ලෙඩෙක් කරවන්නේ පියා ද? කොලින් ලෙඩෙක් ලෙසින් ඇඳේ කාලය ගත කරන්නේ පියාගේ ආදරය සොයන ගුංඩුවක් හැටියට ද? කොලින් ශාරීරිකව ලෙඩෙක් බවට පත්වෙන්නේ බොරු ලෙඩ ඇත්ත වීමෙන් ද? මේරි හමු වුනාට පසු උද්‍යානයේ කාලය ගෙවන ඔහු ඒ මිතු දමෙන් ප්‍රබෝධමත් වී එළිමහනේ කල් ගෙවීමෙන් පසු නිරෝගී සුවය ලබන්නේ කයේ රෝගය මනසේ වික්‍රමයෙන් ජය ගෙන ද?

ශාරීරික රෝග මෙන් නොව මානසික රෝග හඳුනාගැනීමේ අපහසුව නිසා නීතිය ඉදිරියේ එයින් නිදහසත් වගකීමත් පුද්ගලයාගෙන් ඉවත් වෙද්දී නීතිය හා මානසික ප්‍රතිකාරය අවුල් කරගත් වාතාවරණයක් තෝමස් සාස්ට පෙර ඇමෙරිකාවේ තිබියේය. මානසික රෝගියෙක් යැයි කියා, තෝරා ගැනීමකට ඉඩ නොදී, බලහත්කාරයෙන්, සිරගෙදරට නොයවා මානසික රෝහල් වල සිර කිරීමත් වැරදි යැයි තෝමස් කියද්දි ඊට විරුද්ධ වූ අය බොහොමයකි. මේ අය බොහොමයක් අද බෙහෙත් සහ ප්‍රතිකාර ආධාරයෙන් සමාජයේ ජීවත් වෙන අයයි.

1946 දී චිකාගෝ විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සකවරයෙක් වන තෝමස් සාස් තමා සේවය කළ රෝහලේ “සයිකෝ වෝඩ්” එක දකින්නේ අළුත් ඇස් වලින්. එවක මානසික රෝහල් වල සිටි “අසාධ්‍ය මානසික රෝගීන්” සාස් විසින් දකින්නේ මනෝචිකිත්සකවරයන් විසින් නිදහස අහිමි කරන ලද මිනිසුන් හැටියට. එසේම තමන් කරන ලද වරදට සිරගෙදරට යනවා වෙනුවට මානසික රෝහලට රිංගා ගත් අයව ඔහු දකින්නේ වගකීම් පැහැර හැරි වංචාකාරයන් ලෙසට.

මේ අවුල් ලිහන්නට ඔහු The Myth of Mental Illness (1961); Psychiatric Justice (1965); Insanity: The Idea and Its Consequences (1987) සහ තවත් පොත් සහ ශාස්ත්‍රීය ලිපි රාශියක් ලියා ඇත.

මගේ ශෛලිය ඔරොප්පුවට ලියන විදියක් යැයි කියන, (මම දන්නවා ඒ වෙන වැරැද්දක් හොයා ගන්න බැරිවුනාම කියන එකක් බව :D) ඉංග්‍රීසියෙන් කියවන්න දන්න අය ගිහින් තෝමස් සාස් ලියපු Faith in Freedom: Libertarian Principles and Psychiatric Practices (2004) කියවන්න ඕන. එයා තරම්, එයාගේ මතයට වැඩිය විරුද්ධ නැති අනිත් අයවත් ඉතා තදින් විවේචනය කරපු අයෙක් ලොව නැති තරම්!!!

මොළය භෞතික වූ පද්ධතියක් විතරක් යැයි කියා එහි වූ මනසට හැදෙන ලෙඩත් ගතේ රෝග විදියට සලකන්නට යෑමෙන් වන මනෝචිකිත්සකයන් අතින් සිද්ධ වන අවුල් ගැනයි තෝමස් සාස් පෙන්වා දෙන්නේ. මොළයක් නැතිව මනසක පැවැත්මක් නැහැ. මෙහි දී සාස් කතා කරන්නේ ඇල්සයිමර්ස්, පාර්කින්සන්ස් වැනි මොළයේ රෝග ගැන නොවේ. ඔහු එහි දී කතා කරන්නේ භින්නෝන්මාදය (schizophrenia), විෂාදය (depression), සහ බයිපෝලර් ව්‍යාධියන් ගැන. ඒවා රෝග නොවන බව ඔහු කියයි. ඒ නිසා ඒවාට නීති ගෙනැවිත් දඬුවම් දිය නොහැකි බව ද ඔහු කියයි. එසේම එහි දී එවැනි ව්‍යාධියකින් යුතු වූවෙක් තුල ඇති වගකීම බැහැර වෙන්නේ ද නැති බව ඔහු කියයි.

මිනිස් මොළයේ විවිධ රසායන වෙනස්කම් වලින් රෝග හඳුන්වන්නට යෑමෙන් ඒ ඒ මානසික රෝගයක් ඇති අය යැයි බෙදා වෙන්කර ඒ අයගේ නිදහස් අයිතීන් උල්ලංඝනය කරන නීති ක්‍රම වේදයන් ගෙන එන්නට පීඩකයන්ට හැකි යැයි පෙන්වා දීම ඔහුගේ වෑයමයි. ධාතු වඩිනවා ඇස් දෙකෙන් දැක්කා යැයි (මෙහෙ ජේසු එක්ක කතා කළා යැයි) විශ්වාස කරන කෙනෙකු ගේ සහ සමූල ඝාතනයක් කරපු අයෙකු ගේ මොළයේ නියුරෝරසායන එකම විදිය බව පෙන්වන්නට හැකි වුවහොත්, ඒ නිසා පමණින් ඒ දෙදෙනාම මානසික රෝගීන් යැයි මුළු සමාජයට පෙන්වා දිය හැකි වීමෙන් ඇතිවන අවුලේ ප්‍රතිවිපාක ගැනයි ඒ සාකච්ඡාව වූයේ.

ඔබ දෙවියන්ට කතා කළොත්, ඒ යාඥා කිරීමයි. දෙවියන් ඔබට කතා කළොත්, ඔබට ඇත්තේ භින්නෝන්මාදයයි. “If you talk to God, you are praying; If God talks to you, you have schizophrenia.” Thomas S. Szasz, The Second Sin (1973).

ලංකාව තුල මානසික රෝග ගැන දැනුම ළාබාල ය. සහතික දෙන සමහර ආයතන වල උගන්වන අයගේ දැනුම ගැන මතක් වෙද්දී හොර වෙද්දුන් අල්ලන්නට නීති ගෙනෙන්නට පෙර සමහර විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ දැනුම මනින ප්‍රමිතයක් ඔවුන්ගේ පඩි වැඩි කරන්නට පෙර ගෙන ආ යුතු යැයි සිතේ. එහෙත් එවැන්නක් කරන්නේ කෙසේද ඇමතිවරයාගේ බිරිඳට විශේෂ වරප්‍රසාද තියෙන රටක් වුනා ම?!!!

පැත්තට හේත්තු වී සිටින්නාට වරදක වගකීමක් නොගෙන මානසික රෝගයක් පිට දා සිරගෙදරින් ගැල වී කොහේ හරි පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා නැවත සමාජයට යන්නට හැකිය. නීතියේ රීතියක් නැති කළ පැත්තේ දෙදෙනෙක් අතර ගැටුමක් වුවොත් වාසිය පාලකයාගේ සිත වැඩියෙන් දිනා ගත්තාට ය. අනිකා බිල්ලට ය. දුප්පතුන්ට එක්කෝ සිරගෙදරය නැත්නම් නිසි ප්‍රතිකාර නැති මානසික රෝහලය. අහිතකර බෙහෙත් වලින් නොතිබුණු මනෝවිකාරයන් ද ඇති වී මනුෂ්‍යත්වයට නිගා කරන අවසානාවන්ත දිවි ගෙවන්නට සිද්ධ වනු ඇත.

ඉතින් මුල සිට භාවනා කරන්නේ නැතිව මෙතෙක් සොයාගත් දේවල් විමසා, අඩුගානේ තෝමස් සාස් ලියූ සියල්ල අධ්‍ය්‍යනය කරන පිරිසක් හෝ එකතු කරගෙන, අවුල් ලිහා ගන්නේ නැතිව හනික ලියන නීති සම්මත වුවහොත් අපරාධකරුවා කවුදැයි සහ මානසික රෝගියා කවුදැයි නොදැන, ප්‍රතිකාර වලින් තම වරද නිවැරදි කරගන්නා තෝරා ගැනීමකට ඉඩක් නොලැබ, සමාජයේ යහපත් ලෙසින් ජීවත්වෙන්නට හැකියාව ඇති මිනිසුන් ද එල්ලුම්ගහට නියම වෙනු ඇත.

Advertisements

15 Responses

Subscribe to comments with RSS.

  1. Amarasinghe Sujatha said, on ජූලි 29, 2012 at 7:40 පෙ.ව.

    සුපිරි ලිපියක් අක්කෙ

  2. Kenji @ Japan said, on ජූලි 29, 2012 at 8:33 පෙ.ව.

    අරුණි සහෝදරිය; මම ඔබගේ ලිපි සැම කියවනවා,එම ලිපි වලින් අප දැනුවත් කරනවා වගේම, ලංකාවේ ජනතාවගේ දැනගැනීම පිණිස බැරිද ඔබට එහි මාධ්‍ය වලට සපයන්න.[ඇදුම් නැතුව කඩේ යන මාධ්‍ය නෙමේ] ඔබගේ ලිපි වලින් ඉතාම ලොකු දැනුම් සම්බාරයක් මම නම් ලබා ගන්නවා.ස්තුතියි!

    • arunishapiro said, on ජූලි 29, 2012 at 8:41 පෙ.ව.

      Kenji @ Japan,

      මම ලියන ඒවා අන්තර්ජාලයෙන් දකින ලාංකික මාධ්‍ය්‍යේ වගකීම තමයි මේ අදහස් අරගෙන ඒ ගැන කතාබහ පටන් ගැනීම. ආයේ විශේෂයෙන් ඒවාට ලිපි සපයන්න අවශ්‍ය නැහැ මට නමක් වඩා ගන්න උවමනාවක් නැති නිසා.

      නිදහස් මාධ්‍යයක් කියා දෙයක් ලෝකේ කිසිම තැනක නැහැ, කඩේ යන අය හැරෙන්නට. මමත් ඒකීය පුද්ගල නිදහස වෙනුවෙන් කඩේ යන්නෙ ආණ්ඩු සංස්ථාවට එරෙහිවනේ 😀

  3. Chandani Mendis said, on ජූලි 29, 2012 at 11:07 පෙ.ව.

    schizophrenia තියෙන කෙනෙක් මා දන්නවා. ඇය ස්වාමීන් වහන්සේ තමන් සඳහාම ධර්මය දෙසන බව පවසනවා. ඇය දෙස බලාගෙනම බණ කියන බව කියනවා. ඒ වගේම තවත් අයෙක් ලංකාවේ බුදුරජාණන් වහන්සේ උපන් බව කියනවා, තවත් මෙහෙණින් වහන්සේ කෙනෙක් තමන්ට බුදුරජාණන් වහන්සේ කතා කරනවා ඒ ධර්මය මම මේ පොතේ සදහන් කරන්නේ කියා පොතක් ලියා තිබෙනවා. මේ සේරම මේ රෝගයේ ලක්ෂණ නේද? අරුණි. මේ වගේම නේ ජේසු කතා කල බව කියන්නෙ. මම නම් මානසික රෝග ගැන දන්නේ නෑ. නමුත් සමාජයේ එහෙම කෙනෙක් දැක්කාම හෝ දැනගත්තාම මම හොඳින් නිරීක්ෂණය කරනවා. මෙහෙම උනාම ඔබ කියනවා වාගෙ වරඳින් නිදහස් වීමට ලෙහෙසියි නේද? මේ අයට දඬුවම් නියම කරන්නෙත් මෙවැනි අයම වගේ…. අපේ රටේ D;

    • arunishapiro said, on ජූලි 29, 2012 at 8:52 ප.ව.

      චාන්දි අක්කා,

      මූලා වූවෙක් දැයි නැත්නම් මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙක් දැයි මානසික රෝග ගැන ක්‍රමවත්ව හැදෑරූ එලෙසම පුද්ගලයාව සායනයක දී හමු නොවෙච්ච අයෙක් විසින් තීන්දුවක් දෙන්න යෑම වැරදියි. චාන්දි අක්කා කියනවා වගේ අපිට පුළුවන් නිරීක්ෂණය විතරයි. වරදක් කරලා නිදහස් වෙන්න ඉඩ දෙන්නේ අප විසින් ම ද කියන එක තමයි විභාගයට ගන්න ඕනා. විමසිල්ලක් නොමැතිව නීති ගෙන ඒම සහ විභාගයක් නොමැතිව තීන්දු දෙන්න ගියාම තමයි අවුල් ජාලයක පැටලෙන්නෙ. ඒක ඕනෑම රටක සිද්ධ වෙනවා ආණ්ඩුවකට වැඩියෙන් බලතල දුන්නම.

  4. Kenji @ Japan said, on ජූලි 29, 2012 at 11:31 පෙ.ව.

    ආවේගශීලී ප්‍රතිචාරයට තුති; මම ඔබට කියුවේ ඔබේ නම කඩේ යවන්න නොවෙයි.අප ඔබගේ ලිපි කියෙඋව්වට ලංකාවේ සියලු දෙනාට දැනගන්න ලැබෙන්නේ නැහැනේ? ඔබේ හරවත් අදහස් අපට වගේම සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටම දැනගන්න කඩේ නොයන මාධ්‍යකට දෙන්න කියල. NGO වලින් යැපෙන කෙනකුට ලංකාව ගැන මොන කැක්කුමක්ද? ඔබ කොහොමත් ඇමෙරිකාවට කඩේ යන බව දන්නවා.[තරහ ගියානම් Boston වලදී හමුවෙමු]

    • arunishapiro said, on ජූලි 29, 2012 at 9:18 ප.ව.

      Kenji @ Japan,

      //අප ඔබගේ ලිපි කියෙඋව්වට ලංකාවේ සියලු දෙනාට දැනගන්න ලැබෙන්නේ නැහැනේ?// ලංකාවේ සියළු දෙනාටම දැනගන්න යමක් කරන්න මට අවශ්‍යතාවයක් ඇත්දැයි නැද්දැයි කියා ඔයා ඇහැව්වා ද? තවත් විදියකින් ඇහැව්වොත් ලංකාවේ සියළු දෙනාට ම ඔබ ‘හරවත් අදහස්’ යැයි සිතන්න බෙදා දෙන්නට මට උවමනාවක් තිබිය යුත්තේ ඇයි?

      කඩේ නොයන මාධ්‍ය්‍යකට පුළුවන් මේ අදහස් සමඟ මේ සටහන් වල දාලා ඇති සබැඳියන් විමසා බලා එතැනින් එහාට ඒ අදහස් අරගෙන යන්න. ඇයි මම දෙන්න ඕනා? ඇයි හැම දෙයක් ම වෙන අයෙක් ලවා කරවන්න බලාගෙන ඉන්නෙ? ඇයි ඔයාට ලියා යවන්න බැරි?

      //NGO වලින් යැපෙන කෙනකුට ලංකාව ගැන මොන කැක්කුමක්ද?// කාට ද මේක කිව්වෙ? මම නම් ලෝකෙ තියන කිසිම NGO එකකින් යැපෙන කෙනෙක් නෙමෙයි. පුද්ගලයෙක් ගැන දන්නෙ නැති දේවල් දන්නවා වගේ කියන්න යෑම කෙනෙකුට කරන අගෞරවයක් වගේ ම තමන්ගෙ කුහක කම පෙන්වීම. ඒ සඳහනින් පෙනෙන්නේ ඔබ හිතන විදිය: අයෙක් කිසිම දෙයක් තමන්ට මුදල් වාසියක් ලැබෙන්නේ නැත්නම් නොකරනවා යැයි සිතමින් ඒ එක්කම අනුන්ගෙන් විතරක් පොදු යහපත වෙනුවෙන් අරක කරන්නෙ නැත්තෙ ඇයි මේක කරන්නෙ නැත්තෙ ඇයි අහන හැදියාව.

      //ඔබ කොහොමත් ඇමෙරිකාවට කඩේ යන බව දන්නවා.// මම කඩේ යන්නේ ඇමෙරිකාවේ පදනම වන ඒකීය පුද්ගල නිදහස් අයිතීන් වෙනුවෙන්, ඒක පටන් ගත් දා සිට කියා තියෙනවා. ඒක පුන පුනා නැවත කියන දෙයක්. අනාගතයේ ද ඒ වෙනුවෙන් ම තමයි පෙනී සිටින්නේත්. ඒ ගැන කෙනෙක් ඇහැව්වයි කියල, නැවත නැවතත් කියන්න වුනයි කියල මට තරහා යන්නෙ නැහැ, ඒ ගැන පෙනී සිටීමට අවබෝධයක් හා ඉඩක් ලැබී තිබීම ගැන හිතන ඒ වෙනුවෙන් යමක් කරන්නට ලැබෙන හැම අවස්ථාවක දී ම දැනෙන්නේ සතුටක්.

      //තරහ ගියානම් Boston වලදී හමුවෙමු// ? බොස්ටන් ගිහින් ඔබ හමුවෙන්නට මට අවශ්‍යතාවයක් ඇත්දැයි නැත්දැයි කියා ඔබ ඇහැව්වේ වත් නැහැනේ!!!!

      මගේ සටහන් වලින් ඔයා දැනුම සම්භාරයක් ලබා ගන්නවා යැයි කීමෙන් ලැබෙන සතුට විතරක් ඇති මට. තවත් එහෙම දැනුමක් එකතු කරගන්න, එහෙත් එහෙම නොකියා කියවලා යන අය ගැනත් මා පමණක් දැනීමෙන් ලබන සතුට විතරක් ඇති මට. ඉතින් ස්තූතියි එහෙම කිව්වාට. තව කියවන්න එන්න, තව ඉස්සරහට යද්දි තවත් මේ අදහස් ගැන වැඩියෙන් දැනගන්න පුළුවන් වේවි.

  5. Gold fish said, on ජූලි 29, 2012 at 10:40 ප.ව.

    අපේ රටත් එක්ක සසඳලා බලන එකනම් ​මෝඩ වැඩක්…

    • arunishapiro said, on ජූලි 30, 2012 at 6:44 පෙ.ව.

      Gold fish,

      පුද්ගලික අවි අයිතිය තහනම් වූවක් හා අවි නීත්‍යානුකූලව තබාගත හැකි අයිතිය ඇති රටක් එක්ක, මතට තිත නැති රටක් මතට තිත ඇති රටක් එක්ක, මිලියන 311 ක් ඉන්න දැවැන්ත රටක් මිලියන 20 ක් ඉන්න ඩිංගිත්තන් රටක් එක්ක …යනාදියෙන් වැදගත් වෙනස්කම් නොසලකා රටවල් දෙකක අපරාධ සංඛ්‍යාව සසඳන්න යනවා වගේ නෙමෙයි ඒකීය පුද්ගල නිදහස් අයිතීන් සලකා බැලීම වෙනස්. ඒක මනුෂ්‍යත්වයේ නාමයෙන් රටක හැම වැසියෙක් ම තමන්ගේ උන්නතිය වෙනුවෙන් සසඳා බැලිය යුත්තක්. නැත්නම් වහල් ක්‍රමයෙන් ඉවත් වූ ලෝකයක හිට්ලර්ගේ ජර්මනිය වගේ, අසාද්ගේ සිරියාව වගේ නැවතත් තම පුරවැසියන්ට විනාශය නීත්‍යානුකූලව ගෙනෙන පාලකයන්ට බලය දෙන්නේ පුරවැසියන්ම විසින්.

      ඒකීය පුද්ගල නිදහස් අයිතීන් ඒ ඒ රටේ වැසියන් විසින් විමසිල්ලකින් තොරව අත් හරිනා තරමට තමයි ඒ ඒ රටේ පාලකයන් විසින් ඒවා උදුරා ගන්නේ. ඒකෙන් වෙන්නෙ ආයෙත් වහල් ක්‍රමයකට යෑම. ඉතිහාසය පෙන්වන්නේ තමන් ‘වහලෙක්’ යැයි අවබෝධය ලැබෙන දවස උදාවෙද්දී පුද්ගලයා එල්ලුම්ගහට නියම වී හමාරය කියාය.

  6. inesh said, on ජූලි 30, 2012 at 12:02 පෙ.ව.

    “ඒකීය පුද්ගල නිදහස් අයිතීන් ” ලන්කාවෙ ඉන්න මටනම් මේක ලස්සන වචනයක් විතරයි.ලොකෙ ගෑන වෑදගත් දෙවල් ගොඩක් දෑනගන්නේ ඔබෙ ලිපිවලින්,ස්තුතියි!

    • arunishapiro said, on ජූලි 30, 2012 at 7:04 පෙ.ව.

      inesh,

      මේක සිද්ධ වෙලා තියෙන්නෙ වැඩට ගිහින් තම දරුවන්ට කන්න දෙන්න වෙහෙසන බහුතරය තමන්ගෙ වැඩේ හරියට කරන්නෙ රට ආණ්ඩු කරන නායකයන් එයාලගේ මෙහෙය හරියට කරනවා කරලා කියල හිතාගෙන. ඒත් පාලකයන් කරන්නෙ පාලන බලය තර කරගන්නට සැලසුම් ගහනවා මිසක රටේ දියුණුවක් වෙනුවෙන් නෙවෙයි. රටේ දියුණුව වෙනුවෙන් පාලකයෙක් වැඩියෙන් වෙහෙස වුනොත් එයාගෙ බලය නැතිවෙලා ආණ්ඩුව පෙරළී යනවා. ලෝක මාධ්‍ය්‍යන් විසින් තම ප්‍රේක්ෂකයන් ඉල්ලනවා යැයි සිතන දේ දෙනවා. ප්‍රේක්ෂකයන් දකින දේ ඉල්ලනවා මිසක් නොදකින දෙයක් ඉල්ලන්න දන්නෙ නැහැනෙ. කවුරු හරි මෙහෙමත් දේවල් තියෙනවා කිව්වට පස්සෙ තමයි අර වැඩට ගිහින් තම දරුවන්ට කන්න දෙන්න වෙහෙසන අයට විමසන්න දෙයක් ලැබෙන්නෙ. මුලාවෙන් රවටා අනුන්ගේ අවසරයෙන් තමන්ගේ බලය වැඩි කරගන්න හදන සංවිධාන වැඩියි. ඒකීය පුද්ගල අයිතීන් වෙනුවෙන් සටන් කරන්නෙ ඒකීය පුද්ගලයන් වීම නිසා, අර වැඩට ගිහින් තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න වෙහෙසෙන ගමන්!!!, ඒ අයගේ සටන දුෂ්කරයි, ඒත් සත්‍ය්‍ය වෙනුවෙන් පෙනී සිටීම සැමවිටම හද පුරවන සතුටුදායක වූවක්.

  7. Kenji @ Japan said, on ජූලි 30, 2012 at 8:07 පෙ.ව.

    ඔබගේ නැවත ප්‍රතිචාරයට තුති; යුරෝපාකරයේ තනකොලපාට කාර්ඩ් එක අරගත්ත උගත් [සමහර] අය, ටික කලකට පසු ස්ථිර පදිංචිය තහවුරු කරගන පොත්වල තිබෙන දේවල් තමන්ගේ නිර්මාණ විදියට ප්‍රකාශ ඉදිරිපත් කරන “ගොන් පාර්ට්”ල ඉන්න ලෝකයේ,එයින් මිදී උගත් දෙයින් ලෝකය පියවි ඇසින් දැක බලාගෙන තේරුම් ගත හැකි ලෙස අප හට කරුණු කාරණා ඉදිරිපත් කරනා ඔබට කියුවේ මම වගේම ලංකාවේ ඉන්න ජනතාවටත් දැනගන්න සලස්වන්න කියල කිවේ,[මේ ඇත්ත දේවල් දැකල ලියන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවද? හිටියත් ලියුවම වෙන දේ දන්නා නිසා නොලියනවා ඇති] .හැබැයි මට පොඩි අතපසුවීමක් උනා ඔබට පළමු දැන්වීම කරනවිට “කරුණාකරලා” කියල ලියන්න.

    • arunishapiro said, on ජූලි 30, 2012 at 8:56 පෙ.ව.

      Kenji @ Japan,

      පොඩි පොඩි වැරදි හදා ගත්තෙ නැත්නම් ලොකු ලොකු වැරදි සිද්ධ වෙන්නෙ කරන කියන වැඩේකට වැඩි සැලකිල්ලක් නොදෙන නිසා මිසක් නොදැනුවත්වම, ඉබේම නෙමෙයි. ඉතින් පුංචි අඩුපාඩුවක් වුවත් සංවාදයේ දී අඩුවක්/අපැහැදිලිබවක්/අදහස වෙනස් වී යන්නට හේතු පාදක වෙනවා නම් ඒක පැත්තකට දාලා ඉස්සරහට යන ගමන නිෂ්ඵලයි. ප්‍රතිචාර දාන අයගේ වැදගත්, මා එකඟ වෙන මූලික අදහස් වල වුවත් අඩුපාඩුවකින් අදහස වටහා ගැනීමට බාධාවක් එනවා යැයි මට හිතුණා ම (මේ අඩවිය මගේ නිසා) ඒක මට හැකි පමණින් විස්තර කරන්න පහදන්න යෑම මගේ වෑයමක්. ඒක කිසිම විටෙක ඒක පෙන්වා දෙන්නා වූ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ගැන වූවක් නෙමෙයි. අනුන්ගේ පෞද්ගලික වූ අදහස් වල (අයෙක් කිව්වොත් මම කැමති රතු පාටට වගේ) එල්බ ගෙන සිටියා ට මට කිසිම තරහක්/සතුටක් නැහැ. ඒත් මගේ නිවහන මගේ කැමැත්ත විමසන්නේ නැතිව රතු පාටින් පාට කරන්න ඒ අදහස නිසා තීන්ත ටින් එකතු වෙනවා නම් ඒක වළක්වන්න මම හැම වෑයමක් ම ගන්නවා.

      //යුරෝපාකරයේ තනකොලපාට කාර්ඩ් එක// ඇමෙරිකාවේ නේද ග්‍රීන් කාඩ් තියෙන්නෙ? යුරෝපයේ නීත්‍යානුකූල පදිංචිය සඳහා ඇත්තේ ද එම පාටින් වූ කාඩ්පත් ද?

      //ටික කලකට පසු ස්ථිර පදිංචිය තහවුරු කරගන පොත්වල තිබෙන දේවල් තමන්ගේ නිර්මාණ විදියට ප්‍රකාශ ඉදිරිපත් කරන “ගොන් පාර්ට්”ල ඉන්න ලෝකයේ,// මේක හොඳ නිරීක්ෂණයක්, ඒත් එය නිදහස් වෙළඳපොලේ දී ‘මිල දී ගන්නා ප්‍රවේසම් විය යුතුයි’ (buyer beware) කියන එකෙන් තවත් තමන්ට ම පැවරෙන වගකීමක්. එහෙම “ගොන් පාර්ට්” කරන අය නවතන්න මොන නීති ගෙනාවත් බැහැ.

      //මේ ඇත්ත දේවල් දැකල ලියන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවද?// ඉන්නවා ඒත් ඉංග්‍රිසියෙන් තමයි ලියන්නෙ. සිංහලෙන් ලියැවෙන්නෙ නැති හේතුව තමයි සිංහලෙන් කියවන්නා ඒවා දැනගන්නට අගයක් නොදීම. තමන් දැනගන්න කැමැති දේවල් වලට මුදලක් දී මිල දී ගන්නා අය වැඩිවෙද්දී ඒ දේවල් ගැන වැඩියෙන් ලියැවෙනවා. කදිම උදාහරණයක් තමයි ධනාත්මක චින්තනය. සුමනදාස සමරසිංහ ඒවා සිංහලෙන් ලියන්න ගත්තට පස්සෙ දැන් තවත් ලියන අය වැඩිවෙලා. ඉංග්‍රිසියෙන් ලියා මේ අදහස් විකුණනන්ට විශාල වෙළඳපොලක් හා ඉල්ලුමක් ඇති ලෝකයක හිත හොඳකමට සිංහලෙන් ලියන කෙනෙක් සොයා ගන්නට ඇති හිඟය තමයි ඔබ දකින්නෙ.

      //“කරුණාකරලා” කියල ලියන්න.// හැම විටම වැදගත්. නැත්නම් හිතෙන්නෙ ස්ටාලින් වගේ, මා ඕං වගේ අනුන්ගෙ හොඳට තමන් වෙහෙසෙන්න ඕනා කියන නියමයක් ගේනවා කියලනේ!!!

      ඒත් ඒ එක්කම ඇයි අයෙක් තවත් අයෙක් කියන දෙයක් කළ යුතු? මේක අපි සැලකිල්ලට පාත්‍රය නොකරන්නක්. කැමැත්තක් නැතිව අයෙක් වෙතින් වැඩ ගත්තු ලෝකයක් සාර්ථක වී නැත්තෙ රෝම අධිරාජ්‍යයේ පටන්. කැමැත්තක් ඇතිවන්නේ කොහොම ද? එයින් ලැබෙන සතුටක් නිසා. ඒ සතුට විවිධ වූ පුද්ගලයන්ට විවිධ වූ ආකාරයෙන් ලැබෙන්නක්. සමහර අයට වැඩියෙන් මුදල් උපයන විට සමහර අයට වැඩියෙන් දේවල් දන් දෙන්න හැකි විට. නමුත් කිසිම විටෙක බලහත්කාරයෙන් උත්සාහ කළොත් පුද්ගලයාගේ කැමැත්ත නොවිමසා ඒ වෑයම අසාර්ථකයි.

      ඇති විය යුත්තේ අනුන්ගේ යහපත සඳහා තමන් විසින් කැමැත්තෙන් ම කටයුතු කරන සමාජයක්. එහෙම වෙන්නේ සමාජයේ ඉන්නා සෑම සියළු පුද්ගලයන්ට ම තම කැමැත්ත සොයා යන්නට ඉඩක් හදා දීමෙන් පමණයි. සමහරු තමන්ට වැඩියෙන් මුදල් උපයා ගන්නට හැකි නිසා //උගත් දෙයින් ලෝකය පියවි ඇසින් දැක බලාගෙන තේරුම් ගත හැකි ලෙස අප හට කරුණු කාරණා // ඉදිරිපත් කරනවා, අනිත් අය තමන්ගේ සතුට සඳහා ඒ දේවල් බෙදා හරිනවා. ආණ්ඩුවක්, සංවිධානයක් හෝ කල්ලියක් විසින් නොව “ගොන් පාර්ට්” කරන අයව අඩු කරලා ඇත්ත කියන අයට වැඩියෙන් ඉඩ දෙන්න හැකියාවත් ඇත්තේ පාරිභෝගිකයාට/දාන ලාභියාට පමණයි. ලබන්නා විමසිල්ලෙන් තොරව දෙන හැම දෙයක් ම බාරගත්තොත් තත්වය එයාගේ ජීවිතයට පවා හානිකරයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: