අරුණි ශපීරෝ‍ වෙතින්

buyers remorse නොහොත් මිල දී ගත් දොම්නස

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 1, 2012

බඩුවක් මිල දී ගත්තට පස්සෙ ඇතිවන දොම්නස ගැනයි මේ කියන්නෙ. එක බඩුවක් ගත්තම 😀 තවත් බඩුවක් සඳහා වූ චාන්ස් එක මඟහැරිලා යන නිසා ඇතිවන දොම්නස යැයි කියන්නත් පුළුවන්!!!

හිතන්න පුළුවන් අය ස්වභාවික ආශයෙන් වගේ දන්න දේවල් තවත් අය සොයා බලා ශාස්ත්‍රීය ලිපි ලියනවා. එහෙම ලිපියක් ලියන්නෙ Gerald D. Bell විසින් The Automobile Buyer After The Purchase යන සිරස්තලයෙන්.

යම් භාණ්ඩයක් හෝ සේවාවක් කැමැත්තෙන් මිල දී ගන්න පුද්ගලයෙක් පෙළඹෙන්නෙ ඇයි කියන එක සෙවීම, බඩු විකුණන අය බඩු විකුණන්න පටන් ගත් දා සිට වෙහෙසෙන්නක්. ඔයාට හොඳ මේකයි ඒ නිසා මේක මිල දී ගනින් කියා අනුන්ගේ කැමැත්තක් තවකෙක් විසින් බලහත්කාරයෙන් කරවන්න පුළුවන් කියා හිතපු ලෝකය සාර්ථක වූයේ නැහැ.

මේ දවස්වල නිව්යෝර්ක් නගරයේ නගරාධිපතිවරායටත් ඒක අමතක වෙලා තියෙද්දි අනිත් අය ගැන කුමට කතා කරනවා ද?!!! එයා තමන්ගෙ සිරුරේ අයිතිය තමන්ටයි කියලා ගබ්සාවන්ට ඉඩදිය යුතු යැයි කියන දේශපාලන මතය නියෝජනය කරන්නෙක්. මේ දවස්වල කියන්නෙ අම්මලා විසින් දරුවන්ට මව්කිරි දීම යම් නීතියක් ගෙනැවිත් තහවුරු කරන්නට හැකි වෙන බවයි.

ජෝන් හොප්කින්ස් හා හාවඩ් විශ්ව විද්‍යාලයන් හි උගත්, ඇමෙරිකාවේ 11 වැනි ධනපතියා වන විද්වත් නිව්යෝර්ක් නගරාධිපති එහෙම අවුලක ඉන්ඳැද්දී මෛථුනය අකැප බෞද්ධ ස්වාමීන්වහන්සේලා බොදු බල සේනාවක් විසින් මෛථුනයේ යෙදීම අකැප නැති සෙසු මිනිසුන්ට වාසෙක්ටමි සහ ටියුබෙක්ටමි සැත්කම් තහනම් කරන්නට යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම ගැන කතා කරන්නට පුළුවන් ද?!!!!!!

මව්කිරි තරම් පෝෂ්‍යාදායී වූවක් අළුත උපන් දරුවෙකුට වෙන නැහැ. ඒත් ඒක වෙනම දෙයක්. මව්කිරි ගැන නීතියක් ස්ථාපිතය නිසා එය වැඩි වේ යැයි හෝ අඩු වේ යැයි පමණක් සිද්ධ වේ යැයි උපකල්පනය වෙනස් දෙයක්. යම් නීතියකින් ඇතිවන නොසිතූ ප්‍රතිඵල අද විමසන්න නොහැකියාවට හේතුව මිනිසා අපූරු සතෙක් නිසා ය. නොසිතූ ප්‍රතිඵල නම් අද සිතන්නට කිසිසේත් නොහැකි ප්‍රතිඵල ය.

නිව්යෝර්ක් නගරාධිපතිට ‘සිත සියල්ලට පෙරටුව’ යැයි කියා දෙන්නවත් කෙනෙක් හිටියේ නැහැ. ඒත් බොදු බල සේනාවට? සිත සියල්ල පෙරටුවට කිව්වම හිතාගෙන ඉන්නෙ මෛථුනය අකැප ස්වාමීන්වහන්සේලාගේ සිත මෛථුනය කැප වූ අනිත් අයගේ සිත්වලට පෙරටුව කියලා වෙන්නත් ඇති!!!

නිව්යෝර්ක් නගරාධිපතිට බලය තියෙන්නෙ ජනතා චන්දයෙන් තේරී පත්වෙන වසර 12 ක් සඳහා පමණයි. ඒ වගේ ම මිනිස්සුන්ගේ සෞඛ්‍ය්‍ය ගැන කැක්කුමකින් වූ ඒ නගරාධිපතිගේ සෝඩා වෑයම ගැන ප්‍රසිද්ධියේ අප්‍රසාදය කියන්න මෙහෙ පුරවැසියන් නොබියව ඉදිරියට ආවා. අපේ උන් හදාගන්න පුළුවන් අපිට. ඒ අකමැත්ත නොකියා නිහඬව සිටීමෙන් නෙමෙයි, අකමැත්ත කීමෙන්.

උඩ සබැඳි ලිපියේ කියන පරිදි තම කැමැත්ත කුමක් දැයි කියා වඩාත් ම නිශ්චිත (most confident) වූවෙක් සහ අඩුවෙන් ම නිශ්චිත (least confident) වූවෙක් යන දෙදෙනා තමයි නම්වා ගන්න ඉතාමත් අපහසු.

යමක් මිල දී ගන්නට පෙර පමණක් නොව අදහසක් බාර ගන්නටත් තම කැමැත්ත කුමක් දැයි කියා විමසීම වැදගත්. නැත්නම් වෙන්නේ බාරගත් දෙයින් දොම්නසින් ඉන්නට සිද්ධ වීමයි.

මිනිසා අපූරු සතෙක් නිසා උන්ගේ කැමැත්තන් ද විවිධාකාරය. අනුන්ට හානියක් වෙන්නේ නැත්නම්, තමන්ගේ ක්‍රියාවන්ට තමන්ට වගකීම ගන්නට ඉඩ දෙන්නේ නම්, ඒ ඒ අයගේ විවිධාකාර වූ කැමැත්තන්ට ඉඩ දීමෙන් පමණයි සමාජයක් සාර්ථක වී ඇත්තේ කියා පෙන්වන්නේ ලෝක ඉතිහාසයයි.

උඩ පින්තූරයෙ මම හිටියාට ඒ රතු කෝර්වෙට් වාහනේ මගේ නෙමෙයි, පහත දාන වාහන වලට කැමති මට ඒකක් මිල දී ගත්තොත් එතකොට මිල දී ගත් දොම්නස දැනේවි!!!

Advertisements

37 Responses

Subscribe to comments with RSS.

  1. Kathandarakaraya said, on අගෝස්තු 1, 2012 at 9:45 පෙ.ව.

    /* මෛථුනය අකැප බෞද්ධ ස්වාමීන්වහන්සේලා බොදුබලසේනාවක් විසින් මෛථුනයේ යෙදීම අකැප නැති සෙසු මිනිසුන්ට වාසෙක්ටමි සහ ටියුබෙක්ටමි සැත්කම් තහනම් කරන්නට යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම ගැන කතා කරන්නට පුළුවන් ද?!!!!!!
    */

    ළමයි හම්බවෙනවා අඩු වුණාම මහන කරන ළමයි ගාන අඩු වෙලා පන්සල් පාලු වෙනවානේ!

    • arunishapiro said, on අගෝස්තු 1, 2012 at 9:57 පෙ.ව.

      Kathandarakaraya,

      තර්කය ඒක නම් පංසල් වලට දරුවෝ දන් දීම වැඩි වෙන්න වැඩි වෙන්න රටේ අයට ළමයි හම්බවෙන සංඛ්‍යාව අඩු වෙන්න අඩු වෙන්න ඕනා …. එතකොට කොහොමටත් ආයේ එන්නෙ ළමයි හම්බවෙනවා අඩු වුනාම මහණ කරන්න ළමයි අඩු වීමයිනේ. කාලයක් ගියාම ළමයි හදන්නෙ කවුද නැත්තෙ කවුද කියන එක තීරණය කරන්නෙ පංසල් විසින් ද?

  2. Amarasinghe Sujatha said, on අගෝස්තු 1, 2012 at 9:47 පෙ.ව.

    මව්කිරි දීම නීතිගත වෙනවා නං මාත් ආසයි

    • arunishapiro said, on අගෝස්තු 1, 2012 at 9:59 පෙ.ව.

      සුජාතා නංගි,

      ඇයි අනුන්ට නීති ගෙනෙන්නේ. හොඳ යැයි කියා දුන්නාම, ඉන් ලැබෙන යහපත් ප්‍රතිඵල දැක්කාම කැමැත්තෙන් කරන අය වැඩිවේවි. අයෙකුගේ කැමැත්තක් නැතිව යම් නීතියක් ගෙනා පමණින් හැදියාවක් වෙනස් කරන්න හැකි වෙලා නැහැ.

      • Amarasinghe Sujatha said, on අගෝස්තු 1, 2012 at 11:36 පෙ.ව.

        ඒ උනාට සමහර මානසික රෝගී අයටත් එතකොට ඔය නීතියෙ පිහිටෙං වත් ලෙඩේට බෙහෙත් ලැබෙයි. දරුවට කිරි ලැබෙයි

        • arunishapiro said, on අගෝස්තු 1, 2012 at 12:46 ප.ව.

          සුජාතා නංගි,

          මානසික රෝගියෙක් වුවත් ඇයත් වගකීමක් හා අයිතීන් ඇති වූවෙක්. ඇයට කිරිදෙන මවක් විය හැකි වූවාට ඇය කිරිදෙනක් නෙවෙයිනෙ. ඇයගේ අයිතීන් නොකඩා ඇය ලවා වගකීමෙන් කටයුතු කරවීම අපේ වගකීම. අළුත් නීති වලින් නෙමෙයි, පවතින නීති වලට අනුකූලව එයාට වගකීමක් ගන්නට කියා දීම සහ ඊට හුරුවීමට සහාය වීමෙන්. ඒ මානසික රෝගය ගැන සමාජය දැනුවත් කිරීම. එවැනි අය හා විවාහ වෙන අයව, එවැනි අය ඇසුරු කරන අයව දැනුවත් කිරීම. එවැනි අයගේ දරුවන් සඳහා එකිනෙකාට සහාය දී ගත හැකි වැඩපිළිවෙලක් ඒ දරුවන් බලා කියාගන්නා අය විසින් පටන් ගැනීමෙන්. ඒවා දුෂ්කරයි ඊට මුහුණ දුන් අයට, එනම් තමන්ට යමක් කරන්න වෙන නිසා. අනුන්ට දාන නීතියක් ගේන එක ලෙහෙසියි.

          මානසික රෝගියෙකු ගේ තත්වයක් පාලනය කරගන්න දෙන බෙහෙත් වලින් මව්කිරි වලට ඇතුල්වෙන අහිතකර දේවල් හා අතුරු ඵල විපාකයන් ගැන කොතරම් දැනුමක් තියෙනවා ද?

          ඇය වැනි මානසික ආබාධ ඇති අය දරුවන් හැදීම වළක්වා ලීමට ඇය වැනි යුවතියන් ශල්‍ය කර්මයකින් වඳ කළ යුතු යැයි කිව්වොත් ඒකටත් කැමති වෙනවා ද?

          මේක නම් නංගිට සෑහෙන්න අමාරු වෙයි දරා ගන්න, ඒත් නොකියා බැහැ. ඇය වැනි යුවතියකට සතුටින් ඉන්නා නිරෝගී අයෙක්ගේ ජීවිතයක් නීතියක් නොකඩා අකාලයේ විනාශ කරන්නට හැකියාවක් ඇති නිසා ඇය වැනි යුවතියකට මානසික රෝගයක් ඇත්දැයි හඳුනාගත් විට ම මරා දැමිය යුතු ද? ඇගේ දරුවෙක්ටත් ඇයට වැනි මානසික ආබාධයක් අනාගතයේ හැදෙන්නට හැකිවීම නිසා දැන් ම මරණ දණ්ඩනයට යොමු කළ යුතු ද?

          • Amarasinghe Sujatha said, on අගෝස්තු 1, 2012 at 8:41 ප.ව.

            නැහැ අක්කේ මැරියයුතු නැහැ. නමුත් සායනයක මාර්ගයෙන් වත් අඳුනා ගන්නා රෝගීන්ට ප්‍රතිකාර දීර්ඝව ලබා දිය හැකි තත්වයකට එනවා. ලංකාවේ කෙතරම් අම්මලා වැදුගෙයි සන්නිය කියා කට්ටඩින්ට පෙන්වනු ලබනවාද? බොහෝ විට මෙවන් රෝග හඳුනා ගන්නා කඩ ඉම තමා ගර්භනී බාවය. එතැනදී ජීවිතයට රෝහලකට නොගිය ගැහැනු රෝහල් යනවා, ලංකාවෙ අඩුම වෛද්‍ය විශේෂය තමා මානසික වෙද කියන කන්ඩායම. අමුත්තක් ඇතිය කියා හඳුනා ගන්න කොටසවත් ඒ අයට යොමු වෙනවා නම් කොච්චර හොඳද? අපෙ අය ආපහු ගෙන්න ගන්ට සෞඛ්‍ය ඇමති දන්න සෙල්ලං දානවා.

            දරුවාට සැහෙන වයසක් ගිය පසු නොවැ අපේ ප්‍රශ්නයේදී මව මානසික වෛද්‍ය වරු වෙත යොමුවන්නේ……

            අක්කේ දරා ගැනීම ගැන කිව්වොත්…. මම දැකලා විඳලා තියනදේ හැටියට මෙතැන අවුල් සහගත දෙයක් ලියැවිලා නැහැ.

            • arunishapiro said, on අගෝස්තු 1, 2012 at 9:23 ප.ව.

              සුජාතා නංගි,

              ඒත් එහෙම තමයි නංගි අවසන් වෙන්නෙ. ඉතිහාසයේ හැමදාම වුනේ එහෙමයි. ස්ටාලින් පටන් ගත්තෙ නව ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනැවිත් පස් අවුරුදු සැලැස්මන් වලින්. මුලින් දේශපාලන මතයට අකමැති අයව යැව්වා අදහස වෙනස් කරන labor camps වලට. ඊට පස්සෙ අයව රටේ දුෂ්කර පළාත් වලට පිටුවහල් කළා. තම වැසියන් බුරුතු පිටින් මරා දැමුවා. අන්තිමේ දී Great Plan for the Transformation of Nature කරන්නත් ගියා. තාමත් රුසියාව මිනිස් උන්නතිය කෙසේදැයි වටහා ගෙන නැතිව වැරදිච්ච සැලසුම් නැවතත් ගේන්න පටන් ගෙන. හිට්ලර්ගේ ජර්මනියේ මුලින් යුදෙව්වන් …. මා ඕං සේතු පටන් ගත්තෙ විශ්ව විද්‍යාල වල අයව කුඹුරු වලට යවලා … උතුරු කොරියාවේ කිම් ඉල් සුන් ගේ පුතාටත් තවම අහසට රොකට් එකක් යවාගන්න බැරි වුනාට ඒ රටේ අන්ධ, ගොළු, බිහිරි හා මානසික ලෙඩ්ඩු දකින්න නැහැල්ලු. අහමදීනජාඩ්ගේ ඉරානයේ සමරිසියන් නැතිලු. මේ දවස්වල පූටින් ද යවනවාලු සමරිසියන්ව සයිබීරියාවට කියල සිංදුවක් ගයපු නිසා තමයි පුසි රයට් කෙල්ලො වසර හතකට හිරේ යවන්න හදන්නෙ.

              මුලින් ම නැතිවෙන්නෙ විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන්න අයිතිය. ඒක කරන්නෙ විරුද්ධ අදහසක් කියන්නාව හාස්‍ය්‍යට ලක් කරන්න කල්ලියක් වෙතින්. බලන්න තවත් වාර්තාවක තියන විදියට බොදු බල සේනාව ගිහින් බුද්ධාගම එයාලා දකින විදියට නොකියන අයක්ගෙ තැනක් ඉදිරියේ පෙළපාලි පවත්වන්නට. බුද්ධාගම කාගේ බූදලයක් කියා හිතාගෙන ද එහෙම කරන්නෙ?

              විමසා නොබලා අදහසක් බාර ගැනීම නිසා, ඒ අදහස් සමාජයේ තෝරාගත්තේ නැතත් හැමෝම නිහඬව සිටි නිසා ඒ අදහස් සමාජයේ ද තෝරාගැනීම බවට හැර වී අවසානයේ දී එතැනට ආවේ කෙසේදැයි කාටවත් හිතාගන්න බැරි තත්වයක් එන්නෙ.

              ලංකාවේ මානසික රෝග ගැන දැනුම ඉතා ළාබාල වූවක්. ඉස්සර පෝලියෝ වලින් මිනිස්සු පීඩා වින්ඳා, ඒ මා කුඩා කාලයේ දකින්න තිබියක්. හෙපටයිටිස් බී එන්නත එන්නෙ 80 ගණන්වල. අද මෙහෙ තියන ඒත් ඔහෙ නැති ප්‍රතිකාර හා දැනුම ගැන තමයි දරාගන්නට බැරි තරම් දුක දැනෙන්නෙ. ඒකට හේතුව වෙන කිසිම දෙයක් නිසා නොව බලතණ්හාධිකයන් එදා වගේ ම අදත් සිත යොමු කරන්නේ ජනතාව රවටා තම තමන්ගේ බඩ වඩා ගැනීමට පාලන බලයේ සිටීම පමණක් වීමයි. හැමදා අසාර්ථක ජන බල සේනාවකින් කරන තවත් විප්ලවයක් නොව තමන් යම් අරමුණක් වෙනුවෙන් වෙහෙසීමයි කළ යුත්ත. නැත්නම් වෙන්නෙ තියන ඇබිත්තත් නැති කරගන්න නීති ගෙන ඒමට කැමත්තෙන් ම සහාය දීමයි.

    • buddie-බුඩී said, on අගෝස්තු 1, 2012 at 10:09 පෙ.ව.

      මව්කිරි දීම නීතිගත කිරීම, මේක කරන්නත් බෑ කලත් මහ ගොන්ම ගොන් නීතියක් වෙනවා !!! නීති දාලා හදන්න පුලුවන් දේවල් වගේම බැරි දේවල් තියෙනවා. පාලකයො හිතුවොත් නීති මගින් ඔක්කොම කරන්න පුලුවන් කියලා, අන්න අවසානය එක්කෝ ආණ්ඩුවේ නැත්නම් ජනතාවගේ 😛

  3. buddie-බුඩී said, on අගෝස්තු 1, 2012 at 10:03 පෙ.ව.

    //එක බඩුවක් ගත්තම තවත් බඩුවක් සඳහා වූ චාන්ස් එක මඟහැරිලා යන නිසා// Opportunity cost එක කියන්නෙත් මේකටම නේ ඉතින්
    //ගබ්සාවන්ට ඉඩදිය යුතු යැයි කියන දේශපාලන මතය නියෝජනය// මේක දේශපාලන මතයක්ද මන්දා, නමුත් බූඩිත් එකගයි ගබ්සා නීතිගත කරන එකට, හැබැයි යම් පාලනයක් ඇතිව, මේ ගැන බූඩි ලිපියක් ලිව්වා වගේ මතකයි . . .
    මම හිතුවේ උඩ කාර් එක අරුණිගේ කියලා 😛

    • arunishapiro said, on අගෝස්තු 1, 2012 at 10:11 පෙ.ව.

      buddie-බුඩී,

      දේශපාලන මතයක් වෙන්නෙ දේශපාලනඥයෙක් චන්ද දිනන්න යම් මතයක් ප්‍රසිද්ධියේ කිව්වාම. බුඩීයි මායි කියන ඒවා පුද්ගලික මත.

      නැහැ ඒක අසල්වැසියාගේ. මගේ යැයි වැරදෙයි කියල හිතිච්ච නිසාමයි ලියන්න අමතක නොකළේ.

  4. vishvanatha said, on අගෝස්තු 1, 2012 at 10:40 පෙ.ව.

    ස්ත්‍රීවාදයට ඇබැහි වූ කුරිරු ඇමරිකානු අස්වාභාවික ගෑනු මේ නීතියට එරෙහි වේවි.ලංකාවෙ මවුකිරිදීමේ ප්‍රතිශතය ඉහලයි.ඒ නීති ගෙනල්ල නොවෙයි.මම පත්තරේක දැක්ක ගර්භනී භාවයට ශ මවුකිරිදීමට සැමියාගෙන් හා දරුවන්ගෙන් වන්දි ඉල්ලන්න ඕන කියල බටහිර කාන්තා සංවිධාන කියනවලු.පවුල් සම්බන්ධතා නැත්තටම නැති තමන්ගෙ දරුව පිටකෙනෙක් කියල හිතන ඇමරිකානු කාන්තාව තිරිසන් සතෙකුටත් අන්තයි.මම මේ කියන්නෙ අන්තර්ජාලයේ ස්ත්‍රීවාදය ඝැන තියන ලිපි පාදක කර ගනිමින් .මම අන්තවාදියෙක් නොවෙයි.ඇමරිකාවෙ හොද දේ නැත්තෙ නෑ.ඕනෑම කෙනෙකුට ඉදිරියට යාමේ අවස්ථා ඇමරිකාවෙ තියනවා.හැබැයි මේ වාගෙ කුරිරු අදහස් ඇති තමන් ගැන විතරක් හිතන කුරිරු අමුතු මිනිස්සු නම් ලෝකෙ කොහෙවත් නැතිව ඇති.තමන්ගෙ දරුවට ආදරේ නෑ කියන්නෙ මාරයි.ඇමරිකාවෙ ලේ වලට වඩා වතුර උකුයි

  5. vishvanatha said, on අගෝස්තු 1, 2012 at 10:50 පෙ.ව.

    මම කොමෙන්ට් එක දාල තමයි ලින්ක් එක බැලුවෙ මවුකිරිදීමට එරෙහි ඇමරිකන් ස්ත්‍රීවාදයේ කුරිරු ආත්මාර්ථකාමී බව මම දුටුවා .මේ වගෙ මවුවරුන්ගෙන් බිහිවන දරුවන්ගෙන් තමයි ලෝකය ඇමරිකානු කෲරත්වය භුක්තිවිදින්නෙ

    • arunishapiro said, on අගෝස්තු 1, 2012 at 2:22 ප.ව.

      vishvanatha,

      අයෙක් යමක් වැරදියට කියෙව්වා කියල ලියා ඇති දේ වැරදි වෙන්නෙ නැහැ.

      සබැඳියේ ලිපිය ලියනා Hanna Rosin මව්කිරි දෙන්නට තමන් විසින් තීරණයක් ගත් අයෙක් බව කියන්නේ මෙසේය: When I was a brand new, righteous vigilant mother I too got that swag bag with the packet of Infamil in it. I was outraged, horrified, I probably cursed for the first time in front of my precious infant. But that little packet did not break down my resolve and compromise my moral rectitude. I did with it the same thing I do when I get a swag bag from a PR company or my dentist: I threw it into the garbage, because I am grown person and I can do things like that.

      ඇමෙරිකාවේ කෲරත්වයක් දකින අය රුසියාවේ ගබ්සා නීතිගත වූයේ 1920 දී බවත්, රුසියාව අද ලෝකයේ නීත්‍යානුකූලව වැඩියෙන් ම ගබ්සාවන්ට ඉඩ දෙන රට බවත්, එසේම ඉන්දියාව හා චීනයේ ගැහැණු දරුවන් පමණක් මිලියන ගණනින් නැති කිරීම ගැනත් නොදකිති.

      එසේම සිරියාවේ අසාද් තම වැසියන් මරණවා නොදකියි. අසාද් ට සහාය දෙන්නට නැව් පුරවා අවි එවන රුසියාව නොදකිති.

      රැසියාවේ පුටින්ට විරුද්ධව යමක් කිව්වොත් අපහාසයක් සේ සැලකෙන නීති ගෙනැවිත් ඇති බව ද, පූටින් රජය අනුමත නොකරන පෙළපාලි වලට £6,000 දඩයක් වැදෙන බව ද, තම ආණ්ඩුවේ ආධිපත්‍ය්‍ය රැකගන්නට පිටරටින් ආධාර ගන්නා NGO වලට “විදේශීය ඒජන්ත” යැයි කියන්නට අණක් ද, ‘විනාශකාරී’ වෙබ් අඩවි නාම ලැයිස්තුවක් ද, Pussy Riot සංගීත කණ්ඩායම පූටින්ට අපහාස කළා යැයි වසර හතක් සිරගත කරන්නට යෑම ද කෲරත්වයක් නොව මානුෂීය වූ සුහදත්වයක් ලෙස ම දකිති!!!!

      • අමා said, on අගෝස්තු 2, 2012 at 12:34 පෙ.ව.

        Vishvantha’s comment is a classic exampel of ‘people only seeing what they want to see’ !

        @Vishvantha
        ඇයි තව ලංකාවේ දුවලව දුෂණය කරන තාත්තල, දරුවාව ලිංගික වහල් සේවයට විකුණන දෙමව්පියෝ?
        එතකොට ලංකාවේ කෘරත්වය ගැන කතාකරන්නේ නැද්ද?

        • arunishapiro said, on අගෝස්තු 2, 2012 at 8:58 පෙ.ව.

          අමා නංගි,

          ගබ්සා නීතිගත නැති ලංකාවේ වසරකට කෙරෙන ගබ්සා කොච්චරක් දැයි නොදන්න අය අශෝක හඳගමගේ “තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටියට බැන්නා. ඇමෙරිකාවේ වැරදි මුළු ලෝකයට ම දැනගන්න කතාබහ කරන්න නිදහසක් තියෙනවා. ඇමෙරිකාවට බනින අයගෙ ගෙවල් ඉස්සරහ පෙළපාලි යන්නෙ නැහැ. තමන්ගෙ කපටි පාලකයන් තමන්ගෙ බඩ වඩා ගැනීම වසන් කරගන්න ඇමෙරිකාවට බනිද්දි ඒ අයගෙ රටේ අහිංසකයන් හාමතයෙන් මැරේවි කියලා ආධාරත් යවනවා. ඒත් අනිත් රටවල වැරදි හංගාගෙන ඉන්න අය ඒ ගැන කිව්වොත් හංවඩු ගහන්නෙ දේශද්‍රෝහියෙක් කියල, වැරැද්දක් පෙන්නුවාම හදා ගන්නවා වෙනුවට.

  6. රාජ් said, on අගෝස්තු 1, 2012 at 10:55 පෙ.ව.

    මෙහෙත් ගෙනාව ඔයවගේ අසාර්ථක නීති. කූඩ නීතිය, පිදුරු පිලිස්සීම තහනම් කිරීමේ නීතිය වගේ දේවල්.
    කරුමෙට වගේ “සැමට එක නීතියක්” තමයි නැත්තෙ.‍
    අපේ හාමුදුරුවරු ගැනනං ඕනතරම් කතා කරල තියනවනේ. එයාල හැම දෙයකටම ඇඟිලි ගහනව. නොකරන එකම දේ තමයි තමුන්ට අදාල පිලිවෙත් පිරීම. උපත් පාලන නීතියට මුලින්ම (දන්න තරමින්) විරුද්ධ උනේ ගංගොඩවිල සෝම හාමුදුරුවො.

    මගේ ප්‍රශ්නෙ මේකයි.
    “ඇත්තටම හොඳ දෙයක් වෙනුවෙන්”(මවුකිරි නීතිය වැනි), “කවදාවත් හැදෙන්නෙ නැති එවුන්ට” නීතියක් ගෙනඒම වරදක්ද?

    • arunishapiro said, on අගෝස්තු 1, 2012 at 12:20 ප.ව.

      රාජ්,

      සියල්ලන්ගේ ම අයිති රැකෙන්නේ සියල්ලන්ට ම බලපාන නීති වලින්. ඒවා සරල හා සීමිත වූ ඒවා වෙන්නයි ඕන. වැඩියෙන් නීති පැනවෙද්දි ඒවා සියල්ලන්ට ම නොව යම් යම් කොට්ඨාශ වලට පමණක් බලපානවා. සරල නොවෙද්දි ඒවා කඩන්නට ක්‍රමවේද සොයා ගැනෙනවා.

      ඔව් රාජ්, ‘ඇත්තටම හොඳ දෙයක් වෙනුවෙන්’ වුවත් නීතියක් ගෙන ඒම වරදක්. මොකද ඒකෙන් ‘කවදාවත් හැදෙන්නෙ නැති එවුන්’ හදන්න බැරි නිසා. මව්කිරි දීම වගේ හොඳ දෙයකට නීති ගෙනාවම වෙන්නෙ කූඩ නීතියක් ගේන්නත් ඊ ළඟට මව්කිරි නොදෙන අයට හා කූඩ පාවිච්චි නොකරන අයට මරණ දණ්ඩනය ගේන්නත් ඉඩකඩක් පාදා දීම. සවුදි අරාබියේ ගෑණියෙකුට තනියම යන්න බැරි නීතියකුත් තියෙනවානේ … ගෑණු ළමයෙක්ව තනියම කොහේවත් යවන්නෙ නැති අය ලංකාවේ කොච්චර ඉන්නවා ද? ඉතින් ලංකාවේ නීතියක් නැතත් ක්‍රියාත්මක වෙන දෙයක් සවුදි අරාබියේ වගේ නීතිගත වුවොත් හොඳ යැයි කිව්වොත්?!!!!

  7. ravi said, on අගෝස්තු 1, 2012 at 2:33 ප.ව.

    බොදු බල සේනාවෙ හාන්දුරුවරුන්ට ඔහොම යෝජනා සම්මත කර කර ආණ්ඩුවෙන් ඉල්ලීම් කර කර ඉන්න වෙලාවෙ සිංහල බෞද්ධ ජනගහණය අඩුවීම නතර කරන්ට බොහොම පහසු වැඩක් කළෑකිනෙ…සිවුරු ඇරල කසාදයක් කරගෙන ඒ වැඩේ තමන්ම කලානම් මොකද වෙන්නෙ අනුන්ට හදාපිය දරුවො කියල බල කරන වෙලාවෙ?

    බ්ලූම්බර්ග් ගැන කියනව නම් මම හිතන්නෙ කාන්තාවන්ට තම සිරුරේ අයිතිය අනිවාර්යයෙන්ම තියෙන්නෙ ඕන කියල එයා හිතනව ඇති. හැබැයි පොඩි පහේ කේවියට් එහෙකුත් එක්ක…ඒ කියන්නෙ මුළු සිරුරම කිව්වට සිරුරමත් නෙවෙයි පියයුරු ඇරුණම ඉතිරි හරියයි තමන්ටම අයිති වෙන්නෙ. පියයුරු වල අයිතිය තියෙන්න ඕන ආණ්ඩුවට.

    • arunishapiro said, on අගෝස්තු 1, 2012 at 2:49 ප.ව.

      ravi,

      මගේ යෝජනාවත් ඒකම තමා රවී. සිවුර තියාගත්තටත් කමක් නැහැ, එළිපිට ම දරුවන් හදනවා නම්. කසාදයක් බඳින්නත් ඕනෙ නැහැනෙ දරුවන් හදන්න, දැනටමත්!!! කැමති උපාසිකාවන් එකතු කරගෙන බෞද්ධ ජනගහණය වැඩි කරන්න සම්මාදම් වෙන්න පුළුවන් අනුන්ට නීති දාන්න නොයා.

      අනික, ආගමික නායකයන්ට විවාහ වී දරුවන් හැදීමේ අයිතිය ඇති ලෝක ආගම් බොහොමයක් ලාංකික බුද්ධාගමට වඩා පිරිසක් ඉන්න ආගම්.

      ඊ ළඟට ආණ්ඩුවට ගැහැණියගේ සිරුරෙන් තව කොටසකුත් වෙන් වෙයි ද කියන එක තමා භය!!!

      • ravi said, on අගෝස්තු 1, 2012 at 4:17 ප.ව.

        / ඊ ළඟට ආණ්ඩුවට ගැහැණියගේ සිරුරෙන් තව කොටසකුත් වෙන් වෙයි ද කියන එක තමා භය!!! /

        අරුණිගෙ මේ කතාව කියෙව්වම මම අහල තියෙන රසවත් කතාවක් මතක් උනා. ඇත්තම කතාවක් කියලයි කියන්නෙ…මේක සිද්ද උනයි කියන්නෙ නමසිය පණස් ගනන් වල. මරදානෙ හිටියලු සුප්‍රසිද්ද ගණිකාවක්.නම කොන්ත නෝනා. දවසක් කොන්ත නෝනව උසාවි දාල දඩ ගැහුවම නඩුකාරයට මෙහෙම කිව්වළු ප්‍රසිද්දියේම.

        ” ඔය දඩේ ගෙවන එකනං මහ කජ්ජක් නෙවෙයි අපෙ හාන්දුරුනේ, ඒත් ඉතිං මයෙ අහවල් එකත් අයිති ආණ්ඩුවටයි කියල මම දන්නෙ නං ඕං මේ අදමයි ”

        ඔය කතාව සභ්‍ය විදිහට පෙරලිලා තමයි ” කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියට ” කියන කියමන ඇවිල්ල තියනවයි කියන්නෙ 🙂 🙂

        • arunishapiro said, on අගෝස්තු 1, 2012 at 8:10 ප.ව.

          ravi,

          ඇමෙරිකාවේ නම සඳහන් නැත්නම් සීන් එකකට, ලෝකේ ඇති වෙන කිසිම රටක අසාධාරණයක් දකින්නෙ නැහැ සිංහලෙන කියවන අය.

          ස්ලොබොඩාන් මිලොසවිච්ගේ යුගොස්ලෝවියාව, සර්බියාව හර්සාගොවිනා ගැන එහෙම කියවලා ඇත්නම් ජාත්‍යාලයේ නාමයෙන් බලතණ්හාධිකයෙක් රුසියාව එක්ක එකතු වෙලා ජාතිය ගොඩනැඟීමේ වෑයමක් හැටියට කාන්තාවන්ට ළමයි තුන් හතර දෙනෙක් ඉන්න මවක් “mother-nurturer” කියලා ‘වෘත්තියක්’ හදලා කාන්තා විමුක්තිය විකුණලා ඒකෙන් තමන්ගෙ සහ හෙංචයියන්ගෙ බලය තහවුරු කරගත්ත හැටි දන්නෙත් නැහැ. යුක්තිය සාධාරණත්වය කියන වචන අනුන් රවටන්න පාවිච්චි කරලා අන්තිමේ දී මොන්ටෙනීග්‍රෝ හා සර්බියන් ජනතාවට දැනගන්න ලැබෙන්නෙ තමන්ගේ දේශපාලන නායකයන් තමයි ගෑණු විකුණන ව්‍යාපාර කරන්නෙ කියල. අවසානයේ රැවටිච්ච කාන්තාවන්ට තමන්ව ප්‍රජනන මැෂින් බවට ආණ්ඩුව විසින් හරවා තියෙනවා දැක්කම, එතැනට ආවේ කොහොම දැයි හිතාගන්න බැරිවුනා. විමසා බැලීමකින් තොරව පුද්ගලයෙක් අදහසක් බාර ගැනීමේ දී, ඒවා සමාජයේ ‘තෝරාගැනීම්’ බවට පත් වී, කිසිවෙක් සවිඥානිකව තෝරාගත්තේ නැති, කාටවත් උවමනා නොවූ ප්‍රතිඵලයක් ලැබෙන ආකාරය පැහැදිලිව කරන ඵෛතිහාසික වකවාණුවක් ගැන සොයා බලන්නට කාට ද උවමනා.

  8. Anupa said, on අගෝස්තු 1, 2012 at 2:39 ප.ව.

    මෙය හුදු පෞද්ගලික විවේචනයක් ලෙස නොසලකන්න මිනිස් ස්වභාවය පිරික්සීමක් ලෙස සලකන්න .සමහර අය ඔහු ජීවත්

    වෙන සමාජයේ පිටස්තරයෙක් වුනාම එහෙම නැත්නම් වැඩි සමාජ පිලිගැනීමක් නැති වුනාම ඔහු ඒකෙන් මිදෙන්න භාවිතා

    කරන උපක්‍රමයක් තමයි අදාල සමාජ කොට්ඨාශයේ සතුරන්ට නිර්ධය ලෙස පහර දෙන ඒක, එහෙම නැත්නම් එම සමාජ

    කොටසේ අන්තවාදි අදහස් උපුටා දක්වමින් තමනුත් එය අනුගමනය කරන බව ඒත්තු ගැන්වීම.

    අපි නිකම් උදාහරණයක්ට ගමු ප්‍රභාකරන්ව.ඔහු ජිවත් වුනේ උතුරේ වෙල්ලාල කුලයේ දැඩි අණසක පැතුරුනු ප්‍රදේශයක ,

    ඔවුන්ට අනුව ප්‍රභාකරන් අඩු කුලයේ කෙනෙක්, පිටස්තරයෙක් ඔවුන් සමග සමතැන් ගන්නට ඔහු යොදන උපක්‍රමය තමයි

    සින්හලයන් කෙරේ දැඩි වෛරයක් මුදා හරින එක .තව ඕනෙ නම් ගමු හිට්ලර්ව ඔහු ඉපදුනේ ජර්මනියෙනුත් පිටත ඔස්ට්‍රියාවේ ,

    ඔහුගෙ ජීවිතේ මුල් කාලේ දුශ්කරව පැවතීමේ හීනමානය යුදෙව්වන් වෙත වෛරයක් බවට පරිවර්තනය වෙනවා පස්සේ

    යුදෙව්වන්ගෙන් පිරිසිදු ආර්ය ජාතිය බේරා ගැනීමේ ගැලවුම්කරු බවට පත් වෙනවා

    දැන් වටේ යන්නේ නැතිව මාතෘකාවට බහිමු.ඔබ ඇමරිකාවට පිටස්තරයෙක් ,ඇමරිකාවේ නොඉපදුනු,(මේ හින්දා ඔබතුමීට

    ජනාධිපතිවරනයකට ඉදිපත් වෙන්න බෑ!!) ඇමරිකාවේ මුල් කාලය ගත නොකල කෙනෙක්.මේ පිටස්තර බාවයෙන් මිදෙන්න

    ඔබතුමිය කරන්නේ උඩින් නම් කරපු අය කල දේමයි.හැබයි ගොඩාක් සැර බාල කරල

    මේ බ්ලොග් එක කියවාගෙන යද්දී ඕනෙම කෙනෙක්ට වැටහෙනවා ඔබ රිපබ්ලිකන් පාක්ශිකයෙකු බව . රිපබ්ලිකන් පක්ෂය සැලකෙන්නේ ඇමරිකාවේ පවතින සාම්ප්‍රදායික ක්‍රම පවත්වාගෙන යන්නට උර දෙන පක්ෂයක් හැටියට {ආයුධ පාලනයට විරුද්ධ ,ගබ්සාවට විරුද්ධ,සමලින්ගික විවාහ වලට විරුද්ධ වගේ සාම්ප්‍රදායික අදහස්}. මේ සියල්ලටම වාගේ ගැලෙපෙන අදහස් මේ බ්ලොග් එක පුරාම තියෙනව, කොටින්ම ඔබතුමිය ඔබාමගේ සෞඛ්ය ප්‍රතිසන්ස්කරණ වලටත් විරුද්ධයිනේ.රිපබ්ලිකන් අදහස් දැරීම වරදක් නැහැ නමුත් ඒකෙ අන්තයටම යෑම පිටස්තර බාවයෙන් මිදිමේ උපක්‍රමයක් ලෙස තමයි මට පේන්නේ (මට පේන හැම දේම නිවැරදි නෑ)

    ප.ලි.-මේ බ්ලොග් එකේ සාකච්ඡා වෙලා නැත්තේ සමලින්ගික විවාහ නීතිගත කිරීමේ මාතෘකාව විතරයි.ඒකෙත් අහන්න දෙයක් නෑ ඔබතුමිය විරුද්ධයි

  9. vishvanatha said, on අගෝස්තු 1, 2012 at 9:24 ප.ව.

    මම දෘෂ්ටිවාදවල සිරවුන කෙනෙක් නොවෙයි.අසාද්ල ගඩාෆිල සදාම්ල විතරක් නොවෙයි ලෝකයේ විශාලම මිනිස් සත්තු වත්ත වන චීනයේ කෙරෙන දේවල් වලටත් මම විරුද්ධයි.1920 දශකයේ ස්ටාලින් පවුල අහෝසි කලා.අද රුසියාවේ ගර්භනීභාවයන් ගෙන් 45%ක් අවසන් වන්නේ ගබ්සා වලින්.මාක්ස්වාදීන් රටේ හර පද්ධති විනාශ කිරීමේ ප්‍රතිපලයි ඒ.
    මම ඇමරිකාවට ගරු කරනවා එහි තිබෙන නිදහසට,ඕනෑම කෙනෙකුට ඉහලට යාමේ අවස්ථා දෙනවට.ලංකාවෙ සුලුජාතිකයෙකුට ජනාධිපති වෙන්න බෑනෙ
    හැබැයි ස්ත්‍රී පුරුෂ ලෙස කුලල්කාගන්නා සමාජයත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර නේද.මම ඉන්ටනෙට් එකේ දැක්කා ශ්ත්‍රීවාදීන්ගේ බිහිසුණු කෲර අදහස්.ගර්භනීභාවයටත් වන්දි ගන්න ඕනලු.මේ වගෙ ගෑනු තිරිසන් සතුන්ටත් අන්තයි නේද.මේ අය ඇමරිකාව ප්‍රමුඛ බටහිර සංස්කෘතියේ තිලිනයන් නේද
    පෙරදිග සමාජයේ මොන අඩුපාඩු තිබුනත් මේ වගෙ තමන්ගෙ පියාට සැමියට පුතාට වෛර කරන ගෑනු නෑ.ෆෙමිනිස්ට්ලගෙ භාෂා ශිලිය දක්කම මුන් එක්ක පවුල් කන්න මිනිහෙකුට පුලුවන්ද කියල හිතෙනවා
    ඇමරිකාව තුල නිදහස ඇති ඒක හරි.හැබැයි රාජ්‍ය නොවන සංවිධාන හරහා ඇමරිකාව අපට බලපෑම් කරනවා.අපි හිතන්න ඕන ඇමරිකාව කියන විදියට කියන එකයි ඒකෙන් කියන්නෙ ඒක සාධාරනද?ඇමරිකාවත් එහි හිතවත් බටහිර රටවලුත් විශාල මුදල් ප්‍රමානයක් පොම්ප කරනවා අපේ මනස සකස් කරන්න ඒ ඇයි ඒක හරිද

  10. අමා said, on අගෝස්තු 2, 2012 at 12:39 පෙ.ව.

    මට පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් මව් කිරි දීම නීතිගත කරොත්, ඒක ක්‍රියාත්මක වෙනවද නැද්ද කියල බලන්නේ කොහොමද??

    • arunishapiro said, on අගෝස්තු 2, 2012 at 8:50 පෙ.ව.

      අමා නංගි,

      ක්‍රියාත්මක වෙනව ද නැද්ද බලන්න බැරි ඔහොම නීති කොච්චරක් ද? ඒත් එක පිළිගන්නෙ නැතිව ගෙනේවි අම්මලා තමන්ගේ දරුවන්ට කිරි දෙනවා දැයි සොයා බලන සෞඛ්‍ය සේවිකා බලකායක්. එතකොට ආණ්ඩුවට පුළුවන් කියන්න අපි රස්සාවල් මෙච්චර ගාණක් බිහි කළා කියල!!! ඒ නිශ්ඵල රැකියාවලට පඩි ගෙවන සල්ලි එක්කො ආණ්ඩුවක් ගන්න ණය නැත්නම් කිරිදෙන අම්මලා ගෙන් ම කපා ගන්න බදු බව දකින්නෙ ඒකට අකමැති සොච්චම විතරයි.

      කට්ටියකගේ සිත දිනාගන්න කරන චන්ද ගුණ්ඩු මිසක් එවැනි නීති වලින් කිසි යහපතක් සමාජයකට සිද්ධ වී නැහැ. නොසිතූ ප්‍රතිඵල නිසා සිද්ධ වෙන අයහපත නම් විශාලයි. උදාහරණයක්: දැන් මව්කිරි දිය යුතු යැයි නීතියෙන් කිව්වොත් ඒක වෙනවා ද නැද්ද සොයා බැලෙන්නෙ දරුවා ඉපදුනාම ඉස්පිරිතාලේ දී ඉන්න ටික දවසට. මව්කිරි දෙන්න කුමන හෝ හේතුවක් නිසා අකමැති අය දරුවන් ගෙදර දී බිහිකරන්න (දැනට ඒක නීතියෙන් තහනම් නැහැ) ගියොත් ළදරු මරණ සංඛ්‍යාව වැඩි වෙයි ද?

      • Amarasinghe Sujatha said, on අගෝස්තු 2, 2012 at 8:57 පෙ.ව.

        නැහ්……. අලුතෙං කට්ටිය ඕන නැහැ. අර පරිවාස නිලධාරි කියල ඉන්නෙ. එයාලටම ඒ ජොබ් එක දෙන්ට පුලුවං. ඔච්චර නාස්තිකාර උපදෙස් දෙන්ට එපා අක්කෙ බැරි වෙලාවත් මේක රජා දැක්කොත් එහෙම. ඔයා කියන කියන එව්ව කොරයි.

        • arunishapiro said, on අගෝස්තු 2, 2012 at 9:05 පෙ.ව.

          සුජාතා නංගි,

          ඇමෙරිකාවේ සාර්ථක වූ වැඩ පිළිවෙත 1776 දී ලොවට කියා දුන්නට ඒ කාලයේ ම සිද්ධ වූ ප්‍රංශ විප්ලවයේ දී පවා එය අවුල් කරගත්තා. ලෝකයේ අනුවණ පිළිවෙත් වලින් බලය තණ්හාධිකයන්ට නිතරම වාසි ලැබෙන පිළිවෙත් ගෙන්වා ගනිද්දී ලෝක ජනතාව පාරට බැහැලා සහාය දෙනවා. ඒ අර ෆුල් කොන්ෆිඩන්ට් කට්ටියවයි අඩුම කොන්ෆිඩන්ට් කට්ටියවයි වෙනස් කරන්න අමාරුකම. මැද ඉන්න රැල්ලට පෙරළෙන අය තමයි හැමදාම වැඩි.

          මම නොකිව්වට ඔය රුසියන් හොටු පිළිගන්නට, රැල්ලට පෙරළෙන අය හැමදාම සූදානමින් ඉන්නෙ. දැන් බලන්න පූටින්ගේ රුසියාවේ දේවල්, වෙබ් අඩවි කළු ලැයිස්තු හදන්න එහෙම දැනටමත් උත්සාහයක් ලංකාවේ ආණ්ඩුවෙන් කරලා තියෙනවානේ. මෙහෙ ඉන්න රුසියන් හොටු කැමති අයත් ට්‍රයි එකක් දෙනවානේ. මෙහෙ මාධ්‍ය්‍යට නිදහසක් තිබ්බත් වැඩක් නැහැ, නිදහස කුමක් නිසා තියෙනවා දැයි කුමක් නිසා අහිමි වෙනවා දැයි දන්නෙ නැත්නම්.

          • Amarasinghe Sujatha said, on අගෝස්තු 2, 2012 at 9:12 පෙ.ව.

            මට මේ දැං දෝණි කිව්වා මොන්ගෝලියානු මිනිසුන් සමාජවාදෙ එපාඋන කාලෙ සමාජවාදෙ ලියැවුනු පොත් වල කොල මොනවාටද පාවිච්චි කලේ කියල. මම කිව්ව 70 ගනන් වල සිරිමා ආන්ඩුව කාලෙ ලංකාවෙත් එහෙම මිනිසුන්ට යම්යම් දේ අප්‍රිය උනහැටි

            • arunishapiro said, on අගෝස්තු 2, 2012 at 9:20 පෙ.ව.

              සුජාතා නංගි,

              මට මතකයි සිරිමා ආණ්ඩුව බලයට පත් වෙච්ච දවස. එදා 120 බස් මාර්ගයේ ග්‍රීන්පාත් පාර පටන් ගන්න තැන තිබිච්ච අනිත් පක්ෂෙ ධනපතියාගේ ගෙදරට ගල් ගහලා වීදුරු ජනේල කැඩුවා.

              මට මතකයි සිරිමා ආණ්ඩුව පැරදිච්ච දවස. එදා කොහුවල හංදියේ පාන් කඩේ ආච්චිවයි සමූපාකාරයේ මනුස්සයාවයි මිනිස්සු හෙව්වෙ පොලු අරගෙන හංදියේ ඇවිදින ගමන්.

              ඒත්, වැරැද්ද ඔවුන් අත නෙමෙයි, වැරැද්ද ඒ අය අතට අනිසි බලයක් දෙන ආණ්ඩු ක්‍රමයක් ගෙනෙන පුරවැසියන් අතයි. එය එදා දැක්කේ නැති නිසා අදත් එසේම අනුන් අතට අනිසි බලය අපි කැමැත්තෙන් ම දෙමින් සිටිනවා. ඊ ළඟට මහින්ද චින්තනය ලියැවිච්ච කොළ පාවිච්චි වෙයි!!! ඒත් ඒක කළත් තත්වය වෙනස් වෙන්නෙ නැහැ.

  11. Gold fish said, on අගෝස්තු 2, 2012 at 2:21 පෙ.ව.

    මං නම් කැමති ප්‍රොටෝටයිප් වාහන වලට… කවදාවත් මිලදී ගන්න දෙය ගැන දොම්නසක් ඇති වෙන්නේ නෑ….

  12. chandi said, on අගෝස්තු 2, 2012 at 1:22 ප.ව.

    මව්කිරි දෙනකොට ඇඟ අවලස්සන වෙනවාලු නේ අරුණි.
    .//මගේ යෝජනාවත් ඒකම තමා රවී. සිවුර තියාගත්තටත් කමක් නැහැ, එළිපිට ම දරුවන් හදනවා නම්. කසාදයක් බඳින්නත් ඕනෙ නැහැනෙ දරුවන් හදන්න, දැනටමත්!!! කැමති උපාසිකාවන් එකතු කරගෙන බෞද්ධ ජනගහණය වැඩි කරන්න සම්මාදම් වෙන්න පුළුවන් අනුන්ට නීති දාන්න නොයා.

    අනික, ආගමික නායකයන්ට විවාහ වී දරුවන් හැදීමේ අයිතිය ඇති ලෝක ආගම් බොහොමයක් ලාංකික බුද්ධාගමට වඩා පිරිසක් ඉන්න ආගම්.

    ඊ ළඟට ආණ්ඩුවට ගැහැණියගේ සිරුරෙන් තව කොටසකුත් වෙන් වෙයි ද කියන එක තමා භය!!!//

    මේ කතාවට නම් මාත් එකඟයි, සමහර චීවර ධාරීන් කරන වැඩ නිසා හරියට කල කිරෙනවා.
    කවදාවත් මිලදී ගන්න දෙයක් ගැන දොම්නසක් ඇති කරගන්නේ නම් නෑ….

    • arunishapiro said, on අගෝස්තු 2, 2012 at 3:27 ප.ව.

      chandi,

      ලස්සන කියන එක හැමෝටම එකම විදියට පෙනෙන්නෙ නැති දෙයක්නෙ චාන්දි අක්කා. අනුන්ට ලස්සන වෙන්න හදන්නෙ නැතිව තමන්ට තමන් ලස්සන වුනොත් ඒ ඇති.

      ලංකාවේ බෞද්ධ නායකයන් කරන කියන දේවල් ලෝකයා දන්නෙ නැහැයි කියා හිතනවා ඇති. ඒ අය ලෝකයා කරන කියන දේ දන්නෙ නැති නිසා.

      ඔව්, මිල දී ගත්තාට පස්සෙ දොම්නස් වෙලා නම් ඵලක් නැහැ තමා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: