අරුණි ශපීරෝ‍ වෙතින්

අලුගෝසුවා -මොරීස් ඔග්ඩන් (1902-1971)

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 2, 2012

අපේ ගමට අලුගෝසුවා ආවේය
රත්තරන්, ලේ හා ගිනිදැල් පුසුඹින්
ඔහු ගඩොල් ගොඩනැඟිලි අතරින්
අප්‍රගල්භ ලෙසින් එහා මෙහා ගියේය
උසාවිය අසලින් එල්ලුම් ගහ ඉදිකළේය
මැස්ස වූයේ උසාවියේ පසෙකය
එහි පළල, උසාවි දොරේ පළල හා සමාන විය
රාමුව, උසාවියේ දොරට, සමහර විට ඊටත් වඩා
උසාවි දොරේ උලුවස්ස තරම් උස් විය
අපිට ඉස්පාසු ඇති විටෙක අපි හිතුවෙමු
කවුද ඒ අපරාධකාරයා
මොකක් ද එයා කළ අපරාධය
අලුගෝසුවා කොහොම ද විනිශ්චය කරන්නේ
සිය නොඉවසිලි අතේ දැවටුන කහ කඹය සමඟින්.
අහිංසක අපි, බියෙන් තැතිගෙන
ඒ බියකුරු ඇස් පසුකරගෙන ගියෙමු
අයෙක් කෑ ගසනා තෙක්
“අලුගෝසුවා, කා වෙනුවෙන් ද ඔබ මේක ඉදි කළේ?”
බියකුරු ඇස්වල සිනාවක් නළියන්නට විය
උත්තරයක් වෙනුවට ප්‍රහේලිකාවක් ලැබුණි
“මගේ අභිප්‍රායට වැඩියෙන් ම සේවයක් කරන්නාට
අන්න එයාටයි මේක ඉදිකළේ.”
ඔහු වධක රාමුවෙන් බැස අප අතරට ආවේය
ඔහු අත තැබුවේ විදේශිකයෙකුට
අපි නැවතත් හුස්ම ගත්තෙමු
අලුගෝසුවා අතින් නැඟෙන
තවෙකෙකුගේ දුක
අපේ සැනසුම විය
උසාවියේ තණ පිල්ලේ ඉදි වූ
අලුගෝසුවාගේ එල්ලුම් ගහ
හෙට හිරු පායද්දී
ගලවා දමා නැතිවී යාවී
ඉතින් අපි අලුගෝසුවාට ඉඩ දුන්නෙමු
කිසිවෙක් කිසිත් නොකියා
අලුගෝසුවාගේ ලෝගුවට ගෞරවයෙන්

2.
ඊ ළඟ හිමිදිරියේ හිරු පෑව්වේ සුමුදු ලෙසින්
අපේ නිහඬ නගරයේ වහලවල් හා පාරවල් මතින්
උදෑසන සුළඟේ
දරදඬු ලෙසින් සිටගෙන සිටියේ
කළු පාටින් සිටගෙන සිටියේ
උසාවි චතුරශ්‍රයේ
එල්ලුම් ගහයි
අලුගෝසුවා සුපුරුදු තැන සිටගෙනය
නොඉවසිලි අතේ දැවටෙන කහ කඹය සමඟින්
බියකුරු ඇස් සහ පළල් හක්ක සමඟින්
කරන්න යන්නේ කුමක් දැයි දන්නා හැදියාවකින්
අපි හඬ ගෑවෙමු
“අලුගෝසුවා, ඊයේ අර විදේශිකයා
ඉතින් වැඩේ ඉවර නේද?”
එවිට අපි නිහඬ වුනෙමු
විස්මිත වී සිටගෙන.
“ඔහ්, නැහැ එයාට නෙමෙයි
මේ එල්ලුම් ගහ හැදුවේ,”
ඔහු හයියෙන් සිනා සී අපි දිහා බැලුවේය
“..මෙච්චර මහන්සි වුනේ
එක මිනිහෙක් එල්ලන්න?
ඒක අලුත් කඹයක ඇද අරින්න
මම කරන දෙයක්.”
අයෙක් කෑ ගැසීය,
“මිනීමරුවා!”
අයෙක් කෑ ගැසීය,
“ලැජ්ජාවයි!”
අප මැද්දට අලුගෝසුවා ආවේය
ඒ මිනිසා හුන් තැනට.
“ඔබ එකඟ වෙනවා ද,”
ඔහු ඇසුවේය
“මෙයා එක්ක
මේ එල්ලුම් ගහට නියම වූවා එක්ක?”
අලුගෝසුවා අත උස්සා ඒ මිනිසාගේ අත ඇල්ලීය
අපි තැතිගෙන පස්සට ගියෙමු
ඔහුට ඉඩ දුන්නෙමු
කිසිවෙක් කිසිත් කීවේ නැත
අලුගෝසුවාගේ ලෝගුවට බියෙන්
එදා රූ අපි විමතියෙන් දුටුවෙමු
එල්ලුම් ගහ ප්‍රමාණයෙන් විසල් වී ඇති සැටි
යටින් පෙවූ ලෙයින් පෝෂණය වී
එල්ලුම් ගහ මුල් ඇද තිබි සැටි
දැන් එහි පළල
උසාවියේ දොරට යන පඩි පෙළ දක්වා
සමහර විට ඊටත් වඩා
පළල් වී ඇති සැටි
උසාවි බිත්තියේ බාගයක් දක්වා
එහි ලියැවී තිබූ අකුරු තරම් ඉහළට
එල්ලුම් ගහ වැවී තිබුණි.

3.
තුන්වැනියට ඔහු ගත්තේ
අන්‍ය ආගමිකයෙකි
අපි සියල්ලටම ඇසුනේ
“මොකට ද මෙයාව ඔබලාට?”
යන්නයි
ඉතින් අපි හඬ ගෑවෙමු
“මෙයා ද ඔබේ අභිප්‍රායට
වැඩියෙන් ම සේවයක් කරන්නා?”
අලුගෝසුවා සිනාසුනි
“මේක දක්ෂ සැලැස්මක්
පලංචිය ශක්තිමත් කරන්නට.”
හතරවැන්නා හමේ පාටින් අපිට වෙනස් මිනිසෙකි
අලුගෝසුවා අප වෙත හෙලුවේ
එයාගෙන් ඇති ඵලේ කුමක් දැයි
අසන බැල්මකි
අසන වදන් පෙලකි
පස්වැන්නා, හයවැන්නා
අපි හඬ ගෑවෙමු
“අලුගෝසුවා, අලුගෝසුවා, මේ අන්තිමයා ද?”
“මේක උප්පරවැටියක්,”
ඔහු කීවේය
“අපි අලුගෝසුවෝ විතරක් දන්න
ඇතුලට වැටෙන පියන හරියට වැඩකරවන්න.”
ඉතින් අපි නිහඬ වූනෙමු
නැවතත් අහන්නෙ නැතිව
හැම හිමිදිරියකම
හැම රාත්‍රියකම
අලුගෝසුවා විසින්
මරණ සංඛ්‍යාව ගණන් කරද්දී
එල්ලුම් ගහ රාක්ෂයෙක් ලෙසින් ඉහළ යද්දී
චතුරශ්‍රය වසාගෙන විසල් වී
එහි සෙවනැල්ල හංදිය පුරවා වැටෙද්දී.

4.
හංදිය මැදින් අලුගෝසුවා එද්දී
හිස් වීදි මැදින්
මගේ නම හඬ ගාද්දී
ඉහළට ඇදී ගිය එල්ලුම් ගහ දිහා බලමින්
මම හිතුවේ
“නැහැ වෙනත් කිසිවෙක්
එල්ලුම් ගහේ එල්ලන්නට.”
එවිට ඔහු මට කතා කළේ
එල්ලුම් ගහ ගලවන්නට.
බලාපොරොත්තු සහගතව
එල්ලුම් ගහට
අලුගෝසුවාගේ කඹයට
මම ගියෙමි.
ඔහු සිනාසුනේය
නිහඬ හංදිය මැදින්
උසාවි චතුරශ්‍රයට
මම එනවිට
ඔහුගේ අතේ
සුනම්‍ය හා දිග හැරුණු
කහ කඹය විය
ඔහු උරුහන් බාමින්
සිනාවකින් යුතු ආඥාවකින්
මගේ අත ඇල්ලීය
“අලුගෝසුවා, ඔයා මාව රැවැට්ටුවා!”
එවිට මම කෑ ගැසුවෙමි.
“ඔයා එල්ලුම් ගහ හැදුවේ අනිත් මිනිස්සුන්ට ..
මම ඔයාගෙ හෙංචයියෙක් නෙමෙයි,”
මම මුරගෑවෙමි
“ඔයා මට බොරුවක් කිව්වෙ අලුගෝසුවා. පට්ටපල් බොරුවක් කිව්වේ!”
බියකුරු දෑස්වල සිනාවක් නළියන්නට විය
“බොරුවක් කිව්වෙ?
රැවටිල්ලක් කළේ?”
ඔහු ඇසීය.
“නැහැ මම එහෙම කළේ නැහැ.
මම කෙළින් උත්තර දුන්නා
මම සත්‍ය කිව්වා
ඒ එල්ලුම් ගහ හැදුවේ
වෙන කාටවත් නෙමේ
ඔබටයි
වෙන කවුද මගේ අභිප්‍රාය වෙනුවෙන්
වඩාත් ම හිතෛෂී ලෙසින් සේවය කළේ
බියගුළු බලාපොරොත්තු ඇතිව.”
ඔහු විමසීය
“කෝ ඔබ අසලින්
පොදු යහපත වෙනුවෙන්
සිටගන්නා අය?”
“මිය ගිහින්,”
මම කෙඳිරිගෑවෙමි, දුකින්.
“මරා දාල,” අලුගෝසුවා මාව නිවැරදි කළේය
“මුලින් ම විදේශිකයාව,
ඊ ළඟට අන්‍ය ආගමිකයාව …
මම කළේ නැහැ
ඔබ මට ඉඩ නොදුන් කිසිවක්.”
අහස නොපෙනෙන සේ
පැතිර ගිය පරාලය යට
මා වැනි සේ තනි වී
නැත සිටියේ කිසිවෙක්
අලුගෝසුවා මාව එල්ලද්දී
නැත සිටියේ කිසිවෙක්
හිස් චතුරශ්‍රයේ
මා වෙනුවෙන් කෑ ගහන්න.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. chandi said, on අගෝස්තු 2, 2012 at 8:41 ප.ව.

    ඔයාගෙ ට්‍රාන්ස්ලේශන් එක වගේම වීඩියෝ නිර්මානයත් හරිම ලස්සනයි. තාත්විකයි. මම මෙය කියවලා වත් තිබ්බේ නැහැ. ස්තූතියි! අරුණි නංගී.

    • arunishapiro said, on අගෝස්තු 3, 2012 at 7:55 පෙ.ව.

      චාන්දි අක්කා,

      අගැයීමට ස්තූතියි. මම මේකට දාන්න පින්තූරයක් ඇඳලා දෙන්න කිව්වම ටිකිරි පැටියා ටිකක් බරපතලකමකින් වැඩේ බාරගෙන කරලා දුන්නෙ!!!

  2. vishvanatha said, on අගෝස්තු 2, 2012 at 8:45 ප.ව.

    මම නිසදැස් හෝ සදැස් කවි වලට කැමති කෙනෙක් නොවෙයි.පත්තරේක කවිපිටුව කවදාවත් බලල නෑ.සමහරවිට අපේ රටේ පත්තරවල ඒකාකාරී විකාර කවි විදියට තේරුම් ගත්ත නිසාද මන්ද.ඒත් බටහිර සාහිත්‍ය කොච්චර ඉදිරියෙන් ඉන්නවද කියල මේ වගෙ කවි පන්තියකින් මට හිතෙනවා.සාහිත්‍ය කියන්නෙ නම් මට කොහොමත් ආගන්තුකයි ඒක වෙනම කතාවක්.
    ඒකාධිපති පාලකයන් ට ජනතාව තම අනුමැතිය දී තමන්ගෙම වල කප කපා ගන්න හැටිත් මට හිතෙනවා.අනුන්ගෙ මානව හිමිකම් වලට ඇස් කන් පියා ගැනීමෙන් අපි යක්ෂයා ශක්තිමත් කරනවා.යක්ෂයාට තමන්ගෙ ක්‍රියා සාධාරණීකරනය කරන්න අපිම සාක්ෂි සපයනවා.අන්තිමට ඒ සාක්ෂි මතම අපි වැරදිකාරයො වෙලා අපි දන්නෙම නැතිව

    • arunishapiro said, on අගෝස්තු 3, 2012 at 7:59 පෙ.ව.

      vishvanatha,

      //මම නිසදැස් හෝ සදැස් කවි වලට කැමති කෙනෙක් නොවෙයි.//
      //සාහිත්‍ය කියන්නෙ නම් මට කොහොමත් ආගන්තුකයි ඒක වෙනම කතාවක්.//

      මේ ලෝකෙ ජීවත් වුනාට, මනුෂ්‍යයෙක් හැටියට ගන්න පුළුවන් මේ ලෝකේ වැදගත් ම වූවක් අතහැරිලානේ.

      මේක ඒකාධිපති පාලකයන් ගැන විතරක් නෙමෙයි, බලතණ්හාධික කොම්පැණි ලොක්කන්, බලතණ්හාධික ආගමික නායකයන්ටත් …. යනාදී බලතණ්හාධික වූ සියල්ලන් ගැන ම හා ඒ ගැන කිසිත් නොකියා නිහඬ වී ඉන්නා අය ගැන වූවක්.

  3. Kenji @ Japan said, on අගෝස්තු 3, 2012 at 7:32 පෙ.ව.

    සුපිරි ලෙසටම ලියල,ඉදිරිපත් කරලා තියෙනවා.මම වීඩියෝවත් හතර, පස් වතාවක් බැලුව “අලුගෝසුව” චරිතයට මට ඔළුවට එන්නෙම එක එක රටවල් පාලනය කරන “උඩු රැවුල” තියෙන පාලකයෝ කියා ගන්න අයගේ මුනවල්මනේ. මගේ රැවුල නැති හින්දද? නැත්නම් මගේ මොලේ එයාලට වඩා [හොද / අප්සෙට්] හින්දද?

    • arunishapiro said, on අගෝස්තු 3, 2012 at 8:02 පෙ.ව.

      Kenji @ Japan,

      අගැයීමට ස්තූතියි. අශෝක හඳගම දීපු දේශනයකින් උපුටා දැක්වුව හොත් ‘උඩු රැවුල’ නෙමෙයි හේතුව. එයා සංසන්දනය කළේ චාලි චැප්ලින්ගේ උඩු රැවුල සහ හිට්ලර්ගේ උඩු රැවුල!!!!

  4. Kenji @ Japan said, on අගෝස්තු 3, 2012 at 11:16 පෙ.ව.

    ඔබ කියන විදියට උඩු රැවුල තියෙන පාලකයෝ චාලි චැප්ලින් වැනි ලෝකයට විහිළු සැපයු විහිළුකාරයකු සහ හිට්ලර් වැනි අධම පාලකයා වගේ කියලද?

    • arunishapiro said, on අගෝස්තු 3, 2012 at 2:33 ප.ව.

      Kenji @ Japan,

      හඳයා කියන විදියට උඩු රැවුල තියෙනවා ද නැද්ද නිසා නොව අයෙක් කළ කී දේ අනුව තමයි විහිළුකාරයෙක් ද නැත්නම් අධම පාලකයෙක් දැයි තීරණය වෙන්නෙ.

  5. Kenji @ Japan said, on අගෝස්තු 3, 2012 at 11:47 පෙ.ව.

    හදගමයන් ගැන නම් මම දන්නේ නැහැ,ගාමණී එෆ්.,සුනිල් ඒ.,යසපාලිත එන්.,සුනිල් එස්.පි.,තව එක්ටැම් ගේ කරපු හාදය [මට නම මතකයට එන්නේ නැත]ඔය කවුරුත් එක එක දේවල් අපට කරලා පෙන්නුවා.[මේ අය සමග මම කෙලින්ම සම්බන්දවි සිටිය] නමුත් අද ලංකාවට ඉතිරිවී ඇත්තේ ගාමිණී එෆ්. ගෙනාපු උඩු රැවුල් නළු හමුදා චරිතය නේද?

    • arunishapiro said, on අගෝස්තු 3, 2012 at 4:51 ප.ව.

      ravi,

      සැබැවින් ම ඒක එදා විතරක් නෙමෙයි අදත් ඇති ලොකුම ඛේදවාචකයයි. නිහඬ වීමෙන් තමන් බේරෙනවා යැයි බහුතරය සිතන හුරුව නිසා හෙටත් එසේම සිදුවේවි!!!

      මාටින් ලූතර් කින්ග් ජූනියර් එහෙම කියන්නට පෙර ජෝර්ජ් වොෂිංටන් නිහඬ වී නොසිට අනුන්ට ආදර්ශයක් විදියට තමන් ඒ ගැන යමක් කළ අයෙක්. ඒම්බ්‍රහම් ලින්කන් ද ඒ කාලයේ ම නිහඬව නොසිට තම මතයන් නොබියව කියූවා. Kathryn Stockett ලියන The Help (2009) තවත් වසර ගණනාවකට පස්සෙ සමාජයේ වෙනසක් ඇති කරන්න නිහඬව නොසිටි සාමාන්‍ය පුරවැසියෙකු ගැන ප්‍රබන්ධයක්. ඒත් තම ජීවිතය පුද කර මාටින් ලූතර් කින්ග් විසින් වෙහෙසුන වෑයම නිසා ජයගත්තත්, නැවතත් ඔවුන් පීඩිතයන් සේ තියාගන්නට ඔවුන්ගේ පාට ම යැයි කියාගන්නා ඔබාමා විසින් උත්සාහය නොපෙනෙන්නේ ද, මෙවර තමන්ගේ පැත්තේ අය ම කියනා මුග්ධ වදන් ඇහුණත් නිහඬ වීමෙන් තමන් බේරෙනවා යැයි සිතන අයයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: