අරුණි ශපීරෝ‍ වෙතින්

වොෂිංටන් ජනාධිපතිගේ නිවසට ගියෙමි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 4, 2012

ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා විය. ශක්තිමත් යුද හමුදාවක් හැදුවාට විදේශයන්හි යුද්ධ වලට හවුල් වූයේ නැත. රටේ භාණ්ඩාගාරය පිරෙව්වා මිස හිස් කළේ නැත. සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙක් බිහි කරයි යන්න දත් හෙතෙම එවැනි බලයක් හඹා ගියේ නැත. තනතුරේ තබා ගන්නට සියල්ලන් විසින් වෑයම් කරද්දී තනතුරෙන් ඉල්ලා අස් වූ ඔහු මගේ ලෝකයේ වීරයෙකි.

පටෝමික් ගඟ අසල පිහිටි මවුන්ට් වර්නන් නිවස පියාගෙන් පසු සහෝදරයාට උරුම වී, සහෝදරයාගේ අභාවයෙන් පසුව ජෝර්ජ්ට ලැබෙන්නේ 1754 දී ය. ජෝර්ජ් ඒ නිවසේ බිත්තිය ගල් සේ පෙනෙන්නට ලීයෙන් (feigned rustication) තැනුවේ ය. ජෝර්ජ් මිය ගියේ 1799 දී ය. ඔහු මිය ගියේ තම නිදන කාමරයේ තමන්ගේ ම වියන් බැඳි නිදි යහනේ ය. ජෝර්ජ් සහ මාර්තා ඇතුළු තවත් ඥාතීන් විස්සකගේ පමණ සිරුරු තැන්පත් වී ඇත්තේ ද වත්තේ සූසාන ගොඩනැඟිල්ලක ය. වොෂිංටන් පෙළපතේ අය තවමත් වොෂිංටන් නිවසේ දී ඥාති හමුවන් පවත්වති.

ප්‍රංශ විප්ලවයේ දී කඩා දැමූ බැස්ටිලයේ යතුරක් ඔහු වෙත ප්‍රංශ ආණ්ඩුව විසින් තෑගි කරන ලදි. ඔහු ඊට විශේෂ ආවරණයක් හදා නිවසට එන අමුත්තන්ට දැක බලා ගැනීම පිණිස කෑම කාමරය ඉදිරිපිට බිත්තියේ රඳවා තැබීය. එය අදත් එතැන ම පවතියි. ප්‍රංශයෙන් අවුත් ඇමෙරිකන් නිදහස් අරගලයට එකතු වූ, පසුව ප්‍රංශ විප්ලවයට ගිය ලාෆායෙට් ජෝර්ජ්ගේ ප්‍රියතම මේජර් ජනරාල්වරයෙක් විය. ලාෆායෙට්ගේ දැවැන්ත පින්තූරයක් බිත්තියේ එල්ලුවේ එදා ඔහු බැහැ දකින්නට ආ ගිය ලාෆායෙට් වෙනුවෙන් ම වෙන් වූ කාමරයේ ය.

නිවස ඇතුලත දී ඡායාරූප ගැනීම තහනම්. ඇතුල්වීමේ ගාස්තුව ඩොලර් 15 කි. එතැන ඇමෙරිකන් බදු මුදල් වලින් රැකෙනා ඵෛතිහාසික ස්ථානයක් නොවීම මම ඉතා අගය කරමි.

නිවසේ සේවය කළ වහලුන් පිණිස වූ නිවාස පිහිටන්නේ වැඩි දුරක නොවේ. පැත්තකින් නිදන්නට හා පැත්තක උයන්නට හැකිවන සේ ඉදිකර ඇත. මෙට්ට ඇති බංකර් ලී ඇඳන් අසලින් බිම අතුරා ඇති නිදන මෙට්ටයන් ද දකින්නට ඇත. ඔහු තම වතුයායේ සේවය කළ වහල් සේවකයන් වහල් බවින් නිදහස් කළේ සිය අන්තිම කැමැති පත්‍රයෙනි. 18 වැනි සියවසේ හා 19 වැනි සියවසේ මුල් කාලයේ දී වොෂිංටන් පවුලට සේවය කර මිය ගිය වහල් හා නිවහල් සේවකයන් වෙනුවෙන් වත්තේ පැත්තක ස්මාරකයක් ද, නම් නොදන්නා වතුයායේ සේවය කළ සේවකයන් සඳහා ඔවුන් වළලන ලද සොහොන් අසලින් තවත් සමරු සටහනක් ද ඉදිකර ඇත.

අක්කර අට දාහකින් යුතු මවුන්ට් වර්නන් වත්ත එදා ඝන කැලෑවකින් සහ වගාබිම් වලින් ද යුතු විය. අනෙක් අය ඔහුව ජනාධිපති සහ හමුදා ජනරාල්වරයෙක් සේ සැලකුව ද ඔහු තමා කවුදැයි ඇසුවොත් කීවේ ‘මම ගොවියෙක්’ යැයි කියාය. ඔහු ජනාධිපතිකමෙන් අස් වී ගෙදර ගියේ ගොවිතැන් සඳහා කාලය අවශ්‍ය්‍ය යැයි කියාය. වගාවන්ට පොහොර යෙදීමත්, බෝග මාරුවෙන් මාරුවට වගා කිරීමත් වැනි අත්හදා බැලීම් ඒ හිටපු ජනාධිපති ගොවියාගේ මූලිකත්වයෙන් මවුන්ට් වර්නන් වත්තේ දී සිද්ධ විය.

වත්තේ කොණක ඇති විස්කි පෙරන ඉස්කාගාරය සහ පිටි මෝල 18 වැනි ශ. ව. දී අළුත් ම තාක්ෂණයෙන් යුතු වූ බව කියැවේ.

Advertisements

29 Responses

Subscribe to comments with RSS.

  1. අටම්පහුර said, on අගෝස්තු 4, 2012 at 6:18 ප.ව.

    වටිනා ලිපියක් , දුර්ලභ පින්තූරත් සමග

    • arunishapiro said, on අගෝස්තු 4, 2012 at 10:57 ප.ව.

      අටම්පහුර,

      ඔව්, එතැනට ම යන්න ඕනා දැකගන්න. පැරණි දේවල් ලෝක වටේ ගෙනියන ප්‍රදර්ශන වල දී දකින්න ලැබෙන්නෙ නැහැ. අනික පැරණි යැයි කිව්වට වසර දෙසීයයකට වඩා ඩිංගයිනෙ වැඩි!!!

  2. Kenji @ Japan said, on අගෝස්තු 4, 2012 at 7:54 ප.ව.

    මේ වගේ නායකයෝ හිටපු ලෝකයේ නේද දැන් හැම රටකම එයට සම්පුර්ණයෙන්ම වෙනස් නායකයෝ බිහිවෙලා ඉන්නේ? කොහොම උනත් මේවගේ ලිපි ගොඩක් වටිනවා “වෙන්ඩ ඉන්න” නායකයන්ට.[ලංකාවෙනම් !!!! එක්කෝ ඕනෙම නැහැ මටත් මොනවා හරි ලියන්න ගත්තම ඇගිලි නලියනවනේ , මා ඉපදුන මගේ මව් රටේ,අපේ එඋන්ව මරා ගෙන කන එඋන් ගැනත් ලියන්න කියල]

    • arunishapiro said, on අගෝස්තු 4, 2012 at 11:10 ප.ව.

      Kenji @ Japan,

      ඒත් ජපානෙත් අගමැති Naoto Kan රස්සාවෙන් ඉල්ලා අස්වුනානේ. G7 රැස්වීමක දී බීලා අහුවෙලා නේද ජපානයේ මුදල් ඇමති Shoichi Nakagawa අස්වුනේ? ග්‍රීසියේ මුදල් ඇමතිත් තනතුර දීපු ගමන් අවුල දැකලා බයවෙලා ද කොහෙද වැඩ පටන් ගන්න කළින් ම ඉල්ලා අස්වුනා. දකුණු කොරියාවේ ආරක්ෂක ඇමති ඉල්ලා අස්වුනා, විදුලිබල ඇමති ඉල්ලා අස්වුනා. ආදර්ශ නම් තියෙනවා ගන්න අයට ඕන තරම් … ගන්නවා ද නැද්ද කියන එක වෙනම එකක්නෙ.

  3. hasithag said, on අගෝස්තු 4, 2012 at 9:17 ප.ව.

    දෙවරක් ජනාධිපති ධූරයේ කටයුතු කර තවත් වරක්, දෙවරක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කාන්න පුලුවන්කම තිබියදීත් මහත්මයෙක් ලෙස ජනාධිපති ධූරයන් ජෝර්ජ් වොෂිංටන් ඉවත් වූ බව අසා තිබෙනවා.

    • arunishapiro said, on අගෝස්තු 4, 2012 at 10:47 ප.ව.

      hasithag,

      ඔව් ඔබ හරි.

      ලෝකෙට ම හිටපු මුල් ම ජනාධිපතිවරයා තමයි එයා. ඉතින් ඒ කාලේ ජනාධිපතිවරයෙක් ගේ කාල සීමාවක්, ජනාධිපති කෙනෙක් කළ යුතු කාර්ය භාරය, ලබන වේතන යනාදිය කිසිවක් කිසිවෙක් නොදත් කාලයක්. ඔහු ලබා ගත්තේ පඩියක් නොව රස්සාව කරන්නට ගිය වියදම් පමණයි. ඒ අතින් සෑහෙන වගකීමකින් හැමට ආදර්ශයක් ලෙසින් කටයුතු කළ අයෙක්. කොතරම් වතාවක් ජනාධිපති තනතුරේ අයෙක් ඉන්නවා දැයි තීරණය වෙන්නෙ එයා දෙවතාවක් පමණක් සිට ඉවත් වී ගිය නිසා. ඉන්පසු ආ අනිත් අයත් එහෙම කළා සීමාවාරයක් ව්‍යවස්ථාවෙන් තීරණය නොකරම. එහෙත් තෝමස් ජෙෆර්සන් අනතුරු ඇඟෙව්වා සීමාවාරයක් නොගෙනාවොත් කවුරු හරි ජීවිත කාලයේ ම ඉන්න තැත් කරාවි කියා. එහෙම තැත් කරපු අය පසුව හිටියත් අවස්ථාව නොලැබුනා. ඉඩක් ගත්තෙ වාර තුනක් හිටපු ඩෙමොක්‍රැටික් පක්ෂයේ ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් තමයි එකම එක්කෙනා. ඊට පස්සෙ 1947 ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය යෝජනා වී 1951 දී අනුමත කරගෙන ජනාධිපතිට වසර හතරක පාලන කාල සීමාව ලැබීම වාර දෙකකට පමණක් සීමා වෙනවා.

      • buddie-බුඩී said, on අගෝස්තු 4, 2012 at 10:58 ප.ව.

        අපිත් කොපි කලේ ඇමෙරිකාවේ ව්‍යවස්තාවන් නොවෑ, ඉතින් එකේ තියෙන 2 වාරයම අපිත් දාගත්තා. කොහොම හරි මොලේ පෑදිලා ලගදි නොවෑ ඒක අයින් කලේ. බලමු දැන් තෝමස් ජෙෆර්සන් අනතුරු ඇගවීම කොහොම වෙයිද කියලා. හිකිස් 😉

      • hasithag said, on අගෝස්තු 5, 2012 at 10:18 පෙ.ව.

        ඒ වගේමයි නිදහස් අරගල පැවති සමයේ කිසිම දිනයක නිවාඩුවක් ලබා නොගෙන පූර්ණ කාලීනව යුධ සේවයේ සිටි එකම නිලධාරියා ජෝර්ජ් වොෂිංටන් බවත් අසා තිබෙනවා. වොෂිංටන්ගේ සත්‍යාවාදී බව කියවෙන එයා කුඩා කාලයේ තාත්තගේ ගස් වගයක් කපලා ඒක පිළිගත්තු කතාව පොඩි පංතිවල පෙළ පොතේ තිබුණා වගේත් මතකයි

    • kathandarakaraya said, on අගෝස්තු 5, 2012 at 4:56 පෙ.ව.

      කැප්පෙටිපොළලා මේ වොෂින්ටන්ලා ගැන දැනගෙන හිටියා නං අපේ ඉතිහාසය කොච්චර වෙනස් වෙනවාද?

  4. Amarasinghe Sujatha said, on අගෝස්තු 4, 2012 at 9:57 ප.ව.

    බෙදා හදා ගත්තාට ස්තුතියි අක්කෙ

  5. wicharaka විචාරක said, on අගෝස්තු 4, 2012 at 10:40 ප.ව.

    පොහ්.. . . සුද්දෝ බැරිවෙලාවත් අර වගේ අස්ප කරත්තයක් මෙහෙ දාලා ගිහිල්ලා තිබුනානම්, අපේ උන්නාන්සේද, උන්නාන්සේගේ ආරියා බාරියාවද, බෙබිලාද, බේබිලාගේ ‘ගල් පෙරෙන්ඩ්’ ලා ද, බාප්පලා පුංචි අම්මලාද, ඒ කරත්තයේ නැග පාර්ලිමේන්තුවට යනු ඇත. කැබිනට් අම්බරුවෝ අස්පයන් වෙනුවට ඒ කරත්තය අදිනු ඇත.
    ඇත්තටම අරුණි, සුද්දා අපට නිදහස කියා දුන්නේ මොකක්ද? ඒක දෙන්න සුද්දා ඉක්මන් වුනා වැඩිද?
    අපේ රට නිදහස් නිවහල් ස්වාධීන ජනරජයක් කල බණ්ඩාරනායක මැතිනිය ගැන අවුරුද්දකට සැරයක් හොරගොල්ලේ ගල ළඟ පම්පෝරි ගැහුවම ඇද්ද?

    • buddie-බුඩී said, on අගෝස්තු 4, 2012 at 11:02 ප.ව.

      බූඩි හිතන විදිහට, නිදහස හම්බෙච්ච එක නෙමේ ප්‍රශ්නේ. ලංකාව කවදා දියුණු වෙයිද කියන්න අමාරුයි. වැරැද්ද තියෙන්නේ රටේ ජනතාවගේ මිසක් පාලකයන්ගේ නෙවේ. ආකල්පමය වෙනසක් උනොත් දියුණු වෙන එක කජ්ජක් නෙමේ. නැත්නම් අපි හැමදාම මෙහෙම තමා.

      • kevin perera said, on අගෝස්තු 5, 2012 at 3:34 පෙ.ව.

        ඇයි ඔය ආකල්ප වෙනස් වුන නිර්මල ගැමි තරුණයින් ඉන්නේ බ්ලොග් අස්සෙත් ඉන්නෙ ජංග රයවර්ධන වගේ මාර තරුණයො සෙට් එකක්ම උන්ට මාර දියුණු අදහස් නේ තියෙන්නේ. අපේ රට හෙට අනිද්දට ආශ්චර්‍යක් වෙන එක නවත්වන්න බටහිර කසි කබල් පර සුද්දන්ට බෑ.

        • arunishapiro said, on අගෝස්තු 5, 2012 at 9:25 පෙ.ව.

          kevin perera,

          ඒ අයට කැමති විදියට එයාලගෙ දියුණු අදහස් කියන්න ඉඩ දීලා අනිත් අය නිහඬ වුනොත් තමයි ආශ්චර්යය දකින්න වෙන්නෙ. අලුගෝසුවන්ට වඩාත් ම හිතෛෂී ලෙසින් සේවය කරන බියගුළු බලාපොරොත්තු ඇති අයව අවදි කිරීම අනිත් අයගේ කාර්ය භාරයයි. නැත්නම් අන්තිමට නිර්මල ගැමි තරුණයන් කෙසේ වෙතත් මෘගයෝ මිසක් මිනිස්සු ඉන්න ගමක් හොයාගන්නත් බැරිවෙයි!!!

    • arunishapiro said, on අගෝස්තු 4, 2012 at 11:14 ප.ව.

      wicharaka විචාරක,

      බුඩී ලියලා තියෙන්නෙ මම ලියන්න හිටිය උත්තරේ තමා. නිදහසේ වැරැද්ද නෙමෙයි ලැබෙන නිදහසෙන් මොකක්ද කරන්නෙ කියන එකෙයි හරියෑම නැත්නම් වැරදීම රඳන්නෙ. මිනිස්සු හිතන විදිය වෙනස් වෙනකම් රටේ කුමන්ත්‍රණ හා විදේශ කුමන්ත්‍රණ යැයි ඇඟිලි දික්කරලා වැඩක් නැහැ.

  6. buddie-බුඩී said, on අගෝස්තු 4, 2012 at 10:54 ප.ව.

    හම්ම්ම්, මරු මරු. හොදම දේ වෙන්නේ මේ මන්දිර හොදට රැක බලාගෙන නඩත්තු කරන එක. ලංකාවේ මේ වගේ දේවල් කොච්චර නාස්ති වෙල යනවද නිසි නඩත්තුවක් වගේම රැක ගන්න ඕන කමක් නැති නිසා !!!

  7. Gold fish said, on අගෝස්තු 5, 2012 at 1:41 පෙ.ව.

    කවදාකවත් මෙහෙම දෙයක් ලංකාවෙදි අත්දකින්න නොලැබෙන අපිට පින්තූර වගේම කතාවක් ලොකු පණිවිඩයක් කියනවා. වොෂිංටන් ජනාධිපති තුමාට මිනිස්සු තාමත් ​ගෞරව කරනවා ඇත්තේ ඒකයි… ඒකට මෙහේ… හෙට මැරියං කියලා දේවාල ගානේ පොලුත් ගහනවා… ඒ තරමට හොඳයි…!!!

    • arunishapiro said, on අගෝස්තු 5, 2012 at 8:52 පෙ.ව.

      Gold fish,

      ඔබ අමතකව නොයන්නට නම්
      මරණයට පත් වහාම ශරීරය කුණු වූ කල.
      එක්කෝ කියවන්නට වටිනා දැයක් ලියන්න
      නැත්නම් ලියන්නට වටිනා දැයක් කරන්න.
      -බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්

      එයා නම් කියවන්නට වටිනා දේවල් ලියුවා, ලියන්නට වටිනා දේවල් කළා. ජෝර්ජ් ලිවූ දේවල් වලට වඩා කළ දේවල් තමයි වටින්නේ. අදත් ඔවුන්ගේ ආදර්ශයෙන් වෙහෙසෙන ඇමෙරිකානුවන් සිටිනා නිසයි මේ රට තවමත් ලෝකේ ඉදිරියෙන් ඉන්නා රටක් වෙන්නෙ.

  8. kathandarakaraya said, on අගෝස්තු 5, 2012 at 4:58 පෙ.ව.

    ඩෙන්සිල් වොෂින්ටන් මං කැමති නළුවෙක්. එයා නං මේ පරපුරේ නෙමේ නේද?

  9. Chandi said, on අගෝස්තු 5, 2012 at 12:09 ප.ව.

    Associate with men of good quality if you esteem your own reputation; for it is better to be alone than in bad company.

    George Washington

    හරිම වටිනවා. අපිටත් මේව බලාගන්න දුන්නාට ගොඩක් ස්තූතියි!.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: