අරුණි ශපීරෝ‍ වෙතින්

විචාරය හැර දා හැඟීම් වලට ඉඩදෙන්න සූදානමින් සිටින යුරෝපය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 7, 2012

යුරෝපය සිටින්නේ එහි සිරිත් විරිත්, සම්මුතියන්, හැසිරීම් හා එහි නීති වලින් පීඩිත වූ විඩාවකිනි. දර්ශනය, තර්කය, විචාරයෙන් පිරි අදහස් ඕනෑ තරම් අසා ඒවා එපා වී ඇත. නිදහස් සිතුවිලි ගැන වූ කතාබහෙන් පිරී ඉතිරී ගිය මනස් වලට අල්ලා ගන්නට රැඳී ඉන්නට පදනමක් නැතිකමෙන් අතරමං වූවෝ බොහොමයකි.

දික්කසාදය ලැජ්ජාවකි. එහෙත් අනියම් සබඳතා ගැන හැමෝම දැන සිටියාට කමක් නැත. දෙයියන් ඇදහීම කරන්නේ නූගත් අයයි. එහෙත් මොකක් දෝ හිස් බවකින් දිවි ගෙවනා අය විශ්වාස කරන්නට යමක් සොයති. නිර්මාණශීලීත්වයෙන් හා බලාපොරොත්තුවෙන් හිස් වූ ජීවිත ගෙවනා අය දුවන්නන් වාලේ එහෙ මෙහෙ දුවති. එසේ දුවමින් ඊට අපවාද කරති. එහෙත් එයින් ගැලවෙන්නට කුමන මඟක යා යුතු දැයි නොදනිති. නගරයේ අපවිත්‍ර වායුව, වැඩි වූ ජනගහණය, මාර්ග තදබදය ගැන දෝෂාරෝපණය කරති. ගමේ සුන්දරත්වය ගැන කවි ගොතති. එහෙත් නගරයට ම ඇදී එන සංඛ්‍යාව වැඩි වෙනවා මිස ගම බලා යන අය වැඩි වෙන්නේ නැත.

ඒ කිව්වේ 1700 ගණන් මැද යුරෝපය ගැනයි. ඒ වගේ ම 2012 යුරෝපය ගැන ද වූවකි. හරියට චාල්ස් ඩිකන්ස් ලියූ දෙනුවර කතාවේ ආරම්භය වැනියි. අද වැනිය එදත්, නැති ද කිසිදු වෙනසක්.

බටහිර යුරෝපය බහුවාර්ගික සමාජයක් බවට පත්වූයේ විචාරයට ඉඩක් නොදී හැඟීම් වලට ඉඩ දුන් අවස්ථාවක දී ය. පොදු යහපත වෙනුවෙන් කියද්දී පොදු යහපත යනු කුමක් දැයි විචාරයට ඉඩක් නොදී එය සාක්ෂාත් කරගත යුත්තක් යැයි සලකා වැඩ පිළිවෙලක් දියත් කිරීමෙනි.

ලන්ඩනයේ East End හි 17 වැනි සියවසේ සංක්‍රමණිකයන් වූයේ දිවි ගලවා ගන්නට ප්‍රංශයෙන් පළා ආ හියුගනොට්ස් පොතෙස්ත්‍රන්ත්‍ර පවුල්. 18 වැනි සියවසේ දී කුසගිනි නිවාගන්නට රස්සාවල් සොයා ගිය අයිරිශ් පුරුෂයන්. 19 වැනි සියවසේ දී නැගෙනහිර යුරෝපයෙන් දිවි ගලවා ගන්නට පළා ආ Ashkenazi යුදෙව් පවුල්. 1960 දී කුසගිනි නිවාගන්නට රස්සාවල් සොයා ගිය බංගලාදේශී පුරුෂයන්.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එළඹෙන දශකයේ යුරෝපීය නොවූ ජනතාව වැඩියෙන් බටහිර යුරෝපය වෙත ඇදී ආවේය. මෙතෙක් යුරෝපය තුල එහා මෙහා ගිය සංක්‍රමණියන්ට හුරු වී සිටි යුරෝපීයයන් මේ යුරෝපීය නොවන අය ගැන නිහඬ වී බලා සිටියහ. තතු දත් විද්වතුන් වෙන්නේ කුමක් දැයි දන්නවා යැයි ඔවුන් විශ්වාස කළහ. ඔවුන් වැඩට ගොස් ගෙදර ගිහින් විද්වතුන් ලියනා කියනා දේවල් කියවා රට යන්නේ නිවැරදි මඟේ යැයි සිතූහ.

Sir Alastair Burnet 1965-74 දක්වා ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ කතුවරයා හැටියට පොදු ජනමතය ගොඩනඟන්නට උදව් දුන් පත්තර කලාවේදියෙකි, රේඩියෝ මාධ්‍යවේදියෙකි. යුරෝපීය මඟුලක් වූ යුරෝපීය පොදු වෙළඳපොලට එකතු වෙන්නට බ්‍රිතාන්‍යයේ එවක අගමැති එඩ්වර්ඩ් හීත් ගේ උත්සාහයට සහයෝගය දක්වන්නට හේ තමා කතුවරයෙක් වූ ආර්ථික සඟරාව උපකාර කරගත්තේ ය. එපමණක් නොව ඇමරිකාවේ වියට්නාම යුද්ධයට ද ඔහු සඟරාවෙන් සහයෝගය දැක්වූයේය.

එංගලන්තයට, ප්‍රංශයට, ජර්මනියට හා සෙසු බටහිර යුරෝපීය රටවලට දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඉක්මණින් ආර්ථික නැඟීමක් උවමනා විය. යුද්ධයක් අවසන් වූ පසු කැඩී බිඳී ගිය දේවල් හා මෙතෙක් හදන්නට බැරි වූ පාරවල් හැදීම සංවර්ධනය යැයි හිතනා අයත් සිටියහ. සමහර සංක්‍රමණිකයන් ගෙන්වා ගත්තේ යකඩ කම්හල් වැනි කාර්මික වූ රැකියාවන් සඳහා ය. තවත් අය ගෙන්වා ගත්තේ කවුරුත් කරන්නට අකමැති ගොවිපොල වැඩ, අවදානම් වැඩ, කවුරුත් කරන්නට අකමැති වැසිකිළි වැඩ සඳහා ය. මේ අය බොහොමයක් යුරෝපීය අධිරාජ්‍ය්‍යන් වෙනුවෙන් යුරෝපීය හමුදාවල සේවය කළවුන් ද වූහ. සමහරු ඔවුන්ගේ යටත්විජිත වැසියන් ද වූහ.

සංක්‍රමණිකයන් අවශ්‍ය යැයි ‘පොදු මතය’ වූ නිසා නිහඬව එය බාරගත් අය වැඩි විය. 1968 දී බ්‍රිතාන්‍යයේ කම්කරු ආණ්ඩුව නැගෙනහිර අප්‍රිකාවෙන් පැන එන බ්‍රිතාන්‍ය පුරවැසි භාවයෙන් වූ ආසියානුවන්ට පදිංචි අයිතීන් ප්‍රතික්ෂේප කරද්දී සර් ඇලෙස්ටෙයාර් වැනි විද්වතුන් සඟරාවේ කවරයේ කුණු ගොඩවල් අසලින් වැටී ඇති බ්‍රිතාන්‍ය පාස්පෝට් සමඟින් පින්තූර දමා ඒ යටින් “ඒක වෙන්නැති එහි වටිනාකම” යැයි පාඨ පළ කළහ. 1972 දී උගන්ඩාවෙන් ආසියානුවන් පළවා හරිද්දී, ගුවන් තොටුපොළ දොරක් අසල “පිළිගනිමු, බ්‍රිතාන්‍ය පාස්පෝට් ඇති අයව” යනුවෙන් වු සංඥාවක් කවරයේ පින්තූරය ලෙස පළ කළේය.

විචාරය හැර දා හැඟීම් වලට ප්‍රමුඛත්වයක් දුන් පසු සඟරාවේ අලෙවිය 60% කින් වැඩි කරගන්නට ඇලෙස්ටෙයාර් ට හැකිවිය.

‘පොදු මතය’ එයැයි පිළිගත් කිසිවෙක් එය විභාග කරන්නට ගියේ නැත.

1972 දී උගන්ඩාවෙන් පළවා හැරි ඉන්දියානුවන් අවුත් ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ පදිංචි වී සිටීම ගැන Mississippi Masala නම් ඇමෙරිකන් චිත්‍රපටියේ රඟන්නේ ඩෙන්සිල් වොෂිංටන් ය. ඩෙන්සිල් වොෂිංටන් චිත්‍රපටියේ පිළිබිඹු කරන්නේ මිසිසිපියට ආ උගන්ඩා ඉන්දියානුවන් හා ගැටෙන කළු ඇමෙරිකානුවාගේ ජීවිතයයි.

1968 දී මාටින් ලූතර් කින්ග් ජූනියර් ඝාතනයෙන් පසු වොෂිංටන් නගරයේ සහ අනෙක් ඇමෙරිකන් නගරවල ඇවිලී ගිය ජාතිවාදී අරගල දැකි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ Enoch Powell ‘පොදු මතයට’ පටහැනි කතාවක් කියුවේ ය. ඉන්දියානු අර්ධ ද්වීපයෙන් හා කැරීබියානු රටවල් වලින් ඇදී එන, එතරම් පිරිසක් නොවන වෙනස් පාට හමක් ඇති සංක්‍රමණිකයන් නිසා බ්‍රිතාන්‍යයේ ද අනාගත දවසක ඇමෙරිකාවේ ගේටෝ සංස්කෘතියක් වැන්නක් ඇතිවේ දැයි ඔහු එදා විමසීය. ඇමෙරිකාවේ වගේ අනාගතයේ දී එංගලන්තයේ නගර ගිනි ගනීවිදැයි ඔහු විමසීය. “පනස්දාහක් යැපෙන්නන්ට දොර අරින්න අපිට පිස්සු ඇති,” ඔහු කීය, “ඇත්තට ම පිස්සු වෙන්නැති, ජාතියක් හැටියට, වාර්ෂිකව මෙහෙම සංඛ්‍යාවකට එන්නට දොර හැරීම. මේ අය තමයි අනාගතයේ දී අපේ රටේ සංක්‍රමණික ජනතාව ගෙන් එන ජනගහණයෙන් බහුතරය බවට පත්වෙන්නේ. මේක හරියට තම අවමඟුලේ දරසෑය හදන්නට යුහුසුළු බවින් උදව් කරනවා වගේ,” යැයි ඔහු කීය. මේ ජන ගැල්මට එරෙහි වන සුදු හම ඇති බ්‍රිතාන්‍ය වැසියන්ගේ විරුද්ධතාවයක් ගොඩ නැඟී අනාගතයේ දී මහා ලේ හැලීමක් සිද්ධ වන බව හේ කියුවේ ය.

ඔහුව කැබිනෙට්ටුවෙන් පන්නා දැමිණ!!!

වසර අවසන දී ඔහු තවත් කතාවක් පැවැත්වීය. මේ විදියට සංක්‍රමණිකයන් පැමිණියහොත් “යෝක්ෂර්, මිඩ්ලන්ඩ්ස් සහ home counties පැති තනිකරම අප්‍රිකානු-ආසියානුවන් ගෙන් පිරී යනු ඇතැයි කීය. එංගලන්තයේ වොෂිංටන් නගර කිහිපයක් ඇති වේ” යැයි කියුවේය.

1968 දී බ්‍රිතාන්‍ය්‍යේ සුදු හම නැති ජනගහණය මිලියන 1.25 කි. 2001 වෙද්දී ඒ සංඛ්‍යාව මිලියන 4.6 කි. 2011 වෙද්දී ඒ සංඛ්‍යාව මිලියන 9.1 කි.

Enoch Powell ගේ දෙවැනි කතාවෙන් පසු දින දහය ඇතුලත ඔහුට ලිපි ලක්ෂයක් ආවේ රටේ ජනතාව ගෙනි. එයින් 800 ක වූයේ ඔහුගේ මතයට විරෝධයයි.

Enoch Powell අනාවැකි කියූ පරිදි ජන ගැල්ම සිද්ධ වී ඇත. එහෙත් ඔහුට වැරදුනේ ඊට ඊ ළඟ පරම්පරාවේ බ්‍රිතාන්‍ය වැසියන් අකමැත්ත ප්‍රකාශ කරාවි යන්නයි.

70 ගණන් සිට East End ලන්ඩනයේ කිහිප වතාවක් ලේ හැලීම් සිද්ධ වුවත්, 2005 දී පකිස්තානි සම්භවයෙන් යුතු ඉස්ලාමීය ඉංග්‍රිසි ජාතිකයන් අතින්, 2012 ඔලිම්පික් සඳහා ලන්ඩනය වරම් ලැබූ බව කියා පැය 24 ක් යද්දී නගරයේ මහජන ප්‍රවාහන පද්ධති වලට බෝම්බ වැටුනත් Enoch Powell අනාවැකි කියූ පරිදි සංක්‍රමණිකයන්ට එරෙහි වූ මහා ජනතා විරෝධතාවයක් සුදු හම ඇති අය තුලින් නැඟී ආවේ නැත.

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. රටේ මහත්තයා said, on අගෝස්තු 7, 2012 at 7:06 ප.ව.

    සංක්‍රමනිකයන්ට එරෙහිව අරුණි ලියන්නෙ හරියට සුදු රදලයෙක් වගේනෙ.අරුණිත් සංක්‍රමනිකයෙක් නේද.මේව මූලධර්මවාදී සුද්දන්ගෙ අදහස්.හිටිගමන් වෙඩිතියාගෙන යන්නෙ උන් තමයි.ඊයෙ පෙරේද සික් පංසලකටත් වෙඩි තිබ්බෙ.අනික ඔය කියන ජන සංයුති අර්බුදයක් ඇමරිකාවෙ යුරෝපෙ නෑ.හැම රටකම 80කට වැඩිය සුද්දො ඉන්නවා.ථික්බටහිර නොවන රටවල සමාජ ආර් තික තත්වයන් තමන්ට ඕනෑ විදියට පාලනය කරන්න එන් ජී ඕ හරහා කෝටි ගනන් මුදල් යොදවමින් නව යටත් විජිතවාදයක් බටහිර රටවලින් කෙරෙනවානම් ඒ අර්ටවල ගිහින් පදිංචි වෙන්නත් ඕන නම් ජන සංයුතිය වෙනස් කරන්නත් අපටත් අයිතියක් තියනවා

    • arunishapiro said, on අගෝස්තු 8, 2012 at 7:46 පෙ.ව.

      රටේ මහත්තයා,

      මම ලියන්නෙ කොහොමදැයි හොයන්න ගිය රටේ මහත්තයාට සියල්ල වැරදිලා. රටේ මහත්තයා ලියන්නෙ කොහොමදැයි නම් හොයන්න ඕනෙත් නැහැ!!!!

    • Kevin Perera (@PereraKevin) said, on අගෝස්තු 8, 2012 at 8:10 පෙ.ව.

      රටේ මහත්තයෝ ඉතින් ඔයි කෝටි ගනන් මුදල් බලෙන්ද දෙන්නේ හරියට අනේ අනේ අපිට එපා කියද්දි බලෙන් NGO කාරයො ඇවිල්ලා ඉනේ ගහල යනවද? නොදන්න කමට අහන්නේ ඔයි සල්ලි අපිට එපා ඔයි හදන්නේ ඕව අපිට දීල අපි නව යටත් විජිත කර ගන්න කියල කියන්න බැරි ඇයි? NGO වලින් නොවෙයි IMF එකෙන් පවා අපේ රට ඉල්ල ඉල්ල නය ගන්නේ ඇයි?

      • arunishapiro said, on අගෝස්තු 8, 2012 at 8:19 පෙ.ව.

        Kevin Perera,

        තමන්ගෙ රටේ තියන නොමිලේ දෙන සේවාවන් ගැන උදම් අනින, ආචාර්යවරුන්ගේ පඩි වැඩි කරන්න ඉල්ලන අය ඒවායේ වියදම් ගෙවන්නෙ පුද්ගලික අංශය සහ පිටරටවල වෙහෙසෙන ලාංකිකයන් විතරක් නෙමෙයි අනාගතයෙ ඉපදෙන්න ඉන්න පරම්පරා ගණනාවක් ණය කරලා බව නොදකින්න ඇස් පියාගෙන ඉන්න අය!!!!

        පූටින්ගෙ රුසියාවේ වගේ NGO සල්ලි විදේශීය සල්ලි කියලා හංවඩු ගහන්න පුළුවන්. එක අතකින් ඒක හොඳයි. එතකොට රටේ මිනිස්සුන්ට තමන් ණය වෙන්නෙ මොන ප්‍රතිඵල ලැබිලා ද කියලත් පැහැදිලි වෙයි.

        එහෙම නැත්නම් ෆිඩෙල් සහෝදරයන්ගෙ කියුබාවේ වගේ කෙළින් ම NGO තහනම් කරලා දැම්මා නම් හරි. එතකොට ඉතින් ආණ්ඩුවෙන් දෙන දෙයක් නැත්නම් ඔහෙ කම්මුලට අත ගහාගෙන බෝක්කුවක් උඩ වාඩිවෙලා තමන් මැරෙන කම් කල් මරන්න පුළුවන්.

  2. රාජ් said, on අගෝස්තු 7, 2012 at 11:27 ප.ව.

    “1968 දී බ්‍රිතාන්‍ය සුදු හම නැති ජනගහණය මිලියන 1.25 කි. 2001 වෙද්දී ඒ සංඛ්‍යාව මිලියන 4.6 කි. 2011 වෙද්දී ඒ සංඛ්‍යාව මිලියන 9.1 කි”

    ඒගොල්ලත් ෆේස්බුක් කැම්පේන් ගෙනියනවද දන්නෙ නෑ “සුළුතරය වීමට විරුද්ධව”
    🙂

  3. Kandyan said, on අගෝස්තු 8, 2012 at 9:32 පෙ.ව.

    අරුණි…සුදු නොවන ජනයා සහ සංක්‍රමිකයන් ගැන බ්‍රිතාන්‍යයේ විවිධ මතවාද තියනවා. දේශපාලඥයෝ කිහිප දෙනෙක් සහ අන්තවාදී කණ්ඩායම් සුළුතරයක් (BNP) හැරුණාම බොහෝ දෙනා මේ ගැන ප්‍රසිද්ධියේ කතාකරන්නේ නෑ. දක්වන්නේ උදාසීන ආකල්පයක්. ඉඳහිට ජාතිබේද ගැටුමක් දෙකක් තැනින් තැන අහන්නට ලැබුනත් ඒවා දුරදිග යන ඒවා නෙවේ. මං හිතනවා බ්‍රිතාන්‍ය ජාතිකයෝ අන්තවාදී ලෙස මේ ප්‍රශ්ණය දිහා නොබලන හේතු කීපයක් තියනවා. එකක් තමයි “equality and diversity” සහ “race equality” නීතිගත කිරීම. ඊට වැඩිය මම හිතනවා බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයෝ තමන්ගේ පාඩුවේ ජීවත් වීම අගය කොට සලකන නිසා සමාජ මතවාද වලට තියන ඉඩකඩ ඉතා සීමිතයි.

    • arunishapiro said, on අගෝස්තු 8, 2012 at 9:35 පෙ.ව.

      Kandyan,

      ඔව් මේ ගැන විස්තරාත්මක වූ සටහන් පේලියක් ලියන්න තමයි මේ යන්නෙ. මැදින් පටන් නොගෙන අතීතය සලකා බලා නූතනයට එන ගමනක් නිසා පොඩ්ඩක් ඉවසන්න යැයි ඉල්ලනවා.

      • Kandyan said, on අගෝස්තු 8, 2012 at 11:25 පෙ.ව.

        කතාකරන්න ඕන හොඳ සබ්ජෙක්ට් එකක්. සුදු නොවන අය ගැන හාරා අවුස්සා බැලීම සහ ලිවීම මගේ රස්සාවේ එක කොටසක් වගේම මම කැමති සබ්ජෙක්ට් එකක්. වෙලාවක් තියනවානම් මේ පොතත් කියවලා බලන්න.
        Bloody Foreigners: The Story of Immigration to Britain – Robert Winder (2005)

  4. Eranda said, on අගෝස්තු 10, 2012 at 10:33 ප.ව.

    // අරුණිත් සංක්‍රමනිකයෙක් නේද//

    මම කැමතියි අපේ මහත්තයගෙ නගපු මේ ප්‍රෂ්නයට අරුනිගේ පිලිතුර මොකක්ද කියල දැනගන්න.

    ස්තුතියි.

      • Eranda said, on අගෝස්තු 11, 2012 at 5:26 ප.ව.

        ස්තූතියි ඔබේ පිලිතුරට අරුනි – // මා වැනි අයෙක් තනිවම උපන් බිම හැර දා යෑම හෝ ඉන්නා තැනින් වෙනතක පදිංචියට යෑම එතරම් වැදගත් කමක් නැත්තකි//

        ඔබේ ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න මම උත්සහ කරන්නම්. මම එතරම් උගතෙක් නොවේ එමනිසා මගෙ පිලිතුරේ වැරදි තිබේ නම් සමා වෙන්න. බහුතර (සුදු ජාතික) ඇමෙරිකානුවා පැවත එන්නේ යුරෝපීය සංක්‍රමනිකයන්ගෙන් කියලයි මම අහල තියෙන්නෙ.

        නැවතත් ස්තූතියි ඔබේ පිලිතුරට සහ කාලයට.

        • arunishapiro said, on අගෝස්තු 11, 2012 at 6:14 ප.ව.

          Eranda,

          ඔබ ඇසූ //අරුණිත් සංක්‍රමණිකයෙක් නේද?// යන්නට මම ඇමෙරිකානුවා කවුද? යන සබැඳියක් අමුණා ඇත්තෙමි. පිළිතුර එයයි. නැතිව //මා වැනි අයෙක් තනිවම උපන් බිම හැර දා යෑම හෝ ඉන්නා තැනින් වෙනතක පදිංචියට යෑම එතරම් වැදගත් කමක් නැත්තකි// යන්න ඊට පිළිතුර නෙවෙයි.

          //ඔබේ ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න මම උත්සහ කරන්නම්.// ඇමෙරිකානුවා කවුද? යන්න ඔබෙන් ඇසූ ප්‍රශ්නයක් නෙමෙයි, සටහනකින් ඇමෙරිකානුවා කවුදැයි කියූ නිසා මාත් සංක්‍රමණික ඇමෙරිකානුවෙක් යැයි පෙන්වා දීමයි කළේ.

          ඇමෙරිකානුවා හැදෙන්නේ සංක්‍රමණිකයන් ගෙන් වගේ ම සහ එදා මෙහි විසූ ස්වදේශී ඇමෙරිකානුවන් ගෙන්. එදා ආ යුරෝපීය සංක්‍රමණිකයන් ගෙන්. එදා ප්‍රංශ, බ්‍රිතාන්‍ය හා ස්පාඤ්ඤ අධිරාජ්‍ය්‍යන් විසින් ගෙනැත් දැමූ අප්‍රිකානු අයගෙන්. අනතුරුව ආපු චීන්නු වෙතින්. දැන් කාලේ එන හිස්පැනික් ජනතාව වෙතින්. බහුතරය පැවැත එන්නේ කුමන ජාතියකින් වුවත් ඔවුන් සියල්ලෝම ඇමෙරිකානුවෝය.

          බහුතර යුරෝපීය සුදු හම ඇති අයගෙන් පැවත එන්නේ යැයි නිසා නෙමෙයි ඇමෙරිකානුවෙක් වෙන්නෙ. පුරවැසිබවක් ගන්නා හැම අයෙක් ම ඇමෙරිකානුවෙක්.

          ඒ වගේ ම ඇමෙරිකාව තැනක් පමණක් ද නෙමෙයි .. ඒක අදහසක් ද වෙයි. ඇමෙරිකාව තමයි ලෝකයේ එකම රට අදහසක් නිසා බිහිවෙච්ච. අපේ අයිතීන් අපිට ලැබෙන්නේ ස්වභාව ධර්මයෙන් සහ දෙවියන් ගෙන්, ආණ්ඩුවෙන් නෙමෙයි යැයි යන අදහසෙන් බිහි වූ රටකි. ස්වාධීනත්වය, නිදහස, නිදහස් වෙළඳාම, ස්වෛරීභාවය සහ ආණ්ඩු වෙන්නේ ජනතාවගේ අනුමැතිය අනුව යන සිද්ධාන්ත වලින් බිහි වූ අදහසක්.

          පහත අදහස් මා කුඩා කාලයේ සිට මගේ පියා මා වෙත ඉතා ඕනෑකමින් කියා දුන් අදහස් වෙයි. ඔහු පොත් ගණනාවක් සිංහලෙන් ලියා ඒ ගැන විවිධාකාරයෙන් ලංකාවේ අයට වසර තිහක් පුරා කියා දුනි. ඒ හා සමාන අදහස් මා කුඩා කාලයේ සිට හැදෑරූ බෞද්ධ දර්ශනයෙන් ද සොයා ගතිමි. ඒවාට ඉඩක් නිදහසක් රටක ව්‍යවස්ථාවෙන් එහි එන සංක්‍රමණික පුරවැසියෙකුට ආරක්ෂා කර දී ඇති එකම රට ඇමෙරිකාවයි. ඒ නිසා මට ඇමෙරිකානුවෙක් වීමට ලැබීම හරියට මට පදිංචියට සුදුසු ගෙදරට ආවා වගෙයි. පහත ඇමෙරිකන් අදහස් ඇති නිසා, පරාධීනයෙක් නොව මම ස්වාධීනයෙක් ම වෙන නිසා මම ඇමෙරිකානුවෙක් යැයි ආඩම්බරයෙන් හඳුන්වා ගනිමි.

          පහත සටහනේ දී අහන ප්‍රශ්න මම ඔබෙන් අහන ප්‍රශ්න නෙමෙයි. ඒවා ඔබ විසින් ඔබෙන් අසා ඔබ ම පිළිතුරු සොයාගත යුතු ඒවාය. ඒවාට ඔබේ පිළිතුරු කුමක් වූවාත් මට කම් නැත. ඒවා මට දැනගන්නට ද උවමනාවක් නැත.

          “නිර්මාණශීලීත්වය ඉපදෙන්නේ පුද්ගලයෙක් තුල ය. සාමූහික මොළයක් තුලින් නොවේ. සාමූහික වූ චින්තනයක් තුලින් නොවේ. මොළ රාශියක් එකම අදහසක් හා එකඟ වෙන්නේ තම තමන්ට පමණක් වූ මොළයෙන් විමසා බලා ය. සාමූහික වූ චින්තනයක් යයි අපි අල්ලා ගෙන සිටිය ද එවැන්න එක් එක් පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන ලද එක් එක් මත එක් එක් පුද්ගලයින් විසින් පිළිගෙන සිටීම ය. පුද්ගලයෝ පිරිසක් විසින් එකඟතාවයට පැමිණෙන්නේ නම් එය එක්කෝ ප්‍රතිවිරුද්ධ එකඟතාවයකි (compromise) නැතහොත් පිරිසක තුලින් දකිනා වූ ස්වාධීන වූ චින්තනයේ සාමාන්‍යයකි (average).

          නිර්මාණ ශිල්පියා ස්වාර්ථකාමී ය. එයම නිර්මාණය ශක්තියේ රහසයි. ස්ව-සම්පූර්ණ වූ, ස්ව-අභිප්‍රායෙන් යුතු වූ, ස්ව-උපදවා ගත හැකියාවකින් යුතු වූවෙක්ට පමණක් නිර්මාණශීලීත්වය ඇත.

          පෘතුවියේ උපන් මිනිසාට කිසිවක් ඉබේ නොලැබේ. ඔහු ජීවත්වන්නේ යම් අයෙක් විසින් කරන්නා වූ නිෂ්පාදන වලිනි. එක්කෝ ඔහුට තම මොළයේ උපකාරයෙන් ස්වාධීනව කටයුතු කළ හැකිය. නැතහොත් අනුන්ගේ මොළ වල උපකාරයෙන් නිෂ්පාදිත දේ පරපෝෂිතයෙක් සේ උකහා ගෙන ජීවත්විය හැකිය.

          නිර්මාණකරුවා උපදවයි. පරපෝෂිතයා අනුන්ගේ දේ පාවිච්චියට ගනියි. නිර්මාණකරුවා ස්වභාව ධර්මයා හා ගැටෙන්නේ තනිවම ය. පරපෝෂිතයා ස්වභාව ධර්මයට මුහුණ දෙන්නේ තවත් ආධාරකරුවෙකු හරහා ය.

          නිර්මාණකරුවාගේ උත්සාහය ස්වභාව ධර්මය ජය ගැනීමයි. ස්වභාව ධර්මය හා ගැටෙන්නා අව්වෙන් වැස්සෙන් බේරී ඉන්නටත්, ආහාර හා සෞඛ්‍යයය පවත්වා ගන්නටත් උත්සාහයේ යෙදෙයි. මෙහි දී පළමු අරමුණ තමන් තුලම වූ දක්ෂතාවයේ ඵල නෙළීම ය. පරපෝෂිතයාගේ උත්සාහය මිනිසුන් ජය ගැනීමයි. මිනිසුන් තුලින් ජීවත්වන පරපෝෂිතයාට මිනිසුන් නොමැති ජීවිතයක් නැත. ඒ නිසාම අනිත් අය ඔහුගේ පළමු අරමුණ වෙයි.

          නිර්මාණකරුවාගේ මූලික අවශ්‍යතාවය වනාහි ස්වාධීනත්වය වෙයි. විචාරාත්මක මනසකට බාහිර බලපෑම් පිරි පරිසරයක වැඩ කරනු නොහැකිය. නිර්මාණයක දී අනිකුත් අය හිතන්නේ කුමක්දැයි විචාරය දෙවැනි ස්ථානය ගනියි.

          පරපෝෂිතයාගේ මූලික අවශ්‍යතාවය අනිකුත් අය හා අත්වැල් බැඳ ගැනීමය. එසේ නොකළ හොත් බඩ වඩා ගැනීම කෙසේ වෙතත් කුසගින්න නිවා ගැනීමට ද නොහැකිය. පරපෝෂිතයා සබඳතා වලට පළමු ස්ථානය දෙයි. මිනිසාගේ පැවැත්ම අනුන්ට සේවය කිරීම සඳහා වෙතැයි එවැන්නා කියයි. පරාර්ථාකමීත්වය අගය කරයි.

          පරාර්ථාකාමීත්වය නම් මිනිසා අනුන් වෙනුවෙන් ජීවත් වීම ය. තමන්ට වඩා ඉහළින් අනුන්ව තැබීම ය.

          තම ආමාශය තුලින් තවකෙකුගේ ආහාර දිරවීමට නොහැකි සේ, අනිකා වෙනුවෙන් හිතන්නට මොළය ද දීමට මිනිසාට නොහැකි ය. මේ මූලික සිද්ධාන්තය ප්‍රතික්ෂේප කරන පරාර්ථාකාමය වඩා ඉහළ අගයකින් තබන පරපෝෂිතයන් විසින් පරාර්ථකාමය වඩා අගනේය යන අවියෙන් පීඩිතයෝ සූරා කති.

          අනුන් වෙනුවෙන් ජීවත් වන්නා වහලෙකි. ශ්‍රමික වූ වහල් භාවය පිළිකුල් නම් මානසික වූ වහල් භාවය කොතරම් පිළිකුල් විය යුතු ද?

          වඩාත්ම උසස් උත්කෘෂ්ටය නම් ජය ගැනීම (achieve) නොව දානය (giving) යයි පොදුවේ පිළිගන්නා සම්මතය මිථ්‍යාවක් නොවන්නේ ද?

          නිර්මාණය කරන ලද්දක් මිස නැත්තක් දානය කළ හැකි ද? බෙදා දීමකට පෙර නිර්මාණයක් බිහිකළ යුතු නොවේ ද? නැත්නම් බෙදා දෙන්නේ කුමක් ද?

          නිර්මාණකරුවාගේ පැවැත්මේ අවශ්‍යතාවය පළමුවත්, ඉන්පසුව පමණක් ප්‍රතිලාභියෙකු (දානය ලබන්නකු) ගැන කතා කළ හැකි නොවේ ද?

          එහෙත් අපිව හුරු පුරුදු කර ඇත්තේ තෑගි නිපැයූ අයව අගය කිරීමට වඩා තෑගි බෙදා දෙන්නාගේ වෑයම අගය කිරීමට නොවේ ද?

          අපි ත්‍යාගශීලී කටයුත්තක් පැසසීමට නොපසුබට වෙමු. එහෙත් අපි නිර්මාණයක් ඉදිරියේ දී දෙවුර හකුළමු. උත්සාහය හා වෑයම නිසා ලබන ජය ගැනීම ඒ නිසා නොව වාසනාව නිසා යැයි ඔප්පු කරන්නට නොහැකි වුව ද එසේ වූවා යයි සිතින් අල්ලා ගෙන සිටිමු. එවැන්නාට තම කුසීත බව හා ඕනෑකම නැතිබව නිසා වන අසාර්ථකත්වය ගැන දුකක් නැත.

          ස්ව ශක්තීන් නම් සිතන්නට, වටහා ගන්නට, විනිශ්චයට හා කටයුතු කිරීමට ඇති හැකියාවන් ය. එහෙත් අපිට වඩා අගනේය කියා හැමදාම කියා දෙන්නේ ස්ව-නැති කම (selflessness = පරාර්ථාකමය) වන්නේ ඇයි?

          හොඳ (good) හා නරක (evil) ලෙස ස්වාර්ථය (egotism) හා පරාර්ථය (altruism) සැලකිය හැකි ද?

          ස්වාර්ථය නම් තමන්ගේ හිතසුව පිණිස අනුන් බිලි දීම ද? පරාර්ථය නම් අනුන්ගේ හිතසුව පිණිස තමන් බිලි දීම ද?

          එය එසේ නම්, මිනිසා අනිකුත් මිනිසුන් සමඟ අවලංගු කළ නොහැකි ලෙසින් අසරණ කර බැඳ තබා ඇත. එසේම එවිට මිනිසාට තෝරා ගැනීමට හැක්කේ දුකින් පිරුණු පිළිතුරකි. තමන් බිලි දී අනුන්ගේ හිතසුව සැලසීමට හෝ අනුන් බිලි දී තමන්ගේ හිතසුව සැලසීමට ය.

          මිනිසා ඉදිරියේ ඇති තෝරා ගැනීම නම් මෙවැනි අන්ත දෙකකින් එක අන්තයක් නොවේ. තෝරා ගැනීම නම් ස්වාධීනයෙකු වෙනවා ද? නැතහොත් පරාධීනයෙකු වෙනවා ද? යන දෙකින් එකකි. එය ජීවත් වෙනවා ද? නැතහොත් මරණයට පත්වෙනවා ද? වැනි වූ තෝරා ගැනීමක් වෙයි.

          ස්වාර්ථ හිතවාදියෙක් යන්න පරම අර්ථයකින් විමසද්දී, එවැන්නා අනුන් බිලිදෙන්නෙකු නොවන බව පෙනී යයි. එවැන්නා අනිත් කිසිවකුගේ අවශ්‍යතාවයන් වලට ඉහළින් සිට කිසිදු ආකාරයකින් අනිකුත් අයව ප්‍රයෝජනයට නොගන්නා කෙනෙක් වන්නේය. කිසිවෙක් වහලකු කර නොගන්නා පුද්ගලයා කිසිවෙකුගේ වහලකු ද නොවන්නේ ය.

          පුද්ගලයා අනුව මෙම හැකියාව වෙනස් ප්‍රමාණයන් වලින් යුතුය. එහෙත් මූලික සිද්ධාන්තය එකම ය. ස්වාධීනත්වය, කුසලතාවය, කැමැත්ත හා උවමනාව අනුව පුද්ගලයාගේ වටිනාකම මිනිසකු වශයෙන් ද ශ්‍රමිකයෙකු වශයෙන් ද දැකිය හැකිය. මිනිසාගේ සද්භාවය හා අගැයුම මැනීමට ඇති එකම මිම්ම මිනිසාගේ ස්වාධීනත්වයයි. මිනිසා තමා වෙනුවෙන් කුමක් ඉෂ්ට කළා ද යන්න ඔහුව අගය කරත හැකි එකම මිම්ම වෙයි. ඔහුට ඇති දෑ මොනවා ද හා ඔහු අනිකුත් අය වෙනුවෙන් කුමක් කළා ද යන්න මත පුද්ගලයාගේ අගය තීරණය නොවෙයි.”

          • Eranda said, on අගෝස්තු 11, 2012 at 8:53 ප.ව.

            Hi Aruni,

            Thanks for taking the time to explain what America is and what a hyperlink is.

            I seem to have struck a code, which I assure you was not my intention. I only wanted to check whether this blog and its author was worthy and humane enough to be followed. You gave me the answer to that within your last reply.

            Remember…. විචාරය හැර දා හැඟීම් වලට ඉඩදෙන්න එපා 😉

            • arunishapiro said, on අගෝස්තු 11, 2012 at 10:02 ප.ව.

              Eranda,

              “විචාරයක් ඇත්තාට අතීතයේ අත්දැකීම් වලින් වර්තමාන සිද්ධිය ඉදිරියේ දී අනාගත සතුට හෝ වේදනාව ගැන මතයක් විචාරයෙන් ඇති කර ගත හැකිය.”

              “සිද්ධියක දී ආවේගය අගැයුම් කරන හැටි ගැන A. R. Damasio විසින් Descartes’ Error: Emotion, Reason and the Human Brain (1994) නමින් විමර්ශනයක් කර ඇත.”

              විචාරය හා බැඳි ආවේගය

              ඔබ ඉංග්‍රීසි දන්නා බැවින් ඔබ කැමති නම් හැඟීම් මොනවා දැයි විචාරය කුමක් දැයි ඉහත පොත කියවා හොයාගන්න.

              ඔව්, පැහැදිලිව ම, මතක තියාගන්න, විචාරය හැර දා හැඟීම් වලට ඉඩදෙන්න එපා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: