අරුණි ශපීරෝ‍ වෙතින්

සමාජ ගිවිසුම: පාලකයා හා පාලනය වෙන්නා අතර වූවක් ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 8, 2012

මඟුලක් කියන්නෙ විවාහ උත්සවයකට. ඒත්, ඕනෑ මඟුලක් උඹලා නටාපිය කියද්දි ලැබෙන්නෙ වෙන අර්ථයක්.

විවාහයක් කියන්නෙ ගිවිසුමක්. ඊට එකතු වෙන්නෙ සමහරු කැමැත්තෙන්. සමහරු වෙන විකල්පයක් නැහැයි කියල හිතන නිසා. මඟුලකින් පස්සෙ එකතු වෙන හැමෝම වෙනස් වෙනවා. සමහරු වෙනස කුමක් දැයි දැනගෙන. වෙනස හොඳ ද නැද්ද කියන එක ඒ ඒ අයගෙ මතය අනුව වෙනස්.

රටවල් අතලොස්සක සමාජ ගිවිසුම පාලකයා හා පාලනය වෙන්නා අතර වූවක්. අනිත් රටවල ඒක පාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියන් අතර වූවක්. පාලකයන්ට ඕනෑ මඟුලක් නටන්න ඉඩ දීලා නිහඬ වෙන පුරවැසියන් බහුතරය ඉන්න රටවල් තමයි ඒ. සමහරු අවදි වෙන්නේ ආර්ථිකය කඩා වැටී පසුම්බි හිස් වී තමන් අල්ලන්නට අලුගෝසුවා එනවා දකිනා විට. බහුතරය එය නොදැකම වල පල්ලට යති.

පාලකයා හා පුරවැසියා අතර ඇති විය යුතු සමාජ ගිවිසුම කෙබඳු විය යුතු දැයි කතාබහක් ලෝකයේ ඇති වුනේ හදිසියේ ම. බුර්ජුවාසිය තමයි ඒකෙ මුල් තැන ගත්තෙ.

‘ලෙවියතන්’ ලියන තෝමස් හොබ්ස් කියුවේ සමාජ ගිවිසුම නම් පාලනය වෙන අය දෙන පොරොන්දුවකින් ඔවුන් තමන්ව පාලනය කරන අයට අවනත වීමයි. එහි දී ගිවිසුම කඩන අයට දඬුවම් දීමට දෙපැත්තේ අයට ම බලය ඇත.

ඒත් හොබ්ස් ගැනට වඩා වැඩියෙන් ලෝකයා දන්නේ Jean-Jacques Rousseau ගැනයි.

ඒකීය පුද්ගලයෙක් තමන්ගේ විනිශ්චයන්, අයිතීන් හා බලතලයන් සියල්ල එයා ජීවත්වෙන සමාජයේ සමස්ත උවමනාවන් වෙනුවෙන් හා විනිශ්චයන් වෙනුවෙන් යටහත් වීමට එකඟ වීම සමාජ ගිවිසුම යැයි රූසෝ කියයි.

ස්වභාවික තත්වයේ දී නැත්නම් state of nature යන්නේ දී කිසිම නීතියක් රීතියක් නැතැයි යන පදනමෙන් වැඩ පටන් ගැනීම රූසෝ කරන වැරැද්දයි. ස්වභාවික නීති රීතින් මිනිසා විසින් හදන නීති රීතින් ගෙනෙන්නට පෙර තිබුණු බව ‘නොදකින’ රූසෝ සමාජයේ අයහපත සිද්ධ වන්නේ මිනිසා ගෙනෙන නීති රීති නිසා යැයි කියයි. මෙහි දී ඔහු ඉලක්ක කරගන්නේ පුද්ගල දේපල අයිතියයි. ඒ නිසා සියළු දුක් කම්කටොළු පැමිණ ඇති බව ඔහුගේ මතයයි.

ගිනි මැලයක් ගහන්නට දත්තාට ඒ ඥානය ගැන වූ දේපල අයිතියක් තිබ්බේ නැද්ද? අත්තක් කපා මුගුරක් හදාගන්නට දත් අයට ඒ ගැන දේපල අයිතියක් තිබ්බේ නැද්ද?

මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය හඳුනා ගෙන ඒ ස්වභාවික නීති අනුව ගෙනෙන සමාජ නීති රීති පමණක් සැමට යුක්තිය හා සාධාරණත්වය සලසන නීති බව තවමත් නොදකින අය ලොව බොහොමයකි.

ඒ අය විසින් නීති ගැන කතාබහේ දී සාකච්ඡාවට ගන්නේ “එහෙනම් නීති කිසිවක් එපා ද?” යන්න හෝ “පුද්ගලයෙක් විසින් තීරණය කරන නීති වලට වඩා සමාජයක් විසින් තීරණය කරන නීති හොඳ ද?” යන පැති දෙකෙන් එකකි.

සමාජයක් විසින් හෝ පුද්ගලයෙක් විසින් හෝ තීරණය කරතත්, තීරණය කළ යුත්තේ මිනිස් ස්වභාවයට හා ලෝක ස්වභාවයට අනුකූල වූ නීති රීති බව විභාගයට නොයෑම මහත් ඛේදවාචකයකි.

ඉතින් කෙටියෙන් කිව්වොත් “සමාජ ගිවිසුම” ගැන වූ අවුල තවමත් විසඳී නැත.

සමාජයක ආරක්ෂාව සැලසෙන නීති වලින් තමනට ආරක්ෂාව ලැබෙනවා යැයි දකින අය ඒවා පිළිගනිති. එසේ සැලසෙන්නේ නැතැයි දකිද්දී (එනම් වරප්‍රසාද ලත් අයට දඬුවමක් නොලබා නීතිය කැඩිය හැකි වූ විට) සමාජය නීති පිළිපදින්නේ ද නැත. නීති වලින් ආරක්ෂාව සැලසෙන්නේ නැතැයි දකිනා අය ඒ රටවල් හැර දමා තම ආරක්ෂාව සැලසෙන රටවල් සොයා යති.

තවත් පිරිසක් ආර්ථික ලාභ සොයා තමන් උපන් රටවල් අතහැර ආර්ථික ලාභ ලැබිය හැකි රටවල් සොයා යති. නමුත් ඒ අය අතර, තමන් උපන් රටේ ලැබිය නොහැකි ආර්ථික ලාභ තමන් යන රටේ දී ලැබෙන්නේ කුමන නීතියක් රීතියක් ආරක්ෂාව වීම නිසාවෙන් දැයි විචාරන්නේ අතලොස්සකි.

නීති විචාරන්නේ නැති බහුතරය, මොන නීති වලින් ද තම ආරක්ෂාව සැලසෙන්නේ, මොන නීති වලින් ද තම ආරක්ෂාව නැතිවෙන්නේ යැයි නොදැන හිතාගෙන සිටින්නේ නීති ගෙනෙන බලය ඇති අය නිතිපතා නීති ගෙනෙන්නේ පොදු යහපත වෙනුවෙන් කියාය. පොදු යහපත නම් තමන්ගේ යහපත ද වේ යැයි සිතති.

දේශයක පරම බලය ඇත්තේ යම් පාලකයෙකු ළඟ හෝ ඒකීය පුද්ගලයෙකු ළඟ හෝ යම් සමාජ සංස්ථාවක් හෝ ව්‍යාපාරික සමාගමක් තුළ නොවේ. දේශයක පරම බලය ඇත්තේ ඒ දේශය පිහිටන සමාජයේ පොදු කැමැත්ත (volonté générale) තුළ යැයි රූසෝ කියයි.

අවුල මෙතැනයි. පරම බලය ඒ දේශයේ සියළු පුරවැසියන්ගේ කැමැත්ත ද? බහුතර පුරවැසියන් ගේ කැමැත්ත ද? කවුද පුරවැසියන්?

ඒ ගැන කතා කිරීමේ දී රූසෝ වැඩි විස්තර පහදන්නට යෑමෙන් වැළකෙනවා. රූසෝ රටේ සියළු වැඩිහිටි පිරිමින්ටත් පුරවැසි බව දෙන්නට කැමති වෙන්නෙ නැහැ. මතකනෙ ප්‍රංශ විප්ලවය, තමන්ට වඩා ඉහළ සමාජ පංතියේ අයිතීන් තමන් වෙනුවෙන් ඉල්ලුවාට තමන්ට වඩා පහළ පංතියේ අය හා තමන්ට තියෙන අයිතීන් බෙදා ගන්න කැමති නැතියාව.

සමාජ ගිවිසුමක් යනු සමාජයේ ඉන්නා සෑම සියළු අයගේ ම කැමැත්තෙන් වූවක් බව සාක්ෂාත් කරන්න කිසිවිටෙක නොහැකියි. එය බලහත්කාරයෙන්, යාප්පුවෙන් හෝ අල්ලස් දී හෝ ද කරත නොහැකියි!!!!

බහුතර නියෝජනයෙන් හෝ චන්දය ප්‍රකාශ කරන අයිතියෙන් යුතු වූ අයගේ කැමැත්ත පමණක් සමාජ ගිවිසුමක් ද නොවෙයි. එහෙම කාලයක තමයි වහල් ක්‍රමයට ඉඩක් තිබ්බෙ. එහෙම කාලයක තමයි හිට්ලර්ගේ ජර්මනියේ සමරිසියන්ට, යුදෙව්වන්ට ඉඩක් නොතිබියේ.

රූසෝ කිව්වේ පොදු කැමැත්ත නිසා නීතියකට ඉඩක් ලැබීමෙන් ඒ නීතියට එකඟ වෙන්නෙ නැති අයව බලහත්කාරයෙන් යටහත් කරවා ගැනීම යුක්ති සහගත බවයි. පාලකයෙක් විසින් ‘මේකා දේශප්‍රේමියෙක්’ කිව්වාම ඊට යටහත් වෙන අයත් එයාව ම ඒ පාලකයා විසින් ම තවත් කාලෙක දී ‘මේකා දේශද්‍රෝහියෙක්’ කිව්වාම පුරවැසියන් ඊටත් යටහත් වෙන එක රූසෝ කියන විදියට හරි. පූටින් එක්ක එකතු වෙලා වැඩ කරද්දී Mikhail Borisovich Khodorkovsky නිවැරදියි, පූටින්ගේ වැරදි කියද්දී මනුස්සයා හිරගෙදරට!!!

පහර දීමකින්, මංකොල්ලාකෑමකින්, බොරු නඩු ගෙතීමෙන් යනාදී සිය ගණන් උවදුරු වලින් යුතු සිවිල් සමාජයක අයෙකුට නිදහසේ ජීවත්විය හැකියාව ලැබෙන්නේ නීතියට ගරු කිරීමෙන් බවත්, සමාජය විසින් ඊට අකමැත්තාට “බලහත්කාරයෙන් නිදහස” ලබාදෙන බවත්, එය නිවැරදි සමාජ ගිවිසුම බවත් රූසෝ කියන වැරදි කතාව තමයි පූටින් නීතියෙන් ක්‍රියාත්මක කරන්නේ.

විමසා නොබලා එකතු වන මඟුල් නිසා හටගන්නේ බලහත්කාරයෙන් ගෙනෙන සමාජ ගිවිසුම් නීති මඟින් නිදහස ස්ථාපනයට ගන්නා උත්සාහයන් වලින් දැන් සමස්ත සමාජයට ම මුහුණ දෙන්නට වෙන අවුල් වියවුල්.

යුරෝපීයයන් යුරෝපීය රටවල් අතර සංක්‍රමණය වෙද්දී සිද්ධ වූවාට වඩා වෙනසක් යුරෝපීයයන් නොවන අය යුරෝපයට ගොඩ වැදීම නිසා සිද්ධ වී ඇත. යුරෝපයට ගොඩවෙන සංක්‍රමණිකයන් අතරින් බිහිවෙන පාලකයන් කුමන නීති රීති වලින් සමාජ ගිවිසුම හදාවි ද යන්නටයි සැලකිල්ල අද යොමු විය යුත්තේ.

මේ අඩවිය කරන්නේ හැඟීම් වලින් නොව විචාරයෙන් යන ගමනක්. ඒ නිසා මාතෘකාවන් ගැන මගේ පුද්ගලික හැඟීම් මොනවා දැයි හොයන්න උත්සාහයට කාලය නාස්ති කරන්න එපා යැයි කළින් ම කියන්නම්. මෙය කියවන ඔබගේ සුගතිය හෝ අගතිය ළඟා වෙන්නේ ද හැඟීම් වලින් නොව විචාරයෙන් මේ අදහස් සලකා බලන්නට හැකියාවක් ලැබි දවසට ය.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. chandi said, on අගෝස්තු 8, 2012 at 11:25 පෙ.ව.

    ඔය වගේ අවුල් යුරෝපයට පමණක් පොදු ඒවා නොවේ අරුණි නංගී, අපි සැම්බියාවෙ හිටි කාලයේ උගැන්ඩා වේ තත්වය අපි දැක්කා, ඒ වගේම සැම්බියාවෙත් ඒ හා සමාන තත්වයක් ආවා. මොකද ? බොහොමයක් හොඳ කඩ සාප්පු වල අයිතිය එක්කෝ සුද්දෙකුට එහෙම නැත්නම් ඉන්දියානුවෙකුට. ඇෆ්‍රිකන් කාටවත් ඒවා අයිති නෑ. ගොවිබිම් වල තත්වයත් එහෙමයි. ඒ රටේ ජීවත් වෙන බහුතරයක් කළුජාතීන්. ඒ අයගෙ රට හෙවත් මව්බිම. පුරවැසියන් ඔවුන්. ඉතින් ගැටුම් ඇතිවෙන එක අහන්න දෙයක්ද? මේ අවුල විසදන්නේ කෙසේද?

    //විමසා නොබලා එකතු වන මඟුල් නිසා හටගන්නේ බලහත්කාරයෙන් ගෙනෙන සමාජ ගිවිසුම් නීති මඟින් නිදහස ස්ථාපනයට ගන්නා උත්සාහයන් වලින් දැන් සමස්ත සමාජයට ම මුහුණ දෙන්නට වෙන අවුල් වියවුල්.

    යුරෝපීයයන් යුරෝපීය රටවල් අතර සංක්‍රමණය වෙද්දී සිද්ධ වූවාට වඩා වෙනසක් යුරෝපීයයන් නොවන අය යුරෝපයට ගොඩ වැදීම නිසා සිද්ධ වී ඇත. යුරෝපයට ගොඩවෙන සංක්‍රමණිකයන් අතරින් බිහිවෙන පාලකයන් කුමන නීති රීති වලින් සමාජ ගිවිසුම හදාවි ද යන්නටයි සැලකිල්ල අද යොමු විය යුත්තේ.//

    අද ඔවුන් ඒ සදහා පිලිතුරු සොයනවා. සැමට පොදු ආර්තික ප්‍රතිපත්ති සොයනවා.

    • arunishapiro said, on අගෝස්තු 8, 2012 at 12:34 ප.ව.

      චාන්දි අක්කා,

      යුරෝපය ගැන වුනාට කතාව ඒ ගැනම නෙමෙයි නේද, 😀

      ඒත් අවුල විසඳන්න නම් ඉස්සර වෙලා ම ‘පොදු ප්‍රතිපත්ති’ මොනවා දැයි විසඳගන්න ඕනා. මම දකින විදියට ඔවුන් එහෙම උත්සාහයක් ගන්නෙ නැහැ, දැනට කරන්නෙ කෑන් එක ඈතට පයින් ගහන එකයි. ඒ කිව්වෙ විසඳගන්න ඕන ප්‍රශ්න ඈතට කල් යැවීමයි.

      ඒ කතාවත් යුරෝපය ගැන වුනාට ඒ ගැනම නෙමෙයි!!!!

  2. Kenji @ Japan said, on අගෝස්තු 8, 2012 at 12:21 ප.ව.

    පාලකයා විසින් පුරවැසියව ගිලගන්න ලෝකයක ඉන්න අපට මොන කතාද අරුණි?

  3. Kenji @ Japan said, on අගෝස්තු 8, 2012 at 12:22 ප.ව.

    ඔබ ඔය අපිට ලියන ටික බැරිද මහින්ද,ගෝඨාභය සහ බැසිල් යන අයට ගිහිල්ල [ඇමෙරිකන් ඉංගිරිසි දන්නා දෙන්නෙක් ඉන්න නිසා] කියල දෙන්න .අතින් වියදම් කරගෙන ගල්කිස්ස හෝටලයේ පබිලිස් උන්නැහේගේ ගමේ කෑම ට වඩා ගමේ කෑම වැඩිපුරම තියෙන්නේ “ආඩම්බරකාර පියා” ගේ මන්දිරෙනේ. ගමන් වියදම් ගැන ප්‍රස්නයක් නැහැ වාස් ඒවා ගැන බලාගනිවී.

    • arunishapiro said, on අගෝස්තු 8, 2012 at 12:44 ප.ව.

      Kenji @ Japan,

      කියල දෙන්න ඕන ඒ අයට ද? නැත්නම් ‘පොදු කැමැත්ත’ නියෝජනය කරන්නන්ට ද? ඒක තමයි වැදගත් ම ප්‍රශ්නය.

      සමාජ ගිවිසුම රූසෝ කිව්ව විදිය යැයි පිළිගන්නා ‘පොදු කැමැත්ත’ ඇති තාක් කල් ඒ අයට කැමැත්තක් කරන්නට බලය දීලා තියෙන්නෙ. එහෙම නැතිව හොබ්ස් කියූ විදියට සමාජ ගිවිසුම නම් කඩනා අය කවුරු වුවත් දඬුවම් විඳිය හැකි වූ ගිවිසුමක් යැයි ‘පොදු කැමැත්ත’ වූ දාට වෙනසක් ද ඇතිවේවි.

  4. Kandyan said, on අගෝස්තු 9, 2012 at 4:48 පෙ.ව.

    // යුරෝපයට ගොඩවෙන සංක්‍රමණිකයන් අතරින් බිහිවෙන පාලකයන් කුමන නීති රීති වලින් සමාජ ගිවිසුම හදාවි ද යන්නටයි සැලකිල්ල අද යොමු විය යුත්තේ//

    මං හිතනවා යුරෝපයේ දේශපාලන රටාව සහ සංස්කෘතිය සකස් වී තියෙන හැටියට දේශපාලකයන්ගේ / පාලකයන්ගේ පුද්ගලික ඕනෑ එපාකම් වලට ප්‍රමුඛත්වයක් ලැබෙන ඉඩකඩ සීමිතයි. අනික සුදු නොවන අයෙකුට බ්‍රිතාන්‍යයේ පාලකයෙක් (e.g. PM) වීමට අවස්ථාවක් ලැබෙනවා කියන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා හා සමානයි.

    • arunishapiro said, on අගෝස්තු 9, 2012 at 7:58 පෙ.ව.

      Kandyan,

      මේක තමයි අද ලෝකයේ රටවල් බොහොමයක් විසින් විසඳා ගත යුත්ත. මොකද අද දකින්න තියෙන්නෙ දේශපාලකයන්ගෙ/පාලකයන්ගෙ පුද්ගලික ඕනෑ එපාකම් වලට ප්‍රමුඛත්වයක් ලැබෙනවා වගෙයි. ඒත් එහෙම ලැබෙනවා වගේ පෙනෙන්නේ ඇයි කියන එකයි අපි විචාරන්න ඕනා. ඒකට ම තමයි මේ සටහන ලිව්වෙ.

      එහෙම ලැබෙනවා වගේ පෙනෙන්නේ අද ලෝකයේ බහුතර රටවල් පාලනය වෙන්නෙ රූසෝ කියපු විදියට පුරවැසියා තම යහපත වෙනුවෙන් නීති ගෙනෙන්නට පාලකයාට බාර දී ඇති නිසා. ඒත් එහෙම පෙනෙන රටවල පාලකයන් කරන්නේ පුරවැසියාගෙ කැමැත්ත නෙමේ යැයි ඕනෑම පුරවැසියක් ගෙන් ඇහැව්වොත් පුරවැසියා කියාවි. වැඩේ ඉන්න පුරවැසියන් සියල්ල ම එකම දෙයකට කැමති කරවා ගන්නට බැරිකම. පාලකයා කරන අරකට කැමති වුනත් පාලකයා කරන මේකට අකමැතියි. සමාජයේ යහපත වෙනුවෙන් කියා කරන හැම දෙයකට ම හැම පුරවැසියෙක්වම කැමති කරවා ගන්න කිසිසේත් ම බැහැ. දැන් රූසෝ කියන විදියට එහෙම අකමැති වුනත් කමක් නැහැ. කැමති අය එක්ක එකතු වෙලා, අකමැති අයට දඬුවම් දීලා සමාජයේ යහපත වෙනුවෙන් නීති ගෙනෙත හැකියි. ඒත් පුරවැසියන් කෙමෙන් කෙමෙන් අකමැති වෙද්දි පාලකයාගේ බලය ගිලිහී යන අවදානමකට පිවිසෙන්නෙ.

      දැන් බහුතර පුරවැසියන් බහුතර නීති වලට කැමති කරවා ගන්නට නම් කුමක් කළ යුතු ද?

      ඒක කරන්නට හැකි වූ එකම එක මාර්ගයක් පමණයි තියෙන්නෙ. ඒක තමයි හැමෝටම එක හා සමාන වූ ලෙසකින් සාධාරණත්වයක් ඉටුවෙන නීති ගෙන ඒම. එහෙම නීති තමයි මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය අනුව යන නීති. අපි යම් නීතියකට අකමැති වුනත්, ඊට වඩා අකමැති නීතියකට යටත් වෙන්න නොවෙනවා නම් අපි ඒ අකමැති නීතියට යටත් වෙනවා. උදාහරණයක් විදියට හැමදාම ලෝකයේ අරගල පටන් ගත් බදු නීතිය සලකමු. උපයන්නාව පසුබට කරන ආදායම් බදු වලට තරයේ අකමැති අයෙක් උපයන ආදායමෙන් 20% ක් බදු ගෙවන්න අකමැතියි. ඒත් අද ප්‍රංශයේ සැලකිය යුතු පිරිසක් බදු නොගෙවා සිටිය දී ඉහළ ආදායම් උපයද්දී ආදායමෙන් 75% ක් බදු ගෙවන්න වෙනවා කියලා රටත් හැරදාලා යන අය වැඩියි. ඒ අය 20% ක් බදු ගෙවන රටක බදු ගෙවන්න කැමැතියි.

      හැමෝටම එක හා සමාන වූ ලෙසකින් නීති ගෙන ඒමට හැකියාව ලැබෙන්නෙ පුරවැසියන් දැනුවත් වෙද්දී. ඒ වගේ ම තියෙන නීති පුරවැසියන් සියල්ලන්ට ම එක හා සමානව ක්‍රියාත්මක වෙද්දී!!! ඒත් මුළු ලෝකයේ ම, පුරවැසියන් දැනුවත් කරන්න සිටින අධ්‍යාපන පද්ධතිය, මාධ්‍ය්‍ය හා වෙනත් සංවිධාන තමන්ගේ වගකීම සැලකිය යුතු ලෙසින් පැහැර හැරිය යුගයක අප ජීවත් වෙන්නෙ. විචාරයෙන් ඉවත් වී හැඟීම් වලින් කටයුතු කරන නිසා, අපි දර්ශනය, තර්කය හා විචාරය ගැන වූ අදහස් කතාබහ නවතා අරයාගේ මෙයාගෙ පුද්ගලික අත්දැකීම් වලටයි අවධානය යොමු කරන්නෙ. තවත් විදියකින් කිව්වොත් ඔබාමාගේ කළු හමට තැනක් ලැබීම අගය කරනවා ඔහුගේ අදහස් විචාරයට නොයා. එයාගෙ හම කළු වුනත් සුදු වුනත් මොකක් ද එයා කියන්නෙ, ඒ කියන දේවල් වලින් පුරවැසියන්ට යහපතක් සිද්ධ වේ ද, අයහපතක් සිද්ධ වේ ද යන්න කතාබහට කැමති නැහැ. මුළු යුරෝපයේ ම ‘පොදු කැමැත්ත’ වූයේ ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති වෙනවාට. ඒත් ඒ කිසිවෙක් ඔහුගේ ප්‍රතිපත්ති මොනවා දැයි විමසුවේ නැහැ. ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව මෙතෙක් කිසිදු ඇමෙරිකන් මැතිවරණයක දී ජනාධිපතිවරයෙක් යෝජනා කර නොතිබි ඉතිහාසයකින් වුවත්, ඔවුන් ඔබාමාගේ පළමු වාරයේ දී ඔහු සුදුස්සෙක් යැයි යෝජනා කළා. සාමය ගැන කිසිවක් කළ නොතිබූ ඔබාමාට නොබෙල් සාම තෑග්ගත් ලැබුණා.

      යම් මතයක් ‘පොදු මතය’ යැයි ප්‍රසිද්ධියක් ලැබුවාම “තම කැමැත්ත කුමක් දැයි කියා වඩාත් ම නිශ්චිත (most confident) වූවෙක් සහ අඩුවෙන් ම නිශ්චිත (least confident) වූවෙක් යන දෙදෙනා තමයි නම්වා ගන්න ඉතාමත් අපහසු.” අතර මැද ඉන්න බහුතරය එන හැම රැල්ලක් එක්කම එකතු වෙන අය. විචාරයක් නොමැති හැඟීම් වලට ඉඩදෙන ඒ අය වෙතින් ලබාගන්නා ‘පොදු කැමැත්තෙන්’ ආණ්ඩුවක් පිහිටුවා ගන්න ලේසියි. ඒත් පවත්වා ගෙන යන්න අමාරුයි. මොකද ඔවුන් කටයුතු කරන්නේ හැඟීම් වලින් නිසා, ඔවුන් සිතූ පැතූ සියල්ල දෙන්නට ද නොහැකියාව නිසා, දැන් ඔවුන් එන තවත් රැල්ලකට එකතු වෙනවා.

      ඔය ඔක්කොම කිව්වෙ 😀 ඊ ළඟට එන ටික පැහැදිලි කරන්න:

      යුරෝපයේ දේශපාලන රටාව සහ සංස්කෘතිය සකස් වී තියෙන්නෙ ‘පොදු කැමැත්ත’ නීති ගෙනෙන්නට ඇති නිවැරදි යැයි හිතන ක්‍රමයට. ඉතින් පාලකයන්ගෙ පුද්ගලික ඕනෑ එපාකම් වලට නෙමෙයි, පුරවැසියන්ගෙ පුද්ගලික ඕනෑ එපාකම් වලටත් නෙමෙයි, කාගේ දැයි නොදන්නා ඒත් හැමගේ ම යැයි හිතන ‘පොදු කැමැත්ත’ තමයි ප්‍රමුඛත්වයක් ගන්නෙ. ඒකට ඉඩ සකසන්නේ දේශපාලකයන් බලය අල්ලා ගන්නට, මාධ්‍ය්‍යන් විසින් ‘පත්තර’ විකුණා ගන්නට, විවිධ සංවිධාන තම ආධාර මුදල් වැඩි කරගන්නට යනාදී හැමෝම දායකත්වයෙන් ඒත් පුරවැසියාගේ හිතසුව කියන මුලාවෙන්. සර් ඇලෙස්ටෙයාර් බර්නෙට් ගැන කළින් සටහනේ දැම්මෙ ඒ නිසා.

      අගමැති වීම අවශ්‍ය නැහැ, අගමැති ලවා යමක් කරවන්න හැකි තරම් ‘පොදු කැමැත්ත’ නියෝජනය කරන්නෙක් වූවාම ඇති. මොකද ඒ අයගේ කැමැත්ත ඉටු නොකර අගමැතිට බලයේ ඉන්න නොහැකියාව නිසා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: