අරුණි ශපීරෝ‍ වෙතින්

යුදෙව්වන් වඳ වී නොගියේ කොහොම ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 9, 2012

“යුදෙව්වන්,” රූසෝ කීවේය, “අරුම පුදුම ජාතියක්. ඔවුන්ගෙ නීති මිය ගිහින්. ඊට වඩා පැරණි මෝසස්ගෙ නීති තවමත් පණපිටින්. ඇතැන්ස්, ස්පාර්ටා සහ රෝමය විනාශ වෙලා ගිහින් ඔවුන්ගේ දරු පරපුරක් මිහිකත ඉතිරි නොකරම. ඒත් Zion විනාශ කර දැමුවත්, ඒ දරුවන් වඳ වෙලා නැහැ. ඔවුන් ආරක්ෂා වෙලා, වර්ධනය වෙලා, ලෝකය පුරා පැතිර ගිහින් … ඔවුන් හැම ජනතාවක් එක්කම ගැවසෙනවා, ඒත් ගැවසුනාට ඒ අය කියලා වැරදියට සැලකෙන්නෙ නැහැ. ඔවුන්ට කියලා එක පාලකයෙක් නැහැ. ඒත් ඔවුන් හැම තිස්සෙම කල්ලියක් හැටියට ඉන්නෙ …මෙවැනි ආශ්චර්යයක් කරන්න හැකියාවක් තිබි රෙගුලාසිකාරයාගේ බලය කුමක් ද! අපිට දැනගන්න තියෙන සෑම රෙගුලාසි ක්‍රමයකින් ම මේක විතරයි සියළු විභාගයන්ට මුහුණ දීලා ඒත් ඒවා කිසිවකින් අසමත් වී නැත්තෙ.”

නුහුරු නීති සහ එදිරිවාදී ඇදහිලි යුතු ලෝකයක් මැද අවදානමින් ජීවත්වෙද්දී කල්ලියක පැවැත්ම ආරක්ෂා කරගන්නට යම්කිසි වූ ක්‍රමවේදයක් යුදෙව්වන්ට අවශ්‍ය විණ. රටවල් පුරා විහිද ගිය යුදෙව් ජනතාවගේ පල්ලි සංස්ථාව හා ආණ්ඩු සංස්ථාව යන දෙකම වූයේ ඔවුන්ගේ ජීවිතයේ හැම අංගයක්ම තීරණය කරන ලද ආගමික විශ්වාසයයි.

ප්‍රංශ විප්ලවයට පෙර එහි යුදෙව්වන්ට සිවිල් අයිතීන් නොතිබිණ. එහෙත් Bordeaux කල්ලිය ජීවත් වූයේ සශ්‍රීක ලෙසිනි. ප්‍රංශ ආණ්ඩුව පෝලන්තය සමඟ, ස්පාඤ්ඤය සමඟ යුද කරද්දී යුදෙව්වන්ගේ මුදල් ආධාර ඉල්ලා ගත්හ. ස්පාඤ්ඤයේ යුදෙව්වන් සිටියේ අල්පයකි. පෘතුගාලයේ ක්‍රිස්තියානි ආගමට හැරෙන්නට අකමැති වූ යුදෙව්වන් පුළුස්සා මරා දැමිණ. ඔස්ට්‍රියාවේ ඉඩම් අයිතිය යුදෙව්වන්ට තහනම් විය. රුසියාවේ අධිරාජිණිය එලිසබෙත් පෙට්‍රොව්නා 1742 දී මුළු රාජධානියෙන් ම යුදෙව්වන් සියල්ලන්වම පිටමං කරන ලදි. ඔවුන් ග්‍රීක හුරුවේ ක්‍රිස්තියානි දහම පිළිගන්නේ නැත්නම් නැවත කිසිදාක වද්දා ගන්නට එපා යැයි ඇය ආඥාවක් නිකුත් කළාය. 1753 වෙද්දී යුදෙව්වන් තිස්පන්දාහක් පිටුවහල් කර තිබිණ.

ඉතාලියේ යුදෙව්වන්ට 1772 දී අනිකුත් අය හා සමාන නිදහස් අයිතීන් ඇතැයි සැලකිණ. එහි දරීද්‍රතාවයෙන් පිරි ගේටෝ බහුල විය. රෝමයේ වර්ග හතරැස් කිලෝමීටරයක යුදෙව්වන් දස දහසක් ජීවත් වූ බව කියැවේ.

1766 දී පෝලන්තයේ යුදෙව්වන් 621,000 ක් ජීවත් වූහ. යුදෙව්වන්ට අමතර බදු ගෙවන්නට සිද්ධ විය. රදළයන් ඔවුන් වහලුන් කරගත්හ. මැරයන් ගෙන් ආරක්ෂාව සලසන්නට කියා ග්‍රාම්‍ය පාලකයන් විසින් ඔවුන් ගෙන් මුදල් අය කළහ. වන්දනා ස්ථාන හදන්නට ඉඩ නොදෙන්නැයි කියූ පල්ලි සංස්ථාව ආගමක් නොවන ඇදහිලි වලට ඉඩ දෙන්නට බැහැයි කීහ.

1716 දී ආගම හැර ගිය Serafinowicz නම් යුදෙව්වා ‘යුදෙව් චාරිත්‍ර හෙළිදරව්වක්’ යැයි පොතක් පළ කළේය. එහි ක්‍රිස්තියානුවන්ගේ ලේ යුදෙව් වතාවත් සඳහා යොදා ගැනෙන බවත්, ඔහු ඒවාට සහභාගී වූ බවත් සඳහන් විය. යුදෙව්වන් ලේ ගන්නට ක්‍රිස්තියානි දරුවන් මරනවා කියා හැම අත පැතිර ගියේය. 1760 දක්වා චෝදනාවට ලක් වූ යුදෙව්වන් හිරබාරයට ගැනිණ. බහුතරය ශාරීරික වදහිංසා විඳින ලදි. සමහරුන්ව මරණයට පමුණුවන ලදි. සමහරු කස පහරෙන් හම ගැලවී මරණයට පත් වූහ. සමහරු උල තැබීමෙන් සෙමෙන් මරණයට පත් වූහ.

1763 දී බෙනඩික්ට් XIV පාප්තුමා විසින් ඒ ගැන සියළු තොරතුරු විමසා බලා එවැන්නක් සිද්ධ නොවන බව නිල වශයෙන් දැන්වීය. ඒත් 1247 දී Innocent IV පාප්තුමා ද ඒ ගැනම කළ නිවේදනයක් සේ ම මෙයත් වැදගැම්මකින් නොයුතු විය. ඒ අවලාදයෙන් යුදෙව්වන්ට එරෙහි අපරාධ නැවතුනේ නැත.

ඇදහිලි නිසා මිය ගිය යුදෙව්වන්, ඔවුන් ජීවත් වූ එදිරිවාදී සමාජයෙන් ඒ ඇදහිලි නිසාම ඝාතනය වෙද්දී ඔවුන් තව තවත් නැඹුරු වූයේ තමන්ගේ ඇදහිලි වලටයි. වෙනත් ආගමක් පිළිගෙන ජීවිතය රැකගන්නට අකමැති වූ ඔවුන් තම දරුවන් වත් මරා තමන්ගේ ද සියදිවිනසා ගත් අවස්ථා තිබුණි. ලෝකය ගැනත් මිනිසා ගැනත් ඇති සහජ කුතුහලයෙන් ඔවුන් කරුණු පහදාගන්නට හැදෑරුවේ තම ආගමයි. එය පහදා දෙන නායකයන් අතර ගුප්ත ඇදහිලි පැතිරයන්නට ද පටන් ගති. ආගමික පොත් වලින් විසඳුම් හොයන්නට ගිය අය ඇස් අන්ධ කරගත්හ.

තම ආගමික ඇදහිල්ල නිසාම යුදෙව්වන්ට රූප පිළිබිඹු වන ක්ෂේත්‍ර වලට ඇතුල් වන්නට ඉඩක් නොතිබිණ. ක්‍රිස්තියානි ආගම පිළිගන්නවා යැයි දිවුරුමක් දෙන්නට සිද්ධ වූ නිසා යුරෝපයේ විශ්ව විද්‍යාල වලට ඇතුල් වන්නට ඔවුන්ට වරම් නොලැබුණි. හීබෲ භාෂාව අවබෝධයට හැකි වූයේ ස්වල්පයකට ය. යිඩ්ඩිෂ් බස සාහිත්‍යමය භාෂාවක් බවට පත් වී නොමැති යුගයකි.

යුරෝපීය විචාරයේ ආරම්භය ඔවුන් වෙතින් ගිලි හී යන්නට ඔන්න මෙන්න තිබිය දී Moses Mendelsssohn තනියම යුදෙව්වන්ට නුහුරු දේවල් මොනවා දැයි විමසන්නට විය. ජර්මන් බසින් සාහිත්‍ය හා දර්ශනයත්, ලතින් බසින් ජෝන් ලොක් ගේ කෘති කියවන්නටත් පටන් ගෙන ඔහු යුදෙව්වන් අතර එතෙක් දකින්නට නොතිබි පැහැදිලි සුමට භාෂාවෙන් දර්ශනය විචාරයට පටන් ගත්තේ ය. විවිධ ක්‍රිස්තියානුවන් ඔහුගේ උත්සාහය ප්‍රශංසා කරද්දී සමහර සත්‍යලබ්ධික (orthodox) යුදෙව්වන් ඔහු මිථ්‍යා දෘෂ්ටිකයෙක් යැයි හංවඩු ගැසූහ.

බුද්ධිය, අධ්‍යාපනය, මනස හා ඥානය යනාදී අර්ථ රැගත් Haskalah නම් යුදෙව් පිබිදීම අගාරික වූ විෂයයන් හදාරන්නට යුදෙව්වන් ගෙන ගියේය. එතැනින් යුදෙව් දේශපාලන ව්‍යාපාරයක් හා යුදෙව් විමුක්තිය වෙනුවෙන් උත්සාහයන් පටන් ගැනිණ.

ජර්මනියෙන් ඔස්ට්‍රියාව පැත්තටත්, එතැනින් බොහීමියාව, පෝලන්තය හා රුසියාව දක්වා මේ ව්‍යාපාරය යුදෙව්වන් අතර ව්‍යාප්ත විය. ඔස්ට්‍රියාවේ යුදෙව්වන්ට යුදෙව් නොවන පාසැල් වලට වරම් ලැබිණ. හැම්බර්ග් සිටි යුදෙව් කිවිඳෙක් වූ Naphtali Wessely යුදෙව් ආගමික නායකයන් ඊට විරුද්ධතාවය දක්වද්දී පෙරැත්තයෙන් අගාරික අධ්‍යාපනයට දරුවන්ට යුදෙව් ආගමික නායකයන් වෙතින් ම ඉඩක් ලබා දීමට වෙහෙසුනේ ය. යුදෙව් ආගමෙන් ඔහුව පළවා හරින්නට නැඟෙන විරෝධය මැද මෙතෙක් පාවිච්චි කළ යිඩ්ඩිෂ් භාෂාව වෙනුවට හීබෲ සහ ජර්මන් භාෂා පාවිච්චියට ඔහු තරුණ පිරිස් උනන්දු කළේය. විද්‍යාව හා දර්ශනය මෙන් ම ටැල්මුඩය සමඟින් බයිබලය කියවන්නටත් දිරි ගැන්විය.

ලෝකය ගැන වෙනත් භාෂා වලින් හදාරන්නට ගත් යුදෙව්වන් අතරින් පිරිසක් ක්‍රිස්තියානි ආගමිකයන් බවට පත්වූහ. එහෙත් තම ආගමික හා චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීම නතර නොකළ යුදෙව්වන්ගේ පැවැත්මත්, ඔවුන් අතින් ලෝකයේ උන්නතියට දායකත්වයක් එතැන් පටන් ආරම්භ විය. එතෙක් යුදෙව් සිතැඟි මොනවා දැයි නොදත් සෙසු යුරෝපීයයන්ට යුදෙව් අදහස් මොනවා දැයි තම තමන්ගේ භාෂා වලින් කියවන්නට අවස්ථාවක් ලැබිණ.

රට රටවල අය යුදෙව් ජාතියට දඬුවම් දීම යුක්ති සහගත නොවන ඵලයක් නැති වූවක් යැයි දකින්නට පටන් ගනිද්දී යුදෙව්කම නිසා ඔවුන් මරා දැමීම නැවතෙන්නට විණ.

එහෙත් ඉතා පුරාතනයේ පටන් එන යුදෙව්වෙක් පමණින් මිනිසෙක්ව ඝාතනය සම්පූර්ණයෙන් නැවතී නැත. හිට්ලර් විසින් යුදෙව් නිසා මිලියන හයක් මිනිස් ජීවිත (එහි මිලියන 1.5 ක් දරුවන්) මරණයට පත් කරන ලදි. 2012 මාර්තුවේ දී ප්‍රංශ මුස්ලිම් තරුණයෙක් Toulouse හි දී යුදෙව්වන් හතර දෙනෙක් (පාසැල් දරුවන් තිදෙනෙක්) මරා දමන ලදි.

යුදෙව්වන්ගේ ඉතිහාසයේ ඔවුන් ‘මුස්ලිම්’ අය අතින් මරණයට පත්වූවාට වඩා මැරැම් කා ඇත්තේ “යුරෝපීයයන්” අතිනි.

Advertisements

35 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on අගෝස්තු 9, 2012 at 8:50 පෙ.ව.
    • arunishapiro said, on අගෝස්තු 9, 2012 at 9:08 පෙ.ව.

      kathandarakaraya,

      මුග්ධ ප්‍රතිචාර වලට මේ අඩවියේ තව දුරටත් ඉඩකඩ ලබා දෙන්නේ නැතිබව කරුණාවෙන් සලකන්න -අරුණි ශපීරෝ

      • kathandarakaraya said, on අගෝස්තු 9, 2012 at 5:21 ප.ව.

        මා මෙතන ලියූවේ ලිපිය කියවූ විට මගේ සිතට ආ අවංක සිතුවිල්ලයි. එහි ඔබට හෝ අන් කිසිවෙකුට අපහාසයක් තිබුණේ නැත.

        ඔබේ රාමුවට අනුව එය මුග්ධ එකක් වන්නේ මගේ අඳ බාලකම නිසාය. එය මගේ වරදකි.

        මගේ කමෙන්ටුව පල නොකිරීම ඔබේ අයිතියකි.

        මගේ කමෙන්ටුව කියවීමෙන් ඔබ අපහසුතාවයකට පත් වූවා නම් මට සමාවන්න.

        ස්තුතියි.

        • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 6:57 පෙ.ව.

          kathandarakaraya,

          මේ අඩවිය කරන්නේ හැඟීම් වලින් නොව විචාරයෙන් යන ගමනක්.”

          විචාරයට ලක් නොකර මුග්ධ (idiotic) හැඟීම් ලියූ ඔබ අපහාස කෙරුවේ මගේ පාඨකයන්ගේ විචාරයට හැකි බුද්ධිමය හැකියාවටයි.

          වරදක් කිහිප වරක් පෙන්වා දෙද්දී එය හදාගන්නට නොහැකියාව තව දුරටත් වරදක් නොවේ, එය ‘අනුන් ගැන කැක්කුමක් නැති බව’ පෙන්නුම් කරන පීඩකයෙකුගේ ලක්ෂණයක් වෙයි. මේ අඩවියේ ජෝකර්ලා වේශයෙන් එන පීඩකයන්ට ඉඩ දීම ද නොකරනු ලැබේ.

          //මගේ කමෙන්ටුව පල නොකිරීම ඔබේ අයිතියකි.// පැහැදිලිව ම, ඒ අයිතිය තමයි පාවිච්චි කළේ.

          කතන්දරකාරයා සමාව ඉල්ලා සිටිය යුත්තේ මගෙන් නොවෙයි, මේ අඩවිය කියවන්නට එන අයගෙන්. එය සාර්ථකව කළ හැක්කේ විචාරයට ලක් නොකරන තම හිතට අවංකව දැනුනු පමණින් ඒ මුග්ධ හැඟීම් තව දුරටත් මේ අඩවියේ නොලියා සිටීමෙනි.

          • Thushee said, on අගෝස්තු 10, 2012 at 4:34 ප.ව.

            ලිපිය නම් අගනේය.. කරුණු කාරණා පිරී ඇත.. නමුත් මෙම ලිපිය විදග්ධ යැයි අරුණිශපි පවසන්නේ කුමන කරුණක් හේතු කොටගෙන දැයි නොවැටහේ..
            මට වැටහෙන අරුණිශපි ගේ විදග්ධ බව නම් කාලාන්තරයක් තිස්සේ ප්‍රගුණ කල copy paste කලාවේ පරිණත බවයි..

            • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 4:36 ප.ව.

              Thushee,

              //මෙම ලිපිය විදග්ධ යැයි අරුණිශපි පවසන්නේ//

              ඔහොම අවුල් වෙන්නේ අනුන් ලියන දේවල් මම ලියන දේවල් කියලා වැරදියට පටලවා ගත්තාම තමයි!!!!!

              • Thushee said, on අගෝස්තු 10, 2012 at 5:17 ප.ව.

                මෙය අන් කෙනෙකුන්ගේ බව දනිමි.. එනිසයි මා අසන්නේ ඔබගේ අති දක්ෂ copy paste හැකියාව උපයෝගී කරගත් පමනින් ඔබ විදග්ධ යයි කටමැත දොඩවන්නෙ ඇයි කියා..

                • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 5:40 ප.ව.

                  Thushee,

                  //ඔබගේ අති දක්ෂ copy paste හැකියාව // කියන්නේ ඔබයි, මා නෙමෙයි.

                  //ඔබ විදග්ධ යයි කටමැත දොඩවන්නෙ// කියන්නේ ද ඔබයි, මා නෙමෙයි.

                  අනුන්ට ලියූ කොණක් අල්ලා වලියක් ඇද ගන්න හදන ඔබත් මගේ පාඨකයන්ගේ විචාරයට හැකි බුද්ධිමය හැකියාවට නිගරු කරන්නට හදනවා වගෙයි!!!!

                  • Thushee said, on අගෝස්තු 10, 2012 at 6:02 ප.ව.

                    වලි ඇද ගනීමක් මට අවැසි නොවේ.. එනිසා මා ගෙ විචාරය මෙතනින් නවතමි..
                    මා පවසන්නට උත්සහ ගත්තේ අනුන්ගේ දෙයක් තමන්ගේ බ්ලොගයට copy කර එයට පාඨකයන්ගෙ බුද්ධ්මත් විචාර බලාපොරොත්තු වන අරුණිශපි ගේ නොහැකියාව පිලිබඳවය..

                    (අනුන්ගේ දෙයක කොනක් අල්ල ගත්තේ එතැන විචාරයක ආරම්භයකට මග පාදන ඉතාමත් සුදුසු ස්ථානයක් වූ නිසාය.)

                    • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 7:04 ප.ව.

                      Thushee,

                      ඔබ කර ඇත්තේ විචාරයක් නොවේ. දෝෂාරෝපණයකි.

                      අනුන්ගේ දෙයක් කොපි කළා යැයි කියද්දී ඒ කාගෙන් දැයි, කොහෙන් දැයි කොපි කළේ යන්නත් කියන්නේ නම් ඔබ පවසන්නට උත්සාහ කරනවා යැයි කියන දෙය තහවුරු කරන්නට හැකිවේවි.

      • kathandarakaraya said, on අගෝස්තු 30, 2012 at 9:39 පෙ.ව.

        මේ කතාව සම්පූර්ණ වෙනු පිණිසත් මගේ පිලිතුරු දීමේ අයිතිය සඳහාත් මේ සබැඳිය මෙතන දමන්නට කරුණාවෙන් ඉඩ දෙන්න.

        –සබැඳිය කපා හරින ලදි.–අරුණි ශපීරෝ

        • arunishapiro said, on අගෝස්තු 30, 2012 at 5:04 ප.ව.

          kathandarakaraya,

          මගේ බ්ලොග් අඩවියේ මම ලියන හෝ වෙන අයෙකුට ලියන්නකට මවිසින් ඉඩ දෙන්නේ බාගෙට ලියන්නට ද නැත්නම් සම්පූර්ණ කරන්නට ද යන්නේ අයිතිය ඇත්තේ මෙම බ්ලොග් අඩවිය කරගෙන යන මට පමණි.

          කතන්දරකාරයාට තමන්ට අයිති තැනක ලියැවෙන කතාවක් කැමති විදියකින්, කැමති පමණකින් ලියාගන්නට අයිතියක් තිබ්බාට මෙතැනට ඇවිත් පිලිතුරු දීමේ අයිතියක් කිසිසේත් ම නැත.

          කතන්දරකාරයාට ඇත්තේ මෙතැනට ඇවිත් පිලිතුරු දීමේ උවමනාවකි (need). යමකට උවමනාවක් තිබි පමණට ඊට අයිතියක් ඇතැයි නොසිතන්න.

          මට සවන් දෙන්න, මට සහයෝගය දෙන්න, මාව පිළිගන්න, මාව විශ්වාස කරන්න, මාව අගය කරන්න යැයි අනිත් අය වෙතින් ඉල්ලන්නට අයෙකුට උවමනා වූ පමණින් ඒවා ලැබීමට අයිතියක් ඇතැයි නොසිතන්න. ඒවා වගකීමකින් යුතුව තමන් කරන කියන ක්‍රියාවෙන් උපයා ගන්නකි. එහි දී තමන්ට ලැබෙන්නේ අනුන්ගේ කැමැත්ත නිසා ඔවුන් දෙන දෙයක් මිස ලැබෙන්නේ අයිතියක් යැයි වැරදියට සිතා උවමනාවක් සපුරාගන්නට ඉල්ලා සිටීමෙන් නොවේ.

          කතන්දරකාරයා ලියා ඇති රසවත් කවි සහ කිසිවකුටත් පීඩාවක් ඇති නොකරන හාස්‍ය රසය ජනිත කරවන කතා ලියූ අවස්ථාවල දී මම ඒවා අගය කර ඇත්තෙමි, ප්‍රශංසා කර ඇත්තෙමි.

          උවමනාවන්ට එරෙහි වගකීම

  2. wicharaka විචාරක said, on අගෝස්තු 9, 2012 at 1:14 ප.ව.

    ඊශ්‍රායලය අදටත් ලෝකය දෙස බලන්නේ වයිරයෙන් වගෙයි. ඔවුන් තුළ තවමත් සැකය තිබෙනවා. ඔවුන් රහසිගත කාලසටහනකට වැඩ කරනවා කියා මට හිතෙනවා. මම ඔවුන් සමග තරහ නැහැ. නමුත් ඔවුන් මීට වඩා විවෘත විය යුතුයි.

    • arunishapiro said, on අගෝස්තු 9, 2012 at 1:55 ප.ව.

      wicharaka විචාරක,

      යුරෝපයේ ඉන්න යුදෙව්වන් ඊශ්‍රාලය හා එකඟ වෙන නොවෙන දෙපැත්තෙම අය වුනත්, මරා දැමෙන විට මරා දැමෙන්නෙ යුදෙව්වෙක් නිසා මිසක් ඔහුගේ මතවාදී ආකල්පය සොයා නෙමෙයි.

      ඊශ්‍රාලය වෛරයෙන් ද නැත්නම් බියෙන් ද කියන එක තීරණය කරන්න බැහැ. නමුත් සහතිකයෙන් ම ඔවුන් තුල සැකය දුරු වී නැතැයි කියන්නට පුළුවනි. ඒත් රහසිගත කාල සටහනකට වඩා ‘පොදු කැමැත්ත’ කියන තැන තමයි එහෙත් පටලැවිල්ලක් තියෙන්නෙ. පලස්තීනය සමඟ යම්කිසි එකඟතාවයකට එනතුරු ඊශ්‍රාලය නිසා ලෝකයටම සිද්ධ වෙන අයහපත වැඩියි. ඒ නිසා හැකි ඉක්මණින් ඒ ගැන විසඳුමක් ගෙන ඒම තියෙන්නෙ ඊශ්‍රාලය අතයි. මේ පලහිලව්වෙන් බොර දියේ මාළු බාන්න ඉන්න අය වැඩියි. ඒත් වියවුල් විසඳීම කල් දමන ලෝක ස්වභාවය නිසා ඊශ්‍රායෙල් අය ද කොතරම් කල් ගනීවි ද යන්න කියන්න හැකියාවක් නැහැ.

      • සපතේරු උන්නැහේ said, on අගෝස්තු 10, 2012 at 3:13 පෙ.ව.

        // මේ පලහිලව්වෙන් බොර දියේ මාළු බාන්න ඉන්න අය වැඩියි.//

        හරියටම හරි…
        හොඳම එක බලමු … ඉරානය … ඉරානය ඊශ්‍රායලයට ගහන්න කතාකරන්නෙ කිසිසේත්ම පලස්තීනය ගැන ආදරයකින් නෙමෙයි… ඉරානය කොහොමටවත් ගල්ෆ් අරාබින්ටවත් ඔය මැදපෙරදිග අරාබින්ටවත් විශේෂ හිතවත්කමක් නෑ… ඉරානය ඊශ්‍රායලයට විරුද්ධ වෙන්නෙ මේක දඩමීමා කරගෙන වෙන ඇජෙන්ඩා එකක් හිතේ තියාගෙන…

        • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 6:59 පෙ.ව.

          සපතේරු උන්නැහේ,

          ඔව්, හොඳ උදාහරණයක්. ඒ වගේ තව ඉන්නවා අය, ඒ අයගෙන් සමහරු තමන් කරන්නේ කුමක් දැයි විමසා නොබැලූ අය. ඉස්සරහට ලියන්නම්.

    • Dinuka Jayasinghe said, on අගෝස්තු 12, 2012 at 2:37 පෙ.ව.

      බලයට හැමෝම කැමතියිනෙ. අනික ඔවුන්ට රහසිගත කාලසටහනක් තියෙනවනම් අපි කරන්න ඕන ඒක අපිට පෙන්නන්න කියන එක නෙවෙයි ඊට වඩා හොද එකක් අපි හදා ගන්න එක නේද?

  3. දූපත් වැසියා said, on අගෝස්තු 10, 2012 at 6:21 පෙ.ව.

    යුදෙව්වන්ගේ ඉතිහාසයේ ඔවුන් ‘මුස්ලිම්’ අය අතින් මරණයට පත්වූවාට වඩා මැරැම් කා ඇත්තේ “යුරෝපීයයන්” අතිනි.//
    අපේ ඉතිහාසයේත් වැඩිපුර මරණයට පත උනේ ප්‍රබාකරන් අතින් නොවේ “යුරෝපීයයන්” අතින්.

    • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 7:01 පෙ.ව.

      දූපත් වැසියා,

      ඒකට දත්ත හොයාගන්නා තෙක් එකඟ වෙන්නේ නැහැ. “යුරෝපීයයන්” හා ගැටී මැරුනේ නිදහස් අරගලයක් කැමැත්තෙන් ගෙන ගිය ලාංකිකයන්. ප්‍රභාකරන් ත්‍රස්තවාදියා මැරුවේ වැඩට යන බස්වල හිටපු අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා බවත් අමතක කරන්න එපා.

      • දූපත් වැසියා said, on අගෝස්තු 10, 2012 at 1:42 ප.ව.

        පුරුතුගීසින් අපේ ගම්වල කිරිබොන දරුවන් පවා බුරුතු පිටින් මරල තියනව කියලයි මම අහල තියෙන්නෙ. ඒ කාලේ වීඩියෝ කරන්න බැහැනේ. තව අවරුදු හාර පන්සියකින් පස්සේ එන පරම්පරාවේ කෙනෙක් කිවොත් ප්‍රබාකරන් අහිංසකයි, එහෙම නෑ කියන්න දත්ත මදියි. ඒක ටිකක් ගොන් කතාවක් කියල හිතෙන් නැද්ද.
        කොටින්ම යුරෝපීයයන් අපේ රටවල් යටත් කරගත්තේ අහවල් දේකටද. සුරාකෑමට මිස. සුද්දන්ට කත් අදින්නන්ටත්, සුද්දන්ගේ රටවල් දිවි හිමියෙන් රකින්නටත් පොරොන්දුදී උන්ටම වැද වැද සිටින අපේ කළු සුද්දන්ට නම් යුරෝපීයයන් අපට කල වින නොපෙනෙනවා විය හැක.

        • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 2:19 ප.ව.

          දූපත් වැසියා,

          මම නෙමෙයි ඔයයි කියන්නෙ //තව අවරුදු හාර පන්සියකින් පස්සේ එන පරම්පරාවේ කෙනෙක් කිවොත් ප්‍රබාකරන් අහිංසකයි, එහෙම නෑ කියන්න දත්ත මදියි. ඒක ටිකක් ගොන් කතාවක් කියල හිතෙන් නැද්ද.// ඉතින් ඔව් ඒක එහෙම කතාවක් තමයි!!!!

          අනුන් කියන දේවල් වලින් නෙමෙයි ඉතිහාසය ලියැවෙන්නෙ. ඒවායේ සටහන් වෙන දේවල් ගැන සොයා බලා ඇත්ත ද නැත්ත දැයි අනිත් මූලාශ්‍ර වලින් තහවුරු කරගන්නා ක්‍රම වේදයක් තුලින්.

          කියවන්න: සිංහලයාට බනින පර සුද්දා මෙයාකාරය

          උවමනාවක් ඇත්තෙකුට පෘතුගීසින් හා ඉංග්‍රිසින් කරපු විනාශය ද මූලාශ්‍ර වලින් සොයාගන්නට හැකියාව ඇත. සමහර විට එසේ නොකර පුරාවෘත්තයන්ට පිවිසෙන්නේ සත්‍ය්‍යෙන් හිතන තරම් දරණු විනාශයක් පෙන්වන්න බැරි නිසාත් වෙන්නැති!!!

          සූරා කෑ සුද්දා පිටත් වෙලා ගියාට පස්සෙ දැන් සූරා කෑම නවතාගෙන නැත්තේ ඇයි කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හැමදාම යුරෝපීයයන් කළ වින වලට බැන වදිනා අයට ජර්මනිය අඟලක් ඉතිරි නොවී බෝම්බ වැටුනාට පසු නැඟිට අද ලෝකයේ දැවැන්තයෙක් වී ඇති බවත්, ජපානය පරමාණු බෝම්බයක් වැටී ඒත් ලෝකයේ දැවැන්තයෙක් සේ නැඟිට සිටින බවත්, වියට්නාමයත් අද ආර්ථික ජයක් ලබා සිටිනවාත් දකින්නට හැකියාවක් ඇත්තේ ම නැත. තවත් කොච්චර කාලයක් අනේ අපිව සූරා කාගෙන ගියා, අනේ අපිට වින කලේ යුරෝපීයයන්, කියමින් හඬා වැලපෙනවා ද? නැත්නම් ඇස් හැර තමන්ට වින කරගන්නේ තමන්ගේ ම අනිසි ප්‍රතිපත්ති නිසා බව දකින්නේ ද?

          තව ටික කලක් යනකොට ඉරාකයත් ගිහින් තියෙයි ලංකාවට ඉස්සරහින් 😀

          • විසිතුරු said, on අගෝස්තු 10, 2012 at 8:03 ප.ව.

            // උවමනාවක් ඇත්තෙකුට පෘතුගීසින් හා ඉංග්‍රිසින් කරපු විනාශය ද මූලාශ්‍ර වලින් සොයාගන්නට හැකියාව ඇත. සමහර විට එසේ නොකර පුරාවෘත්තයන්ට පිවිසෙන්නේ සත්‍ය්‍යෙන් හිතන තරම් දරණු විනාශයක් පෙන්වන්න බැරි නිසාත් වෙන්නැති!!! //

            අරුණි කියන මූලාශ්‍ර නම් වැඩි පුරම හොයාගන්න වෙන්නෙ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පූජකවරුන්ගේ සහ සිවිල් සේවකයන්ගේ අතින් ලියැවුණු ඒවා විදියට තමයි!

            ඒනිසා විදෙස් ආක්‍රමණිකයන් අපේ රටට කරපු විනාශය ගැන සුළුවෙන් හිතන්නේ නැතුව ඉන්න.

            • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 8:27 ප.ව.

              විසිතුරු,

              කිසිම විදියකින් සුළුකොට හිතුවේ නැහැ. ඉතිහාසයේ තොරතුරු නොදැන//අපේ ඉතිහාසයේත් වැඩිපුර මරණයට පත උනේ ප්‍රබාකරන් අතින් නොවේ “යුරෝපීයයන්” අතින්.// යන දූපත් වැසියාගේ කියමනට එකඟ වෙන්න බැහැයි කියලයි කිව්වෙ.

              ජවිපෙ නිසා 71 කැරැල්ලෙන් සහ 87-89 භීෂණයෙන් මැරැණු සංඛ්‍යාව 65,000 ක් යැයි සැලකෙනවා. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් මැරැණු සංඛ්‍යාව හැටදාහත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් බවයි කියැවෙන්නේ. එදා ජනගහණය එක්ක බැලුවත් ඒ සමාන සංඛ්‍යාවක් ලංකාවේ අය මැරැනා නම් ඒක ලෝකේ කොහේ හරි තැනක සටහන් වෙනවා. සමහර විට අනාගතයේ දවසක ලාංකිකයෙක් ඒවා සොයා ගෙන ලියාවි. එතෙක් විදෙස් ආක්‍රමණිකයන් අතින් අපේ රටේ අය ප්‍රභාකරන් මැරුවාට වඩා මරලා තියෙනවා යන්නට එකඟ වෙන්නෙ නැහැ.

              ලංකාවට පෘතුගීසින්, ලන්දේසීන් හා ඉංග්‍රීසින් ඇවිත් බුරුතු පිටින් ලාංකීය දරුවන් මරා දැමුවා යැයි දූපත් වැසියා කියද්දී වාර්තාගත ඉතිහාසයේ ලියැවෙන්නේ යටත් විජිත ආක්‍රමණිකයන් එවක රජ දරුවන් හා ගැසූ ගිවිසුම් ගැන. පෘතුගීසින් කෝට්ටේ රාජධානිය සමඟ, ලන්දේසීන් හා ඉංග්‍රිසීන් මහනුවර රාජධානිය සමඟ. එදා වැනිය අදත්. අද ඉන්නා ‘රජ දරුවන්’ ගහනා ගිවිසුම් ගැනත් වැඩියෙන් කිසිවෙක් දන්නේ නැහැනෙ. එදා කොළඹ හිටපු බුර්ජුවාසීන් ඉල්ලන්ටත් පෙර ම 1931 දී චන්ද අයිතිය සියළු වැසියන්ට දන්නේ අනිත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිසිම යටත් විජිතයකට පෙර කියලා මම කියවලා තියෙනවා. ඒ චන්ද අයිතියෙන් එදා කුමක් කළා ද? අද කුමක් කරනවා ද? අන්න ඒක ගැනයි හිතන්න ඕන.

              • දූපත් වැසියා said, on අගෝස්තු 11, 2012 at 1:11 පෙ.ව.

                ඝාතන පමණක් නොව, ලංකාවේ රන් රිදී වටිනා දේ , පොත්පත් ගිනිතබා, සංස්කෘතිය සියල්ල උඩු යටිකුරු කර සුද්දෝ කල විනාශය සුළු පටු නැත යන්න මගේ අදහසයි. දොන් ජෙරනිමෝද අසවේදු වැනි උන් කල විනාශය නම් රාජ්‍ය ලේඛනාගාරයේ සංරක්‍ෂිත පොත් පත් තුලින් තරමකට හෝ දැනගත හැකි වේවි. ඒවාත් ඔවුන්ගේ පොත්පත් තුලිනි. නමුත් නෙට් එකේ නම් ඕවා නැත.
                එසේම අපි නිදහස ලබා ගත්තේද නිකන්ම් නොවේ, බන්දේසියේ තබා දුන්නාද නොවේ. ඒවා ට කැපකිරීම් කල පුද්ගලයන් රාශියකි. එනම් ඉල්ලන්ට පෙර දුන්නා නොවේ. එකල විරුවන් බකන්නිලාගෙන හිටියානම් ඉන්දියාව අතහැරියත් ලංකාවේ පාලනය නම් අත නොහරී.
                සුද්දෝ මෙහෙන් යද්දී පාලනය ලැබුනේ ලංකාවේ ඉපදුන නමුත් සුද්දෝ සේ හැදුන, සුද්දෝ සේ හිතන, සිංහලට වඩා ඉංගිරිසිය උරු, ගෙදර බල්ලාටත් කඩ්ඩෙන් කතා කරන කළු-සුද්දෝ පන්තියකට නොවේද. ජපානයේ හෝ ජර්මනියේ මෙසේ වසර ගණනක් යටත්වී පැවතියේ නැත. ඉන්දියාවේ කතාවද මීට පොඩ්ඩක් වෙනස්ය.
                නමුත් උගන්ඩාව නම් අපේ මෙන්ම වසර ගණනක් සුද්දාට යටත්වී සූරාකා අවසානයේ සුද්දාගේ විදියට හිතන පොරවල් වලට රට පිදීය. බොහෝ අප්‍රිකානු රටවල තත්වය එසේය. නමුත් ජපානය හෝ වියට්නාමය එසේ නොවේ. ටික කලක් බිමටම සමතලා වීමත් වසර ගණනක් රටත් සංස්කෘතියත් නැති බන්ගස්තාන කිරීමත් එකක් නොව දෙකකි. රට සමතලා උනත් සිත් සතන් සංස්කෘතිය මාසෙන් දෙකෙන් සමතලා නොවේ. ඒ සදහා භාෂාවද ආගමද ක්‍රමිකව කාලයක් තිස්සේ වෙනස් කල යුතුය. එසේ බලන විට ලංකාවේ තත්වය සමවන්නේ අනෙක් දකුණු ආසියාතික හා අප්‍රිකානු රටවලටය. ඒවා බහුතරයක් දියුණු ගොඩේ නැත.

                • arunishapiro said, on අගෝස්තු 11, 2012 at 7:09 පෙ.ව.

                  දූපත් වැසියා,

                  සිංහලයා බනින පර සුද්දා මෙයාකාරය

                  පුරාවෘත්තයන්ට ගැල් වී එයින් ලබන සතුටින් බැන වදිමින් සිටීම ඔබේ කැමැත්ත වූවාට එය සත්‍ය්‍යක් බවට පත්වෙන්නේ ද, එයින් සුගතියක් ලැබෙන්නේ ද නැත.

                  ලංකාවේ රහසිගත ලෙසින්, නීතියට පටහැනි ලෙසින් පුරාණ නිදන් වස්තු වල ඇති රන් රිදී හාරනවා යැයි අද ඇහෙයි. ඒවා කරන්නේ විදේශීයයන් ද?

                  යාපනයේ පුස්තකාලය පුළුස්සන්නට ගිනි තැබුවේ විදේශිකයන් ද?

                  යටත්විජිත හතුරෙක්ට බැන බැන තවත් කොච්චර කාලයක් ඔබගේ පරම්පරාව ඔබේ රට සූරාකන අයට පුදමින් සිටිනවා ද?

  4. සත් සමුදුර said, on අගෝස්තු 10, 2012 at 7:04 පෙ.ව.

    රුසියාවේ රැජින ලෙස 1762 සිට 1796 දක්වා රජකම් කල මහා කැතරින් රාජිනියගේ කාලයේදී රුසියාවේ නගරවල වාසය කල යුදෙව්වන්ට එරෙහිව දැඩි විරෝධතාවයක් එල්ල වෙන්නට පටන් ගන්නවා. මේ විරෝදතාවයන් නිසාම ඇය 1791 දී the Pale of Settlement නීතියක් බලාත්මක කරන අතර එයින් රුසියාව පුරා ජීවත්වූ යුදෙව්වන්ට එක් ප්‍රදේශකට පමණක් වාසය සදහා කොටු කිරීම කරනු ලබනවා. මේ යටතේ රටේ සිටි යුදෙව්වන්ගෙන් 10% ක් වැනි අතලොස්සක් හැරුන කොට අනෙක් සියළු දෙනා මෙම තනි ප්‍රදේශයට කොටුකරනවා පමණක් නොවේ ඔවුන්ට වෙනස් ආකාරයෙන් සැලකීමටද අමතක කරන්නේ නැහැ. ඒ අනුව ඉහල අධ්‍යාපනයක් ලැබීම, ඉඩම් බද්දට ගැනීම ආදිය තහනම් කරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි වරින්වර ඔවුන්ට එෙඑරරහිව ප්‍රචණ්ඩත්වය පවා මුදාහරිනවා. කොහොමවුනත් යුදෙව්වන් මෙම බාදක මධ්‍යයේ පවා අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා අතර 1910 වන විට මෙම කොටුවූ ප්‍රදේශය තුල යුදෙව්වන් මිලියන 5 ක් පමණ වාසය කල බවද පැවසෙනවා.

    එසේම අවසාන වශයෙන් ඔබ පැවසූ පරිදි ඔවුන් වැඩිපුර මියගොස් ඇත්තේ යුරෝපියන් අතින්.

    මමත් ටික කාලෙකට ඉස්සෙල්ලා යුදෙව්වන් ගැන ලිපියක් ලිව්වා. මම එහි සබැදිය මෙතන පළකරන්නම්. ඔබ ඒ ගැන මනාපයක් නොමැති නම් සබැදිය ඉවත් කරන්න. – යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් – Jews – Before WWII – Part IV – http://sathsamudura.blogspot.com/2012/03/jews-before-wwii-part-iv.html

    • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 7:28 පෙ.ව.

      සත් සමුදුර,

      ඉතාමත් ස්තූතියි තවත් විස්තර එකතු කළාට.

      රුසියාවේ අන්තිම සාර් රජ්ජුරුවන් වන දෙවැනි නිකලස්ගේ මාලිගාවේ උයන් පල්ලෙක් වූයේ මගෙ සැමියාගේ මී මුත්තා (great-grandfather) මොරිස් නමින් වූ යුදෙව්වෙක්. ඉතිහාසය වසන් කරන, වෙනස් කරලා ලියන ලෝකයකින් පැනලා ඇවිත්, ඉතිහාසය ආරක්ෂා කරන එයින් ඉගෙන ගන්න ලෝකයට එකතු වූ නිසා ඔහුගේ පුතාගේ අතීත සටහන් පවුලේ අය වෙනුවෙන් ආරක්ෂා වී තියෙනවා. ඇමෙරිකාවේ චිකාගෝ නගරයට ඇලස්කාව හරහා ගොඩබිමින් පැමිණ එකතු වන සංක්‍රමණිකයෙක් වන ඔහු පසු කාලයක දී තමා බැංකුවක් අයිති ධනපතියෙක් වූවාට පසු රුසියාවේ තම ඥාතීන් බැහැ දකින්නට යනවා.

      හිට්ලර් කාලයේ රුසියාවේ යුදෙව්වනට සැලකූ හැටි ගැන, ඒ හිතවතුන් සොයා යන ඇමෙරිකානුවෙක් ගැන චිත්‍රපටියක් තමයි Everything Is Illuminated (2005). ඉතා රසවත් සංගීතයෙන් පිරි වූවක්. අද රුසියාවේ තරුණ කැල එදා රුසියානු ඉතිහාසය ගැන දන්නෙ වෙනස් කරලා කියාදෙන ඒවා. වසන් කරන ලද ඒවා දන්නෙ නැහැනෙ. ඉතින් ඔවුන් අනාගතයේ ද වැරදි කරන අවදානමේ ඉන්නා අයයි.

      • සත් සමුදුර said, on අගෝස්තු 10, 2012 at 1:40 ප.ව.

        ස්තූතියි! ඔබගේ සැමියාගේ ඇති සම්බන්ධතාවය නිසා ඔහු සතුව මේ දේවල් පිළිබදව සංවේදී වගේම බොහොම වටිනා කරුණු ඇති. ලෝකයේ බොහෝ රටවල ඉතිහාසය වෙනස්ව කතා කරන්නට, ලියන්නට යන්නේ අවස්ථාවාදය නිසා වෙන්නට ඇති. ඇත්තෙන්ම යුදෙව්වන් ගැන ලිවීමේදී ඔවුන් ඉතිහාසයේ විවිද යුග වලදී විදි හිරිහැර, දුක් දුටුවිට මා හටද දැඩි කණගාටුවක් දැනුනා. ඒ අතරින් Angela Gluck Wood ගේ Holocaust පොතේ ඇති කරුණු සහ පින්තූර වගේම ප්‍රියන්ජන් සුරේශ්ද සිල්වා මහතාගේ අවසන් විසදුම පොතත් ඉතාම සංවේදී තත්ත්වයකට මා පත් කළා.

        • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 2:08 ප.ව.

          සත් සමුදුර,

          සුදු අප්පුහාමි විද්‍යාවට නැඹුරු වූවෙක් මිසක් ඉතිහාසය ගැන එතරම් අවධානයක් දැක්වූයෙක් නෙමෙයි. ඔහුගේ සම්භවය රුසියාවෙන් යැයි දැනගත්තාම, රැසියාව ගැන දැනගන්න තිබි උවමනාවකින් මම තමයි ඒ පවුලේ විස්තර වැඩියෙන් වයසක අය එක්ක කතාබහෙන් ඔවුන් සතු ලිපි හා දිනපොත් වලින් හොයාගෙන, තරුණ පරම්පරාව එක්ක විස්තර හුවමාරු කරගෙන අන්තිමේ දී කාගේ කවුදැයි එයාටත් දැනුම් දුන්නේ 😀

          එයාගේ අම්මාගේ අම්මයි තාත්තයි ජර්මනියෙන් ආපු අය. ඔහුගේ පියා යුදෙව් ආගම අතහැර ඔහුගේ මව හා විවාහ වී පල්ලි පංසල් නොයන දෙන්නෙක් වෙනවා. ඔහු ජර්මනියේ ජීවත් වූවත්, රුසියාවට සහ ඊශ්‍රාලයට ද ගිහින් තිබියත් රැසියානුවන් ගැන හෝ ජර්මානුවන් ගැන හෝ යුදෙව්වන් ගැන විශේෂ වූ පැත්තක නැහැ. ඔහුත් සත්‍ය්‍ය ඇමෙරිකානුවෙක්!!!

          ඉතිහාසය තමන්ට කැමති විදියට ලියන්නේ අවස්ථාවාදයෙන් ලැබෙන මුදල්, බලය, ජනප්‍රියත්වයෙන් තම මල්ල පුරවාගන්නට හදන අය. ඒක නවත්වන්න, අනිත් අය හදන්න කාටවත් කිසිදාක බැහැ. අයෙකුට පුළුවන් එකම දෙය බොරු මුලාවන් අතරින් සත්‍ය්‍ය කුමක් දැයි තෝරා බේරා තමන්ගේ දැනුම වර්ධනය කර ගන්නට පමණයි.

  5. සෑම් said, on අගෝස්තු 11, 2012 at 10:07 පෙ.ව.

    How to follow this blog??


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: