අරුණි ශපීරෝ‍ වෙතින්

ජන ගැල්ම නිසා වෙනස් වූයේ රටේ වැසියන් ද? සංක්‍රමණිකයන් ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 11, 2012

ආගමනය නම් immigration නොහොත් ලතින් migratio වලින් එන, උපන් රටෙන් බැහැර වී ගොස් වෙනත් රටක පදිංචි වීම ය. විගමනය නම් emigration නොහොත් පදිංචිව ඉන්නා පළාතෙන් කැමැත්තෙන් පිට වී යෑම ය. සංක්‍රමණිකයා නොහොත් migrant උපන් රටෙන්, පදිංචි වී ඉන්නා රටෙන්, බැහැරකට යයි.

මා වැනි අයෙක් තනිවම උපන් බිම හැර දා යෑම හෝ ඉන්නා තැනින් වෙනතක පදිංචියට යෑම එතරම් වැදගත් කමක් නැත්තකි. එවැනි පුද්ගලයෝ සැමදා ලොව සිටියහ. එහෙත් ජන සමූහයක් උපන් බිම හැර දා යන්නට පටන් ගැනීම හා ජන සමූහයක් කැමැත්තෙන් ම වෙනත් පළාතක පදිංචියට යන්නට ජීවිතය පරදුවට තබා උත්සාහ කිරීම කතාබහට වැදගත් වූවකි.

ඔස්ට්‍රේලියාවට යන බෝට්ටු ජනතාව ගැන ලංකාවේ පත්තර වලින් වැඩියෙන් අසන්නට ලැබුණාට, වෙනදාට වඩා ලෝකයේ වඩාත් ම ජනගහණයක් ආගමනය වී ඇත්තේ යුරෝපයට ය. මෑතක් වෙනතුරු යුරෝපීයයන් අතර ආගමනය හා විගමනය සිදුවූයේ යුරෝපීය වූ ජාතීන් ම අතර ය. යුරෝපයට පසුගිය වසර පනහ තුල වැඩියෙන් ඇදී එන්නේ යුරෝපීය නොවන ජාතීන් ය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සීඝ්‍රයෙන් වර්ධනය වෙන ආර්ථිකයට අවශ්‍යය යැයි සිතා (යුද නිසා විනාශ වූ දේවල් යළි ගොඩනඟන්නට සිද්ධ වීම ආර්ථික වර්ධනයක් නොවේ) යුරෝපීය රටවල් වලට සංක්‍රමණිකයන් ගෙන්වා ගත්තේ තම පුරවැසියන් නොකරන/කරන්නට නොදන්නා රැකියා සඳහා ය.

1841 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රථම ජනවාර්ගික මන්ත්‍රීවරයා වෙන්නේ David Ochterlony Dyce Sombre ය. ඉන්දියානු හා යුරෝපීය කවලමක් තිබි ඔහුට අල්ලස් චෝදනාවක් වැදී පුටුවේ වාඩිවෙන්නටත් පෙර පුටුව අහිමි විය. අනතුරුව 1892 දී Dadabhai Naoroji නම් මුම්බායේ උපන් මහාචාර්යවරයෙකුට 1895 දක්වා පුටුවක් ලැබිණ. ඔහු බ්‍රිතාන්‍ය්‍යේ ඉන්දියානු පිළිවෙතට එරෙහි වූවෙක් නිසා බ්‍රිතාන්‍ය්‍යෙ පිළිවෙතට කැමති ඉන්දියානුවන් ඔහුව ඉවත් කර Sir Mancherjee Merwanjee Bhownagree පත්කර ගති. ඒ 1895 දී ය.

1847 දී ප්‍රථම යුදෙව්වා ලෙසින් පාර්ලිමේන්තුවට එන්නේ Lionel Rothschild ය. එහෙත් ඔහු සාම්ප්‍රදායික ක්‍රිස්තියානි දිවුරුම දුන්නේ නැති නිසා පස් වතාවක් චන්දය දිනුවත් නීති වෙනස් වෙන තෙක් පුටුවේ වාඩිගන්නට නොලැබුණි.

නූතනයේ දී House of Commons නොහොත් පාර්ලිමේන්තුවට මහජන චන්දයෙන් තේරී පත් වි එන 650 ක මන්ත්‍රී සංඛ්‍යාවෙන් 28 ක් සුදු නොවන ජනවාර්ගික අය සේ සැලකේ. එහෙත් සුදු නැති රටේ ජනගහණය සමානුපාතිකව නියෝජනය වෙන්නේ නම් ඒ සංඛ්‍යාව 78 ක් විය යුතු යැයි Richard Cracknell විසින් 2012 දී ලියන House of Commons පුස්තකාල වාර්තාවකින් කියැවේ.

මහජන චන්දයෙන් නොවන, වංශාධිපති පංතියේ උරුමයෙන් එන House of Lords හි නොහොත් සමිසුරු (peer) සභාව ගැන තොරතුරු සොයා ගැනීම පහසු නැත. මුල් ම සුදු හමක් නැති සමිසුරු (peer) ලෙස සැලකෙන්නේ Sir Satyendra Sinha ය. ඒ 1919 දී ය. අප්‍රකානුවෙකුට ලැබෙන්නේ 1969 දී ට්‍රිනිඩැඩ් හි ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා නීතිඥයෙක් වූ Learie Constantine ට යැයි කියැවේ. වංශාධිය බැරොන්වරුය.

නූතනයේ House of Lords හි සමිසුරු සාමාජිකයන් 825 අතර 42 ක් ජනවාර්ගික සුළු ජාතිකයන් නියෝජනය කරන අයයි.

Narendra Patel සමිසුරුවෙකි. වංශාධිය ලෝර්ඩ්ය. ඔලිම්පික් වල දී ආඩම්බරයන් ලෝකයට පෙන් වූ ජාතික සෞඛ්‍යය සේවාවේ (NHS) ඉහළ යන වැය දරා ගන්නට නොහැකිව ප්‍රතිසංස්කරණ ගෙනෙන්නට ගන්නා උත්සාහයේ සටන් වදින්නෙකි. ගෙවන්නේ කොහොම දැයි විමසන්නේ නැතිව වියදම් කළහොත් පුද්ගලික ව්‍යාපාරයක් බංකොළොත් වී යයි. ගෙවන්නේ කොහොම දැයි විමසන්නේ නැතිව චන්ද දිනන්නට සැලසුම් හදා වියදම් කරන ආණ්ඩු ණය ආධාර වලින් රටවැසියන් දුප්පත් කරමින්, භාණ්ඩාගාරය බංකොළොත් වීම අනාගතයට කල් දායි. එවිට ඇති ඇතුලේ සටන කොයි අමාත්‍යාංශය බාරව ඇති සහනාධාර කප්පාදු කරන්නේ ද කියා මිසක ජනතාවට සුවසෙත සැලසෙන්නේ කෙසේදැයි විමසීම නොවේ.

යුරෝපයට එන ජන ගැල්ම ඵෛතිහාසික වශයෙන් වඩාත් ම ඉහළ මේ සමය යැයි සැලකේ. වසරකට මිලියන 1.7 ක් ගොඩ වදිති. යුරෝපයේ අනාගත සාමය හා සමෘද්ධිය රඳන්නේ මේ එන ජනගහණය කොතරම් දුරකට යුරෝපීය ජීවිතයට එකතු වෙනවා ද යන්න මතයි. 20 වැනි සියවසේ මැද දී බටහිර යුරෝපයේ සැලකිය යුතු මුස්ලිම් ජනතාවක් නොවීය. 21 වැනි සියවස උදාවෙද්දී බටහිර යුරෝපයේ මිලියන 15-17 අතර මුස්ලිම් සංඛ්‍යාවක් සිටියහ. ප්‍රංශයේ මිලියන 5; ජර්මනියේ මිලියන 4; බ්‍රිතාන්‍යයේ මිලියන 2 ක්.

ජනවිකාස (demographic) ප්‍රමාණයන් සලකා බලද්දී යුරෝපය දක්වන්නේ ඇමරිකාව හා සමාන සංඛ්‍යාවන්ය. ඒ නිසා ලතින් ඇමෙරිකානු රටවලින් ඇමෙරිකාවට ඇදී එන ජනගහණය හා යුරෝපයට ඇදී එන මුස්ලිම් ජනගහණය සැසඳීමට සමහරු ඉක්මන් වෙති. ලතින් ඇමෙරිකානුවන්ට ඇත්තේ යුරෝපීය වූ භාෂාවකි. දෙවැනි පරම්පරාවේ දී එය අත්හරින අය වැඩියි. මයාමි සහ අනෙකුත් ඇමෙරිකන් මායිම් ප්‍රාන්ත වල රට උපන් දා සිට ස්පාඤ්ඤ බස කතා කළ අය වැඩියෙන් සිටියහ. සංක්‍රමණික ලතිනෝ දුප්පතුන් වෙති. ඔවුන් බහුතරය ශ්‍රමය වෙහෙසන රැකියාවන් සොයා යති. පවුල් සංස්ථාව ප්‍රාධිකාරී (authoritarian) ය. ඔවුන් අතර දික්කසාද අඩුය. වැඩියෙන් ම කතෝලික (දැන් ඔවුන් අතර ඉවැන්ජලිකල් පොතෙස්ත්‍රන්ත්‍ර ආගම ඇදහීම වැඩිවෙමින් යයි) ආගමිකයන්ය. පෝෂ්‍යදායිත්වය නොසලකා ආහාර බුදින හුරුවෙන් යුතුය. ඇමෙරිකාවේ උපන් අයට වඩා වැඩියෙන් යුද හමුදාවන්ට බැඳෙති. ඔවුන්ගේ අභිප්‍රායන් හා හැදියාවන් සලකා බලන විට ලතින් ඇමෙරිකන් සංක්‍රමණිකයන් තුලින් දකින සංස්කෘතිය නම් වසර හතළිහකට පෙර ඇමෙරිකාවේ වැඩ කරන පංතියේ තිබි සංස්කෘතියම වෙයි.

2009 බටහිර යුරෝපයේ සිටි මිලියන 375 න් මිලියන 40 ක් ඉපිද සිටියේ යුරෝපයෙන් බැහැරක ය. ලක්සම්බර්ග් වල 37% ක් පිටරට ඉපදුනු අය වීමේ වැදගත් සංස්කෘතික වෙනසක් නැත. මන්ද, ඒ අය සියල්ලම උපත ලබා ඇත්තේ යුරෝපීය යුනියනයේ පෘතුගාලයේ, ප්‍රංශයේ, බෙල්ජියමයේ, ජර්මනියේ හෝ ඉතාලියේ නිසා ය. එසේම අයර්ලන්තයට යන පෝලන්ත වැසියෙක් අතින් ද වැදගත් සංස්කෘතික වෙනසක් නොවේ. ඔහු යන්නේ ඒ ජනරජයේ ම තවත් පැත්තකට ය.

එනමුත් පාකිස්තානයෙන්, බංගලාදේශයෙන්, සෝමාලියාවෙන් හා මොරොක්කෝවෙන් පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය වෙනස්. හැම වීදි කොණක ම ඉන්දියන් අවන්හලක් තිබු පමණින් ඉන්දියානු-බ්‍රිතාන්‍ය්‍ය සිතැඟියාවන් එකක් නොවේ. සංක්‍රමණිකයන් වැඩිවීමෙන් දැන් යුරෝපයේ පැතිරෙන ඉස්ලාම් සංස්කෘතිය යුරෝපීය සංස්කෘතියට වෙනස් වූවකි. ඉබිසා යන ජර්මන් වැසියන් නිසා ස්පාඤ්ඤයට සමාජීය ගැටළුවක් නැති වුව ද, (බ්‍රිතාන්‍ය වැසියෙක් නම් ජර්මානුවන් හෝටලයේ වැඩියෙන් සිටියා යැයි කියා තම මුදල් ආපසු ලබා ගති), ඕලන්දයට පැමිණි මොරොක්කෝවේ අය නිසා Kolenkit වැනි දිස්ත්‍රික්කයන්හි සමාජීය ගැටළු ඇති විය.

සංක්‍රමණිකයන් අතරෙන් එකෙක් දෙන්නෙක් කරන යුරෝපීය සංස්කෘතියට පටහැනි වූ අමන ක්‍රියාවක් නිසා හංවඩු ගැසෙන්නේ එයා ආ රටේ සියළු වැසියන්වයි. බොර දියේ මාළු බාන්නට හැමදාම පිරිසක් ඉන්නා නිසා මේ අර්බූදකාරී තත්වයෙන් තම වාසි පිණිස අයුතු සැලසුම් හදනා අය සිටිති. ඒ සමහරු යුරෝපීය සංස්කෘතියෙන්ම වාසි ලබන අය ද වෙති.

සංක්‍රමණිකයන් එන්නේ තම රටේ දී ලබාගත නොහැකි ආර්ථික වාසි සොයා ය. සරණාගතයන් එන්නේ තම රටේ දී නොලැබෙන ආරක්ෂාව සොයා ය. බහුතරය ඒවා තමන් හැර දා ආ රටින් නොලැබුනේ කෙසේදැයි විමසන්නේ නැත. පැමිණෙන රටෙන් ලැබෙන්නේ කෙසේදැයි විමසන්නේ නැත.

වෙනත් මාතෘකාවක දී ඉතිහාසඥ ජේම්ස් බොස්වෙල් ironic ලෙසින් (එනම් ලියා ඇති තේරුමට විරුද්ධ වූ තේරැමෙන්) මෙසේ කියුවත් ඒ කියමන මෙතැනට ද ගැලපේ: “මෙසේ වීම පුදුමයකි; ඒත් සැකයක් නැතිව අපිට ඉතා සතුටක් දැනෙනවා අපේ ළඟ තියෙන දේවල් වලට අපිව අගය කරන්න බැරි අය, අපි ළඟ නැති දේවල් වලට අපිව අගය කිරීම ගැන.” [“For it is strange that it should be so; but undoubtedly we are well pleased that those who cannot admire us for what we truly posses, should admire us for what we do not.” -James Boswell, June 26th, 1767]

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. අමා said, on අගෝස්තු 11, 2012 at 11:44 ප.ව.

    මමත් සංක්‍රමණිකයෙක්. ඒ නිසා අද ලිපිය උවමනාවෙන් කියෙව්වා.
    බෙගම් සම්රු ( David Ochterlony Dyce Sombre ගේ මව)ගැන දැනගන්නට ලැබුනේ අදයි…පුදුම ශුර කාන්තාවක් (නායකත්වයේ සහ ධනය පරිපාලනය පැත්තෙන්) ඈ!
    මම හිතනවා තමන්ගේ මුලික හරයන් ආරක්ෂා කරගන්නා අතරම, තමන් සංක්‍රමණය වන රටේ සංස්කෘතිය ට ගරු කිරීම ත් සංක්‍රමණිකයන් කරන්ට ඕනා කියල. ඉන්දියානුවන් බොහෝ අය යන යන තැනට ඉන්දියාව එහෙම් පිටින්ම රැගෙන යන්ට හදන නිසා අනිත් රටවල අයට නොරුස්සන හැගීම් ඇති වෙන හැටි දැකල තියෙනවා.
    එංගලන්තයේ රැකියා හෝ පුරවැසි බව හෝ (දෙකෙන් කුමක්ද කියා මතක නැහැ, සමාවන්න) ලබා දීමේදී යුරෝපා සංගමයේ රටවලට ප්‍රමුකත්වය දීමෙන් පසුව පමණක් අනිත් රට වල ට අවස්තාව දෙන බව කියමින් මගේ යෙහෙලියක් කනස්සල්ලට පත්ව සිටියා මතකයි. එවිට ඉතාම ඉහල අධ්‍යාපන සුදුසුකම් සිටින ලාංකිකයෙකුට උඩින් ඒ කිසිත් සුදුසුකම් නැති ලැට්වියානු ජාතිකයෙක් ට අවස්තාව දීමෙන් එංගලන්තයට පාඩුවක් වන්නේ නැතිද?

    තවත් දෙයක්… මුස්ලිම් වරුන් හැරෙන්ට, බොහෝ සංක්‍රමණිකයන් දෙවන තෙවන පරම්පරා වන විට ඒ රටේ සංස්කෘතියට හැඩ ගැසෙනවා නේද? ඉතින් සංක්‍රමණිකයන් නිසා බහුතර ජනතා සංස්කෘතියට සැලකිය යුතු වෙනසක් සිදු වනවාද? ඕස්ට්‍රේලියාවේ සිටින දෙවැනි පරම්පරාවේ ලාංකික තරුණ තරුණියන් සිතුම් පැතුම් වලින් වඩාත් සමීප ලාංකිකයන්ට නොවේ, ඕස්ට්‍රේලියානුවන්ට. මගේ එවැනි මිතුරු මිතුරියන්ට මා විහිළුවට කියන්නේ ‘කොකොනට්’ [brown on the outside – white on the inside] කියල. දෙවන පරම්පරාවේ චීන ජාතිකයන්ට ටත් එහෙම විහිළුවට කියනවා ‘බනානා’ කියල.

    අවසානයට කියා ඇති දේ තේරෙන්නේ නැහැ අක්කා. සංක්‍රමරනිකයා සහ සංක්‍රමණය වන රට අනුසාරයෙන්ද ඒ කියමන බලන්ට ඕනා? නැත්නම්, සංක්‍රමරනිකයා සහ මුල් රට අදාලවද?

    • arunishapiro said, on අගෝස්තු 12, 2012 at 8:29 පෙ.ව.

      අමා,

      ඉන්දියානුවන්ට අමතක වූ කාරණයක් තමයි බ්‍රිතාන්‍ය සුද්දා සුදු හැදියාව ගෙනාවම එයාලා කැමති වුනේ නැහැ කියන එක. ඒත් හැම ඉන්දියානුවා ම නෙමෙයි. පරණ කෝන්තර වල එල්ලිලා රටක් ඉදිරියට යන්නේ කොහොම දැයි වටහා ගන්නට උවමනාවක් නැති අය පමණයි.

      ඉල්ලුම හා සැපයුම අනුව දිවෙන නිදහස් වෙළඳපොල වාතාවරණයක දී සැබැවින් ම රැකියාවට අවශ්‍ය ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති කුමන ජාතිකයෙක් ට හෝ අවස්ථාව දීම වාසිදායකයි. ඒත් යුරෝපීය යුනියනයේ නීති නිසා ඔවුන් හදාගත් සම්මුති හා ගිවිසුම් වලින් ඔවුන් වාසිය දිහා බලන්නේ නැතිකමෙන් ඔවුන් අද ආර්ථික අර්බූදයක වෙළිලා.

      //තවත් දෙයක්… මුස්ලිම් වරුන් හැරෙන්ට, බොහෝ සංක්‍රමණිකයන් දෙවන තෙවන පරම්පරා වන විට ඒ රටේ සංස්කෘතියට හැඩ ගැසෙනවා නේද? // මේ ගැන තව විස්තර එක්ක ලියන්නම් අමා නංගි.

      //ඉතින් සංක්‍රමණිකයන් නිසා බහුතර ජනතා සංස්කෘතියට සැලකිය යුතු වෙනසක් සිදු වනවාද?// සැබැවින් ම ඔව්. රට රටවල් අතර සුහද සබඳතා, වෙළඳ ගණුදෙනු පටන් ගන්නේ රටකින් රටකට යන සංක්‍රමණිකයන් නිසාමයි. ඒක රටවල් දෙකට ම වාසිදායකයි. ඒත් ඒ තමන් උපදින්නටත් පෙර ආදී මුතුන් මුත්තන් ගෙන් සම්පත් උදුරා ගෙන ගියා (එහෙම නොවූ රටකට ඇත්තෙ ග්‍රීන්ලන්තය විතරක් වෙන්නැති!!) යැයි කියමින් ඒ ද්වේෂයෙන් පළිගන්නට යන අයගෙන් නම් නෙමෙයි.

      //දෙවැනි පරම්පරාවේ// හැදියාව නම් කොයි රටකත් දකින්න ලැබෙනා වූ දෙයක්. ඒත් එය දෙමාපියන්ගේ හැදියාව අනුව සිද්ධ වෙන්නත් බව අමතක කරන්න එපා. දෙමාපියන්ගේ වගකීම තමයි තමන් ආපු රටේ යහපත් දේවල් සහ පැමිණි රටේ යහපත් දේවල් තෝරා බේරා ගෙන ඒවා දරුවන්ට කියා දීම. හැබැයි ඒක කරන්න නම් ‘යහපත් දේවල්’ මොනවා දැයි දැනගෙන ඉන්න එපායෑ.

      අවසානයට කියා ඇත්තේ ඉහත කී දෙය ම තමයි. සංක්‍රමණිකයන් රටකට ගිහින් අගය කරන්න ඕනා අගය කළ යුතු දේවල් වලටයි. නැතිව ඒ රටේ තියන හොටු බදා ගැනීම නෙමෙයි.

  2. Maathalan said, on අගෝස්තු 11, 2012 at 11:56 ප.ව.

    //සංක්‍රමණිකයන් එන්නේ තම රටේ දී ලබාගත නොහැකි ආර්ථික වාසි සොයා ය. සරණාගතයන් එන්නේ තම රටේ දී නොලැබෙන ආරක්ෂාව සොයා ය. බහුතරය ඒවා තමන් හැර දා ආ රටින් නොලැබුනේ කෙසේදැයි විමසන්නේ නැත. පැමිණෙන රටෙන් ලැබෙන්නේ කෙසේදැයි විමසන්නේ නැත.//

    සංක්‍රමනකයින් හා සරණාගතයන් තම රටින් යන්නේ ඇයි කියා යන රටේ පාලකයන් සිතන්නේද නැත. එවන් රටවල පාලකයන්ගේ ඊළඟ පරම්පරාවද සංක්‍රමනකයින් ලෙස සරණාගතයන් යන රටටම සැපත් වෙයි. රටේ ජනතාව දහ දුක් විඳිද්දී නොරට බැංකුවලින් “වානිජ” ණය ලබාගෙන ඒවා ස්විස් බැංකුවල මතු ආරක්ෂාව සඳහා තැන්පත් කරයි. අද මැලේසියාවේ, සිංගප්පූරූවේ සාර්ථක පුරවැසියන් බවට පත්ව ඇත්තේ මීට පරම්පරාවකට උඩදී සරණාගතයන් ලෙස ගිය පිරිස්ය. (වර්ගය කුමක් වූවද..) මේ මිනිසුනුත් තබාගෙන රැකවරණය ලබා දෙන රටක් බවට අප පත් වන්නේ කවදාද..?

    • arunishapiro said, on අගෝස්තු 12, 2012 at 8:33 පෙ.ව.

      Maathalan,

      උපන් මිනිසුන් තබාගෙන ඔවුන්ට රැකවරණය ලබාදෙන රටක් බවට කවදාවත් පත් වෙන්නට බැහැනේ මාතලන් ඔක්කොම වින්නැහිය සුද්දා සූරා කාගෙන ගියා, තවමත් ඇවිත් ආර්ථික ඝාතකයන් විදියට හැසිරෙනවා කියන දුර්මතයෙන් රැවටිලා ඉන්න කොට. තමන්ට උත්සාහයක් කරන්න ඉඩක් නැතිකම දකින්නෙ ම නැහැ හැමදාම අනුන්ට බැන බැන ඉන්න අය. ඒ අය දන්නේ තමන්ව මුලා කරනා අයට බිම බඩ ගාමින් වැඳ වැටී, යම් උත්සාහයක් කරන කෙනෙකුට විහිළු කරන්නයි දෝෂාරෝපණය කරන්නයි විතරයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: