අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වීඩනයේ යුරෝපීය බ්ලූබෙරි කඩන්නෝ

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 12, 2012

යුරෝපීය බ්ලූබෙරි කඩා මුදලක් හොයාගන්නට උතුරු ස්වීඩනයට දහස් ගණනින් තායිලන්ත ජාතිකයන් යති. ඒ සීමිත කාලයකට ලැබෙන වීසා බලපත්‍රයකි.

ස්වභාවයෙන් වැවෙන යුරෝපීය බ්ලුබෙරි වවන්නට ඉතා අපහසු ය. ඒ නිසා එය කෘෂිකාර්මික බෝග වගාවක් ලෙසින් සිද්ධ වන්නේ නැත. කැලෑවල පොළවට ආසන්නව වැවෙන යුරෝපීය බ්ලුබෙරි ගිම්හානයේ දී ඵලදාව ලබයි. ඔස්ට්‍රියා, ෆින්ලන්තය, නෝර්වේ, ස්වීඩන් හා ස්විට්ස්සර්ලන්තයේ ඉඩම් අයිතිකරුවා කවුරු වුවත් මේ යුරෝපීය බ්ලුබෙරි කැලෑවක වැවී ඇත්නම් කඩාගන්නට ඕනෑම අයෙකුට අවසර ඇත. එහෙත් පුද්ගලික ගෙවත්තකින් හෝ සංරක්ෂිත වනෝද්‍යානයකින් කැඩීම තහනම් ය. පොළවට ළං වී නැවී බෙරි කඩා මුදලක් උපයා ගැනීම ඉළ රිදෙන වැඩක් නිසා ඊට ස්වීඩන ජාතිකයන් ඉදිරිපත් නොවෙති. එහෙත් බෙරි කන්නට නම් කැමති අය ගොඩක් නිසා, එයින් උපයා ගත ආදායමක් ද ඇත. ඉතින් ස්වීඩිෂ් අය නොකරන වැඩ කරන්නට කවුරුන් හෝ පිටතින් ගෙනා යුතුය.

යුරෝපීය බ්ලුබෙරි තැලෙන පොඩිවෙන සුළු වැඩිය. ඒ නිසාම ප්‍රවාහනය අපහසුය. නැවුම් බෙරි රාත්තලක් යුරෝ විසිපහක් දක්වා මිල ඉහළ යයි. නැවුම් යුරෝපීය බ්ලුබෙරි නොව වසර පුරා යුරෝපයේ වැඩිය දකින්නට ලැබෙන්නේ අධි සීත කරන ලද (frozen) යුරෝපීය බ්ලූබෙරි වෙයි. නැවුම් බෙරි මෙන් ම අධි සීත කරන ලද බෙරි වල ද පෝෂ්‍යදායී අගයේ වැඩි වෙනසක් නැත.

රස පමණක් නොව එයින් මිනිස් සිරුරට හා මොළයට ලැබෙන ගුණ දක්වන නූතන විද්‍යාත්මක සොයා ගැනීම් නිසා අද බෙරි වලට ඇති ඉල්ලුම අධික වෙයි.

1857 දී ඇමෙරිකාවේ නිව් ජර්සි පැත්තේ ස්වභාවික වැවෙන ක්‍රෑන්බෙරි දැකි කර්නල් ජේම්ස් ඒ. ෆෙන්වික් අක්කර 108 ක් මිල දී ගෙන එය බෝග වගාවක් ලෙසින් පටන් ගති. එවක අශ්ව කරත්ත හැටකින් පමණ ආ ගම් වැසියන් ක්‍රෑන්බෙරි කැඩූහ. ස්වභාව ධර්මයා ගෙන් ලැබෙන බෙරි ජේම්ස් විසින් බෝග වගාවක් ලෙසින් වෙනස් කරන පර්යේෂණ වලට වැසියෝ වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එසේම ජේම්ස් විසින් ඉඩම වටා වැටක් ගසා මෙතෙක් කළ නොමිලේ කඩා ගැනීම නැවැත්වීම ගැන ද පළාතේ වැසියෝ අමනාප වන්නට ඇත.

1860 ගණන් වෙද්දී ජේම්ස් ගේ උත්සාහයන් නිසා ක්‍රෑන්බෙරි වලට වැඩි ජනප්‍රියත්වයක්, ඉල්ලුමක් හා ලාභයක් ද ලැබෙන කර්මාන්තයක් බවට පත් වී තිබිණ. මෙතෙක් අත්හැර දමා තිබි වගාබිම් බැරල් 30-60 ක් ක්‍රෑන්බෙරි නිෂ්පාදනය කරන්නට සමත් විය. ඇමෙරිකන් වෙළඳපොල් $10 ට හා යුරෝපයේ $20 ට ඒවා අලෙවි විය.

ජේම්ස්ගේ දියණිය හා විවාහ වෙන ජෝසප් වයිට් ද ක්‍රෑන්බෙරි වගාව ඉදිරියට ගෙන යන්නට අත දුන්නෙකි. ඔවුන්ගේ දියණිය වූ එලිසබෙත් තමයි ක්‍රෑන්බෙරි වගාවන් අතර බ්ලූබෙරි වගාවක් කරන්නට 1893 දී මුලින් ම අත දාන්නේ. 1911 වෙන තෙක් කිසිවෙක් බ්ලූබෙරි බෝගයක් ලෙසින් වගා කරන්නේ කෙසේදැයි නොදැන සිටියහ. එලිසබෙත්ට දැන ගන්නට ලැබෙනවා උද්භිද විද්‍යාඥයෙක් වූ Frederick Coville ගැන. පහසුවෙන් බෙරි කැඩිය හැකි පඳුරු වගාවක් ලෙසින් දෙන්නා එක්ක එකතුවෙලා බ්ලූබෙරි වගාව ආදායම් උපයන කර්මාන්තයක් බවට හරවනවා. ඇයව හැඳින්වෙන්නෙ “බ්ලූබෙරි රැජින” හැටියට.

අනිත් ක්‍රෑන්බෙරි වගාබිම් අයිති අය ඒවායේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට හරියට සලකන්නේ නැතිබව දකින එලිසබෙත් (නිදහස් වෙළඳපොල තරඟය අනුව ශ්‍රමිකයන් තම සේවයේ රඳවා ගන්නට) ඔවුන් වෙනුවෙන් නිවාස, ජලනල හා වැසිකිලි පහසුකම් වගේ ම දරුවන්ගේ අධ්‍යාපනයට පාසැලක් ද හදනවා.

2010 ඇමෙරිකාවේ බ්ලූබෙරි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 188,150 කි. ඊ ළඟට ඉන්නා කැනඩාවේ ප්‍රමාණය 83,507; පෝලන්තයේ 9,946; ජර්මනියේ 8,305; ස්වීඩනයේ 2,800 කි. මේ දත්ත Frederick Coville සේවය කළ ඇමෙරිකාවේ USDA අඩවියෙනි.

පරම්පරා ගණනාවක් විසින් දියුණු කරන ලද තාක්ෂණයෙන්, දැනුමෙන්, අත්දැකීමෙන් හා පරිපාලනයෙන් බ්ලූබෙරි වගාවෙන් ලෝකයේ ඉදිරියෙන් සිටින ඇමෙරිකාවට ඊට හැකියාව ලැබෙන්නේ ඒකීය පුද්ගලයන් විසින් ගත් නොපසුබට උත්සාහයන් නිසා ය. පුද්ගලික දේපල අයිතියක් තිබි නිසා ය. ඇමෙරිකාව යටත් විජිතයක් වී සිට යුද්ධයකින් මිනිස් ජීවිත 25,000 ක් පුදා දිනාගත් නිදහසෙන් පසු බ්‍රිතාන්‍ය්‍යට, ප්‍රංශයට හෝ ස්පාඤ්ඤයට බැන බැන සිටියේ නැත.

අද ස්විඩනයේ වැවෙන බ්ලුබෙරි වලින් 4/5 ක් අපනයනය වෙයි. 2012 වසරේ දී බෙරි කඩන වාරයට තායිලන්ත වැසියන්ට වීසා බලපත්‍ර 5,700 ක් නිකුත් කර ඇත. ඒ වැඩියෙන් ම බලපත්‍ර නිකුත් වූ වසරයි.

ස්විඩනයේ වෘත්තීය සමිතිය මේ බෙරි කැඩීමට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට “නූතන වහල් ක්‍රමය” යැයි කියති. කඩන්නට ප්‍රමාණවත් බෙරි ඵලදාවක් නැත්නම් ඒ එන අයට ගුවන් ටිකට් පත්, ආහාර හා ඉඳුම් හිටුම් වැය පියවා ගන්නට වත් මුදලක් සොයා ගත නොහැකියි. වෘත්තීය සමිතියේ සංක්‍රමණික අංශය බාරව ඉන්නා Thord Ingesson කියන්නේ වැඩපොලේ වාතාවරණය ගැන වූ පාලනය ස්වීඩනයට අහිමි වී ඇත්තේ මේ ගෝලීය ශ්‍රමය ලාභ commodity එකක් වී ඇති නිසා බවයි.

වීසා බලපත්‍ර නිකුත් කරන්නේ බෙරි කඩන කොම්පැණියක් ප්‍රමාණවත් ඉඳුම් හිටුම් හා අවම වැටුප දෙනවා නම් පමණක් යැයි රජය කිව්ව ද, නොසිතූ ප්‍රතිඵල ම සිද්ධ වෙන නිසා ශ්‍රමිකයන් බඳවා ගන්නා අය නීතියෙන් රිංගන්නට ක්‍රමවේද සොයා ගනිති. යුරෝපීය යුනියනයේ අයට ස්වීඩනයේ මාස තුනක් වීසා නැතිව රැඳී සිටිය හැකිය. ඒ නිසා ඒ නීති බලපාන්නේ යුරෝපීය යුනියනයේ නොවන අයටයි. ඉතින් යුරෝපීය යුනියනයේ සාමාජිකත්වය ඇති බුල්ගේරියාවේ අඩු ශ්‍රමය ස්වීඩන් බෙරි කොම්පැණි වලට මහත් වාසියකි.

ස්ටොක්හොම් වලට උතුරින්, Mehedeby ගමේ බුල්ගේරියානුවන් 500 ක් බෙරිකඩන්නට නැවතුණු නිසා කෝපයට පත් වූ ගම්වැසියන් තම රටේ ඇති පැරණිතම ‘මහජන අයිතියට ඉඩ ඇති නීතිය’ අනිසි ලෙස පාවිච්චි කරනවා යැයි අවලාද කියා ඇත. බෙරි කඩන්නන් ද ඉන්නේ සතුටින් නොවේ. වැසිකිලි හා ජලනල පහසුකම් නැතිව ඔවුන්ට එතැනින් පිට වී යන්නට උවමනා වුවත් ඊට ආදායමක් සොයාගත නොහැකි වුණි. පළාතේ පාලකයන් හා බුල්ගේරියානු තානාපති කාර්යාලය එකතු වී නිවාඩුවට වසා තිබි අවට පාසැල් වල ඔවුන් තාවකාලිකව රඳවා කුලියට ගත් බස් වලින් ආපසු බුල්ගේරියාවට පිටත් කර යවන ලදි.

ස්වීඩන් රජයත් වෘත්තීය සමිතියත් යුරෝපීය යුනියනය ඇතුලත යන නිදහස් ශ්‍රමයට වැඩ කඩොළු දමන්නට අකමැතිය. යුනියන් වලට අවශ්‍ය බෙරි කඩනා අයට ස්වීඩනයේ අයට පරිදි වැඩ කරන්නට සුදුසු මනා වූ වාතාවරණයක් හදා දෙන්නට ය. අධි සීත කරන (frozen) බෙරි සඳහා ප්‍රසිද්ධ Polarica කොම්පැණිය යෝජනා කර ඇත්තේ ‘fair trade’ සහතිකයක් විකුණන බෙරි වල ගහන්නට ය. එවිට පාරිභෝගිකයන්ට ස්වීඩන් ශ්‍රමිකයන්ට සමාන පහසුකම් යටතේ නිසි වැටුප් ලබනා ශ්‍රමිකයන් අතින් ඵලදාව කඩන බෙරි පාරිභෝජනයට හැකිය. මේ සහතිකය සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන්නේ දුප්පත් රටවල නිපදවා එවන භාණ්ඩ වල ය. ලෝකයේ වඩාත් ම ශ්‍රමිකයන්-හිතවාදී වූ රටකින් ඒවා දැකීමට සිදුවීම ironic යැයි කියන්නේ ස්වීඩනයේ බෙරි කඩන්නන් ගැන ලියන ඒ තොරතුරු ලබාගත් ‘ද ඉකොනොමිස්ට්‘ සඟරාවේ ලිපියයි.

Advertisements

21 Responses

Subscribe to comments with RSS.

  1. Amarasinghe Sujatha said, on අගෝස්තු 12, 2012 at 9:25 පෙ.ව.

    මේ කියන දෙයම දකුණු කොරියාවෙත් සිද්ද වෙනවා වෙන වෙන භෝග සම්භන්දයෙන්. සමහර අපේ රටෙන් ගිය තරුණයින් ශීත කාලයේ කුඹුරුවල වැඩ අමාරු නිසාම ආපහු හැරිල එන අවස්තා තියෙනවාලු. අපි ප්‍රංශයේ හිටපු කාලෙ ගොඩක් පාරෙ වැඩකරපු කම්කරුවො ඇල්ජිරියානු , මොරොක්කානු හෝ ටියුනීසියානු අය.

    ස්තුතියි කතාව අපිටත් කිව්වට. “ඉකොනොමිස්ට්” දැක්කත් කියවන්ට ආස හිතෙන්නැහැ මට. මෙන්න මෙහෙම කවුරුහරි කියවල කතාව කියනවානම් වඩා හොඳයි.

    අපි සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත කට්ටිය නිසා වෙන්ට ඇති. කොන්වන්ට් එකේදි බලෙං වාගෙ ඉන්ගිරිසිය කියවන්ට යොමු කරපු නිසා සැහැල්ලු කතා කියෙව්වත් බර සාර දෙයක් කියවන්නට හිත දෙන්නෙ නැහැ නොවැ. අනිත් අය සමඟ සසඳනකොට මගේ තත්වය හොඳයි. නමුත් මෙයිට වඩා උත්සාහ ගන්ට වෙයි. මම කැමති කියවා දැනුම ගන්නවාට වඩා BBC, CNN, AL JAZEERA, NHK බලලා දැනුම ගන්ට.

    • Kenji @ Japan said, on අගෝස්තු 12, 2012 at 11:57 පෙ.ව.

      ඔබ කියන දේ ඇත්ත.සංක්‍රමික අයට තමා ඕනෑම රටක එම රටේ පහත් යයි කියන රැකියා ලැබෙන්නේ.නමුත් මම ජපානයේ නගෝය නගරයේ සුහද හමුවීමකදී එක කඩවසම් තරුණයකු ඔහුව හදුන්වා දුන්නේ ඔහු එම නගරයේ “මලපහ එකතු”කරන්නකු ලෙසය.ඔහුගේ සුරූපී ගැහැණු ළමයාද ඔහු සමග සිටියා, ඇය බැංකු ලිපිකාරිණියක්.[ජපානයේ ප්‍රදාන නල මාර්ග වලට සම්බන්ධ නැති ඒවාට බෞසරයකින් ගොස් භූමිතෙල් ඉසිර තනි පුද්ගලයකු විසින් මෙම ක්‍රියාව කරයි] අපේ අය නම් කියයිද?

      • Amarasinghe Sujatha said, on අගෝස්තු 12, 2012 at 10:02 ප.ව.

        ජපන් මිනිස්සු කියන්නෙ ලෝකෙ අනිත් රටවල ඉන්න මිනිස්සුන්ට වඩා ගොඩක් වෙනස් කට්ටියක්. අලුත් පරම්පරාව ටික ටික පිරිහෙමින් හිටියත් ඉතාම විනය ගරුකයි. මොනවා හරි වැඩක් කලයුතුය කියන අදහස කොයි වෙලෙත් හිතේ තියෙන ජාතියක්. අඩියක බිම් තීරුවෙත් වගාකරන ජාතියක්. අවංක ජාතියක්. වෙනස ඇතිවෙන්නෙ මේපසුබිමේ හැදෙන නිසා විය යුතුයි

    • arunishapiro said, on අගෝස්තු 12, 2012 at 12:57 ප.ව.

      සුජාතා නංගි,

      ඇයි යුරෝපයට ගිය අපේ “මචං” ලා? ඔක්තෝබරයේ මෙහාටත් එනවාලු. දාන්නම් ඒ ගැනත්.

    • චාමි said, on අගෝස්තු 12, 2012 at 11:38 ප.ව.

      කොරියාව සම්බන්ධව නම් ඒක පිළිගන්න අමාරුයි.අනික කුඹුරු වැඩට ලංකාවෙන් කට්ටිය යනව කියල ඇහුවෙත් අදමයි.මොකද මිනිස් ශ්‍රමය ගොඩක් අඩුවෙන් යොදාගන්න නිසා.අනික,ශිත කාලෙ කුඹුරු වැඩ නොකරන නිසාත්.කාර්මික,මෑතක සිට ධිවරක්ෂේත්‍රය ඇරුනම කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙ විදේශීකයන්ට රැකියා අවස්ථා තියෙන්නෙ ඌරු,හරක් කුකුල් ගොවිපලවල විතරයි.

  2. Charmi said, on අගෝස්තු 12, 2012 at 10:35 පෙ.ව.

    Like…… 😉

  3. Kenji @ Japan said, on අගෝස්තු 12, 2012 at 11:21 පෙ.ව.

    ඔය ඒක ඒක සගරා වල ලියන්නෙත් ඔබ වැනි උගත් අය බව දනිමි.එක එක බෙරි කඩන්න යන්නේ ජිවත් වීමට යමක් සොයාගැනීමටය.නමුත් ඔය ලියන අයයි,කොපි කරලා අපට ලියන අයයි මොනවාද කරන්නේ ඒ අයට? ඒවා ගැන අපට කියල මෝඩ චුන්විම පමණද?

    • arunishapiro said, on අගෝස්තු 12, 2012 at 12:59 ප.ව.

      Kenji @ Japan,

      “පරම්පරා ගණනාවක් විසින් දියුණු කරන ලද තාක්ෂණයෙන්, දැනුමෙන්, අත්දැකීමෙන් හා පරිපාලනයෙන් බ්ලූබෙරි වගාවෙන් ලෝකයේ ඉදිරියෙන් සිටින ඇමෙරිකාවට ඊට හැකියාව ලැබෙන්නේ ඒකීය පුද්ගලයන් විසින් ගත් නොපසුබට උත්සාහයන් නිසා ය.”

      මම ලියන්නේ ඒ වගේ නොපසුබට උත්සාහයන් ගැනීමට කැමති ඒකීය පුද්ගලයන්ට ය.

  4. wicharaka විචාරක said, on අගෝස්තු 12, 2012 at 12:01 ප.ව.

    මොනවද අරුණි ඔයා මේ කරන්නේ. දැන් මේක දැක්කොත් අපේ කම්කරු ලොක්කා, වහාම මෙහෙන් කම්කරු පිරිසක් හොයා ස්වීඩනයට පටවනවා සිකුරුයි. උන්නැහේලා හිතන්නේ ‘ඔන්න ඔහේ පොඩ්ඩක් සීතල වුනාම මොකද ඔය සිරීපාදෙත් සීතල තියෙද්දී මිනිස්සු යන්නේ’ කියලයි. (උන්දලා දන්නේ නෑනේ ස්වීඩනයේ සිට උත්තර ධ්‍රැවයට තියන දුරවත්) ලොක්කා ගහනවා නියම ගැහිල්ලක්. රැකියා ඒජන්සි වලට කොන්ත්‍රාත් එක බාර දීලා එක කොමිස් කුට්ටියයයි. රැකියාවට යවන්න ඇබෑර්තු ලබාදීම සඳහා අයදුම් කරුවන්ගෙන් කුට්ටියයි. එහෙ ගිහිල්ල සීතල දරාගන්න බැරුව මැරෙන එවුන්ගේ මිනිය ගෙනත් දෙන්න තව කුට්ටියයි. නරක නෑ නේද අරුණිගේ ඔත්තුවෙන් ගන්න වාසිය.

    • arunishapiro said, on අගෝස්තු 12, 2012 at 1:05 ප.ව.

      wicharaka විචාරක,

      පොකැට්ටුවට දාගත හැකි කුට්ටියක් කැඩෙන කොමිස් දෙන කොරියාව වගේ ද නැත්නම් යුරෝපය එහෙම නැත් ද කියලා අනිවාර්යෙන් ම හොයා ගන්න පුළුවන් වෙයි!!!!

      මේ දවස්වල PayPal ගැනත් උත්සාහයක් යනවා. විස්තර පහළින්. ඒකට ඉඩ රට්ටුන්ට නොදෙන්නෙත් වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි රටේ වෙහෙසන අය කෙළින්ම ගණුදෙනු කළොත් බලය පෙන්වන කාගේ කාගේ හරි පොකැට්ටුවකට කඩාගත හැකි කොමිස් කුට්ටියක් නැති නිසා.

      ****

      ශ්‍රී ලංකාව සඳහා PayPal සහාය ලබා ගැනීම

      PayPal යනු කුමක්ද?
      PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය.

      අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

      ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

      ගැටළුව
      ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු අයෙකුගෙන් මුදල් ලබාගැනීම කළ නොහැකිය.

      මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් – එනම් PayPal භාවිතයෙන් – සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වැන්නන්ගෙන් සේවා ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.).

      තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී ඇත.

      දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගනිමින් PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.

      ගැටළුවට හේතුව
      ඉහත සඳහන් ගැටළුවට හේතුව ශ්‍රී ලාංකික ලිපිනයන් යොදාගනිමින් තනන PayPal ගිණුම් සඳහා මුදල් ලබාගැනීමේ හැකියාව PayPal විසින් අහිමි කර තිබීමයි. එයට PayPal විසින් දක්වන හේතුව පහත දැක්වේ:
      “Why does my PayPal account have only send capabilities?

      Members in some countries and regions may only use PayPal to send payments and not receive payments due to the complexities of global finance. We are constantly working to improve services for you and hope to expand our features for you in the future.

      You can view the countries with send only capabilities under the Send Money to Anyone in the Growing PayPal Network on the PayPal Worldwide (https://www.paypal.com/cgi-bin/webscr?cmd=_display-approved-signup-countries-outside) page.“ –

      https://www.paypal.com/helpcenter/main.jsp;jsessionid=g2N6PMrCFxyfQQbJZ6j21v12yTw5xqPd1Mb1dxNG11nhGHjHY1y7!2075623774?locale=en_US&_dyncharset=UTF-8&countrycode=LK&cmd=_help&serverInstance=9002&t=solutionTab&ft=browseTab&ps=solutionPanels&solutionId=11811&isSrch=Yes

      ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාල කිරීමට අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වී ඇත.

      විසඳීම
      ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාල කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසකි.

      eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම.
      සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම.
      ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම.
      තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.
      විසඳන මග.
      PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc.ආයතනයේ උප ආයතනයකි.ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ ය.

      PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි:

      ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම.
      ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.
      ඔබේ සහය දක්වන්න
      පෙත්සම අත්සන් කරන්න: http://j.mp/PayPalForSriLanka
      #PayPalForSriLanka හැෂ්ටැගය සමග Twitter සංවාදයට එකතු වෙන්න.
      Facebook සමූහය වෙත එකතු වෙන්න: https://http://www.facebook.com/groups/paypalforsrilanka

  5. Gold fish said, on අගෝස්තු 12, 2012 at 12:16 ප.ව.

    ලංකාවේ කුඹුරු අඳේට දෙනවා වගේ දෙයක් නේද…

    • arunishapiro said, on අගෝස්තු 12, 2012 at 1:16 ප.ව.

      Gold fish,

      නැහැ අඳේට දෙනවා නෙමෙයි. මේවා පුද්ගලික අයට, දිස්ත්‍රික්ක නගර වලට හා රජයට අයිති ලොකු ඉඩම්. ඇමෙරිකාවේ අක්කර හාරසීය පන්සීය වුවත් අයිතිකාරයෙක්ට පුළුවන් බෝඩ් ලෑල්ලක් ගහන්න ඇතුල්වීමට අවසර නැත කියලා. එහෙම ගහපු තැනකට අනවසරයෙන් ඇතුල් වුනොත් නීතිමය දඬුවම් ලැබෙනවා. නීතිමය බලපත්‍ර ඇති ඩබල් බැරල් පාවිච්චියටත් අයිතිකරුවාට අයිතිය තියෙනවා. යුරෝපීය නීතිය අනුව එහෙම බැහැ. අනුන්ගේ ඉඩම් මැදින් ඇවිදින්න අවසර තියෙනවා කොහේ හරි යද්දි. ඒවායේ වැවෙන බෙරි ගෙඩියක් කඩාගෙන කන්න වගේ ම කඩාගෙන විකුණන්නත් නීතිමය අවසරය තියෙනවා, අයිතිකරුවාට කිසිම ගෙවීමක් නොකර. එහෙම අවසරයක් නැත්තේ අයෙක් පදිංචි වී සිටින ගෙවත්ත, රජය විසින් නියම කර ඇති වනෝද්‍යාන වල.

      යුරෝපීයයන් එදා වගේ නෙමෙයි අද නිසා අනුන්ගේ පුද්ගලික අයිතියට ගරු කරමින්, මෙවැනි නීතියකින් අයුතු ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඒ කියන්නෙ අනුන්ගේ ඉඩම් මැදින් යද්දි ඒවා විනාස කරගෙන යන්නෙ නැහැ. ඒවායෙන් ජීවිකාව උපයන බෙරි කොම්පැණි වුවත් ආණ්ඩුවට බදු ගෙවන නිසා ඔවුන් නෙලා ගන්නා බෙරි ඵලදාවෙන් ආපහු වාසියක් රජයට/පුරවැසියන්ට ලැබෙනවා.

      ඒත් ඒ වගේ ම සම්පූර්ණ අයිතිය ඉඩමේ අයිතිකරුවාට නැති නිසා එයා ද එහි වැඩි වර්ධනයක් කරන්න උත්සාහයක් ගන්නේ ද නැහැ. තවත් විදියකින් කිව්වොත්, ඔහේ නිකම් වැවෙන බෙරි ඕන කෙනෙකුට කඩාගන්න අයිතිය තියෙද්දි ඇයි මම පෝර, වතුර දාලා වැඩියෙන් ඵලදාවක් හොයන්න වෙහෙසෙන්නෙ කියන චින්තනයෙන් ඉන්නෙ.

  6. අටම්පහුර said, on අගෝස්තු 12, 2012 at 2:22 ප.ව.

    බලනකොට බටහිර රටවල්වල ඉන්න මිනිස්සු පුදුම නිදහසක්නේ විදින්නේ

    • arunishapiro said, on අගෝස්තු 13, 2012 at 7:03 පෙ.ව.

      අටම්පහුර,

      ඒක ලැබුනෙ හැමදාම එකිනෙකාව කොල්ලා කා ගත්ත, මරා ගත්ත හැදියාවෙන් ඔවුන් ඉවත් වුනාම. ඒත් ඊ ළඟට වැඩිවෙන්නෙ ආයෙත් එහෙම කරන්නට හිත ඇති පරම්පරාවක් වුවොත්, නීති හදන බලය ඔවුන්ට ලැබුනොත්, එතකොට නිදහස තව දුරටත් තිබේවි ද නැද්ද තමයි අද යුරෝපය මුහුණ දෙන ඒත් ඔවුන් කෙළින් ම ඒ ගැන කතා නොකරන ගැටළුව වී තියෙන්නෙ.

  7. Kandyan said, on අගෝස්තු 12, 2012 at 2:55 ප.ව.

    ඉගෙන ගන්න කාලේ කස්ටියත් එක්ක ස්ට්‍රොබෙරි කඩන්න නම් ගිහින් තියනවා…
    දැන්කාලේ බ්ලූබෙරිස් luxury good එකක් වෙලා…

  8. රාජ් said, on අගෝස්තු 13, 2012 at 8:06 පෙ.ව.

    මාත් යන්න ඕන බ්ලූබෙරි කඩන්න. හොඳ විස්තරයක්.

    • arunishapiro said, on අගෝස්තු 13, 2012 at 8:08 පෙ.ව.

      රාජ්,

      රාජ් යන්න කළින් ඔයාගෙ අඩවියේ දාන්න ස්වීඩනයේ සිට කියවන්නන් අතර ඉඳුම් හිටුම් පහසුකම් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වහාම දන්වන්න කියලාත්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: